එක්සත් ජනපදයේ නව මැකාතිවාදය හා දේශපාලන විසම්මතිය මැඩලීම

The new McCarthyism and the suppression of political dissent

2017 සැප්තැම්බර් 29

1950ස් ගනන්වල මැකාතිවාදී දඩයම, සියලුම කල්පනාකාරී පුද්ගලයන් විසින් දකිනු ලබන්නේ, එක්සත් ජනපද ඉතිහාසයේ ඉතාමත් ලජ්ජාසහගත සිදුවීම්වලින් එකක් ලෙස ය. “මැකාතිවාදය” සමාන වන්නේ ඉතාමත් ප‍්‍රතිගාමී දේශපාලන අරුමුනු සඳහා සේවය කිරීමට බොරු චෝදනා ගෙතීම, බියවැද්දීම හා චරිත ඝාතන සමගිනි.

දැන්, දසක හතකට පසු, ඩිමොක‍්‍රටික් පක්ෂය සහ ප‍්‍රධාන වසයෙන් එයට ඒකාබද්ධ නිව් යෝක් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට් වැනි මාධ්‍ය හොරනෑ විසින් නායකත්වය දෙන නව දේශපාලන දඩයම් කිරීමක් ඇරඹී ඇත. මැකාතිගේ ඇමරිකානු නොවන ක්‍රියාකාරකම් පිලිබඳ පාර්ලිමේන්තු කමිටුවේ (House Un-American Activities Committee) සටන්පාඨය වූ “ඔබ දැනට හෝ කවදා හරි කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු වූයේ ද” යන්න “ඔබ දැනට හෝ කවදා හරි එක්සත් ජනපද ආන්ඩුවේ විවේචයෙකු වූයේ ද?” යනුවෙන් වෙනස් කල හැක.

“ව්‍යාජ ප‍්‍රවෘත්ති” හා “කුමන්ත‍්‍රන න්‍යායන්” පිලිබඳ බැඳුනු චෝදනා සමග ඒකාබද්ධ නව මැකාතිවාදය ම ද මෙතෙක් බිහි කෙරුනු මහා ම කුමන්ත‍්‍රන න්‍යායන් ගෙන් එකක් වේ. එය ඇරඹුනේ හිලරි ක්ලිටන් 2016 මැතිවරනය පරාජය වූයේ රුසියානු ආන්ඩුවේ මැදිහත්වීම නිසාය යන ප‍්‍රකාශය සමගිනි. මැතිවරනයෙන් පසු වේගයෙන් ගොඩනැගෙමින් ඇති මෙය නව අවධියකට පිවිස ඇත්තේ, එක්සත් ජනපදයේ දේශපාලනික හා සමාජ විරුද්ධත්වය ව්ලැඩිමීර් පුටින්ගේ අතිදුෂ්ට මෙහෙයුම්වලට ආරෝපනය කිරීමට උත්සාහ ගන්නා ටයිම්ස් හා පත‍්‍රවල දිනපතා පාහේ පල කෙරෙන ලිපි සමගිනි.

“අභිරහස් බලපෑම් ව්‍යාපාරය හුරුපුරුදු පුද්ගලයන්, කලු ජීවිත වටී නම් කන්ඩායම ඇතුලු අප්‍රිකානු ඇමරිකානු අයිතිවාසිකම් කන්ඩායම් ප‍්‍රචාරය කිරීමට” රුසියාව උත්සාහ දැරුවේ යයි පවසන බව වොෂින්ටන් පෝස්ට්සඳුදා වාර්තා කලේ ය. ඒ ආකාරයෙන් ම රුසියානු ඒජන්තයින් “ජාතික ගීය වෙනුවෙන් සීරුවෙන් නො සිටීමට ජාතික පාපන්දු සංගම් (N.F.L.) ක්‍රීඩකයින් සඳහා සහාය ප‍්‍රචාරය කිරීමට උදවු කලේ, ‘ජාපාස වර්ජනය කරනු’(“boycottnfl”) හා ‘දන නමනු’ (takeaknee), වැනි සමාජ මාධ්‍ය සංකේත (hashtags)” පතුරුවා හරිමින් බව බ‍්‍රහස්පතින්දා ටයිම්ස් පත‍්‍රය නිවේදනය කලේ ය.

පෝස්ට් පත‍්‍රය පැහදිලිව ම මේවා සමාන කලේ, 1960 ගනන්වල සිවිල් අයිතිවාසිකම් කන්ඩායම් නීත්‍යානුකූල සමාජ දුක් ගැනවිලි ප‍්‍රකාශ කලා නො ව, කොමියුනිස්ට් ඒජන්තයින් හා උද්ඝෝෂකයින්ගේ ක්‍රියාකාරකම් බවට එෆ්බීඅයි හා අනෙකුත් ඔත්තුසේවා ඒජන්සි විසින් කරන ලද චෝදනාවලට ය. “ෆේස්බුක් විසින් සොයා ගැනුනු ඔන්ලයින් දැන්වීම්වලට බොහෝ සේ සමාන ව, සෝවියට් සමයේ ක්‍රියාකාරීන් විසින් විසුරුවා හැරුනු පනිවුඩ, එක්සත් ජනපදය තුල නිර්ව්‍යාජ දේශපාලන ක්‍රියාකරුවන් විසින් ලියන ලද ඒවා ලෙස පෙන්වීමට ද, ඒ මගින් හතුරු විදේශ බලවතෙකුගේ මැදිහත්වීම වහංගු කිරීමට ද අදහස් කෙරුනු” බව පෝස්ට් පත‍්‍රය ලිය යි.

රුසියානුවන් ඩිමොක‍්‍රටික් පක්ෂයේ විද්‍යුුත් තැපෑල “හැක් කිරීම” පිලිබඳ චෝදනා මෙන් ම, මෙම කිසිවකට කිසිදු දැඩි සාක්ෂියකින් සහාය නො ලැබේ. සමාජ මාධ්‍ය සමාගම් හිතු හිතූ පරිදි ඉතාමත් නපුරු ප‍්‍රකාශ හා පුදුම චෝදනා ලේඛනගත කරමින් ලිපි ලේඛන සම්පාදනය කරන බවට දේශපාලන ක්‍රියාකාරීන් විසින් වඩවඩා කර්කශ අභියෝග එල්ල කරන්නේ ඒ නිසා ය.

නව දඩයම තුල, ජෝ මැකාතිගේ චරිතය රඟපානු ලබන්නේ සෙනෙට් සභාවේ පොහොසත් ම මිනිසා මෙන් ම බලගතු සෙනේට් ඔත්තුසේවා කමිටුවේ ප‍්‍රධාන ඩිමොක‍්‍රටිකයා ද වන සෙනෙට් සභික මාක් වෝනර් විසිනි. සමහර විට වෙන කිසිම දේශපාලඥයෙකුට වඩා, වෝනර් සෙනෙට් මධ්‍යම ඔත්තුසේවා කමිටුවේ ප‍්‍රකාශකයා වන්නේ ය.

මාධ්‍ය චෝදනා පෙලක් මධ්‍යයේ, වෝනර් තාක්ෂන විධායකයින්ගේ අත් අඹරවමින් සිටින්නේ අන්තර්ජාල වාරනය සඳහා වන උද්ඝෝෂනය පිටුපස ඔවුන් පෙල ගැස්වීමට ය.

වෝනර්ගේ මෑත ම හැරවීම ෆේස්බුක් ප‍්‍රධාන විධායක මාක් ෂුකබර්ග් වන අතර, ඔහු මීට පෙර කල සැක සහිත ප‍්‍රකාශනයන් වෙනුවෙන් බදාදා පශ්චාත්තාපී සමාව ගැනීමක් නිකුත් කලේ ය. “ෆේස්බුක්හි වැරදි තොරතුරු සැපයීම මැතිවරනයේ ප‍්‍රතිඵල වෙනස් කලේ ය යන අදහස පිස්සු අදහසක් යැයි මම මැතිවරනයට පසු, විවේචනයක් ඉදිරිපත් කලෙමි. එය පිස්සු යැයි නම් කිරීම නො සලකා හැරීමකි, මම ඒ ගැන කනගාටු වෙමි.”

ෂුකබර්ග් ඔහුගේ ආස්ථානය වෙනස් කලේ ෆේස්බුක් මූලස්ථානයට වෝනර් පුද්ගලිකව ම පැමින ඔහු හමුවීමෙන් පසු ය. ඔහුගේ මුල් ප‍්‍රකාශය අස් කර ගැනීමට ෂුකබර්ග් ට බල කිරීමට සීඅයිඒ-සබැඳි සෙනෙට් සභිකයා විසින් කරන ලද තර්ජන සිතා ගැනීමට අපහසු නැත. වෝනර්ගේ පැමිනීමෙන් පසු, ෆේස්බුක් ගිනුම් 3,000ක ලැයිස්තුවක් සකස් කල අතර මේවා මැතිවරනය අතරතුර “බෙදීම් වැපිරීම” අරමුනු කර ගැනුනු දැන්වීම් මිල දී ගැනීමේ දී ඇමරිකානු ඩොලර් 100,000ක් උපයා තිබූ බව සමාගම පැවසී ය.

ඒවා එය(චෝදනාව) තහවුරු කරන බව ප‍්‍රශ්න කරමින්, වෝනර් මෙම තොරතුරු ට්වීටර් ට හැර වූ අවස්ථාවේ, එම සමාගම වාර්තා කලේ ෆේස්බුක් විසින් එයට බාර දුන් 450ක් පමන වන ගිනුම්වලින් කිසිවක් සමාජ මාධ්‍ය වේදිකාව (platform) මත කිසියම් හෝ ප‍්‍රචාරනයක නියලී නො තිබූ බව යි.

ට්වීටර් රසියා ටුඬේ පවෘත්ති නාලිකාව ආර්ටී- විසින් කරන ලද ප‍්‍රචාරනයන්ගේ දත්ත සැපයූ අතර, “ට්වීටර් වේදිකාවේ විවෘත ස්වභාවය” නිසා එය “ප‍්‍රසිද්ධ වූ” බව රසියා ටුඬේ පිලිගත්තේ ය. “මෙම උද්ඝෝෂන ඉලක්ක කෙරුනේ මූලික ප‍්‍රවාහයේ මාධ්‍යවල අනුගාමිකයන් වෙතට වන අතර, ප‍්‍රධාන වසයෙන් ප‍්‍රචාරය කලේ ප‍්‍රවෘත්ති කථාවස්තු සම්බන්ධ ආර්ටී ට්වීටර් පනිවුඩ” බව එය අවසාන වසයෙන් පැවසී ය. බ‍්‍රහස්පතින්ද, වෝනර් ඔහුට අවශ්‍ය වූ දෙය සැපයීමට ට්වීටර් විධායකයින්ගේ බැරියාව හෙලා දුටුවේ ඔවුන්ගේ ප‍්‍රකාශන “අතිශයින් කලකිරවන සුලු” මෙන් ම “සෑම මට්ටමක දී ම බොහෝ සේ අප‍්‍රමාන” බවත් ප‍්‍රකාශ කරමිනි.

ඊට පසු වෝනර් 2016 මැතිවරනය තුල චූදිත රුසියානු මැදිහත්වීම් ගැන නඩු ඇසීමට පෙනී සිටින ලෙස ට්වීටර් ප‍්‍රධානීන්ට සිතාසි නිකුත් කරන බවට තර්ජනය කලේ ය. එය 2008 කොටස් වෙලඳපොල බිඳවැටීම ගෙන ආ විධායකයින්, නැතහොත් සැප්තැම්බර් 11වැනිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය තුල සෞදි අරාබියේ සම්බන්ධය නො දුටු සේ සිටි ඔත්තුසේවා ඒජන්තයින්, කවර දා වත් යටත් නො කෙරුනු ඊට වඩා වෙනස් යම් දෙයකි.

රුසියානු දැන්වීම් මිල දී ගැනීම සම්බන්ධ සියලු ම ප‍්‍රකාශ සත්‍ය යයි යමෙකු අනුමාන කල ද, පදනම් විරහිත චෝදනාවල ගම්‍යයන් එතරම් බරපතල නො වන්නේ නම්, ඩොලර් ලක්ෂයකින් ට‍්‍රම්ප්ට වාසි වන විදියට එක්සත් ජනපද ජනාධිපතිවරනය වෙනස් කල හැකිවීය යන අදහස හාස්‍යජනක වන්නේ ය.

මේ සියල්ල එල්ල කෙරෙන්නේ දේශීය මර්දනය සඳහා දේශපාලනික හා නීතිමය පදනම් ඇති කිරීමට ය. පාලක පන්තිය බිය වන්නේ ව්ලැඩිමීර් පුටින්ට හෝ ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට නො වේ. එක්සත් ජනපදය තුල සමාජ හා දේශපාලනික විරුද්ධත්වයේ නැගීමට ය. සැබවින් ම, වෝනර්ගේ දඩයම සිදු වන්නේ, දේශීය නීති සම්පාදක ප‍්‍රශ්න ගනනාවක් මත, රුසියානු “ඇඟිලි ගැසීම්වල” උපකල්පිත ප‍්‍රතිලාභියා වන ට‍්‍රම්ප් සමග ඩිමොක‍්‍රටිකයන් සම්මුති ගසමින් සිටින මොහොතේ දී ම ය.

එක්සත් ජනපදය වහා ගිනි ඇවිලෙන සුලු සමාජ වෙඩි බෙහෙත් ගබඩාවකි. ඩිමොක‍්‍රටිකයන් උත්සාහ ගනිමින් සිටින්නේ සමාජ කෝපය පෙර නො වූ විරූ මට්ටමේ සමාජ අසමානතාව, පොලිස් ප‍්‍රචන්ඩත්වය හා අවසානයක් නැති මිලිටරි ගැටුම්වල නිෂ්පාදනයක් නො ව, රුසියානු ඔත්තුසේවා විසින් ප‍්‍රචාරය කරන ලද “ව්‍යාජ ප‍්‍රවෘත්තිවල” නිෂ්පාදනයක් බවට “කතාන්තරයක්” නිර්මානය කිරීමට ය. මෙම තර්කයට අනුව, ආන්ඩුවේ ප‍්‍රතිපත්ති විවේචනය කරන සංවිධාන හා පුද්ගලයෝ, විදේශීය “හතුරන්” විසින් කුලියට ගැනුනු අය වෙති.

“ව්‍යාජ ප‍්‍රවෘත්ති” ප‍්‍රචාරනයට පහසුකම් සැපයීමේ දී සමාජ මාධ්‍ය හා අන්තර්ජාල වේදිකාවල කාර්යභාරය පිලිබඳ වෝනර්ගේ උද්ඝෝෂනය තුල ගූගල් ඇතුලත් නො කිරීම කැපීපෙනෙ යි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය වාර්තාගත කර ඇති අකාරයට, ගූගල් මෙම වසර මුල දී වාමාංශික හා සමාජවාදී ප‍්‍රකාශන, විශේෂයෙන් ම ලෝසවෙඅ ප‍්‍රචාරනය වීම වැලැක්වීම සඳහා නව පරිගනක වාරන නීති හඳුන්වා දුන්නේ ය.

“විශ්වසනීය මූලාශ‍්‍ර” ප‍්‍රචාරය කිරීමේ නාමයෙන් “විකල්ප දෘෂ්ටිකෝන” පහලට ඇද දැමීමට නව වාරන නීති නිවේදනය කිරීමේ තැන් සිට, ගූගල් වාමාංශික, ප‍්‍රගතිශීලී, හා යුද විරෝධී වෙබ් අඩවි 13ක විමසුම් පිවිසුම් සියයට 55කින් කපා දමා ඇත. ෆේස්බුක් හා ට්වීටර් මත පීඩනය යෙදීමෙන් අරමුනු කෙරෙන්නේ ඔවුන් ද ඒ ආකාරයේ ආක‍්‍රමනකාරී පියවර ක්‍රියාත්මක කිරීම අනුගමනය කිරීම තහවුරු කිරීම යි.

නව මැකාතිවාදය දැවන්ත තර්ජනයක් නියෝජනය කර යි. කේන්ද්‍රීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතින් තර්ජනය ලක්ව ඇත. මෙම උද්ඝෝෂනයට එරෙහිව සටන් කල යුතු ය. ජාත්‍යන්තරව එවැනි උත්සාහයන් ගැනෙමින් තිබෙන්නේ, සමාජ ජාල ක්‍රියාත්මක වීම මත බරපතල සීමාවන් පැනවීමට යුරෝපීය ආන්ඩු උත්සාහ කිරීමත් සමගිනි. අන්තර්ජාල වාරනය හා දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම අවසන් කිරීම සඳහා බල කිරීමට විරෝධතා සංවිධානය කල යුතු ය. (මැකාතිවාදී) මෙම උද්ඝෝෂනය මෙහෙයවන දේශපාලනික අධමයින්ට විරුද්ධ වීමටත් ඔවුන් හෙලිදරව් කිරීමටත් ලෝක සමාජවාදී වෙබ් අඩවිය පොරොන්දු වෙයි.

ආන්ද්රේ ඩමොන් විසිනි

Share this article: