ලාස් වේගාස් සමූලඝාතනයේ සමාජ ව්‍යාධිවේදය

The social pathology of the Las Vegas Massacre

2017 ඔක්තෝබර් 3

20,000කට අධික ජනකායක් සහභාගී වූ ලාස් වේගාස් හි එලිමහන් සංගීත ප‍්‍රසංගයක් හදිසියේ ම යුද කලාපයක් බවට පරිවර්තනය ව අවම වශයෙන් පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් 527 දෙනෙකු තුවාල ලැබීමේ සිදුවීම අශිෂ්ට අපුද්ගල ප‍්‍රචන්ඩත්වයේ තවත් පිපිරීමක් සලකුනු කරයි.

චෝදිත තුවක්කුකරු, ස්ටෙෆන් පැඩොක්, අර්ධ ස්වයංක‍්‍රීය ආයුධ කීපයක් භාවිතා කොට -එක් ආයුධයක් සඳහා ඩොලර් 40 කට පමන මිල දී ගත හැකි බම්ප් ස්ටොක් ලෙස හඳුන්වන උපකරනයක් ඈඳා ගැනීමෙන් මෙම ආයුධ පූර්න ස්වයංක‍්‍රීයත්වයට හරවාගෙන තිබුනි- මැන්ඩලේ බේ කැෂිනෝ හෝටල් පරිශ‍්‍රයේ 32 වැනි මහලේ ඔහුගේ මානයට ගැලපෙන දෘෂ්ටිකෝනයේ සිට අසරන ජනකාය මත වෙඩි වරුසාවක් එල්ල කර ඇත. මෙම උමතු ප‍්‍රහාරයට පසුව ඔහු ද සිය ජීවිතය නැති කරගත්තේ ය.

මිනිත්තුවකට වෙඩිමුර 100 ක පමන මිලිටරි පරිමානයක වෙඩි තැබීමේ ක්ෂේත‍්‍රයක් පැඩොක්ට ලඟා කර ගත හැකි විය. ඔහුට අයත් ආයුධ 20 ක් පමන සොයාගෙන තිබේ. ඒවායින් වැඩි ප‍්‍රමානයක් අතිරේක පතොරම් සහිත අධි බලැති අර්ධ-ස්වයංක‍්‍රීය ඒවා විය. වෙඩි ප‍්‍රහාර නිකුත් වූ පලමු මිනිත්තුවේ ම දුම් නැගීමේ සංඥාව මගින් කාමර 3,300 දැවැන්ත හෝටලයක් පීරා සොයනවාට වඩා පඩොක් ස්ථානගත වී සිටි තැන ක්ෂනිකව සොයා ගැනීමට පොලීසියට පහසු කල අතර එයින් පෙන්නුම් කෙරෙන කරුනක් වන්නේ එසේ නොවුනේ නම් මරන හා තුවාල සිදුවීම් වඩා වැඩි විය හැකි බවය.

තුවක්කුකරුගේ චේතනාවන් නොදන්නා අතර ඔහුගේ අනන්‍යතාව මෙම මිනීමරු ගමන් මගට ඔහු ඇද වැටුනේ කෙසේද යන්න පිලිබඳව කුඩා ආලෝකයක් විහිදුවනු ලබයි. පැඩොක්ට වයස අවුරුදු 64 ක් විය. ඔහුගේ මිතුරිය සමග සැපපහසු නිවසක් බෙදාහදාගෙන විසූ අතර සමහර වාර්තා අනුව මූල්‍යමය වශයෙන් තත්වය යහපත් විය. ඔහුගේ සොහොයුරන්ගෙන් අයෙක් විස්තර කලේ පඩොක් නිශ්චල දේපල හිමි බහු-මිලියනපතියෙක් ලෙස ය. ඔහු සතුව ගුවන් නියමු බලපත‍්‍රයක් තිබූ අතර කුඩා ගුවන් යානා දෙකක් ද හිමි ව තිබිනි. දන්නා පරිදි කිසිදු දේශපාලනික හෝ ආගමික කන්ඩායමක් සමග ඔහුට කිසිඳු සම්බන්ධයක් නොතිබින.

මානසික රෝග පිලිිබඳ පවුල් ඉතිහාසයක් තිබේ - පැඩොක්ගේ පියා, රිචර්ඩ් හොස්කින්ස් පැඩොක්, බැංකු කොල්ලකරුවෙක් වන අතර ඔහු මනෝ ව්‍යාධිකයෙක් ලෙස චිකිත්සාවට ලක්ව ඇත. ඔහු දශකයකට ආසන්න කාලයක් එෆ්බීඅයි හී භයානක අපරාධකරුවන් 10 ලැයිස්තුවේ සිට ඇත. නමුත් ස්ටීවන් පැඩොක්ට වයස අවුරුදු හතෙන් පසු තම පියා සමග කිසිම සම්බන්ධයක් නොතිබුනි. ඔහුට මානසික රෝගයක් පැවති බව හෝ ඒ සඳහා යම් ප‍්‍රතිකාරයක් ලබාගත් බවට වාර්තා වන්නේ නැත.

සැබැවින් ම මෙබඳු වෙඩි තැබීම් සියල්ලේම පාහේ, මිය යන්නේ සහ තුවාල ලබන්නේ කව්රුන්දැයි තුවක්කුකරු දැන නො සිටියේ ය. ඔහුට ඔවුන් තනි තනි පුද්ගලයන් නොවේ. පැඩොක් දුටුවේ පහල පොදි වී සිටින සංගීතප‍්‍රසංග ලෝලින් තමන් හා සමානව ජීවත් වන මිනිසුන් ලෙස නොව විනාශ කිරීමට නියමිත වස්තූන් ලෙස ය. වෙඩි පහරට ගොදුරුවූවන් වෙඩික්කරුවෙකුගේ අපාලිත සහ අපුද්ගල වෛරයේ අහම්බ ඉලක්කය. ඔවුන්ගේ ඉරනම පිලිබඳව මෙන්ම ඔවුන්ගේ ජීවත්ව සිටින පවුල් සහ මිතුරන් ජීවිත කාලය ම විඳින වේදනාව පිලිබඳව ඔහු අසංවේදීය.

පැහැදිලිවම, මෙය සාමාන්‍ය පුද්ගලයෙකුගේ ක‍්‍රියාවක් නොවේ. කලින් මානසික රෝගයක් පෙන්නුම් නොකල ද මානසික රෝගයක යම් ස්වරුපයක් පැඩොක්ගේ අපරාධයට සම්බන්ධ විය යුතුය. එහෙත් නිසැකව ම මෙම භයානක සිදුවීම තුල සමාජීයව උත්තේජිත සංරචකයක්ක් පවතී. මෙවන් සිදුවීම් නිතර සිදුවීම හුදෙක් තනි පුද්ගල ක‍්‍රියා සහ පුද්ගලික ක‍්‍රියා අනුසාරෙයන් පැහැදිලි කල නොහැකිය. ලාස් වේගාස් සමූලඝාතනය යනු ගැඹුරින්ම චිත්තපීඩාවට ලක්ව ඇති සමාජයක සමාජ ව්‍යාධිවේදයෙන් පැනනගින සුවිශේෂිත ඇමරිකානු අපරාධයකි.

රටෙහි මහා ජන ඝාතනයන් පිලිබඳ මෙම නවතම කතාවේ සමාජ සන්දර්භය කුමක්ද? පසුගිය වසර 27 පුරා එක්සත් ජනපදය යුද්ධය වැඩි හෝ අඩු වශයෙන් නොකඩවා පවත්වාගෙන යනු ලැබ තිබේ. එක්සත් ජනපද ආන්ඩුව, මැද පෙරදිග, ඇෆ්ගනිස්ථානය සහ අප‍්‍රිකාව තුල මිලියන ගනනාවක් ජනයා බෝම්බ, වෙඩි උන්ඩ සහ ඩ්රෝන් යානා මිසයිල මගින් සමූලඝාතනය කිරීම සඳහා ඉලක්ක කර තිබේ. මෙම යුද්ධ, ඇමරිකානු සංස්කෘතියට ගැඹුරින් කාවැදී ඇති අතර, චිත‍්‍රපට, රූපවාහිනිය, සංගීතය සහ ක‍්‍රීඩාවලින් පවා නිමක් නැතිව වර්නනාවට බඳුන් කරනු ලැබේ.

ඇමරිකානු ඉතිහාසයේ ඕනෑම පූර්ව යුගයක් ඉක්මවා යන පරිමාවකින් ආර්ථික අසමානතාවය වර්ධනය වීම මගින් මිනිස් ජීවිත මුලුමනින්ම පිලිකුලට ලක් කරන හා නොතකා හරින සංස්කෘතියක් එක්සත් ජනපදයේ සමාජ සම්බන්ධතා තුලින් සංලක්ෂනය වී පවතී.

එක්තරා විස්තරයක් මෙසේ පවසයි: ඇමරිකානු ඉතිහාසයේ දරුනුම වෙඩිතැබීම් පිලිබඳ වාර්තාවලින් මාධ්‍යය පිරී තිබුනු දිනයේ දී, කොටස් වෙලඳපොල ඩව් ජෝන්ස් කාර්මික සාමාන්‍යය හා අනෙකුත් දර්ශක සඳහා නව වාර්තා තබමින් ඉහලට යන එහි නිර්දය ගමන දිගටම පවත්වාගෙන ගියේය. සංගත ඇමරිකාව හා ඉතිහාසයේ සුපිරි පොහොසතුන් සඳහා දැවැන්ත බදු කප්පාදු ට‍්‍රම්ප් පරිපාලනය විසින් පෙරට තල්ල කරනු ලබනු ඇතැයි යන අපේක්ෂාවෙන් වෝල් වීදිය ජය පැන් බොයි.

නිරන්තර යුද්ධය හා ගැඹුරු වන සමාජ අසමානතාවය මගින් ඇමරිකානු සමාජයට සිදු වූ හානිය, ලාස් වේගාස්හි වෙඩි තැබීම් වැනි නිමක් නැති සිද්ධි මාලාවක් තුල ප‍්‍රකාශයට පත් වෙමින් තිබේ. ලෝකයේ ජනගහනයෙන් සියයට 5 ක් පමනක් සහිත එක්සත් ජනපදයේ සමූහ වෙඩි තැබීම් ප‍්‍රතිශතය සියයට 30 කි. එවන් භීෂනයන්හි පරිමාව වැඩිවෙමින් තිබේ: ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව ඉහල යාම අතින් ගත් කල දරුනුම සමූහ වෙඩිතැබීම් හතර මෙන්ම, දරුනුම හතෙන් හයක් වාර්තා වී තිබෙන්නේ 2007 න් පසුව ය.

අභාග්‍ය සම්පන්න ලෙස එක්සත් ජනපදය තුල යලි යලිත් සිදු කෙරෙන එවැනි ප‍්‍රචන්ඩත්වයන් පිලිබඳව කම්පනය හා තැතිගැන්ම පිලිබඳ දක්වන ප‍්‍රකාශයන්ට වඩා යමක් කිරීමට සංගත මාධ්‍ය පන්ඩිතයෝ හා රාජ්‍ය නිලධාරීහු අසමත් වූහ. සඳුදා උදෑසන හිස් හා කුහකත්වය ප‍්‍රකට කල ප‍්‍රකාශ මගින් ජනාධිපති ට‍්‍රම්ප් පෙන්වූයේ එවැනි කට පාඩම් කරගත් ප‍්‍රකාශන තෙපෙලීමට පවා ඔහු අසමත් බවයි. “ශුද්ධ ලියවිල්ල අපට උගන්වන දේ” යන වචන සමග වාක්‍යයක් ඔහු ආරම්භ කරන විට ව්‍යාධික බොරුකාරයෙක් සහ කැත වචන කියන නාරීද්වේෂයෙකු කිසිවෙකුට බැරෑරුම් ලෙස සැලකිය හැක්කේ කෙසේද?

ලාස් වේගාස් හි ඝාතන “පිරිසිදු නපුර” යැයි ඔහුගේ මුග්ධ ප‍්‍රකාශයේ ගුනාංගීකරනය මගින් කිසිවක් පැහැදිලි නොකෙරේ. සති දෙකකට පෙර එක්සත් ජාතීන්ගේ සමුලුවේ කතාවක් පවත්වමින් න්‍යෂ්ටික අවි භාවිතා කොට උතුරු කොරියාවේ මිලියන 27 ක වැසියන් දවා අලු කරන බවට තර්ජනය කල ට‍්‍රම්ප්ට ම එය විස්තර කර ගත නො හැකිය. කෙසේ වෙතත් සදාකාලිකව ම චාටු බස් දොඩන සීඑන්එන්, ලාස් වේගාස් පිලිබඳ ඔහුගේ රූපවාහිනී ප‍්‍රකාශනය විස්තර කලේ “නිරවද්‍ය ඉදිරිපත්කිරීමක්” ලෙස ය.

පුවර්ටෝ රිකෝ සඳහා අනුකම්පාව පෑමේ ව්‍යාජ දර්ශන සහ ඊට සමානව වේදිකා සකසා ගැනීමෙන් දවසකට පසුව, ට‍්‍රම්ප් බදාදා ලාස් වේගාස් බලා යන්නේ ය. ව්‍යසනයේ දී ෆෙඩරල් ආන්ඩුව දුර්වල ලෙස ක‍්‍රියාත්මක වීම පිලිබඳව නිර්භයව විවේචනය කල ප‍්‍රාදේශීය ආන්ඩු නිලධාරීන් සමග ඔහුගේ ට්විටර් ආරවුල ගෙනයන අතර ම මරියා සුලි කුනාටුවෙන් සිදු වූ විනාශය ද ඔහු නරඹනු ඇත.

එක්සත් ජනපද ආන්ඩුව 9/11 ප‍්‍රහාරයෙන් පසුව ගත වූ වසර 16 තිස්සේ “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයක්” යනුවෙන් කියාපාන්නක යෙදී ඇති කාලය තුල සාමාන්‍ය වශයෙන් වසරකට එක් ඇමරිකානු ජාතිකයෙකු විදේශීය ත‍්‍රස්තවාදියෙකු විසින් ඝාතනය කර තිබේ. එම කාලය තුල ම ඇමරිකානුවන් අවම වශයෙන් 10,000 ක සංඛ්‍යාවක් සෑම වසරකම ඇමරිකානුවන් විසින් ඝාතනය කරනු ලැබ ඇත. වර්ජිනියා ටෙක්, නිව්ටවුන්, ඔර්ලැන්ඩෝ සහ දැන් ලාස් වේගාස් වැනි සමූහ වෙඩි තැබීම්වල දී එම කාල පරිච්ඡේදයේ සියලු ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයන් මෙන් හය ගුනයක් ඇමරිකානුවන් ඝාතනය කර තිබේ.

ලාස් වේගාස් ඛේදවාචකය පිලිබඳ වැඩිදුර විමර්ශන කටයුතු අත්‍යවශ්‍යය. නමුත් නිසැකව ම එක් නිගමනයකට එලඹිය හැකි ය: මැන්ඩලේ බේ හෝටලයෙන් පිටත පසුගිය ඉරිදා රාත‍්‍රියේ සිදුවූ දෙයින් ප‍්‍රකාශිත වන්නේ ඇමරිකානු සමාජයේ ගැඹුරු රෝගාබාධයකි.

පැට්‍රික් මාර්ටින්

Share this article: