සී ජින්පින් චීන කොමියුනිස්ට් පක්ෂ තන්ත‍්‍රය මත සිය ග‍්‍රහනය තහවුරු කර ගනී

Xi Jinping consolidates grip over Chinese Communist Party apparatus

පීටර් සිමන්ඩ්ස් විසින්, 2017 ඔක්තෝබර් 25

24දා ගත් අසාමාන්‍ය පියවරකදී චීන කොමියුනිස්ට් පක්ෂයේ (සීසීපී) සමුලුව, ජනාධිපති සී ජින්පින්ගේ සමාරම්භක වාර්තාවට අනුමතිය පලකරමින් පමනක් නොව අවසන් වුනේ, එය ඔහුගේ “චින්තනය” චීන ව්‍යවස්ථාවට ද ඇතුලු කිරීමෙනි. වසර 5ට පෙර ජනාධිපති වන විට ඔහු ගැන දැන සිටියේ යාන්තමිනි. දැන් ඔහු තම තත්වය සීසීපී තන්ත‍්‍රයේ අනභියෝගී නායකයා හෙවත් “අරටුව” බවට පත්ව සිටී.

උත්තරීතර නායකයාගේ තැනට සී ඔසවා තැබීම වනාහි, නොවිසඳිය හැකි අභ්‍යන්තර හා බාහිර ගැටලුවලින් මිරිකී සිටින, සීසීපී තන්ත‍්‍රයේ අර්බුදය පිලිබඳ සලකුනකි. එය, නැගී එන ආර්ථික හා මූල්‍ය කැලඹීම් වලින් මිරිකී සිටින අතර රට තුල වර්ධනය වන සමාජ නොසංසුන්තා මෙන්ම උතුරු කොරියාවට හා චීනයටම එරෙහිව පවා එල්ල කෙරෙන, ඇමරිකානු පාලනයේ ආක‍්‍රමනික යුද තර්ජනයට මුහුනපා සිටී.

සියලු ප‍්‍රධාන යෝජනා ඒකමතිකව මෙන් සම්මත විය. ඒ පිලිබඳව සැලකිය යුතු විවාදයක් නොපැවතුනි. සැලකිල්ලෙන් තෝරාගත් නියෝජිතයින් 2300 දෙනා, සමස්ත ජනගහනයට කෙසේ වෙතත්, 89 මිලියනයක් වන සීසීපී සාමාජිකයින්ටවත් වග කියන්නේ නැත. එහෙත් ප‍්‍රතිවාදී පක්ෂ කල්ලි අතර ආර්ථික හා විදෙස් පිලිවෙත සම්බන්ධයෙන් සැලකිය යුතු වෙනස්කම් පවතී. මේ තත්වය තුල, පක්ෂයේ එකමුතුව තබාගන්නා හා එය සහතික කරන දේශපාලන සුපිරි නායකයා ලෙස සී මතුව ඇත.

ව්‍යවස්ථාව තුල පැලපදියම් වීම මගින් සී නිසැකවම බලාපොරොත්තු වනවා ඇත්තේ, තමන්ගේ තත්වය අනභියෝගී වනු ඇතැයි කියාය. “නව යුගය පිලිබඳ චීන අංගලක්ෂන සහිත සී ජින්පින්ගේ සමාජවාදය පිලිබඳ චින්තනය” ගැන නව ව්‍යස්ථාවට හුදු සංකේතාත්මක සඳහනක් නොවේ ඇතුලත්ව ඇත්තේ. එය සුවිශේෂී පිලිවෙත් ඉස්මතු කරයි: හමුදාව මත පක්ෂ පාලනයේ පරම හා නවීකරන පාලනය, සීගේ “එක් තීරුවක්, එක් මාවතක්” සඳහා වන භූමූලෝපායික ආරම්භකත්වය හා ලෝකය තුල චීනයේ තත්වය නගාසිටුවන දින වකවානු පිලිබඳ ඉලක්ක.

යථාර්තයේදී එය දේශපාලන බෙලහීනත්වය පිලිබඳ සලකුනකි. එහි අරමුන, සීගේ ඊනියා දූෂන විරෝධී ව්‍යායාමය හා “දේශපාලනිකව සදොස්” අදහස් ප‍්‍රකාශ කරන විරුද්ධවාදීන් මැඬීම තුලින් විය හැකි තමන්ගේ එදිරිවාදීන් හා විවේචකයින් පිටු දැකීමට ව්‍යවස්ථාමය වර පත‍්‍රයක් ලබා ගැනීමයි. සීසීපීය හා එහි පොලිස්-රාජ්‍ය යාන්ත‍්‍රනය මත සීගේ ග‍්‍රහනය දැඩිකර ගැනීම, එල්බී තිබෙන දේශපාලන හා සමාජ පිපිරීම් සඳහා වන සූදානමකි.

සීසීපීය හිඳ සිටින්නේ සමාජ කාල බෝම්බයක් මත බව සී හොඳින්ම දැන සිටියි. සීසීපීයේ ධනේශ්වර පුනස්ථාපන පිලිවෙත් මගින් චීන සමාජය තුල නිර්මානය කර තිබෙන අති මහත් අසමානතාව වසං කිරීමේ මංමුලාසහගත උත්සාහයක් දරමින් ඔහු, චීනය සමාජවාදය කරා ලඟාවෙමින් ඇතැයි යන අභූත කථාන්තරය ඉදිරියට ගෙන ඇත. ඔහු කොන්ග‍්‍රසයට පැවසුවේ මුඛ්‍ය අභියෝගය සමාජ අසමානතාව බවයි. එහෙත් “වෙලඳපොල බලවේගවල තීරනාත්මක ක්‍රියාකලාපය” සහතික කරන ඔහුගේ පිලිවෙත් හා දැන් ව්‍යවස්ථාවට ඇතුලත් කර තිබෙන “සැපයුම් අංශයේ ව්‍යූහාත්මක ප‍්‍රතිසංස්කරන,” ධනවතුන් හා දුගීන් අතර අගාධය පුලුල් කරනවා පමනි.

මිලියන සිය ගනනක් වන චීන කම්කරුවන් හා නාගරික, ග‍්‍රාමීය දුගීන් නියෝජනය කරනවා වෙනුවට සීසීපීය, පක්ෂය තුලත් ඉන් පිටතත් ධනවත් මධ්‍යම පන්ති කොටස් මෙන්ම ප‍්‍රකෝටිපතියන් වන සමහර සමුලු නියෝජිතයින් ද ඇතුලු තුනී ස්ථරයක් වෙනුවෙන් පෙනී සිටියි.

පක්ෂය එකට බැඳ තබන හා ධනපති පන්තියේ අවශ්‍යතාවන්ට ජනතාව යටත් කරන දෘෂ්ටිමය බදාමය වන්නේ, සීගේ, “ජාතික තිරිහන් කිරීමේ චීන සිහිනය” යන බැනරය යටතේ සංවිධානය වන, චීන ජාතිකවාදය හා විදේශික භීතිකාවයි. දැන් එය ද ව්‍යවස්ථාවට ඇතුලු කර තිබේ.

“ජාතික තිරිහන් කිරීම” යන්නෙන් සී අදහස් කරන්නේ, 19 හා 20 වන සියවස්වල චීනය විජිතකරනයට යටත් කිරීමේ සුන්බුන් අවසන් කිරීම හා ලෝකයේ “ප‍්‍රධාන කරලිය තුලට පිවිසීම” ලෙස දැක්වෙන “ප‍්‍රබල ජාතියක්” ලෙස මතුව ඒමයි. සමුලුව අවසන් වෙද්දී සී පැවසුවේ, “චීන ජනතාවට හා ජාතියට ශ්‍රේෂ්ඨ ඉදිරි අනාගතයක් ඇති” බවයි.

චීනයට වල කැපීම හා එරටට එරෙහි යුද්ධය සූදානම් කිරීම අරමුනු කර ගත්, පැහැදිලි රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික හා මිලිටරි මූලෝපායක් සහිතව, එවක ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා සිය “ආසියාවට හැරීම” ක්‍රියාවට නගමින් සිටි තතු හමුවේ 2012 වසරේ සී බලයට පත්වුනි. ට‍්‍රම්ප් එම ඇමරිකානු අරමුනුම වඩාත් විවෘතව හා ආක‍්‍රමනිකව ඉදිරියට ගෙන යමින් සිටියි. එය පිලිබිඹු කරන්නේ, වොෂින්ටනයේ ගෝලීය ආධිපත්‍යය සඳහා ඇති ප‍්‍රධාන බාධකය බීජිනය ලෙස සලකන ඇමරිකානු පාලක කවයන්හි දෘෂ්ඨියයි.

සී යටතේ ඊට ප‍්‍රතිචාර දක්වා ඇත්තේ, තමන්ගේම මිලිටරි ශක්තිය තර කිරීම වේගවත් කිරීම හා ආසියාව ද ලොව පුරා ද තම රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික අනුහස පුලුල් කිරීමට උත්සාහ කරමිනි. සීගේ ප‍්‍රමුඛ එක් තීරුවක් එක් මාවතක් යන පිලිවෙතට දැවැන්ත යටිතල ව්‍යාපෘතීන් අයත්වේ. ඇමරිකාව කොන් වන පරිදි, යුරේසියානු භූ ස්කන්ධය යා කරමින් දුම්රිය මාර්ග, වරායන් ඉදිකිරීම ඊට අයත්ය. එය විශේෂයෙන් අරමුනු කරන්නේ, යුරෝපීය බලවතුන්ට වොෂින්ටනය සමග ඇති බැඳීම් ලිහිල් කිරීම පිනිස ඔවුන් දිරිගැන්වීමය.

සී වොෂින්ටනය සමග උපාමාරු දැමීමට වෑයම් කරයි. චීනය තුල වෙලඳාමට හා ආයෝජනයට පුලුල් අවකාශ සැලසීම හා උතුරු කොරියාවට විරුද්ධව දඬුවම් සම්බාධක පැනවීම වැනි, සමහර ඇමරිකානු ඉල්ලීම් වලට සීසීපීය හිස නමා ඇති නමුත් දකුනු චීන මුහුදේ චීනය සිදු කරන ඉඩම් ගොඩකිරීම වැනි ප‍්‍රධාන ප‍්‍රශ්න වලදී යටත්වීම ප‍්‍රතික්ෂේප කරයි. සමුලුවට ඉදිරිපත් කල තම ආරම්භක වාර්තාවේදී සී, “සිය අවශ්‍යතාවන්ට වල කපන කිසිවක් ගිලීමට චීනය සූදානම් යයි කිසිවෙකුත් බලාපොරොත්තු නොවිය යුතුයයි” පැවසීය.

සී සමුලුව තුල මතුව ඇත්තේ, අඩුම තරමින් ප‍්‍රසිද්ධියේ, අනභියෝගී නායකයා ලෙසය. එහෙත් තියුනු වෙනස්කම් ඇතුවා නිසැකය. 2012දී ප‍්‍රධාන විභව විරුද්ධවාදියා වූ, ප‍්‍රධාන නගරයක් වන චොන්ග්කිංහි පක්ෂ ප‍්‍රධානී බෝ සිලායි, ගොතන ලද දූෂන චෝදනා මත පක්ෂයෙන් නෙරපා හැර නඩු විමසා සිරගත කරන ලදී. බෝ, රාජ්‍ය ව්‍යවසායන් ආරක්ෂා කිරීමට දැඩි පියවර ගැනීම ද ඇමරිකාවේ “හැරීමට” එරෙහිව දැඩි ප‍්‍රතිචාර දක්වීම වෙනුවෙන් ද පෙනී සිටියේය. බෝගේ සමීප ආධාරකරුවන් ද විරේක කල අතර චීන මිලිටරියේ බලගතු කොටස් ද විශේෂයෙන්ම දකුනු චීන මුහුදේ ඇමරිකානු ප‍්‍රකෝපකරනයන්ට එරෙහිව දැඩි පියර ගත යුතුය යන ආස්ථානය දරන බව නිසැකය.

ඒ සමගම සීසීපී යාන්ත‍්‍රනය තුල සිටින බලගතු කොටස්, වෙලඳපොල ගැති පියවර වේගවත් කිරීම ද චීන ආර්ථිකය විදේශ ආයෝජකයන්ට විවෘත කිරීම ද වෙනුවෙන් පෙනී සිටිති. සී සමග 2012දී පත්කරගත් අගමැති ලී කෙකුවාන් මේ පිලිවෙත් සඳහා පෙනී සිටින ප‍්‍රමුඛයෙකි. ඔහු 2030 දී චීනය යන ආර්ථික සැලැස්ම සකස් කිරීමට ලෝක බැංකුව සමග සමීපව වැඩකලේය. කෙසේ වුව ද පසුගිය පස් වසර තුල ලී බොහෝකොටම නිහඬව සිටියේය. සී, මූල්‍ය හා ආර්ථිකය ඇතුලත් බොහෝ ප‍්‍රතිපත්ති අංශවල කටයුතු සඳහා සිය පාලනය යටතේ ප‍්‍රධාන “කුඩා කන්ඩායම්” පිහිටුවා ඇත.

කොන්ග‍්‍රසය 24දා නිමාවට පත්වුනේ, සාමාජිකයින් 204ක් හා විකල්ප සාමාජිකයින් 172ක් සහිත නව මධ්‍යම කාරක සභාවක් පත්කර ගනිමින්ය. 25දා පැවැත්වෙන මධ්‍යම කාරක සභා සැසියේදී, දේශපාලන කමිටුවක් හා තීන්දු ගන්නා ඉහල මන්ඩලයක් තෝරා පත්කරනු ඇත. දේශපාලන කමිටුව දැනට සාමාජිකයින් 25කගෙන් සමන්විත වන අතර එහි ක්‍රියාකාරී කමිටුව සාමාජිකයින් 7න් සමන්විතය.

කමිටු සීගේ සමීප ආධාරකරුවන්ගෙන් පුරවනු ඇත. කෙසේ වුව ද සී විසින් ප‍්‍රකාශ කරන ලද නව අවධිය, සාමයේ හා ස්ථාවරත්වයේ යුගයක් නොවනු ඇත. දැඩි මතධාරී සීසීපී තන්ත‍්‍රය නිලධාරිවාදී මාධ්‍යයෙන් එකට තබාගැනීමේ උත්සාහය, අනාගත දේශපාලන කැලඹීම් වලට වේදිකාව සකස්කරනවා පමනි. පාලන තන්ත‍්‍රයේ ව්‍යායාමය, උග‍්‍ර අභ්‍යන්තර හා බාහිර අර්බුද වලින් වෙලී ගිය තත්වය හමුවේ ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත.

Share this article: