ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වන බවට ට‍්‍රම්ප් කල තර්ජනයෙන් පසුව, අත්ලාන්තිකය දෙපස සතුරුකම් ගැඹුරුවේ

Transatlantic antagonisms deepen after Trump threatens withdrawal from Iran deal

ජොර්ඩන් ෂිල්ටන් විසින්, 2017 ඔක්තෝබර් 16

ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් 13දා, ඉරාන න්‍යෂ්ටික ගිවිසුම වොෂින්ටනයේ අභිලාශයන්ට ගැලපෙන පරිදි සකස් කරන්නේ නැති නම්, එයට ඇති සිය බැඳීම් සිඳලීමේ සූදානම ප‍්‍රකාශ කිරීමෙන් පසුව, වොෂින්ටනය හා එහි යුරෝපීය සහචරයින් අතර ආතතීන් තියුනුවී, යුරෝපය තුලින් එල්ල වන විවේචන ද දැඩිවී ඇත.

තියුනු වෙනස්කම් සලකුනු කරන්නේ, අත්ලාන්තිකය දෙපස සම්බන්ධතාවන්ගේ ගැඹුරු වන ධ‍්‍රැවාන්තගතවීමය. ට‍්‍රම්ප්ගේ “පලමුව ඇමරිකාව” යන ජාතිකවාදයට නැඹුරුවීම, 2017 වසර පුරා සම්බන්ධතා පිරිහී යාමට හේතු විය. එසේම ප‍්‍රධාන යුරෝපීය බලවතුන්, සියල්ලන්ටත් වඩා ජර්මනිය, තමන්ගේම ස්වාධීන අධිරාජ්‍ය වාදී අභිලාෂයන් පෙරටුකර ගැනීමේ උත්සාහයන් තියුනු කරනු ලැබීම ද ඊට දායක වේ.

සිය ධවල මන්ඳිර කථාවේදී ට‍්‍රම්ප්, ඉරානය සමග ඇතිකරගෙන තිබෙන (JCPOA) යන ඒකාබද්ධ පුලුල් ක්‍රියාකාරී සැලසුමට අදාල ගිවිසුමේ වගකීම් ප‍්‍රකාරව ඉරානය කටයුතු කර තිබෙන බව යලි යලිත් සනාථ කර තිබියදී ද එය සහතික කිරීම ප‍්‍රතික්ෂේප කලේය. ට‍්‍රම්ප් ඉරානයේ බලගතු විප්ලවවාදී ආරක්ෂක හමුදාවන්ට සම්බාධක පැනවූ අතර, කොන්ග‍්‍රසය දින 60ක් ඇතුලත ටෙහෙරානයට එරෙහිව දැඩි සම්බාධක පැනවීමට හෝ සැලසුම යලි සැකසීමට අපොහොසත් වුනොත්, ඔහු ගිවිසුම අවලංගු කරන බවට දිව්රා තිබේ.

ජර්මානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල් හා බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ, 15දා කල දුරකථන සාකච්ඡාවේදී, සැලසුමට ඇති සිය කැපවීම යලි තහවුරු කලහ. එම නිවේදනය පලවුනේ, 13දා නිකුත් කල දුලබ ඒකාබද්ධ ප‍්‍රකාශනයකට පසුවය. එහිදී මර්කෙල්, මේ හා ප‍්‍රන්ස ජනාධිපති එමෑනුවෙල් මැක්රොන්, එය 13 වසරක රාජ්‍යතාන්ත්‍රික ව්‍යායාමයක කුලුගැන්වීම බව ප‍්‍රකාශ කරමින්, ට‍්‍රම්ප්ගේ ප‍්‍රහාරයන්ට එරෙහිව ඉරාන ගිවිසුම ආරක්ෂා කලහ. නායකයින් තිදෙනා පැවසුවේ, “අපි, ගිවිසුම අඩාලවන කුමන හෝ පියවරක් ගැනීමට පෙර, එරටෙහි මෙන්ම තම මිතුරන්ගේ ද ආරක්ෂාව කෙරෙහි ඇතිවිය හැකි බලපෑම් සැලකිල්ලට ගන්නා මෙන් එක්සත් ජනපද පරිපාලනය හා කොන්ග‍්‍රසය දිරිමත් කරන්නෙමු” යනුවෙනි.

මෙයට සම්බන්ධව යුරෝපීය විදේශ ප‍්‍රතිපත්ති පිලිබඳ උසස් නියෝජිත ප්‍රෙඩ්‍රිකා මොගරිනි, කෙටි එහෙත් පැහැදිලි ප‍්‍රකාශයක් නිකුත් කලාය. ඇය සඳහන් කලේ, සැලසුම අවලංගු කිරීමට එක්සත් ජනපදයට කිසිදු අයිතියක් නැති බවය. මක්නිසා ද යත් එය බහු පාර්ශවීය ගිවිසුමක් වන බැවිනි.

මැක්රොන් පසුගිය 13දා ඉරාන ජනාධිපති හසන් රව්හානි සමග දුරකථනයෙන් කථා කරමින්, පැරිසිය ගිවිසුම පවත්වාගෙන යාමට කැපව සිටින බව පැවසීය. ඒඑෆ්පී වාර්තාවකට අනුව ඔහු ටෙහෙරානයේ සංචාරයක් පිලිබඳව ද කැමැත්ත පල කර ඇත. එවැන්නක් 1979න් පසුව ප‍්‍රන්ස ජනාධිපතිවරයෙක් ඉරානයේ කරන පලමු සංචාරය වනු ඇත.

යුරෝපීය බලවතුන් ඇමරිකාවට විරුද්ධව නැගී සිටින ලෙස එයට ප‍්‍රතිචාර වශයෙන් ඉරාන නායකයෝ ඉල්ලා සිටියහ. සිය ආන්ඩුව JCPOAට බැඳී සිටින බවට 13දා රව්හානි දුන් සහතිකයෙන් පසුව, විදේශ ඇමති මොහමඞ් ජාවඩ් සරීෆ්, සහයෝගය දෙන මෙන් යුරෝපයෙන් ඉල්ලා සිටියේය. ඔහු මෙසේ පැවසීය: “එක්සත් ජනපද සහාය නොමැතිව ජාත්‍යන්තර කරලියේ ක්‍රියාකලාපයක් ඉටු කල හැකිදැයි, න්‍යෂ්ටික ගිවිසුම මගින් යුරෝපියානුවන් පරීක්ෂාවට ලක් කෙරේ. යුරෝපයේ ප‍්‍රතිරෝධය, න්‍යෂ්ටික ගිවිසුම ඉදිරියට ගෙනයා හැකි ද නැද්ද යන්න පෙනුනුම් කරනු ඇත.”

14දා සවස ඒඑෆ්පී සමග කථාකරමින් ප‍්‍රන්ස විදේශ ඇමති ජීන් ලේ ඩ්‍රිනයන් වොෂින්ටනයෙන් ඉල්ලා සිටියේ “යහපත් ගිවිසුමක්” අවලංගු නොකරන ලෙසයි. එසේ කලොත් එය “පාපකාරී හා බරපතල අනතුරුදායක” තත්වයක් උදා කරනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය.

ප‍්‍රන්සයේ හා ජර්මනියේ මූලිකත්වයෙන් යුරෝපීය බලවතුන්, 2015 ගිවිසුමෙන් පසුව ටෙහෙරානය සමග සිය ව්‍යාපාරික කටයුතු සැලකිය යුතු තරම් පුලුල් කර ඇත. මේ වසර මුල ප‍්‍රන්සයේ තෙල් හා ගෑස් සංගතයක් වන ටෝටල්, කටාරය සමග හවුලේ ක්‍රියාත්මක වන ඉරාන ගෑස් නිධියක ඩොලර් බිලියන ගනනක ආයෝජන ගිවිසුමකට එලඹ ඇත. ගිවිසුම අඛන්ඩව පැවතුනහොත් ජර්මානු ව්‍යාපාරික කොටස්, ඉරානය සමග එරට වෙලඳාම 2020 වන විට සිව් ගුනයකින් වැඩි කිරීමට සැලසුම් කරයි.

කෙසේ වුව ද ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශ හා ට්වීටර් සටහන් වලට පටහැනිව යුරෝපීය බලවතුන්, ක්ෂනික ව්‍යාපාරික අභිලාෂයන් මත පමනක් යොමුව නැත. ගිවිසුම කටුගෑම, යුරෝපීය අධිරාජ්‍යවාදීන්ට ප‍්‍රධාන භූමූලෝපායික, ආර්ථික හා දේශපාලන ප‍්‍රතිවිපාක ගෙන එනු ඇත. ඒ අතර මැද පෙරදිග තවදුරටත් අස්ථාවර වීම, යුරෝපය කාරා නව සරනාගත ප‍්‍රවාහයක් හා කලාපය තුල තමන්ගේම ස්වාධීන උත්සුකයන් පෙරට ගෙන යාමේ යුරෝපීය බලවතුන්ගේ උත්සාහයන් ව්‍යවර්ත වීම ද වේ.

යුරෝපය සිය තෙල් ආනයනයෙන් සියයට 15-20 අතර ප‍්‍රමානයක් ලබාගන්නේ මැද පෙරදිගිනි. මේ මාර්ග අවහිර වුවහොත්, මතුවන ආර්ථික හා සමාජ කැලඹීම් නාටකාකාර වනු ඇත. විශේෂයෙන්ම, මහාද්වීය පුරා ආන්ඩු විසින් අනුගමනය කරනු ලබන, දක්ෂිනාංශික මිලිටරිවාදී හා කම්කරු විරෝධී ප‍්‍රතිපත්ති කෙරෙහි වන සමාජ ප‍්‍රතිරෝධය හමුවේ ඒවා පුපුරන සුලු මට්ටම් වලට නගිනු ඇත.

ට‍්‍රම්ප්ගේ මග පිලිකෙව් කිරීමේදී ජර්මානු මාධ්‍යයට ඒකමතිකය. ඔහුගේ “මා පලමුව” ප‍්‍රතිපත්තිය කෙරෙහි සතුරුකම පල කරමින් ඩි වෙල්ට් පත‍්‍රය, ජාත්‍යන්තර ප‍්‍රජාවට වල කපන බවට ට‍්‍රම්ප්ට චෝදනා කරයි. ෆ‍්‍රැන්ක්ෆර්ටර් ඇල්ජිමේන් සේටුංහි අදහස් පලකරමින් ක්ලාවුස් ඞීටර් ෆ‍්‍රැන්කන්බර්ජර්, ආතතීන් උත්සන්න කරන බවට ට‍්‍රම්ප්ට චෝදනා කරයි. ට‍්‍රම්ප්ගේ යෝජනාව මගින්, “අන්තර් අත්ලාන්තික් සම්බන්ධතා පිලිබඳ ගැටුමට තවත් තෙල් වක්කරන” අතර “දැනටමත් එහි පවතිනවාට වඩා, අලුත් හා වඩාත් අනතුරු දායක සුලියක් තුලට මැද පෙරදිග ඇද දැමිය හැකිය.”

ඇමරිකාව තුලමත් ට‍්‍රම්ප්ගේ යෝජනාව, බෙදීම් වලට තුඩුදී ඇත. බල ශක්තියෙන් පොහොසත් මැද පෙරදිග තම පාලනය ශක්තිමත් කර ගැනීමේ වොෂින්ටනයෙහි න්‍යාය පත‍්‍රයේ කොටසක් ලෙස ඉරානය මත පීඩනය අඛන්ඩව පවත්වාගෙන යාම සඳහා දෙන සිය සහයෝගය සම්බන්ධයෙන්, මිලිටරි සංස්ථාපිතය හා දේශපාලන ප‍්‍රභූව ඒකමතික වන අතරම, ප‍්‍රධාන වශයෙන් බිය පලවන්නේ, ගිවිසුම කඩාකප්පල් කිරීමේ ට‍්‍රම්ප්ගේ දිව්රුම, වොෂින්ටනය හුදෙකලාවට පත්කර, දුබල කරනු ඇතැයි යන්න පිලිබඳවය.

ඔබාමා ආන්ඩුවේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වරයෙක්ව සිටි ඇන්තනි බ්ලින්කන්, ඉරානයේ න්‍යෂටික වැඩසටහන තහනම් කිරීම අනියමිත කාලයකට දිග්ගැස්සීමේත්, එරට බැලිස්ටික් මිසයිල වැඩසටහන සීමා කිරීම වැනි මුල් ගිවිසුම ඉක්මවා යන කොන්දේසි පැනවීමේත් ට‍්‍රම්ප්ගේ ව්‍යායාමයට එරෙහිව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත තුල අනතුරු අඟවයි.

“එමගින් ගිවිසුම උල්ලංඝනය කිරීමේ ලෝක චෝදනාව එල්ල වන්නේ ටෙහෙරානයට නොව වොෂින්ටනයටය. වොෂින්ටනය හුදෙකලා වනු ඇත. එමගින් ඉරානයට, සිය න්‍යෂ්ටික අවි යලි පනගැන්වීමට හෝ, ගිවිසුමට බැඳී සිටිමින් තමන්ට ආර්ථික වාසි සලසා ගැනීමට ඉඩ සැලසෙයි. ටෙහෙරානය සමග ව්‍යාපාරික කටයුතු වල යෙදෙන සිය සමීප මිතුරන්ට සම්බාධක පැනවීමට එක්සත් ජනපදයට බල කෙරෙනු ඇත. එමගින් ඉරානයේ දැඩි මතධාරීන්ට ‘අපි තමුසෙලාට ඕක කිව්වා’ යයි පවසමින්, තත්කාර්යවාදීන් සමග වන ඔවුන්ගේ අරගලයට වාසියක් සලසනු ඇත. ඉරාන ආක‍්‍රමනකාරිත්වයට මුහුන දෙන ඔහුගේ පුලුල් මූලෝපායට අනෙක් අයගේ සහාය ලබාගැනීමේදී එය, ට‍්‍රම්ප්ට වාසියක් නොව විලංගුවක් වනු ඇත. වඩාත් පුලුල් ලෙස පැවසුවහොත්, එය ඇමරිකාවේ විශ්වාසනීයත්වයට වල කපයි....” ඔහු එසේ ලිවීය.

එවන්ම තානයක් වොෂින්ටන් පෝස්ට් පත‍්‍රය ද ගෙන එයි. ට‍්‍රම්ප්ගේ ඉරාන පිලිවෙත “දේශපාලන උද්ධච්ඡ කමේ හා භූදේශපාලනික අඥානකමේ ක්‍රියාවක්” ලෙස හෙලාදකිමින් පුවත්පත, චෝදනාවට ලක්වන, ඉරාන අනුහස අඩපන කිරීමේ විස්තීර්න මිලිටරි සැලැස්මක් ඇති කල නොහැකිවීම පිලිබඳ විරුද්ධත්වය මත පිහිටා, මෙසේ පවසයි: “ඉරානයෙන් එල්ල වන න්‍යෂ්ටික නොවන තර්ජන වැලැක්වීමේ අමතර ක්‍රියාමාර්ග ගන්නා බවට ට‍්‍රම්ප් මහතා පොරොන්දු විය. ඊට සිරියාව හා ඉරාකය තුල මැදිහත්වීම් ද ඇතුලත්ය. පරිපාලනය ඉරානයේ විප්ලවකාරී ආරක්ෂක සේනාංක වලට සම්බාධක පැනවීම යුක්ති සහගත කලේය. එහෙත් ඊස්රායලය සමග නව ගැටුමක් ඇවිලීමට තර්ජනය කරන, සිරියාව තුල ඉරානයේ මිලිටරි පැලපදියම්වීමට හරස් කපන පැහැදිලි සැලැස්මක් ඊට නැති බව පෙනී යයි.

වෙනත් වචන වලින් කිවහොත්, කලින් අයිසිස්වරුන්ගේ (ඉස්ලාමීය) පාලනය යටතේ පැවති භූමිභාග අත්පත්කර ගැනීම මගින්, ටෙහෙරානයේ සිට ලෙබනනය දක්වා ගොඩබිම් මාර්ගයක් සකසා ගැනීමට උත්සාහ දරන, ඉරානයේ සහාය ලබන මිලිෂියාවන් හා වොෂින්ටනය අතර සිරියාව තුල සිදුවන ගැටුම කෙරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවධානය යොමුකරවීමට වොෂින්ටන් පෝස්ට් පත‍්‍රයට අවශ්‍යය. ඇමරිකානු මිලිටරි උපදේශකයින් ද යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන්ගේ හමුදා මෙන්ම, රුසියානු හමුදා ද රැඳී සිටින තතු හමුවේ ගැටුම වේගයෙන් පැතිරයාමේ හැකියාව පවතී.

හිටපු ඩිමොක‍්‍රටික් ජනාධිපති අපේක්ෂිකාව හා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, ට‍්‍රම්ප් “එක්සත් ජනපදය අනෙකුත් ජාතීන්ට වී ඇති පොරොන්දුවල වලංගු භාවයට වල කපන්නේ” යයි චෝදනා නැගීය. “පරම වශයෙන්ම පවත්වාගත යුතු එක්සත් ජනපදයේ තත්වයෙහි හා සම්බන්ධකම්වල විශ්වාසනීයත්වය හා අපේක්ෂාව එමගින් බාල්දු කරනු ලබයි”.

ඇමරිකාව JCPOA උල්ලංඝනය කිරීමක් වනු ඇති නීති පැනවීමෙන් කොන්ග‍්‍රසය වැලකී සිටිය යුතු බව කියා සිටි සෙනේට් සභිකයින් වන, ලින්ඩ්සේ ග්‍රෙහැම් හා බොබ් කෝකර් ඇතුලු ප‍්‍රමුඛ රිපබ්ලිකානුවන් ගනනාවක් ට‍්‍රම්ප්ගේ පිලිවෙත අනුමත කලහ.

ඇමරිකානු පාලක පැලැන්තිය හා ට‍්‍රම්ප් ආන්ඩුව තුලමත් ඇතිව තිබෙන මතභේද, මැද පෙරදිග තත්වය තවත් නරක අතට හරවනවා පමනි. ට‍්‍රම්ප්ගේ උපායික ප‍්‍රවිෂ්ටය මත ඔහු විවේචනය කරන ප‍්‍රමුඛ ඩිමොක‍්‍රටිකයින් ද ටයිම්ස් හා පෝස්ට් වැනි ප‍්‍රධාන පෙලේ පුවත්පත් ද වත්මන් තත්වය තුල “ආක්රමනිකයා” ඉරානය ලෙස ගෙනහැර දැක්වීමේ ප්‍රෝඩාකාරී ව්‍යායාමයට මුලුමනින්ම බැසගෙන සිටිති.

සත්‍යය නම්, මැද පෙරදිග තුල ව්‍යසනකාරී තත්වයටත්, ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන් අතර නැගී එන ප‍්‍රතිඝතිතාවන්ටත් මුලුමනින්ම පාහේ වගකිව යුත්තේ වොෂින්ටනය බවයි. සමස්ත සමාජයන්ම සුන්බුන් බවට පත්කරමින් ඔවුන්, සියවස් කාර්තුවක් තිස්සේ යුද්ධයන්හි නිරතව සිටින්නේ, මංමුලා සහගත ලෙස සිය ගෝලීය ආධිපත්‍යය යලි අත්කර ගැනීමටය. ඉරාකයේ, ඇෆ්ගනිස්ථානයේ, ලිබියාවේ හා සෝමාලියාවේ ඇමරිකාව මූලිකත්වය ගත් ආක‍්‍රමනික යුද්ධ වලින් හා සිරියාවේ හා යේමනයේ අවුලුවා ඇති ගැටුම් වලින්, මිලියන ගනනකගේ ජීවිත විනාශ කර තවත් මිලියන ගනනකට සිය නිවාස හා ගම් බිම් අතහැර පලා යාමට බල කෙරී ඇත.

එබැවින් ගිවිසුම ආරක්ෂා කරන ලෙස ට‍්‍රම්ප්ට ආයාචනා කිරීමට, වඩාත් සාමකාමී හෝ මැදහත් පිලිවෙතක් සමග මොනම සම්බන්ධයක්වත් නැත. ඒ වෙනුවට ඒවා බැඳී ඇත්තේ, සිය ප‍්‍රධාන එදිරිවාදීන් වන රුසියාව හා චීනය සමග ගෝලීය පරිමානයේ වඩා පුලුල් හැප්පීමක් කරා ඇමරිකාවේ ව්‍යායාමය ඔසවා තැබීමේ ආශාව සමගය. ට‍්‍රම්ප් හා ඔහුගේ විවේචකයින් අතර සම්මුතිවාදී විසඳුමක් ඇති වුව ද ඒවා පාදක වනු ඇත්තේ, ටෙහෙරානය මත යොදන පීඩනය තියුනු කිරීමත්, තමන් අනුව යාමට යුරෝපීය බලවතුන් නම්මා ගැනීමත්, මැද පෙරදිග හා අත්ලාන්තික් කලාපය පුරා ගැටුම් පැතිර යාමත් මතය.

අනෙක් අතට කොන්ග‍්‍රසය, ඊලඟ මාස දෙක ඇතුලත පොදු ප‍්‍රවිෂ්ටයකට එකඟ වීමට අසමත් වුවහොත්, ගිවිසුම අවලංගු කිරීමට හැකි තැනකට ට‍්‍රම්ප් පත් කරයි. එවන් තත්වයක්, ටෙහෙරානය සමග පමනක් නොව, එරට යුරෝපීය සහචරයින් සමගත් වොෂින්ටනයේ සම්බන්ධකම් පලුදු කරනු ඇත. එහි ප‍්‍රතිපල වශයෙන්, වේගවත් මිලිටරි උත්සන්නියක් කරා යොමුවන ගැටුම්කාරී වාතාවරනයක් නිර්මානය කරනු ඇත.

Share this article: