ශ්‍රී ලංකාවේ අගමැති ඇමරිකානු සගයන් සමග බැඳීම් තරකරගනී

Sri Lankan prime minister strengthens ties with US allies

විජිත් සමරසිංහ විසිනි, 2017 මැයි 11

පසුගිය මාසයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ ජපානය, වියට්නාමය හා ඉන්දියාවේ නිල සංචාර වල නිරත විය. මේ සෑම රටක් සමගම ශක්තිමත් ආර්ථික බැඳීම් ඇතිකර ගැනීමට හා “ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව” යන ව්‍යාජය යොදා ගනිමින් මිලිටරි සහයෝගීතාව වර්ධනය කිරීමට ද වික‍්‍රමසිංහ පොරොන්දු විය.

ඉන්දියාව, ජපානය හා වියට්නාමය යන රටවල් තුනම ඇමරිකාවේ චීනයට එරෙහි යුද සැලසුම් වල මූලෝපායික පාර්ශවකරුවන්ය. මේ සංචාර සිදු කෙරුනේ, ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් චීනය මත යැපීම පිලිබඳව, ටෝකියෝවේ, නවදිල්ලියේ හා වොෂින්ටනයේ වර්ධනය වන උත්සුකය හමුවේය.

2015 දී ඇමරිකාව ඉන්දියාවේ ද සහාය ඇතිව මහින්ද රාජපක්ෂ ජනාධිපති කමින් ඉවත් කර මෛත්‍රීපාල සිරිසේන බලයේ පිහිටුවීම සඳහා තන්ත‍්‍රමාරු කුමන්ත‍්‍රනයක් දියත් කලේ, රාජපක්ෂ හා චීනය අතර වර්ධනය වෙමින් තිබුනු සමීප සම්බන්ධතා නිසාය. සිරිසේන වහාම චීනයේ අරමුදල් යොදාගත් ව්‍යාපෘති ගනනාවක් අත්හිටුවනු ලැබූ නමුත් අරමුදල් හිඟයකට හා නය බරින් මිරිකී සිටින ආන්ඩුව ආයෝජන සඳහා යලිත් හැරී ඇත්තේ බීජිනය වෙතය.

මෙයින් වඩාත්ම විවාදයට තුඩුදී ඇති ව්‍යාපෘතිය නම් “චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩිංස්” සමාගමට, චීනය විසින් ඉදිකරන ලද හම්බන්තොට වරායේ කොටස් වලින් වැඩි ප‍්‍රමානයක් 99 අවුරුදු බද්දකට ලබා දීමට යෝජිත ගිවිසුමයි. අගමැති වික‍්‍රමසිංහ තම සංචාර වලදී පරිස්සමෙන් වචන තෝරාගෙන සකස් කල ඒකාබද්ධ ප‍්‍රකාශයන් මගින්ඒ ඒ රටවල තම සගයන්ට සහතික කර සිටියේ, තමන් චීනයෙන් ආර්ථික ආයෝජන බලාපොරත්තු වුවත්, කොලඹ පාලනය ආසියාව තුල ඇමරිකාවේ මිලිටරි සුදානම සමග සම්පූර්නයෙන්ම පෙලගැසී සිටින බවයි.

ටෝකියෝවේදී වික‍්‍රමසිංහ භූ-දේශපාලනික හා ආර්ථික කරුනු පිලිබඳව පුලුල් සාකච්චා වල නිරතවිය. ජපානය ඇමරිකාවේ සගයෙක් ලෙස සිටියත්, එයටත් තමන්ගේම අධිරාජ්‍යවාදී අරමුනු සඳහා ගෝලීයව හා ආසියානු රටවල් සමග මූලෝපායික සම්බන්ධතා වර්ධනය කරගැනීමේ අවශ්‍යතාවක් ඇත.

යෝජිත චීන ව්‍යාපෘති ආර්ථික ස්වභාවයේ ඒවා පමනක් බව වික‍්‍රමසිංහ ජපාන බලධාරීන්ට සහතික විය. හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් ඔහු කියා සිටියේ “මෙය සම්පූර්නයෙන්ම වානිජ ව්‍යාපෘතියක් පමනයි, ශ්‍රී ලංකාවේ වරායන්, ශ්‍රී ලංකා නාවික හමුදාවට හැර අන් කිසිඳු මිලිටරි කාර්යයක් සඳහා යොදා ගැනීමට ඉඩ දීමට අපට අවශ්‍යතාවක් නැහැ.” යනුවෙනි.

නමුත් සැබෑව නම්, මේ සීමාව බලපැවැත්වෙන්නේ චීන නාවික හමුදාවට පමනක්ය යන්නයි. මාර්තු මාසයේදී ඇමරිකානු පැසිෆික් නාවුක බල ඇනියේ “ෆෝල් රිවර්” ප‍්‍රවාහන නෞකාව හම්බන්තොට වරායට පැමින ශ්‍රී ලංකා, ජපාන හා ඕස්ට්‍රේලියානු නාවුක යාත‍්‍රා සමග ඒකාබද්ධ අභ්‍යාසයක් පැවැත්වීය.

වික‍්‍රමසිංහ සහ ජපාන අගමැති ශින්සෝ අබේ නිකුත් කල ඒකාබද්ධ ප‍්‍රකාශය මගින් දෙරට අතර වඩාත් සමීප ආර්ථික හා මිලිටරි සහයෝගිතාව සඳහා වැඩසටහනක් ඉදිරිපත් කර තිබිනි. මේ අනුව ටෝකියෝව යෙන් බිලියන 44ක් (ඩොලර් මිලියන 387ක්) නය ආධාර වශයෙන් සපයනු ඇති අතර, තවත් යෙන් බිලියනයක් ඉන්දියාව සමග එක්ව ත්‍රිකුනාමල වරාය සංවර්ධනයට යොදවනු ඇත.

සමුද්‍ර ආරක්ෂාව පිලිබඳ සම්බන්ධතා වර්ධනය කර ගැනීමට ද දෙරට එකඟ විය. මේ අනුව, ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත මීලඟ ජපාන-ඉන්දීය වෙරල ආරක්ෂක අභ්‍යාස වලදී ශ්‍රී ලංකාව නිරීක්ෂකයෙක් ලස සහභාගී වනු ඇති අතර ඊලඟ වසරේ සිට පූර්න හවුල්කරුවෙක් ලෙස සහභාගී වනු ඇත. ඒකාබද්ද ප‍්‍රකාශය දෙරට අතර මේ වන විට සිදුවන ඉහල මට්ටමේ මිලිටරි හුවමාරුව ගැන සතුට පලකල අතර, ශ්‍රී ලංකා වෙරල ආරක්ෂක අංශයට සැපයෙන ජපාන ආධාර පුලුල් කිරීමටද පොරොන්දු විය. මේ වන විට ශ්‍රී ලංකා වෙරල ආරක්ෂක අංශය ජපානයේ නිෂ්පාදිත P-3Cක්‍ මුර සංචාරක ගුවන් යානා දෙකක් භාවිත කරන අතර ජපාන මුල්‍ය හා තාක්ෂනික ආධාර සහිතව මුර සංචාරක යාත‍්‍රා දෙකක් තනමින් සිටී.

සිඞ්නි නුවර ලොවී ආයතනයේ “ඉන්ටර්ප්‍රිටර්” සඟරාවට අනුව, ජපාන අගමති අබේ, මීලඟ ජුලි මාසයේදී “මලබාර් හමුදා අභ්‍යාසයට ද” ශ්‍රී ලංකාව නිරීක්ෂකයෙක් ලෙස සහභාගී විය යුතුයයි යෝජනා කර ඇත. ඉන්දියාව, ඇමරිකාව හා ජපානය අතර සිදුවන මේ අභ්‍යාසයට ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් සහභාගී කර ගැනීමට ඉන්දියාව ද කැමැත්ත පලකර ඇත.

ඒකාබද්ධ ප‍්‍රකාශය, ඇමරිකානු ආස්ථානය අනුව යමින්, උතුරු කොරියාවේ න්‍යෂ්ටික හා දිගුදුර ප‍්‍රක්ෂේප මිසයිල අත්හදාබැලීම් “දැඩි ලෙස” හෙලා දකිනු ලැබිනි. තවදුරටත්, එමගින් දකුනු චීන මුහුදේ සාමය හා ස්ථාවරත්වය, එහි යාත‍්‍රා කිරීම හා පියාසැරීමේ නිදහස හා බාධාවකින් තොර නාවුක වෙලඳාම සඳහා සියලු රටවලට ඇති අයිතිය රැකීම සඳහා දෙරටේ කැපවීම ද තහවුරු කෙරිනි. මේ සියලු කාරනා එල්ලවී ඇත්තේ චීනයට එරෙහිවය.

වියට්නාමයේදී වික‍්‍රමසිංහ හා අගමැති නුයෙන් ක්සුආන් ෆුක් දෙරට අතර වානිජ ගනුදෙනු එලඹෙන වසර කීපයේදී ඩොලර් බිලියන 1 දක්වා වර්ධනය කරගැනීමට එකඟ වූහ. ඒ සමගම, වියට්නාම ආරක්ෂක පුහුනු පීඨය හා ලංකාවේ කොතලාවල ආරක්ෂක විද්‍යාලය අතර ද සහයෝගීතා වැඩිදියුනු කිරීමට දෙරට එකඟ විය. ජපානයේදී මෙන්, “ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව” හා “නාවික ගමනාගමනයේ නිදහස” සඳහා වියට්නාමය සමග එක්ව කටයුතු කිරීමට වික‍්‍රමසිංහ පොරොන්දු විය. මෙය චීනයට එරෙහි දකුනු චීන මුහුදු ප‍්‍රදේශ පිලිිබඳව වියට්නාමය කරන අයිතිවාසිකම් කියා පෑමට ලබාදෙන නිහඬ සහයෝගයකි.

අප්‍රේල් 27 වෙනිදා වික‍්‍රමසිංහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවිය. මේ සංචාරයෙදී, දෙරට අතර “ආර්ථික ව්‍යාපෘති සඳහා සහයෝගීතාවට” අවබෝධතා ගිවිසුමක්ද අත්සන් තැබිනි. ත්‍රිකුනාමල වරායේ තෙල් ටැංකි සංවර්ධනය කිරීම හා “ආර්ථික හා තාක්ෂනික සහයෝගිතා ගිවිසුම” (එක්ටා) කඩිනම් කිරීමද මෙහිදී සාකච්චාවට ගැනිනි. මේ කාරනා දෙකම ශ්‍රී ලංකාව තුල දැඩි ලෙස මතභේදයට තුඩුදී ඇති අතර, ඉන් පලමුවැන්න වික‍්‍රමසිංහ නවදිල්ලිය බලා පිටත් වීමට ආසන්නයේ ඉන්ධන සැපයුම සම්පූර්නයෙන් අඩාල කල වැඩවර්ජනයකට ද හේතු විය.

මෙහිදී සාකච්චාවට ගැනුනු අනිත් ව්‍යාපෘති අතර, කෙරවලපිටියේ මෙගාවොට් 500ක ද්‍රවශීල ස්වභාවික වායු බලාගාරයක් හා පාවෙන රැඳවුම් ඒකකයක් ඉදිකිරීම, සාම්පූර් ප‍්‍රදේශයේ මෙගාවොට් 50ක් සූර්යශක්ති බලාගාරයක් ඉදි කිරීම හා ත්‍රිකුනාමලය වරාය දියුනු කිරීම හා එහි ඛනිජතෙල් පිරිපහදුවක් ඇති කිරීම හා කොලඹ වරායේ නව බහලූම් අංගනයක් සඳහා ආයෝජනය කිරීමට ඉන්දියානු සමාගම් දිරිගැන්වීම ද ඇතුලත් විය.

ඉන්දීය අගමැති මෝදි ද පසුගිය සතියේ ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිනියේය.

මේ අතර ඉන්දියානු මාධ්‍ය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව කෙරෙහි අනුහස පැතිරවීම සඳහා ඉන්දියව හා චීනය අතර යලි තරගයක් පැනනගිමින් ඇති බවයි. ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්පත ප‍්‍රකාශ කලේ යෝජිත ත්‍රිකුනාමල වරාය ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව “දිල්ලිය හා බීජිනය අතර තුලනය වීමට” ගනු ලබන පියවරක් බවයි. “හම්බන්තොට හා කොලඹ ව්‍යාපෘති චීනයට ලබාදුන් නිසා නොසතුටට පත්වී ඇති ඉන්දියාව සතුටු කිරීම සඳහා ශ්‍රී ලංකාව දිවයිනේ වෙනත් ප‍්‍රදේශ වල ව්‍යාපෘති එරටට ලබා දීමට සැරසෙන” බවද පුවත්පත වැඩිදුරටත් සඳහන් කලේය.

ශ්‍රී ලංකාව චීන ආයෝජන වලට ඇදීයාම බීජිනය දෙසට භූ දේශපාලනිකව හැරීමක් නොවේ. එය රට මුහුන දී ඇති විනාශකාරී ආර්ථික අර්බුදය හමුවේ අසරනවී ගනු ලබන පියවරකි. ශ්‍රී ලංකාව මත ඇමරිකානු ඩොලර් බිලියන 64ක නය කන්දරාවක් ගොඩගැසී ඇති අතර ඉන් ගැලවීමට ආන්ඩුව උමතු සහගතව ආයෝජන සොයමින් සිටී. පසුගිය රාජපක්ෂ ආන්ඩුව සමයේ, චීනය ජපානය අභිභවමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මුල්‍ය සම්පාදකයා බවට පත්විය.

ශ්‍රී ලංකා ආන්ඩුවේ මේ උපාමාරු සිදු වන්නේ, ඇමරිකාවේ ට‍්‍රම්ප් පාලනය උතුරු කොරියාව සමග ගැටුම් උත්සන්න කරමින්, ආසියාව තුල චීනයේ මූලෝපායික ශක්තිය බිඳ දැමීමට පියවර ගනිමින් සිටින කොන්දේසි යටතේය. වික‍්‍රමසිංහගේ මේ සංචාර වලින් පැහැදිලි වන්නේ, ඔහුගේ ආන්ඩුව, කලාපය තුල වොෂින්ටනයේ ප‍්‍රකෝපකාරී ක්‍රියා වලට දිගටම සහාය දක්වන බවයි.

Share this article: