ශ‍්‍රී ලංකාවේ දෙමල පක්ෂ නව සන්ධානයක් තැනීමට උත්සාහ දරති

සුභාෂ් සෝමචන්ද්‍රන් විසිනි, 2017 නොවැම්බර් 29

ශ‍්‍රී ලංකාවේ උතුරු පලාතේ ක‍්‍රියාකාරී දෙමල ජාතිකවාදී පක්ෂ දෙකක් වන ඊලම් මහජන විප්ලවවාදී විමුක්ති පෙරමුන (ඊපීආර්එල්එෆ්) හා දෙමල ජාතික මහජන පෙරමුන, එලඹෙන පලාත් පාලන මැතිවරනයේ දී එක් ව තරඟ කිරීමට සන්ධානයක් තනාගන්නා බව මෑත දී නිවේදනය කල හ.

කොලඹ ආන්ඩුවට හා දෙමල ජාතික සන්ධානයට (දෙජාස) එරෙහි ව කෝපාවිෂ්ටවී සිටින දෙමල ජනයාට තවත් ප‍්‍රතිගාමී ජාතිකවාදී උගුලක් ඇටවීම සඳහා ඊපීආර්එල්එෆ් හා ටීඑන්පීඑෆ් පක්ෂ උත්සාහ කරමින් සිටිති.

දෙජාස යනු දෙමල ධනේශ්වර පක්ෂවල එකතුවක් වන අතර ඊපීආර්එල්එෆ් එහි සාමාජිකයෙකි. දෙජාස පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ අසුන් ගත්ත ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ එක්සත් ජනපද-හිතවාදී ආන්ඩුවේ ප‍්‍රධාන මුක්කු බලය වන්නේ එය යි. දෙජාසහි භූමිකාව, චීනයට එරෙහි එක්සත් ජනපදයේ භූ-දේශපාලනික අවශ්‍යතාවන් ට එය දෙන සහයෝගයේ එක් අංශයකි.

දෙජාස නායකයෙක් හා උතුරු පලාත් මහ ඇමති සී. වී. විග්නේශ්වරන් විසින් නායකත්වය දෙන දෙමල ජනතා කවුන්සිලය (ටීපීසී) සමග නොවැම්බර් 5 දින පැවති රැස්වීමක දී ඊපීආර්එල්එෆ් හා ටීඑන්පීඑෆ් නායකයෝ තම ආස්ථානය විස්තර කල හ.

තම පක්ෂය ටීඑන්පීඑෆ් සමග මැතිවරනයේ දී තරඟ කිරීමට සන්ධානයක් තනන බවත්, එහෙත් දෙජාසයෙන් ඉවත් නො වන බවත් ඊපීආර්එල්එෆ් නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මාධ්‍ය අමතමින් කීවේ ය. “ෆෙඩරල් ක‍්‍රමය සහ උතුරු හා නැගෙනහිර පලාත් එක් කිරීම අඩංගු නො වන එහෙත් බුද්ධාගමට ප‍්‍රමුඛතාව දෙන” ආන්ඩුව විසින් ඉදිරිපත් කර ඇති නව ව්‍යවස්ථාවේ අතුරු වාර්තාවකට සහයෝගය දීම පිලිබඳ ව ප්‍රේමචන්ද්‍රන් දෙජාසහි ප‍්‍රධාන හවුල්කාර ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ) පක්ෂයට ඔහු චෝදනා කලේ ය.

“ව්‍යවස්ථාව පිලිබඳ ආන්ඩුවේ යෝජනාව පිලිගැනීම” ගැන ඔහු අයිටීඒකේට චෝදනා කලේ ය. උතුරු හා නැගෙනහිර පලාත් ස්වයං-නීර්නය මත පදනම් වන දෙමල ජාතිකයන්ගේ මාතෘභූමිය ය යන්න පිලිගැනීමේ පදනම මත දෙජාස ගොඩනගා තිබිය දී පවා අයිටීඒකේ මෙලෙස කර ඇති බව ඔහු කීවේ ය. “අයිටීඒකේ ක‍්‍රියාකරමින් සිටින්නේ ස්වයං-නීර්න සංකල්පයට විරුද්ධ ව” බව ප්‍රේමචන්ද්‍රන් ප‍්‍රකාශ කලේ ය.

එම ආස්ථානය ම ප‍්‍රතිරාවය කල ටීඑන්පීඑෆ් නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, තම සන්ධානය ව්‍යවස්ථා යෝජනාවලට විරුද්ධ ව උද්ඝෝෂනය කරන බව කීවේ ය. “ව්‍යවස්ථා යෝජනාවට විරුද්ධ ජනමත විචාරනයක් බවට එලඹෙන පලාත් පාලන මැතිවරනය යොදා ගැනීමට අපි උත්සාහ දරනවා” යයි ඔහු අනතුරු ඇඟ වී ය.

මේ අනුව ඊපීආර්එල්එෆ් හා ටීඑන්පීඑෆ් උත්සාහ දරනු ඇත්තේ මැතිවරන උද්ඝෝෂනය දෙමල වාර්ගික ප‍්‍රචාරය තීව‍්‍ර කිරීම සඳහා භාවිතා කිරීමට යි. ඔවුන් මෙම උද්ඝෝෂනය දියත් කිරීමට යන්නේ, දෙමල කම්කරුවන්, දුගීන්, තරුනයන් හා ශිෂ්‍යයන් අතර අසහනය වැඩෙද්දී ය. ”සංහිඳියාව” ගෙන ඒමේ හා දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි දශක තුනකට ආසන්න යුද්ධය මගින් නිර්මිත ව්‍යසනකාරී ගැටලු විසඳීමේ පොරොන්දුව මත සිරිසේන 2015 ජනවාරියේ බලයට පැමිනියේ ය.

2009 මැයි මාසයේ එල්ටීටීඊයේ පරාජයෙන් අවසන් වූ යුද්ධයේ අවසන් මාස කිහිපය තුල සිවිල් වැසියන් 40,000ක් මැරුනු බවට තක්සේරු කෙරේ. තවත් කිහිප සියයක් තවමත් හිරබාරයේ පසු වේ. මූලික පහසුකම්වලින් පවා තොර ව දසදහස් ගනනක් ජනයා තාවකාලික කූඩාරම් සහිත කඳවුරු තුල ජීවත් වෙති. මේ සියල්ලට ඉහලින්, උතුරු හා නැගෙනහිර පලාත්වල මිලිටරි වාඩිලා ගැනීම අඛන්ඩ ව පවත්වාගෙන යයි.

ප‍්‍රශ්නවලට “විසඳුම්”පොරොන්දු වූ සිරිසේනට බලයට ඒම සඳහා දෙජාස හා අනෙකුත් පක්ෂ උදවු දුන් නමුත් කිසිදු ප‍්‍රශ්නයක් විසඳා නැත. දේශපාලන සිරකරුවන් හා යුද සමය තුල මිලිටරිය අල්ලාගත් ඉඩම් යලි නිදහස් කිරීම, යුද්ධය කාලයේ අතුරුදන් වූවන් පිලිබඳ තොරතුරු සම්පාදනය කිරීම ආදී ගැටලුවලට විසඳුම් ඉල්ලමින් උතුරේ මහජනයා දෛනික ව ම පාහේ විරෝධතා පවත්වති.

කොලඹ ආන්ඩුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා සිංහල ස්වෝත්තමවාදී කන්ඩායම් විසින් නායකත්වය දෙන විරුද්ධ පක්ෂය සහ මිලිටරිය හා පොලීසිය “එල්ටීටීඊ ත‍්‍රස්තවාදය” යලි හිස ඔසවන බව කියමින් දෙමල විරෝධී වර්ගවාදී ප‍්‍රචාරය උත්සන්න කරමින් සිටිති. රටේ දකුනු ප‍්‍රදේශයේ වර්ධනය වෙමින් තිබෙන සමාජ අතෘප්තිය උතරු හා නැගෙනහිර පවතින එවැනි ම වාතාවරනයක් සමග සමපාත වීම නිසා, එම උද්ඝෝෂනයේ ඉලක්කය වන්නේ කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදීම යි.

කොලඹ ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට හා පොලිස් මිලිටරි මර්දනයට සහාය දෙන තථ්‍යසම කොටස්කාරයෙක් ලෙස දෙජාස ඉටු කරන භූමිකාව මහජනයා අතර කෝපය අවුලුවා ඇත. ඊපීආර්එල්එෆ් හා ටීඑන්පීඑෆ් තැනීමට දරන සන්ධානයට දෙමල ජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් දිනාගැනීම සමග මෙලොව සම්බන්ධයක් නැත. ඔවුන්ගේ උද්ඝෝෂනයට අභිප‍්‍රායන් දෙකක් පවතී.

පලමුව, ආන්ඩුවට හා දෙමල පක්ෂවලට විරුද්ධ ව ජනයා අතර පවතින විරෝධය වාර්ගික රේඛා ඔස්සේ අපසරනය කිරීමට ඔවුන් යයි.

දෙවනුව, මෙම පක්ෂ උත්සාහ කරන්නේ දෙමල ප‍්‍රභූවට වරප‍්‍රසාද ලබාගැනීම සඳහා කොලඹ පාලක ප‍්‍රභූව මත පීඩනය යෙදීමට යි. “දෙමල නිජබිමක්” හා ස්වයං-නීර්නය සඳහා වන ඉල්ලීම් දෙමල ජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් නියෝජනය නො කරයි. ඒවා නියෝජනය කරන්නේ කම්කරු පන්තිය හවුලේ සූරාකෑම සඳහා කොලඹ ආන්ඩුව සමග බලය බෙදීමේ සම්මුතියක් තහවුරු කරගැනීම යි.

මේ සියල්ලටත් වඩා ඔවුන් මැදිහත් වන්නේ, කම්කරුවන් හා දිලින්ඳන් ධනපති පාලනයට විරුද්ධ ව විකල්පයක් වෙත හැරීමෙන් වලක්වා ද්‍රෝහී ජාතිකවාදී ඉදිරිදර්ශනයක උගුලකට පටලැවීම යි.

පසුගිය වසර තුන තුල ප්‍රේමචන්ද්‍රන් හා විග්නේශ්වරන් ඇතුලු දෙමල නායකයන් ආන්ඩුව ට දෙමල ජාතිකයන්ගේ ඉල්ලීම් පිලිබඳ ව පීඩනය නො යෙදීම ගැන දෙජාස නායක ආර්. සම්බන්දන් හා එම්. ඒ. සුමන්දිරන් ව ද “විවේචනය” කල හ. විග්නේශ්වරන් නායකත්වය දෙන දෙජාස කන්ඩායමක් වන ටීපීසීය තනමින්, මහජන කෝපය පීලිපැන්නවීම පිනිස උතුරු හා නැගෙනහිර පලාත්වල “එලූහ තමිල්” උද්ඝෝෂනය දියත් කලේ ය.

පොන්නම්බලම්ගේ දේශපාලන ආස්ථානය අතිශයින් විෂකුරු ය. ඔහු, 2011 දී දෙජාසයෙන් බිඳීගොස් ටීඑන්පීඑෆ් බිහිකරන තෙක් දෙජාස හවුල්කාර සංවිධානයක් ලෙස ක‍්‍රියාකල දෙමල කොංග‍්‍රසයේ නායකයෙක් විය. ඔවුහු යුද්ධය සමයේ එල්ටීටීඊයට පිටුබලය දෙමින් එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදී බලයන්ට සහයෝගය ඉල්ලමින් ආයාචනා කල හ. ටීඑන්පීඑෆ් බෙදුම්වාදය අවධාරනය කරමින් සිටී. 2005 දී එය සිරිසේනට බලයට ඒම සඳහා සහයෝගය දුන්නේ ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට (යූඑන්එච්ආර්සී) හා එහි එක්සත් ජනපද නිත්‍ය නියෝජිතයාට දෙමල සිරකරුවන් දේශපාලන සිරකරුවන් ලෙස පිලිගන්නා ලෙස ඉල්ලමින් යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය යැවූ ලිපි උත්කර්ෂයට නංවමින් පොන්නම්බලම් ලියූ ලිපියක් නොවැම්බර් 22දා ටටැමිල් නෙට් වෙබ් අඩවියේ පලකලේ ය. මෙම ලිපි දෙක තුල ශිෂ්‍ය සංගම් ඉල්ලා ඇත්තේ, යුද සමය තුල අත්අඩංගුවට ගන්නා ලද දෙමල සිරකරුවන් “ජිනීවා සම්මුතිය යටතේ යුද සිරකරුවන් ලෙස ජාත්‍යන්තර අයිතිවාසිකම්වලට” සුදුසු වන දේශපාලන සිරකරුවන් ලෙස පිලිගත යුතු බව යි.

ආන්ඩුව මෙම සිරකරුවන් අත්අඩංගුවට ගන්නා ලද්දේ “අපරාධකාරී ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන්” හේතුවෙන් යයි කීවත් මොවුන් ඇත්තට ම දේශපාලන සිරකරුවන් ය. ඔවුන්ගෙන් බොහෝ දෙනා කිසිදු චෝදනාවකින් තොර ව වසර ගනනක් සිරබාරයේ සිටිති.

එහෙත් යූඑන්එච්ආර්සී හා එක්සත් ජනපද නිලධාරීන් වෙත සිසුන් විසින් මෙම ලිපි යැවීම සිදුවන්නට ඇත්තේ පොන්නම්බලම්, දෙමල ප‍්‍රභූ කොටස් හා ශාස්ත‍්‍රාලිකයන්ගේ උපදෙස් මත ය. විශේෂයෙන් ම එක්සත් ජනපදය ඇතුලූ බටහිර බලයන් වෙත ප‍්‍රවේශ වීමේ අටියෙන් මංමුලා සහගත ව ඔවුහු පසුවෙති. ඔවුන් නියෝජනය කරන්නේ එක්සත් ජනපදය, ඉන්දියාව හා යූඑන්එච්ආර්සීය විසින් කොලඹ ආන්ඩුවට පිටුබලය දීම නිසා නො සතුටට පත් දෙමල නායකයන්ගේ ස්ථරයන් ය.

ප්‍රේමචන්ද්‍රන් හා ඔහුගේ පක්ෂයට විනාශකාරී ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී ඉතිහාසයක් තිබේ. එල්ටීටීඊය මෙන් එය ද වෙන ම රාජ්‍යයක් සඳහා වන සන්නද්ධ අරගලය දේශනා කල අතර දෙමල තරුනයන්ගේ රැඩිකලීකරනය ගසාකෑමට සමාජවාදයට හිතවාදී බවක් මවාපෑවේ ය. විශේෂයෙන් ම තමිල්නාඩු ප‍්‍රභූව ඇතුලු ඉන්දීය පාලක ප‍්‍රභූව සමග සමීප සම්බන්ධතා මෙම දෙමල කන්ඩායම්වලට තිබේ.

නව දිල්ලිය 1987 දී ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කලේ අර්බුද ග‍්‍රස්ත කොලඹ ආන්ඩුව ස්ථාවර කිරීම පිනිස දෙමල කන්ඩායම් නිරායුද කරන අතරේ ම දෙමල ප‍්‍රභූවට සීමිත බලතල ප‍්‍රමානයක් දීමට යි. එල්ටීටීඊය ඇතුලු දෙමල කන්ඩායම් එම ගිවිසුම පිලිගත් හ. එහෙත් එල්ටීටීඊය නිරායුද වීම ප‍්‍රතික්ෂේප කලවිට ඉන්දීය වාඩිලාගැනීමේ හමුදා කෲර යුද්ධයක් දියත් කලේ ය.

දහස් ගනනක් මරාදැමූ හා දසදහස් ගනන් අනාථයන් බවට පත්කරමින් දේපොල විනාශභාග් කල ඉන්දියානු මිලිටරියේ කෲර ප‍්‍රචන්ඩත්වයට අනෙකුත් දේශපාලන කන්ඩායම් කිහිපයක් හා ඊපීආර්එල්එෆ් සහයෝගය දුන් හ. පලමුව ඉන්දියානු මිලිටරිය ද ඉන්පසු ශ‍්‍රී ලංකාවේ මිලිටරිය ද සමග කුලීකාර සේවයේ යෙදුනු සන්නද්ධ කන්ඩායම් එල්ටීටීඊ සාමාජිකයන් හා යුද්ධයට විරුද්ධ වූවන් දඩයම් කල හ. 2001 දී ඊපීආර්එල්එෆ් දෙජාස තැනීම සඳහා දෙමල පක්ෂ සමග බද්ධ වූ අතර, දෙජාස එල්ටීටීඊයේ පාර්ලිමේන්තු හොරනෑව ලෙස ක‍්‍රියාකලේ ය.

2015 දී ඊපීආර්එල්එෆ් සිරිසේනට බලයට ඒමට සහයෝගය දුන්නේ ය. ප්‍රේමචන්ද්‍රන් අයිටීඒකේ විවේචනය කරන්නේ ඔහුගේ පක්ෂයේ පදනම ශක්තිමත් කරගැනීමට හා මහජනයා අතර පවතින විරුද්ධත්වය අවමංගත කිරීමට ය.

දෙමල මාධ්‍ය හා ප‍්‍රභූවේ කොටස් දෙජාස තුල වන කිසිදු ඉරිතැලීමකට විරුද්ධ වෙති. දිනපතා දෙමල පුවත් පතක් වන වීරකේසරී පත‍්‍රයේ අදහස් දැක්වීමේ ලිපියක් ලියමින් තිරුමලම් නවාම් මෙසේ ලීවේ ය: “මුට්ටිය බටර්වලින් පිරී තිබෙද්දී එය බිඳින්නේ නැති ව දෙමල ජනයා හා ඔවුන්ගේ නායකයෝ අවසාන මොහොතේ ඔවුන්ගේ එකමුතු කම ශක්තිමත් කරගත යුතු ය. ... එක්සත් ගමනක් තුල අත්වැල් බැඳගනිමින් අවසාන මොහොතේ අපි දෙමල ජනයාගේ අයිතීන් දිනාගත යුත්තෙමු.” ඔහු ලියමින් සිටින්නේ ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරනවලින් යම් දේශපාලන සහන කිහිපයක් දිනගැනීමේ හැකියාව ගැන යි.

යාපනයේ ප‍්‍රධාන කතෝලික පූජකයන්, දෙජාස නියෝජිතයන්ට නොවැම්බර් 11දා සාකච්ඡාවකට කැඳවුම් කිරීම හා පක්ෂයේ එකමුතු කමේ අවශ්‍යතාව අවධාරනය කිරීම පිලිබඳ වාර්තාවක් පල විය.

ඔවුන්ගේ ප‍්‍රමුඛ කාංසාව වන්නේ දෙමල ජනයාගේ සමාජීය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ගැන නො ව දෙමල ප‍්‍රභූවේ වරප‍්‍රසාද සහ තම භූ-දේශපාලනික අවශ්‍යතාවලට සේවය කිරීම සඳහා කොලඹ ආන්ඩුවට පිටුබලය දීම සඳහා ඉන්දියාවේ හා එක්සත් ජනපදයේ උපදෙස් පිලිබඳ ව යි.

දෙමල ධනේශ්වරයේ සෑම කොටසක් ම ප‍්‍රතික්ෂේප කර, නො නවතින විප්ලව න්‍යායය මත පදනම් වන ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයට හැරෙන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු. සිංහල පාලක ප‍්‍රභූව හා එහි කොලඹ ආන්ඩුව මත අංශු මාත‍්‍රයක විශ්වාසයක් නො තැබි ය යුතු ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් දිනාගත හැක්කේ සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් සඳහා කරන අරගලයෙන් පමනි.

ශ‍්‍රී ලංකාවේ හමුදා උතුරින් හා නැගෙනහිරින් ඉවත් කරගත යුතු බවටත් සියලු මර්දනීය නීති මෙන් ම වාර්ගික, භාෂාමය හා ආගමික වෙනස්කම් කිරීම් අවසන් කලයුතු බවටත් ඉල්ලා සිටින්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි. මෙම අයිතිවාසිකම් ස්ථාපනය කල හැක්කේ දකුනු ආසියාවේ ද ජාත්‍යන්තර ව ද සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා වන අරගලයේ කොටසක් ලෙස ශ‍්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන් වැදීමෙන් පමනකි. කම්කරුවන් හා තරුනයන් මෙම අරගලයට ඒකාබද්ධ විය යුතු ය.

Share this article: