ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත‍්‍රපට උලෙල 2017
ඩිරෙක්ෂන්ස් අධ්‍යක්ෂනය කල ස්ටීවන් කොමැන්ඩරෙව් සමග සම්මුඛ සාකච්ඡාවක්: “පලමු පියවර විය යුත්තේ සිදු වෙන දේ ගැන පැහැදිලි අදහසක් ඇති කර ගැනීම යි. වෙන ක‍්‍රමයක් මට පේන්නේ නැහැ.”

Toronto International Film Festival 2017: An interview with Stephan Komandarev, director of Directions

ඩේවිඩ් වොල්ෂ් සහ ජොඈන් ලෝරියර් විසිනි, 2017 සැප්තැම්බර් 26

ඩේවිඩ් වොල්ෂ්: අපට ඔබේ ජීවිතය ගැන යමක් කියන්න පුලුවන් ද? මා දන්නා තරමින් නම් ඔබ ඉගෙන ගත්තේ වෛද්‍ය විද්‍යාව.

ස්ටීවන් කොමැන්ඩරෙව්

ස්ටීවන් කොමැන්ඩරෙව්: මම වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තා. හැබැයි එක්තරා මොහොතක මට තේරුම් ගියා මගේ උනන්දුව තියෙන්නේ - උදාහරනයක් විදියට - ශරීරාභ්‍යන්තර රෝග විශේෂඥයෙකු හෝ නාරි රෝග විශේෂඥයෙකු වෙන්න නොව මනෝ චිකිත්සාව ගැන බව. ඉතින් සාමාන්‍ය වෛද්‍ය විද්‍යාව හදාරන අතරේ මම අතිරේක ව මනෝ විද්‍යාව සහ සාමූහික චිකිත්සාව හැදෑරුවා. සාමූහික චිකිත්සාව සඳහා මට ඩිප්ලෝමාවක් ලැබුනා. ඉතින් සාමාන්‍ය වෛද්‍ය විද්‍යාව හදාරා අවසන් කල ගමන් ම මම සොෆියාවල පිහිටි මනෝ චිකිත්සක රෝහලකට සම්බන්ධ වෙලා ලමයින් වෙනුවෙන් සේවය කරන්න පටන් ගත්තා.

මගේ රැකියාවේ ගමන් මග පැහැදිලි බව පෙනුනා. මගේ ප‍්‍රධානියා මට කිව්වා, “දවසක ඔයා මේ රෝහලේ ප‍්‍රධානියා වෙනවා” කියලා. හැබැයි ඒ 1990 ගනන්වල මැද හරියෙ; ආර්ථික අතිනුත් අනෙක් පැතිවලිනුත් බල්ගේරියාවට ඉතා ම දුෂ්කර කාලයක්.

අපට වෙනත් විශ්වවිද්‍යාලයකින් ආධාර වගයක් ලැබුනා. කැමරා දෙකකුයි ඒවාට අදාල උපකරන වගයකුයි. පවුල් චිකිත්සාව ලබා දෙන දර්ශන කිහිපයක් රෝගීන්ගේ අනන්‍යතාව හෙලි නොවන අන්දමින් රූපගත කරවා ගැනීම තමයි එයාලාගේ බලාපොරොත්තුව වුනේ. වෛද්‍යවරුන් අතරේ සාකච්ඡා කරන්නත් ඒ වගේ ම වෛද්‍ය ශිෂ්‍යයන්ගේ ප‍්‍රයෝජනය සඳහාත් යොදා ගන්න තමයි මේක කරන්න කිව්වේ. එතැන හිටපු ලාබාල ම වෛද්‍යවරයා මා නිසා උපකරන රැක බලා ගැනීමේ රාජකාරිය මට පැවරුනා. ඉතින් මම මේවත් එක්ක වැඩ කරන්න පටන් ගත්තා. හෙමින් හෙමින් මා තුල ඒ ගැන උනන්දුවක් ඇති වෙන්න ගත්තා. සති අන්තවල දී මම කැමරා දෙකෙන් එකක් ගෙදර අරන් ගිහින් යාලුවොත් එක්ක එකතු වෙලා පුංචි පුංචි දේවල් රූපගත කරන්න පටන් ගත්තා. සංස්කරන කටයුතු කරන්න රාත‍්‍රි කාලයේ මම රෝහලේ නැවතුනා. ඔය වගේ නොයෙක් නොයෙක් දේවල් සිද්ධ වුනා. මම සිනමා පාසලට ගියේ ඊට පස්සේ. ඔහොම ගිහින් අවුරුදු 20කට පස්සේ මම වෛද්‍ය විද්‍යාවේ නිරත වීම නතර කෙරුවා.

ජොඈන් ලෝරියර්: 1990 ගනන්වල බල්ගේරියානු සිනමාවේ තත්ත්වය මොකද්ද? මට හිතෙන විදියට නම් ඒක අසීරු කාලයක්.

ස්.කො.: සත්තකින් ම. අවුරුද්දකට චිත‍්‍රපට එකක් හෝ දෙකක් පමන යි බිහි වුනේ. දැන් තත්ත්වය ඊට වඩා චුට්ටක් හොඳ යි. දැන් අවුරුද්දකට චිත‍්‍රපට දහයක් හැදෙනවා. හැබැයි ඒක තෘප්තිමත් වෙන්න පුලුවන් තත්ත්වයක් නෙවි.

ඩේ.වො.: අද වාරනය සම්බන්ධයෙන් කිසි ම ගැටලුවක් නැද්ද?

ස්.කො.: නැහැ. 1989ට කලින් දේශපාලනික වාරනය තිබුනා. අද ඒක ආර්ථික වාරනයක් බවට පත් වෙලා. චිත‍්‍රපටයක් හදන්න මුදල් හොයා ගන්න හරි ම අමාරු යි. ’89ට කලින් බල්ගේරියාව තුල අවුරුද්දකට චිත‍්‍රපට 50ක් හැදුනා. ඒ දවස්වල සමහර ඉතා හොඳ චිත‍්‍රපට නිර්මානය වුනා. ල්‍යුද්මිල් කිර්කොව් (1933-95) ඒ කාලේ හිටපු ඉතා මත් සිත් ගන්නා අධ්‍යක්ෂවරුන් අතරින් කෙනෙක්. මගේ චිත‍්‍රපටය අවසන් වෙන්නේ හිම වැටෙන පසුබිමක. ඒක ඔහු අවසන් වශයෙන් නිර්මානය කල Friday Night (ෆ‍්‍රයිඬේ නයිට් -1987) චිත‍්‍රපටයට ගරු කිරීමක්.

විවිධ වර්ගයේ චිත‍්‍රපට තැනූ ක‍්‍රියාකාරී සිනමා කර්මාන්තයක් අපට තිබුනා. අද බල්ගේරියාව විවිධ ඇමරිකානු ත‍්‍රාසජනක චිත‍්‍රපට පෙන්වන තැනක් බවට පත් වෙලා. මොක ද අපේ වැඩ බාල යි. එහේ හොඳ වෘත්තිකයන් බොහෝ දෙනෙක් ඉන්නවා.

ජො.ලෝ.: මේ චිත‍්‍රපටයට මග පෑදුනේ කොහොම ද?

ස්.කො.: ඇතැම් කරුනු අනුව ගත්තා ම ඒක පුංචි, ඉතා පෞද්ගලික චිත‍්‍රපටයක්. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ දියනිය චිත‍්‍රපටයේ ඉන්නවා. ඈ තමයි උදෑසනත් අනතුරුව අවසානයේ දීත් පාසල් යන ගැහැනු ලමයා. අවුරුදු කීපයකට කලින් මම මගෙන් ම මෙහෙම අහන්න පටන් ගත්තා: මේ දරුවෝ දෙන්නාට මොකක් වේවි ද? ඒ ගොල්ලෝ මොනවා කරාවි ද? එයාලා කොහේ ජීවත් වේවි ද? එයාලා කොහොම ජීවත් වේවි ද? බල්ගේරියාව තුල ඊනියා පරිවර්තනය සිද්ධ වෙලා අවුරුදු 27ක් ගත වෙලා තිබුනත් ලැබිලා තියෙන ප‍්‍රතිඵල ගැන කිසි සේත් ම සතුටු වෙන්න බැහැ.

සාධනීය නොවන දෑ බොහොම යි. පොදුවේ ගත්තා ම සමාජයේ සංස්කෘතික මට්ටම එන්න එන්න ම පහත වැටිලා තියෙනවා. මම මා ඉගෙන ගත් සිනමා පාසලේ සිසුන්ට ඉගැන්වීමේ කටයුතුවලත් නිරත වෙනවා. වසරින් වසර මට්ටම පහත වැටෙමින් තියෙනවා. දරිද්‍රතාවේ මට්ටම එන්න එන්න ම වර්ධනය වෙනවා. බල්ගේරියාව කියන්නේ නැගෙනහිර යුරෝපයේ තියෙන දුප්පත් ම රට. අපේ රට එන්න එන්න ම හැකිලෙනවා. ’89 දී අපි මිලියන නවයක් හිටියා. දැන් අපි මිලියන හත යි ඉන්නේ. මේක වුනේ යුද්ධයක් ඇති වෙලා නෙවි! මෙහෙම දෙයක් මීට කලින් සිද්ධ වෙලා නැහැ.

අනාගතය ගැන කෙරෙන තක්සේරු හොඳ තත්ත්වයක නැහැ. ඒත් යම් යම් හේතු නිසා දිගට ම බල්ගේරියාවේ රැඳෙන්න මම තීරනය කලා. මගේ පවුල ඉන්නේ එහේ. මගේ යාලුවෝ ඉන්නේ එහේ. මගේ යාලුවන් බොහෝ දෙනෙකු පිටරට පදිංචියට ගිය ’90 ගනන්වල මුල දී තමයි මම මේ තීරනය ගත්තේ. සමාජයට, එහි ජනතාවට, එහි සංස්කෘතියට සිද්ධ වෙන දේ ගැන මම සැලකිලිමත් වෙන්නේ ඒ නිසයි. මාධ්‍යය තුල ඔබ දකින යථාර්ථය සම්පූර්නයෙන් ම ව්‍යාජයක්. ඒ නිසා තමයි අපි කුලී රථ රියැදුරා ප‍්‍රධාන තේමාව වශයෙන් තෝරා ගත්තේ. මොක ද එයාලා ජීවත් වෙන්නේ එහේ. එයාලා ඉන්නේ මේ ජීවන යථාර්ථය මධ්‍යයේ.

අපි අපේ චිත‍්‍රපටය තුල විදහා දක්වන තත්ත්වය ඔබට බල්ගේරියානු මාධ්‍යය තුල දකින්නට ලැබෙන, දේශපාලනඥයන්ගෙන් අසන්නට ලැබෙන තත්ත්වයට වඩා අතිශයින් ම වෙනස් බව ඒකාන්ත යි. ඒත් මට කියන්න පුලුවන් සැබෑ තත්ත්වය මේක බව, යථාර්ථය මේක බව. බල්ගේරියාව තුල ඉන්න ජනතාව මේ චිත‍්‍රපටය නැරඹීම මට ඉතා ම වැදගත්. ජනවාරියේ දී එහි ප‍්‍රදර්ශන කටයුතු ආරම්භ වෙනවා. ලොකු ප‍්‍රචාරක ව්‍යාපාරයක් කර ගෙන යන්න යි අපේ අදහස. එතකොට අපට විශාල මුදලක් උපයා ගන්න පුලුවන් වෙන නිසා නෙවි, එතකොට චිත‍්‍රපටයට විශාල ප්‍රේක්ෂක පිරිසක් දිනා ගන්න පුලුවන් වෙන නිසා.

ඩේ.වො.: විය යුතු පරිදි ම, එය කෝපයෙන් පිරුනු චිත‍්‍රපටයක් බවත් කිව යුතු යි.

ස්.කො.: සත්තකින් ම. යමක් වෙනස් කිරීම සඳහා උත්සාහ කරන්න අපට ඕනෑ නම් මේක තමයි ක‍්‍රමය.

ඩේ.වො.: ප‍්‍රධාන වශයෙන් ගත්තා ම, මෙය කාලයක් තිස්සේ එක්රැස් වූ හැඟීම්වල නිෂ්පාදිතයක් ද? නැත් නම් එය හිටි හැටියේ ඇති වූ යම් දෙයකට කල ප‍්‍රතික‍්‍රියාවක් ද?

ස්.කො.: එය අත්දැකීම්, නිරීක්ෂන, මිතුරන් සමග පැවැත්වූ සාකච්ඡා, බල්ගේරියානු හා වෙනත් නොයෙක් කතුවරුන්ගේ කෘති රැසක් කියවීම යන මේ දේවල් එක්තැන් වීමක්. ඒ කියන්නේ එය ක‍්‍රියාවලියක්. මට ඒකට වසර ගනනාවක් ගත වුනා. ඒක යි මම කියන්නේ මේ චිත‍්‍රපටය මම කලින් නිර්මානය කල කෘතිවලට වඩා ඉතා ම වෙනස් කියලා. මොක ද මේ මොහොතේ මම අතීතය ගැන ඒ තරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. ’89න් පස්සේ පසු ගිය දශක ගනනාව තුල ජීවිතය ගෙවී ගිය ආකාරය ගැන අපි බොහෝ චිත‍්‍රපට හැදුවා. දැන් අවුරුදු 27ක් ගත වෙලා. දැන් සිද්ධ වෙන දේවල් වඩාත් සිත් ගන්නාසුලු යි, නැත්නම් අදාල යි, නැත් නම් කලඹනසුලු යි. ඒ වගේ ම, ලෝකයේ මේ කොටසට ඉතා ම තීරනාත්මක යි.

ඩේ.වො: ආරම්භක දර්ශනයේ දී මාෆියා බැංකුකරුවා අප තුල ත‍්‍රාසයක් ඇති කරනවා. පැහැදිලිව ම යථාර්ථය පදනම් කර ගත්තක්. මේ සමාජ ප‍්‍රකාරය බිහි වෙන්නේ කොහේ ද?

ස්.කො.: ලෝකය පුරා ම බැංකුකරුවෝ එක සමාන යි. එයාලාට තව තවත් ඕනෑ. එයාලා පාලනය නො කෙරුවොත් සිද්ධ වෙන දේ 2008 දී අපි හොඳාකාරව දැක්කා. බල්ගේරියාව තුල අපේක්ෂා භංගත්වය ලෝකයේ අනෙක් රටවලට සමාන යි. හැබැයි ඇත්තට ම අපි පුංචි රටක්. අපි එකිනෙකා දැන හඳුනනවා. ඉතින් කාරනා ඉතා පැහැදිලි යි. ඉතා හොඳින් විනිවිද පෙනෙනවා. චිත‍්‍රපටය තුල තිබෙන හැම කතන්දරයක් ම සැබෑ සිදුවීම් පදනම් කර ගත් ඒවා.

අවුරුදු කීපයකට කලින් ඇති වූ සිද්ධියක දී බැංකුකරුවෙකු ඝාතනය කෙරුනා. සොෆියාවල දී නෙවි. කලු මුහුද අසබඩ පිහිටි බර්ගාස් කියන කුඩා නගරයේ දී. මේකත් ලෝකය පුරා එක සමානව දකින්නට ලැබෙන තත්ත්වයක්. ඉතින් අපි මේ කතන්දරය අර ගත්තා ... සුලු සුලු වෙනස්කම් කල බව අමුතුවෙන් කිව යුතු නැහැ නේ. ඒත් ඒක ඇත්ත. බැංකුකරුවා කරන්නේ එක්තරා විදියක බ්ලැක්මේල් කිරීමක්. මේ තත්ත්වය තියෙන්නේ බැංකුවල විතරක් නෙවි. මූල්‍ය ප‍්‍රභූව අතරේ තිබෙන, දේශපාලනඥයන් අතරේ තිබෙන මේ සම්බන්ධකම හැම තැන ම තියෙනවා. ඒක හුදෙක් බල්ගේරියානු නොවන බූවල්ලෙකුගේ කොටසක්.

බල්ගේරියාවේ ඉන්න හැම කෙනෙක් ම දන්නවා මේ සාපරාධීත්වය ගැන. ඒත් මම මුහුන දුන් දුෂ්කර ම කාරනය තමයි බොහෝ ජනයා එන්න එන්න ම මේක “සාමාන්‍ය තත්ත්වය” හැටියට සලකන්නට වීම. ඒත් මේක සාමාන්‍ය තත්ත්වය නෙවි.

ජො.ලෝ.: මේ වගේ මිනිසුන් බිහි වෙන්නේ පෙර පැවති ස්ටැලින්වාදී නිලධරයෙන් ද?

ස්.කො.: ඔව් සහ නැහැ. 1989 දී සිදු වූ මේ පරිවර්තනයෙන් වැඩි හරියක් සිද්ධ කෙරුනේ ප‍්‍රධාන ස්ටැලින්වාදී නිලධරයන් විසින්. තමන්ගේ දේශපාලන බලය ආර්ථික බලයක් බවට පරිවර්තනය කර ගන්න එයාලාට ඕනෑ වුනා. ඉතින් කලින් හිටිය කොමියුනිස්ට්වාදී ස්ටැලින්වාදී නිලධරය තමයි මේ වෙනස සිද්ධ කල උපකරනය බවට පත් වුනේ. මේ ක‍්‍රියාවලියේ දී එයාලා බොහෝ දේ කලා. එයාලා විශාල කොටසක් ඩැහැ ගත්තා. කලින් කොමියුනිස්ට් පක්ෂයේ හිටිය මේ මිනිසුන්ගෙන් වැඩි දෙනෙක් දැන් ලොකු ම කොමියුනිස්ට් විරෝධීන් බවට පත් වෙලා, ලොකු ම යුරෝපා සංගම් සහ එක්සත් ජනපද ලෝලීන් බවට පත් වෙලා, රුසියානු විරෝධීන් බවට පත් වෙලා. මේ ගැන උදාහරන රැසක් මා පෞද්ගලිකව ම දන්නවා. කලින් දරුනු කොමියුනිස්ට්වාදීන්ව සිටි පුද්ගලයන් බොහෝ දෙනෙක් එක රැයින් අංශක එකසිය අසූවක් ම කැරකුනා. දැන් එයාලා වෙනස් සටන් පාඨ හා අභිමතාර්ථ ඇතිව වුනත් කලින් විදියට ම වැඩ කර ගෙන යනවා. මේක ඉතා ම නින්දා සහගත යි.

මේ මිනිසුන්ට මූලධර්ම හෝ සාරධර්ම නැහැ. ආපහු වතාවක් එයාලා තමයි මුදුනේ ඉන්නේ. ඒකේ ප‍්‍රතිඵල අපට පේනවා.

පැවතුනු ඒකාධිපතිවාදී කාල පරිච්ඡේදය ගැන මගේ හිතේ සාංකාවක් නැහැ. ඒත් මේ ව්‍යාජ “පරිවර්තනයේ” දී අපි සාධනීය දේවල් බොහොමයක් විනාශ කරලා තියෙනවා. අපට ඉතා හොඳ සමාජ ක‍්‍රමයක් තිබුනා. ජීවන තත්ත්වය මීට වඩා හොඳ මට්ටමක පැවතුනා. අධ්‍යාපන ක‍්‍රමය, සෞඛ්‍ය රැකවරනය යනාදිය විශිෂ්ට තත්ත්වයක පැවතුනා. මා ඔබට කිව්වා වගේ, යුද්ධයකින් තොරව අපි මේ සේරම දේවල් විනාශ කෙරුවා. හැබැයි බල්ගේරියාවේ පිහිටි මේ විශාල නගරවල ඇවිද ගෙන යන කොට ඔබට දැනෙන්නේ යුද්ධයක් සිද්ධ වූ රටක ඇවිද ගෙන යනවා වගේ.

ඩේ.වො.: ඊයේ රාත‍්‍රියේ පැවති ප‍්‍රශ්න හා පිලිතුරු සැසියේ දී ඔබ පැවසුවා යථාර්ථය පෙන්වීම යථාර්ථය වෙනස් කිරීමේ කොටසක් බව.

ස්.කො.: පලමු පියවර විය යුත්තේ සිද්ධ වෙන දේ ගැන පැහැදිලි අදහසක් ඇති කර ගැනීම යි. වෙන ක‍්‍රමයක් මට පේන්නේ නැහැ. මම සිනමාකරුවෙක්. මේක තමයි මම කරන ක‍්‍රමය. මම දේශපාලනඥයෙක් නෙවි. ඉතින් ඇත්තට ම පලමු පියවර විය යුත්තේ සැබෑ තත්ත්වය පිලිබඳව සැබෑ අදහසක් ඇති කර ගැනීම යි. අදහස ඇති කර ගත්තාට පස්සේ අපට පුලුවන් යමක් වෙනස් කිරීම සඳහා උත්සාහ කරන්න. මොක ද දැන් මේ මොහොතේ බල්ගේරියාවේ ජනතාවට - වගේ ම අනෙක් රටවල ජනතාවටත් - ලොකු ම ගැටලුව වෙලා තියෙන්නේ එදිනෙදා ජීවත් වෙන එක. ඔවුන්ගේ සිත්වල තමන්ගේ රට පිලිබඳව හෝ තමන්ගේ ජීවිත පිලිබඳව ඇති කර ගත් අදහස් නැහැ.

ජො.ලෝ.: සිය දිවි නසා ගැනීම් වැඩි වෙලා ද?

ස්.කො.: ඔව්. හැබැයි එස්තෝනියාවේ මට්ටමට නැගලා නැහැ. එයාලා තමයි මේ කාරනේ දී ඉදිරියෙන් ම ඉන්නේ. පාලම පිලිබඳ අදහස ඇති වුනේ අවුරුදු තුනකට කලින් මම කලු මුහුදේ ධීවරයෙකු ගැන වාර්තා චිත‍්‍රපටයක් රූපගත කරමින් සිටිය දී. කලූ මුහුද අසබඩ පිහිටි වර්නා කියන කුඩා නගරයේ ලොකු පාලමක් තියෙනවා. මේ පාලම යට කියන්නේ අපේ වීරයා තමන්ගේ බෝට්ටුව නැංගුරම් ලා තබන ස්ථානවලින් එකක්. රූපගත කරන අතරතුර දී මිනිස්සු දෙන්නෙක් ගඟට පැන්නා. සතියකට පුද්ගලයෙකු හෝ දෙදෙනෙකු පනින නිසා ධීවරයාට මේක සම්පූර්නයෙන් ම සාමාන්‍ය සිද්ධියක් වුනා. ඉතින් අපි ඉමහත් කම්පනයකට පත් වුනා. අපි දැක්කා මෝටර් රථයක් නවත්වනවා. ‘අන්න, තව හාදයෙක් පාලමෙන් පැන්නා’ කියා ධීවරයා කියාවි කියලා අපට හිතුනා.

ඩේ.වො.: තරුනයෝ ද වැඩිහිටියෝ ද?

ස්.කො.: හැම වයසක ම අය. ලොකු ම ගැටලුවලින් එකක් තමයි පැරනි පරම්පරාවට සිද්ධ වෙමින් තියෙන දේ. එයාලා හැම දා ම වැඩ කරමින් තමන්ගේ ජීවිත ගත කරනවා. දැන් එයාලා ජීවත් වෙන්නේ මාසෙකට ඩොලර් 100කින් හෝ ඩොලර් 200කින්. මගේ පියා මිය ගිහින් අවුරුද්දක් වත් නැහැ. මම ඔහු රැක බලා ගත්තා. මොක ද අවසන් අවුරුදු කීපයේ දී ඔහු අසනීප වුනා. ඇත්තට ම ඒක ඉතා ම අසීරු තත්ත්වයක්. ඒත් මට පුලුවන් වුනා ඔහුට උදව් කරන්න. මම එහේ හිටිය නිසා ඔහුට අවශ්‍ය කල හැම ප‍්‍රතිකාරයක් ම ලැබුනා. ඔහු මහාචාර්යවරයෙක්. ඔහුට ලැබුනු විශ‍්‍රාම වැටුපෙන් කරන්න පුලුවන් වුනේ එයාගේ බෙහෙත් ටික ගන්න එක විතර යි. මේක යි තත්ත්වය. තනිය ම ජීවත් වෙන වයස්ගත පුද්ගලයන්ගෙන් බල්ගේරියාව පිරිලා. ජීවත්ව ඉන්න එක එයාලාට ඇත්තට ම භයංකර අත්දැකීමක් බවට පත් වෙලා.

පසු ගිය අවුරුදු දහය ඇතුලත දී අලුත් යමක් සිද්ධ වෙලා තියෙනවා. දෙමව්පියන් ලෝකයේ වෙන යම් තැනක - ස්පාඤ්ඤය, එංගලන්තය යනාදි රටවල - රැකියාව කරන නිසා අලුත් පරම්පරාවක් - ස්කයිප් පරම්පරාවක් - පහල වෙලා ඉන්නවා. මේ දරුවන් හදා වඩා ගැනෙන්නේ එයාලාගේ ආත්තම්මලාත් සීයලාත් විසින්. ඒ ගොල්ලන්ට දෙමව්පියන් එක්ක සම්බන්ධකම් තියෙන්නේ ස්කයිප් හරහා විතර යි. මේකේ ප‍්‍රතිඵල භයානක යි. මොක ද සීයලා ආත්තම්මලා අම්මලාට තාත්තලාට සමාන නැහැ. මේ පරම්පරාවේ අයට වඩාත් හොඳ ඇඳුම්, වඩාත් හොඳ කලිසම්, වඩාත් හොඳ සපත්තු තිබෙනවා. ඒ වුනාට ඇත්තට ම ඒක ගැටලු සහගත පරම්පරාවක්. ප‍්‍රචන්ඩ සිද්ධි රැසක් සිදු වෙනවා.

අවුරුදු හතකට කලින් මම බල්ගේරියාවේ වයඹදිග පිහිටි කුඩා නගරයක් ගැන වාර්තා චිත‍්‍රපටයක් හැදුවා. ඒක කුඩා නගරයක්. සේරම කාන්තාවන් වැඩිහිටියන් රැක බලා ගන්නියන් ලෙස ඉතාලියේ රැකියාව කරන නිසා මේ නගරයේ කාන්තාවන් නැති තරම්. ඉතින් බොහෝ දුරට ම මේ නගරයේ ඉන්නේ දරුවනුයි තාත්තලයි විතරයි. එයාලාට කාන්තාවන්ගෙන් මුදල් ලැබෙනවා. සත්තකින් ම එහේ ගැටලු රැසක් තිබුනා.

ජො.ලෝ.: ප‍්‍රශ්න හා පිලිතුරු සැසියේ දී ඔබ සඳහන් කල එක කරුනක් තමයි සිය දිවි නසා ගන්න සූදානමින් පාලම උඩ හිටියේ භාෂා හතක් කතා කරන්න පුලුවන් මහාචාර්යවරයෙකු බව. ඔබ සඳහන් කලා උසස් අධ්‍යාපනයක් ලබා සිටිය දීත් කුලී රථ රියැදුරන් ලෙස රැකියාව කිරීමට සිදු වූ පුද්ගලයන් බොහෝ දෙනෙකු ගැන ඔබ දැන සිටි බව.

ස්.කො.: ඒක සත්‍යයක්. ගුරුවරයෙකුට ලැබෙන්නේ ඉතා පහල වැටුපක්. ඔබේ බිල් පත් ගෙවා ගන්න නම් ඔබ තවත් යමක් කල යුතු යි. සමහර අය මත්පැන් පානය කරන්නත් විෂාදයට ගොදුරු වෙන්නත් පටන් ගන්නවා.

ජො.ලෝ.: වැඩ වර්ජන බොහොමයක් සිද්ධ වෙලා තියෙනවා ද?

ස්.කො.: ඔව්. බොහොමයක් සිද්ධ වෙලා තියෙනවා. ඒත් ඒවා සාර්ථක වෙන්නේ නැහැ. බල්ගේරියාවේ මේ ගැටලුව තියෙනවා. ඔබ සමාජ සාධාරනත්වය වෙනුවෙන්, වැඩි වැටුප් වෙනුවෙන්, වැඩ කරන ජනයා ආරක්ෂා කිරීම වෙනුවෙන් සටන් කරන්න උත්සාහ කෙරුවොත් ඔබ තුල “කොමියුනිස්ට්වාදය” ගැන අතීත කාමයක් ඇති වෙනවා. නමුත් දැන් අපට ඉන්නේ අලූත් දෙවියෙක්. ඒ තමයි වෙලඳ පොලේ දෙවියා, වෙලඳ පොලේ අදෘශ්‍යමාන හස්තය.

ජො.ලෝ.: ඒ වගේ ම යි ඒක සමාජ ව්‍යසනයක්.

ඩේ.වො.: බල්ගේරියානු ජාතිකවාදය උසි ගැන්වීමේ වෑයමක් තියෙනවා ද?

ස්.කො.: ඇත්තෙන් ම තියෙනවා. සමාජයේ ඉන්න බොහෝ පුද්ගලයන් ගැටලු පැහැදිලි කිරීම සඳහා යොදා ගන්න පහසු ම ක‍්‍රමය තමයි මේක. උදාහරනයක් විදියට ගත්තොත්, සරනාගතයන්ට, සංක‍්‍රමනිකයන්ට දෝෂාරෝපනය කරන එක බොහොම පහසු යි. චිත‍්‍රපටයේ දී දුරකථනයෙන් ගුවන් විදුලි වැඩසටහන අමතා කතා කරන අය මෙවැනි අදහස් දක්වනවා. එයින් එක් කෙනෙක් කියනවා බල්ගේරියානුවන් වෙන අපි තමයි ලෝකයේ ඉන්න උත්තරීතර ම මිනිස්සු කියලා. ඒ මගේ හඬ තමයි. හැබැයි මගේ අදහස් නෙවි!

ඩේ.වො.: දුරකථනයෙන් වැඩසටහන අමතා පල කල අදහස් ප‍්‍රබල යි, ඒ වගේ ම අව්‍යාජ යි.

ස්.කො.: මා මේ අදහස්වලින් බොහොමයක් ඩැහැ ගත්තේ බර්ගාස් කියන මේ කුඩා නගරයේ දී බැංකුකරුවා සැබවින් ඝාතනය කෙරුනාට පසුව අන්තර්ජාලයේ දක්වා තිබූ අදහස්වලින්.

ඩේ.වො.: එක්සත් ජනපද රුසියානු භූ දේශපාලනික කාරනාවල දී බල්ගේරියාව ඉන්නේ කොතැන ද?

ස්.කො.: දැන් මම අලුත් තිර නාටකයක් ලියමින් ඉන්නේ - ඒක තුන් ඈඳුතු චිත‍්‍රපටයක් වැනි දෙයක දෙවන කොටසට සමාන යි. ඒක පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු ගැන කියැවෙන වෘත්තාන්ත චිත‍්‍රපටයක්. පොලිස් නිලධාරියෝ දෙන්නෙක් මුලූ රෑ ම මේ ගැන වාද කරනවා. මොක ද බල්ගේරියාවේ ඉන්න අපිට රුසියාවත් එක්ක ප‍්‍රබල සම්බන්ධකමක් තියෙනවා. මේක මේ මොහොතේ සිද්ධ වෙමින් තියෙන දේ ගැන හිතන්නේ නැතිව ඉන්න පුලුවන් ක‍්‍රමයක්. රුසියාවට ඇලුම් කරන්නන්ට එරෙහිව “ඇමරිකාවට ඇලුම් කරන්නන්”: මේවා ව්‍යාජ සටන්.

බල්ගේරියාවේ දී මේක සංකීර්න යි. අපි යුරෝපා සංගමයේත් ඉන්නවා, නේටෝ සංවිධානයේත් ඉන්නවා. රසවත් කතන්දර හෝ විහිලු තහලු යොදා ගෙන ජීවිතය ගැන කතා කරන්න බල්ගේරියානුවන් කැමති යි. ඒ හින්දා චිත‍්‍රපටය ආරම්භයේ දී ඔබට අහන්න ලැබෙනවා විහිලුවක් සියලු ම සර්ව අශුභවාදීන් බල්ගේරියාව අත හැර ගිහින් නිසා ඉතුරු වෙලා ඉන්නේ සර්ව ශුභවාදීන් විතර යි කියලා. යුරෝපා සංගමය ගැන කියැවෙන අලුත් චිත‍්‍රපටයේ මේ විදියේ විහිලුවක් තියෙනවා: බ්‍රෙක්සිට් සිද්ධියෙන් පස්සේ යුරෝපා සංගමය තුල රැඳිලා ඉන්න එක ම රට බවට බල්ගේරියාව පත් වෙන බව සිකුරු යි. බල්ගේරියාව කිසි යම් සන්ධානයක හෝ සංවිධානයක කොටස්කරුවෙකු බවට පත් වුනාට පස්සේ ඒක බිඳ වැටෙනවා!

ඩේ.වො.: දැන් බල්ගේරියානු ආන්ඩුව ඇතුලේ ෆැසිස්ට් වර්ගයේ අන්ත දක්ෂිනාංශික කොටස් ඉන්නවා නේ ද?

ස්.කො.: අපි කියමු එයාලා ඒ වගේ අය වෙන්න උත්සාහ කරනවා කියලා. එයාලා ජාතිකවාදීන් වෙන්න උත්සාහ කරනවා. සාමාන්‍ය බල්ගේරියානු ක‍්‍රමය අනුව සලකන කොට ඒක ඒ තරම් ම බරපතල නැහැ. එයාලා ෆැසිස්ට්වාදීන් නෙවි. එයාලා මුදල්වලට ප‍්‍රිය කරනවා විතර යි. මේ විදියට තමයි එයාලා මුදල් හම්බ කර ගන්නේ. එයාලා සැබෑ ෆැසිස්ට්වාදීන් නොවීම හිතට සහනයක්.

ජො.ලෝ.: චිත‍්‍රපටයේ දී ඔබ බැංකුකරුවා නිරූපනය කල විදියෙන් පෙනෙනවා ඔහු යම් ආකාරයක ෆැසිස්ට්වාදියෙකු වෙන්න ඉඩ තිබුනු බව.

ඩේ.වො.: එයාලා හිට්ලර්ලා නෙවි වෙන්න ඇති. හැබැයි එයාලා සැබෑ අනතුරු. මතක තියා ගන්න, 1923 දී හිට්ලර් කියන්නෙත් විහිලුවක් විතර යි.

ස්.කො.: සත්තකින් ම ඔව්.

Share this article: