ට‍්‍රම්ප්: උතුරු කොරියාව සමග යුද්ධයට ඇමරිකාව “මුලුමනින්ම සූදානම්”

Trump: US “totally prepared” for war with North Korea

පීටර් සිමන්ඩ්ස් විසින්, 2017 ඔක්තෝබර් 26

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සිය ප‍්‍රථම ආසියානු සංචාරයට සූදානම් වෙද්දී, ප‍්‍රහාරක ගුවන් යානා සහිත යුද නැව් බල ඇනි තුනක් පැසිෆික් කලාපයට ඇතුලුවී ඇති අතර උතුරු කොරියාවට එරෙහි ඇමරිකානු යුද තර්ජනය උත්සන්නවේ.

ජපානය හා දකුනු කොරියාව බලා යන ට‍්‍රම්ප් 22දා ෆොක්ස් ව්‍යපාරික ජාලය හමුවේ කයිවාරු ගැසුවේ, උතුරු කොරියාව සම්බන්ධයෙන් ගත් කල ඇමරිකාව “ඕනෑම දේකට සූදානම්” යනුවෙනි. චීන ජනාධිපති සී ජින්පින් සමග සාකච්ඡාවන්ට පෙරාතුව, පියොංයෑනයට එරෙහි චීන සම්බාධක ගැන ප‍්‍රශංසා කරමින් ඇමරිකානු ජනාධිපති, එරට කෙරෙහි හොඳ හිත පෑවේය.

එහෙත් ට‍්‍රම්ප් ලේ සීතල කරන අනතුරු ඇඟවීම් නිකුත් කලේය. “ඔබ විශ්වාස නොකරන ආකාරයකින් අපි සූදානම්ව සිටින්නෙමු. අවශ්‍ය වුනොත් අප කෙතරම් සූදානම්ව සිටින්නේදැයි දකින කෙනෙක් තැතිගනු ඇත.”

ට‍්‍රම්ප් වැඩි දුර විස්තර කිරීම ප‍්‍රතික්ෂේප කල අතර පැසිෆික් කලාපයේ නාවික බලය තරකිරීමෙන් බොහෝ දේ ඇඟවෙයි. න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන ප‍්‍රහාරක ගුවන් යානා සහිත යූඑස්එස් නිමිට්ස් යුද නැව 24දා පැසිෆික් සාගරයට ඇතුලු විය. එය පැමිනෙන්නේ මැද පෙරදිග සිටය. නෞකාව ජපානයේ රඳවා ඇති යූඑස්එස් රොනල්ඞ් රේගන් නැව සමග එක්වනු ඇත. යූඑස්එස් තියඩෝර් රූස්වෙල්ට් 23දා පැසිෆික් සාගරයට ඇතුලු විය.

නාවික නිලධාරීහු නාවික බලඇනි තරකිරීම යට ගැසූහ. එහෙත් ප‍්‍රහාරක ගුවන් යානා සහිත නාවික බලඇනි තුනක් පැසිෆික් සාගරයේ ගැවසීම කලාතුරකින් සිදුවන්නකි. 7වන නාවික හමුදා නිලධාරීන්ට අනුව, යූඑස්එස් නිමිට්ස් රඳවා තැබෙන වරායට නොයා ජපාන හෝ දකුනු කොරියානු වරායකට යාත‍්‍රාකර, “පැසිෆික් කලාපය පුරා මෙහෙයුම් වලට සහාය වීමට” සූදානම්වේ.

පසුගිය සතියේ පැවැත්වුනු නාවික යුද අභ්‍යාස වලින් පසුව පැමිනෙන ප‍්‍රහාරක ගුවන් යානා සහිත අමතර නෞකා දෙක යූඑස්එස් රොනල්ඩ් රේගන් යුද නැව ද න්‍යෂ්ටික සබ්මැරින තුනක් ද ඒජීස් ඩිස්ට්‍රෝයර් හා තවත් යුද නැව් 40ක් ද සමග එක්වේ. ඒකාබද්ධ යුද අභ්‍යාසය එවැනි අභ්‍යාස මාලාවකින් එකක් වන අතර උතුරු කොරියාව සමග යුද්ධයට සූදානම් වෙමින් එම තත්වය කොරියානු අර්ධද්වීපයේ අතිශය තියුනු ආතතීන් නිර්මානය කර ඇත.

උතුරු කොරියාවට එරෙහි ඇමරිකානු ප‍්‍රහාරයක් අත ලඟට පැමිනීම පිලිබඳ භීතිය මධ්‍යයේ වොෂින්ටනය තුල කාකොටා ගැනීම් ඇවිල යද්දී, ඇමරිකානු මිලිටරි සූදානම දැඩිවේ.

එන්බීසී ප‍්‍රවෘත්ති ජාලය 25දා වාර්තා කලේ, උතුරු කොරියාව පිලිබඳ ඇමරිකානු විශේෂ නියෝජිත ජෝසෆ් යුන් වොෂින්ටනයේදී, පියොංයෑනය සමග ගැටුම අවසන් කිරීමේ රාජ්‍යතාන්ත්‍රික ව්‍යායාමය අනතුරට මුහුනපා ඇතැයි බිය පල කල බවය.

ඇමරිකානු නිලධාරියෙක් උපුටා දක්වමින් එය පැවසුවේ, යුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික ව්‍යායාමය එහි “අවසානයට” ලංව ඇති බවයි. රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල හදිසි භාවය පිලිබඳව ධවල මන්ඳිරයට වාර්තා කල නොහැකි කමෙන් යුන් කලකිරීමට පත්ව සිටින බව එම නිලධරයා පැවසීය.

සත්‍යය නම් ට‍්‍රම්ප්, වොෂින්ටනයේ සියලු කොන්දේසි වලට පියොංයෑන් තන්ත‍්‍රය මුලුමනින්ම යටත් වීම හැරෙන්නට, කිසිවිටෙකත් ”රාජ්‍යතාන්ත්‍රික විසඳුමකට” උනන්දුවක් නොදැක්වීමයි. පසුගිය මාසයේ රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්, උතුරු කොරියාව සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ඇඟවුම් කල විට ට‍්‍රම්ප්, ටිලර්සන් “තම කාලය කා දමන්නේ” යයි ට්විටර් සටහනකින් කියා සිටියේය.

එන්බීසී ප‍්‍රවෘත්ති වෙත තවත් නිලධාරියෙක් කියා ඇත්තේ, ඇමරිකානු “රාජ්‍යතාන්ත්‍රික” කටයුතු, යුද්ධයේ තර්ජනය සහිත අවසන් නිවේදනයකට නොඅඩු දෙයක් බවය. “ප‍්‍රශ්නය උතුරු කොරියාව රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වසා දමනු ලැබීම නොවේ. එක්සත් ජනපද ආන්ඩුවේ පනිවිඩයෙන් කියවෙන්නේ, “සටනකින් තොරව යටත්වනු, නැතිනම් සටනකින් යටත්වනු යන්න වීමයි” ඔහු පැවසීය.

සෙනේට් සභාවේ විදේශ සම්බන්ධතා කමිටුවේ සභාපති බොබ් කෝකර් විවෘතවම ට‍්‍රම්ප් විවේචනය කරමින්, උතුරු කොරියාව සමග සාකච්ඡා කිරීමට ජනාධිපතිගේ අසමත්කම ගැන කනස්සල්ල පල කලේය.

“එම (රාජ්‍යතාන්ත්‍රික- ආරක්ෂක වැස්ම ඉවත් කිරීමට උත්සාහ කරන විට ඔබ සැබවින්ම කරන්නේ, රට ලෝක යුද්ධයකට දක්කන තේරීම් දෙකකට ඇද දැමීමයි. මට අවශ්‍ය ඔහු (ට‍්‍රම්ප්) රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයකට සහාය දැක්වීම මිස, සිදුවෙමින් ඇති ආකාරයේ අමාරුවේ දැමීම් හා දෝෂාරෝපනය කිරීම් නොවේ” යයි කෝකර් 24දා එන්බීසීයට පැවසීය.

මෙම ප‍්‍රකාශ නිකුත් වන්නේ, උතුරු කොරියාවට එල්ල කෙරෙන ඇමරිකානු ප‍්‍රහාරයකට පුලුල් විරුද්ධත්වයක් පැන නැගීම ගැන භීතියෙනි. වොෂින්ටන් පෝස්ට්-ඒබීසී මත විමසුමකින් පසුගිය මාසයේදී හෙලි කරනු ලැබුනේ, ප‍්‍රතිචාර දැක්වූ අයගෙන් සියයට 67ක්, උතුරු කොරියාවට එරෙහි ඇමරිකානු පූර්ව භංග ප‍්‍රහාරයකට විරුද්ධත්වය පල කල බවයි. පියොංයෑනය ඇමරිකාවට හෝ එහි මිතුරු රටකට පහර දුන්නොත් පමනක් ඔවුන් මිලිටරි මැදිහත්වීමකට එකඟත්වය පල කලේය.

පියොංයෑනය බිත්තියට හේත්තු කිරීම මගින් ට‍්‍රම්ප් ආන්ඩුව, දැනටමත් ජ්වලන කේන්ද්‍රයක්ව ඇති තැනකට හිතා මතාම ගිනි අවුලුවයි. ඇමරිකානු කොන්ග‍්‍රසය මේ සතියේ උතුරු කොරියාවට විරුද්ධ නව සම්බාධක පැනවීම අනුමත කලේය. එරට පාලනය සමග සම්බන්ධකම් පවත්වන කුමන හෝ පුද්ගලයෙක්, සමාගමක් ඒවායේ එල්ලය බවට පත්වෙයි. පියොංයෑනයට වාසි සැලසෙන ගනුදෙනුවල යෙදීමට ඉඩ හරින විදේශ රටවලට සපයන මූල්‍ය ආධාර අත්හිටුවීම ද ඒවාට ඇතුලත්ය.

එවන් තත්වයක් තුල, අහම්බෙන් හෝ හිතාමතා සිදු කෙරෙන සුලු සිද්ධියකින්, චීනය හා අනෙක් බලවතුන් ඇදගත හැකි යුද්ධයක් ඇවිල යා හැකිය. අඛන්ඩ ඇමරිකානු තර්ජන හා ප‍්‍රකෝපකිරීම් සලකන කල, ලෝකයේ ලොකුම මිලිටරියෙන් ප‍්‍රහාරයක් අත ලඟ බව හැඟී ගියවිට අස්ථාවර උතුරු කොරියානු තන්ත‍්‍රයට කල හැක්කේ එයට ගැලපෙන පරිදි කටයුතු කිරීමයි.

25දා සීඑන්එන් වෙත කථා කල ජ්‍යෙෂ්ඨ උතුරු කොරියානු නිලධාරියෙක් වන රී යොං පිල්, ට‍්‍රම්ප්ගේ යුදවාදී ආස්ථානය ගැටුමකට මුල පුරන බවට අනතුරු ඇඟවීය. “එක්සත් ජනපදය මිලිටරි විකල්ප ගැන කථා කරයි, මිලිටරි අභ්‍යාස පවත්වමින් සිටියි. ඔවුන් සියලු අංශ වලින් සම්බාධක යොදා අප හිර කරයි. මෙය යොමුවී ඇත්තේ රාජ්‍යතාන්ත්‍රික විසඳුම් කරා යයි සිතන්නේ නම්, ඔබට සිදුව ඇත්තේ බරපතල වැරැද්දකි.”

උතුරු කොරියාව තම න්‍යෂ්ඨික ආම්පන්න වර්ධනය දිගටම කරනු ඇති බව රි ඇඟවුම් කලේය. උතුරු කොරියාව පැසිෆික් සාගරය ඉහල හයිඩ‍්‍රජන් බෝම්බයක් පුපුරවා හරිනු ඇති බවට විදේශ ඇමති රි යොං හෝ කල ප‍්‍රකාශය ගැන අදහස් විමසූ කල උතුරු කොරියානු නිලධාරියා පැවසුවේ එය පුරසාරමක් නොවිය හැකි බවයි.

“විදේශ ඇමති අපගේ උත්තරීතර නායකයාගේ (කිම් ජොං උන්) අභිලාෂයන් ගැන හොඳින් දැන සිටියි, එබැවින් ඔහුගේ වචන ඒ අනුසාරයෙන්ම ගත යුතුයි” යනුවෙන් රි යොං පිල් අනතුරු ඇඟවීය.

කොරියානු අර්ධද්වීපයේ ගැටුම එහි පුපුරන මට්ටම කරා වේගයෙන් පැමිනෙමින් තිබේ. ඇමරිකානු මහාද්වීපයට පහර දිය හැකි න්‍යෂ්ඨික මිසයිලයකින් සන්නද්ධ වීමට උතුරු කොරියාවට ඉඩ නොදෙන බව ට‍්‍රම්ප් යලි යලිත් පවසා ඇත.

පසුගිය සතියේ සීඅයිඒ අධ්‍යක්ෂ මයික් පොම්පියෝ පැවසුවේ, උතුරු කොරියාව න්‍යෂ්ඨික බලය අතින් එවන් තත්වයකට පැමිනීමට තවත් ගතවනු ඇත්තේ මාස ගනනක් බවය. “දැන් ඔවුන් සිය හැකියාවන් වෙත සමීපවී සිටියි. ඇමරිකාවේ ප‍්‍රතිපත්ති ඉදිරිදර්ශනයට අනුව අප, ඔවුන් ඒවා අත්පත් කර ගන්නා තුඩට පැමින ඇතැයි සලකාගෙන කටයුතු කිරීම අවශ්‍ය කරයි” ඔහු පැවසීය.

ජපන් විදේශ ඇමති ඉසුනෝරි ඔඩොනේරා 23දා අවධාරනය කලේ, උතුරු කොරියාවේ මිසයිල හා න්‍යෂ්ඨික හැකියාව “පෙර නොවූ විරූ, තීරනාත්මක හා ආසන්න” මට්ටමකට වර්ධනය වී ඇති බැවින් “වෙනත් ආකාරයක ප‍්‍රතිචාරයක්” අවශ්‍යවී ඇති බවයි. “මිලිටරි විකල්පය ද ඇතුලු “සියලු විකල්ප” අතේ ඇති බවට ඇමරිකාව කරන ප‍්‍රකාශ තමා අනුමත කරන බව පවසමින් ඔහු උතුරු කොරියාවට එරෙහි ඇමරිකානු පූර්ව භංග ප‍්‍රහාරයකට සහාය පල කලේය.

උතුරු කොරියාවේ පූර්න යටත් වීමක් නොදකින ට‍්‍රම්ප් පාලනය, ලෝකයම වෙලාගත හැකි විනාශකාරී යුද්ධයකට කරලිය සකස් කරමින් සිටියි.

Share this article: