ශ‍්‍රී ලාංකික කම්කරුවෝ හා ශිෂ්‍යයෝ මරුති සුසුකි බොරු නඩු ඇටවීමට විරුද්ධ වෙති

Sri Lankan workers and students oppose Maruti Suzuki frame-up

අපේ වාර්තාකරුවන් විසිනි, 2017 මැයි 5

ශ‍්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයේ ආධාරකරුවෝ ඉන්දියාවේදී සිර ගත කල මරුති සුසුකි කම්කරුවන් නිදහස් කර ගැනීමේ අරගලය ඉදිරියටම ගෙන යමින් සිටිති.

පසුගිය සතිය පුරා ශ‍්‍රී ජයවර්ධනපුර හා කොලඹ විශ්ව විද්‍යාලවලදී මෙන්ම කොලඹ වරාය අවට කම්කරුවන්ගෙන් ද උද්ඝෝෂකයෝ සහයෝගය දිනා ගත්හ. දඬුවම් ලද කම්කරුවන් නිදහස් කර ගැනීම සාක්ෂාත් කර ගැනීමට දියත් කර ඇති හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) සටනට සහයෝගය ලබා ගැනීමට සෑම තැනකම කම්කරුවන්ට ආයාචනා කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලිපි සිය ගනනක් බෙදා හරින ලදී.

මාර්තු මාසයේදී, මරුති සුසුකි කම්කරුවන් 13 දෙනෙක් ජීවිතාන්තය දක්වා සිර ගත කෙරුනි. උතුරු ඉන්දියාවේ මනෙසාර් හි පිහිටි ජපාන වාහන නිෂ්පාදකයාගේ වාහන එකලස් කිරීමේ කම්හලෙහි කම්කරුවන් විසින් ස්ථාපිත කෙරුනු ස්වාධීන වෘත්තීය සමිතිය වන මරුති සුසුකි කම්කරු සමිතියෙහි (මසුකස) සාමාජිකයන් 13 දෙනෙක් ගෙන් සැදුම්ලත් සමස්ත කමිටුවම මෙයට ඇතුලත් විය. ඉතාමත් තරුන කම්කරුවන් තම ජීවිතයේ ඉතිරි කාලය ඉන්දීය බන්ධනාගාරවල ජීවමාන අපායක දී දඬුවමකට යටත්ව කුනු වෙන්නට හැර තිබේ. තවත් සේවකයෝ 18 දෙනෙකුට ද බරපතල සිර දඬුවම් ලැබී තිබේ.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ කලා ශිෂ්‍යයෝ වන මධුක හා ඩිලාන් ඉන්දීය වාහන කම්කරුවන් සිර ගත කිරීම හෙලා දුටුවෝය. “තම අයිතීන් ආරක්ෂා කර ගැනීමට ශ‍්‍රී ලාංකික කම්කරුවන් හා ශිෂ්‍යයන් සටන් කරමින් සිටින නමුත් ඔවුන්ගේ ඉල්ලීම් ලබා දෙනු වෙනුවට, ආන්ඩුව හිතුවක්කාර ලෙස ඔවුන්ව මර්දනය කරනවා.” ඔවුහු පැවසූහ. “ඉන්දීය ආන්ඩුව විසින් මරුති සුසුකි කම්කරුවන්ට දඬුවම් පැමිනවීම එවැනි ප‍්‍රහාරයන් ගැන නරකම උදාහරනයයි. මෙම තත්වය ජාත්‍යාන්තරව සිදුවෙමින් පවතින බව ඉතා පැහැදිලි නිසා කම්කරුවෝ ජාත්‍යාන්තරව සංවිධානය වීම අවශ්‍ය යි.”

යුද්ධය කරා ගෙන යන අධිරාජ්‍යවාදීන්ගේ තල්ලුවෙන් මෙම ප‍්‍රහාරයන් වෙන් කල නොහැකි බවට සසප/සසජාතශි ආධාරකරුවන්ගේ අවධාරනය සමග ඩිලාන් එකඟ විය. “අධිරාජ්‍යවාදී බලවේග ලෝකය යුද්ධය කරා ගෙන යන බවට සත්‍යයි.” ඔහු පැවසීය. “සිරියාවට එල්ල කල මිසයිල ප‍්‍රහාරයත් ඇෆ්ඝනිස්ථානයට බෝම්බ වරුසා පතිත කිරීමත් අපි දැක්කා. අනෙකුත් රටවල් තැති ගන්වන්නට එජ තම මිලිටරි බලය යොදවනවා. අපි මෙම යුද්ධයට විරුද්ධයි, එක්සත් වුවහොත් කම්කරුවන්ට මෙම යුද්ධය නවත්වන්නට බලය තියෙනවා.”

කලමනාකරන පීඨයේ සිසුන් වන තිලින හා සුරන්ජිත් මරුති සුසුකි කම්කරුවන් නිදහස් කර ගැනීමේ හජාජාක හි දේශපාලන අරගලයට සහයෝගය පල කලේය. “කවුරු බලයේ සිටියත්, මේ විදිහට තමයි ඔවුන් වැඩි දියුනු වැඩපල කොන්දේසි ඉල්ලා සිටින කම්කරුවන්ට සලකන්නේ”යි තිලින පැවසුවේය. “පාලකයෝ මේවා කරන්නේ පුද්ගලික ද්වේශයකින් නොව මේ අර්ථ ක‍්‍රමයේ අර්බුදය නිසයි.”

විදේශ ආයෝජන ආකර්ෂනය කර ගැනීමට ඔවුන්ගේ රටවල්වලදී ලාබම ශ‍්‍රමය සපයාදීමට ලෝකය පුරා බොහෝ ආන්ඩු කැපවී සිටින බව සසප/සසජාතශි ආධාරකරුවෝ විස්තර කලහ. ඉන්දියාවේදී, මෝදිගේ රජයේ “ඉන්දියාවේ නිෂ්පාදනය කරනු” වැඩ සටහන ඊට උදාහරනයකි.

“ඔව් ඒක ඇත්ත.” සුරන්ජිත් ප‍්‍රතිචාර දැක්වීය. “රට තුල නිෂ්පදනය ඉහල නංවා ජාතික ආර්ථිකය ගොඩ නගන බව ශ‍්‍රී ලංකා රජය ද ප‍්‍රකාශ කරනවා. ආයෝජකයන්ගේ ලාභ උපරිම කර ගන්නට ජීවත්වීමට නුසුදුසු තත්වයන් මතට කම්කරුවන් බලහත්කාරයෙන් ඇද දැමීම තමයි ඇත්තටම සිදුවන්නේ.”

කලා උපාධි අපේක්ෂකයෙක් වන අරුන ඉන්දියාවේ කම්කරුවන්ගේ ජීවන තත්වයන් ගැන කතා කලේය. “ඉන්දීය ආන්ඩුව ලෝකය පුරාම ආයෝජකයන්ට රට විවෘත කරලා. ඉහල විරැකියාව හේතුවෙන්, සමාගම්වලට කම්කරුවන් බඳවා ගෙන අඩු වැටුප් ගෙවන්නට පුලුවන්.

“ශ‍්‍රී ලංකාවට වඩා ඉන්දියාවේ වැඩි දරිද්‍රතාවයක් මම දැකලා තියෙන නමුත් මරුති සුසුකි කම්කරුවන්ගේ සටනින් පෙන්නුම් කෙරෙන්නෙ තව දුරටත් ඉන්දීය කම්කරුවන් මෙම කොන්දේසි ඉවසන්නට යන්නේ නැති බවයි. මම සූරාකෑමටත් හා ඊට එරෙහිව සටන් කරපු කම්කරුවන් මර්දනයටත් විරුද්ධයි. මරුති සුසුකි කම්කරුවන් නිදහස් කර ගැනීමේ ඔබේ ව්‍යාපාරයට මම සහයෝගය දෙනවා.”

ජාත්‍යන්තර යුද-විරෝධී ව්‍යාපාරයක් සඳහා හජාජාකවේ සටනට අරුන සහයෝගය පල කලේය. “ශ‍්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන්ගේ නායකත්වය දරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිවිශිබම) ද ඇතුලත් ඊනියා වාම සංවිධාන කිසිවක් සමාජවාදය ගැන කිසිවක් කතා නොකරන අතර යුද්ධයක අන්තරාය සම්බන්ධව කිසිවක් කතා කරන්නේ නෑ. මම ඉදිරියේදී ඔන්ලයින් මැයි රැලියට සවන් දෙනවා වගේමලෝසවෙඅ ත් බලනවා.”

කොලඹ වරාය සේවකයෝ මරුති සුසුකි බොරු නඩු ඇටවීම ඉතා තදින්ම හෙලා දැක්කහ. රජය යෝජිත පුද්ගලීකරන වැඩපිලිවෙල ක‍්‍රියාත්මක කලහොත්, ශ‍්‍රී ලංකා වරාය කම්කරුවන්ට රැකියා හා ජීවන තත්වයන්හි කඩාවැටීමකට මුහුන දීමට සිදුවනු ඇත. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ ගේ සැලසුම්වලට විරෝධතාවය පෑ වරාය කම්කරුවෝ මෑත මාසවලදී පොලීසිය විසින් කල අමානුෂික ප‍්‍රහාරයකට ලක්ව තුවාල ලැබූහ.

මරුති සුසුකි කම්කරුවන්ව කුමන්ත‍්‍රනයකට ලක්වීම හා සිර ගත කිරීම ගැන ඔහුට දැන ගැනීමට ලැබුනේ සසප හා සසජාතශි හරහා පමනක් බව එක් වරාය සේවකයෙක් පැවසීය. “කිසිම මාධ්‍ය ආයතනයක් මෙවැනි ප‍්‍රශ්න ගැන කිසිම ප‍්‍රසිද්ධියක් දෙන්නේ නෑ. නමුත් ඔවුන් දන්නවා ඒක අපේ (ශ‍්‍රී ලාංකික) පාලකයන්ගේත් අභිප‍්‍රායක් කියලා. කම්කරුවෝ මේක දැන ගත්තොත් ඒක ආන්ඩුවට තර්ජනයක් වේවි.” ඔහු පැවසීය.

කොලඹ වරායේ පවතින තත්වය මතක් කරමින්, ඔවුන්ගේ පුද්ගලීකරන සැලසුම් සම්බන්ධව කලමනාකාරිත්වය හා ආන්ඩුව කම්කරුවන්ව මුලා කොට ඇති බව ඔහු පැවසුවේය. “පසුගිය ආන්ඩුව වරායේ සමහර සේවාවන් චීන සමාගමකට පැවරුවා. වර්තමාන රජය එහි ඉතිරි කොටස් වෙනත් රටවල පුද්ගලික සමාගම්වලට බදු දීමට යනවා.” දැනටමත් අස්ථිර තත්වයක පවතින කම්කරුවන්ගේ ජීවන තත්වයන් තවදුරටත් ඉතා නරක තත්වයකට යන බව ඔහු පැවසීය.

මරුති සුසුකි කම්කරුවන්ට එල්ල කල ප‍්‍රහාරය හා රටෙහි “නීතිය පවත්වාගැනීමට” විශේෂ ආරක්ෂක අංශයක් තනා එහි ප‍්‍රධානී ලෙස යුද අපරාධකරුවෙක් හා හිටපු හමුදා ප‍්‍රධානී සරත් ෆොන්සේකා පත්කිරීමට ගත් ශ‍්‍රී ලංකා රජයේ තීරනය අතර සමාන බවක් කොලඹ වරායේ බෝට්ටු අංගනයේ කම්කරුවෙක් දැක්කේය.

“තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට බොහෝ පිරිසක් පාරට බහිනවා. මෙම විරෝධතා මැඩ පැවැත්වීමට හා ජනතාව බියෙන් තැති ගන්වා පාලනය කිරීමට සරත් ෆොන්සේකා කරලියට ගේන්න ආන්ඩුව කල්පනා කරමින් සිටිනවා.” ඔහු කීය.

ශ‍්‍රී ලංකාවට“යහ පාලනය” ගෙන එන බවට සිරිසේන-වික‍්‍රමසිංහ පාලනයේ ප‍්‍රකාශ ගැන සඳහන් කල බෝට්ටු අංගනයේ කම්කරුවා මෙසේද පැවසීය. “විරෝධතා විවෘතවම මැඩ පවත්වමින් හා රාත‍්‍රියේදී සුදු වෑන් යොදා ඊට නායකත්වය දෙන කම්කරුවන් පැහැරගෙන යමින් හිටපු රාජපක්ෂ ආන්ඩුව කම්කරුවන් මතට කෲර ලෙස ප‍්‍රහාර එල්ල කලා. දැන් මේ ආන්ඩුවත් කම්කරුවන් හා ශිෂ්‍යයන් මතට වඩා දරුනු ප‍්‍රහාර එල්ල කරනවා. මේ ඔවුන් පොරොන්දු වූ “යහ පාලනයද” ? ”

සිර ගත කරන ලද මරුති සුසුකි කම්කරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ඉල්ලන හජාජාක ඔන්ලයින් පෙත්සම අත්සන් කරන්නට බොහෝ වරාය කම්කරුවෝ එකඟ වූ අතර හජාජාක ඔන්ලයින් මැයි රැලිය ගැන තමන්ගේ උත්සුකතා පල කලහ.

Share this article: