කැටලෝනියා අර්බුදය පිලිබඳව පොදේමොස් කැඳවුම් කරන සාකච්ඡාව මාරක ප්‍රතිවිපාක සහිත දේශපාලන උගුලකි

Podemos’ call for dialogue on Catalonia: A political trap with deadly consequences

පෝල් මිචෙල් විසිනි , 2017 ඔක්තෝබර් 12

ස්පාඤ්ඤයෙන් නිදහස ලැබීම සඳහා ඔක්තෝබර් 1දා පැවති ජනමත විචාරනයෙන් ඉක්බිතිව, ඔක්තෝබර් 10දා සවස කැටලාන් ප්‍රාදේශීය අගමැති කාර්ලෙස් පුයිජිමොන්, කැටලෝනියාවට වෙන්වීමට පවතින අයිතිය යලි තහවුරු කලේ ය. ඊට අමතර ව ඔහු කියා සිටියේ, මැඩ්රිඩ් අගනුවර මහජන පක්ෂ (පීපී) ආන්ඩුව සමග සාකච්ඡාවලට ඉඩ ලබාගැනීම සඳහා සති කිහිපයක් ගතවන තෙක් මෙම පියවර ක්‍රියාවට නො දැමෙනු ඇති බව ය.

එහෙත් ඊට පසුදින සාකච්ඡා පැවැත්වීම ප්‍රතික්ෂේප කල අගමැති මරියානෝ රහොයි, නිදහස ප්‍රකාශයට පත්කර ඇද්ද නැද්ද යන්න “පැහැදිලි” කරන ලෙස පුයිජිමොන්ට නියෝග කලේ ය. ඔහුගේ මෙම නියෝගය, කැටලෝනියාවේ ස්වාධිපත්‍ය අත්හිටුවා, මිලිටරි ආක්‍රමනයක් සිදුකොට මැඩ්රිඩ්හි සිට සෘජුව ගෙන යන පාලනයක් බලහත්කාරයෙන් පැටවීම පිනිස, ස්පාඤ්ඤ ව්‍යවස්ථාවේ 155වන වගන්තිය ක්‍රියාවට දැමීම සාධාරනීකරනය කිරීම ඉලක්ක කරගත් අවසන් නිවේදනයකි.

සිවිල් යුද්ධයක් පැනනැගීමේ අන්තරාය සහිත සහෝදරයන් අතර ගැටුමක් කරා ලුහුටායාමේ අනතුරට මුහුන දෙන මිලියන ගනනක් වන ස්පාඤ්ඤයේ කම්කරුවෝ සහ තරුනයෝ බියට පත්ව සිටිති. කැටලෝනියාවේ බෙදී වෙන් වීමට දේශපාලනිකව විරුද්ධත්වය පලකල හැකි බොහෝ දෙනා වඩ වඩාත් කනස්සල්ලට පත්ව ඇත්තේ, පීපී ආන්ඩුව විසින් සූදානම් කරනු ලැබෙමින් පවතින රුදුරු මර්දනයට එරෙහි ව ගතහැකි ආස්ථානයක් පිලිබඳව යි.

මෙම කොන්දේසි තුල, කම්කරුවන් හා තරුනයන්, මැඩ්රිඩ් හා බාසිලෝනා පාලනය සමග සාකච්ඡා ඇරඹීමක් සඳහා කොටු කිරීමට පීඩනය යොදමින් මහජන පක්ෂය කෙරෙහි සියලු විරුද්ධත්වයන් විසුරුවා හැරීමේ කර්තව්‍යය, ව්‍යාජ-වාම පොදේමොස් පක්ෂය විසින් භාරගෙන තිබේ. කැටලෝනියානු බෙදුම්වාදයට පමනක් නො ව සියලු වර්ගවල සමාජ ප්‍රතිවිරෝධයන් මර්දනයට ද භාවිතා කිරීම සඳහා රාජ්‍යයේ බලය පුලුල් පරිමානයෙන් ගොඩනගමින්, පීපීය හා විපාර්ශවිසමාජවාදී පක්ෂය (පීඑස්ඕඊ) කැටලෝනියාව මත කඩාපැනීමකට සූදානම් වන තත්ත්වය තුල පවා, පොදේමොස් ක්‍රියාකරන්නේ ස්පාඤ්ඤ හා කැටලාන් කම්කරු පන්තිය නිරායුධ කිරීමට යි.

කැටලෝනියාව හා අවට ප්‍රදේශ තුල හමුදාව රැඳවීම සිදුවෙමින් තිබියදී පවා, “අපි කතා කරමු” - මෙහි ස්පාඤ්ඤ හා කැටලාන් අර්ථයන් පිලිවෙලින් අබ්ලේමොස්/පාර්ලෙම් වේ- යන සටන් පාඨය යටතේ මුලු ස්පාඤ්ඤය පුරා විරෝධතා පැවැත්වීමට පොදේමොස් පසුගිය 7 දා කටයුතු කලේ ය. ස්පාඤ්ඤ හෝ කැටලාන් ධජ අතදැරීම ප්‍රතික්ෂේප කරමින් සුදු ඇඳුමින් සැරසී සිටි දසදහස් ගනන් ජනයා, මැඩ්රිඩ් අගනුවර මෙන් ම බාසිලෝනාව, සෙවිය්යේ, ග්‍රැනඩා, බිල්බාඕ, පැම්ප්ලෝනා හා වය්යාදොලිද් ඇතුලු ප්‍රාදේශීය ප්‍රධාන නගරයන්හි වීදිවලට පැමිනියහ.

බාසිලෝනාවේ සැන්ට් හවුමේ චතුරස්‍රයට රැස්වුනු දහස් ගනන් කැටලානුවන්, “කැටලාන් ජනතාවට බෙදී වෙන්වීම අවශ්‍ය නැහැ” හා “අපට අවශ්‍ය කතා කරන්න” යයි හඬ නැගූහ. මැඩ්රිඩ්හි සිබෙලෙස් චතුරස්‍රය ධවල ධජ අතැති විරෝධතාකරුවන්ගෙන් පිරී ගිය අතර, “අපි කතාකරමු, අපි කතාකරමු, ස්පාඤ්ඤය විසිරිලා යනවා, මේ රට එක වතාවක් යුද්ධයක් නිර්මානය කරලා තියෙනවා, ආයෙත් කවදාවත් ඒ වගේ දේකට ඉඩ දෙන්න බැහැ!” යනුවෙන් හඬ නැගූහ.

විරෝධතාවට සහභාගි වී සිටි බොහෝ දෙනා පලකල මනෝගතිය අව්‍යාජ විය. එල් පෙරියොදිකෝ පුවත්පත වෙත අදහස් දැක්වූ ජොසේ ලුවිස් මෙසේ කීවේ ය: “මම කැටලාන් නිදහසට පක්ෂපාත නැහැ. ඒ වගේ ම මම ස්පාඤ්ඤ ජාතිකවාදියෙක් කියල හරි මර්දනය දියත් කරන රාජ්‍යයට එකඟ වෙන කෙනෙක් කියල හරි කවුරුවත් විශ්වාස කරන්නෙ නැහැ.” ක්ලාරා මෙසේ කීවා ය: “අපි මෙතෙන්ට ඇවිල්ල ඉන්නෙ ප්‍රශ්න විසඳගන්න ක්‍රමය ප්‍රචන්ඩත්වය නෙවෙයි, සාකච්ඡාව කියල එකඟතාවකට එලඹෙන්න යි. අපි එකිනෙකාට ඇහුම්කන් දිය යුතු යි.”

බාසිලෝනාවේ ජීවත්වන 25 හැවිරිදි ග්‍රන්ථ ප්‍රකාශකයෙක් වන රෙයෙස් රොඩ්රිගුවෙස් නිව් යෝක් ටයිම්ස් පත්තරයට මෙසේ විස්තර කලේ ය: “මම ජාතික කොඩි වගේ ම ජාතිකවාදය ගැන කිසිම විධියකින් විශ්වාස කරන්නෙ නැත්තෙ, ඒක වෛරයයි යුද්ධයයි නිර්මානය කරන්න හේතුවෙන හින්ද...ඒ හින්ද මම මේ රැලියට ආවෙ සාකච්ඡාවක් කරන්න කියල ආයාචනා කරන්න.”

මෙම “ධවල” විරෝධතාවන් පහලින් මතුවුනු ආරම්භකත්වයන් ලෙස හුවාදැක්වීම, සමාජජාල මාධ්‍යවල වෛරසයක් මෙන් පැතිර යයි. පීඑස්ඕඊ ආන්ඩුව විසින් ක්‍රියාවට දැමූ, බැංකුවලට ඇප දීම හා කප්පාදු පියවරයන්ට එරෙහි ව 2011 දී ඇරඹුනු ඉන්දිග්නාදෝස් (15-එම්) ව්‍යාපාරය සමග, මෙම විරෝධතාවන් සන්සන්දනය කරනු ලැබ ඇත. එහෙත්, පීඑස්ඕඊ ආන්ඩුවට විරුද්ධව අව්‍යාජ දේශපාලන අභියෝගයක් ඉස්මතු වීම වැලැක්වීම උවමනා වූ 15-එම් ව්‍යාපාරයේ නායකත්වය විසින් පටවන ලද “දේශපාලනය එපා” යන ඉදිරිදර්ශනය හේතුවෙන් අවසානයේ එය අසාර්ථක විය.

ව්‍යාජ-වාම පොදේමොස් පක්ෂය නිර්මානය කිරීමට පෙරමුන ගනිමින් ඊට උපකාර කල අය අතර එම නායකයන්ගෙන් බොහෝ දෙනෙක් සිටිති. පන්ති අරගලයේ “බෙදා වෙන්කරන” දේශපාලනයට විකල්පයක් ලෙස “ජනප්‍රිය”, “සදාචාර සම්පන්න” හා “සියලුදෙනා ඒකාබද්ධ කරගත්” විරෝධතා ව්‍යාපාරයක් සඳහා සියල්ලන්ට ප්‍රථමව මධ්‍යම පන්තිය වෙත හැරෙන ලෙසට කෙරෙන ඉල්ලීමක් පොදේමොස් විසින් දිගින් දිගට ම ප්‍රචාරය කරමින් සිටියි.

මෙම “ධවල” විරෝධතාවන් මෙහෙයවමින් ඒවායේ ප්‍රමුඛ ප්‍රකාශකයා ලෙස ක්‍රියාකරන්නේ, ස්ටැලින්වාදයේ බලපෑමට ලක් වී සිටින පොදේමොස් නායක පැබ්ලෝ ඉග්ලේෂියස් වැනි ශාස්ත්‍රාලිකයන්ගේ නිර්මානයක් ලෙස පොදේමොස් උපත ලද, මැඩ්රිඩ්හි කොම්ප්ලූටන්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ගුයියෙර්මෝ ෆර්නැන්ඩෙස් ය.

විරෝධතා ආරම්භ කිරීමට දින කිහිපයකට පෙර ෆර්නැන්ඩෙස් නො වලහා කියා සිටියේ, තම මිත්‍රයන් කන්ඩායමක් සමග පැවති සාකච්ඡාවලින් පැනනැගුනු එම විරෝධතාවන් පිලිබඳ අදහස, “සිවිල් සමාජයේ තම 15-එම් ආකෘතිය දරා සිටින්නන් සමග බෙදාහදාගත්” බව යි. එහෙත් කැටලෝනියාව ගැන ආස්ථානය පිලිබඳ කිසිදු වැනීමකට විරුද්ධ පුවත්පත්, ෆර්නැන්දෙස් වනාහි පොදේමොස්හි හිටපු කතා රචකයෙක් සහ උද්ඝෝෂන උපදේශකයෙක් බව පෙන්වා දීමට යුහුසුලු විය. “අපි කතාකරමු” යන්න රහොයි සහ මහජන පක්ෂයට වලකැපීම ඉලක්ක කරගන්නා කුමන්ත්‍රනයක් බව ඔවුහු‍ පවසති.

තියුනු අර්බුදකාරී සමයක දී ස්පාඤ්ඤයේ ගැලවුම්කාරයෙක් වීමේ හැකියාව සහිත අයෙක් යයි හඳුනාගන්නා ලෙස ආයාචනා කරමින්, ඔක්තෝබර් 7දා පොදේමොස් විසින් සකසන ලදුව, “ධවල” විරෝධතා පිලිබඳව ඉදිරිපත් කල ප්‍රකාශනය, දේශප්‍රේමීත්වයේ භාෂාව තුල දවටා තිබුනි.

“ස්පාඤ්ඤය වනාහි එහි පාලකයන්ට වඩා ශ්‍රේෂ්ඨ රටක් යයි හඳුනාගැනීමට කාලය එලැඹ ඇති බව” ප්‍රකාශනය කියා සිටියේ ය.

වෛරය පැතිරවීම ගැන නම් නො කල “ඔවුන්” නම් කන්ඩායමකට චෝදනා කරන ලද්දේ, “ඔවුන් අපව එකිනෙකාට එරෙහි ව පිහිටුවමින් අප බෙදන බව” කියමිනි. “අප සමාජයක් ලෙස මැදිහත් නො වුවහොත් ඔවුන් මෙම රට ජීවත්වීමට දුෂ්කර ස්ථානයක් බවට හැරවීමට සූදානම් වෙනවා.”

එසේ කිරීමේ ක්‍රමය වන්නේ, “සාකච්ඡාව සහ සහජීවනය යි” ප්‍රකාශනය කියයි.

ප්‍රකාශනය විසින් ස්පාඤ්ඤ සමාජය සහ රාජ්‍යයේ මර්දන යන්ත්‍රනය රෝස පැහැ ගැන්වීම, දේශපාලනිකව විකාරයකි. “සහජීවනය නිර්මානය කෙරෙන්නේ සාකච්ඡා හරහා වන අතර නීති එම සාකච්ඡාවට සේවය කල යුතු ය. බාධාවක් ලෙස භාවිතා කිරීමට ඉඩ නො තැබිය යුතු නීති, සිවිල් ගැටුමක් ඇති කිරීමේ උපක්‍රමයක් ලෙස යොදාගැනීමට ද එලෙසින් ම ඉඩ නො තැබිය යුතු” යයි ප්‍රකාශනය හඬ නගන්නේ, ජාතික සමගිය සඳහා යලි වතාවක් ආයාචනා කිරීමට පෙර යි.

“මෙම සර්පිලයට, ඇති ඇති ඔය ඇති යයි කියමින් නතර කල යුතුය. අපි, වාඩි වී අපගේ රට ගැන සිතා බැලිය යුතු යි. ශක්තිමත් හා කල්පවත්නා සමාජ එකගතාවන් කරා එලැඹීමට අපට ඉඩ සලසා දෙනු ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය, ඇහුම්කන් දීම හා සාකච්ඡාව යි” යනුවෙන් ප්‍රකාශනය නිගමනය කලේ ය.

මෙම ප්‍රකාශනය වචනයෙන් වචනය ප්‍රතිරාවය කරමින් පොදේමොස් නායක පැබ්ලෝ ඉග්ලේෂියස්, සිය ට්විටර් සටහනක මෙසේ ලීවීය: “ජනතාව ඔවුන්ගේ පාලකයන්ට වඩා ඉතා හොඳයි. ආඩම්බරයට පත්ව සිටින මම මෙවැනි මැඩ්රිඩ් නගරයක් මේ මොහොතේ ම දැකගැනීමට ලැබීමේ අපේක්ෂාවෙන් ඉන්නවා.”

ඔක්තෝබර් 10දා හවස නිදහස අත්හිටුවීමට පුයිජිමොන් ගත් තීරනයට හුරේ දැමූ ඉග්ලේෂියස්, තමන් සාකච්ඡා සඳහා කරන ආයාචනාවන් පිලිගන්නා ලෙස රහොයිගෙන් ඉල්ලා සිටියේ, “ස්පාඤ්ඤය බහු-ජාතික රටක් බැවින්, තමන්ට සවන් දෙනු ලැබීම කැටලාන් ජනතාවගේ යුක්තිසහගත අයිතියක්” බව කියාපාමිනි.

පොදේමොස්හි සහයෝගය ලබන බාසිලෝනාවේ කොමුන් (ඒකාබද්ධ) සභාගයේ ප්‍රධානියා වන බාසිලෝනා නගරාධිපති අදා කොලව්, ඔක්තෝබර් 7දා පැවති විරෝධතාවට සහභාගිවූ අතර තම ට්විටර් ගිනුමේ මෙසේ සඳහන් කලේ ය: “දහස් ගනන් ජනයා තම නායකයන්ට යවන්නේ සාමයේ පනිවුඩය යි. අද දින නිර්භීත ම කර්තව්‍යය වන්නේ ඇහුම්කන් දීම, වාඩි වීම හා කතාකිරීම යි...සතුරාගේ පරාජය පමනක් අපේක්ෂාවෙන්, ධ්‍රැවීකරනය, කලහකාරී භාෂාවෙන් දෙඩීම හා තරගකාරීත්වයේ තර්කනය යොදාගනිමින් අප හිතාමතා ම බෙදී යා නො යුතු ය.”

“අපි මේ ගැන අතිශයින් ම ආඩම්බර වෙනවා...නම් හෙලි නොකරමින්, බොහෝ පොදේමොස් නිලධාරීන්ට සහභාගි විය හැකි මෙම යෝජනාව සමග අනන්‍ය වීම අපට ඉහලින් ම දැනෙනවා” යයි කියූ පොදේමොස් විධායක කමිටුවේ සම-ප්‍රකාශිකාව වන නොඑලියා වේරා “අපි කතාකරමු” යන විරෝධතාව තුල පක්ෂයේ භූමිකාව පැහැදිලි කලා ය.

“ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන් වදින ඕනෑම අයෙක් මෙන්, විනාශකාරී ගැටීමක් වැලැක්වීම පිනිස සාකච්ඡාව සඳහා අවස්ථාව ඉල්ලා සිටින ඕනෑම අයෙකුට, අපගේ සහයෝගය හා සහභාගිත්වය ලැබෙනවා” යයි වේරා තවදුරටත් කීවා ය.

පොදේමොස් සංවිධායක ලේකම් පැබ්ලෝ එචනික් වඩාත් හැඟීම්බර වෙමින්, විරෝධතාවට සහභාගි වී සිටියවුන්ට උඩින් පැන, පීඑස්ඕඊ නායක පෙද්රෝ සැන්චෙස් හා පීඑස්සී -මෙය පීඑස්ඕඊහි කැටලාන් ශාඛාව යි- නායක මිකෙල් ඉසේටා විසින් පීඑස්සී මූලස්ථානයේ පවත්වන ලද මාධ්‍ය හමුවේ දී, බාසිලෝනාවේ “ධවල” විරෝධතාවන් ද “අපි කතාකරමු” යන සටන් පාඨය ඉස්මතු කල යුතු යයි පුද්ගලික මට්ටමෙන් මැදිහත් වෙමින් පැවසීය.

එය වනාහි, මහජන පක්ෂය විසින් සැලසුම් කරන මර්දනයට පොදේමොස් පක්ෂය ලබාදෙන සහයෝගය සැඟවීමේ පුලුල් හා නරුම උත්සාහයකි. සැන්චෙස් සිය ට්විටර් ගිනුමේ මෙසේ ලීවේ ය: “වීදිවල මිනිසුන් අපෙන් ඉල්ලන්නේ, සාකච්ඡාව හා සහජීවනය යි. අපි එයට සූදානම්.”

“ධවල” විරෝධතාවන්ට සැන්චෙස් ප්‍රසිද්ධියේ සහයෝගය පලකරන අතරේ, "155වන වගන්තිය ක්‍රියාවට දමන ආකාරය ගැන පීඑස්ඕඊහි ඉහල පෙලේ නායකයින් රහොයි සමග විවාද පවත්වමින් දින ගනනාවක් ගතකර තිබෙන” බව එල් පායිස් පත්තරය හෙලිදරවු කලේ ය. මේ අතර සැන්චෙස් ඊයේ කීවේ, පුයිජිමොන් නිදහස ප්‍රකාශ කලේ ද නැද්ද යන්න ගැන “පැහැදිලි කරන්නැයි” රහොයි කරන නියෝගයට පීඑස්ඕඊ හා පීපී සහය දෙන බව හා ඔහුගේ -පුයිජිමොන්ගේ- සැලසුම් කවරේද යන්න “නිශ්චිතව” කියා සිටීම තමන්ට ද අවශ්‍ය බව යි.

මහජන පක්ෂය විසින් සූදානම් කරමින් සිටින මර්දනයට එරෙහි වන කම්කරුවන්ට හා තරුනයින්ට, පීඑස්ඕඊ හෝ එහි සෙවනැල්ල වන පොදේමොස් නායකත්වයන් යටතේ හෝ අපක්ෂපාතීත්වයේ ධවල ධජයක් යටතේ, අව්‍යාජව එලෙස කල නො හැකි ය.

මෙය ස්පාඤ්ඤ රාජ්‍යය, “ප්‍රතිගාමීත්වයෙන් මුදාගැනීම” හෝ කැටලාන් නමැති කුඩා විකල්ප රාජ්‍ය කැබලිත්තක් ඇටවීම පිලිබඳ ප්‍රශ්නයක් නො වේ. ආඥාදායක පාලන රූපාකාරයන් කරා මාරුවීම මුල්බැස තිබෙන්නේ පොදේමොස් සැඟවීමට උත්සාහ කරන තීව්‍ර වෙමින් පවත්නා පන්ති ප්‍රතිඝතිකතා තුල යි. වෙලඳ හා මිලිටරි යුද්ධය දියත් කිරීම පිනිස කරන ඉල්ලීම් හමුවේ ස්පාඤ්ඤයේ ද යුරෝපය පුරා ද පාලක පැලැන්ති, කම්කරුවන්ගේ ජීවන තත්වයන් හා ඒවා පදනම් වන අත්‍යවශ්‍ය සේවාවන් විනාශ කිරීම සඳහා කෲර ලෙස බලය යෙදීමට සූදානම් වෙති. මෙමගින් ඉල්ලා සිටින්නේ, කැටලෝනියාවට විරුද්ධ ව සූදානම් කෙරෙමින් ඇති ෆ්‍රැන්කෝවාදී පොලිස් මිලිටරි මර්දනය පරාජය කිරීම සඳහා සමාජවාදයේ රතු ධජය යටතේ ඒකාබද්ධ ප්‍රතිප්‍රහාරයක් දියත් කිරීමේ අවශ්‍යතාව යි.

Share this article: