ඇමරිකානු කතිපයාධිකාරිය පොහොසතුන් සඳහා නව බදු ලාභ සූදානම් කර යි

The American oligarchy prepares a new tax windfall for the rich

2017 ඔක්තෝබර් 25

එක්සත් ජනපද ඉතිහාසයේ සුපිරි පොහොසතුන් වෙනුවෙන් දැවන්ත බදු කප්පාදු සංශෝධනය කිරීමට වන මෙහෙයුම අඟහරුවාදා උත්සන්න කෙරුනේ සැලැස්ම ගැන අවසන් නිගමනයකට ඒමට ට‍්‍රම්ප් හොර රහසේ සෙනෙට් සභා රිපබ්ලිකානුවන් හමුවීමත් සමගිනි.

පසු ගිය සතියේ අනුමත කෙරුනු සෙනෙට් සභා අයවැය යෝජනා නියෝජිත මන්ත‍්‍රීමන්ඩලය විසින් බ‍්‍රහස්පතින්දා අනුමත කිරිමට නියමිත අතර, එය වනාහි, ෆිලිබස්ටර් බාධකයක් වැලැක්වීමට අවශ්‍ය සෙනෙට් සභාවේ පහට තුනේ බහුතරය වෙනුවට සරල බහුතරයකින් බදු පනත සම්මත කිරීමට කඩිනම් රෙගුලාසි යටතේ රිපබ්ලිකානුවන්ට ඉඩ ලබා දෙන පාර්ලිමේන්තු උපාමාරුවකි. සැබෑ යෝජනාව නොවැම්බර් 1වැනිදා නිකුත් කරනු ඇත්තේ, වසර අවසානයේ දී පනත රැක ගැනීමේ අවසාන උත්සාහයට වේදිකාව සකසමිනි.

සැලැස්ම සඳහා වේගවත් කෙරුනු තල්ලුවට වෝල් වීදිය උපහාර පිදුවේ, ඩව් ජොන් දර්ශකය ඒකක 167ක ඉපිලීමත් සමග එකී දර්ශකය 24,000 ආසන්නයට ගෙන එමිනි. ට‍්‍රම්ප් පසුගිය නොවැම්බරයේ බලයට පත්වීම සමග ඩව් දර්ශකය සියයට 25න් ඉහල ගියේය. 2009 සිට එය සිව් ගුනයක් වී ඇත්තේ, ඔබාමා යටතේ සංගත හා බැංකුවලට ප‍්‍රදානය කෙරුනු බහුට්‍රිලියන බැංකු ඇපදීම් හා අනෙකුත් බෙදා දීම්වලට පින්සිදු වීමට ය.

කෙසේ නමුත්, ට‍්‍රම්ප්ගේ බදු නියමය, පාලක පන්තිය විසින් සමාජ ධනය කොල්ලකෑම නව මට්ටමකට නංවනු ඇත.

එහි ප‍්‍රතිපාදන අර්ථ කතනය කෙරෙන්නේ පොහොසතුන් සඳහා නත්තල් ශුභපැතුම් ලැයිස්තුවක් ලෙසට ය: 2037 වන විට ඩොලර් ට්‍රිලියන 6.7ක අතිරේක සංගත ආදායම් උත්පාදනය කරමින්, සියයට 35 සිට සියයට 20 දක්වා සංගත බදු අනුපාත කප්පාදු කිරීම; ඉහල පුද්ගලික ආදායම් බදු අනුපාතය සියයට 39.6 සිට සියයට 35 දක්වා අඩු කිරීම; පොහොසතුන්ට පමනක් අදාල වන විකල්ප අවම අනුපාතය තුරන් කිරීම; “ඔබ්බට යන” ආදායම් (සංගත ලාභ හරහා අයිතිකරුවන්ට ලබෙන අදායම්) ලෙස වාර්තාවන මුදල් මත ව්‍යාපාරිකයන්ට බදු පැනවෙන අනුපාතය සියයට 25 දක්වා කප්පාදු කිරීම.

ජනගහනයෙන් යන්තම් 0.02ට බලපාන, ඩොලර් මිලියන 5ට වඩා වටිනා දේපලවලට බලපාන, දේපල බද්ද ද අහෝසි කෙරේ. වංචා හා සමපේක්ෂනය මගින් සමුච්චයනය කර ගැනුනු ධනය තම දරුවන්ට මාරු කිරීමට තම සාමාජිකයින්ට ඉඩ දෙන මෙම නියමයට සංගත කතිපයාධිකාරිය දීර්ග කලායක් තිස්සේ කැමත්තක් දක්වා සිටියේ ය.

සියලු ම පියවර ක‍්‍රියාවට දැමුවහොත්, ඉහල සියයට එක බදුවලින් පසු තම ආදායම සියයට 8.5කින් ඉහල යනු දකිනු ඇත. අයවැය හා ප‍්‍රතිපත්ති ප‍්‍රමුඛතා පිලිබඳ කේන්ද්‍රය ඇස්තමේන්තු කරන්නේ බදු කප්පාදුවලින් අඩක්, වසරකට ඩොලර් 700,000ට වඩා උපයන කුට්ම්බවල ඉහල සියයට 1ට යනු ඇති බව යි. මෙම කන්ඩායම තුල, ඉහල සියයට 0.1 බදු කප්පාදුවෙන් සියයට 30ක් ලබනු ඇති අතර, එය වසරකට ඩොලර් 800,000ක සාමාන්‍ය කප්පාදුවක් වනු ඇත.

ජනගහනයේ පතුලේ සියයට 90, එනම් කම්කරු පන්තිය හා පහල මධ්‍යම පන්තිය සොච්චමක් ලබනු හෝ කිසි දෙයක් නො ලබනු ඇත. වසරකට ඩොලර් 24,850ක් උපයන, එක් ලමයෙකු සහිත විවාහක ජෝඩුවක් බදු කප්පාදු නො ලබනු ඇති අතර, ඩොලර් 48,700ක් උපයන ඒ සමාන ම පවුලක් යන්තම් ඩොලර් 180ක කප්පාදුවක් දකිනවා ඇත. ඒ අතර ම, පක්ෂ දෙක ම බදු කප්පාදු මගින් ඇතිවන අයවැය හිඟය යොදා ගන්නවා ඇත්තේ සමාජ රක්ෂනය හා වෛද්‍යාරක්ෂාව ඇතුලුව සමාජ ශුභ සාධන වැඩසටහන්වල දැවන්ත කප්පාදු සඳහා ය.

අපේක්ෂා කල හැකි පරිදි, ට‍්‍රම්ප් හා රිපබ්ලිකානුවන් නො හික්මුනු බොරු සමග සැලැස්ම ප‍්‍රචාරය කරමින් සිටින්නේ, ඔවුන්ගේ සැලැස්ම පොහොසතුන්ගේ වාසියට සැකසෙතැ යි යන්න ප‍්‍රතික්ෂේප කරමින් හා එය ඉලක්ක කෙරෙන්නේ “වෙහෙසෙන ඇමරිකානුවන්” වෙත බව අවධාරනය කරමිනි.

ඔවුන්ගේ පාර්ශ්වයෙන්, ඩිමොක‍්‍රටිකයෝ, සංගත බදුවල දැවන්ත කප්පාදුවකට සහාය දෙන අතර පොහොසතුන් සඳහා වන අනෙකුත් ප‍්‍රදානයන්ට සංකේත විරුද්ධත්වයක් පමනක් දක්වමින් සිටිති. අඟහරුවාදා රිපබ්ලිකානු රැස්වීමෙන් පසු, සෙනේට් සුලුතර නායක චාල්ස් ෂූමර් හා අනෙකුත් ඩිමොක‍්‍රටිකයෝ මාධ්‍ය සාකච්ඡාවක් පැවත්වූහ. වෝල් වීදියෙන් එන සෙනේට් සභිකයෙකු වන ෂූමර් සැලැසුම් ගැන බොරු කීම වෙනුවෙන් ට‍්‍රම්ප්ට චෝදනා කල නමුත් සංගත බදු ගැන කිසිවක් නො පැවසී ය. අනෙකුත් ඩිමොක‍්‍රටිකයන් සැලැස්මට පහර දුන්නේ මූල්‍යමය වසයෙන් වගකීම් රහිත වීම වෙනුවෙනි.

හැමවිට ම මෙන්, රිපබ්ලිකානුවන් ප‍්‍රතිපත්තිය සඳහා ප‍්‍රතිගාමී රූපරාමුවක් සකසන අතර, එය කිසිම බාධාවකින් තොරව ක‍්‍රියාවට දැමීම සඳහා වාතාවරනය ඩිමොක‍්‍රටිකයෝ තහවුරු කරති. ඩිමොක‍්‍රටිකයන්ගේ ප‍්‍රධාන කාර්ය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විවාද හා විරුද්ධත්වය පිලිබඳ රැවටිලිකාර අපැහැදිලි කඩතිරයක් නිර්මානය කරමින් කම්කරු පන්තිය නිරායුධ කිරීම යි.

ට‍්‍රම්ප්ගේ බදු සැලැස්ම, 1920න් පසු නො දුටු සමාජ අසමානතා මට්ටම් ඇති කරමින් ද එක්සත් ජනපදය කතිපයාධිකාරියකට මාරු කරමින් ද කම්කරු පන්තියේ සිට පොහොසතුන් හා සුපිරි පොහොසතුන් හට ධනයේ යෝධ මාරුවක් ඇති කර ඇති දසක ගනනාවක් දීර්ග සමාජ ප‍්‍රතිවිප්ලවයේ ප‍්‍රතිඵලය යි.

මහජනයාගේ ආදායමට බදු පැනවීමේ බලය කොංග‍්‍රසයට ප‍්‍රදානය කරන, එක්සත් ජනපද ව්‍යවස්ථාවේ හයවැනි සංශෝධනය, 1913දී සම්මත කෙරුනේ කොල්ලකාරී ප‍්‍රභූවරයන් පාලනය කිරීමට වූ ප‍්‍රගතිශීලී ව්‍යාපාරයේ උත්සාහයන්ගේ කොටසක් ලෙස ය. දේපල බදු ද එම අවස්ථාවේ දී ම පනත් ගත කෙරුනි.

මහා අවපාතය අතරතුර, සමාජවාදී විප්ලවයක හිස ගසා දැමීමට අරමුනු කෙරුනු නව ගිවිසුම් ප‍්‍රතිසංස්කරනවල කොටසක් ලෙස රූස්වෙල්ට් පාලනාධිකාරිය ඉහල අනුපාතය සියයට 25 සිට සියයට 63 දක්වා වැඩි කලේ ය. දෙවැනි ලෝක යුද්ධය අතරතුර ඉහල අනුපාතය සියයට 94 දක්වා මුදුනට නැගී ය. ඊ ලඟ දසක තුන පුරා, ඉහල අනුපාතය කිසි දා සියයට 70ට වඩා පහලට නො වැටුනි.

පශ්චාත් යුද පලමු පහල දැමීම ජෝන් එෆ්. කෙනඩි විසින් කරන ලද නමුත්, මෙය සිදු වන්නට යන්නේ කුමක් ද යන්න පිලිබඳ පුරෝකතනයක් පමනක් වූයේ, රොනල්ඩ් රේගන් යටතේ පාලක පන්තිය සමාජ ප‍්‍රතිවිප්ලවයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට දැමීම සමගිනි. කොංග‍්‍රසය පාලනය කල ඩිමොක‍්‍රටිකයෝ 1981දී රේගන්ට යටත් වූ අතර ඉහල අනුපාතය සියයට 70 සිට සියයට 50 දක්වා ද ඊට පසු සියයට 28 දක්වා ද කප්පාදු කලහ. මෙය ක‍්‍රමක්‍රමයෙන් වර්තමාන අනුපාතය වන සියයට 39.6 දක්වා ආපසු ඉහල ගියේ ය.

ඒ අතරම, ප‍්‍රාග්ධන හා බැඳුම්කර සමපේක්ෂනයන්ගේ ලාභ මත බදු සියයට 25 දක්වා කප්පාදු කෙරුනේ, 1980 සිට පැවතී ඇති කොටස් වෙලඳපොල උද්ධමනයේ කොටසක් ලෙස ය. පොහොසතුන් සඳහා බදු කප්පාදු, මූල්‍ය කතිපයාධිකාරිය විසින් ධන සමුච්චයනය සඳහා මූලික යාන්ත‍්‍රනය ලෙස කොටස් වෙලඳපොල හා මූල්‍ය සමපේක්ෂනයේ අනෙකුත් රූපාකාරයන් යොදා ගැනී ඇති යාන්ත‍්‍රනයේ සාරභූත කොටසක් වී ඇත.

ප්‍රතිශතය අනුව ධනය බෙදෙන සැටි - 1989-2016 අධ්‍යයනය)
Wealth shares by wealth percentile, 1989-2016 surveys

ප‍්‍රතිවිපාක පැහදිලි ය. 1980 ගනන්වල සිට, ඉහල සියයට එකට යන ජාතික ආයමේ පංගුව සියයට 12 සිට 20 දක්වා ඉහල ගොස් ඇති අතර, පතුලේ සියයට 50කගේ එය සියයට 20 සිට සියයට 12 දක්වා අඩු වී ඇත.

එක්සත් ජනපද ෆෙඩරල් මහබැංකුව විසින් කරන ලද ඉතාමත් මෑත පාරිභෝගික මූල්‍ය පිලිබඳ අධ්‍යයනයක් (Survey of Consumer Finances) පෙන්වා දෙන්නේ ඇමරිකානුවන්ගේ ඉහල සියයට 10 ධනයෙන් සියයට 77ක් හිමි කර ගන්නා බව යි. ඉහල සියයට 1 සියයට 38.5කට හිමිකම් කිය යි, එය 2013 සිට ඒකාකර වැඩිවීමකි. පතුලේ සියයට 90 පංගුව සියට 22.9 දක්වා ප‍්‍රතිශත ඒකක දෙකකට වඩා වැටී ඇත.

මිලියන ගනනාවක් මිනිසුන්ගේ ජීවිත මත ධනයේ හා ආදායමේ මෙම මාරුවීම්වල බලපෑම නොයෙකුත් රූපාකාරයන්ගෙන් දැක ගත හැක: ජීවිතාපේක්ෂ කාලය පිරිහීම, ඉහල යමින් තිබෙන ලදරු හා මාතෘ මරන අනුපාත, බහුලව පැතිරුනු මත්ද්‍රව්‍ය ඇබ්බැහිය හා වැඩි වන සිය දිවි නසා ගැනීමේ අනුපාතය එම රූපාකාරයෝ වෙති.

පරපුටුවාදයේ වැඩීම සම්පාත වී ඇත්තේ විශාල කර්මාන්ත තීරු විනාස කිරීම, රට පුරා පැරනි කාර්මික කේන්ද්‍රවල විනාසය, හා කම්කරු පන්තියේ වඩා පලල් කන්ඩායම්වල දරිද්‍රතාව සමගිනි. දැන්, ගෝල්ඩමන් සැක්ස් උපාධිධාරී භාන්ඩාගාර ලේකම් ස්ටීවන් ම්නුචින් (ශුද්ධ වත්කම ඩොලර් මිලියන 500) හා ආර්ථික උපදේශක ගැරී කොහෙන් (ශුද්ධ වත්කම ඩොලර් මිලියන 610 ) විසින් ලියවුනු ට‍්‍රම්ප්ගේ බදු කප්පාදු සමග කතිපයාධිකාරී සමෘද්ධියේ නව මට්ටමක් දියත් කෙරී ඇති අතර එය සංසන්ඳනාත්මකව අසමානතාවේ වර්තමාන මට්ටම යල්පිනූ මට්ටමට පත්කරන බව පෙනී යයි.

සමාජ විප්ලවය සඳහා කොන්දේසි නිර්මානය කෙරී ඇත. නැගී එන කම්කරු පන්තික විපාර්ශ්වය මූල්‍ය කතිපයාධිකාරියේ දැඩි ග‍්‍රහනය බිඳීමට හා මූලික වසයෙන් වැඩ කරන ජනයා සඳහා ධනය යලි බෙදාහැරීමට බදු ප‍්‍රතිපත්තියේ දැවන්ත වෙනසක් සඳහා ඉල්ලීම එස විය යුතු ය. සමාජ ධනය හොරා ගැනීම අවසන් කිරීමට හා මහජනයාගේ අතිමහත් බහුතරයේ අවශ්‍යතාවන් සැපයීම සඳහා පුද්ගලික ආදායම හා සංගත ධනය යන දෙකම සඳහා ඉහල අනුපාතය 1940ස් හා 1950ස් ගනන්වල එය තිබූ මට්ටමට නැවත වතාවක් ඉහල දැමිය යුතු ය.

මේවා ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉල්ලීම් වන්නේ ය. කෙසේ නමුත්, සංගත හා මූල්‍ය ප‍්‍රභූවේ ශක්තියේ මූලයන්, එනම් ආර්ථික ජීවිතය පිලිබඳ එහි පාලනය හා එය සමග සමස්ත දේශපාලන පද්ධතියේ පාලනයේ හිසට පහර නො දී මේවා අත්පත් කර ගත නො හැක. කම්කරු පන්තියට ධනය යලි බෙදාහැරීම ඒකාබද්ධ කල යුත්තේ කම්කරුවන් බලය ගැනීම, යෝධ සංගත හා බැංකු මහජනයාට අයිති උපාංග බවට පරිවර්තනය කිරීම හා ආර්ථික ජීවිතයේ සමාජවාදී යලි සංවිධානය කිරීම සඳහා වන සටන සමගිනි.

බැරී ග්‍රේ

Share this article: