ශ‍්‍රී ලංකාවේ වතු හා දුම්රිය කම්කරුවෝ මරුති සුසුකි බොරු නඩු හෙලා දකිති

Sri Lankan plantation and railway workers condemn Maruti Suzuki frame-up

අපේ වාර්තාකරුවන් විසිනි , 2017 අප්‍රේල් 18

ඉන්දියාවේදී කුමන්ත‍්‍රනකාරීව සිර ගත කල මරුති සුසුකි කම්කරුවන් නිදහස් කර ගැනීමේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) උද්ඝෝෂනයට ශ‍්‍රී ලංකාවේ කඳුකරයේ වතු කම්කරුවෝ හා කොලඹ අගනුවර දුම්රිය කම්කරුවෝ තම සහයෝගය ප‍්‍රකාශ කලහ.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෝ හා ආධාරකරුවෝ වතුකරයට හා දකුනු කොලඹ අර්ධ නාගරික රත්මලානේ පිහිටි දුම්රිය කම්කරුවන්ගේ නිවාස වෙත උද්ඝෝෂනය ගෙන ගියහ. වතු කම්කරුවෝ ශ‍්‍රී ලංකා කම්කරු පන්තියේ දුගීම කොට්ඨාසයට අයත් වෙති. තක්සේරුගත 200,000 ක් වූ කම්කරුවන්ගෙන් බොහොමයක් පවුල් සෞඛ්‍ය පහසුකම් හා පානීය ජලය වැනි මූලික අවශ්‍යතා නොමැතිව ඉතා කුඩා ලයින් කාමර වල වෙසෙති.

ලොනාච් වත්තේ කම්කරුවන් ලෝසවෙඅ වාර්තාකරු සමග සාකච්ඡා කරමින්

එජ ඩො 5 කටත් අඩු දිනක වැටුපක් සහිතව වතු කම්කරුවෝ දුගීම මට්ටමේ වැටුප් ලබති. වෘත්තීය සමිතිවල සහයෝගය සහිතව, ඇද වැටෙන තේ අපනයන හා ආදායම් තත්වයන් යටතේ, ලාභ ආරක්ෂා කිරීමට සමාගම් විසින් අස්වනු නෙලීමට සමානව ගෙවීම වැනි ඵලදායීතාව පදනම් කරගත් වැටුප් ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කරන ලදී.

මේ ක‍්‍රමය හඳුන්වාදෙන්නට සමාගම් හා ආන්ඩුව සමග කුමන්ත‍්‍රනය කල වෘත්තීය සමිතිවලට එරෙහිව ගිය වසරේ කම්කරුවෝ කැරලි ගැසූහ. සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් මෙහෙයවන ලද ව්‍යාපාරයේ ප‍්‍රතිපලයක් ලෙස, මස්කෙලියේ ඩීසයිඩ් වත්තේ කම්කරුවෝ, යෝග්‍ය වැටුප් හා වැඩි දියුනු කරන ලද ජීවන හා වැඩකරන තත්වයන් සඳහා අරගලය ඉදිරියට ගෙන යෑමට, සමිතිවලින් ස්වාධීන, කම්කරු ක‍්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගත්හ.

මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා ඩීසයිඩ් වතු කම්කරු ක‍්‍රියාකාරී කමිටුව පහත යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මත කලේය:

“මාර්තු 18 වනදා ඉන්දීය අධිකරනයක් විසින් මරුති සුසුකි කම්කරුවන් 13 දෙනෙක් ජීවිතාන්තය තෙක් හා තවත් කම්කරුවන් 18 දෙනෙක් වසර 3 සිට 5 තෙක් සිරගත කිරීම ඩීසයිඩ් වතු කම්කරු ක‍්‍රියාකාරී කමිටුව වන අපි සහමුලින්ම හෙලා දකිමු. අපි සියලු කම්කරුවන් ඉක්මනින් නිදහස් කරන ලෙස ඉල්ලමු.

“අපි ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහා දැන ගත් ආකාරයට, කම්කරුවන්ගේ දන්ඩනය හා තීන්දුව ජපානයේ පදනම් වූ මරුති සුසුකි කලමනාකරනය, හර්යානා ප‍්‍රාන්ත ආන්ඩුව හා ඉන්දීය මධ්‍යම ආන්ඩුව විසින් එකතු වී කල කුමන්ත‍්‍රනයක ප‍්‍රතිපලයක් බවයි.

“මරුති සුසුකි කම්කරුවන්ට එරෙහි ප‍්‍රහාරය ජාත්‍යන්තර කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි. මෙය, ලෝක ධනවාදයේ වැඩෙන අර්බුදයේ කොන්දේසි යටතේ, ශ‍්‍රම බලය සූරාකන්නට හා තම ලාභ තරකර ගන්නට කම්කරුවන් මතට ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය විසින් ප‍්‍රකාශිත යුද්ධයේ කොටසක් වේ. 2015 පෙබරවාරියේදී අපට ද මේ හා සමාන ප‍්‍රහාරයකට මුහුන දීමට සිදුවුනි.

“ඉහල දමන ලද වැඩ ප‍්‍රමානයන්ට විරුද්ධ වැඩ වර්ජනයේ පෙරමුනේ සිටි කම්කරුවන් අට දෙනෙක් අත් අඩංගුවට ගත් අතර වතු කලමනාකරනය විසින් ඔවුන් රැකියාවලින් නෙරපා හරින ලදී. වතු වෘත්තීය සමිති මේ ප‍්‍රහාරයේදී කලමනාකරනය හා පොලීසිය සමග අත් වැල් බැඳ ගත්තේය.

“සමාජවාදී සමානතා පක්ෂය පමනක් ඔවුන් නිදහස්කර ගැනීම හා රැකියාවේ පිහිටුවීම සඳහා සටන් කලේය. මෙම අරගලවලින් ඉගෙනගත් පාඩම් හරහා, අපි වෘත්තීය සමිතිවලින් ස්වාධීනව අපේ වත්තේ දී ක‍්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගත්තෙමු.

“වතු සමාගම් තම වතු පැරනි ආකාරයෙන් පවත්වා ගෙන යාම නවතා දමන්නටත් කම්කරුවන් කොන්ත‍්‍රාත් හෝ අනියම් සේවකයන් බවට හරවන්නටත් වැඩ කරමින් සිටිති. එමගින්, තම අතීත අරගල හරහා කම්කරුවන් විසින් දිනාගත් සීමිත අයිතිවාසිකම් පවා අහෝසි කරමින් තම ලාභ තර කර ගන්නට මෙම සමාගම් ඉලක්ක කර ගෙන ඇත.

“මෙම ප‍්‍රහාරයන්ට විරුද්ධව හා ධනපති-ගැති හා ජාතිකවාදී වෘත්තීය සමිතිවලට එරෙහිව සටන් කරන්නට කම්කරුවන් ජාත්‍යාන්තරව එක්සත් විය යුතුය.

“ලෝකයේ කම්කරුවනි එක්වව්!”

සසප ආධාරකරුවෝ අප් කොට් හි ඩීසයිඩ් වත්තේද නුවරඑලිය දිස්ත‍්‍රික්කයේ වටවල පිහිටි මස්කෙලිය හා ලොනාච් වතුවල කම්කරුවන් අතර ද උද්ඝෝෂනය දියත් කලහ. ඔව්හු “කුමන්ත‍්‍රනයට හසු වූ මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරනු! යන හජාජාක ප‍්‍රකාශනය බෙදා හැරියහ.

“මරුති සුසුකි කම්කරුවන්ට එරෙහිව දුන් අධිකරන තීන්දුව කෲරයි. මේක ජාත්‍යන්තර කම්කරු පන්තියට කරන අනතුරු ඇඟවීමක්. මේ වගේම අත්දැකීමක් 2015 දී අපේ වත්තේදී අපට තිබුනා. වත්තේ වැඩපාලකවරයා අපට පහරදෙන්නට පාවිච්චි කරපු බොරු චෝදනා මත මාවත් තවත් කම්කරුවන් හත් දෙනෙක් පසුපසත් පැන්නුවා. මාස කීපයකට පස්සේ, කම්කරුවන්ගේ විරෝධය හා අපව ආරක්ෂා කරන්නට ඔබේ පක්ෂය විසින් ගෙන ගිය ව්‍යාපාරය නිසා චෝදනා ඉවත් කර ගෙන අපිව නැවත රැකියාවේ පිහිටෙව්වා.” ඩීසයිඩ් වත්තේ ජී. විල්ෆ‍්‍රඩ් පැවසීය.

“ඉන්දීය කම්කරුවන්ට එල්ල කරපු මේ ප‍්‍රහාරය අහලා මාව කම්පනයට පත් වුනා. අපි සාමාන්‍යයෙන් ඉන්දියානු රූපවාහිනී නාලිකා කීපයක් බලනවා. නමුත් ඒ එකකවත් මේ බරපතල ප‍්‍රහාරය වාර්තා කලේ නෑ. ඒ වගේම, කිසිම දේශපාලන පක්ෂයක් හෝ වෘත්තීය සමිතියක් ඊට විරුද්ධ වුනා කියලත් අපට ඇහුනේ නෑ. මට මේ කාරනය ඔබගේ ව්‍යාපාරය හරහා විතරයි ඇහුනේ. ඩීසයිඩ් වත්තේ විශ‍්‍රාමික කම්කරුවෙක් වන එම්. ප‍්‍රනාන්දු පැවසීය.

“ජීවිතාන්තය දක්වා සිර ගත කිරීම මරන දඬුවමට සමානයි. තමන්ගේ අයිතිවාසිකම් සඳහා සටන් කරන කම්කරුවන්ට ඔවුන් මේ වගේ දඬුවම් දෙන්නේ කොහොමද? මේක පිලිගන්න බෑ.” ලොනාච් වත්තේ කේ. මනොහරන් පැවසීය.

වත්ත පාලනය කරන වටවල වතු සමාගම හෙක්ටෙයාර් 70 ක පමන තේ වගාව අත හැර දමා ඇති බවත් කිරි ගොවිපොලත් සඳහා ඔස්ට්‍රේලියානු සමාගමකට වත්තේ කොටසක් පවරා දෙන්නට යන බවත් ඔහු පැවසීය. “කම්කරුවන්ට රැකියා නැතිවේවි. වෘත්තීය සමිති මෙම ප‍්‍රහාරයට සහයෝගය දෙනවා.”

වෙනත් තැන්වල සේවකයන්ට සලකන හැටි දැනගැනීම බොහෝ වැදගත් බව රත්මලානේදී දුම්රිය කම්කරුවෝ පැවසූහ. ඔවුන් දන්නේ ඔවුන් වටා සිදුවන දේ පමනක් බවත් කිසිවෙක් මරුති සුසුකි කුමන්ත‍්‍රනය වැනි කාරනා ගැන ඔවුන් සමග කතා නොකරන බවත් ඔව්හු පැවසූහ.

ලංකා දුම්රිය සේවයේ (ලදුසේ) වාත්තු කම්කරුවෙක් පී.කේ. උදය කුමාර

”මෙම ඉන්දීය කම්කරුවන් නිදහස් කර ගැනීමට කම්කරුවන් ඉදිරියට ආ යුතුයි. අපි ජාත්‍යාන්තරව සංවිධානය විය යුතුයි. අපි නොනවතින සටනක් ගෙන යා යුතුයි. දුම්රිය කම්කරුවන් හැටියට, අපි අපේ රැකියා ස්ථිර (පූර්න කාලීන තනතුරු) කර ගත්තේ අරගල තුලින් පමනයි.” දුම්රිය වාත්තු කම්කරුවෙක් වන පී.කේ. උදය කුමාර පැවසීය.

කම්කරුවන්ගේ හා දුගීන්ගේ අවශ්‍යතා අත හැර දමා තමන්ගේ වරප‍්‍රසාද ගැන පමනක් බලා ගන්නා දේශපාලන සංස්ථාපිතයේ සියලු පක්ෂ හෙලා දකිමින්, “අපි විඳවමින් සිටිනවා. සමාජවාදය ගැන කතා කරන ජවිපෙ (ජනතා විමුක්ති පෙරමුන) වගේ පක්ෂත් ඒ වගේමයි. ඔවුන් රතු බැනර් පෙන්වන නමුත් ධනපතියන්ගේ අවශ්‍යතා සඳහා වැඩ කරනවා.”

1960 ගනන්වලදී ඔහුගේ පියා ජවිපෙ හි ආධාරකරුවෙක් වුන නමුත් ජවිපෙ ක‍්‍රියාකාරකම් ඔහුට පිලිකුල් වී ඇති බවත් ඔහු විස්තර කලේය. “මම ශ‍්‍රීලනිප (ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය) සමිතියේ සාමාජිකයෙක්. නමුත් ඔවුන් අපේ ඉල්ලීම් දිනා ගන්න කිසිවක් කරන්නේ නෑ. ඔවුන් පාලක ප‍්‍රභූවේ කොටසක්. ඔබේ ජාත්‍යන්තර ව්‍යාපාරයට මගේ ආචාරය පුද කරනවා.”

ආර්.එස්. ජයරත්න - රත්මලාන ලදුසේ කාර්යාල කම්කරුවෙක්

”එවැනි ජාත්‍යන්තර පක්ෂයක් තිබෙන බව දැනගැනීම සිත්ගන්නා සුලුයි. මේ නිවසට මම මැතකදී ආවේ. ඔබේ පක්ෂය මට හමුවුන පලමුවෙනි වතාවයි මේ.” රත්මලාන දුම්රිය වැඩපොලෙ හි කාර්යාල කම්කරුවෙක් වන ආර්.එස්. ජයරත්න පැවසීය.

“මරුති කම්කරුවන්ට එරෙහි මෙම කාරනාව අයුතු හා අසාධාරනයි. කම්කරුවන් සෑමවිටම සල්ලිකාර පන්තියට යටවෙනවා. පාලක පන්තිය මොන තරම් කෲර ද කියලා මේ දඬුවමෙන් පේනවා. මේක ඉන්දියාවට විතරක් නෙමෙයි මුලු ලෝකයටම අදාලයි. ඒකයි මම කියන්නෙ මෙම ව්‍යාපාරය වටා මුලු ලෝකයේම කම්කරුවන් ඒක රාශී කිරීම සිත් කාවද්දන සුලු බව. මේක හොඳ උත්සාහයක්.” මරුති සුසුකි කම්කරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා හජාජාක විසින් දියත් කර ඇති ඔන්ලයින් පෙත්සම ඔහු අත්සන් කලේය.

“මම හිතනවා කම්කරුවන් සමානාත්මතාවය සඳහා සටන් කල යුතුයි කියා. මෙම දඬුවම සමස්ත ලෝකයේම කම්කරුවන්ට බලපානවා. බලගතු ව්‍යාපාරයක් හරහා අපි මෙය නතර කල යුතුයි. මම ඔබේ සියලු දේශපාලනය සමග එකඟ නොවුනත් මේ ව්‍යාපාරයට මම සම්පූර්නයෙන්ම එකඟයි.” තවත් කම්කරුවෙක් වන විරාජ් සිල්වා පැවසුවේය.

ටී. සුසන්ත - 38 වන වැඩපොලේ ලදුසේ කම්කරුවෙක්

කෙටි කාලීන රැකියාවක් ලෙස ඔහු ත‍්‍රී රෝද රථයක් බද්දට ගෙන ඇති බවත් කම්කරුවා පැවසීය. “අපට එක පඩියකින් ජීවත් වෙන්න අමාරුයි. අපි ඉරිදා ත් වැඩ කරනවා. මේක තමයි හැමතැනම කම්කරුවන්ගේ තත්වය, මරුති සුසුකි කම්කරුවන් තමන්ගේ සොච්චම් පඩිවලට එරෙහිව සංවිධානය වෙලා උත්සාහ කලේ මේ නිසයි.”

“ඉන්දීය අධිකරනයක් විසින් දීපු මේ දඬුවම ශ‍්‍රී ලංකාවේ කම්කරුවන්ටත් අදාලයි. ශ‍්‍රී ලංකාවේ දුම්රිය කම්කරුවෙක් විදිහට මම දඬුවමට ලක්වුනු මරුති සුසුකි කම්කරුවන් සමග මගේ සහෝදරත්වය ප‍්‍රකාශ කරනවා. මම ඔබේ ජාත්‍යන්තර ව්‍යාපාරයත් සමග මුලුමනින්ම එකඟයි.” ටී. සුසන්ත කීය.

”මට පැහැදිලිව කියන්න තියෙන්නේ මෙම නඩු තීන්දුව සම්පූර්නයෙන්ම අසාධාරනයි කියලා. මේ ජාත්‍යන්තර ව්‍යාපාරයට මම මගේ මුලු හදවතින්ම සහයෝගය දක්වනවා.” තිලංග රත්නායක පැවසීය.

Share this article: