ශ්‍රී ලංකාවේ කසල ව්‍යසනය: ධනවාදයේ අපරාධයකි

The Sri Lankan garbage disaster: A crime of capitalism

විලානි පීරිස් (ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුවේ කැඳවුම් කරු ), 2017 ඔක්තෝබර් 28

මීතොටමුල්ලේ දැවැන්ත කසල කන්ද කඩාවැටී පසුගිය ඔක්තෝබර් 14දාට සය මසක් සපිරුනේය. පනපිටින් වැලලී ගොස් අඩුවම වශයෙන් 32 කු මියගිය අතර 100කට වැඩි ගනනකට තුවාල සිදුවිය. අට දෙනෙක් තවමත් අතුරුදන්ව සිටිති.

පවුල් 198ක දහසකට වැඩි පිරිසක් මින් පීඩාවට පත්වූ අතර ගෙවල් 146 පුර්න හෝ අර්ධ වශයෙන් විනාශ විය. සංකේතාත්මක වන්දියක් පමනක් ලබාදෙමින් ආන්ඩුව පීඩාවට පත්වුවන් නොතකා හැර ඇති අතර පවුල් අතලොස්සකට කුඩා නිවාස ලබාදුන් නමුත් ඒවායේද ප‍්‍රමානවත් පහසුකම් නැත.

මේ ව්‍යසනය තනි සිද්ධියක් හෝ හදිසි අනතුරක් නොවේ. එය බලයට පත් ආන්ඩු විසින්, සමාජ වියදම් කපා හැරීම ඇතුලු පුද්ගලික ව්‍යාපාරිකයින්ගේ හා ධනපතීන්ගේ ලාභ තරකර දීම සඳහා ගෙනගිය සාපරාධි ප‍්‍රතිපත්ති වල ප‍්‍රතිපලයකි. ධනවාදය යටතේ ඉන්දියානු උපමහද්වීපය පුරාම, මෙවැනි ඛේදවාචක දෛනික ජීවිතයේ සිද්ධීන් බවට පත්වෙමින් ඇත.

පසුගිය සැප්තැම්බර් 1 දා, ඉන්දියාවේ දිල්ලි නගරයේ නැගෙනහිර ගාසිපුර් හි තවත් කසල කන්දක් කඩාවටීමෙන් දෙදෙනෙක් මියගොස් පස්දෙනෙකුට තුවාල සිදු විය. ඔක්තෝබර් 14 දා, ප‍්‍රදේශවාසීන් ඉමහත් භීතියට පත් කරමින්, කඩාවැටුනු ස්ථානයේම දැවැන්ත ගින්නක් හටගත්තේය.

ගාසිපුරයට කසල බැහැර කිරීම 1984 වර්ෂයේදී ආරම්භ වූ අතර කන්ද කඩාවැටීමට පෙර එය මීටර් 50ක උසට වැඩෙමින් තිබුනි. එය නිල සීමාව වූ මීටර් 20ක උපරිම උස ද ඉක්මවා තිබුනි. එම භූමිය අක්කර 70 (හෙක්ටෙයාර් 28) පුරා පැතිර තිබුනි.

දිල්ලි පරිසර දුෂන පාලන කමිටුවේ අනුමැතියක් නොලද මේ බිම, පුද්ගලික සමාගමකට අයත්ව තිබුනි. එයට දිනකට අපද්‍රව්‍යය මෙට්‍රික් ටොන් 3000 පමන බැහැර කෙරුනි. දින ගනනාවක් එක දිගට ඇද හැලුනු වර්ෂාවෙන් පසුව කන්ද කඩා වැටුනේ, එහි දැවැන්ත බර තවදුරටත් දරා සිටිය නොහැකි වීමෙනි. පසුව හටගත් ගින්නට හේතුව, දිරායන අපද්‍රව්‍ය වලින් නිකුත් වෙන ගිනිගන්නා සුලු මෙතෙන් වායුවයි.

සැප්තැම්බර් 1 සිද්ධියෙන් පසුව දිල්ලි ප‍්‍රාදේශීය පාලකයෝ, කසල කන්ද වසා දමන ලෙස ඉල්ලා නැගුන විරෝධතා තහනම් කලහ.

මේ භූමිය පිහිටා ඇත්තේ දස දහස් ගනන් දුගීන් කුඩා නිවාස වල තදබදවී ජීවත් වන “පැල්පත් නාගරික” ප‍්‍රදේශයකය. වාර්තා වූ අන්දමට ප‍්‍රදේශයේ පවුල් 1500කට අධික සංඛ්‍යාවක් එදා වේල සරි කරගන්නේ මේ කසල කන්ද අවුස්සා යමක් සොයා ගැනීමෙනි. අනුමාන වශයෙන් ඉන්දියාවේ පවුල් මිලියන 1.7ක් කසල එකතු කිරීමෙන් ජීවත් වෙති.

ව්‍යසනයෙන් පසුව ප‍්‍රදේශ වැසියෙක්, හින්දුස්ථාන් ටයිම්ස් පුවත් පතට මෙසේ කියා සිටියේය “මන් හිතන්නේ, අපි තරම් සෞඛ්‍ය ප‍්‍රශ්න වලට මේ නගරයේ කවුරුවත් මුහුන දීල නැහැ. මෙතන මහා කසල කන්දක්, ඊට ඒහා පැත්තෙන් මාළු වෙලඳ පොල, ඊට පස්සේ ඝාතකාගාරය - මේවා ඔක්කොම නිසා පැතිරෙන දුගඳ ඉවසිය නොහැකියි.”

සිවිල් ඉන්ජිනියර් වෙබ් අඩවිය වාර්තා කල අන්දමට [ගාසිපුර් අසල] මුල්ලා කොලනියේ වැසියන් කියා සිටින්නේ, මේ විවෘත කසල ගොඩෙන් සිදුවන වායු, ජල හා පාංශු දූෂනය, තම සෞඛ්‍ය තත්වයට බෙහෙවින් බලපා ඇති බවයි. “කන්දෙන් නික්මෙන සියුම් දුවිලි අංශු හා නොඉවසිය හැකි දුගඳ නිසා තමන්ට නිරතුරුවම නිවෙස් වල ජනෙල් වසා තැබීමට බල කෙරී ඇති බවත්, බොහෝ දෙනෙක් ශ්වසනාබාධ වලින් පෙලෙන බවත්” ඔවුහු පවසති.

නැගෙන මහජන විරෝධය සමනය කිරීම සඳහා පලාත් ආන්ඩුකාර අනිල් බයිජල් සැප්තැම්බර් 4 දා සිට මෙහි කුනු දැමීම නාමිකව තහනම් කල ද එය තවදුරටත් කෙරීගෙන යයි. මෙයට සමාන උපද්‍රවකාරි කසල කඳු දිල්ලියේම බලස්වා හා ඔක්ලා වැනි ස්ථාන වලත්, බටහිර බෙංගාලයේ කල්කටාව හා මහාරාෂ්ට‍්‍රයේ මුම්බායි වැනි නගරවලත් පිහිටා ඇත.

ඔක්තෝබර් 19දා ගුජරාටයේ අහමදාබාද් නගරයේ මෙවැනිම දැවැන්ත කසල කන්දක ඇති වූ ගින්නක් නිවීමට දින තුනක් ගත විය. මේ ස්ථානයේ ගිනි ගැනීම් සුලබ වන අතර, ඉන් නැගෙන විෂ වායු කිලෝමීටර තුනක් පමන ඈතට පැතිර යන බව ද වාර්තා වේ.

ආර්ථික වර්ධනය මත පදනම්වූ සමාජ ප‍්‍රගමනයක් ඉන්දියාවේ ඇති කර තිබෙන බවට, වර්තමාන පාලනය ඇතුලු මෙතෙක් පැවති ඉන්දියානු ආන්ඩුවල ප‍්‍රචාර, මේ අතිශය දුෂ්කර ජීවන කොන්දේසි මගින් පුපුරවා හැර ඇත. සත්‍යය නම්, සමාගම් දැවැන්ත ලාභ උපයද්දී මිලියන ගනන් කම්කරුවන් හා ගොවීන් ජීවත් වන්නේ මෙවන් දුෂ්කර කොන්දේසි යටතේය.

අප්‍රිකා මහාද්වීපයේ තත්වය ද මීට සමානය. ඉතියෝපියාවේ අඩිස් අබාබා නගරයේ පසුගිය මාර්තු 16 දා කසල කන්දක් කඩා වැටීමෙන් පසු මලසිරුරු 115ක් ගොඩගත් අතර තවත් 80ක් පමන අතුරුදන්ව සිටිති.

එම නගරය ධනපතියන් සඳහා වන නව සාප්පු සංකීර්න, සුපිරි හෝටල් හා මහල් නිවාස වැනි ව්‍යාපෘති වල මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත. මේ ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා ගැනීමට, කසල කන්ද කඩා වැටීමෙන් මියගිය අය ද ඇතුලුව දස දහස් ගනනක් දුගී ජනතාව, උන්හිටි තැන් වලින් ඉවත් කර, නගරයෙන් පිට ප‍්‍රදේශ වලට යවා ඇත.

අප්‍රේල් මාසයේ පලවූ ලෝක බැංකු වාර්තාවක් සඳහන් කරන්නේ, ලොව පුරා ඝන අපද්‍රව්‍ය ජනනය වන සීග‍්‍රතාව ඉහල ගොස් ඇති බවයි. 2012 දී ලෝකයේ ප‍්‍රධාන නගර වලින් ඝන අපද්‍රව්‍ය ටොන් බිලින 1.3 ක් බැහැර කල අතර, එය 2025 වන විට ටොන් බිලියන 2.2 දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“දියුනුු රටවල් හා සංසන්දනය කරන විට දියුනුු වෙමින් පවතින රටවල, විශේෂයෙන්ම නාගරික දුගී ජනතාව, තිරසාර අපද්‍රව්‍යය කලමනාකරනයක් නොමැති කමින්, වඩාත් දැඩි බලපෑමට ලක්වී ඇත” යනුවෙන් වාර්තාව සඳහන් කරයි. එය තවදුරටත් අනතුරු ඇඟවුයේ “නියාමනයකින් තොර විවෘත බැහැරලීම හෝ ගිනි තැබීම් මගින් බරපතල සෞඛ්‍ය හා ආරක්ෂාව පිලිබඳ ප‍්‍රශ්න ද පරිසර ගැටලු ද උදා කරනු ඇති බවයි.”

ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් පනවා ඇති කප්පාදු වැඩපලිිවෙල යටතේ ලොව පුරා ආන්ඩු, සමාජ අවශ්‍යතාවන් සඳහා කෙරෙන වියදම් කපාහැරීම මගින්, ඝන අපද්‍රව්‍යය අර්බුදයට කිසිඳු සැබෑ විසඳුමක් දීමට ඇති මග සම්පූර්නයෙන්ම අහුරා ඇත.

අද, ගැඹුරුවන ගෝලීය අර්බුදය හමුවේ, ඊනියා “දියුනු රටවල” ද “තුන්වැනි ලෝකයට” සමාන තත්වයන් ඇතිවෙමින් තිබේ. පසුගිය ජුනි මාසයේ, ලන්ඩනයේ ග්රෙන්ෆෙල් තට්ටු නිවාසය පුරා රුදුරු ගින්නක් ඇවිලී ගිය අතර 79කට ජීවිත අහිමි විය. ගිනිගන්නා සුලු ද්‍රව්‍යය වලින් තනා ඇති ආවරන පනේල නිසා ඇති වුයේ යයි දැන් හෙලිවී ඇති මේ ව්‍යසනය, බ්‍රිතාන්‍ය පාලක ප‍්‍රභූවේ සාපරාධී නොසැලකිල්ලේ ප‍්‍රතිපලයකි.

ඇමරිකාවේ මිචිගන් ප‍්‍රාන්තයේ ෆ්ලින්ට් නගරයේ දහස් ගනනක් පවුල්, ඊයම් මගින් ද දූෂනය වූ නාගරික ජල සැපයුමේ ගොදුරු බවට පත්වී ඇත.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) මීතොටමුල්ල ව්‍යසනය ගැන ස්වාධීන කම්කරු පරීක්ෂනයක් කැඳවුයේ මේ ජාත්‍යන්තර සන්දර්භය තුලය.

කොලඹට ආසන්න ස්වාභාවික තෙත් බිමක අනාරක්ෂිත ලෙස කසල ගොඩකිරීම ඇරඹුනේ 1987දීය. දශක කීපයක් පුරා එය හෙක්ටයාර 9ක් පුරා පැතිරුනු, මීටර 60 කට වැඩි උසකින් යුතු මහා කන්දක් බවට වර්ධනය විය. මේ මගින් උදා විය හැකි අන්තරාය ගැන ජනතාව ආන්ඩුවලට අනතුරු ඇඟවූවත්, ඒ විරෝධතා සියල්ල පොලිස් භීෂනයෙන්, අත් අඩංගුවට ගැනීම් හා බොරු නඩු ඇටවීම මගින් යටපත් කරන ලදී.

මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාටලී චම්පික රනවක, විධිමත් අපද්‍රව්‍ය කලමනාකරනය විවෘතව හා නිශ්චිතව බැහැර කරමින් මෑතකදී කියා සිටියේ, ප‍්‍රතිචක්‍රීයකරනය සඳහා කසල කිලෝවකට රුපියල් 7-10 අතර ප‍්‍රමානයක් වැය වෙනවා. කාටවත් මේ සඳහා මුදල් ප‍්‍රතිපාදන නැහැ” යනුවෙනි.

සැබෑ ප‍්‍රශ්නය අරමුදල් නොමැති කම නොවේ. අනුප‍්‍රාප්තික ආන්ඩු මගින්, බැංකු, මූල්‍ය ආයතන හා ප‍්‍රධාන සංගත වලට සමාජීය වත්කම් කොල්ලකමින් රුපියල් බිලියන ගනනින් ලාබ පොදි ගසා ගැනීමට මාර්ග සලසා දී ඇත.

අන් සියලු සමාජ ප‍්‍රශ්න වලදී මෙන්ම කසල අර්බුදයේදීත්, එය දුෂ්ට පුගලයන් නිසා ඇතිවන්නක් නොවේ. අප ජීවත් වෙන්නේ, ලෝක ධනවාදයේ පද්ධතිගත අර්බුදයක් තුලය. එමගින්, පොදු යටිතල පහසුකම් හා සමාජ සුබසාධන වලින් යන්තමින් හෝ ඉතිරිවී පැවති අබිත්ත ද අහෝසිකර දැමීමට “දියුනු” හා “දියුනුවෙමින් පවතින” රටවල් සියල්ලේම ආන්ඩු වලට බල කෙරී ඇත.

ව්‍යාජ-වාම සංවිධාන මේ මූලික කරුන ගැන සාමාන්‍ය ජනතාව තුල අවබෝධයක් ඇති වීම වලක්වාලීමට කටයුතු කරති. කම්කරු පන්තිය හා පීඩිතයන් මතට පමුනුවා ඇති මේ සමාජ ව්‍යසනයන් ධනපති ආන්ඩු වලට බලපෑම් දැමීම මගින් විසඳා ගත හැකිය යන මුලාව ඔවුන් පතුරුවා හරියි.

ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය වසර ගනනාවක සිට, මීතොටමුල්ල කසල කන්දට එරෙහිව නැගෙන ජනතා වෛරය, අනුප‍්‍රාප්තික ආන්ඩු වලට කෙරෙන බෙලහීන ආයාචනා තුල ගිල්වා දැමීමට උත්සාහ දැරීය. මෙය ඔවුන්, කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් මතුවීම වැලැක්වීමට වඩාත් පුලුල් ලෙස ගෙනයන උත්සාහයේම කොටසකි.

සුරක්ෂිත හා යහපත් කොන්දේසි තුල ජීවත් වීමට හා රැකියා කිරීම ද ඇතුලු, කම්කරු පන්තියේ හා පීඩිතයන්ගේ මූලික සමාජ අයිතීන් සහතික කරදීමට දැවැන්ත සම්පත් ප‍්‍රමානයක් අවශ්‍ය වේ. උපද්‍රවකාරී කසල කඳු වසා දමා, විද්‍යාත්මක අපද්‍රව්‍ය කලමනාකරන ක‍්‍රමවේදයක් ගොඩනගා ගැනීම ද මෙයට ඇතුලත්ය. මේ සම්පත් මුදා හල හැක්කේ, ධනපති ක‍්‍රමය පෙරලා දමා, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් මගින්, බැංකු හා මහා සංගත ජනසතුකර කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත්‍රීය පාලනයට නතු කිරීම ඇතුලු, සමාජවාදී ප‍්‍රතිපත්ති මාලාවක් දියත් කිරීමෙන් පමනි.

සසප, ස්වාධීන කම්කරු පරීක්ෂනය කැඳවුයේ, කම්කරු පන්තියට තම විප්ලවවාදී කර්තව්‍යයන් සඳහා අවශ්‍ය දැනුවත්කම වර්ධනය කිරීමටයි. මේ අරගලයට සම්බන්ධ වන මෙන් කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් සසප ඉල්ලා සිටී.

Share this article: