නිව්යෝර්ක් ටයිම්ස් හා ඩිමොක්‍රටිකයෝ ෆේස්බුක් වාරනයකට තල්ලුව දෙති

New York Times, Democrats lead push for Facebook censorship

ඇන්ඩ්‍රි ඩෙමන් විසිනි, 2017 සැප්තැම්බර් 25

රුසියාවෙන් පිටත සිට ක‍්‍රියාත්මක වන ව්‍යාජ පරිශීලක ගිනුම් (user accounts) හා බැඳී ඇතැයි චෝදනා එල්ල වී ඇති දේශපාලන දැන්වීම් සම්බන්ධ තොරතුරු, 2016 මැතිවරනය කෙරේ රුසියානු “ඇඟිලි ගැසීම්” පරීක්ෂා කරන කොන්ග‍්‍රස් කමිටුවට තමන් ස්වේච්ඡාවෙන්ම ලබා දෙන බව ලෝකයේ විශාලතම සමාජ ජාලය පාලනය කරන තාක්ෂනික දැවැන්තයා වන ෆේස්බුක් වෙබ් අඩවිය නිවේදනය කොට ඇත.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව මෙකී පරිශීලක ගිනුම්, 2016 මැතිවරන සමයේ, “මතභේදකාරී කාරනා සම්බන්ධයෙන් කුපිත කරවන සුලු පලකිරීම්වලට අනුග‍්‍රහ දැක්වීමට” කටයුතු කොට ඇත. ටයිම්ස් පුවත්පතට අනුව, එක්සත් ජනපද විදේශ ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් විවේචනශීලී ලිපි කරා වූ වෙබ් යොමුකිරීම් ද මෙම “කුපිතකාරී” පලකිරීම් ගනයට ඇතුලත් වේ.

ෆේස්බුක්හි මෙම පියවර වූ කලී එක්සත් ජනපද ඔත්තුසේවා ආයතන, නිව්යෝර්ක් ටයිම්ස්හි “පරීක්ෂන” හා මාර්ක් වෝනර් වැනි නිලධාරීන් ද, සෙනෙට් සභාවේ රහස් තොරතුරු කමිටුවේ සිටින ඉහල පෙලේ ඩිමොක‍්‍රටිකයන් ද මගින් ප‍්‍රබන්ධ කෙරුනු කථා වස්තුවකට දැක්වෙන ප‍්‍රතිචාරයකි. එකී කථා වස්තුව වන්නේ ඇමරිකානු ඩොලර් 100,000 ක් දේශපාලන දැන්වීම් සඳහා වැය කරමින් රුසියානු රජය එක්සත් ජනපදයේ 2016 මැතිවරනයේ ප‍්‍රතිඵලයට බලපෑම් කිරීමට යත්න දැරූ බවයි.

මෙම තර්කය පහසුවෙන් බිඳෙන සුලු එකකැයි පැවසීම තතු අඩුවෙන් දැක්වීමක් වෙයි. මේ චෝදනා කෙරෙන දැන්වීම් සඳහා වියදම, 2016 එජ මැතිවරන චක‍්‍රය සඳහා වැය කෙරුනු ඇඩො බිලියන 6.5 ක සම්පූර්න මුදල හා සසඳන විට ආසන්න වශයෙන් සියයට දහසකින් පංගු එකක පමන ප‍්‍රතිශතයකි. මැතිවරනයේ පිරිවැය සාමාන්‍ය ශරීර ප‍්‍රමානයෙන් යුත් මිනිසෙකු ලෙස සලකා ගතහොත්, මෙම දැන්වීම් ඔහුගේ එක නියපොත්තක බරට සම කල හැක.

එහෙත් ෆේස්බුක් වෙබ් අඩවිය හෝ කොන්ග‍්‍රස් පරීක්ෂකයන් වේවා, මැතිවරනයට එල්ල වී යැයි කියනු ලබන රුසියානු බලපෑම් කෙරේ උකුසු ඇස් දල්වා සිටින පුවත්පත් වේවා, එම දැන්වීම් රුසියානු රහස් තොරතුරු අංශ සමග සම්බන්ධ බවට වන සිය කියාපෑම්වලට ආධාර කෙරෙන කිසියම්ම හෝ සාක්ෂියක් ඉදිරිපත් කොට නැත.

සමාජ වෙබ් ජාලාවල ඇතැම් පරිශීලක ගිනුම් ස්පෑම්බොට් නමින් හඳුන්වනු ලබන ලබන්නාගේ කැමැත්තට පිටින් පනිවුඩ පැතිරවීමේ පරිගනක මෘදුකාංග මගින් පාලනය කෙරෙන බව, ඉන් සමහරක් රුසියාවෙන් පිටත සිට ක‍්‍රියාත්මක කෙරෙන බව, සහ ඉන් සමහරක් දේශපාලන පනිවුඩ පලකරන බව යන ඔප්පු කිරීමට අනවශ්‍ය තරම් නිසැක කරුනු විදහා දක්වමින් ආරම්භ කෙරෙන මෙම උපක‍්‍රමික කථා පුවත අවසන් කෙරෙන්නේ රට තුල පවතින දේශපාලන විරුද්ධත්වය “සතුරු ඔත්තු සේවා” ආයතන හා විදේශීය කඩාකප්පල්කාරී ක‍්‍රියාවන්හි නිෂ්පාදිතයක් බවට යෝජනා කරමිනි.

මෙම අශෝභන කුමන්ත‍්‍රනවාදයේ අරමුන වන්නේ, අන්තර්ජාලයේ දේශපාලන සාකච්ඡා වාරනය කිරීම නීත්‍යනුකුල කරනු වස්, චෝදනා කරනු ලබන 2016 එජ මැතිවරනයේ රුසියානු මැදිහත්වීම් හා දේශපාලන සංස්ථාපනයට එරෙහිව නැගෙන මහජන ප‍්‍රතිවිරෝධතාව අතර ව්‍යාජ සාම්‍යයක් නිර්මානය කිරීමයි.

රජයේ අනුදැනුමකින් තොරව පිට වූ, නිල එජ ප‍්‍රතිපත්තිවලට ප‍්‍රතිවිරෝධී වන ලේඛන පලකරන DCLeaks.com වෙබ් අඩවියෙහි පල වූ ලිපි ඇතැම් පරිශීලක ගිනුම්වලින් යලි පලකෙරෙන බව ටයිම්ස් පුවත්පත සැලකිල්ලට ගනී.

මෙම වෙබ් අඩවිය මගින් පල කෙරුනු ලේඛන අතර, රුසියාව සමග ඝට්ටනයක් ප‍්‍රවර්ධනය කර ගැනීම් වස් යුක්‍රේන ගැටුම තුල ඔබාමා පාලනය විසින් අනුයන ලද පිලිවෙත්වලට යටින් වල කැපීමේ මග පාදා ගැනීමේ අරමුනින්, යුරෝපයේ නැටෝ හමුදාවන්හි ඉහලම අනදෙන නිලධාරියා ලෙස කටයුතු කල ජනරාල් පිලිප් බ්රීඩ්ලොව් හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවල් හමුවීමට යත්න දැරූ බව පෙන්වා දෙන ලිපි ද අඩංගු විය.

සීබීඑස් රූපවාහිනියේ ඉරුදින “ෆේස් ද නේෂන්” වැඩ සටහනට සහභාගී වූ ඩිමොක‍්‍රටික් කොන්ග‍්‍රස් සභික ඇඩම් ශිෆ්, රුසියානු “ඇගිලි ගැසීම්” ලෙස චෝදනා කරනු ලබන දෙය පිලිබඳ තොරතුරු ලබා දීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ෆේස්බුක් වෙබ් අඩවියට ප‍්‍රශංසා කල නමුදු, ප‍්‍රශ්නය මැතිවරනය සඳහා රුසියාව බලපෑම් කල බවට වන චෝදනාව ඉක්මවා ඉන් එපිටට යන්නෙකැයි පැවසීය.

“ෆේස්බුක්හි ඇල්ගොරිතමයන්ගේ භාවිතය හා එය ජනයාගේ තොරතුරුමය පක්ෂග‍්‍රාහීත්වය වැර ගැන්වීමට ඇති ඉඩකඩ කෙරේ නැඹුරු වන ආකාරය පිලිබඳ ගැටලුවක් පවතින්නේයැ”යි ඔහු පැවසීය. “එය රුසියාව ඉක්මවා ඉන් එපිටට යන ප‍්‍රශ්නයකි.”

“ෆේස්බුක්හි ඇල්ගොරිතමයන්” “ජනයාගේ තොරතුරුමය පක්ෂග‍්‍රාහීත්වය වැර ගැන්වීමට” සේවය කරතැයි පැවසීමේ දී ශිෆ් අදහස් කරන්නේ කුමක්ද? සෙනේට් සභාවේ රහස් තොරතුරු පිලිබඳ ස්ථාවර උපකමිටුවේ ඉහල සාමාජිකයෙකු වශයෙන් ශිෆ් යොමු කරන්නේ, දේශපාලන සංස්ථාපිතය කෙරේ විවේචනාත්මක වන ජන සමූහයන් සංඛ්‍යාත්මකව දිනෙන්දින වර්ධනයවීමත්, ෆේස්බුක් අඩවිය මගින් ඔවුන්ගේ විවේචනාත්මක දෘෂ්ටීන් වැර ගැන්විය හැකි ප‍්‍රවෘත්ති හා තොරතුරු දශලක්ෂ සංඛ්‍යාත ජනයා වෙත සම්පාදනය කිරීමත් සම්බන්ධයෙන් ප‍්‍රමුඛ රහස් ඔත්තු ආයතනයන් දක්වන සැලකිල්ලයි.

ෆේස්බුක් හා ගූගල් යන ආයතන දෙකම “ව්‍යාජ ප‍්‍රවෘත්තිලවලට එරෙහිව සටන් කිරීමේ ප‍්‍රයත්නයක් ලෙස සිය ඇල්ගොරිතමයන් වෙනස් කිරීමේ සැලසුම් පිලිබඳව පසුගිය වසරේ නිවේදනය කලෝය. ගූගල් සමාගම වැඩිදුරටත් ප‍්‍රකාශ කලේ තමන් “විකල්ප දෘෂ්ටි කෝනයන්ට” වඩා වැඩි අනුග‍්‍රහයක් “අධිකාරී අන්තර්ගතයන්ට” ලබා දීමට බලාපොරොත්තු වන බවයි.

ලෝසවෙඅ විමර්ශනයකින් හෙලිදරව් කෙරී ඇති පරිදි, ගූගල් සමාගම “ව්‍යාජ ප‍්‍රවෘත්තිලවලට එරෙහිව සටන් කිරීම සඳහා සිය ඇල්ගොරිතමයන් වෙනස් කිරීමේ සැලසුම් අ‍ප්‍රේල් මාසයේ ප‍්‍රකාශයට පත් කල තැන් පටන් වාමාංශික, ප‍්‍රගතිශීලී හා යුද-විරෝධී වෙබ් අඩවි 13 ක් කරා ගූගල් හරහා ප‍්‍රවිෂ්ට වීම සියයට 55ක පමන ප‍්‍රමානයකින් පහත වැටී ඇත. මැතිවරනයට රුසියාවේ “ඇඟිලි ගැසීම්” පිලිබඳව හුස්මකට හෝ අතොරක් නොතබා ටයිම්ස් පුවත්පත විසින් කෙරුනු වාර්තාකරනය හා අත්වැල් බැඳ ගනිමින් එය කැඳවුම් කර සිටියේ, සිය පරිශීලකයන් අන්තර්ජාලයේ මාර්ගගතව කරන දේ පිලිබඳව ෆේස්බුක් අඩවිය “වගකිව යුතු” බවටය; ඔත්තු සේවා ආයතන සමග වඩාත් සමීප හවුල්කරුවෙකු වෙමින් “විරුද්ධ විය යුතු” දේ වඩාත් වේගවත්ව ඉවත් කර දැමිය යුතු බවටය.

සිකුරාදා නිව්යෝර්ක් ටයිම්ස්හි පල වූ හා ගූගල් ප‍්‍රවෘත්ති මුලු දවස පුරාම පාහේ එහි මුල් පිටුවේ රඳවා තැබූ පරිකථනයක කෙවින් රූස් මෙසේ ප‍්‍රකාශ කලේය: “යම් හෙයකින් මා ෆේස්බුක්හි විධායකයකු වී නම්, මට මේ දිනවල දී ෆ‍්‍රැන්කන්ස්ටීනියානු ආකාරයේ (තමන්ට පාලනය කල නොහෙන විකෘතරූපී දැවැන්තයෙකු නිර්මානය කල අයෙකුට දැනෙන ආකාරයේ) අපහසුවක් දැනෙනු ඇත.. ඇතැම්විට ෆේස්බුක් (ආයතනය) තමන්ට මුලුමනින් පාලනය කල නොහැකි යමක් නිර්මානය කර ඇතුවා විය හැකිය.” ඔහු වැඩිදුරටත් පැමිනිලි කර සිටින්නේ, “සරලවම ෆේස් බුක් (අඩවිය)” කෝටි සංඛ්‍යාත පරිශීලකයන් හරහා මතු වන “ප‍්‍රශ්න හසුරුවා ගැනීමට නිමවා නැති” බවයි. “එය තාක්ෂනික සමාගමක් විනා ඔත්තු සේවා ආයතනයක් නොවේ.”

ඔහු ශුභවාදී ලෙස සඳහන් කරන්නේ, “ෆේස්බුක් අඩවිය සිය වගකීම් අවබෝධ කර ගැනීම ආරම්භ කොට ඇති බවට සංඥාවන් පවතින” බවයි. එය ප‍්‍රතිත‍්‍රස්ත විශේෂඥයන් රැසක් බඳවා ගෙන ඇති අතර, අනතුරුදායක අන්තර්ගතයන් පිලිබඳව සොයා බලා ඒවා ඉවත් කර දැමීමට ලොව පුරා එහි මොඩරේටර්වරුන් කන්ඩායම ප‍්‍රසාරනය කරමින් සිටී.”

ඔහු තවදුරටත් මෙසේ ද කියයි: “අයෝග්‍ය කාරකයන් අත්හිටුවනු වස්”, ෆේස්බුක් ආයතනය, “කෘත‍්‍රිම බුද්ධි මෙවලම් හා මිනිස් මොඩරේටර්වරුන් කන්ඩායම් ඇතුලත් ආරක්ෂක ආම්පන්න සඳහා දිගටම විශාල වශයෙන් ආයෝජනය කරමින් සිටීම අවශ්‍ය වනු ඇත.”

2016 මැතිවරනය තුල රුසියානු අතපෙවීම් පිලිබඳ අරුමපුදුම කථාවේ නවතම පරිච්ඡේදයේ අරමුන වන්නේ, “අනතුරුදායක”යැයි තමන් විසින් සලකනු ලබන දෑ -එනම්, එජ ඔත්තු සේවා ආයතන සමග සහසම්බන්ධයකින් ක‍්‍රියාකරන සිය හාම්පුතා මහජනයා අතට පත් වනු දැකීමට අකැමැති දෑ- “ඉවත්කිරීමට” බලය ලත් එවැනි “මිනිස් මොඩරේටර්වරුන්” වැඩිදුරටත් ප‍්‍රසාරනය කිරීමේ දේශපාලන වාතාවරනය නිර්මානය කර ගැනීමයි.

Share this article: