ආචාර්ය නිර්මාල් දේවසිරි විධායක ජනාධිපති ක‍්‍රමය රැකගත යුතුයැයි ආන්ඩුවට උපදෙස් දෙයි

වසන්ත රූපසිංහ විසිනි, 2017 ඔක්තෝබර් 26

22 ඉරිදා දිවයින පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කොලඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වත්මන් අර්බුදග‍්‍රස්ත පාලන තන්ත‍්‍රය ආරක්ෂා කර ගැනීම සඳහා විධායක ජනාධිපති ධුරය පවත්වා ගැනීමේ අවශ්‍යතාව ගැන උපදෙස් දුන්නේ ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ආ එක්සත් ජනපදය පිටුබලය දුන් පාලන තන්ත‍්‍ර මාරුවේ ප‍්‍රමුඛ සහකරුවෙක් ලෙස ක්‍රියාත්මක වූ ආචාර්ය දේවසිරි, එකල මහජනතාව රැවටීම සඳහා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ඝෝෂා කරමින් සිටියේය. දැන් ඔහු ඒ පිලිබඳව දරන මතය පිලිබඳ දිවයින විමසූ විට, දේවසිරි මෙසේ කීවේ ය: “මේ වෙලාවේ ජනාධිපති තනතුර අහෝසි කරනවට මම විරුද්ධයි. ඒකට තියෙන්නෙ සරල හේතුවක්. උදාහරනයක් විදියට අපේ රටේ බැඳුම්කර ප‍්‍රශ්නය වුනත් මේ විදියට හොයලා බලන්නෙ හරි ජනාධිපති සහ අගමැති අතර සීතල යුද්ධයක් තියෙන නිසා. රටේ බලය තුලනය කරන කුලුනු දෙකක් තිබෙන විට එක කුලුනක් කඩා වැටුනොත් ඇතිවිය හැකි ප‍්‍රතිපල භයානකයි”.

වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප) හා සිරිසේනගේ පොදුජන එක්සත් පෙරමුන අතර අටවා ගෙන තිබෙන හෙලත්තාඩු හවුල් ආන්ඩුවේ ඇතැයි දේවසිරි කියන “බලතුලනය” පසුගිය වසර දෙක පුරා ක්‍රියාත්මකව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල කප්පාදු පිලිවෙත් පෙරට දැමීමටත් ඒවාට එරෙහිව පැන නැගී වර්ධනය වන කම්කරුවන්, ශිෂ්‍යයින් හා පීඩිතයන්ගේ සටන්කාමී අරගල තලා දැමීමටත් ය. එම “බලතුලනය කඩාවැටීම නිසා භයානක ප‍්‍රතිපල ඇතිවිය හැකි යැයි” යන්න, එලැඹෙන විප්ලවවාදී අරගල මැඩීමට ශක්‍යතාව සහිත “ස්ථාවර” රාජ්‍ය යාන්ත‍්‍රනයක් ධනපති පන්තියට අහිමිවේ යන සුලුධනපති පන්තියේ භීතිකාව ප‍්‍රදර්ශන කරයි. ඒ නිසා, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවාට දේවසිරි විරුද්ධවීම පුදුමයක් නොවේ. 1970 අගභාගයේදී වත්මන් විධායක ජනාධිපති ධුරය ඇති කිරීමත් එතැන් සිට එය ක්‍රියාත්මකවූයේත් මහජන අරගලය මඬිමින් ධනේශ්වර ක‍්‍රමයේ ඊනියා “ස්ථාවරත්වය” පවත්වා ගැනීමට යි.

ආචාර්යවරයා සඳහන් කරන පාලක ප‍්‍රභූව තුල ඇතිව තිබෙන “සීතල යුද්ධය” වනාහී, ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව සටන්කාමී වෙමින් සිටින කම්කරු, පීඩිත ජනයාගේ විප්ලවවාදී අරගල තලා දැමීමට වඩාත්ම සුදුසු මර්දනකාරී පාලනය කුමක්ද යන උපායාත්ම ප‍්‍රශ්නය වටා මිස ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමේ අරමුනින් ක්‍රියාත්මක වන්නක් නොවේ. භයානක අධිරාජ්‍යවාදී ලෝක යුද්ධයක් පිපිරීම කරා වර්ධනයවී ඇති ධනේශ්වර ක‍්‍රමයේ පද්ධතිගත අර්බුදය සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පල්ල ගලවා දමමින් ද අන්ත දක්ෂිනාංශික පක්ෂ බලයට ගෙන එමින් තිබෙන තත්වයක් තුල ලංකාවේ පාලකයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට වැඩකරතියි කීම ප්‍රෝඩාවකි.

ඔහු උදාහරන ලෙස ගෙන හැර පාන බැඳුම්කර ප‍්‍රශ්නයවුව සැලකුවහොත්, එය පෙන්නුම් කරන්නේ දේවසිරි ඇතුලු ඊනියා “සාධාරන සමාජයක් සඳහාවූ ව්‍යාපාරය”, පුරවැසිබලය, ජනතා විමුක්ති පෙරමුන හා ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන බලවේග විසින් රෝස පැහැ ගන්වා බලයට ගෙන ආ ඊනියා“යහපාලනයේ” ගන්දස්කාරය යි. බැඳුම්කර සිද්ධිය පිලිබඳ සීමිත තොරතුරු ප‍්‍රමානයක් එලියට ඇවිත් ඇත්නම් ඒ දේවසිරි කියන ලෙස ඊනියා “සීතල යුද්ධයේ” ප‍්‍රතිපලයක් ලෙස නොව, එය මහජනයාගෙන් සැඟවීමට නොහැකි තරමේ මහදවල් මංකොල්ලයක් බැවිනි. ඒ ගැන සොයාබලන්නේ යැයි කියන සීමිත පරීක්ෂනවලට ආන්ඩුව මෙහෙයවූයේ, එයින් ප‍්‍රකාශයට පත්වන සමස්ත ධනේශ්වර ක‍්‍රමයේ කුනුවීම මහජනයාගෙන් වසන් කිරීමේ අරමුනින් ප‍්‍රශ්නයට සම්බන්ධවූ ආසන්න පුද්ගලයින් කිහිප දෙනෙකු පිට පටවා ඇඟබේරා ගැනීමේ අරමුනිනි.

දිවයින, ඔහුගේ සම්මුඛ සාකච්ඡාව තුලින් උපුටා අවධාරනය කර ඇති “යහපාලන වචනෙට ආන්ඩුව උපරිම හානිය කලා” යන දේවසිරිගේ වැලපිල්ල, ආන්ඩුව “යහපාලනය” වචනය “හානියට” ලක් කිරීමක් ගැන නොව, දේවසිරිලා එයට අන්දා තිබූ වහන්තරාව ඒසා ඉක්මනින් ගැලවී යාම එහි සැබෑ නිරුවත ප‍්‍රදර්ශනයවීමට පටන් ගැනීම ගැන ඇතිවූ විස්සෝපයෙන් පැන නගින්නකි. ධනේශ්වර චින්තන පර්ෂද විසින් නිර්මානය කර සරසන ලද “යහපාලනය” වචනයේ අරමුන වන්නේ දක්ෂිනාංශික ආන්ඩුවල විෂකුරු පිලිවෙත්වලට ආවරනයක් සැපයීම යි. දේවසිරි ඇතුලු කන්ඩායම් ඊනියා “යහපාලනය” යන වචනයෙන් බෞතීස්ම කලේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් තිරය පිටුපස සිට මෙහෙයවූ එක් දූෂිත ධනපති පාලක කල්ලියකින් තවත් එවැනිම දූෂිත ධනපති කල්ලියක් අතට බලය මාරු කිරීමේ ක්‍රියාදාමය පින්තාරු කිරීමට යි. මේ ක්‍රියාදාමයේදී ඔවුන් විසින් ගසාකනු ලැබුවේ, පැවැති රාජපක්ෂ පාලනයේ රුදුරු කප්පාදු පිලිවෙත් හා ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පිලිවෙත්වලට එරෙහිව පැන නගිමින් පැවති දැවැන්ත මහජන විරෝධය යි.

රාජපක්ෂ පාලනය සහ චීනය ගොඩනගා ගෙන තිබූ සමීප සබඳතා එක්සත් ජනපදයේ භූ මූලෝපායික අවශ්‍යතාවලට පටහැනිව යාම නිසාවෙන් එක්සත් ජනපදය රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව සිරිසේනට පිටුබලය දෙමින් ජනාධිපතිවරනය තුල මැදිහත්වූ බව මේ වනවිට ඇස්පනා පිට සනාථවී තිබේ. පසුගිය වසර දෙක තුලදී එක්සත් ජනපද මිලිටරිය සමග ආරක්ෂක ගිවිසුම්වලට ඇතුලත් වෙමින් ද ඒකාබද්ධ යුද අභ්‍යාසවලට සහභාගි වෙමින් ද ඊනියා “යහපාලන” ආන්ඩුව මෙම දූපත බියකරු අධිරාජ්‍යවාදී යුද ගිනිමැලයක් තුලට සෘජුවම ඇද දමා ඇත.

සිරිසේන බලයට වැඩම්මවූ මෙම දේශපාලන කුමන්ත‍්‍රනය, දේවසිරි විසින්ම වර්න ගැන්වූයේ “ජනවාරි විප්ලවය” නමිනි. බලයට පැමින මාස කීපයක් ගතවීමටත් පෙර තමන් රැවටීමට ලක්වූ බව මහජනයා සාක්ෂාත් කරගැනීමට පටන් ගෙන තිබෙන විට, “මේ ආන්ඩුව කියන දේවල් දැන් මිනිස්සු විස්වාස කරන්නේ නෑ” යැයි දේවසිරි විස්සෝප වෙයි.

කෙසේවෙතත්, දේවසිරිගේ විස්සෝපයට හේතුව, ආන්ඩුව පසුගිය වසර දෙක තුලදී කම්කරු පීඩිත මහජනයාට එරෙහිව එල්ල කල ප‍්‍රහාර ගැන හෝ ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පිලිවෙත් ගැන නොවේ. ඔහුගේ සම්මුඛ සාකච්ඡාවේ කිසිම තැනකදී රුදුරු කප්පාදු හා පෞද්ගලීකකරන වැඩපිලිවෙලවල් වලට එරෙහිව උද්ඝෝෂනයේ නියැලෙන කම්කරුවන් හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට එරෙහිව මෙම ආන්ඩුව එල්ල කරන, රාජපක්ෂ පාලනය එල්ල කෙරූ තරම්ම රුදුරු පොලිස්-මිලිටරි ප‍්‍රහාර ගැන වචනයකින් හෝ සඳහන් නොකිරීම එක් අතකට මවිතයට කාරනයක් නොවේ.

රට ආර්ථික අර්බුදයකට මුහුන දී සිටීමත් එය ආන්ඩුව විසින් වසන් කිරීමත් ගැන දිවයින විමසූ විට, දේවසිරි, රාජපක්ෂගේ කාලයෙත් “ආර්ථිකය වර්ධනය වුනේ නෑ” යනුවෙන් කියමින් ආන්ඩුව කොක්කෙන් ගලවා යැවීමට උත්සාහ කලේ ය. වාචාල දෙඩවීම හැරුනු විට, ලෝකය භූගෝලීයකරනය වී ඇති බවත් ධනේශ්වර ක‍්‍රමය පද්ධතිගත අර්බුදයට මුහුනදී සිටින බව පමනක් නොව, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ පිලිවෙත් එකී ජාත්‍යන්තර දේශපාලන ආර්ථික අර්බුදයට සෘජුව ගැටගැසී ඇතිබවත් ආචාර්යවරයාගේ අවධාරනයට ලක් වන්නේ නැත. ඇත්තටම ඔහුට එසේ කල නොහැක්කේ, එවිට, ප‍්‍රශ්නය ඇත්තේ සමස්ත ධනේශ්වර ක‍්‍රමයතුලම ය යන්න පිලිගැනීමට සිද්ධ වෙන නිසාත් එයට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ වීප්ලවීය ප‍්‍රහාරයක් දියත් කිරීමේ අවශ්‍යතාවත් මතු වෙන නිසා ය. දේවසිරි ජාත්‍යන්තර සමාජවාදයේ දැඩි සතුරෙක් ලෙස කටයුතු කරන ආකාරයෙන්මත් ඔහු ප‍්‍රශ්නය මේ ආකාරයෙන් විකෘති කිරීම තේරුම් ගත හැකි ය.

ආන්ඩුව එරී ඇති වලෙන් ගොඩගැනීමේ මංමුලාසහගත ප‍්‍රයත්නයක නිරතවෙමින්, දේවසිරි කීවේ, “මේ ආන්ඩුවට කලයුතුව තිබුනෙ මහජනතාවට ඇත්ත තත්වය කියන්නයි. එහෙම කිව්වනම් ඔය මහබැංකුවෙ කලා වගෙ මගඩි කරන්නත් බෑ. යථාර්ථයට මුහුන දෙන ආන්ඩුවක් තමයි මේ රටට ඕන. එහෙම ආන්ඩුවක් තමයි අපි හදන්න හැදුවෙ. සෝභිත හාමුදුරුවො ඡන්දයට ඉදිරිපත් විය යුතුයි කියන මතය වෙනුවෙන් දැඩි ලෙසම පෙනී හිටියෙ මම. මම එහෙම කලේ සෝභිත හාමුදුරුවන්ට වෙනම න්‍යාය පත‍්‍රයක් නැති නිසා” යනුවෙනි.

ඇත්ත කාරනය නම්, “මහජනතාවට ඇත්ත තත්වය” වසන් කිරීමේ කොන්ත‍්‍රාත්තුව ඉෂ්ට කලේ දේවසිරි ඇතුලු ප‍්‍රතිගාමී කල්ලි කන්ඩායම් විසින් බව යි. දේවසිරිගේ විපරීත දෙඩවිලිවලට ඔබ්බේ පැවැති යථාර්ථය වූයේ රාජපක්ෂගේ චීනයට හිතැති පිලිවෙත කෙරෙහි එක්සත් ජනපදය හා ඉන්දියාව එරෙහිව සිටි බවත් එම ආන්ඩුවට එම පිලිවෙත එක්සත් ජනපදයට හිතැති එකක් බවට පරිවර්තනය කර ගැනීම සඳහා එම ආන්ඩුව සිදුකල යුද අපරාධ චෝදනා ගසා කමින් සිටියේය යන කාරනය පමනක් නොවේ. රට අභ්‍යන්තරයේදී, එම ආන්ඩුවේ ගොරතර කප්පාදු පිලිවෙත්වලට එරෙහිව විප්ලවවාදී අරගල පැන නැගෙමින් පැවති බවත්, කටුනායක නිදහස් සේවක අරගලය, රතුපස්වල පානීය ජල ප‍්‍රශ්නය හා හලාවත ධීවර අරගලය යනාදී වසයෙන් කම්කරු පන්තියේ අරගල ලෙයින් මැඩීම හරහා ආන්ඩුවේ සමස්ත ධනේශ්වර පාලනයම අපකීර්තියට ලක්ව තිබූ බවත් ය. එය, හුදෙක් රාජපක්ෂගේ පාලනය තුලින් පැන නැංගා නොව, සමස්ත පාලන ක‍්‍රමයේම අර්බුදයේ ප‍්‍රකාශයකි එය. මේ සත්‍යය මහජනයාගෙන් සඟවමින්, ඊනියා “යහපාලනය” වෙස්මුහුනක් පලන්දා එම ධනේශ්වර ක‍්‍රමයම ඉදිරියට ගෙන යන සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට බලයට ගෙනාවේ දේවසිරි ඇතුලු පිරිස් ය.

ඊනියා “සාධාරන සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ” ප‍්‍රමුඛ පුද්ගලයාවූ, සිංහල වර්ගෝත්තමවාදයේත් දෙමල විරෝධී කුරුරු යුද්ධයේත් උද්ඝෝෂකයෙකුවූ ද සෝභිත භික්ෂුවට “වෙනම න්‍යාය පත‍්‍රයක් නැතයි” කීම වංචාවකි. තිරය පිටුපස සිදුකෙරෙමින් පැවැති පාලන තන්ත‍්‍රමාරුවේ සැලසුම්වල ප‍්‍රමුඛ භූමිකාවක් ඉටුකල සෝභිත සිරිසේනට කලින් ඊනියා “නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා” ලෙස ජනාධිපතිවරනයට වැඩමකරවීමේ උද්ඝෝෂනයක් දියත්ව තිබුනි. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරනය ඇතුලූ ලංකාවේ ධනේශ්වර සංස්ථාපිතය කෙරෙහි මහජන විස්වාසය බිඳවැටී තිබූ තත්වයක් තුල “නිර්පාක්ෂික” සෝභිත මගින් ධනේශ්වර ක‍්‍රමය ආරක්ෂා කරගැනීම අරමුන විය.

දේවසිරි ඉමහත් භක්තියෙන් සහාය දෙමින් සිටියේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ හා ධනපති පන්තියේ කොටස්වල අවශ්‍යතා නියෝජනය කරන බෞද්ධ භික්ෂුවකගේ ජනාධිපතිත්වය තුල අන්ත දක්ෂිනාංශික බෞද්ධ රාජ්‍යයක් නිර්මානය කිරීමේ ප‍්‍රතිගාමී වැඩපිලිවෙලකට ය. අවසානයේදී සෝභිතගේ හා දේවසිරිගේ ව්‍යාපාරය, එක්සත් ජාතික පක්ෂය වටා ව්‍යාජ වාම පක්ෂ හා පුරවැසි බලය වැනි මධ්‍යම පාන්තික ව්‍යාපාර පෙලගස්වා ගැනීමේදී කේන්ද්‍රීය භූමිකාවක් ඉටුකල අතර එම “පුරෝගාමී සහ කේන්ද්‍රීය භූමිකාවට” කෘතවේදිත්වය පලකරනු වස් 2015 අගෝස්තු මාසයේදී ශ්‍රීලංකාවේ හිටපු එක්සත් ජනපද තානාපතිනි මිචෙල් සිසොන් නාගවිහාරය වෙත සංචාරය කිරීම මෙහිදී සිහිපත් කලයුතු ය.

එමෙන්ම, යුද සමයේදී ආන්ඩුවේ හමුදා සිදුකල මානව හිමිකම් කඩකිරීම් ගසාකමින් මෙරටට කරන අධිරාජ්‍ය මැදිහත්වීම්වල ආරක්ෂකයෙක් ලෙස ද පෙනී සිටියේ ය. ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් සමුලූව දක්වන ප‍්‍රතිචාරය ගැන ඔහුගේ අදහස කුමක්දැයි ඇසූ විට කථිකාචාර්යවරයා කීවේ, “බටහිර රටවලුත් අපිට වෝදනා කරනව නම් අපි යුද අපරාධ කලා, පුද්ගලයින් අතුරුදහන් කලා ආදී වසයෙන් එකවරම අපි විරුද්ධත්වය ප‍්‍රකාශ නොකර එහෙම දෙයක් වෙලා තියෙනවාද කියල අපි සොයා බලමු ආදී වසයෙන් කිසියම් මධ්‍යස්ථ තැනකට අපිට යන්න පුලුවන් නම් මේ බටහිර බලපෑම් හුඟක් අඩුකරන්න පුලුවන්” බව යි.

දිවයින මාධ්‍යකරු සම්මූඛ සාකච්ඡාවේ එක් තැනකදී “දෙමල ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්” යැයි සාවද්‍ය ලෙස හඳුන්නා දෙන දේවසිරිගේ මෙම යෝජනාවල අරමුන දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කිරීම නොවේ. ඔහු ආන්ඩුවට උපදෙස් දෙන්නේ, දැන් ආන්ඩුව කරන්නාක් මෙන් සෘජුවම යුද අපරාධ චෝදනා ප‍්‍රතික්ෂේප කිරීම වෙනුවට, එම අපරාධ වසන් කිරීමට කිසියම් සූක්ෂම ක‍්‍රමයක් භාවිත කරන ලෙස යි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය හරහා යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමට ජාත්‍යන්තර පරීක්ෂනයක් දියත් කරන බවට රාජපක්ෂ ආන්ඩුවට එකල තර්ජනය කරමින් සිටි එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදීන් දැන් නිහඬව ඇත්නම් ඒ ආන්ඩුව එම අපරාධ විමර්ශනය කල නිසා නොව, අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවලට ගැලපෙන පාලනයක් දැන් කොලඹ අටවා ගෙන තිබෙන හෙයිනි.

දිවයින වැනි ධනේශ්වර පත්තර කඩමාලු විසින් ද සමාජජාල වෙබ් අඩවි හා ව්‍යාජ වාම පක්ෂ විසින් හුරේ දමන දේවසිරිගේ මෙම ධනපති ගැති අදහස් හා තවත් විකෘතිකරනවලට නිශ්චිත දේශපාලන අරමුනක් ඇත. ඒ, ධනේශ්වර ක‍්‍රමයට එරෙහිව රැඩිකලීකරනය වෙමින් සිටින කම්කරුවන් හා තරුනයින් නොමග යැවීම යි. දේවසිරි ඇතුලු ඔහු නෑකම් කියන ජාත්‍යන්තර පරිමාන ව්‍යාජ-වම්මුන් විසින් භාරගෙන ඇත්තේ මෙම කම්කරුවන් සහ තරුනයන් ධනේශ්වර ක‍්‍රමයේ අත යටම රඳවා තබා ගැනීමේ කොන්ත‍්‍රාත්තුවයි.

Share this article: