එජා මහා මන්ඩලයේ දී ශ‍්‍රී ලංකාවේ ජනාධිපති රෝසපාට පින්තූරයක් ඉදිරිපත් කරයි

Sri Lankan president presents rosy picture at UN General Assembly

සමන් ගුනදාස විසිනි, 2017 සැප්තැම්බර් 29

ශ‍්‍රී ලංකාවේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ මහාමන්ඩල සැසිය අමතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජ අයිතීන් ඉල්ලා සිටින ලංකාවේ කම්කරු පන්තිය "අන්තවාදීන්" ලෙස හෙලා දකිමින් අර්බුද-ග‍්‍රස්ත වූ තම ආන්ඩුවට පිටුබලය දෙන ලෙස ජාත්‍යන්තර බලයන්ට ආයාචනා කලේය.

මේ වන විට වසර දෙක හමාරක් ගතව තිබෙන සිරිසේනගේ සහ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව කම්කරුවන්, තරුනයින්, ගම්බද දුගීන්ගේ හා දශක තුනක වාර්ගික යුද්ධය විසින් ජීවන කොන්දේසි විනාශ වූ රටේ උතුරු හා නැගෙනහිර පලාත්වල දෙමල ජනයාගේ වැඩෙන විරුද්ධත්වයට මුහුන දෙමින් සිටී. සිරිසේන එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතන අමතද්දී විදුලිබල කම්කරුවන් වර්ජනයක යෙදී සිටි අතර ශිෂ්‍යයෝ හා වෛද්‍යවරු අධ්‍යාපනය පෞද්ගලීකරනයට එරෙහිව කොලඹ විරෝධතාවල නිරත වූහ.

සැප්තැම්බර් 19 දා සිරිසේන තමා හුවා දක්වා ගනිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම්, දුප්පත්කම තුරන් කිරීමට ගන්නා ප‍්‍රතිසංස්කරන පියවරයන් ගැන කයිවාරු කතාවක් කලේය. ඔහු උජාරුවෙන් ප‍්‍රකාශ කර සිටියේ "බලයේ සිටියදී බලය අත්හල නායකයෙකු... (සහ) අත්තනෝමතික පාලනයක් යොදාගන්නා කන්ඩායම් ඉවත්කල නායකයකුල පිලිබඳව ජාත්‍යන්තර ක්ෂේත‍්‍රය තුල තමන් උදාහරනයක්"ය යනුවෙනි.

ඔහුගේ පාලනය "රටේ මානව නිදහස මෙන්ම, මානව අයිතිවාසිකම් සුරැකීම, පෝෂනය කිරීම හා යලි ස්ථාපිත කිරීමේ සාර්ථක ගමනක නියැලී ඇති බව" සිරිසේන කියා සිටියේ ය. තවදුරටත් ඔහු කියා සිටියේ දෙමල විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) පරාජය කිරීමෙන් පසුව "සාමය ඇති කිරීමෙහි සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමෙහි ලා අපේ රට නිදහස් හා සාමකාමී රටක් ලෙස සාර්ථක වී ඇත" යනුවෙනි.

මේවා අමුලික බොරු ය.

2015 ජනවාරි මාසයේ ජනාධිපතිවරනයෙන් සිරිසේන බලයට පත් වූයේ එක්සත් ජනපදය විසින් තිරය පිටුපස සිට අනුග‍්‍රහය දැක්වූ මෙහෙයුමක් මගිනි. තන්ත‍්‍ර-මාරු ව්‍යාපාරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති පාලනයට එරෙහිව මතු වූ මහජන විරුද්ධත්වය ගසාකෑ අතර ජනාධිපති බලතල අත්හැරීම පිලිබඳ සිරිසේන ගේ ප‍්‍රකාශයන් ව්‍යාජය. යථාර්ථයේ දී, ඔහු සිය පූර්වගාමියා විසින් භුක්ති විඳි සියලූ විධායක බලතල තබාගෙන සිටී.

සිරිසේන ඔහුගේ ප‍්‍රධාන මැතිවරන පොරොන්දුවක් වූ "විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම" කඩ කොට තිබේ. ඒ වෙනුවට ව්‍යවස්ථා සංශෝධනයක් හඳුන්වා දුන්නේය. මෙම සංශෝධනය මගින් ජනාධිපති පදවි වාර සංඛ්‍යාව දෙකකට සීමා කොට ආන්ඩුවේ සහ අධිකරනයේ ඉහල නිලධාරීන් පත් කිරීමට ව්‍යවස්ථා සභාවක් හා ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර ඇති අතර ම, විධායක බලතල ආරක්ෂා කර ඇත.

ජනාධිපති යථා වශයෙන් ම මෙම බලතල පාවිච්චි කරමින් සිටියි. ජූලි මාසයේදී තෙල් කම්කරුවන්ගේ වැඩවර්ජනය තලා දැමීම සඳහා අත්‍යාවශ්‍ය සේවා නියෝග පනවා හමුදාව යෙදවූයේ ය. මෙම මාසයේ ඔහු වර්ජිත විදුලි බල කම්කරුවන්ට එරෙහිව ද එවැනි ම පියවරවල් සුදානම් කලේ ය. මෙම වසර මුලදී පරිසර දූෂනයට විරෝධය දක්වන පුද්ගලයින්ට එරෙහිව ද සිරිසේන අත්‍යවශ්‍ය සේවා නියෝගයක් නිකුත් කලේය.

එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ දී කරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ එක්සත් ජනපදය හා අනෙකුත් ප‍්‍රධාන බලවතුන් විසින් උපයෝගී කර ගත්තේ ඔහුගේ ආන්ඩුව චීනයෙන් දුරස්ථ කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (එජාමාහික) හරහා රාජපක්ෂ මත පීඩනය යෙදීමට ය. එක්සත් ජනපදය යුද්ධයට පිටුබලය දුන් නමුත් බීජිනය සමග රාජපක්ෂගේ සමීප ආර්ථික සබඳතාවන්ට විරුද්ධ විය. චීනයට එරෙහිව වොෂින්ටනයේ යුද සූදානම සමඟ ශ‍්‍රී ලංකාව පෙලගැස්වා ගැනීම එයට අවශ්‍ය විය.

චීනය විසින් මුල්‍ය ආධාර සපයන ලද ප‍්‍රධාන ව්‍යාපෘති අත්හිටුවමින් වොෂින්ටනය හා එහි මිතුරා වන ඉන්දියාවට සිරිසේන තම පක්ෂපාතිත්වය පෙන් වූ පසු, දේශපාලන පීඩනය ලිහිල් විය. එජාමාහික මගින් පෙර දී ඉල්ලා සිටි ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශනය අතහැර දැමුනු අතර, රට තුල සිදු කෙරෙන අධිකරන විමර්ශනයක් සඳහා වූ කොලඹ යෝජනාව 2015 ඔක්තෝබර් මාසයේ දී අනුමත කලේ ය.

වසර දෙකක ප‍්‍රමාදයකින් පසු "අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක්" කොලඹ ස්ථාපිත කලේ මෑතක දී ය. කෙසේ වෙතත්, එමගින් කලින් සිදු වූ අතුරුදහන් කිරීම් පිළිබඳ විමර්ශනයන් නොකරන බව සිරිසේන සහ වික‍්‍රමසිංහ ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර ඇත. ශ‍්‍රී ලංකාව තුල කිසිඳු යුද අපරාධයක් සිදු නොවූ බව අවධාරනය කල ඔවුහු හමුදාවේ හෝ රජයේ නිලධාරීන්ට එරෙහිව කිසිඳු ජාත්‍යන්තර විමර්ශනයකට ඉඩ නොදෙන බව ප‍්‍රකාශ කර ඇත.

ඔහුගේ ආන්ඩුව "ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමට දැඩිව කැපවන" බවත් "සෑම පුරවැසියෙකු ට ම සමාන පුරවැසියන් ලෙස නිදහසේ හා ගෞරවයෙන් ජීවත්වීමට හැකි සමාජයක් ගොඩනගන" බවත්, එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය හමුවේ සිරිසේන කුහක ලෙස කියා සිටියේ ය.

පලාත්වලට බලතල පැවරීම සඳහා ව්‍යවස්ථාමය සංශෝධන ඇතුලත් "ජාතික සංහිඳියාව" පිලිබඳ සිරිසේනගේ පොරොන්දුව මැතිවරන ව්‍යාපාරය තුල දුන් එකකි. එහි අරමුන වූයේ දෙමල ධනේශ්වර පක්ෂවල සහයෝගය ලබා ගැනීමයි. කෙසේ වුවත් නව ව්‍යවස්ථාව පිලිබඳ මෑතක දී නිකුත් කල අතුරු වාර්තාව මගින් බුදුදහම සහ සිංහල භාෂාවේ "අධිපත්‍යය" තවදුරටත් පවත්වාගෙන යාමෙන් පෙන්නුම් කරන්නේ ශ‍්‍රී ලංකා රාජ්‍යය තුල ගැඹුරින් ම මුල්බැසගෙන ඇති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්වභාවයයි. රාජපක්ෂ, විපක්ෂය හා ෆැසිස්ටවාදී බලවේග විසින් උසිගන්වන ලද සිංහල-බෞද්ධ වර්ගවාදීන් හා හමුදාව අස්වැසීම සඳහා සිරිසේන සහ වික‍්‍රමසිංහ "ඒකීය" රාජ්‍යය පවත්වාගෙන යාමට පොරොන්දු වී ඇත.

සිරිසේනගේ "සංහිඳියාව" ගැන මවාපෑමට පටහැනිව, උතුරු හා නැගෙනහිර පලාත්වල මිලිටරි වාඩිලෑම දිගටම පවත්වාගෙන යයි. "එල්ටීටීඊ ත‍්‍රස්තවාදයේ පුනර්ජීවනයක්" පිලිබඳව කරන ප‍්‍රකාශයන් මගින් ආන්ඩුව සහ මාධ්‍ය විසින් සාධාරනීකරනය කරනු ලබන අනවරත පීඩනය සහිතව මිලිටරිය හා පොලිස් බුද්ධි අංශ මෙම පලාත්වල ජනයා පිලිබඳව නිරන්තර සෝදිසියක් පවත්වාගෙන යති.

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල කල කතාවේ දී, තමන් කඩකල පොරොන්දු කෙරෙහි පවතින මහජන අසන්තෘස්ටියට විරුද්ධව සිරිසේන පහර දුන්නේ ය. "ඇතැමුන් කඩිනම් ක‍්‍රියා මාර්ග සහ අදුරදර්ශී කෙටිකාලීන විසඳුම් අපේක්ෂා කරන" බවත් "අපේ ඉදිරි මාවත ස්ථාවර හා ප‍්‍රගතිශීලී විය යුතු අතර අස්ථාවරත්වයට තුඩු දෙන හදිසි එකක් නොවිය යුතු" බව ඔහු ප‍්‍රකාශ කලේ ය.

සිංහලෙන් කතා කල ඔහු ඉක්මන් ක‍්‍රියාමාර්ගයක් අපේක්ෂා කරන්නන් "අන්තවාදීන්" ලෙස හෙලා දුටුවේය. මෙය හුදෙක් එල්ල කරනු ලැබුවේ අතුරුදහන්වූවන් පිලිබඳ තොරතුරු, යුධ අපරාධකරුවන්ට දඬුවම් කිරීම හා යුද්ධයේදී හමුදාව විසින් අල්ලා ගන්නා ලද ඉඩම් නැවත ලබා දෙන ලෙස ඉල්ලන දෙමල ජනයාට විරුද්ධව පමනක් නොව, රටේ සෙසු ප‍්‍රදේශවල වර්ජන වල නිරත වන කම්කරුවන්ට හා විරෝධතා දක්වන සිසුන්ට ද එරෙහිව ය.

රට "දරුනු නය බරකට" මුහුන දී ඇති බවත්, මෙම ගැටලූව විසඳීම සඳහා ඔහුගේ රජය විවිධ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර ඇති බවත්, සිරිසේන එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැවසුවේ ය. යථාර්ථය නම්, 2020 වන විට දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5 දක්වා අඩකින් ආන්ඩුවේ අයවැය හිඟය අඩු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) ඉල්ලා සිටි සමාජ කප්පාදු පියවරයන් මේ වනවිට කොලඹ ආන්ඩුව කෲර ලෙස ක‍්‍රියාත්මක කරමින් සිටින බව ය.

මෙම පියවරයන්ට, බදු වැඩි කිරීම, සහනාධාර කපා හැරීම සහ අත්‍යාවශ්‍ය භාන්ඩවල මිල ඉහල දැමීම ඇතුලත් වේ. ඒවාට එරෙහිවන කම්කරුවන් සහ තරුනයන් ඉක්මන් විසඳුම් සොයන "අන්තවාදීන්" ලෙස සලකනු ලබයි.

නිව්යෝක්හි දී සිරිසේන දේශපාලන කටයුතු පිලිබඳ එක්සත් ජනපදයේ උප රාජ්‍ය ලේකම් තෝමස් ෂැනොන් හමුවූ අවස්ථාවේදී ඔහු "පශ්චාත් යුධ සමයේ ලබා ඇති දේශපාලන, ආර්ථික හා සමාජීය ප‍්‍රගතිය" ගැන ශ‍්‍රී ලංකා ආන්ඩුවට ප‍්‍රශංසා කල වාර්තා විය.

ආන්ඩුව ආදර්ශමත් බවත්, "ඉන්දියානු සාගර කලාපයේ සාමය ගොඩනැගීමට කැපවී සිටින" බවත් ෂැනන් සඳහන් කලේ ය.

මෙම ප‍්‍රකාශයන් සෘජුවම, පසුගිය දෙවසර තුල කොලඹ ආන්ඩුව විසින් එක්සත් ජනපද මිලිටරිය සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා ගනු ලැබූ තීරනවලට සම්බන්ධ වෙනවා මිස "සාමය" සමග කිසිදු සම්බන්ධයක් නැත.

සිරිසේන ජූලි මාසයේ දී, ඇමරිකානු හමුදාවන්ට සේවාවන් සැපයීම සඳහා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ අත්සන් කල ගිවිසුම අලූත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගත්තේය. එල්ටීටීඊයට එරෙහිව යුද්ධය පැවති කාලයේ දී කලින් පැවති රාජපක්ෂ ආන්ඩුව විසින් 2007 දී පලමුව අත්සන් කල දස අවුරුදු ගිවිසුමෙන්, ඉන්ධන සහ සේවා කටයුතු සඳහා එක්සත් ජනපද මිලිටරි ගුවන් යානාවලට ශ‍්‍රී ලංකා ගුවන් තොටුපල හා මුහුදු වරායන් වෙත ප‍්‍රවේශ වීමට ඉඩ සලසයි.

චීනයට එරෙහිව එක්සත් ජනපද යුද සැලසුම්වලට ශ‍්‍රී ලංකාව වේගයෙන් ඒකාබද්ධ කරමින් සිටින සිරිසේන, උතුරු කොරියානු න්‍යෂ්ටික අත්හදා බැලීම් හෙලා දුටුවේය. උතුරු කොරියාව "මුලූමනින්ම විනාශ කර දැමීම"ට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුලදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් කල තර්ජන ගැන සිරිසේනට කිසිඳු ගැටලූවක් නැත.

රාජ්‍ය නායකයන් සඳහා පවත්වන ලද රාත‍්‍රී භෝජන සංග‍්‍රහයේ දී ට‍්‍රම්ප් හමුවීමෙන් අනතුරුව සිරිසේන ට්විටර් සමාජ ජාලයට මෙසේ අදහස් දැක්වීය. "ජයන්තිට (සිරිසේනගේ භාර්යාව) සහ මට අද දින නිව්යෝර්ක්හි ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ මෙලනි ට‍්‍රම්ප් හමුවීමට හැකිවීම ගැන සතුටු වෙනවා."

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිඳියාව සහ දුප්පත්කම පිටුදැකීම පිලිබඳ ඇදබාන බොරු වලට පිටුපසින් සිරිසේන සහ ඔහුගේ ආන්ඩුව, ආඥාදායක පාලනයකට මෙන්ම, චීනයට එරෙහිව කලාපය තුල වොෂින්ටනයේ ව්‍යසනකාරී යුද සැලසුම් සමග ගැඹුරු සම්බන්ධතාවයක් කරා තල්ලූ වෙමින් තිබේ.

Share this article: