ආන්ඩුව සයිටම් විරෝධී පාගමනට ප‍්‍රචන්ඩ පොලිස් ප‍්‍රහාරයක් එල්ල කරයි

ප‍්‍රදීප් රාමනායක, 2017 ඔක්තෝබර් 13

පොලීසිය ප‍්‍රහාරයට සූදානම්වෙමින්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) ප‍්‍රමුඛ සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය (සවිසිජ) විසින් “සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමට ආන්ඩුවට බලකිරීම” සඳහා පසුගිය අඟහරුවාදා (10) සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට ආන්ඩුව කොල්ලුපිටියේදී දරුනු පොලිස් ප‍්‍රහාරයක් එල්ල කලේය. අධි පීඩන ජල විදින රථ හතරක්, හමුදා සන්නද්ධ රථ සහ කැරලි මර්දන ඒකකයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සන්නද්ධ සෙබලු 300ක් පමන යොදවමින් ප‍්‍රහාරය පෙර නොවූ විරූ මට්ටමකින් සූදානම් කෙරී තිබුනි.

ප‍්‍රහාරයට ජල විදිනයන් යොදාගනිමින්

පැයකට ආසන්න කාලයක් තිස්සේ විරෝධතාකරුවන් වෙත සිය ගනනින් කඳුලු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කෙරුනි. ඉන් නොනැවතුනු කැරලි මර්දන හමුදා සිසුන් ලුහුබඳිමින් කිහිප වතාවක්ම ඔවුන්ට බැටන් පොලු ප‍්‍රහාර එල්ල කල අතර ඇතැම් පොලිස් නිලධාරීන් අත යකඩ පොලු පවා තිබෙනු දක්නා ලදී. ප‍්‍රහාරයන්ට ගොදුරුවීමෙන් සහ ඉන් බේරීමට දිවයාමෙන් සිදුවූ අනතුරු හේතුවෙන් සිසුන් ඇතුලු 18 දෙනෙක් රෝහල් ගත කෙරුනු අතර අවට සිටි සාමාන්‍ය ජනතාව ද දැඩි සේ පීඩාවට ලක්වූහ.

සිසුන් ලුහුබඳින පොලීසිය

කොල්ලුපිටිය මංසන්ධියට විරෝධතාකරුවන් සමීප වෙද්දී ඔවුන් අරලියගහ මන්දිරය දෙසට ගමන් කිරීම වැලැක්වීමට නිකුත්කර තිබූ අධිකරන නියෝගය නිවේදනය කර අවසන් වන්නටත් ප‍්‍රථම මාර්ග බාධකවලට මීටර් පනහකට පමන ඈතින් සිටි විරෝධතාකරුවන් දෙසට පොලීසිය කඳුලු ගෑස් ප‍්‍රහාරය මුදාහැරියේය. ප‍්‍රහාරයෙන් පසුව ද ශිෂ්‍යන්ට එරෙහි මර්දනය ඉදිරියට ගෙනයමින් අවිශිබම කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමන්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වුවත් ආන්ඩුව විසින් ශිෂ්‍යයන්ගේ විරෝධතාවයන්ට එරෙහිව නොකඩවා පහරදීමත්, තීව‍්‍ර කෙරී ඇති ශිෂ්‍ය දඩයමත් නොතකා දිවයිනේ සෑම විශ්වවිද්‍යාලයක්ම පාහේ නියෝජනය කරමින් පන්දහසකට අධික ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පාගමනට සහභාගී වී සිටියහ. උද්ඝෝෂනයේ යෙදුනු සිසුහු “අධ්‍යාපන පෞද්ගලිකරනය නතර කරනු!අධ්‍යයන හා සුබසාධන ගැටලු විසඳනු!” ආදී ඉල්ලීම් පුවරු ප‍්‍රදර්ශනය කලහ.

පාගමනට එල්ල කෙරුනු ප‍්‍රහාරය කම්කරුවන්, ශිෂ්‍යන් සහ අවශේෂ පීඩිතයන් අතරින් පැනනගින කවර හෝ අරගලයකට එරෙහි පොලිස්-මිලිටරි ප‍්‍රහාරය ඉහල මට්ටමකින් දියත් කිරීමට ආන්ඩුවේ සුදානම පෙන්නුම් කරයි.

පාගමනට දින තුනකට ඉහතදී උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල අනතුරු අඟවා තිබුනේ “ආන්ඩුව කිසිසේත්ම සයිටම් වෛද්‍ය විද්‍යාලය වසාදමන්නේ නැහැ. වෛද්‍යවරුන් සහ අනෙකුත් පාර්ශව ඒ වෙනුවෙන් කොයිතරම් විරෝධතා ගෙනගියත් පලක් වෙන්නේ නැහැ.මොවුන් උත්සහ කරන්නේ අධ්‍යාපන ප‍්‍රතිපත්ති ඔවුන්ගේ උවමනාවට අනුව වෙනස් කරගන්නයි. එක සිද්ධවෙන්නේ නැති බව ඔවුන් තේරුම් ගත යුතුයි” කියමිනි.

අඟහරුවාදා ප‍්‍රහාරය විසින් සනාථ කරනු ලැබුවේ කිරිඇල්ලගේ අනතුරු ඇඟවීමෙන් පෙන්නුම් කෙරුනේ ආන්ඩුව මර්දනකාරී වැඩපිලිවෙල ගෙන යමින් රාජ්‍ය අධ්‍යාපනය පුද්ගලීකරනය කුමන වියදමක් දරා හෝ කි‍්‍රයාත්මක කරන බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් අනුව අධ්‍යාපනය, සෞඛ්‍යය, ඇතුලු සමාජ ක්ෂේත‍්‍රයන් හි කප්පාදුව වේගවත් කිරීම, තියුනු ආර්ථික අර්බුදයක එරී සිටින ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ සහ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව බාරගෙන ඇති රාජකාරියයි. ගෝලීය ධනපති පද්ධතිය අලලාගත් දැවැන්ත අර්බුදය ඉදිරියේ ලොව පුරා පාලක පන්තීහු වෙනසක් නොමැතිව මෙම ප‍්‍රහාරයේ යෙදී සිටිති.

තතු එසේ වුවද, අඟහරුවාදා පාගමනෙන් යලිත් සනාථ කෙරුනේ ලංකාවේ සිසු අරගලවල මුදුනත අරක්ගෙන සිටින අවිශිබමය එය මෙහෙයවන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), තම අධ්‍යාපන අයිතියට සහ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එල්ල කෙරෙමින් පවත්නා ප‍්‍රහාරය පරාජය කිරීම සඳහා සිසුන් කෙරෙන් මතු වී තිබෙන සැබෑ උවමනාව අවමංගත කිරීමට දරන අඛන්ඩ උත්සාහයයි.

නිදහස් අධ්‍යාපන අයිතිය රැකගැනීම සඳහා අරගලයක් සංවිධානය කිරීම වලක්වා හුදෙක් “සයිටම් වසා දමනු!” යන සටන් පාඨයට සිසුන් කොටු කිරීම සඳහා අවිශිබමට උඩගෙඩි දීමට “සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය” (සවිසිජ) නමින් එක්වී ඇති අවස්ථාවාදී සංවිධාන හා පුද්ගලයන් මෙදින විරෝධතාවයට සම්බන්ධවී සිටියේය. මොවුන් අතර ජනතා විමුක්ති පෙරමුනේ වෘත්තීය සමිති නායකයින් වන මහින්ද ජයසිංහ සහ අශෝක රංවල, ව්‍යාජ-වාම පක්ෂ නියෝජනය කරමින් පෙසපයේ දුමින්ද නාගමුව, නවසමසමාජ පක්ෂයේ ඊනියා “වාම” කල්ලියක ධර්මසිරි ලංකාපේලි සහ සිසුන් නොමග යැවීමට න්‍යාය ගොතන විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක වන සුමනසිරි ලියනගේ ඇතුලු කන්ඩායමක්ද දකින්නට ලැබුනි.

“සයිටම් යනු පෞද්ගලිකරනය සහ කප්පාදුව සඳහා දොරටු විවරකර ගැනීමට ආන්ඩුව පෙරට ගෙන ඇති මූලිකම ව්‍යාපෘතිය” බවත්, “එය අහෝසි කිරීම සමස්ත ප‍්‍රහාරය වලක්වා ගැනීමේ පලමු පියවර” බවත් මෙම විරෝධතා ව්‍යාපාරය වටා ගොනුවී සිටින කන්ඩායම් පුන පුනා ප‍්‍රකාශ කරති. ඔවුහු මේ සුත‍්‍රය ආන්ඩුවට බලපෑම් දැමීමේ විරෝධතා වැඩපිලිවෙලක් තුල සිසුන් සීමා කර තැබීම සඳහා ඉදිරිපත් කරති.

පොලිස් ප‍්‍රහාරයෙන් පසු මාධ්‍යය වෙත අදහස් දැක්වූ අවිශිබමයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මෙසේ සඳහන් කලේය: “මුන් කියපු ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේකද? මේ රටේ ජනාධිපති ඉපදුනේ, අගමැති ඉපදුනේ, ඒ පදවි ගත්තේ නිකන් නෙවෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් තමයි ඔවුන් උපත ලද්දේ.”

ජවිපෙ මේ විරෝධතා ව්‍යාපාරය තුල විසකුරු ක‍්‍රියා කලාපයක යෙදෙයි. ජවිපෙ විසින් මෙහෙයවෙන සමස්ත ලංකා ගුරු සේවා සංගමයේ නායක මහින්ද ජයසිංහ ප‍්‍රකාශ කලේ “පොලිස් ප‍්‍රහාරය, මෑත ඉතිහාසයේ දුටු ඉතා තුච්චම සිද්ධිය” බවයි. පොලිසියේ ප‍්‍රචන්ඩ හැසිරීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ඔහු කියා ඇත.

සවිසිජ සංවිධාන ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පොලිස් ප‍්‍රහාරය ගැන පැමිනිලි කරන බව ප‍්‍රකාශ කර තිබේ.

සවිසිජ තුල පෙල ගැසී සිටින කන්ඩායම් විසින් පොලිස් ප‍්‍රහාරය හෙලා දකිමින් කර ඇති ප‍්‍රකාශ පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ ධනපති ගැති දේශපාලනයයි. මේ සියලු දෙනා ඍජුව හා වක‍්‍රව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන බලයට ගෙනඒමට ක‍්‍රියා කලහ. 2015 ජනවාරි 8 ජනාධිපතිවරනය සඳහා උද්ඝෝෂනයේ දී මොවුන් ප‍්‍රකාශ කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයට විකල්පය සිරිසේන ජනාධිපතිකමට දමා ගැනීම බවයි. දැන් ඔවුන් ආන්ඩුවේ පොලිස් ප‍්‍රහාර මධ්‍යයේ සිරිසේනට කනිපින්දම් කියමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජ අයිතීන් ලබා දෙන ලෙස බලකරති. ඔවුන්ගේ වැඩ පිලිවෙල ධනපති ක‍්‍රමය තුල විසඳුම් ලබා ගැනීමේ මිත්‍යාවක කම්කරුවන්, දුගීන් හා තරුනයන් කොටු කරන දේශපාලන උගුලකි.

කියවන්න: නිදහස් අධ්‍යාපනය රැකීමට හා පුද්ගලීකරනයට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙලට සටන් කරනු!

Share this article: