සසපට හා සසජාතශිට එරෙහි යාපනය ශිෂ්‍ය සංගම් නායකත්වයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවන්ට එරෙහි වනු !

සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ නිකුත් කල ප‍්‍රකාශයකි, 2017 මැයි 10

යාපනය සරසවිය තුල සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා එහි තරුන අංශය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරයේ දේශපාලන මැදිහත්වීම් වැලැක්වීමට යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නායකත්වය විසින් ගෙන යන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවන්ට එරෙහි වන ලෙස සියලුම සරසවි ශිෂ්‍යයන්ගෙන්, ආචාර්වරුන්ගෙන් හා කම්කරුවන්ගෙන් අපි ඉල්ලමු.

යාපනය සරසවි ශිෂ්‍ය සංගම් නායකත්වයේ එම බාධා කිරීම්වල මෑත ම සිද්ධිය නම්, බොරු නඩු අටවා ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට ගොදුරු කර ඇති ඉන්දියාවේ හර්යානා ප‍්‍රාන්තයේ මරුති සුසුකි කම්හලේ කම්කරුවන් දහතුන් දෙනා කොන්දේසි විරහිතව වහා නිදහස් කරන ලෙස ගෙන යන ජාත්‍යන්තර උද්ඝෝෂනයට යාපනය සරසවියේ සිසුන්ගේ, ආචාර්යවරුන්ගේ සහ සේවකයන්ගේ සහාය දිනා ගැනීමට සසප හා සසජාතශි මැදිහත්වීම නතර කිරීමට කි‍්‍රයා කිරීමයි.

අපේ‍්‍රල් 25 දා සරසවිය තුල කෙරුනු මැදිහත්වීමට සිසුන් හා ආචාර්යවරුන්ගේ උනන්දු සහගත ප‍්‍රතිචාරයක් අප දිනා ගනිමින් සිටින අතර ශිෂ්‍ය සංගමයේ සභාපති වන නවරත්නම් අනුජන් තවත් සිසුන් කීපදෙනෙකු සමග පැමින “පාලනාධිකාරියේ අවසරයකින් තොරව සරසවිය තුල කිසිදු දේශපාලන උද්ඝෝෂනයකට අවසර දිය නොහැකියි” පවසමින් අප සංවිධානවල සාමාජිකයන්ට තර්ජනය කලේය. සරසවි තුල දේශපාලන වැඩකටයුතුවල යෙදීමට සසපට හා සසජාතශිට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් ඇතයි ප‍්‍රකාශ කල විට අනුජන් ප‍්‍රමුඛ කන්ඩායම කලේ සරසවියේ ආරක්ෂක අංශ මෙහෙයවා අප සාමාජිකයන් සරසවියෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමයි.

මීට පෙර, පසුගිය දෙසැම්බර් මාසයේ “අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය හා දෙමල ජාතිකවාදය” යන තේමාව යටතේ පැවති රැස්වීමක් සඳහා අප කල උද්ඝෝෂනයට එරෙහිව ද අනුජන් ප‍්‍රමුඛ ශිෂ්‍ය සංගම් නායකත්වය මෙවැනිම කඩාකප්පල් කිරීමක නිරත විය.

ඔවුන් මෙම කටයුතු වල නිරතව සිටින්නේ, උතුරේ ද දකුනේ ද ශිෂ්‍යයන් අධ්‍යාපන කප්පාදුවට එරෙහිව කරන අරගලය මැඩීමට සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව පොලිස් බලය යොදන තත්වයක ය. උතුර වාඩිලාගෙන සිටින හමුදාව, යාපනය සරසවි සිසුන් සුවිශේෂවම මර්දනයකට ඉලක්ක කර ඇත.

ශිෂ්‍ය සංගම් නායකයින්ගේ මෙම මැදිහත් වීම්, තමන් කැමති දේශපාලන අදහසක් දැරීම හා එම අදහස් සඳහා කම්කරුවන් තරුනයන් දිනා ගැනීමට සසපට පවත්නා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි ප‍්‍රහාරයකි. එපමනක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාකච්ඡාවකින් ලෝකයේ වැදගත් සංසිද්ධීන් පිලිබඳ විශ්ලේෂන හැදෑරීමට මෙන්ම තමන් මුහුන දී තිබෙන දැවෙන ප‍්‍රජාතන්තී‍්‍රය හා සමාජ ප‍්‍රශ්නවලට විසඳුම් කි‍්‍රයාමාර්ගයක් සොයන අතිශය බහුතරයක් ශිෂ්‍යයන්ගේ සහ කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට ද එරෙහිව වැට බැඳීමකි.

අනුජන් ඇතුලු ශිෂ්‍ය සංගම් නායකත්වය එවන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මවලට මුලුමනින්ම හතුරු දේශපාලන භාවිතාවක යෙදී සිටී. “විශ්වවිද්‍යාල පරිපාලනයේ අනුමැතිය” පිලිබඳව අනුජන් කරන ප‍්‍රකාශ තුලින් එය හෙලිදරව් වෙයි. “සරසවි පරිපාලනයට අවනත දේශපාලනය වන්නේ,” ලංකාවේ කොලඹ පාලනයට ද ඊට බැඳී ඇති උතුරු නැගෙනහිර පලාත් සභාව භාරව සිටින දෙමල ධනපතියන්ගේ පක්ෂය වන දෙමල ජාතික සංධානයේ (ටීඑන්ඒ) දේශපාලනයට ද අනුව කි‍්‍රයා කිරීමයි.

ටීඑන්ඒ ප‍්‍රමුඛ උතුරේ පක්ෂ දැන් ලංකාවේ වත්මන් ඇමරිකන් ගැති සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට මුක්කුව දෙමින් දෙමල ධනපති පන්තියේ වරප‍්‍රරසාද තහවුරු කර ගැනීමට අතිශය ජාතිකවාදී හා අවස්ථාවාදී දේශපාලනයක නිරතව සිටී. මෙම පක්ෂ ඒ සඳහා කොලඹ ආන්ඩුව, ඉන්දියාවේ ධනපති පාලකයන් හා අධිරාජ්‍යවාදී බලයන් විශේෂයෙන් ඇමරිකාව වෙතට හැරී ආයාචනා කරති; ඔවුන්ට අයාචනා කිරීමෙන් තම අයිතීන් ලබා ගත හැකියයි මහජනයා රැවටීමේ යෙදී සිටිති. යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ නායකයන් ටීඑන්ඒ හා අනෙකුත් පක්ෂවල මෙම දේශපාලනයට සහාය දෙමින් සරසවිය තුල ඊට බාධා සිදු වීම වැලැක්වීමට ක‍්‍රියා කරයි.

සරසවි ආරක්ෂක අංශවල සහාය හැර සසප ට හා සසජාතශිට එරෙහිව සිසුන් මෙහෙය වීමට ශිෂ්‍ය සංගම් නායකත්වයට නො හැකිවිය. ඉන්පෙන්නුම් කරන්නේ බහුතරයක් ශිෂ්‍යයන් හා මෙම නායකකත්වයෙන් දුරස්ථ වන්නට පටන් ගෙන ඇති බවයි. ශිෂ්‍ය සංගම් නායකත්වයේ සිටින මෙම නායකයෝ ශිෂ්‍යයන්ගේ සියලු කටයුතු පාලනය කිරීමේ පොලිස්කාරකම අතට ගැනීමට උත්සාහ කරති.

කිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදයකින් තොරව ශිෂ්‍යයන්ගේ නායකත්වයට පැන ගෙන සිටින දකුනේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) අන්ඩක් වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) හා තවත් එවන් ශිෂ්‍ය සංගම් “ශිෂ්‍ය දේශපාලනය” නම් කඩතුරාව යටතේ දකුනේ සරසවි තුල සසජාතශි දේශපාලන මැදිහත්වීම් නතර කිරීමට කරන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මැදිහත්වීම් සමග යාපනය ශිෂ්‍ය සංගම් නායකත්වයේ මැදිහත්වීම සමපාත වෙයි.

මෙම සංගම් ලංකාවේත් ලෝක ධනේශ්වර ක‍්‍රමයේත් අර්බූදය වසන් කරමින් ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමේ විරෝධතා දේශපාලනය මගින් අධ්‍යාපනය හා සෞඛ්‍ය වැනි අයිතීන් දිනාගත හැකි ය යන මිථ්‍යාව සිසුන්ට ගිල්වයි. අවිශිබමය ආන්ඩුවට බලපෑම් දැමීමේ නමින් දැන් හිටපු ජනාධිපති රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය හා වර්ගවාදී කන්ඩායම් සමග පෙරමුනක් ගසා ඇත.

පසුගිය ඔක්තෝබර් මාසයේ පොලිස් වෙඩි තැබීමකින් යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙක් ඝාතනයට ලක් කෙරුනු අවස්ථාවේ දී එය උතුරු-නැගෙනහිර හමුදා පාලනයේ ප‍්‍රතිඵලයක් ය යන්න පෙන්වා දුන් අත් පත‍්‍රිකා බෙදා හරිමින් සසප හා සසජාතශි කල උද්ඝෝෂනයක් වැලැක්වීමට ද සිසු සංගම් නායකත්වය කි‍්‍රයා කලේ ය. එම “වෙඩි තැබීම පොලීසියේ වරදක් මිස ආන්ඩුවේ වරදක් නොවේ” යයි ඔවුහු කීහ.

මරුති සුසුකි උද්ඝෝෂනයට සහාය පල කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමග අදහස් දැක් වූ ශිෂ්‍යයන් ප‍්‍රකාශ කලේ තමන් ඉන්දීය ආන්ඩුවේ හා අධිකරනයේ ප‍්‍රහාරයට විරුද්ධ බවත් එවන් සිද්ධීන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් සරසවිය තුල ගෙන යෑමට කැමැත්තෙන් පසු වන බවත් ය. එසේම සරසවිය තුල කෙරෙන සියලුම සාකච්ඡා ශිෂ්‍ය සංගමයේ අනුමැතිය හරහා සිදු විය යුතු යයි කියන සංගමයේ පිලිවෙතට තමන් විරුද්ධ වන බවද ඇතැම් සිසුවෝ පැවසූහ.

මරුති සුසුකි කම්කරුවන්ට එරෙහි ප‍්‍රහාරය ලොව පුරා පාලක පන්තීන් කම්කරුවන්ට තරුනයන්ට ගෙන යන ප‍්‍රහාරවලින් රුදුරුම එකක් පමනි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් ෆැසිස්ට් පන්නයේ නායකයෙක් වන ඩොනල්ඩ් ට‍්‍රම්ප් පෙරට දමා ගෙන රුසියාව, චීනය වැනි රාජ්‍යයන් සමග ලෝක යුද්ධයකට කර අදිමින් සමස්ථ මානව වර්ගයා ඊට ගොදුරු කිරීමට වේගයෙන් ගමන් කරමින් සිටී. චීනයට එරෙහි කලාපයේ භූ-දේශපාලන මැදිහත්වීම් සඳහා ඇමරිකාව ඉන්දියාව තම තුරුලට ගැනීම කලාපයේ න්‍යෂ්ටික අවි සහිත ඉන්දියාව-පකිස්ථානය අතර මහා පරිමාන යුද්ධයක අන්තරාය අවුලුවා තිබේ.

ඇමරිකාව, යුරෝපීය බලයන් හා ඉන්දියාව ද ලංකාවේ පසුගිය හා වත්මන් ආන්ඩුවේ ප‍්‍රබලයින් ද වගකිව යුතු එල්ටීටීඊයට එරෙහි යුද්ධය තුලදී සිවිල් වැසියන් දහස් ගනනින් ඝාතනය කරමින් සිදුකෙරුනු යුද අපරාධ සම්බන්ධව පරීක්ෂනය කුනු කූඩයට දමා තිබේ. මැද පෙරදිග කලාපයේ පමනක් ගත හොත් නිමක් නැති මනුෂ්‍ය ඝාතනවලට හා මිලියන ගනනක් සරනාගතයින් කිරීමට වගකිව යුතු ඇමරිකාවෙන් හා දහස් ගනන් මුස්ලිම් ජනයාගේ ඝාතනවලට හා කාෂ්මීරය ඇතුලු රට තුල සුලු ජාතික කොටස්වලට එරෙහිව අඛන්ඩ මර්දනය දිගේලි කොට තිබෙන මෝදි වැනි ධනපති නායකන්ගෙන් දෙමල ජනතාවට සාධාරනයක් හෝ සහනයන් දිනා ගත හැකි යයි ටීඑන්ඒ ඇතුලු දෙමල ධනපති පක්ෂය කියා සිටී. ශිෂ්‍ය සංගමයේ නායකයන් ද හැරී සිටින්නේ මෙම ධනපති නායකයන් වෙත ය.

යුද්ධය තුල අතුරුදහන් වූ සිය ඥාතීන් ගැන තොරතුරු එලිදරව් කිරීම හා හමුදාව සහ ආන්ඩුව විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින මහජනතාවගේ ඉඩම් නිදහස් කිරීම සඳහා පසුගිය මාසයේ 27 දා පැවති හර්තාලය සඳහා උතුරු නැගෙනහිර දෙමල-මුස්ලිම් ජනයා දහස් ගනනින් සම්බන්ධ වී ගත්තේ ය.

ආන්ඩුවේ ඊනියා ජාතීන් අතර සංහිඳියාවට යටින් රටපුරා විශේෂයෙන් උතුරු නැගෙනහිර, ආන්ඩුවේම සහාය ලත් සිංහල වර්ගවාදී නඩ හා මිලිටරියේ කොටස් වාර්ගික ප‍්‍රකෝපකරනයන් අවුස්සා තිබේ. පසුගිය අගෝස්තු මාසයේ සිංහල හා දෙමල ශිෂ්‍යන් අතර ඇති කල ගැටුම එවන් ප‍්‍රකෝපකිරීම්වල ප‍්‍රතිඵලයකි. වසර තිහක යුද්ධයෙන් පසු ද උතුරු නැගෙනහිර තවමත් පවතින්නේ හමුදා වාඩිලා ගැනීමක් හා එහි අධිකාරිය පවත්නා පාලනයකි.

රට පුරාම කොලඹ පාලනය යටතේ අඛන්ඩව ක‍්‍රියාත්මක කෙරෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි යටතේ රට පුරා අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුලු සුභසාධන කප්පාදුව වේගවත් කොට ඇත.

සරසවි තුල සිසුහු අධ්‍යාපන අයිතීන් කප්පාදුවක්ට එරෙහි විරෝධතා දියත් කර ඇත. යාපනය හා නැගෙනහිර සරසවි තුල දේශන ශාලා, කලාගාර, නේවාසිකාගාර, කී‍්‍රඩාගාර හා ආචාර්වරුන් ඇතුලු භෞතික පහසුකම්වල දරුනු හිඟය මෙහි කොටසකි. මේ ප‍්‍රශ්න හා සිසු ඝාතනය ඇතුලු ප‍්‍රශ්න විසඳ ගැනීමට යැයි ශිෂ්‍ය සංගමයේ නායකයන් නිරර්ථක සාකච්ඡාවල යෙදුනේ එම ප‍්‍රහාරවලට වග කිවයුතු ජනාධිපති සිරිසේන හා අගමැති වික‍්‍රමසිංහ සමග ය.

සිංහල දෙමල කම්කරු පන්තියේ හා තරුනයන්ගේ ඒකාබද්ධ අරගලයක් වර්ධනය කිරීම අත්‍යවශ්‍ය වී ඇත්තේ මේ තත්වය තුලය. සසප හා සසජාතශි උතුරේත් දකුනේත් නිරතව සිටින්නේ එම අරගලය වර්ධය කිරීමේ භාරදුර හා අත්‍යාවශය කාර්යයෙහිය. දෙමල ජනයාගේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් තහවුරු කිරීම මෙම අරගලය හා බැඳී ඇත. එය කල හැකි වන්නේ අධිරාජ්‍යවාදයට, කොලඹ ආන්ඩුවට සහ සිංහල දෙමල මුස්ලිම් ධනපති පන්තියට එරහිව සමාජවාදී ඉදිරිදර්ශනය සඳහා සටන් කරමින් එය ක‍්‍රියාත්මක කිරීම සඳහා ශ‍්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් බලයට ගෙන ඒමෙනි. එම අරගලය ඉන්දියාව අතුලු දකුනු ආසියාව තුල ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයක කොටසකි. අධිරාජයවාදී යුද්ධයක් නතර කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ හා තරුනයන්ගේ සමාජවාදී ව්‍යාපාරයක් සඳහා අපි සටන් කරමු.

සසප හා සසජාතශි, සිංහල දෙමල කම්කරු පන්තිය භේද කිරීම සඳහා කොලඹ ධනපති ආන්ඩු දියත් කල වර්ගවාදී යුද්ධයට එරෙහිව ද උතුරෙන් හා නැගෙනහිරින් මිලිටරිය ඉවත් කල යුතු යයි උද්ඝෝෂනය කරමින් මෙම සමාජවාදී වැඩ පිලිවෙලට සටන් කලේය. මරුටි සුසුකි කම්කරුවන් මර්දනයට එරෙහි අරගලය කලාපයේ වැඩ කරන ජනතාව එකමුතු කිරීමේ අරගලයේ කොටසකි.

යාපනය සරසවි සිසුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ සසප හා සසජාතශිට විරුද්ධව ශිෂ්‍ය සංගමය ගෙන යන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවන්ට තම විරුද්ධත්වය පල කරන ලෙසයි. එමෙන්ම තමන්ට ස්වාධීනව ශිෂ්‍ය සංගම් තනා ගැනීමට, අදහස් ප‍්‍රකාශ කිරීමට හා තමන් කැමති දේශපාලනයක් කිරීමට සංවිධානය වන ලෙස අපි සිසුන්ගෙන් ඉල්ලමු. අධිරාජ්‍යවාදී බලයන් වෙත හැරීමේ දෙමල ධනපති පක්ෂවල කි‍්‍රයාමාර්ගයට හා ඊට සහාය දෙන ශිෂ්‍ය සංගම් නායකත්වයේ වැඩ පිලිවෙලට එරෙහිව සිසුන් හැරිය යුත්තේ කම්කරු පන්තිය හා සමාජවාදී විප්ලවවාදී දේශපාලනයට යි.

මේ අරගලය ගෙන යාමට සසජාතශි ශාඛා යාපනය ඇතුලු සරසවි තුල ගොඩ නැගීමට එක් වන්න.

Share this article: