නිදහස් අධ්‍යාපනය රැකීමට හා පුද්ගලීකරනයට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙලට සටන් කරනු!

සමාජවාදී සමානතා පක්ෂයේ හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ප‍්‍රකාශයකි, 2017 මැයි 4

හෙට දින (සිකුරාදා), නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට හා පුද්ගලීකරනයට එරෙහිව සංකේත වර්ජනයකට සහ විරෝධතාවයන්ට එලැඹීමට නියමිත කම්කරුවෝ, වෛද්‍යවරු සහ ශිෂ්‍යයෝ තීරනාත්මක දේශපාලන ප‍්‍රශ්නවලට මුහුන දෙති. මෙම ප‍්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරන ලෙස අරගලයට පිවිසෙන සියලු දෙනාගෙන් සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය ඉල්ලා සිටී.

අරගලයට එලැඹෙන මෙම කොටස් තම අයිතීන් රැක ගැනීමේ අව්‍යාජ උවමනාවෙන් සිටින බව නිසැක ය. ඔවුන් මුහන දෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය ප‍්‍රාග්ධනයේ ද එහි ඒජන්ත මෙරට ධනපති මහා ව්‍යාපාරිකයන්ගේ ද උවමනාව මත එම අයිතීන් පාගා දැමීමට අධිශ්ඨාන ශීලීව සිටින සිරිසේන වික‍්‍රමසිංහ ආන්ඩුවට යි. කම්කරුවන් වෛද්‍යවරුන් සහ සිසුන් තම අයිතීන් සඳහා කරන මොනම අරගලයක් වත් ඉවසීමට නුසූදානම් බවට තර්ජනය කර ඇති ආන්ඩුව ඒවා පොලිස් රාජ්‍ය පියවර උසිගන්වා තලා දැමීමට සූදානම් වෙයි. ජනධිපති මෛතී‍්‍රපාල සිරිසේන “රට විනයගත කිරීම සඳහා” භාර ගන්නා ලෙස ඇමති හා හිටපු හමුදාපති ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට මෑතක දී කල යෝජනාවේ තේරුම එයයි.

ආන්ඩුවේ ප‍්‍රහාරය පරාජය කිරීමේ දේශපාලන අරගලයකින් තොරව කම්කරුවන්ට දුගීන්ට හෝ වෛද්‍යවරුන් හා අවශේෂ වෘත්තිකයන්ට තම අයිතීන් දිනා ගැනීමට හෝ රැක ගැනීමට නොහැකි වෛෂයික කොන්දේසි නිර්මානය වී ඇත. සිකුරාදා විරෝධතාව කැඳවන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (රවෛනිස), අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) හා වෘත්තීය සමිති, කම්කරුවන් හා සිසුන් මෙම තර්ජනයන්ට එරෙහිව සටන් කිරීමේ අරගලයෙන් පීලිපන්වා දේශපාලනිකව නිරායුධ කර ධනපති පන්ති පාලනය රැකීමට කි‍්‍රයා කරති.

රවෛනිස, අවිශිබම සහ අනෙකුත් වෘත්තීය සමිති ඉල්ලීම් තුනක් ඉදිරිපත් කර ඇත. ඒවා නම් සයිටම් ආයතනය ජනසතු කිරීම, ජාතික ප‍්‍රතිපත්ති සම්පාදනයකින් තොරව එට්කා ගිවිසුම වැනි අන්තර්ජාතික වෙලඳ ගිවිසුම් මගින් රැකියා වෙලඳපොල අනතුරේ නොහෙලීමට කටයුතු කිරීම සහ විශ‍්‍රාම වැටුප් කප්පාදුව සහ රාජ්‍ය ආයතන පුද්ගලීකරනය නැවැත්වීම යි. ආන්ඩුවට බලපෑම් දමා නම්මා ගැනීමේ නිස්සාර වැඩපිලිවෙල හා එට්කාවට එරෙහිව යයි ඉදිරිපත් කර ඇති ප‍්‍රතිගාමී ඉල්ලීම අරගලයට එලඹෙන කම්කරුවන්, සිසුන් හා වෛද්‍යවරුන් විසින් ප‍්‍රතික්ෂේප කල යුතුය. කම්කරු පන්තියේ ස්වාධීන කි‍්‍රයා මාර්ගය වන සමාජවාදී වැඩපිලිවෙල කි‍්‍රයාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කරන ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලමු.

පසුගිය අවුරුදු දෙකකටත් වැඩි කලක් තිස්සේ රවෛනිස සහ අවිශිබම, සයිටම් ආන්ඩුවට ගන්නා ලෙස හෝ වසා දමන ලෙස බල කරමින් උද්ඝෝෂනය කලහ. කලින් ජනාධිපති රාජපක්ෂගේ පාලනය මෙන්ම වත්මන් සිරිසේන වික‍්‍රමසිංහ ආන්ඩුව එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරයි. රවෛනිස හා අවිශිබම මෙම ආන්ඩුවලට සයිටම් නතර කරන ලෙස ඒත්තු ගැන්වීමට අසමත් වූයේ කුමක් නිසා දැයි තමන් අරගලවලට කැඳවූ වෛද්‍යවරුන්ට සහ සිසුන්ට කිසිදාක පැහැදිලි කර නැත. මෙම ආන්ඩු එම ඉල්ලීමට කන් නුදුන්නේ ඒවායේ ප‍්‍රතිපත්ති ධනපති පන්තියේ උවමනාකම් උඩ තීන්දු වී ඇති නිසා ය.

සයිටම් යනු අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීමත් සීමිත රාජ්‍ය අධ්‍යාපනය ක‍්‍රමයෙන් කප්පාදු කිරීමත් සමග හතු පිපෙන්නාක් මෙන් මතු වූ පෞද්ගලික අධ්‍යාපන ආයතනවලින් එකක් පමනකි. රාජ්‍ය අධ්‍යාපනය කප්පාදු කරන තතු යටතේ සයිටම් “ජනසතු කිරීමෙන්” අධ්‍යාපන අයිතිය රැකෙන්නේ නැත. එමෙන් ම රාජ්‍ය ආයතන පුද්ගලීකරනය සහ විශ‍්‍රාම වැටුප් කප්පාදුව, දශක කීපයකට පෙර පටන් ගෙන දැන් උත්සන්න කර ඇත්තේ ධනවාදයේ අර්බුදය උත්සන්න වී ඇති කොන්දේසි තුලය. රජයේ අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය ඇතුලු සමාජ අයිතීන් කපා හැරීම, හා රාජ්‍ය ආයතන පුද්ගලීකරනය එකම උවමනාවකින් මතුවී ඇත. එනම්, ඒවා ලාභ ගරන උල්පත් බවට පත් කිරීමයි. විශ‍්‍රාම වැටුප් හා සේවා කොන්දේසි කපා තාවකාලික කොන්ත‍්‍රාත් පදනම මත සූරාකෑම තහවුරු කර ගැනීමට මෙම ආන්ඩු ගෙනයන වැඩපිලිවෙල එම උවමනාවෙන්ම ගලා එයි.

සමිතිවල අනෙක් ඉල්ලීම වන්නේ එට්කා පිලිබඳවයි. එට්කා, ඉන්දියාවේ හා ලංකාවේ ධනපති පන්ති ඒකාබද්ධව දෙරටේ කම්කරුවන් සූරා කෑම සඳහා ගෙන යන වැඩපිලිවෙලක කොටසකි. ජාත්‍යන්තර ආයෝජනවලට පාවඩ දැමීමේ වැඩ පිලිවෙලක් ලෙස මෙම ගිවිසුම ඇති කර ගැනීම දිරි ගන්වා ඇත්තේ ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසිනි. දෙරටේම ධනපති පන්ති සූරා කෑම ඉහල දැමීම සඳහා කොන්ත‍්‍රාත් කම්කරු ක‍්‍රමය තහවුරු කරමින් සිටී. දෙරටේ ධනපති ආන්ඩුවල වැඩපිලිවෙල පරාජය කල හැක්කේ ලංකාවේ සහ ඉන්දියාවේ කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් මගින් පමනකි.

එට්කා පිලිබඳව වෘත්තීය සමිතිවල ඉල්ලීම තරයේ ම ප‍්‍රතිගාමීය. මන්ද යත්, එය ලංකාවේ සහ ඉන්දියාවේ කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් වර්ධනය කිරීමට එරෙහි ඉන්දියානු විරෝධී වර්ගවාදී උද්ඝෝෂනයක් වන බැවිනි. මෙම ඉල්ලීම මුලුමනින්ම ප‍්‍රතික්ෂේප කලයුතුය.

අවුරුදු කීපයක් තිස්සේ ආන්ඩුවලට බලපෑම් දැමීමේ නිස්සාර උද්ඝෝෂනවලින් පසුව රවෛනිස සහ අවිශිබම තවත් වෘත්තීය සමිති සමග එක්ව උද්ඝෝෂනය පලල් කිරීමට යෝජනා කර ඇත. ලබන සතියේ දිනක සිට ඔවුන් අඛන්ඩ වර්ජනයක් කැඳවන බව මෙම සමිති ප‍්‍රකාශ කර ඇත. කම්කරුවන්ට ඒකාබද්ධව තම අයිතීන් සඳහා සටන තීව‍්‍ර කිරීමේ උවමනාව ඇත. එහෙත් මෙම සංවිධාන උද්ඝෝෂන පලල් කිරීමට යෝජනා කරන්නේ විශාල බලපෑමකින් ආන්ඩුව නම්මා ගත හැකිය යන මිත්‍යාව වගා කරමිනි. මෙය වනාහි, වැඩ කරන ජනතාව හිර කරන තවත් උගුලකි.

බලපෑම් දැමීම යෝධ මට්ටම්වලට නැග්ගීමෙන් ධනපති පන්තියේ ප‍්‍රතිපත්ති ආපසු හැරවිය නොහැක. එහි වත්මන් ප‍්‍රතිපත්ති තීන්දු වී ඇත්තේ ලෝක ධනවාදයේ අර්බුදයෙනි. දියුනු ධනපති ඇමරිකාව, යුරෝපය හා ජපානය බඳු රටවල පටන් අඩු දියුනු ඉන්දියාව, ලංකාව දක්වා රටවල්වල ආන්ඩු සමාජ අයිතීන් හා ජීවන කොන්දේසි අතුගා දැමීමට කි‍්‍රයාකරන්නේ ඒ නිසා ය. එපමනක් නොව ඇමරිකාව ප‍්‍රමුඛව අධිරාජ්‍යවාදී රටවල් ලෝකය මත්තේ අධිකාරය පිහිටුවා ගැනීම සඳහා කාකොටා ගැනීමකට හැරෙමින් හා මිලිටරිවාදී වැඩපිලිවෙලක යෙදෙමින් තුන්වන න්‍යෂ්ටික ලෝක යුද්ධයක් තුලට ලෝකය තල්ලු කරති. සෑම රටකම ධනපති පන්ති මේ ප‍්‍රහාර කි‍්‍රයාවට දැමීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් පාගා ආඥාදායක පාලනයන් ඇටවීමට හැරී සිටිති.

ඕනෑම රටක වැඩකරන ජනතාවට තමන්ගේ අයිතීන් රැක ගැනීම සඳහා ද, ආඥාදායක පාලනය හා යුද සැලසුම් පරාජය කිරීම සඳහා ද ඇත්තේ එකම වැඩ පිලිවෙලකි. ගුනාත්මක අධ්‍යාපනයක් හා සෞඛ්‍ය සේවයක්, සුබසාධන සේවා මෙන්ම රැකියා හා ජීවන කොන්දේසි රැකගැනීම හා වැඩිදියුනු කර ගැනීම සඳහා නම් ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ ඒජන්ත සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිවත් ලාභ ගරන ධනපති අතලොස්සට එරෙහිවත්, සමාජයේ බහුතරයේ අවශ්‍යතා සඳහා ආර්ථිකය සමාජවාදී ලෙස ප‍්‍රති සංවිධානය කිරීමයි.

ධනපති ක‍්‍රමයට ද රාජ්‍යයට ද ගැටගැසී සිටින වෘත්තීය සමිති හා ශිෂ්‍ය සංවිධාන එම වැඩපිලිවෙලට විරුද්ධ ය. ඒවා පසුගිය ධනපති ආන්ඩු බලයට ගෙන ඒමට කැපවූවා සේම වත්මන් ඇමරිකානු ගැති ආන්ඩුව බලයට ගෙන ඒමට නොයෙකුත් ආකාරයෙන් දරදිය ඇද්දාහ. හෙට වර්ජනයට සම්බන්ධ වන බව සඳහන් ජනතා විමුක්ති පෙරමුන හා ඊට සම්බන්ධ සමිති, පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා අවිශිබම මෙහෙයවන එවන් සංවිධාන දෙකකි. රවෛනිස රාජපක්ෂ ආන්ඩුවට පක්ෂපාත වී සිට දැන් රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂයට බැල්ම හෙලාගෙන සිටී.

සසප හා සසජාතශි කම්කරුවන්ගෙන් සිසුන්ගෙන් හා වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම විලංගු බිඳ තම අයිතීන් සඳහා සටන් කිරීමට කි‍්‍රයාකාරී කමිටු වැඩ පොලවල හා ආයතන තුල ගොඩ නගා ගන්නා ලෙසයි. එමගින් සමාජවාදී වැඩපිලිවෙලට හා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලයට සුදානම් වන ලෙසයි.

මෙම වැඩපිලිවෙල ඉදිරිපත් කරන සසපට හා සසජාතශි සංවිධානයට බැඳී විප්ලවවාදී නායකත්වය ගොඩ නැගීමට එක් වන්න.

Share this article: