ඉන්දීය අගමැති පිලිගැනීමට ලංකාවේ වතු වෘත්තීය සමිති බලු පොරයක යෙදෙයි

2017 මැයි 12

වතු කම්කරුවන් බහුලව ජීවත්වෙන ලංකාවේ වතුකරයට සංචාරය කිරීමට නියමිත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පිලිිගැනීමේ උත්සවය සංවිධානය කිරීමේ නායකත්වය ගැනීම සඳහා, දෙමල ප‍්‍රගතිශීලී සන්ධානය (ටීපීඒ) සහ ලංකා වතු කම්කරු කොන්ග‍්‍රසය (සීඩබ්ලිව්සී) බලු පොරයක යෙදී සිටිති.

එක්සත් ජාතීන්ගේ සංගමය ලංකාවේ සංවිධානය කරන ලද වෙසක් සැමරුම් උත්සව විවෘත කිරීමට පැමිනෙන මෝදි අද (12 වන දා) හැටන් අසල දික්ඔය දී ඉන්දීය ආධාර මත ඉදිකරන ලද රෝහලක් විවෘත කිරීමට වතුකරයට සංචාරය කරයි. පසුව නෝර්වුඩ් නගරයේ පවත්වන ප‍්‍රසිද්ධ රැස්වීමකටද ඔහු සහභාගි වෙයි.

ශ්‍රී ලංකාවේ ආන්ඩුව මෝදිගේ වතුකර සංචාරය පිලිබඳ සංවිධානාත්මක කටයුතුවල වගකීම ආන්ඩුවේ කොටස්කරුවෙකු වන ටීපීඒ ට පවරා ඇති අතර, ඉන්දියානු ධනේශ්වරය සමග පාරම්පරික සම්බන්ධතාවය පවත්වන සීඩබ්ලිව්සී ය එයට සහභාගි වීමට උත්සාහ කරයි. සීඩබ්ලිව්සී නායකයෙකු වන සෙන්දිල් තොන්ඩමන් පසුගිය ඉරිදා සවස නෝර්වුඩ්හි උත්සව සංවිධාන කටයුතු ගැන සොයා බැලීම සඳහා යද්දී, ටීපීඒ නායකයෙකු සහ ආන්ඩුවේ ඇමතියෙකු වූ පලනි දිගම්බරම් ඔහුට මාර්ගය අවහිර කිරීම හේතුවෙන් ආතති සහගත තත්වයක් නිර්මානය වූ බැව් වාර්තා වෙයි. දිගම්බරම් තමාට තර්ජනය කල බවට තොන්ඩමන් පොලීසියට පැමිනිලි කර ඇත.

මෝදි “මවිත කිරීමට” මේ කොටස් දෙකම තම තමන්ගේ පක්ෂ බැනරයන් යටතේ උපරිම ජන සංඛ්‍යාවන් පෙලගසා ගැනීමට දැඩි උත්සාහයක යෙදී සිටිති.

ඉන්දීය අගමැතිගේ සංචාරය යෙදී තිබෙන්නේ වතු කම්කරුවන් ඔවුන්ගේ සේවා කොන්දේසි හා ජීවන තත්වයන් මත එල්ල කෙරන ප‍්‍රහාරවලට එරෙහිව විරෝධතා මාලාවක නිරත වන පසුබිම තුලය. අඛන්ඩ පාවාදීම්වල ප‍්‍රතිඵලයක් ලෙස සීඩබ්ලිව්සී ය මැතිවරන පරාජයන් මාලාවකට මුහුන දුනි. එම තත්වය ගසාකෑමෙන් හිස ඔසවා ගත් ටීපීඑ් යටතේ ද, කම්කරුවන් දුටුවේ සිය ජීවන කොන්දේසි වඩවඩාත් ඛාදනය වීමයි.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී, මෙම වෘත්තීය සමිති සහ ආන්ඩුව තේ වතු සමාගම් සමග කුමන්ත‍්‍රනය කර, ඵලදායිතාවට බැඳ දැමූ සාමූහික ගිවිසුමක් අත්සන් කරන ලදී. එමෙන් ම, කම්කරුවන් අඳ ගොවි ක‍්‍රමයකට යටත් කරමින්, ඔවුන්ගේ මූලික අයිතීන් අහෝසි කිරීම සඳහා ද මෙම වෘත්තීය සමිති ආන්ඩුව සහ සමාගම් සමග සහයෝගයෙන් කටයුතු කරයි.

මෙම ගිවිසුම යටතේ කම්කරුවන්ගේ මූලික දෛනික වැටුප රුපියල් 50 ක සොච්චමකින් වැඩිකල අතර පැමිනීමේ දීමනාව කපා දමා නිශ්පාදනය මත පදනම් වූ දිරිදීමනාවක් එකතු කරන ලදී. වෘත්තීය සමිති වල හිරකිරීම් නොතකා මෙම වැටුප් ක‍්‍රමයට සහ ගිවිසුමට එරෙහිව කම්කරුවන් විරෝධතාවන් ට පිවිසි අතර ඒවා දිගටම ඇදී යමින් පවතී.

දකුනු ආසියානු කලාපය තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදය වෙනුවෙන් පොලිස්කාරකම භාරගෙන සිටින ඉන්දීය පාලක පන්තිය සමග සමීප සම්බන්ධතාවයන් ඇතිකරගැනීම හා ඉන්දීය රජයට ආයාචනය කොට අධ්‍යාපන, සෞඛ්‍ය හා නිවාස ව්‍යාපෘති වලට එය ලබා දෙන මූල්‍ය ආධාර වැඩිකර ගැනීම මගින් කම්කරුවන් අතර වැඩෙන අතෘප්තිය යටපත් කිරීම මෝදිව මවිතයට පත්කිරීමේ ප‍්‍රධාන අරමුනු වෙයිි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමති රනිල් වික‍්‍රමසිංහගේ ඇමරිකානු ගැති ආන්ඩුව හා ටීපීඒ, වතු කම්කරුවන් ලයින් කාමර ජීවිතයෙන් මුදාගැනීමේ නමින්, තැන තැන කුඩා නිවාස ඉදි කරන්නේ සහ මාර්ගයන්හි කොන්ක්‍රීට් අතුරන්නේ වතු කම්කරුවන් අතර ඔවුන්ගේ ඡන්ද පදනම් පවත්වාගෙන යාම සඳහාය.

2015 ජනවාරි මාසයේ දී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව ඉවත් කර, සිරිසේන පත්කරගැනීම සඳහා මෝදි පරිපාලනයේ සහාය ඇතිව එක්සත් ජනපදය සැලසුම් කල මෙහෙයුමට දායකත්වය දෙමින්, චීනයට එරෙහි වොෂින්ටනයේ මූලෝපායික අවශ්‍යතා වලට සේවය කිරීමට ඇමති මනෝ ගනේෂන් නායකත්වය දෙන ටීපීඒ විවෘතව කැපවී ගත්හ.

අර්බුදයෙන් වෙලුනු සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත ක්‍රියාවට දමමින් සිටින කප්පාදු වලට විරුද්ධව දිනෙන් දින වැඩෙන කම්කරු අරගල වලට මුහුන දී සිටී. එම අරගල සමග වතු කම්කරුවන්ගේ අරගල ඒකාබද්ධ වෙතැයි යන භීතියෙන් ටීපීඒ ය වෙලී සිටී. සීඩබ්ලිව්සීය ද මේ සම්බන්ධයෙන් දැඩි ලෙස උත්සුකය.

ශ්‍රී ලංකාවේ ආන්ඩුව ආර්ථික වශයෙන් චීනය මත යැපෙන තත්වය තුල බෙයිජින් සහ කොලඹ අතර වැඩෙන සබඳතාවන් ගැන ද, මහජනතාව අතර සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව කෙරෙහි වැඩෙන විරෝධය ගසා කමින් යලි බලයට පැමිනීමට රාජපක්ෂ දරන උත්සාහය ගැන ද, කලාපය තුල සිය අධිකාරිත්වය තහවුරු කර ගැනීමට යත්න දරන මෝදි පරිපාලනය සැලකිලිමත් වේ.

කොලඹ පාලනය තම අධිකාරිත්වය යටතේ තබා ගැනීමටත්, ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ බහුතරයක් වන වතු කම්කරුවන් වෘත්තීය සමිති වල ග‍්‍රහනය යටතේ තබා ගැනීමට උදව් දීමටත් මෝදි උනන්දු වෙයි.

බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් විසින් කඳුකර වැවිලි කර්මාන්තයන් සඳහා ශ‍්‍රම බලකායක් ලෙස ඉන්දියාවේ සිට දෙමල ජනයා ගෙන ඒමෙන් පසු, ඉන්දියානු කොන්ග‍්‍රස් නායක හා එරට ප‍්‍රථම අගමැති වූ ජවහර්ලාල් නේරු, 1939 දී, ශ්‍රී ලංකාවේ වතුකරයේ සංචාරයක යෙදීමත්, මෝදිගේ සංචාරයත් අතර සමාන්තරයක් දැකිය හැකිය.

1939 දී, මහා ගෝලීය ආර්ථික අර්බුදය හා දෙවන ලෝක යුද ආතතීන් මධ්‍යයේ ශ්‍රී ලංකාවේ පැවති මහා කම්කරු අරගලවලට ලංකා සම සමාජ පක්ෂය (ලසසප) නායකත්වය දුනි. බ්‍රිතාන්‍යයෙන් පූර්න නිදහස ඉල්ලූ සහ සමාජවාදය ඉදිරිපත් කල ලසසප යටතේ දහස් ගනනක සිංහල හා දෙමල කම්කරුවෝ පෙලගැසී සිටියහ.

මෙම පන්ති අරගල සම්බන්ධයෙන් භීතියට පත්වූ නේරු, ඉන්දියානු සම්භවයක් ඇති මෙම ජනතාව මත එල්ලවෙන ආන්ඩුවේ මර්දනයට අභියෝග කිරීමට, කර්මාන්ත හා වර්ගය මත සංවිධානය වන ලෙස උපදෙස් දෙමින්, සිංහල කම්කරුවන් ගෙන් වතු කම්කරුවන් හුදෙකලා කිරීමට උත්සාහ කලේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස මතුවූ ශ්‍රී ලංකා-ඉන්දීය කොංග‍්‍රස් පක්ෂයේ නායකයෙකුව සිටි සෞම්‍යමූර්ති තොන්ඩමන්ගේ නායකත්වය යටතේ සීඩබ්ලිව්සීය පිහිටුවන ලදී. සීඩබ්ලිව්සීය එදා සිට අද දක්වා, වැවිලි සමාගම් වල ලාභ අවශ්‍යතා වෙනුවෙන් වතු කම්කරුවන් උකස් කර ඇත.

ගැඹුරුවන ලෝක ආර්ථික අර්බුදය, ඉන්දියානු උප මහාද්වීපය තුල වර්ධනය වන තුන්වන ලෝක යුද්ධ ආතතීන් හා තීව‍්‍ර වන පන්ති ප‍්‍රතිවිරෝධතා යටතේ, මෝදි කඳුකරයට සංචාරය කරනු ඇත.

වෘත්තීය සමිති විසින් හුවා දක්වන පරිදි, මෝදි හෝ ඉන්දීය පාලක පන්තිය දානපතියන් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් නොවේ. හින්දු මූලධර්මවාදී භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව යටතේ, ඉන්දියාවේ හර්යානා ප‍්‍රාන්තයේ මරුති-සුසුකි මෝටර් රථ කම්කරුවන් දහතුන් දෙනෙකුට බොරු නඩු අටවා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීම මෝදිගේ කම්කරු පන්ති විරෝධී ව්‍යාපාරික ගැති ප‍්‍රතිපත්තියට හොඳම උදාහරනයකි. මෙම කම්කරුවන් කල එකම “වරද” නම්, තමාට එරෙහි මර්දනයට හා හිරිහැරයන්ට විරුද්ධව සටන් කිරීමයි.

මරුති-සුසුකි සමාගම, පොලීසිය, අධිකරනය සහ භාරතීය ජනතා පක්ෂය මෙන්ම පැවති කොන්ග‍්‍රස් ආන්ඩුව ද එකතුව කල කුමන්ත‍්‍රනයකින් මෙම රුදුරු දඬුවම පනවන ලද්දේ ආයෝජකයින් පිනවා තවතවත් ආයෝජන ආකර්ෂනය කර ගැනීමට සහ අරගලයන්ට ඇදෙමින් පවත්නා කම්කරුවන්ට අනතුරු ඇඟවීම සඳහාය.

ඉන්දියාවේ ප‍්‍රකෝටිපතියන් සංඛ්‍යාව 101 ක් වී ඇති අතර, ජනගහනයෙන් තුනෙන් එකකට ඩොලර් 2 ට වඩා අඩු දෛනික ආදායමකින් ජීවත් වීමට බල කෙරී ඇත.

සියල්ලන්ටත් වඩා, ශ්‍රී ලංකාවේ සිට නැවතත් ඉන්දියාවට යවන ලද කම්කරුවන්ට සිය දේපොල අහිමිවී නැවත මව්බිමට පැමිනි අය නමින් තමිල්නාඩුවේ තේ වතුවල වැඩ කිරීමට බල කෙරී ඇත. ඔවුන් සහ අනෙකුත් ඉන්දීය වතු කම්කරුවන්, ලෝක තේ වෙලඳපොලේ උග‍්‍ර තරඟය මැද, ඉන්දීය රුපියල් 100 ක පමන අවම දෛනික වැටුපක් යටතේ දැඩි සූරා කෑමකට ගොදුරුවෙයි.

එමෙන්ම වර්ගවාදී යුද්ධය හේතුවෙන් ඉන්දියාවේ රැකවරනය සොයා ගිය උතුරු සහ නැගෙනහිර පලාත් හි සිය දහස් ගනනක් වූ දෙමල ජනයා, පහත් මට්ටමේ අනාථ කඳවුරුවල අවුරුදු විස්සක් තිස්සේ රඳවා සිටිති. ඔවුන් බලධාරීන් විසින් දැඩි ලෙස පාලනය කරන අතර, නිශ්චිත වෙලාවට කඳවුරෙන් පිටවී, සවස හයට පෙර ආපසු පැමිනිය යුතුය. මෙම කුරිරු පාලනය ඉවසාගත නොහැකි වූ රැඳවියෙකු පසුගිය වසරේ විදුලි කනුවකට නැග දිවි නසා ගත්තේ ය. ලංකාවේ දෙමල දේශපාලනඥයන් පවසන අයුරින් ඔවුනගේ පෙකනිවැල ගැටගැසීී ඇත්තේ මෙම මර්දනකාරී ඉන්දියානු පාලක පන්තියටයි.

ඉන්දියානු ආන්ඩු විසින් දෙනු ලබන සොච්චම් ආධාර පිටුපස එරට පාලක පන්තියේ සුවිසල් අවශ්‍යතා පවත්නා බැව් ශ්‍රී ලංකාවේ දෙමල ජනතාවගේ බිහිසුනු අත්දැකීම් වලින්ම සනාථ වෙයි. 1987 ඉන්දු-ලංකා ගිවිසුම යටතේ උතුරට සහ නැගෙනහිරට ගුවනින් ආහාර මලු හෙලා බිමට බට ඉන්දියානු හමුදා භටයන් විසින් අහිංසක දෙමල ජනතාව දහස් ගනනින් ඝාතනය කෙරුනි. දැන් එක්සත් ජනපදය හා ඉන්දියාව කොලඹ ආන්ඩුව සමග සන්ධානගතව සිටින්නේ චීනයට එරෙහි යුද සැලසුම් වලට දිවයින උපයෝගී කරගැනීමට යි. එමගින් කලාපයේ මිලියන ගනන් ජනයා තුන්වන න්‍යෂ්ටික ලෝක යුද්ධ අන්තරායට ඇද දමා ඇත.

වතු කම්කරුවන්ගේ හා සෙසු කම්කරුවන්ගේ සැබෑ මිතුරන් වන්නේ මෝදි ඇතුලු ඉන්දීය ධනපති පාලක පන්තිය නොව, මිලියන ගනනක ඉන්දීය කම්කරුවන් ය. තමන්ගේ අවශ්‍යතා සඳහා කම්කරුවන් බිලි දෙමින් අධිරාජ්‍යවාදීන් සහ කලාපීය බලවතුන් සමග සබඳතා ගොඩනඟා ගැනීමට උත්සාහ කරන වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ කම්කරුවන් විසින් ප‍්‍රතික්ෂේප කල යුතුව තිබේ. වතු කම්කරුවන්ට ඔවුන්ගේ අයිතීන් රැක ගැනීමට හැකි වන්නේ, ලාභ පද්ධතිය අවසන් කෙරෙන, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක්, එනම් සමාජවාදී ආන්ඩුවක් ගොඩනැගීමට ඉන්දීය කම්කරුවන් හා ලොව පුරා සිටින කම්කරුවන් සමග ඒකරාශී වීමෙන් පමනි.

ආර්. ශ්‍රීහරන්

Share this article: