2017 මැයි දිනය: ඉතිහාසයේ පාඩම් හා සමාජවාදය සඳහා සටන

May Day 2017: Lessons of history and the fight for socialism

2017 මැයි 01

ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් අප්‍රේල් 30දා, 2017 අන්තර්ජාල ජාත්‍යන්තර මැයි දින රැලිය ආරම්භ කරමින් මෙම කථාව පවත්වන ලදී.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ද ලෝක සමාජවාදී වෙබ් අඩවිය ද වෙනුවෙන් ලොව පුරා සිටින අපගේ සාමාජිකයින් ද පාඨකයින් ද ආධාරකරුවන් ද වෙත මම අපගේ විප්ලවවාදී ශුභ පැතුම් ගෙන එන්නෙමි. අඛන්ඩව සිව්වන වසරටත් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහෝදරත්වය පිලිබඳ ඓතිහාසික දිනය සමරන අන්තර්ජාල රැලිය පවත්වනු ලබයි. මෙහි පලමුවැන්න පැවැත්වුනේ 2014දී ය. ඒ 1914 අගෝස්තුවේ ප‍්‍රථම ලෝක සංග‍්‍රාමය හටගෙන සියවන සංවත්සරය ආසන්නයේය. එසේම 1939 සැප්තැම්බරයේ දෙවන ලෝක සංග‍්‍රාමය ආරම්භවී 70 වන සංවත්සරය එලඹෙමින් තිබියදී ය.

ඩේවිඩ් නෝර්ත්, 2017 අන්තර්ජාල ජාත්‍යන්තර මැයි දින රැලිය අමතයි

මෙම වසරේ මැයි දිනය ද ශුභවාදී සංවත්සරයක් සමග සම්පාත වේ: එනම් 1917 රුසියානු විප්ලවයයි. වසර සීයකට පෙරාතුව රුසියාව පුරා මැයි දිනය සමරනු ලැබීය. ඒ රොමානොව් රාජාන්ඩුව පෙරලා දැමීමෙන් යන්තම් සති අටකට පසුවයි. පෙබරවාරි විප්ලවය හටගැනීමේ ප‍්‍රමුඛ සාධකය වූයේ යුද්ධය පිලිබඳව වූ වෛරයයි. එහෙත් රුසියානු ධනේශ්වරයට, 1914 යුද්ධයට යාමට සාර් මෙහෙයවූ ප‍්‍රථම කාරනය වූ භූමිභාග අත්පත්කර ගැනීම සාර්ථක කරගැනීමට පෙර යුද්ධය නිමා කිරීමේ අදහසක් නොවීය. මැයි දිනය වන විට දෙවන නිකොලස් බලයෙන් පහකර තිබුනි. එහෙත් අධිරාජ්‍යවාදී පාලක පැලැන්තියේ ආසක්තයන් තවමත් ඉෂ්ඨවී නොතිබුනි. ධනේශ්වර තාවකාලික ආන්ඩුව යුද්ධය ඉදිරියට ගෙනයාමට අධිෂ්ඨාන කරගෙන සිටියේය.

සෝවියට් කම්කරු හා සෙබල නියෝජිතයින්ගේ ප‍්‍රතිසංස්කරනවාදී නායකයින් ද මෙන්ෂෙවිකයින් හා සෝෂලිස්ට් විප්ලවවාදීන් ද තාවකාලික ආන්ඩුවට සහාය දෙමින් යුද්ධයේ ක්ෂනික අවසානයක් ඉල්ලා සිටීම ප‍්‍රතික්ෂේප කලහ. ඔවුහු සාර් පෙරලා දැමීම අධිරාජ්‍යවාදී යුද්ධය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා යුද්ධයක් ලෙස යලි ලේබල් කිරීමට කඩතුරාවක් කර ගත්හ. ධනේශ්වරයේ පැත්තෙන් යුද්ධය පවත්වාගෙන යාම දකිනු ලැබුවේ, කොන්ස්තන්තිනෝපලයේ පාලනය අත්කර ගැනීම පමනක් නොවේ. ජනතාව අවමංගතකර ධනපති රාජ්‍යයකට යටත්කර තබාගැනීම පිනිස අවශ්‍යව තිබූ දෙයක් ලෙස ඔවුන් එය සැලකීය. ට්‍රොට්ස්කි පසුව මෙසේ ලිවීය: “සතුරා හෙම්බත් කරනු ඇති යුද්ධය විප්ලවය හෙම්බත් කිරීමට ද හරවා ගනු ඇත.”

එක් පක්ෂයක් පමනක් යුද්ධයට විරුද්ධ විය, ඒ බොල්ශෙවික් පක්ෂයයි, එහෙත් එය තම අශමනීය යුද විරෝධී ආස්ථානය ගනු ලැබුවේ, අප්‍රේල් මුල ලෙනින් පිටුවහලේ සිට පෙරලා රුසියාවට පැමිනීමෙන් පසුවය. තාවකාලික ආන්ඩුවට සහාය දීමේ සිට ධනේශ්වර රාජ්‍යය විප්ලවවාදී ලෙස පෙරලා දැමීම කරා පක්ෂයේ ආස්ථානය වෙනස් කිරීමට ලෙනින්ට සති තුනක් තිස්සේ බොල්ශෙවික් පක්ෂය තුල දරුනු දේශපාලන අරගලයක් කිරීමට සිදු විය.

ඓතිහාසික ප‍්‍රත්‍යාවලෝකනයේදී, ප‍්‍රතිපල නොවැලැක්විය හැකි යයි දැකීමට ඇති නැඹුරුව, බොල්ශෙවික් පක්ෂයේ පිලිවෙත වෙනස් කිරීමට ලෙනින්ට කිරීමට සිදුවූ දේශපාලන අරගලයේ තීව‍්‍රත්වය අඩු තක්සේරු කිරීමේ නැඹුරුවකට ද තුඩු දුන්නේය. එහෙත් වටහාගත යුතු කාරනය නම්, මේ අරගලය සිදුවුනේ රික්තයක් තුල නොවූ බවයි. අලුතෙන් දිගහරින ලද බැනරය යටතේ යුද්ධය අඛන්ඩව ගෙනයාම සඳහා සහාය දුන්, බොහෝ පක්ෂ නායකයින්ගේ “ආරක්ෂනවාදී” ආස්ථානය, සැලකිය යුතු තරම් දුරකට විප්ලවයේ පලමු දින හා සතිවල ජනතාවගේ ව්‍යාකූල දේශප්‍රේමී මනෝගතියට අනුගත වීමක් විය.

බොල්ශෙවික් නායකයින්ගේ කොටසක් තර්ක කලේ, “විප්ලවවාදී ආරක්ෂනවාදය” ප‍්‍රතික්ෂේප කිරීමෙන් පක්ෂය කම්කරු පන්තියෙන් හුදෙකලා වනු ඇති බවටය. එය “ප‍්‍රචාරකවාදීන් කන්ඩායමකගේ” තත්වයට පක්ෂය පිරිහෙලනු ඇති බවට ඔවුහු අනතුරු ඇඟවූහ. ලෙනින් එකහෙලාම මේ තර්කය ප‍්‍රතික්ෂේප කලේය. ඔහු මෙසේ ලිවීය:

මේ අවස්ථාවේදී ජාත්‍යන්තරවාදීන් පෙන්වන්නට ඉදිරිපත් විය යුත්තේ, තමන්ට, ජනතාව සමග “සිටීමේ කැමැත්තට” වඩා “ජනතාවගේ” ව්‍යාකූලත්වයට ප‍්‍රතිරෝධය පෑමට අවශ්‍ය බවයි. නොඑසේ නම් එහි අර්ථය පොදු වසංගතයට ගොදුරුවීම නොවන්නේ ද? යුරෝපයේ සෑම යුදවාදී රටකම අවස්ථාවාදීන් තමන් යුක්තිසහගත කර ගැනීමට තැතනුවේ, ඔවුන්ගේ කැමැත්ත “ජනතාව සමග සිටීමේ” පදනම මත බව අප දැක නැද් ද? “මහා” ව්‍යාකූලත්වයට එරෙහිව සුලුතරය තුල රැඳී සිටීමට අපට නොහැකි ද? මේ මොහොතේදී ප‍්‍රචාරකවාදීන්ගේ වැඬේ, ආරක්ෂනවාදයෙන් හා සුලු ධනපති “මහා” ව්‍යාකූලත්වයේ පිලිවෙතින් නිර්ධනීන්ගේ සිරකල ගෙල ලිහා දමා ඔවුන් එයින් ගලවා ගැනීම සඳහා ආකෘතීන් සකස් කිරීම නොවන්නේ ද? ජනතාව අතර පවතින පන්ති වෙනස්කම් නොතකා නිර්ධන පන්තික හා නිර්ධන පන්තික නොවන ජනතාවගේ මෙම ව්‍යාකූලත්වයයි ආරක්ෂනවාදී වසංගතය සඳහා එක් කොන්දේසියක් නිර්මානය කලේ. “ප‍්‍රචාරකවාදීන් කන්ඩායමක්” විසින් නිර්ධන පන්තික පිලිවෙත වෙනුවෙන් උපදෙස් දෙන්නේ යයි සතුරු ආකාරයකින් කථා කිරීම උචිත බවක් නොපෙනේ.

එදා මෙන්ම අදත් සියලු අවස්ථාවාදීන්ගෙන්, ලෙනින්ගේ මූලධර්මාත්මක දේශපාලනය කෙතරම් නම් වෙනස් ද? ඔවුන් පුරුද්දක් ලෙසම තම පාවාදීම් යුක්තිසහගත කලේ, පවත්නා මහජන මනෝගතියේ මට්ටමට අනුගත වීමේ අවශ්‍යතාවය පෙන්නුම් කරමිනි.

ලෙනින් විසින් යලි දිශානුගත කිරීමෙන් පසුව බොල්ශෙවිකයෝ, ස්වෝත්තමවාදී “ව්‍යාකූලත්වයට” එරෙහිව සටන් වැදුනහ. මැයි දිනය වන විට පවා මේ මනෝභාවය මුලුමනින්ම පහව ගොස් නොතිබුනි. “රුසියානු සෙනග ලෙනින්ට හූ කීවෝය” යන සිරස්තලය යටතේ පෙට්‍රොග‍්‍රෑඩයේ මැයි දින පෙලපාලි ගැන නිව් යෝර්ක් ටයිම්ස්හි, අද මෙන්ම එදා ද කැත ලිපියක් පලකර තිබුනි. ටයිම්ස් මාධ්‍යවේදියා තලූ මරමින් වාර්තා කලේ, “රැඩිකල් සමාජවාදී උද්ඝෝෂකයෙක් වන ලෙනින්ගේ ආධාරකරුවන් විසින් කථා පවත්වද්දී එයට සෙනඟ අතරින් ප‍්‍රතිචාර දැක්වුනේ ‘ඔය ඇති! තමුසේ කට ප‍්‍රවේසම්කරගන්නවා’” යනුවෙනි.

තවත් ලිපියකින් ඇමරිකානු පාඨකයින්ට සහතික වුනේ, සියලු රුසියානු සමාජවාදී නායකයින්ම පාහේ යුද්ධයට සහාය දුන් බවටය. අවසානයට ඔවුහු මේ තොරතුරු ඉදිරිපත් කලහ: “දැන් නොසඟවා නිකුත් කෙරෙන ප‍්‍රකාශන වලින් කියන්නේ, ලෙනින් රස්පුටින්ගේ ඉරනම නියෝජනය කරන බවය.” එහෙත් සය මාසයක් ඇතුලත බොල්ශෙවිකයෝ කම්කරු පන්තියේ ද සහාය ඇතිව තාවකාලික ආන්ඩුව පෙරලා දැමූහ. ඔක්තෝබර් විප්ලවය පලමු ලෝක යුද්ධයේ අවසානයේ ආරම්භය සලකුනු කලේය.

1917 දේශපාලන පාඩම් විමසා බැලීම මුලූමනින්ම අදාලය. එසේ වන්නේ මෙය රුසියානු විප්ලවයේ ශත සංවත්සරය වීම නිසා පමනක් නොවේ. යුද්ධය සඳහා අධිරාජ්‍යවාදී සූදානම ධනවාදයට එරෙහි විප්ලවවාදී අරගලයේ හෙලි තුඩයි. අද දින තරම් න්‍යෂ්ටික අග්නි ජලාවක අන්තරාය කිසිදාක මෙතරම් විශාල නොවීය.

පසුගිය අන්තර්ජාල මැයි දින රැලි තුනේදීම ජාත්‍යන්තර කමිටුව, භූ දේශපාලනික හා අන්තර් අධිරාජ්‍යවාදී ආතතීන් තියුනු ලෙස වැඞී යාම කෙරෙහි හදිසි අවධානය කැඳවුම් කලේය. ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත යුද්ධයට එරෙහි කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයක් වර්ධනය නොකල හොත් පාලක පැලැන්තීන් මානව වර්ගයා මහත් ව්‍යසනයකට ඇද දමනු ඇති බවට අපි අනතුරු අඟවා ඇත්තෙමු.

ජාත්‍යන්තර කමිටුවේ ආධාරකරුවන් අතර පවා පැවතුනේ එම අනතුරු ඇඟවීම් අතිශයෝක්තියකි යන අදහසයි, එසේම (අප) තැතිගත්තවුන් බවයි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ දස දහස් ගනන් පාඨකයින් ගැන කවර කථා ද? එහෙත් පසුගිය මාස ගනනාවේ සිදුවීම්වල එලියෙන් බලන විට ජාත්‍යන්තර කමිටුවේ අනතුරු ඇඟවීම් තවමත් පෙනෙන්නේ අතිශයෝක්තීන් ලෙස ද?

නිපුන අධිරාජ්‍යවාදී භූ දේශපාලන විශේෂඥයින් බොහෝ දෙනෙකුට ව්‍යසනකාරී යුද්ධයක හැකියාව හඳුනා ගැනීමට බල කෙරී ඇත. ඇමරිකානු විදෙස් පිලිවෙත් සංස්ථාපිතයේ ප‍්‍රමුඛ ප‍්‍රකාශනයක් වන, ෆොරීන් එෆෙයාස් සඟරාවේ අලුත්ම නිකුතුව “ව්‍යසනයක් හමුවේ පෙනී සිටීමක් ද?” නමින් ලිපි මාලාවක් පල විය. ජෝන් ඉකෙන්බරි යන ඇමරිකාවේ ප‍්‍රමුඛ පෙලේ විදෙස් පිලිවෙත් ලිපි රචකයෙකුගේ රචනාවල තානය මේවා තුල දැකිය හැකි විය. ට‍්‍රම්ප් පාලනයේ ඉවබව නැති පිලිවෙත් විමසා බලමින් ඔහු මෙසේ ලිවීය. “ඉපැරනි හා නූතන අවධීන් හරහා මහ බලවතුන් ගොඩනැගූ පර්යායන් ඇතිවී නැතිව ගොස් තිබේ. එහෙත් ඒවා සාමාන්‍යයෙන් අවසන් වුනේ සියදිවි නසාගැනීම් ලෙස නොව ඝාතනයන් ලෙසය.” මෙම සියදිවි නසාගැනීම සිදුවූයේ කුමන රූපාකාරයකින් ද? “ට‍්‍රම්ප් යුද්ධයේ පැටලීම පිලිබඳ දසුනක්” නමින් එම සඟරාවේම පලවු දෙවන ලිපිය ෆිලිප් ගෝඩන් විසින් රචනා කර තිබුනි. ඔහු විදේශ සම්බන්ධතා කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. පාලනයෙන් පිට පැන ඉරානය, උතුරු කොරියාව හෝ චීනය සමග යුද්ධයකට තුඩුදිය හැකි ගැටුම් පිලිබඳ භූ දේශපාලනික වාතාවරන ගනනාවක් එහි ගෙනහැර දැක්වේ.

Comparative Strategy (තුලනාත්මක මූලෝපාය) යන ශාස්ත‍්‍රාලික සඟරාවක් 2016දී ”න්‍යෂ්ටික අන්තරායන් පිලිබඳ යලි සංකල්පනය: සිතාමතාම න්‍යෂ්ටික අවි යලි භාවිතයට ගැනීම” නමින් ලිපියක් පල කලේය. රෙබෙකා ඬේවිඞ් ගිබ්සන් හා මැතිව් ක්රොයඑනිං යන මහාචාර්යවරුන් දෙදෙනා එහි කතුවරුන්ය. ඔවුන් වොෂින්ටන් ඞීසීහි ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ අයයි. න්‍යෂ්ටික යුද්ධයක් වඩාත්ම සිදුවිය හැක්කේ, දේශපාලන වැරදි ගනන් බැලීමක් හෝ අනතුරක ප‍්‍රතිපලයක් වශයෙන් ය යන පුලූල් වශයෙන් පැතිර ඇති මතයට විරුද්ධව ඔවුහු මෙසේ තර්ක කරති. ප‍්‍රශ්නය එය නොවේ. එවන් යුද්ධයක ප‍්‍රධාන අන්තරාය වන්නේ, න්‍යෂ්ටික අවි යොදාගැනීම, ”රාජ්‍ය පාලනයේ අවි ලෙස” සැලකීම කරා නායකයින්ගේ වැඩෙන කැමැත්තයි. ඔවුන් සිතාමතා න්‍යෂ්ටික අවි භාවිතය මෙසේ නිර්වචනය කරයි. ”සතුරු ඉලක්කයකට හෝ අවසන් ප‍්‍රතිපලය සතුරාට එරෙහිව න්‍යෂ්ටික පිපිරවීමක් විය හැකි උත්සන්නියක හා න්‍යෂ්ටික තර්ජනය පිලිබඳ සිතාමතාම නිර්මානය කල කි‍්‍රයාවලියකට සම්බන්ධව, න්‍යෂ්ටික අවියක් හෝ අවි පුපුරවා හැරීම සිතාමතා සිදුකිරීම කරා ගමන් කල හැකිය.”

න්‍යෂ්ටික යුද්ධය සිතාමතා ඇවිලවීමට තුඩුදිය හැකි සුප‍්‍රකට මිලිටරි මූලෝපායන් 5ක් එම ලිපිය සුවිශේෂීව ගෙනහැර දක්වයි. 1. න්‍යෂ්ටික අවි රහිත විරුද්ධවාදියෙකුට එරෙහිව න්‍යෂ්ටික බලය පාවිච්චි කිරීම, ”න්‍යෂ්ටික අවි සහිත රටක් ගැටුම අවසන් කිරීමට උත්සාහ කිරීමට න්‍යෂ්ටික අවි යොදාගැනීමට පෙලඹීමේ හැකියාව” 2. අනර්ග පලමු ප‍්‍රහාරය, එහි අරමුන, සතුරාට ප‍්‍රති ප‍්‍රහාරයක් සඳහා සිය අවි පාවිච්චි කිරීමට ඉඩ නොතබා එක් ව්‍යායාමයකින්ම සතුරාගේ සියලූ න්‍යෂ්ටික ශක්තීන් වනසා දැමීම 3. පාවිච්චි කරන්න නැතිනම් නැතිකර ගන්න, යන මූලෝපාය න්‍යෂ්ටික අවි සහිත බලවතුන් දෙදෙනෙකු අතර ගැටුමකදී උපයෝගිකරගත හැකි මූලෝපායක් තුල, තමන්ගේ අවි තොග අතුගා දැමීමට පෙර තම න්‍යෂ්ටික අවි ප‍්‍රහාරය දියත් කිරීමට එක් රටක් තීරනය ගැනීම. 4. සතුරා පසුබසිනු ඇතැයි යන බලාපොරොත්තුව ඇතිව යුද්ධය පිලිබඳ අනතුර සිතාමතාම මතු කරන න්‍යෂ්ටික අවදානම් සීමාවට යෑම. එහෙත් මේ මූලෝපාය අනුගමනය කරනු ඇත්තේ, ගැටුම යුද්ධයක් කරා පැතිර යනු ඇතැයි යන අවබෝධය මතය. 5. සීමිත න්‍යෂ්ටික යුද්ධය පටන්ගත් කල, පූර්න පරිමානයේ හා සීමාන්තික තාප න්‍යෂ්ටික යුද්ධයක් කරා පැතිර යා නොදී පාලනය කරගත හැකිකම.

මෙම මූලෝපාය තෝරාගනු ඇති උන්මත්කයෝ කවුරුන් ද? මෙම මූලෝපායන්ගෙන් එකක් හෝ සලකා බැලීමට ඇති කැමැත්ත පිස්සුවක ලක්ෂනයකි. න්‍යෂ්ටික අවි පාවිච්චිය කියා නිමකල නොහැකි ප‍්‍රතිවිපාක ගෙන එනු ඇත. මේ කාරනය පාලක පන්තීන් යුද්ධයකට එලඹීමෙන් වලක්වනු ඇත් ද? 21 වන සියවසේ පලමු 17 වසරවල අත්දැකීම් ගැන නොකීවත්, විසිවන සියවසේ සමස්ත ඉතිහාසයම නැගී සිටින්නේ එවන් සංකල්පනාවකට එරෙහිවය. කම්කරු පන්තියේ දේශපාලන මූලෝපාය පදනම් කල යුත්තේ ස්වයං මුලාවේ බලාපොරොත්තු මත නොව යථාර්තය මතය. එක්සත් ජනපදය රාත්තල් 21,600න් යුත් දැවැන්ත පුපුරන වායු බෝම්බයක් ඇෆ්ගනිස්ථානය මතට හෙලූවේ යන්තම් සති දෙකකට පෙරය.

වසර 72ට පමන පෙර 1945 අගෝස්තුවේදී හිරෝෂීමා හා නාගසාකි මත න්‍යෂ්ටික බෝම්බ හෙලූ තැන් සිට ඇමරිකාව මිලිටරි කි‍්‍රයාවකදී යොදගත් විශාලතම බෝම්බය මෙය විය. මෙම සිද්ධිය සති ගනනාවක් යන තුරු ලෝක ප‍්‍රවෘත්ති වල මුල් තැන ගනු ඇතැයි යමෙකු සිතුවා විය හැකිය. තත්වය එසේ නොවීය. මෙම බෝම්බ හෙලීම සාමාන්‍ය මාධ්‍ය ආවරනයකට වැඩි දෙයක් නොවූ අතර ඉක්මනින්ම ප‍්‍රවෘත්ති අතරින් ගිලිහී ගියේය.

යන්තම් තෙදිනකට පෙර ඩොනල්ඞ් ට‍්‍රම්ප් මෙසේ පැවසීය. “අප උතුරු කොරියාව සමග ප‍්‍රධාන, ගැටුමකට පැටලීමේ හැකියාව ඇත. පරම වශයෙන්ම.” මෙය කියනු ලැබුවේ සාමාන්‍ය දෙයක් ලෙසටය. හරියට ට‍්‍රම්ප් ඉදිරි සතියේදී ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදීමට සැලසුම් කරන බව කියන ආකාරයකටය. මාධ්‍ය මෙය වාර්තා කලේ ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශයෙන් ඔහු හරියටම අදහස් කරන්නේ කුමක්දැයි පැහැදිලි කරන ලෙසට කෙරුනු කිසිදු ඉල්ලීමක් නොකරය. යුද්ධයක ප‍්‍රතිපලය කුමක් වනු ඇත් ද, කී දෙනෙක් මිය යනු ඇත් ද, කී දෙනෙකුට තුවාල සිදුවනු ඇත් ද, එවන් යුද්ධයක පාරිසරික ප‍්‍රතිවිපාක කවරක් වනු ඇත් ද යන්න ගැන කිසිවෙක් කථා නොකලේය.

“පරම වශයෙන්ම ප‍්‍රධාන, ප‍්‍රධාන ගැටුමක්” පිලිබඳ අන්තරායක්, න්‍යෂ්ටික යුද්ධයක අනතුර සහිතව උතුරු කොරියාව සමඟ? පවතින බවට ඇමරිකානු ජනාධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශය ගැන මාධ්‍යයේ මෙම අලස ප‍්‍රතිචාරය ගැන කුමක් ද වටහා ගන්නේ. එය ප‍්‍රකාශ කරන්නේ, අධිරාජ්‍යවාදයේ තර්කය, ප‍්‍රශ්න කිරීමකින් තොරව අන්ධ ලෙස පිලිගන්නා බවයි. මාධ්‍යයේ හා ධනපති රාජ්‍යයේ අවශේෂ දේශපාලන උපරිව්‍යූහය, මම කථාකරන්නේ ඇමරිකාව ගැන පමනක් නොව සියලූ ප‍්‍රධාන ධනපති රාජ්‍යයන් පිලිබඳවයි, ඔවුන්ගේ සියලු බොරු මෙන්ම නිහඬතාවය ද සමගින් යුද්ධය සඳහා සූදානම් වෙති.

පාලක පැලැන්තිය යුද්ධයට සූදානම් වෙද්දී කම්කරු පන්තිය එය වැලැක්වීමට බලමුලුගැන්වීගත යුතුය. යුද්ධයට එරෙහි අරගලයේ අවශ්‍යම පදනම වන්නේ, එහි මූලයන් වටහා ගැනීමයි. 1917දී ලෙනින් පෙන්වාදුන් පරිදි යුද්ධය, ලෝක ධනවාදයේ වර්ධනයෙහි නිමැවුමකි. “එහි බිලියන සංඛ්‍යාත හුය පට හා සම්බන්ධකම්”ය. “ධනවාදයේ බලය පෙරලා නොදමා, රාජ්‍ය බලය තවත් පන්තියක්, එනම් නිර්ධන පන්තිය, අතට නොගෙන” එය නතර කල නොහැකි යයි ඔහු පැවසීය.

එබැවින් යුද්ධයට එරෙහි සටන තියුනුම ආකාරයෙන් මතු කරන්නේ, මෙම ඓතිහාසික යුගය පිලිබඳ අති මූලික දේශපාලන ගැටලුවයි: විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීමයි. ඉහලම මට්ටමක පවතින ධනවාදයේ අර්බුදය හා කම්කරු පන්තියේ ආත්මීය සවිඥානකත්වය අතර ප‍්‍රතිවිරෝධය කවර කලෙකවත් මේසා ප‍්‍රගාඪ නොවීය. එහෙත් දේශපාලන විඥානයේ වේගවත් හා දැවැන්ත අවේෂයක් සම්පාදනය කරනු ඇත්තේ ද මෙම ප‍්‍රතිවිරෝධයමයි.

ධනවාදය ආගාධයට ලූහුටා යද්දී, ලෝකයේ අස්සක් මුල්ලක් නෑර (බිලියන සංඛාත මානවයාගේ) කම්කරු පන්තියේ දේශපාලන රැඩිකලීකරනය සඳහා ද එය කොන්දේසි නිර්මානය කරයි. සමාජ විඥානය සමාජ පැවැත්ම පිටුපසින් ගාටන බව සැබෑවකි. එහෙත් ඉන් අදහස් කෙරෙන්නේ, පවතින සමාජ ක‍්‍රමය පිලිබඳව කම්කරු පන්තිය අන්ධව සිටින බව නොවේ. එය ජනතාවට කිසිවක් පිලිගන්වන්නේ නැත. අන් සියල්ලටත් වඩා යහපත් අනාගතයක් පිලිබඳ බලාපොරොත්තුව. ප‍්‍රගමනය පිලිබඳ අදහස ධනේශ්වර චින්තනයෙන් ගිලිහී යමින් තිබේ. අදට වඩා තවත් වසර විස්සකින් මේ ග‍්‍රහලෝකය මත ජීවන කොන්දේසි යහපත් වනු ඇතැයි අනාවැකි පලකිරීමක් තවමත් කිසිවෙකුට අසන්නට ලැබෙන්නේ ද? ඉදිරි පනස් වසර තුල තමන් වඩාත්ම වියහැකි දේ ලෙස සලකන්නේ කුමක් ද යන්න, එනම් දුප්පත්කම තුරන් කිරීම හෝ මිලිටරි හා/පාරිසරික ව්‍යසනයකින් ග‍්‍රහ ලෝකය විනාශ වනු ඇත් ද යන්න පිලිබඳව සියල්ලන්ගෙන් විමසන ගෝලීය ජනමත විමසුමක් පැවැත්වුවහොත්, අති මහත් බහුතරයක් කුමන පිලිතුරක් දෙනු ඇත් ද යන්න ගැන කිසිදු ප‍්‍රශ්නයක් තිබිය හැකි ද?

ඔව් කම්කරු පන්තියේ දේශපාලන නායකත්වය පිලිබඳ අර්බුදයක් තිබේ. එහෙත් එය විසඳිය හැකි අර්බුදයකි. මක්නිසා ද යත්, සමාජය සමාජවාදී ලෙස ප‍්‍රතිනිර්මානය කිරීම සඳහා වෛෂයිකව පවත්නා ශක්‍යතාව ගැබ්කරගන්නා විප්ලවවාදී බලවේගය කම්කරු පන්තිය වන නිසාය.

1938දී සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරය පිහිටුවන කල ට්‍රොට්ස්කි විසින් මතුකරන ලද ඓතිහාසික කර්තව්‍යාය පෙරට ගෙන යාමට ජාත්‍යන්තර කමිටුව සටන් කරන පදනම වන්නේ මෙයයි.

මෙම ලෝක පක්ෂය ගොඩනැගීමේදී ජාත්‍යන්තර කමිටුව හමුවේ ඇති යෝධ අභියෝගයන් අපි අඩු තක්සේරු නොකරන්නෙමු. එහෙත් අන් කිසිදු පක්ෂයක් මෙම කර්තව්‍යය භාරගන්නේ නැත. එක්කෝ තමන් කම්කරු පන්තියේ අවශ්‍යතා නියෝජනය කරනවා හෝ විප්ලවවාදී ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් පෙනී සිටිනවා යයි කිසියම් හෝ බැරෑරුම් කමකින් පැවසිය හැකි තවත් සංවිධානයක් ලෝකයේ ඇත්තේ නැත.

අප පාවිච්චි කරන ”ව්‍යාජ වම” යන යෙදුම, කට්ටිවාදී ලෙස අභිප්‍රේරිත අතිශයෝක්තියක් නොවේ. එය වනාහි, මාක්ස්වාදය, ට්‍රොට්ස්කිවාදය හෝ සමාජවාදය සඳහා විප්ලවවාදී අරගලය සමග මෙලොව සම්බන්ධයක් නැති වරප‍්‍රසාදිත මධ්‍යම පන්තියේ සංවිධාන පිලිබඳ නිවැරදි අර්ථකථනයකි. ජාත්‍යන්තර කමිටුව සිප්රාස්, ඉග්ලේසියාස්, මෙලොන්කොන් හෝ සෑන්ඩර්ස් වැනි ජාතිකවාදී කයිවාරුකාරයන් පිටුපස යන්නේ නැත. එවන් චරිත සමග ඇඟෑලූම්කම් ඇති නැත්නම් ඔවුන් විසින් මෙහෙයවනු ලබන දේශපාලන සංවිධාන, “පතුලෙන් පතුලටම කුනුවූ” යන ට්‍රොට්ස්කිගේ වැකිය නයට ගෙන ඇත.

එවන් නින්දිත තත්වයක ගිලී නොයන ජාත්‍යන්තර කමිටුවට හා එහි ශාඛාවන්ට, රුසියානු විප්ලවයේ මෙම ශත සංවත්සර වසර තුල අනාගතය දෙස විශ්වාසයෙන් යුතුව බැලීමේ සෑම අයිතියක්ම ඇත. ජාත්‍යන්තර කමිටුවේ හඬ වන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ආනුභාවය වේගයෙන් ඉහල යමින් තිබේ. අපගේ පාඨක සංඛ්‍යාව වැඩිවෙද්දී, අපගේ සංවිධානවල ප‍්‍රමානය ද පුලූල් වනු ඇත. කම්කරු පන්තියේ ගෝලීය රැඩිකලීකරනය ජාත්‍යන්තර කමිටුවේ නව ශාඛා පිහිටුවීමට කොන්දේසි නිර්මානය කරන බව අපට විශ්වාසය. ලෝකයේ බොහෝ ප‍්‍රදේශවල සිටින අපගේ ශ‍්‍රාවකයින්, මෙම තීරනාත්මක මූලිකත්වය ගනිමින්, තමන් ජීවත්වන රටවල නව ශාඛා ගොඩනැගීමට මුල්වන අය අතර වනු ඇති බව අපේ අපේක්ෂාවයි.

සියක් වසරකට පෙර පෙට්‍රොග‍්‍රෑඩය කරා යලි පැමිනෙමින් ලෙනින් මෙසේ ලිවීය: “අප යන්නේ ලෝකය යලි ගොඩනැගීමටයි,” එයයි හරියටම බොල්ශෙවිකයින් විසින් ඉටු කරනු ලැබුවේ. සමාජවාදී පදනම් මත ලෝකය යලි ගොඩනැගීම හතරවන ජාත්‍යන්තරයේ අරමුනයි. එය වනාහි දුගී භාවයෙන් තොර, දේශපාලන පරිපීඩනයෙන් හා යුද්ධයෙන් තොර ලෝකයකි. ලෝකයේ සෑම කොනකින්ම මේ රැලියට සම්බන්ධවන සියල්ලන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මේ සටනට අප හා එක්වන ලෙසයි.

ඩේවිඩ් නෝර්ත්

Share this article: