2017 මැයි දිනය: දකුනු ආසියාවේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන

May Day 2017: The fight for international socialism in South Asia

විජේ ඩයස් විසිනි, 2017 මැයි 02

අප්‍රේල් 30දා පැවති 2017 අන්තර්ජාල ජාත්‍යන්තර මැයි දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් විජේ ඩයස් විසින් මෙම කථාව පවත්වන ලදී.

නැඟී එන පන්ති අරගල හමුවේ තවත් අධිරාජ්‍යවාදී යුද්ධයක් දෙසට වන තල්ලුව මඟින් නිර්මිත භූ-දේශපාලනික ආතතීන්ගේ මහා සුලිය කලාපයම අලලා ගනියි.

දකුනු ආසියාවේ දේශපාලන, සමාජ හා අන්තර් රාජ්‍ය සම්බන්ධතා අන්තර් සම්බන්ධිත ක්‍රියාවලීන් දෙකක් මඟින් නාටකාකාර ලෙස යලි හැඩගස්වනු ලැබ ඇත.

පලමුවැන්න, තවත් අධිරාජ්‍යවාදී යුද්ධයක් කරා සිදුවන ධාවනයෙන් නිර්මිත භූදේශපාලනික ආතතීන්ගේ මහා සුලිය කලාපයම වෙලාගෙන තිබීමයි.

මේ පිලිබඳව ප්‍රධානකොටම වගකිව යුත්තේ ඇමරිකානු අධිරාජ්‍යවාදයයි. 2001දී ඇමරිකාව ප්‍රෝඩාකාරී “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” නාමයෙන් ඇෆ්ගනිස්ථානය ආක්‍රමනය කලේය. තමන්ගේ ප්‍රධාන මූලෝපායික එදිරිවාදීන් ලෙස සලකන රුසියාව, ඉරානය හා චීනය ඇතුලු රටවලට හා මධ්‍යම ආසියාවේ දැවැන්ත තෙල් සංචිත වලට යාබදව මිලිටරි මූලෝපායික බිම්කඩක් පිහිටුවා ගැනීම එහි අරමුන විය. ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් යන පාලනයන් දෙක යටතේම වොෂින්ටනය, මූලෝපායික වාසි සැලසීම තුලින් සිය ආක්‍රමනිකත්වයට ඉන්දියාව පෙලගස්වා ගැනීම පිනිස සෑම උත්සාහයක්ම දැරීම මඟින් ඉන්දියානු ධනේශ්වරයේම ප්‍රතිගාමී මහබලවතෙකු වීමේ අභිලාෂයන් දිරිමත් කලේය.

2017 අන්තර්ජාල ජාත්‍යන්තර මැයි දින රැලියට විජේ ඩයස් කල කථාව

දෙවැන්න පන්ති අරගලය නැඟෙමින් තිබීමයි. ඊනියා ආර්ථික ප්‍රතිව්‍යූහකරනය තුලින් දකුනු ආසියාවේ ජනතාව දුගී භාවයෙන් හා සමාජ කාලකන්නිකමෙන් මුදාගන්නා බවට දුන් පොරොන්දු මුලුමනිම පුස්සක් වී ඇත. ප්‍රකෝටිපතියන් 101ක් සහිතව ඉන්දියාව ලෝකයේ එවැනි සිව්වන විශාලතම රට බවට පත්ව ඇති අතර ජනගහනයෙන් හතරෙන් තුනක්ම ජීවත් වන්නේ දිනකට ඩොලර් 2ත් අඩු ආදායමක් සහිත දුප්පතුන් ලෙසය. වඩ වඩාත් ගැඹුරු වන සමාජ අසමානතාව හා ආර්ථික අනාරක්ෂිතභාවය, කම්කරු පන්තියේ ප්‍රතිරෝධය අවුලුවයි. පසුගිය සැප්තැම්බරයේදී මිලියන 150ක් ඉන්දියානු කම්කරුවෝ එක් දින විරෝධතා වැඩවර්ජනයකට එක්වූහ. වැඩවර්ජන හා සමාජ විරෝධතා රැල්ලකින් වැටලී සිටින ශ්‍රී ලංකාවේ ආන්ඩුව, බලධාරීන්ගේ වචන වලින් පැවසුවහොත් “රට විනයගත කිරීම” පිනිස විශේෂ බලතල සහිතව ප්‍රධාන ආරක්ෂක හමුදා නිලධාරියා බවට යුද අපරාධකරුවෙකු වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යලි පත්කිරීම ගැන සලකා බලමින් සිටින බව වාර්තා විය.

ඇමරිකාවේ ජනාධිපති වශයෙන් ප්‍රකෝටිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීම අහඹුවක් නොව, පාලක පන්තියේ පරම ප්‍රතිගාමී ප්‍රවනතාවක සලකුනය. ලෝකය මත ඇමරිකාවේ අධිකාරය පිහිටුවීමට යොමුවූ ට්‍රම්ප්ගේ නිර්දය සූදානම, ඉන්දියානු සාගර කලාපය ද ඇතුලු ලෝකයේ සෑම අස්සක් මුල්ලකම භූදේශපාලනික ආතතීන් උත්සන්න කර තිබේ. නැඟෙනහිර චීන මුහුදු ප්‍රදේශයට යවා ඇති ඇමරිකානු යුද නැව් සමූහයේ ඉලක්කය හුදෙක් උතුරු කොරියාව පමනක් නොව චීනයම ආක්‍රමනකාරී ලෙස යටත් විජිත තත්වයකට ඇද දමීමය.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මෙම මූලෝපායික හැරීමේ අත්තිවාරම දමනු ලැබුවේ, සිය “ආසියාවට හැරීමේ” පිලිවෙත සමඟ ඩිමොක්‍රටික ජනාධිපති බරක් ඔබාමාගේ පාලන කාලය තුලය. චීනයට එරෙහි ඇමරිකානු ආක්‍රමනකාරිත්වය, සමස්තයක් ලෙස දකුනු ආසියාවේම මූලෝපායික වැදගත්කම ඉස්මතු කර තිබේ. විශේෂයෙන්ම බටහිර හා නැඟෙනහිර ආසියාව, යුරෝපය හා මැද පෙරදිග ඉන්දියානු සාගර කොරිඩෝව මත විහිද ඇති ශ්‍රී ලංකාව හා ඉන්දියාව එහිදී තීරනාත්මකය.

දැන් ට්‍රම්ප් පාලනය විසින් ඉදිරියට පවත්වාගෙන යාමට දිව්රුම්දී ඇති වොෂින්ටනය “ගෝලීය මූලෝපායික සන්ධානය” පිලිබඳ ප්‍රතිපත්තිය සවිමත් කිරීමට ඔබාමා යටතේ ධවල මන්ඳිරය ගත් පියවර ඉන්දියානු ධනේශ්වරය විසින් දෑතින්ම පිලිගත් අතර ඔවුන්, කම්කරු පන්තික විරෝධී හා වෙලඳපොල ගැති ප්‍රතිසංස්කරන දැඩි කිරීමටත්, වඩා ආක්‍රමනික ලෙස ලෝක කරලියේ තම මහ බලවතෙකු වීමේ අභිලාෂය අවධාරනය කිරීමටත්, 2014දී නරේන්ද්‍ර මෝදි හා ඔහුගේ හින්දු ස්වෝත්තමවාදී බීජේපීය වෙත හැරුනි.

ඉන්දියාව කලාපයේ ප්‍රධාන ඇමරිකානු පොලිස්කාරයා බවට පත්ව ඇත. මෙය, 2015 අගෝස්තුවේ පැවති ඉන්දියාවේ සමූහාන්ඩු දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ඔබාමා, එම වසරේ මුල වොෂින්ටනය ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කල තන්ත්‍ර මාරු මෙහෙයුමේදී ඉටු කල තීරනාත්මක භූමිකාව වෙනුවෙන් මෝදිට ප්‍රසිද්ධියේ ප්‍රසංශා කල විට, එලිමහනට පැමිනයේය. මෙම මෙහෙයුම බීජිනය සමඟ කිට්ටු සම්බන්ධකම් ගොඩනඟාගෙන සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉවත්කර සම්ප්‍රධායිකවම ඇමරිකානු ගැති එක්සත් ජාතික පක්ෂයේ ද සහාය ඇතිව මෛත්‍රීපාල සිරිසේනගේ ආන්ඩුව පිහිටුවීය.

චීනයට එරෙහි ඇමරිකානු යුද ධාවනයේ නියම “පෙරමුනු රාජ්‍යය” බවට ඉන්දියාව පරිවර්තනය වීමත් සමඟ පසුගිය දෙවසර තුල ඉන්දීය-ඇමරිකානු සබඳතා ගුනාත්මක ලෙස පරිවර්තනය වී ඇත. පසුගිය අගෝස්තුවේදී ඉන්දියාව, ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානාවන්ගේ හා යුද නැව්වල ප්‍රයෝජනය සඳහා තම ගුවන් කඳවුරු හා වරායන් විවෘත කලේය. පෙබරවාරියේදී එලිදරව් වුනේ, චීනයට එරෙහි ඇමරිකානු යුද සැලසුම්වල මධ්‍ය ම වගකීම දරන 7වන නාවික බල ඇනියේ නැව් ඉන්දියානු නැව්තටාකාංඟන තුල පිලිසකර කරනු ඇති බවයි. වොෂින්ටනය ප්‍රමුඛ ආරක්ෂක සහකරුවෙකු ලෙස ඉන්දියාව පත්කර ගැනීමත් සමඟ, එරටට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ වඩාත්ම විශ්වාසනීය සහචරයන්ට සමානව, ඇමරිකානු අවි පද්ධතීන් කරා පිවිසීමේ අවස්ථාව හිමි විය. එසේම ඉන්දියාව, වොෂින්ටනයේ ප්‍රමුඛ ආසියානු සහචරයින් වන ජපානය හා ඕස්ට්‍රේලියාව සමඟ ද්විපාර්ශවික හා ත්‍රෛපාර්ශවික බැඳීම් තරකරගෙන ඇත. මේ බැඳීම් සමඟ අත්වැල් බැඳගත් ඒකාබද්ධ මිලිටරි අභ්යාවස, මෑතදී පැවති මලබාර් නාවික අභ්යාස වලදී මෙන්, ශ්‍රී ලංකාව ද සම්බන්ධ කර ගැනීම දක්වා පුලුල්වී ඇත.

චීනය හා ඉන්දියාවේ පරම සතුරා වන පකිස්ථානය, නව දිල්ලියට පිදෙන ඇමරිකානු අධිරාජ්‍යවාදය “මූලෝපායික වාසි” කෙරෙහි ප්‍රතිචාර දක්වන්නේ, තමන් අතර දිගු කලක් තිස්සේ පැවති මූලෝපායික බැඳීම් ශක්තිමත් කර ගනිමිනි.

පකිස්ථානයේ ප්‍රතිගාමී ධනපති පාලක පන්තිය දශක ගනනාවක් තිස්සේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අනුගාමිකයෙක් ලෙස වැඩකර ඇත. ඔවුන් ඉතා භක්තිවන්ත ලෙස බලාපොරොත්තු වුනේ එම තත්වය දිගටම පවත්වාගෙන යාමට වුවත්, ඇමරිකාව විසින් ඉන්දියාව වැලඳගනු ලැබීම, එහි යුදවාදය සවිමත් කර දකුනු ආසියාවේ බල තුලනය වෙනස්කරනු ඇති බවට ඉස්ලමාබාදය යලි යලිත් අනතුරු අඟවා ඇත.

මෙම වර්ධනයන් තුලින් නැඟී එන දැඩි අන්තරායන් තියුනු ලෙසින් ප්‍රකාශයට පත් වුනේ, පසුගිය වසර අවසානයේ ඉන්දියාව හා පකිස්ථානය යන න්‍යෂ්ටික අවි දරන දෙරට යුද්ධයේ අද්දරටම තල්ලුවී යාම තුලය. ඇමරිකාවේ පූර්න සහයෝගය ඇතිව ඉන්දියාව, පකිස්ථානය තුලට “හදිසි ප්‍රහාර” එල්ල කරමින් ප්‍රසිද්ධියේම කයිවාරු ගැසුවේ, පකිස්ථානය සම්බන්ධයෙන් ඉන්දියාව“මූලෝපායික ප්‍රතිබාධනයේ" යුගය අවසන් බවටය. දේශසීමා ගැටුම් තියුනු වෙද්දී දකුනු ආසියාව යුද්ධයේ අද්දරටම පැමිනියේය.

සමස්ත ඉන්දියානු සාගරය හා ආසියානු භූ ස්කන්ධය මත ඇමරිකානු ආනුභාවය පැතිරවීමේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව වැදගත් තැන් ලෙස ඇමරිකානු මූලෝපායයින් විසින් දැකගෙන ඇත. නැඟෙනහිර බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ඔටුන්නේ මානික්‍යය ලෙස ඉන්දියාවත් දෙවන ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය යුද යාන්ත්‍රනයේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ මහනුවර නගරය සලකනු ලැබූ බවත් කිසිවෙකුටත් අමතක කල නොහේ. වෙනස්විය යුතු දෑ වෙනස් වෙමින් තිබේ. ඇමරිකානු අධිරාජ්‍යවාදය බ්‍රිතාන්‍ය යටත් විජිත මූලෝපාය යලි පන ගන්වයි. බ්‍රිතාන්‍යය, ඉන්දියානු හමුදාව යොදාගත්තේ යටත් විජිත ඉන්දියාවේ ජනතාව පාලනය කිරීමට පමනක් නොවේ, බුරුමය යටත්කර ගැනීම බොක්සර් කැරැල්ල මැඬීම මෙන්ම ලෝක යුද්ධ දෙකේදීම ලොව පුරා යුද්ධ කිරීම පිනිස ඔවුන් එය යොදාගත්තේය.

කයිවාරුව පසෙකින් ට්‍රම්ප්ගේ “පලමුව ඇමරිකාව” යන සමාජ ප්‍රතිවිප්ලවයේ පිලිවෙතෙහි අරමුන, ඓතිහාසිකව පීඩිත රටවල දුගී භාවයේ ම්ට්ටම් වලටම ඇමරිකානු කම්කරු පන්තියේ ජීවන තත්වයන් ද පහත හෙලීමයි. ලෝකයේ අන් සියලු තැනක මෙන්ම දකුනු ආසියාවේ ද නිවට ධනපති ආන්ඩු, එසේම කම්කරුවන්ගේ සමාජ තත්වයන් තව තවත් පහතට ඇද දමමින් සිටිති. මෙම සමාජ ව්‍යසනයට සමගාමීව, වැඩකරන ජනතාව වෙහෙසකර සටන් තුලින් දිනාගෙන ඇති සියලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන්, ජාතික හා වර්ගවාදයේ කවරය යටතේ ගෙනයනු ලබන නිර්දය ප්‍රහාරයන්ට මුහුනපා ඇත.

ශ්‍රී ලංකාව මිලිටරි-පොලිස් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීම ඉහලින්ම සූදානම් කෙරෙමින් ඇත. දෙමල සුලුතරයට එරෙහි තිස් වසරක රුදුරු සිවිල් යුද්ධය ගෙනයාම පිනිස යොදවන ලද මිලිටරිය පුලුල් කර, අලුතෙන් බඳවාගැනීම් වලින් ද තිරිසන් ආම්පන්න වලින් ද සන්නද්ධ කෙරෙන අතර පෙර පැවති ඕනෑම පාලනයක් ඉක්මවා යන ආඥාදායක පාලනයක් පිහිටුවීම සඳහා ව්‍යවස්ථාමය හා නීතිමය වෙනස්කම් සිදුකෙරෙමින් තිබේ.

ඉන්දියාවේ වහල්‍ ශ්‍රම කොන්දේසි වලට අභියෝග කල මරුති සුසුකි කම්කරුවන්, ඔවුන්ගේ නායකයින් ගොතන ලද චෝදනා මත ජීවිතාන්තය දක්වා හිරේ දමා රුදුරු ලෙස මර්දනය කරන ලදී. කාෂ්මීරයේදී ඉන්දියානු පාලක පන්තියට එරෙහිව පැනැනැඟි විරෝධතා, පකිස්ථානයට එරෙහි යුද ඝෝෂාවෙන් හා රුදුරු මර්දනයෙන් තලා දැමේ.

කම්කරු පන්තියේ නව අරගල රැල්ලක පැනනැඟීම ද ගම්බද පීඩිත ජනතාවගේ පැතිර යන නොසංසුන්තා ද හමුවේ, කලාපයේ සෑම රටකම මර්දනකාරී අන පනත් හා රාජ්‍ය යාන්ත්‍රනය සවිමත් කෙරෙමින් ඇත. ලෝකයේ වෙනත් තැන්වල සේම දකුනු ආසියාවේ ද කම්කරු පන්තියේ විප්ලවවාදී බලමුලු ගැන්වීමට ඇති ප්‍රධාන බාධාව, වමේ යයි කියාගන්නා පක්ෂ, ධනපති ගැති වෘත්තීය සමිති හා ඔවුන්ගේ ව්‍යාජ වාම සහචරයින්ය. ඉන්දියාවේ ස්ටැලින්වාදී පක්ෂ, ධනේශ්වරය මෝදි වෙත හැරීම කෙරෙහි ප්‍රතිචාර දැක්වූයේ කම්කරු පන්තිය ඉන්දියානු දේශපාලන සංස්ථාපිතයට හා රාජ්‍යයට බැඳ දැමීමේ සිය උත්සාහය දෙගුන තෙගුන කරමිනි. ශ්‍රී ලංකාවේදී ඇමරිකාව මැදිහත්ව සිදුකල තන්ත්‍ර මාරු මෙහෙයුමේ ප්‍රතිපල වශයෙන් සිරිසේන බලයට පත්වීම ගැන හුරේ දැමූ නසසප නායකයා, එය හැඳින්වූයේ ප්‍රජාතන්ත්‍ර විප්ලවයක් ලෙසය. දැන් ඔහු ප්‍රසිද්ධියේම ආන්ඩුව ජාමූඅ නිර්දේශිත කප්පාදු ක්‍රියාත්මක කිරීමට සහාය දක්වයි.

දකුනු ආසියාවේ කම්කරු පන්තිය මෙන්ම පීඩිත ජනතාව මුහුනදෙන කිසිදු දැවෙන ප්‍රජාතන්ත්‍ර හා සමාජ ගැටලුවක්, එනම් අධිරාජ්‍යවාදී යුද්ධය, විරුකියාව, කුල පීඩාව හා වර්ගවාදය මත පාදක කරන ලද ජාතික රාජ්‍ය පද්ධතිය වැනි ගැටලුවකට, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ‍ න්‍යායික පදනම මත හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා, කම්කරු පන්තියේ නව මහජන පක්ෂ ලෙස ගොඩනැඟීමෙන් පිටත විසඳිය නොහැකිය.

නොපවතින්නාව “ප්‍රගතිශීලී” ධනේශ්වරයකට තමන් ගැටගැසීමට උත්සාහ කරන ස්ටැලින්වාදී හා ව්‍යාජ වාම බලවේගයන්ට එරෙහිව දකුනු ආසියාවේ කම්කරුවන් තමන්ගේ දේශපාලන ස්වාධීනත්වය පිහිටුවාගත යුතුය. ඔවුන් ධනවාදයට එරෙහි සටනේදී පීඩිත ජනතාව තමන් පසුපස පෙලගස්වාගත යුතු අතර ඇමරිකාවේ, චීනයේ හා අවශේෂ ලෝකයේ කම්කරුවන් සමග අධිරාජ්‍ය වාදී යුද්ධයට හා දුෂ්ඨ ධනේශ්වර පර්යායට එරෙහිව එකමුතු විය යුතුය. ලෝසවෙඅ අපගේ සියලු ශ්‍රාවකයින්ගෙන් ද පාඨකයින්ගෙන් ද අප ඉල්ලන්නේ මෙම අරගලයට එක්වන ලෙසයි.

Share this article: