ව්‍යාජ-වාම පක්ෂ, මීතොටමුල්ල ව්‍යසනය ධනපති ක‍්‍රමයේ ප‍්‍රතිඵලයක් බව වසන් කරයි

විලානි පීරිස් විසිනි , 2017 මැයි 5

ජීවිත තිස් ගනනක් බිලි ගනිමින්, නිවාස සියගනනක් අපද්‍රව්‍ය වලට යටකරමින් සහ දහසකට අධික සංඛ්‍යාවක් අවතැන් කරමින්, අපේ‍්‍රල් 14දා සවස, කොලඹ මීතොටමුල්ල කුනු කන්ද නායයාමෙන් සිදුව ඇති මහා ව්‍යසනය ට වගකිවයුතු වන්නේ අර්බුදග‍්‍රස්ත ධනේශ්වර ක‍්‍රමය බව වසන් කිරීමට ව්‍යාජ-වාම පක්ෂ සෑම උත්සාහයක්ම දරමින් සිටී.

රටක් රටක් පාසා පාලක පන්තීන් විසින් ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ ලාභ අවශ්‍යතාවන් මත මහජන සේවාවන් සඳහා වැය කෙරෙන මුදල් දැවැන්ත ලෙස කප්පාදු කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස මහජනයා, විශේෂයෙන් ම දුගී ජනයා, නිරන්තරව මෙවන් ව්‍යසනයන්ට ලක්වීම ජාත්‍යන්තර ප‍්‍රපංචයකි. 2008 න් ඇරැඹී වඩවඩාත් ගැඹුරුවන ලෝක ආර්ථික අර්බුදය හමුවේ මෙම කප්පාදු වඩාත් තීව‍්‍ර වන තතු යටතේ මෙවන් ව්‍යසනයන්ගේ පරිමාව සහ සංඛ්‍යාතය වැඩි වෙමින් පවතී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගයන් මත අයවැය පරතරය අඩු කිරීම සඳහා වියදම් කප්පාදු කරන ශී‍්‍ර ලංකාවේ අනුප‍්‍රාප්තික ආන්ඩු විසින් කසල කලමනාකරනයේ විධිමත් කි‍්‍රයා පිලිවෙතකින් මුලුමනින්ම බැහැරව, රටේ විවිධ පලාත්හි දුගී ජන නිවස්නා ප‍්‍රදේශයන් හි කුනු කඳු ගොඩගසමින් පවතී.

අවුරුදු 40 ක පමන කාලයක් පුරා කොලොන්නාව නගර සභා ප‍්‍රදේශයේ අපද්‍රව්‍ය බැහැරලන ස්ථානය වශයෙන් මෙම භූමි භාගය පැවතුනි. කොලඔ නගරය ජාත්‍යන්තර වානිජ කේන්ද්‍රයක් බවට පත්කිරීමේ සැලසුම් යටතේ රාජපක්ෂ ආන්ඩුව විසින් කි‍්‍රයාත්මක කල නගර අලංකරන ව්‍යාපෘති යටතේ, 2009 සිට කොලඹ නගර සභා ප‍්‍රදේශයේ කසල ද මෙම ස්ථානයට බැහැර කිරීම ආරම්භ කිරීමත් සමග එය මහා කුනු කන්දක පරිමානයෙන් වර්ධනය වී, මේ වන විට අක්කර 23ක් පුරා පැතිර පවතී. කුනු කන්ද පරිසරය දූෂනය කරමින් නිවැසියන් රෝගී තත්වයට පත් කෙරුනු තතු යටතේ ඊට එරෙහිව ප‍්‍රදේශයේ මහජනතාව අතර බලගතු විරෝධයක් වර්ධනය විය.

රාජපක්ෂ ආන්ඩුව පැවති සමයේදීම මීතොටමුල්ල කුනු කන්ද ට එරෙහිව මහජන අරගල ආරම්භ විය. මෙම අරගලයන්ගේ මුදුනට පැනගත් ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) උද්ඝෝෂනය මෙහයවනු ලැබූයේ එවකට කොලඹ දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්ෂ (එජාප) මන්තී‍්‍ර හා කොලොන්නාව එජාප සංවිධායක එස්. එම්. මරික්කාර් සමග ය. තම පක්ෂයේ ආන්ඩුවක් බලයට පත්වූ පසු කුනු කන්ද ඉවත් කරන බවට මරික්කාර් මහජනතාවට පොරොන්දු විය. පෙසපේ ද සහාය ලබා බලයට පැමිනි වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව මීතොටමුල්ල ජනතාවගේ ප‍්‍රශ්නය මුලුමනින්ම නොතකා කුනුකන්ද තවත් විශාල කිරීමෙන් නායයාම වේගවත් කලේය.

පෙසප තමාට හුරු පුරුදු පූච්ඡානම් භාෂාවෙන් අනුප‍්‍රාප්තික ආන්ඩු විවේචනය කරන නමුත් ව්‍යසනය සම්බන්ධයෙන් අතිමූලික ලෙස වගකිවයුතු, ලාභය මත පදනම්වූ ධනේශ්වර ක‍්‍රමය එම වගකීමෙන් මුදා හරී. නයබරින් මිරිකී ඇති ආන්ඩු වලට බලපෑම් යොදා ප‍්‍රශ්නය විසඳාගත හැකිය යන මිත්‍යාව අන් සෑම තැනකදී මෙන්ම මීතොටමුල්ලේදී ද වපුරයි.

ව්‍යසනයෙන් පසු පුවත්පත් සාකච්ඡාවක් කැඳවූ කොලොන්නාව කුනුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු සහ පෙසප යේ නායකයෙකු වන නුවන් බෝපගේ මෙසේ පැවසීය. “පහුගිය 2015 පෙබරවාරි මාසෙ අගමැති රනිල් වික‍්‍රමසිංහ අපට සාකච්ඡාවක් දීලා පොරොන්දු වුනේ මේ ප‍්‍රශ්නය මාස හයකින් විසඳනවා කියල. ඔවුන් පාලකයන් හැටියට කලේ අපිව මේ අද වෙලා තියෙන විපතට ඇද දමපු එක.”

“ඒ නිසා අපි කියනවා මහින්දලා, රනිල්ලා, මෛතී‍්‍රපාලලා මේ මිනිමැරුම් සම්බන්ධව චෝදනාවට ලක්කල යුතුයි කියල. ඔවුන් වගකිවයුතු මිනිමැරුම් මේවා. නඩු පවරලා ඔවුන් දඬුවම්වලට යටත් කල යුතුයි.”

වික‍්‍රමසිංහ සමග සාකච්ඡා පවත්වමින් මෙම ආන්ඩුව ගැන මිත්‍යාවන් පතුරවමින් මහජනතාව නොමගයැවූ පෙසප දැන් කෙරෙන විවේචන ප්‍රෝඩාවන්ය. ඔවුන් විසඳුම ලෙස ඉදිරිපත් කරන්නේ නඩු පවරා දඬුවම් පැමිනවීමය. පසුගිය වසරවලදී තහවරුවූ පරිදි අධිකරනය මගින් ප‍්‍රකාශයට පත්කරනු ලබන්නේ දේශපාලන තීන්දුය. දොම්පේ හා කරදියාන කසල කඳු ගැසීමට එරෙහිව පැන නැගි මහජන උද්ඝෝශනය තහනම් කරමින් උසාවි නියෝග ලබා ගැනීමට පොලීසිය ඉදිරියට ගියේය.

දැන් ජනාධිපති සිරිසේන කසල ඉවත් කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කොට උද්ඝෝෂන සම්පූර්නයෙන් ම තහනම් කර ඇත. උසාවි ලවා කල හැකිව ඇත්තේ වරදකරුවන්ට දඬුවම් පැමිනවීම නොව මහජනයා වරදකරුවන් බවට පත් කිරීමය. මේ සියල්ලෙන් පෙන්නුම් කෙරෙන්නේ ධනේශ්වර ක‍්‍රමය යටතේ මජනතාවට විසඳුම් නොමැති බවයි.

අපේ‍්‍රල් 24 වන දා පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවක දී පෙසප මධ්‍යම කාරක සභික රවීන්ද්‍ර මුදලිගේ කියා සිටියේ මෙම ආන්ඩුව “අවුරුද්දකින් දෙකකින් මුදල් වෙන් කරලා කැබිනට් තීරන අරගෙන වැඩපිවෙලක් හැදුවා කියලා.... පෙන්වනවා නම් අපිට පුලුවන් ඒ දක්වා මොකක්ද කරන්නේ කියලා සාකච්ඡා කරන්න.” යනුවෙනි. මෙහි අර්ථය වන්නේ ජීවිත විනාශවනතුරු බලා සිටිය ආන්ඩු යලි ලබාදෙන බොරු පොරොන්දු මහජනතාව ට ගිල්ලීමේ කොන්ත‍්‍රාත්තුවේ පෙසප දිගටම යෙදී ගන්නා බවයි.

මේ අතර පෙසපයෙන් බිඳී ගිය කන්ඩායමක් වන අක්ෂය කන්ඩායමේ ප‍්‍රභාත් ලංකාලෝක අක්ෂය වෙබ් අඩවියට අපේ‍්‍රල් 19 දින ලිපියක් ලියමින් අවධාරනය කර ඇත්තේ “මීතොටමුල්ල කුනු කන්ද නිසා වූ විනාශයට වගකිවයුතු සියලූ නිලධාරීන් හා දේශපාලනඥයන් නීතිය හමුවට” ගෙනආයුතු බවයි. ඔවුන් ද මෙම ව්‍යසනයේ වගකීමෙන් ධනේශ්වර ක‍්‍රමය නිදහස් කරයි.

කුනුකන්ද නායයාමත් සමග කුනුකඳු ගොඩගැසීමට එරෙහිව විවිධ පලාත් වල පැනනැගි මහජන විරෝධයට එරෙහිව විසකුරුම මැදිහත් වීමකට ඉදිරියට පැමින අත්තේ නව සමසමාජ පක්ෂයේ (නසසප) නායක වික‍්‍රමබාහු කරුනාරත්නයි.

අපේ‍්‍රල් 24 දින මව්බිම පුවත්පතට කෙටි ප‍්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ ප‍්‍රතිචකී‍්‍රකරනයට කවුරු හෝ විරුද්ධ නම් පෙලපාලි යනවා නම් විශ්ව විද්‍යාල සිසුන්ට ජල ප‍්‍රහාර හා කඳුලු ගෑස් එල්ල කලාසේ ම “පොලීසිය යොදා මර්දනය කල හැකි” බවය.

එක්සත් ජනපද අධිරාජ්‍ය ගැති වත්මන් ආන්ඩුව බලයට ගෙනඒම සඳහා සෘජුව දරදිය ඇදි කරුනාරත්න අධ්‍යාපනය පෞද්ගලීකරනය වැඩපිලිවෙලේදී ද ආන්ඩුව සමග පෙලගැසී සිටින අතර, ඔහු පොලිස් ප‍්‍රහාර මගින් සිසුන් මර්දනය කිරීමට පක්ෂපාත සේම කුනු කඳු ගැසීම මගින් පීඩාවට ලක්වන මහජනයා මර්දනය කිරීමට ද පක්ෂපාතීය.

ව්‍යාජ-වම්මුන්ගේ මෙම අවමංගත කිරීම් මධ්‍යයේ, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව මීතොටමුල්ල ව්‍යසනය යහමින් ගසා කමින්, ජාත්‍යන්තර ප‍්‍රාග්ධන අවශ්‍යතා වෙනුවෙන් කි‍්‍රයාත්මක කෙරෙන මෙගා පොලිස් ව්‍යාපෘතිය ට සරිලන පරිදි කොලඹ නගරය දුගීන්ගෙන් සහ කසල වලින් ශුද්ධ පවිත‍්‍රකර ගැනීම වේගවත්කර ඇත. මේ යටතේ මීතොටමුල්ල කුනු කන්ද අනෙකුත් ප‍්‍රදේශ වලට ගෙන යන අතරේම කන්ද අවට පදිංචිව සිටි නිවැසියන්ද එම ප‍්‍රදේශයෙන් ඉවත් කිරීමට ආන්ඩුව සැරසෙයි.

මීතොටමුල්ල වැනි ව්‍යසනයන් ධනපති ක‍්‍රමයේ ප‍්‍රතිඵලයක්ය යන්න වසන් කරමින්, ධනේශ්වර ආන්ඩුවලට බලපෑම් යෙදීමෙන් එවන් ප‍්‍රශ්න විසඳාගත හැකිය යන්න පෙසප ඇතුලු ව්‍යාජ-වාම පක්ෂ විසින් ඉදිරිපත් කරන වැඩපිලිවෙලයි. මෙම විරෝධතා දේශපාලනයට එරෙහිව සමාජවාදී සමානතා පක්ෂය එක දිගටම පෙන්වා දුන්නේ, මෙම ව්‍යසනයන්ගේ මූලය ලාභය මත පදනම් කෙරුනු ලෝක ධනේශ්වර ක‍්‍රමය බැවින්, එයට එරෙහි දේශපාලන අරගලයකින් තොරව, එනම් ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් වැදීමෙන් තොරව, කම්කරු-පීඩිත මහජනතාවට තම ප‍්‍රශ්න කිසිවක් ජයගත නොහැකි බවයි. ව්‍යාජ-වාම පක්ෂවල විරෝධතා දේශපාලනයෙන් මුලූමනින් ම බිඳී වෙන් වීම මේ අරගලය සඳහා අත්‍යවශ්‍ය කෙරී ඇත.

Share this article: