හමුදාව උතුරේ දෙමල සිවිල් ආරක්ෂක භටයන් උද්ඝෝෂනයකට මෙහෙයවති

සුභාෂ් සොමචන්ද්‍රන් සහ එස්. ජයන්ත් විසිනි, 2017 මැයි 20

ශී‍්‍ර ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ සිවිල් ආරක්ෂක බලකායට අනුයුක්ත කර ඇති බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ හිටපු සටන්කරුවන් සිය ගනනක්, අපේ‍්‍රල් 24 වන දින උතුරු පලාත් සභාවට එරෙහිව පෙලපාලියක් පැවැත්වූහ. මෙම රැලිය හමුදාව විසින් සංවිධානය කරන ලද්දක් බව විවෘත රහසකි.

යුද්ධය අවසන් වී වසර අටකට පසුවත් උතුරු හා නැගෙනහිර වාඩිලාගෙන සිටින මිලිටරිය විසින් අල්ලා ගත් තමන්ට අයිති ඉඩම් යලි භාර දෙන ලෙස ඉල්ලමින් දෙමල ජනයා අඛන්නඩ උද්ඝෝෂනයක යෙදෙති. එම තතු තුල දෙමල ජාතික සන්ධානයේ (දෙජාස) නායකයන් රජයේ අමාත්‍යවරුන් හා මිලිටරි නායකයින් හමුවී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ පවතින ගොවිපලවල් උතුරු පලාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යංශයට ද පෙර පාසල් අධ්‍යාපන අමාත්‍යංශයට ද බාර දෙන ලෙස ඉල්ලා ඇත.

දෙමල සිවිල් ආරක්ෂක භටයින් පෙලපාලි ගියේ, මෙම ගොවිපලවල් සහ පෙර පාසල්, දෙජාස බලයේ සිටින උතුරු පලාත් සභාවට භාර දුන්නොත්, තමන්ගේ ජීවනෝපායට අනතුරක් වේ යයි ප‍්‍රකාශ කරමින්, ඒවා “පලාත් සභාවට භාර නොදිය යුතුය” යි ඉල්ලමින් ය.

බලයේ හිටපු ආන්ඩු විසින් අවුරුදු 25කට වැඩි කාලයක් ගෙනගිය වාර්ගික යුද්ධය 2009 මැයි මාසයේ දී දස දහස් ගනන් සිවිල් වැසියන්ද මරනයට පත් කරමින් සමග අවසන් කෙරුනු විට ශී‍්‍ර ලංකා යුද හමුදාව විසින් පරාජය කල බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) සටන්කරුවන් දහස් ගනනක් මිලිටරි පාලනයේ පවතින සිවිල් ආරක්ෂක අංශයට ඇතුලත් කර ගෙන ඇති බව, කොලඹ ඇමරිකානු ගැති ආන්ඩුවට මුක්කුව සපයන දෙජාස ඇතුලූ දෙමල පක්ෂ හා මාධ්‍ය විසින් මෙතෙක් වහංගු කර තිබුනි.

හමුදාව විසින් “පුනරුත්ථාපන” පුහුනුව දුන් 11,000කට පමන හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ගෙන් කොටසකට, කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට අයත් හමුදාව විසින් පාලනය කෙරෙන ගොවිපලවල වැඩ කිරීමට බලකෙරී ඇත. තවත් තුන් දහසක් පමන කාන්තාවන් හමුදා විසින් පාලිත පෙර පාසල්වල වැඩ කරන බවට බීබීසී දෙමල ප‍්‍රවෘත්ති සේවය වාර්තා කරයි. මොවුහු යුද්ධයේදී වැන්දඹුවන් වූ සහ දරිදද්‍රතා රේඛාවෙන් පහල සිටින පවුල්වල කාන්තාවෝ වෙති.

දේශපාලන සිරකරුවන් නිදහස් කරනු, යුද්ධය පැවති සමයේ දී අතුරුදහන් කෙරුනු අය පිලිබඳ තොරතුරු හෙලි කරනු, හමුදාව අල්ලාගෙන සිටින ඉඩම් නිදහස් කරනු, ආදී ඉල්ලීම් ඉදිරිපත්කර ගෙන උතුරු හා නැගෙනහිර දෙමල ජනතාව දිගින් දිගටම විරෝධතා වල යෙදී සිටින තත්වය තුල ඔවුන්ට එරෙහිව එල්ටීටීඊ සාමාජිකයින්ගේ මංමුලා සහගත තත්වය හමුදාව ගසා කා ඇත. නම සඳහන් කිරීමට අකමැති වූ එක් දෙමල සිවිල් ආරක්ෂක සාමාජිකයෙක් පැවසුයේ හමුදාව තමන්ගෙන් නොවිමසා ම ඔවුන්ගේ විරෝධතාව සංවිධානය කල බවයි.

“සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ පවතින ගොවිපලවල් සහ පෙරපාසල් උතුරු පලාත් සභාවට භාර දුන්නොත්, හිටපු සටන්කරුවන් 11,000 සහ තුන් දහසක පෙර පාසල් ගුරුවරුන්ගේ රැකියා අහිමි විය හැකි බව ද එනිසා ඒවා පලාත් සභාවට භාර දිය නොහැකි බව ද ඉහත කී සාකච්ඡාවේ දී හමුදාව ප‍්‍රකාශ කලේ යයි ඊට සහභාගී වූ දෙජාසයේ මන්තී‍්‍ර සිවශක්ති ආනන්දන් බීබීසීයට පවසා තිබේ.

දෙමල ජාතික සන්ධානය මෙම සාකච්ඡා සංවිධානය කලේ උතුරු නැගෙනහිරෙන් හමුදාව ඉවත් කිරීමට හෝ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලීමට නොවේ. මාස ගනනාවක් තිස්සේ දෙමල ජනතාව ගෙනයන අරගල, දෙජාසයේ සහය ඇතිව බලයට පත් ඊනියා යහ පාලන ආන්ඩුව යටතේ ඔවුන්ට කිසිම විසඳුමක් නො ලැබුනු බවට එක් උදාහරනයකි. එමෙන්ම මෙය දෙමල ජනයා අතර දෙජාසයට එරෙහිව විරෝධයක් වර්ධනය කර ඇත. මෙම අතෘප්තිය ද රට පුරාම ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව වර්ධනය වන විරෝධතා ද එකට එක්ව, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට තර්ජනයක් වීමේ හැකියාව ගැන බියට පත්ව සිටින දෙමල සන්ධානය මෙවැනි සාකච්ඡාවලින් සොච්චම් සහන හෝ පොරොන්දු ලබා ගෙන විරෝධතාකරුවන් නිවෙස්වලට යැවීමට උත්සාහ කරයි.

උතුරු පලාත් සභාව ජය ගත්තොත් දෙමල ජනතාවගේ ප‍්‍රශ්න විසඳීමට හැකිය යන මිථ්‍යාව වපුරා, 2013 දී පලාත් සභා මැතිවරනය ජය ගත් දෙජාස, රැකියා ඉල්ලන රැකියා විරහිත උපාධිධාරීන්ගේ ද ස්ථිර පත්වීම් ඉල්ලන ස්වෙච්චා සෞඛ්‍ය සේවකයන්, පවිත‍්‍රතා කම්කරුවන් හා ස්වේච්ඡා ගුරුවරුන්ගේ ද අරගල මාලාවකට මුහුන දෙයි. මැයි 9 දා රැකියා විරහිත උපාධිධාරීන් උතුරු පලාත් සභා කාර්යාලය වටකර උද්ඝෝෂනයක යෙදුනු අතර වව්නියාවේ සෞඛ්‍ය සේවකයෝ ද සතියකට වැඩි කාලයක් තිස්සේ සත්‍යග‍්‍රහයක යෙදී සිටිති.

සිවශක්ති ආනන්දන්ගේ ප‍්‍රකාශය පෙන්නුම් කරන්නේ දෙජාස මෙම ගොවිපල සහ පෙර පාසල්, උතුරු පලාත් සභාව විසින් කලමනාකරනය කල හැකියයි තර්ක කොට පසුව හමුදා නිලධාරීන්ගේ අදහස පිලිගත් බවයි. උතුරු සහ නැගෙනහිර ජනතාවගේ පොදු කි‍්‍රයාවන්වලට මැදිහත්වන මිලිටරිය මෙම හිටපු එල්ටීටීඊ සාමාජිකයන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ඈඳා ගැනීමත්, පෙර පාසල් පවත්වාගන යාමත්, සමාජය මිලිටරීකරනය කිරීමේ කොටසකි. මෙම හිටපු සටන්කරුවන් රාජ්‍ය යන්ත‍්‍රයේ කොටසක් ලෙස උතුරු-නැගෙනහිර දෙමල කම්කරුවන්ට හා දුගීන්ට එරෙහිව උසිගැන්වීමට යොදා ගන්නා බව ඔවුන්ගේ ඉල්ලීම්වලට එරෙහිව විරෝධතාවකට යෙදවීමෙන් අනතුරු අඟවා ඇත.

යුද්ධය අවසනයේ දී, හමුදාව විසින් අත්අඩංගුවට ගත් හා හමුදාවට භාරවූ දිවි ගලවා ගත් කොටි සටන්කරුවන් සියලූ දෙනා

“නිදහස් කෙරුනේ” “පුනරුත්තාපනය” යන නමින් ගෙන ගිය දැඩි වධහිංසා, ප‍්‍රශ්න කිරීම, ඇතුලූ වසර ගනනාවක මොලේ සේදීමේ රැඳවි ජීවිතයකින් පසු වය. මේ ආකාර අත් අඩංගුවට ගැනීමෙන් පසු කොටි සංවිධානයේ ප‍්‍රධාන පුද්ගලයින් ඇතුලූ සිය ගනනක් අතුරුදහන්කර ඇත. නිදහස් කිරීමෙන් පසු පවා ඔවුන් හමුදා බුද්ධි අංශයේ නිරීක්ෂනයන්ට ලක්ව සිටියි.

“පුනරුත්ථාපන” පසුව රැකියා ලබා දෙන බව ආන්ඩුව ප‍්‍රකාශ කල නමුත්, ඔවුන්ට රැකියා ලැබුනේ නැත. තම අකමැත්ත තිබියදීම සිවිල් ආරක්ෂක අංශයට ඒකාබද්ධ වීමට ඔවුන් තල්ලුවුනේ දුප්පත්කම නිසා ය. පසුගිය ජනවාරි මාසයේ දී හිටපු පිරිමි හා කාන්තා සටන්කරුවන් රැකියා ඉල්ලා කිලිනොච්චියේ සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව ඉදිරියේ උද්ඝෝෂනයක නිරතවිය. මෙය යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිත යලි ගොඩනගා ඇති බවට පච දොඩවන කොලඹ පාලක ප‍්‍රභූවේ හා ඔවුන්ට පිටුබලය දෙන දෙජාසයේ වංචනිකභාවයට එක් උදාහරනයකි.

මෙම තරුනයන්ගේ අසරනභාවයට හා දෙමල ජනයාගේ සියලු ප‍්‍රශ්නවලට කොලඹ අනුප‍්‍රාප්තික ආන්ඩු හා දෙජාස මුලුමනින්ම වගකිව යුතුය. හිටපු එල්ටීටීඊ සාමාජිකයන් ජීවනෝපාය සඳහා තමන්ව මර්දනය කරන, තමන්ට එරෙහි යුද්ධයක් කල හමුදාව යටතේම සරන සෙවීම පෙන්නුම් කරන්නේ, අධිරාජ්‍යවාදීන් හා ඉන්දියාව වැනි කලාපීය බලවතුන්ගේ සහයෙන් වෙනම දෙමල ඊලම් රාජ්‍යයක් අටවා ගැනීමේ අරමුන ඇතිව සටන් කල සන්නද්ධ කන්ඩායම්වල ප‍්‍රතිගාමී බංකොලොත් ජාතිකවාදී දේශපාලනය ද හේතු විය.

ලංකාව මත තම අධිකාරිය තබා ගැනීම සඳහා දෙමල බෙදුම්වාදයේ නැගීමට උදව් කල ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදීන් සහ ඉන්දියාව ද, කොටි සංවිධානයේ පැවැත්ම කලාපයේ සිය මූලෝපායික අවශ්‍යතාවලට විරුද්ධව පිහිටා ඇති බව පෙනී ගිය කල, හිටපු ජනාධිපති රාජපක්ෂගේ ආන්ඩුවට මූල්‍ය ආධාර සහ යුද උපකරන ද ලබා දී කොටි සංවිධානය මුලුමනින්ම විනාශ කර දැමීමට උදව් කලේය.

යුද්ධයේ අවසන් දිනවල 40,000 කට අධික සිවිල් වැසියන් ඝාතනය කර ඇති බැව් එක්සත් ජාතීන්ගේ වාර්තාවක් සඳහන් කරයි. යුද්ධය අවසානයේ දී, උතුරේ ජීවත් වූන ලක්ෂ තුනක් පමන ජනතාව හමුදාව විසින් “සුභසාධන” බෝඞ් ලාලා යටතේ පවත්වා ගෙන ගිය රැඳවුම් කඳවුරු තුල සිරකර තැබීය. වසර ගනනාවකට පසුව මෙම පවුල් මූලික පහසුකම්වත් නොමැතිව ඔවුන්ගේ ගම් හෝ වෙනත් ස්ථානවලට නැවත පදිංචි කිරීමේ නාමයෙන් ඇද දමනු ලැබී ය. තවමත් පවුල් දහස් ගනනක් තාවකාලිකව ඉදිකල පැල්පත්වල ජීවත් වෙති.

මානසික පීඩාව නිසා බොහෝ සටන්කරුවන් සිය දිවි නසා ගෙන ඇත. මෑත සිදුවීමක් නම්, මැයි 6 දා මඩකලපුවේ චෙන්කලාඩි හි වයස අවුරුදු 6ක ලමයකුගේ මවක් හා හිටපු සටන්කාරියක් වූ කාන්තාවක් ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගැනීමයි. හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු වූ ඇගේ සැමියා ද සියදිවි හානි කරගත් හේතුවෙන් ඇය මානසික පීඩාවට ලක්ව සිටියා ය.

හිටපු එල්ටීටීඊ සාමාජිකයන් විශාල ගනනක් අංගවිකලව ජීවත් වෙති. බොහෝ අය ලෙඩ රෝග වලට ගොදුරුවී, විශේෂයෙන් පිලිකා නිසා මරනයට පත්විය. 2015 දී පමනක් එලෙස මිය ගිය ගනන 107 පමන වෙති. “පුනරුත්ථාපන” කඳවුරේදී තමන් රඳවා සිටි විට රෝග වැලැක්වීමේ ඖෂධ එන්නත් නමින් විෂ සහිත ඖෂධ එන්නත් කල බවත්, සමහර විට ආහාරයට මිශ‍්‍ර කර දීමට ඉඩ තිබුනු බවත් “පුනරුත්ථාපනය” කෙරුනු සටන්කරුවන්ගෙන් ඇතැමෙක් චෝදනා කරති.

දෙජාස මේ සම්බන්ධයෙන් පරීක්ෂනයක් සිදු කල යුතුයයි මුලින් ඉල්ලා සිටිය ද, තමන් ද බලයට ගෙන ඒමට දායක වූ සිරිසේන-වික‍්‍රමසිංහගේ ඇමරිකානු ගැති පාලනයට ඇතිවිය හැකි අපහසුතාවය ගැන සැලකිලිමත් වී ආන්ඩුවේ ප‍්‍රතික්ෂේප කිරීම ගෙඩිය පිටින් පිලිගත්තේය.

දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ පාර්ලිමේන්තු හොරනෑව ලෙස කි‍්‍රයා දෙජාස, යුද්ධයෙන් පසු අධිරාජ්‍යවාදීන් වෙත නැඹුරුව පෙරට ගෙන යමින් ඇමරිකාවේ භූ දේශපාලන උවමනාවන් මත රාජපක්ෂ පාලනය ඉවත්කර සිරිසේන බලයට ගෙන ඒමේ තන්ත‍්‍ර මාරුව සිදු කරන විට ඊට සහයෝගය දුන්නේය. ඔවුන්ගේ උත්සුකය ඇමරිකාවේ භූ දේශපාලන උවමනාවන්ට සහයෝගය දීමෙන් හා එහි කොටසක් ලෙස කොලඹ ආන්ඩුවට සේවය කිරීමෙන් දෙමල ප‍්‍රභූවේ වරප‍්‍රසාද ලබාගැනීමේ තුච්ච උවමනාව ඉටුකර ගැනීමයි.

2013 දී පාර්ලිමේන්තුවේ දී කල කතාවක් තුලදී දෙජාස නායක ආර්. සම්බන්දන්, උතුරු-නැගෙනහිර සිට හමුදාව ඉවත්කර ගැනීම අවශ්‍ය නැති බව ප‍්‍රකාශ කලේය. “හමුදා මුලුමනින්ම ඉවත් කරන ලෙස අප ඉල්ලන්නේ නැත. හිටපු ස්ථානයන්හි සීමාවේ ඔවුන්ට සිටිය හැකි ය. ඔවුන්ගේ බුද්ධි අංශවල කටයුතු සහ අධීක්ෂනය දිගටම ගෙන යා හැකි ය” යි ඔහු ප‍්‍රකාශ කලේ ය. හමුදාව උතුරු-නැගෙනහිර දිගටම පවත්වාගන යාමෙන් දෙමල කම්කරුවන් හා දුගීන් අතර වැඩෙන සමාජ පිපිරීම් තලා දමා ධනපති පන්ති පාලනය සුරක්ෂිත කර ගැනීමට අවශ්‍ය බව දෙජාස ගනන් බලයි.

දෙමල කම්කරු-පීඩිත ජනතාව, ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කර ගැනීමේ සටන සඳහා මෙවැනි ධනපති පක්ෂවලින් ස්වාධීන වී, දකුනේ කම්කරුවන් සහ ඉන්දියාව ඇතුලු දකුනු ආසියාවේත් ජාත්‍යන්තරවත් කම්කරු පන්තිය සමග එක්සත් වීම ද සමාජවාදී කි‍්‍රයාමාර්ගයට සටන් කිරීම ද අවශ්‍ය වේ.

Share this article: