සෞඛ්‍ය සේවක වර්ජනයට දසදහස් ගනනක් සම්බන්ධ වෙති

අපේ වාර්තාකරුවන් විසිනි ,2017 නොවැම්බර් 27

වැටුප් විෂමතාව ඉවත් කිරීම, වැඩිකල අතිකාල හිඟ මුදල් ගෙවීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන බදාදා පැවති හෙද සහ පරිපූරක වෛද්‍ය සේවකයන්ගේ එක් දින සංකේත වර්ජනයට උතුරු-නැගෙනහිර ඇතුලූව දිවයින පුරා රජයේ රෝහල්වල 50,000ට අධික සෞඛ්‍ය සේවකයෝ සම්බන්ධ වුහ. හදිසි සේවාවන්, දැඩි සත්කාර සේවාවන්, ලමා රෝහල්, මහරගම පිලිකා රෝහල, මාතෘ හා වකුගඩු රෝහල් හැර සෙසු සියලුම රෝහල්වල සහ සේවාවන්හි වර්ජනය ක්‍රියාත්මක විය. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් බාහිර රෝගී අංශ, ඖෂධ නිකුත් කිරීම, සායනික, රසායනාගාර පරීක්ෂන, භෞතචිකිත්සක, වෘත්තීය චිකිත්සක හා මහජන සෞඛ්‍ය සේවාවන් මුලුමනින් ම පාහේ බිඳ වැටුනි.

වර්ජනය කැඳවුම් කරනු ලැබුවේ සෞඛ්‍ය සේවා වෘත්තීය වේදීන්ගේ ඒකාබද්ධ සංගමය (සෞසේවෘවේඒස) විසිනි. මෙම සමිති එකතුව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හා පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෘත්තීය සමිති 18 ක සන්ධානයකි. ඊට සම්බන්ධ නැති මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුවගේ නායකත්වයෙන් යුතු රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය හා ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ සමිති වර්ජනයට සම්බන්ධ නොවුන නමුත් ඒවායේ සාමාජිකයෝ බොහෝ තැන්වල දී වර්ජනයට එක් වුහ.

වර්ජනය කැඳවුම් කල සෞසේවෘවේස මත් ඒ සම්බන්ධව සිය සාමාජිකයන් නිසි ලෙස දැනුවත් නොකල බව සෞඛ්‍ය සේවකයන්ගෙන් එල්ල වූ ප‍්‍රධාන චෝදනාවකි. සමිති නායකයන් වර්ජනය කැඳවුයේ හුදෙක්ම සාමාජිකයන් අතර වැඩෙන විරෝධය සමනය කර දැමීමටය. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ හා මෙම සමිති සන්ධානයේ සම කැඳවුම්කරු වන සමන් රත්නප‍්‍රිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒම සඳහා සමජ සාධාරනත්වය සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරය සංවිධානය කල අතර එය වත්මනේ ක්‍රියා කරන්නේ ආන්ඩුවේ අත් ගෙඩියක් ලෙසයි.

ආන්ඩුවට විරුද්ධව කරන අරගල මහින්ද රාජපක්ෂ යලි බලයට ගෙන ඒමේ “කුමන්ත‍්‍රනයක” කොටසක් බවත් එබඳු කිසිදු අරගලයක් ඇතිවීමට ඉඩ නොදෙන බවත් රත්නප්‍රිය මීට පෙර ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර තිබුනි. සෞඛ්‍ය සේවකයන්ගේ වර්ජනය කැඳවීමට ඔහු ද සහාභාගි වුවත් එය හැකිතාක් සීමා කිරීමට ක්‍රියා කලේ මෙම තතු තුලය.

කෙසේ වුව ද වෘත්තීය සමිතිවල මෙම සීමා කිරීම් පැවතිය ද දසදහස් ගනනක් සෞඛ්‍ය සේවකයන් වර්ජනයට සම්බන්ධවීම පෙන්නුම් කරන්නේ ජීවන තත්වයන්ට හා සේවා කොන්දේසිවලට ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාර කෙරෙහි සෞඛ්‍ය සේවකයන් අතර මෙන් ම සමස්තයක් ලෙස කම්කරු පන්තිය අතර වැඩෙමින් පවතින කෝපයයි. පසුගිය දිනවල පැන නැගී වරාය, මෑන් පවර්, තෙල්, විදුලි හා වතු කම්කරුවන් ගේ අරගල කම්කරුවන් අතර වැඩෙන කැකෑරීම ප‍්‍රදර්ශනය කලේ ය.

ආන්ඩුව සාකච්ඡාවක් දෙන්නේ නම් ඕනෑම මොහොතක වර්ජනය නතර කිරීමට තමන් සූදානම් බව රත්නප්‍රිය මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබුනි. එනම් නායකයන් සූදානමෙන් සිටියේ සේවයකන්ගේ ඇස්වලට වැලි ගසන පොරොන්දුවක් ආන්ඩුවෙන් ලැබුනොත් සමිති ක්‍රියාමාර්ගය නතර කිරීමට ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කල සේවකයන් කිහිප දෙනෙකුම ප‍්‍රකාශ කලේ වර්ජනය ගැන දැනගැනීමට ලැබුනේ එදින උදේ වැඩට වැඩට ඒමෙන් පසුව බවය. සමිති ක්‍රියාකාරීන් වෙත කෙටි පනිවුඩ මගින් හෝ දුරකථන ඇමතුම් මගින් වර්ජනය ගැන දැනුම් දීමක් හා සේවයට රපෝර්තු කරන තැන්වල දැන්වීම් පුවරුවේ දැන්වීමක් ප‍්‍රදර්ශනය කිරීම හැර රැස්වීම් තැබීමක් හෝ පත්‍රිකා බෙදීමක් වර්ජනය ගැන නිසි ලෙස දැනුවත් කිරීමක් නොකෙරුන බව ද ඔවුහු කීහ.

හෙද නිලධාරීන්ගේ සංගමයේ පේරාදෙනිය රෝහලේ ශාඛා සභාපති ප‍්‍රදීප් නන්දසේන පැවසුවේ, “වැඩවර්ජනයෙන් ආන්ඩුව අපහසුතාවට පත් නොකරන” බවත් “සංකේත වැඩවර්ජනයෙන් රජයට විශාල බලපෑමක් ඇතිවේ” යයි විශ්වාස කරන බවත් ය.

ආන්ඩුවට “විශාල” බලපෑම් දැමීමෙන් සෞඛ්‍ය සේවකයන් ට හෝ කම්කරු පන්තියේ අවශේෂ කොටස් වලට තම ඉල්ලීම් දිනා ගැනීමට නොහැකිය. ආන්ඩුවේ පිලිවෙත වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියෝග කර ඇති සෞඛ්‍ය හා අධ්‍යාපනය ඇතුලු සුබසාධන සේවාවන් කැපීම, රාජ්‍ය ආයතන පුද්ගලීකරනය ඇතුලු ආර්ථික කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමය.

කම්කරු පන්තියේ අනෙකුත් ක්ෂේත‍්‍රවල සමිති මෙන් ම සෞඛ්‍ය සමිති කරන්නේ ද ආන්ඩුවේ මෙම ප‍්‍රහාරවලට විරුද්ධව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කරනු වෙනුවට කට්ටිවාදී ඉල්ලීම් මත කම්කරු පන්තිය භේද කිරීමකි.

දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ආන්ඩුව පොරොන්දු වී ඇති නිසා සෞඛ්‍ය සේවයේ ඒහා සමාන ශ්‍රේනින්ට ද ඊට සමාන වැටුප් වැඩිවීමක් ලබා දිය යුතු යයි සමිති විසින් ඉල්ලා ඇත. එය දුමිරිය සහ සෞඛ්‍ය සේවකයන් අතර බෙදීමක් ඇතිකරන කට්ටිවාදී ඉල්ලීමකි. එහි වාසිය හා ගන්නේ ධනපති ආන්ඩුව සහ හාම්පුතුන් ය. අවශ්‍යව ඇත්තේ අසවල් අයට වැටුප් වැඩිකල නිසා අපටත් වැඩි කලයුතුයයි ඉල්ලීම නොව ඉහල යන ජීවන වියදමට සමාන ව වැටුප් වැඩිවීමක් සඳහා සමස්ත කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයකි.

ආන්ඩුව මෙන් ම සමිති කෙරෙහිද විරුද්ධත්වයක් හා කලකිරීමක් සෞඛ්‍ය සේවකයන් අතර වර්ධනය වෙමින් තිබේ. ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතාකල හෙද සේවකයන් ගනනාවක් ම ජීවනතත්වයන් කඩා වැටීම හා ආන්ඩුව සහ සමිති කෙරෙහි පවතින මෙම කෝපය සහ කලකිරීම ප‍්‍රකාශය ට පත් කලේ ය.

මහනුවර ශික්ෂන රෝහලේ හෙද සේවක පත්මාල් ලැබෙන වැටුපෙන් ජීවත්වීම අතිශයින් දුෂ්කර බව කීවේ ය. “මගේ සේවා කාලය වසර 20 ක්. මුලික පඩිය රුපියල් 35,500 යි. දීමනා සමග 60,000-70.000 ක මාසික පඩියක් ලැබුනත් කැපිලා කෙටිලා අතට එන්නේ 30,000 විතර. ඉස්කෝලේ යන ලමයින්ගේ වියදම් හා ඉහල යන ජීවන වියදමත් එක්ක අතට ලැබෙන මුදලෙන් ජීවත් වෙන්න බැහැ. බිරිඳත් රැකියාවක් කරන නිසා යන්තම් ගැට ගහ ගන්නවා.”

කිසියම් සහනයක් ලැබෙයි කියන බලාපොරොත්තුව ඇතිව පසුගිය මැතිවරනයේ දී වර්තමාන ආන්ඩුවට සහයෝගය දුන්නත් තත්වය තිබුනටත් වඩා අන්ත බව ඔහු පැවසීය. “ආන්ඩුව මහ ජනයා ගැන තැකීමක් නැහැ. මොන ආන්ඩුවක් ආවත් අපේ ප‍්‍රශ්න විසඳෙයි කියල හිතන්න බැහැ.”

මහනුවර රෝහලේ හෙද සේවිකාවක් පකාශ කලේ වර්ජනය සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරීමක් සමිති විසින් නොකල නිසා ඊට සම්බන්ධ වුනේ සියයට 50 ක් පමන බවය. “සමිති කිසි එකක් සේවකයන්ගේ ප‍්‍රශ්න ගැන සැලකීමක් නැහැ. සමිතියේ වැඩ වලට මුල දී ක්‍රියාකාරීව සම්බන්ධ වුනා. නමුත් දැන් නම් කල කිරීමක් තියෙන්නේ. චන්දෙ දුන්නේ මේ ආන්ඩුවට. බැහැල වැඩකලා වෙනසක් වෙයි කියා හිතාගෙන. රුපියල් 10,000 ක දීමනාවක් දුන්නට බඩු මිල ඊට වැඩිය ඉහල ගිහිල්ල. ජීවත් වෙන්න හරිම අමාරුයි.

“සමන් රත්නප්‍රියල කිව්වා ආන්ඩුවට සහයෝගය දෙන්න කියලා. දැන් ආන්ඩුව ආරක්ෂා කරනවා. මේ ආන්ඩුව ආවට පස්සේ එකම වර්ජනයක් වත් කලේ නැහැ ඒගොල්ලො. මේ වර්ජනය ගැනත් සේවකයෝ හරියට දැනුවත් කලේ නැහැ. සේවයට අත්සන් කරන තැන දැන්වීමක් දාලා තිබුන. එච්චරයි. සමිති ඔක්කොම ගැන කලකිරීමක් තියෙන්නේ.”

Share this article: