ට‍්‍රම්ප් ඩොලර් ට්‍රිලියන 1.7 සමාජ කප්පාදු සඳහා කැඳවුම් කරයි

Trump calls for $1.7 trillion in social cuts

2017 මැයි 23

ට‍්‍රම්ප් පරිපාලනය 2018 මුදල් වර්ෂය සඳහා අද දින ගෙන එන අයවැය තුල ඩොලර් ට්‍රිලියන 1.7 ක ප‍්‍රධාන සමාජ වැඩසටහන් කප්පාදුවක් ඇතුලත් බව නිරාවරනය ව ඇත. මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට සෞඛ්‍ය රැකවරනය සැපයීම සහ දිලිඳුකම හා සාගින්නට එරෙහිව ඉතිරිපහදු වී ඇති මොනයම් හෝ වැඩසටහන් උගුලා දැමීම ඉලක්ක කර ගත් ද්විපාක්ෂික සමාජ ප‍්‍රතිවිප්ලවයක නව අවධියක් එම සැලැස්ම මගින් සලකුනු කරයි.

අන්ත-දක්ෂිනාංශික දෘෂ්ටිවාදීන් හා ජෙනරාල්වරුන්ගෙන් සමන්විත තක්කඩි ආන්ඩුවකට ඩිමොක‍්‍රටිකයන් දක්වන ප‍්‍රතිචාරයේ ප‍්‍රතිගාමී ස්වභාවය අයවැය මගින් එලිමහනට පැමින ඇත. ඩිමොක‍්‍රටික් පක්ෂය ට‍්‍රම්ප්ට එරෙහි සිය විරුද්ධත්වය පදනම් කිරීමට තෝරාගෙන ඇත්තේ වැඩ කරන හා දුගී ජනතාවට එරෙහි ඔහුගේ ප‍්‍රහාර, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්වලට එරෙහි ඔහුගේ ප‍්‍රහාර එල්ල කිරීම හෝ ඔහුගේ ඔලමොට්ටල යුදවාදය මත නොව රුසියාව කෙරෙහි ඔහුට පවතින්නේ යැයි කියනු ලබන “මෘදුභාවය” මත ය.

වොෂින්ටනයේ දේශපාලන යුද්ධයේ දී, ඩිමොක‍්‍රටිකයින්, ට‍්‍රම්ප්ගේ රුසියාව සමග සබඳතාව යන්තමින් හෝ ලිහිල් කිරීමේ අදහස ඉවත් කර ගන්නා ලෙස බල කරමින්, ඒ වෙනුවට, රුසියාව සමග ගැටුමක් ඇවිලවීමේ ඔබාමා පාලනාධිකාරයේ ප‍්‍රතිපත්තිය දිගටම ගෙන යා යුතුය යන අදහසෙහි ස්ථිරසාරව සිටින බුද්ධි අංශ යාන්ත‍්‍රනය හා “ගැඹුරු රාජ්‍ය” කොටස් සමග එක පෙලට සිටී. ඩිමොක‍්‍රටිකයින් හා ඊනියා “ලිබරල්” මාධ්‍යය ඔවුන්ගේ රුසියානු විරෝධී ව්‍යාපාරය උත්සන්න කරන අතරතුර ට‍්‍රම්ප් තන්ත‍්‍රය, එහි කුරිරු දේශීය න්‍යාය පත‍්‍රය දිගින් දිගටම ඉදිරියට තල්ලු කරයි.

මූලික සමාජ කප්පාදු මත මහා ව්‍යාපාරික පක්ෂ දෙකෙහි සැලසුම් සහගත කුලල් කා ගැනීම සඳහා මුල් වෙඩිල්ල ට‍්‍රම්ප් ගේ අය වැයෙන් එල්ලවී ඇති අතර එය එක්සත් ජනපද ඉතිහාසයේ මූලික සමාජ වැඩ සටහන් වලට එල්ල කල අතිශයින්ම දැවැන්ත ප‍්‍රහාරය සමග අවසන් වනු ඇත.

මෙඩිකේඩ් නමැති ෆෙඩරල් ආන්ඩුව සහ ප‍්‍රාන්ත විසින් හවුලේ පරිපාලිත අඩු ආදායම්ලාභී ජනතාව සඳහා වන සෞඛ්‍ය රක්ෂන වැඩසටහන වසර දහයක් තුල ඩොලර් බිලියන 800 කින් කප්පාදු කිරීම අයවැයට ඇතුලත් වේ. දැනට ගර්භනී කාන්තාවන්, ලමයින් හා ආබාධ සහිත ජ්‍යෙෂ්ඨයන් ඇතුලූ ඇමරිකානුවන් මිලියන 74 කට වඩා වැඩි, හෝ පස් දෙනෙකුගෙන් එක් අයෙකු, මෙඩිකේඩ් සඳහා ලියාපදිංචි වී සිටිති.

මෙම මස මුල දී රිපබ්ලිකානුවන් විසින් පාලනය කෙරෙන නියෝජිත මන්ත්‍රී මන්ඩලය විසින් ඇමරිකානු සෞඛ්‍ය රැකවරන පනත (ඒඑච්සීඒ) සම්මත කලාක් මෙන්, ට‍්‍රම්ප්ගේ අයවැය සැලැස්ම, අවශ්‍යතාව මත පදනම් ව සහතික කෙරෙන ප‍්‍රතිලාභයක් ලෙස මෙඩිකේඩ්හි පැවත්ම අහවර කොට, ඒ වෙනුවට එය ඒක පුද්ගල අරමුදල් හෝ ප‍්‍රාන්ත රාජ්‍යවල සමූහ ආධාර තුලට දමනු ඇත.

ඒඑච්සීඒ ඔබාමාකෙයා යටතේ පැවති මෙඩිකේඩ් ප‍්‍රතිලාභ ද අවසන් කොට ප‍්‍රතිලාභීන්ගේ අවශ්‍යතා සඳහා වැඩ පැවරීමට ප‍්‍රාන්ත රාජ්‍යයන්ට ඉඩ හරිනු ඇත. කොන්ග‍්‍රස් අයවැය කාර්යාලය ගනන් බලා ඇති ලෙසට රිපබ්ලිකන් සැලසුමේ මුල් පිටපතේ ප‍්‍රතිපලය වනු ඇත්තේ මිලියන 10 ක ජනතාවට සෞඛ්‍ය පහසුකම් ප‍්‍රතිලාභ පැහැර ගැනීමය.

පොදුවේ ආහාර මුද්දර ලෙස හැඳින්වෙන, අතිරේක පෝෂන සහාය වැඩසටහන (එස්එන්ඒපී) වසර දහයක් තුල ඩොලර් බිලියන 193 කින් කප්පාදු කිරීම ද, යෝග්‍යතා සීමා කිරීම හා වැඩ අවශ්‍යතා පැනවීම මගින් සියයට 25 ක ප‍්‍රතිශතයක් අඩුකර ගැනීමට ට‍්‍රම්ප්ගේ අයවැයෙන් අපේක්ෂිතය.

අසරන පවුල් සඳහා තාවකාලික ආධාර ලෙස හඳුන්වන ලද සුභසාධන ප‍්‍රතිලාභ, ඩොලර් බිලියන 21 කින් කප්පාදු කරනු ඇත. ප‍්‍රධාන වශයෙන් අඩු ආදායම් සහ මැදි ආදායම් පවුල්වල ප‍්‍රතිලාභයක් වූ උපයන ලද ආදායම් බදු නය හා ලමා බදු නය සඳහා ගෙවීම, ඩොලර් බිලියන 40 කින් අඩු කරනු ඇත.

සමාජ ආරක්ෂනයේ අතිරේක ආරක්ෂක ආදායම් වැඩසටහන එනම් දුප්පත් හා ආබාධිතයන් සඳහා මුදල් ප‍්‍රතිලාභ සැපයීමේ අරමුදල්වල වෙනස්කම් අයවැය තුල වාර්තා වේ.

සමාජ වැඩසටහන් කොල්ලකන අතර, ධනවතුන් සඳහා තියුනු ලෙස බදු අඩු කිරීමට ට‍්‍රම්ප් යෝජනා කර සිටී. ධනවතුන් සඳහා ආදායම් බදු රේට්ටු කප්පාදු කිරීමට අමතරව, ඔහු නාටකාකාර ලෙස වතු, ප‍්‍රාග්ධන ලාභ සහ ව්‍යාපාරික බදු රේට්ටු කපා හැරීම යෝජනා කරයි. ඒ අතරතුර, ඔහු මිලිටරි වියදම් දැවැන්ත ලෙස ඉහල දැමීම ඉල්ලා සිටී.

ඩිමොක‍්‍රටිකයින් ට‍්‍රම්ප්ගේ අයවැයට පුරාජේරු විවේචන එල්ල කරනු ඇති අතර, සත්‍යය වන්නේ දශක ගනනාවක් තිස්සේ කම්කරු පන්තිය මත එල්ල කරන ප‍්‍රහාර උත්සන්න කිරීමට මහ ව්‍යාපාරික පක්ෂ දෙක විසින් ම වග බලා ගත් බව ය.

ප‍්‍රතිඵලය ඇමරිකාවේ සමාජ ජීවිතය පිලිබඳ යථාර්ථය තුල දැක ගත හැකි ය:

දරිද්‍රතාව

සියයට 13 කට වඩා වැඩි ප‍්‍රතිශතයක්, එනම් ඇමරිකානුවන් මිලියන 43.1 පමන, 2015 දී දරිද්‍රතාවෙන් පෙලෙන ලදී. මේ අතරින් මිලියන 19.4 අන්ත දරිද්‍රතාවයෙන් ජීවත් වේ, ඉන් අදහස් කෙරෙන්නේ ඔවුන්ගේ පවුල්වල මුදල් ආදායම, දරිද්‍රතා රේඛාවෙන් හරි අඩකට වඩා අඩු වීම හෝ සිව්දෙනෙක්ගෙන් යුක්ත පවුලක වාර්ෂික ආදායම ඩොලර් 10,000 පමන වන බවය. වයස අවුරුදු 18 ට අඩු දරුවන් සඳහා දරිද්‍රතා රේට්ටුව 19.7 ක් විය.

මේවා අතිශයින්ම අඩු ආදායම් පාද රේඛා පදනම් කොටගත් නිල දරිද්‍රතා අනුපාත වේ. යථාර්ථය නම්, ජනගහනයෙන් අවම තරමින් අඩක් දුප්පත්කම තුල හෝ එහි අද්දර මත ජීවත් වන බවය. මෙඩිකේඞ්, සුභසාධන සහ ආහාර මුද්දර කපා හැරීමේ ට‍්‍රම්ප්ගේ යෝජනා හරියට ම එල්ල කෙරී ඇත්තේ මෙම ජනතාවට ය.

කුසගින්න

එක්සත් ජනපද සෑම කුටුම්බ අටකින් එකක් පමන වන, මිලියන 15.8, 2015 දී ආහාර සුරක්ෂිතතාව අහිමි වූවන් වූ අතර එහි අර්ථය ඔවුන්ට ඔවුන්ගේ පවුල්වල සියලු සාමාජිකයන් සඳහා ප‍්‍රමානවත් තරම් ආහාර සපයා ගැනීම අසීරු කටයුත්තක් විය යන්න ය. කුටුම්බවලින් සියයට පහකට ආහාර සුරක්ෂිතතාව ඉතාම අඩු ය, එහි අර්ථය කුටුම්බ සාමාජිකයන් ආහාර ගැනීමේ මාර්ග කප්පාදු කොට ඇති බව ය. කුටුම්භ මිලියන තුනකට තම දරුවන් සඳහා ප‍්‍රමානවත්, පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීමට නොහැකි වී ඇත.

සෞඛ්‍ය සේවා පහසුකම් නොමැති වීම

වසර 2016 දී ඔබාමාකෙයා යටතේ, රක්ෂනය නොවී තිබුනේ එක්සත් ජනපද ජනගහනයෙන් සියලූම වයස් කාන්ඩවල සිටින සියයට 9 ක් පමන එනම්, මිලියන 28.6 කි. ඔබාමාකෙයා හුවමාරුව මත එම රක්ෂනයන්ගෙන් බොහෝමයක් පෞද්ගලික රක්ෂන සමාගම් වලින් මිලදී ගන්නා සැලසුම් යටතේ පැවති අතිශයින්ම ඉහල කපා ගැනීම් හා ගෙවීම් නිසා ඔවුන්ට සිය රක්ෂන භාවිතා කිරීමට නොහැකි විය. ඔබාමාකෙයා යටතේ රක්ෂන ලැබූ බොහෝ අය එසේ කලේ මෙඩිකේඞ් පුලූල් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙසය. ට‍්‍රම්ප් මෙය ආපසු හරවමින් මිලියන ගනනක් මිනිසුන් නැවත රක්ෂනය නොවූවන්ගේ කන්ඩායම තුලට වීසි කිරීම සඳහා සැලසුම් කර ඇත.

ද්වි පාර්ශ්වීය ප‍්‍රහාරයක්

ට‍්‍රම්ප්ගේ අයවැය යෝජනාව හමුවේ, ඩිමොක‍්‍රටිකයන් ඔවුන්ගේ සම්මත හිස් වාචාල ප‍්‍රතිචාර දක්වා ඇත. වෝල් වීදියේ මැතිවරන අරමුදල් වල විශාලතම ප‍්‍රතිලාභීන්ගෙන් කෙනෙක් වන සෙනෙට් සභාවේ සුලුතර නායක චාල්ස් ෂුමර්, ට‍්‍රම්ප්ගේ අයවැය හෙලා දැක ඇත්තේ “තම පන්තියේ වියදමින්, අන්ත ධනවතුන්ට ප‍්‍රතිලාභ දෙන දැඩි දක්ෂිනාංශික ප‍්‍රතිපත්ති,” ලෙස ය. යන්තම් සති තුනකට පමන පෙර, ෂුමර් සහ මන්ත්‍රී මන්ඩලයේ සුලූතර නායිකා නැන්සි පෙලොසි, ඩොලර් බිලියන 2.4 කින් ආහාර මුද්දර කප්පාදුවක් සම්මත කලාවූත් අධ්‍යාපනය සහ පරිසරය සඳහා අරමුදල් කපා හැරියාවූත් මිලිටරියට හා දේශ සීමා පාලනය කිරීම සඳහා තවත් රුපියල් බිලියන ගනනාවක් වැඩි කලා වූත් ද්වි පාර්ශවික 2017 රාජ්‍ය මූල්‍ය අයවැයට හුරේ දැමීය.

ඔබාමාකෙයා මෙඩිකේඞ් මත වත්මන් ප‍්‍රහාරය සඳහා ද මෙඩිකෙයා හා සමාජ ආරක්ෂනය මත එලෙඹන ප‍්‍රහාර සඳහා ද පාර කපන ලද අතර එමගින් රක්ෂන සහ ඖෂධ කර්මාන්තවල ලාභ ඉල්ලීම්වලට සෞඛ්‍ය සේවා තවදුරටත් යටත් කිරීම හා දශ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ අඩු කල පහසුකම් සඳහා වියදම් ඉහල දැමීම සිදුකර ඇත.

කම්කරු පන්තියේ මහජන ව්‍යාපාරයට අඩු දෙයක් මගින්, මෙඩිකේඞ්, සෞඛ්‍ය සේවා, සමාජ ආරක්ෂන, ආහාර මුද්දර, මහජන අධ්‍යාපනය හා කම්කරු පන්තිය විසින් දිනාගත් අනෙකුත් සෑම සමාජ ප‍්‍රතිලාබයක් ම විනාශ කිරීම වලක්වා ගත නොහැක. නමුත් මෙම ව්‍යාපාරය ඇමරිකාව තුල සමාජ විරෝධතාවන්හි ඓතිහාසික සොහොන් බිම වන ඩිමොක‍්‍රටික් පක්ෂයෙන් සම්පූර්නයෙන්ම ස්වාධීන විය යුතුය. බර්නි සෑන්ඩර්ස් හා එලිසබෙත් වොරන් වැනි වාම ගෝසාබද්ධ කෙලතොල්ලන් ද මීට ඇතුලත් වේ.

එය ඩිමොක‍්‍රටික් පක්ෂය හෝ දේශපාලන සංස්ථාපිතයේ අනෙක් කොටස්වලට ආයාචනා හෝ බලපෑම් කිරීමට උත්සාහ කිරීම පිලිබඳ ප‍්‍රශ්නයක් නොවේ. ඔවුන් සියල්ලෝ ම වෝල් වීදියේ සාක්කුවේ වැටී සිටිති.

කම්කරු පන්තියට හොඳ වැටුපක් සහිත රැකියාවක්, අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් හා සුරක්ෂිත විශ‍්‍රාමයක් ඇතුලූ සිය මූලික සමාජ අයිතීන් සුරක්ෂිත කිරීමට තමන්ගේ ම වැඩපිලිවෙලක් අවශ්‍ය වේ. ලෝක යුද්ධය හා ආඥාදායකත්වය කරා නොවැලැක්විය හැකි ලෙසම ගමන් කරන ධනේශ්වර පද්ධතිය මෙම අයිතීන් සමග පෑහෙන්නේ නැත.

අශ්ලීල ලෙස පොහොසත් සහ දූෂිත මූල්‍ය කතිපයාධිකාරයක අවශ්‍යතා මත නොව, අති මහත් බහුතරයේ අවශ්‍යතාවන්ට ගැලපෙන සමාජවාදී හා විප්ලවවාදී ක්‍රියාමාර්ගයක් සහිතව කම්කරුවන් හා තරුනයන් මෙම අර්බුදයට මැදිහත් විය යුතුය.

කේට් රැන්ඩල්

Share this article: