ශ්‍රී ලංකාව: උතුරේ විරෝධතා, ආන්ඩුවට එරෙහි වර්ධනය වන පලල් විරුද්ධත්වය සලකුනු කරයි

இலங்கை: வடக்கு போராட்டம் அரசாங்கத்துக்கு எதிராக அதிகரித்து வரும் வெகுஜன எதிர்ப்புக்களை சுட்டிக்காட்டுகின்றது

සුභාෂ් සෝමචන්ද්‍රන් විසිනි, 2017 ඔක්තෝබර් 21

දෙමල දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා, ඔක්තෝබර් 13දා උතුරු පලාතේ පැවැති හර්තාලය, ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මැඞීමට එරෙහිව වර්ධනය වන මහජන විරුද්ධත්වය පෙන්නුම් කරයි. හර්තාලය හේතුවෙන් උතුරු පලාතම අඩපන විය. කඩසාප්පු වසා දැමුනි. පොදු ප‍්‍රවාහන, රාජ්‍ය හා පෞද්ගලික බැංකු, පාසල් වසා දැමුනු අතර යාපනය ශික්ෂන රෝහල පමනක් ක්‍රියාත්මක විය.

විරෝධතා කැඳවා තිබුනේ, දෙමල ජනතා කමිටුව (ටීපීසී), දෙමල ජාතික සංධානය (ටීඑන්ඒ), යාපනය විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය, ශිෂ්‍ය සංගමය සහ තවත් දෙමල සංවිධාන ඇතුලු දෙමල දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන විසිනි. උතුරු පලාත් ආන්ඩුකාරවරයාගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාකරුවෝ පිකට් කලහ. ජනතාව බිය ගැන්වීම සඳහා ආන්ඩුව ආරක්ෂක හමුදාව යාපන අර්ධද්වීපය පුරා මෙහෙයවා තිබුනි.

දෙමල පක්ෂ විසින් විරෝධතාවය කැඳවා තිබුනේ, දේශපාලන සිරකරුවන් දිගින් දිගටම රඳවා තැබීමට එරෙහිව වර්ධනය වන මහජන විරෝධය අවමංගත කිරීම සඳහා ය. ආන්ඩුවට බලපෑම් දැමීමේ නිරර්ථක ව්‍යායාමයකට ඔවුහු ජනතාව මෙහෙයවූහ.

දේශපාලන සිරකරුවන් 132 ක් පමන සිටී. සමහර වාර්තා වලට අනුව එම සංඛ්‍යාව 163 කි. කුප‍්‍රකට ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යටතේ මෙම රැඳවියන් අත්අඩංගුවට ගෙන රඳවා තිබේ. ඔවුන්ට එරෙහි බොහෝමයක් චෝදනා පදනම් වී ඇත්තේ, දරුනු වධදීම් මගින් ලබාගත් පාපෝච්චාරන මතයි. ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ලබා ගත් පාපෝච්චාරන යොදාගෙන පොලිසියට හා නීති බලධාරීන්ට හිතුවක්කාරී ලෙස චෝදනා ගොනු කල හැකිය.

මෙම සිරකරුවන්ගෙන් කන්ඩායමක් වව්නියාවේ සිට අනුරාධපුර සිරකඳවුරට මාරුකර තිබේ. එමගින් ආන්ඩුව, ඔවුන්ගේ නීතිමය සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් උල්ලංඝනය කර තිබේ. අනුරාධපුර අධිකරනයේ නඩු අසනු ලබන්නේ සිංහල භාෂාවෙන් වන අතර එය දෙමල සිරකරුවන්ට තේරුම්ගත නො හැක.

අනුරාධපුර සිරකඳවුරේ සිටින රාජදොරෙයි තිරිවාරුල්, මතියලගන් සුලක්සන් සහ කැනීසන් තාර්සන් යන රැඳවියන් සිය නඩු අනුරාධපුරයට මාරු නො කරන ලෙස ඉල්ලා සැප්තැම්බර් 25 සිට මාරාන්තික උපවාසයක නිරත වී සිටී.

ආන්ඩුව මෙම සිරකරුවන්ගේ අයිතීන් නැවත නැවතත් නොතකා හැර තිබේ. විරෝධතාවයන්ගෙන් පසු දේශපාලන සිරකරුවන් නැත යන කොලඹ ආන්ඩුවේ දීර්ඝකාලීන මුසාව අධිකරන ඇමතිනි තලතා අතුකෝරල නැවතත් පුනරුච්චාරනය කලා ය. කෙසේ නමුත්, ඔවුන් පරාජයට පත් වූ දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) “ත‍්‍රස්තවාදී කටයුතු වලට” සම්බන්ධ වූවා යයි චෝදනා ලැබ සිටී. අධිකරන ඇමතිනියගේ ප‍්‍රකාශයේ තේරුම වන්නේ ආන්ඩුව මෙම සිරකරුවන් නිදහස් නො කරන බවයි. මෙම රැඳවියන්, බලයට පත් කොලඹ ආන්ඩු ප‍්‍රධාන වගකීම දරන, දෙමල විරෝධී මර්දනයේ සහ අවුරුදු තිහකට ආසන්න යුද්ධයේ ගොදුරක් වී සිටී.

දෙමල භාෂා දිනයට සහභාගීවීමට යාපනය බලා ගිය ජනාධිපති සිරිසේනට විරෝධතාකරුවන්ට මුහුන දීමට සිදුවිය. විශාල ආරක්ෂක වලල්ලක් මැදින් විරෝධතාකරුවන් කරා ඇවිදගොස් “උතුරේවේවා දකුනේවේවා ප‍්‍රශ්න ඇති කව්රු සමග හෝ එක මේසයක වාඩිවී සාකච්ඡා කිරීමට තමන් සූදානම්” යයි දෙමල දේශපාලන නායකයන්ට ප‍්‍රකාශ කලේ ය.

පසුව යාපනය හින්දු විද්‍යාලයේ පැවති දෙමල භාෂා දින රැස්වීම අමතා ඔහු, තමන් දුර්වල වුවහොත් “යක්ෂයා” නැවත ඒවි යයි පැවසීය. “යක්ෂයා” කව්රුන්දැයි ඔහු පැහැදිලිව කියා සිටියේ නැත. යක්ෂයා කව්රු වුවත්, කුරිරු ලෙස යුද්ධය අවසන් කල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු පාලකයන්ගෙන් සිරිසේන වෙනස් නොවේ.

2015 දී බලයට ඒමෙන් පසු සිරිසේන 20 වතාවක් පමන යාපනයේ සංචාරය කර තිබේ. සෑම වතාවකම ඔහු ජනතාවගේ විරෝධයට මුහුන දුන්නේය. සෑම අවස්ථාවකදීම ඔහු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදහන්වූවන් පිලිබඳ තොරතුරු ලබාදීම, යුද්ධය කාලයේ දී මිලිටරිය විසින් බලෙන් අත්පත් කර ගත් ඉඩම් නැවත ලබා දීම ඇතුලු දෙමල ජනතාවගේ ඉල්ලීම් ලබා දෙන බවට පොරොන්දු වුනි. එහෙත් ඒවා පොරොන්දු වලට පමනක් සීමා විය.

රාජපක්ෂ ආන්ඩුවේ ලේවැකි යුද්ධාවසානය හා මර්දනය ගසාකමින් ටීඑන්ඒ ඇතුලු දෙමල ධනපති පක්ෂ, සිරිසේන ප‍්‍රශ්න විසඳාවී යයි ප‍්‍රකාශ කරමින් ඔහුට ඡන්දය දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. චීනයට එරෙහි ආක‍්‍රමනකාරී යුද ව්‍යායාමයට ශ්‍රී ලංකාව පෙල ගස්වා ගැනීම සඳහා එවකට පැවති ඔබාමා පරිපාලනයේ අනුග‍්‍රහය යටතේ සිදුවූ තන්ත‍්‍රමාරු මෙහෙයුමකින් සිරිසේන බලයට ගෙනා බව ආර්. සම්බන්ධන් හා එම්.ඒ. සුමන්දිරන් වැනි ටීඑන්ඒ නායකයන් දැන සිටියහ.

උතුරු නැගෙනහිර හමුදා වාඩිලාගැනීම දිගටම ගෙනයමින් දේශපාලන සිරකරුවන් දිගටම රඳවාගෙන සිටින ජනාධිපති සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩු කර ඇති එකම දේ වන්නේ, මිලිටරියට හා පාලක පන්තියට එල්ලවූ යුද අපරාධ චෝදනා යටපත් කිරීම පමනි.

ජීවන තත්වයන්ට, සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාර හේතුවෙන් අව්ලවා තිබෙන දකුනේ කම්කරුවන්ගේ හා දුගීන්ගේ සමාජ පිපිරුම් සහගත තත්වය සමග උතුරේ මහජන නොසන්සුන්තා එකට පෙල ගැසේ. තත්වය පිලිබඳ සැලකිලිමත් ආන්ඩුව, මිලිටරිය සහ පොලිසිය මාධ්‍යවල ද සහාය ඇතුව, කම්කරුවන් වාර්ගික රේඛා ඔස්සේ බෙදාලීමට සහ විරුද්ධ පක්ෂ මර්දනය කිරීම සඳහා උතුරේ “එල්ටීටීඊ ත‍්‍රස්තවාදය” යලි හිස ඔසවන්නේය යන උද්ඝෝෂනය ආරම්භ කර තිබේ.

පසුගිය මාස කිහිපය තුල යාපනය අර්ධද්වීපයේ පමනක් සියයකට වැඩි දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ජුලි මාසයේ දී යෝගරාජා දිනේෂ් නැමැති තරුනයා පොලිස් වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වීම හේතුවෙන් තුන්නලායි සහ කුඩවත්ත ගම්මානවල සිය ගනනක් ජනයා විරෝධාතා දැක්වීය. එහිදී පොලිසිය 70 ක් අත්අඩංගුවට ගත්තේ ය. 35 ක් ඇප මත නිදහස් වූ නමුත් ඉතිරි අය ඇප කොන්දේසි ඉටු කිරීමට නොහැකිවීම හේතුවෙන් තවමත් සිරගත කර සිටී. ප‍්‍රදේශවාසීන්ට අනුව අත්අඩංගුවට පත්වීමේ බියෙන් සිය ගනනක් සැඟවී සිටී. ඔවුන්ගේ එකම “අපරාධය” වන්නේ පොලිස් මර්දනයට එරෙහි විරෝධතාවයේ යෙදීමයි.

ටීඑන්ඒ සහ එහි කොටසක් වන උතුරු පලාත් සභාවේ මහ ඇමති වී. විග්නේෂ්වරන් නායකත්වය දෙන ටීපිසීය වඩාත්ම ද්‍රෝහී ක්‍රියාකලාපය ඉටු කරමින් සිටී. ආන්ඩුවේ සෑම ප‍්‍රහාරයකටම සහයෝගයදීම හේතුවෙන් මෙම පක්ෂය හා නායකයන් ජනතාව අතර බරපතල ලෙස අප‍්‍රසාදයට ලක් වී සිටී.

මෙවර දෙජාස නායකයෝ දේශපාලන සිරකරුවන් මුදා ගැනීමේ ජනතා ව්‍යාපාරයන්ට තමන් ආධාර කරන බව මවා පාමින් කරනමක් ගසා ඇත. සම්බන්ධන් සිරිසේනට යැවූ ඔක්තෝබර 12 දින දරන ලිපියක මෙ ලෙස සඳහන් විය: “මෙ බඳු නඩුවලට යම් දේශපාලන මානයක් ද පවතින නිසා හුදෙක් නෛතිකමය ගැටලු වශයෙන් පමනක් සැලකිය නො හැකි අතර මේවා දේශපාලනිකව ආමන්ත‍්‍රනය කිරීමට ඔබට (සිරිසේන) ද යුතුකමක් ඇත. මෙය දේශපාලනිකව ආමත‍්‍රනය නො කිරීම, සංහිඳියාව, යහ සම්බන්ධතාවන් සහ සහජීවනය යලි නගා සිටුවීමට බාධාවක් ලෙස පවතී.” ඔහු ඔවුන් නිදහස් කරන මෙන් සිරිසේනට “බලවත්” ආයාචනයක් සිදු කොට ඇත.

සිරිසේන සහභාගී වූ දෙමල භාෂා දින සැමරුම් වර්ජනය කරමින් සම්බන්ධන් ඇතුලු දෙජාස නායකයෝ තවත් දේශපාලන මවා පෑමක නිරත වූ හ. මොවුහු මෙම රැඳවියන් වාර්ගික පීඩනයේ සහ යුද්ධයේ කොටසක් ලෙස අත්අඩංගුවට ගත් දේශපාලන සිරකරුවන් ලෙස නො දකිති. දෙමල ජනතාව අතරෙහි වර්ධනය වන විරෝධය ගැන ඔවුන් උත්සුක වන්නේ එය කොලඹ ආන්ඩුව සමග තම “සම්බන්ධතාවන්ට සහ සහජීවනයට” අහිතකර නිසා පමනකි. එ බඳු ප‍්‍රකාශන අඩංගු කල් තැබීමේ යෝජනාවක් සම්බන්ධන් සඳුදා සභා ගත කලේ ය.

දිග්ගැස්සෙමින් ඇති උපවාස ව්‍යාපාරය ගැන සඳහන් කරමින් දේශපාලන සිරකරුවන්ගේ ජාතික සංවිධානයෙහි (දේසිජාස) නායක එම්. ශක්තිවේල්, දෙජාසයේ ප‍්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි වෙත යැවූ ලිපියක මෙ ලෙස සඳහන් කලේ ය: “අනුරාධපුර බන්ධනාගාරයෙහි රඳවා සිටින තම සගයන් වෙනුවෙන් සෙසු දේශපාලන සිරකරුවෝ සහයෝගය පල කරමින් සිටිති. මෙ බඳු අරගල සෙසු බන්ධනාගාරවලට ද ව්‍යාප්ත විය හැකි ය. දෙජාස සහ එහි නායකත්වය මෙ බන්දක් අපේක්ෂා කරන්නෝ ද?”

මේ රාජ්‍ය නො වන සංවිධානය ද අනුගමනය කරන්නේ දෙජාස පිලිවෙතට සමාන එකකි. අතුරුදහන් වූවන් සහ රඳවා ගෙන සිටින්නන් මුල් කර ගනිමින්, කොලඹ ආන්ඩුවටත්, එක්සත් ජනපදය ඇතුලු ජාත්‍යන්තර බලවේගයන්ටත් ආයාචනා කරමින් එකකට පසු එකක් වශයෙන් ශක්තිවේල් සහ කල්ලිය විරෝධතා සංවිධානය කල හ.

කම්කරු පන්තියේ, දුගීන් ගේ සහ තරුනයන් ගේ විරෝධය, තව දුරටත්, නිරර්ථක විරෝධතා ව්‍යාපාර තුල නො රැඳී, අව්‍යාජ දේශපාලන විකල්පයක් වෙත යොමු වනු ඇතැයි මේ සංවිධාන තැති ගෙන සිටිති.

කොන්දේසි විරහිතව සියලු ම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ත‍්‍රස්තවාදය වැලැක් වීමේ පනත වැනි රුදුරු මර්දන නීති අහෝසි කිරීම, උතුරෙන් හා නැගෙනහිරින් හමුදා ඉවත් කිරීම ඉල්ලා සිටීමට කම්කරු පන්තිය පෙරට පැමිනය යුතුව ඇත.

Share this article: