බෞද්ධ භික්ෂූන්ගේ නායකත්වයෙන් යුත් ෆැසිස්ට් නඩයක් රොහින්ගියානු සරනාගතයන්ට පහර දෙයි

පානි විජේසිරිවර්ධන විසිනි, 2017 සැප්තැම්බර් 28

මිලිටරියේ සැහැසිකම් හේතුවෙන් මියන්මාරයේ සිට ශ්‍රී ලංකාවට පලා ආ රොහින්ගියානු සරනාගතයන් පිරිසක් රඳවා සිටි ගල්කිස්සේ ආරක්ෂක නිවාසයකට පසුගිය 26 දා කඩා වැදුනු බෞද්ධ භික්ෂූන්ගේ නායකත්වයෙන් යුත් ෆැසිස්ට් මැර නඩයක්, එම සරනාගතයන්ට කුරිරු ලෙස පහර දී ඔවුන් වහාම පොලිස් අත් අඩංගුවට ගෙන රටින් පිටුවහල් කරන ලෙස ඉල්ලා ප්‍රකෝපකාරී උද්ඝෝෂනයක යෙදී ගත්හ.

කුඩා දරුවන් 16 දෙනෙකු හා ස්ත්‍රීන් 7 දෙනෙකු ඇතුලත් 30 දෙනෙකුගෙන් සමන්විත මෙම සරනාගත පිරිස එක්සත් ජනපදයේ හෝ කැනඩාවේ නැවත පදිංචි කරන තෙක්˜ ආරක්ෂාව සඳහා එහි රඳවා තිබුනේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසිනි. ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින්, පසුගිය අප්‍රේල් 30 දා, මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්කසන්තුරේ වෙරලට ආසන්න මුහුදේ බෝට්ටුවකින් ගමන් කරමින් සිටියදී ය. අධිකරන නියෝගයක් මගින් පසුගිය මාසයේ දී මානව හිමිකම් කොමිසමට භාරදෙන තෙක් ඔවුන් රඳවා තබා ඇත්තේ මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ ය.

මෙම මැර නඩය මෙහෙයවූ “සිංහල රාවය˜”සංවිධානයේ නායක අක්මීමන දයාරතන නම් වූ බෞද්ධ භික්ෂුව නරුම ලෙස කියා සිටියේ, ඔවුන් සරනාගතයන් නොව, මියන්මාරයේ බෞද්ධ භික්ෂූන් “˜කපා කොටා ඝාතනය කල ත්‍රස්තවාදීන්˜” බවයි. රැඳවුම්හලට කඩා පනින ලෙස දයාරතන කල කැඳවුමත් සමග ගේට්ටුව කඩා නිවසට ඇතුලූවූ මැරයන් සරනාගතයන්ට පහරදී එලියට ඇද දැමූහ. මේ සියල්ල සිදුවනතෙක් පොලීසිය එයට ඉඩ දී බලා සිටියේය. අනතුරුව ගල්කිස්ස පොලීසියට ගෙන ගිය සරනාගතයන් ඊට පසු දිනයේ බූස්ස රැඳවුම් කඳවුරට මාරු කෙරුනි.

උන්හිටිතැන් සියල්ල අහිමිව, තම දිවි ගලවා ගැනීම සඳහා අන් රටක සරන සොයා පැමිනෙන මෙම ගැහැනුන්, මිනිසුන් සහ දරුවන්ට ත්‍රස්තවාදී ලේබලය අලවමින් හිංසා පීඩා කල හැක්කේ මනුෂ්‍යත්වය පිලිකෙව් කරන ෆැසිස්ට් පන්නයේ උම්මත්තකයන් ට පමනකි. මෙම සරනාගතයන් වනාහි, බුරුමයේ නැතහොත් මියන්මාරයේ බටහිර ප්‍රාන්තයක් වන රකිනේ හි පරම්පරා ගනනාවක් ජීවත් වූ රොහින්ගියානු මුස්ලිම් ජන වර්ගයට එරෙහිව බුරුම පාලකයන් දිගු කාලයක් පුරා ක්‍රමානුකූලව ගෙනයන වාර්ගික නොපනත්කම්වල සහ මර්දනයේ නව උත්සන්නියක නිශ්පාදිතයකි.

1978 බුරුම ව්‍යවස්ථාවට අනුව රොහින්ගියානුවන් බුරුම පුරවැසියන් ලෙස පිලි නොගැනෙන අතර ඔවුන්ට අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු කවර හෝ සමාජ අයිතියක් හිමි නොවේ. මිලියනයකට අධික මෙම ජන වර්ගය බංග්ලා දේශයේ සිට පැමිනි නීති විරෝධී සංක්‍රමනිකයන් ලෙස බුරුම පාලකයන් විසින් සලකනු ලබයි.

“ස්වයංනිර්නය˜”සඳහා සටන් වදින රොහින්ගියානු සන්නද්ධ කන්ඩායමක් වන ඇරකන් රොහින්ගියා ගැලවීමේ හමුදාව (ඒආර්එස්ඒ) සමග සබඳතා ඇති කැරලි කන්ඩායමක් විසින් පසුගිය අගෝස්තු 24 දා බුරුම මිලිටරියට එල්ල කරන ලද කුඩා පරිමාන ප්‍රහාරයන් කීපයක් දඩමීමා කර ගනිමින් රකිනේ ප්‍රදේශය පුරා අවුන් සාන් සුකී තන්ත්‍රය විසින් උත්සන්න කොට ඇති මිලිටරි මෙහෙයුම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම්කොට ඇත්තේ “˜වාර්ගික ශුද්ධකරනය සඳහා පාඨග්‍රන්ථමය උදාහරනයක්˜”ලෙසයි.

එල්ල කෙරෙන රුදුරු මිලිටරි ප්‍රහාරයන් හමුවේ මෑතදී බංග්ලාදේශයට පලා ආ රොහින්ගියානුවන් සංඛ්‍යාව තුන් ලක්ෂය ඉක්මවයි. දිවි ගලවා ගැනීම සඳහා පලා යද්දී පවා මෝටාර් සහ මැෂින් තුවක්කු වලින් ඔවුනට වෙඩි තබා ඇත. වෙඩි තැබීම් වලින් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවා ඇති අතර ගිනි තබා විනාශ කරන ලද නිවාස සංඛ්‍යාව දහස් ගනනකි.

සිංහල-බෞද්ධ අන්තවාදීන් විසින් තම ප්‍රතිගාමී උද්ඝෝෂනය දියත් කොට ඇත්තේ එවන් සමාජ ව්‍යසනයකට මුහුන දී සිටින ජන කොටසකට එරෙහිවයි. මෙම උද්ඝෝෂනය හුදෙක් රොහින්ගියානු මුස්ලිම්වරුන් ඉලක්ක කොට ගත්තක් නොවේ. රොහින්ගියානු සරනාගත සිද්ධිය පිනුම්පිත්තක් ලෙස යොදා ගනිමින්, කලෙක සිට ලංකාව තුල ගෙනයමින් සිටින මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය නව ඉහලකට නංවා ගැනීම ඔවුනගේ අරමුනයි. සාරාර්ථයෙන් ගත්කල එවන් උද්ඝෝෂනයක අවසාන ඉලක්කය සමස්ත කම්කරු පන්තිය යි.

දයාරතන තම ප්‍රකෝපකාරී කතාව තුල මෙසේ කියා සිටියේය: “ආන්ඩුව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් අපි නීතිය අතට ගන්නවා.˜” මුස්ලිම් ජනාවාස වලට කඩාවැදී ත්‍රස්තවාදීන් සොයා ගන්නා බවටත් අවශ්‍ය දඬුවම් දෙන බවටත් ඔහු තර්ජනය කලේය. මෙය මුස්ලිම් විලෝපනයක් පිලිබඳ බලගතු අනතුරු ඇඟවීමකි.

රාජපක්ෂ තන්ත්‍රයේ ප්‍රහාරයන්ට එරෙහිව වැඩුනු මහජන විරෝධය ගසා කා, “යහපාලනය”සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බවට ශපථ වෙමින් බලයට පැමිනි සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව, එම පොරොන්දු පසෙක ලා, මෙම අන්තවාදී නඩ වලට නිදහසේ වැඩෙන්නට ඉඩ හැරියේ, කම්කරු පන්තිය වාර්ගික සහ ආගමික රේඛා ඔස්සේ ඛෙදා වෙන් කිරීම, තම ආන්ඩුවට එරෙහිව වැඩෙන පන්ති අරගල අවමංගත කොට දියකර හැරීම සඳහා ශක්‍යතම ක්‍රමය ලෙස දැක ගන්නා බැවිනි. ගල්කිස්සේ ප්‍රහාරයට පසුබිම සැකසුනේ ආන්ඩුවේ මෙම පිලිවෙත නිසා බැවින් ආන්ඩුව එයට මුලුමනින්ම වගකිව යුතුය.

බෞද්ධ අන්තවාදී සංවිධානයන්විසින් දෙමල සහ මුස්ලිම් ජනයාට එරෙහිව සිදු කරන ලද ෆැසිස්ට් පන්නයේ ප්‍රහාර අතරින් බොදු බල සේනා සංවිධානය විසින් අලුත්ගම මුස්ලිම් ජනතාවට එරෙහිව 2014 ජූනියේදී එල්ල කල ප්‍රහාරය ප්‍රධාන තැනක් ගනී. රාජපක්ෂ විසින් අනුබලය දී පෝෂනය කරන ලද බොදු බල සේනා ප්‍රහාරයෙන් අවම වශයෙන් තිදෙනෙකු මියගිය අතර සියයකට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබූහ. මෙම ප්‍රහාරයෙන් මුස්ලිම් ජනයාට හිමි කඩ සාප්පු සහ නිවාස සිය ගනනක් ගිනිබත් කෙරුනි. මේ සියල්ල සිදුවූයේ රාජපක්ෂ ආන්ඩුවේ සහ පොලීසියේ පිටුබලය සහිතව වන අතර ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකුට එරෙහිව නීතිමය පියවර නොගැනුනි.

රාජපක්ෂ සහ ඔහු වටා ගොඩනගාගෙන තිඛෙන ඊනියා ඒකාබද්ධ විපක්ෂය යලි බලයට පැමමිනීම සඳහා ගෙනයන උද්ඝෝෂනය මූලික වශයෙන්ම පදනම් කොට ඇත්තේ සිංහල ස්වෝත්තමවාදය මතයි. මුස්ලිම් විරෝධය යහමින් යොදා ගනිමින් සිටින ඔවුන් ගල්කිස්සේ ප්‍රකෝපකරනය නිහඬවම අනුමත කරයි.

අනෙක් අතට සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ මුදල් ඇමති මංගල සමරවීර සහ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න ගල්කිස්සේ ප්‍රහාරය හෙලා දකිමින් කරන ප්‍රකාශයන් කුහකය. මෙම සිංහල-බෞද්ධ අන්තවාදී නඩ හැදී වැඩී පෝෂනය වන්නට අවශ්‍ය පසුබිම සම්පාදනය කරදුන් වර්ගවාදී යුද්ධයට ඔවුන් දෙදෙනා ඇතුලු කොලඹ පාලක සංස්ථාපිතයේ සියල්ල කරබදු වූහ.

ගල්කිස්ස ප්‍රහාරයට පසුදින අරලියගහ මන්දිරයට සංඝ නායකයන් කැඳවාගත් අගමැති රනිල් වික්‍රමසිංහ ඔවුන්ට රසමුසු ආහාරයෙන් සංග්‍රහකල අතර අමරපුර නිකායේ මහානායක කොටුගොඩ ධම්මාවාස ප්‍රධාන “˜අනුශාසනාව˜”කරමින් කියා සිටියේ “˜රට පාලනය කල යුත්තේ අති ගෞරවනීය මහ නායක හිමිවරුන් ඇතුලු මහා සංඝ රත්නයේ උපදෙස්˜” මත බව සහ “˜භික්ෂූන්ට උපදෙස් දීමට ගිහියන්ට අයිතියක් නොමැති˜” බවයි. මෙම ප්‍රකාශයන් සහ බෞද්ධ භික්ෂූන් විසින් ගෙනයන වාර්ගික ප්‍රකෝපකරනයන් යටින් පවත්නේ සමාජයීය වශයෙන් වඩාත් අධිකාරිමය බලයක් තහවුරුකර ගැනීමට ඔවුනට ඇති අවශ්‍යතාවය යි.

මේ අතර, රොහින්ගියානු සරනාගතයන් ශ්‍රී ලංකාවෙන් පිටමං කරන ලෙස ඉල්ලා “සිංහල ජාතික බලය” නම් වූ තවත් අන්තවාදී සංවිධානයක්, පසුගිය 27 දා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොලඹ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක යෙදුනි. විරෝධතාකරුවෝ සුකී ගේ දැවැන්ත ඡායාරූපයක් ප්‍රදර්ශනය කරමින් බුරුමයේ “˜බෞද්ධයන් ආරක්ෂා කිරීම˜” සඳහා ඇය ගෙනයන රොහින්ගියානු සංහාරය පසසන සටන් පාඨ හඬ තැලූහ.

ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතය ලෙස කලෙක එක්සත් ජාතීන්, එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදීන් සහ ව්‍යාජ වම්මුන් විසින් ඔජ වඩවනු ලදුව නොඛෙල් සාම ත්‍යාගයෙන් ද පුදදෙනු ලැබූ සුකී ගේ ප්‍රජාතන්ත්‍රවාදයේ මානව හිමිකම් සුරැකීමේ යථා ස්වභාවය මියන්මාරයේ දැන් සිදුවෙමින් පවත්නා දෑ වලින් අනාවරනය වෙයි. මියන්මාර් මිලිටරිය රොහින්ගියානුවන්ට එරෙහිව ගෙනයන සාහසික ක්‍රියාවන් සම්බන්ධයෙන් මුනිවත රකිමින් ඒවා අනුමත කරන සුකී කියා සිටින්නේ “˜කැරලිකරුවන් ලූහුබැඳ යාමේදී පිටස්තරයන්ට හානි කිරීමෙන් වැලකී සිටින ලෙස˜” මිලිටරියට උපදෙස් දී ඇති බවයි. සුකී ගේ කතාවට පිලිතුරු වශයෙන් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය කියා සිටින්නේ සුකී සහ ඇගේ ආන්ඩුව රකිනේ හි සිදුවන අපරාධ නොපෙනෙනසේ තම “˜ඔලුගෙඩි වැල්ලේ ඔබාගෙන˜”සිටින බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියාපාන ඉන්දියාව මෙම සරනාගතයන් සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය මියන්මාරය තරමටම කුරිරුය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සැප්තැම්බරයේදී මියන්මාරයට කල සංචාරයේදී රකිනේ හි සිදු කරමින් පවත්නා මිලිටරි මර්දනය මුලුමනින්ම අනුමත කලේය. එපමනක් නොව, ඔහුගේ ආන්ඩුව බංග්ලාදේශයේ ශික් හසීනාගේ ආන්ඩුව මෙන්ම දරිද්‍රතාවෙන් දැඩි ලෙස පෙලෙන මෙම රොහින්ගියානු සරනාගතයන් බලහත්කාරයෙන් පිටමං කිරීමට පියවර ගනිමින් සිටී.

ලංකාව ගත්කල සරනාගතයන් සම්බන්ධයෙන් ඇත්තේ අන්ත ප්‍රතිගාමී වාර්තාවකි. ශ්‍රී ලංකාව වනාහි දශක තුනකට ආසන්න කාලයක් එල්ල්ටීටීඊ ඛෙදුම්වාදීන් සමග කොලඹ පාලකයන් ගෙනගිය වර්ගවාදී යුද්ධයේදී දහස් සංඛ්‍යාත සරනාගතයන්බිහිකල රටකි. වෙනත් රටවලින් එම සරනාගතයන් භාරගත් නමුදු, 1948 අංක 20 දරන ශ්‍රීලංකාවේ ආගමන සහ විගමන පනතට අනුව ශ්‍රී ලංකාවට කවර හෝ සරනාගතයෙකු භාරගත නොහැක. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම ද කල නොහැක්කකි. එපමනක් නොව මෙම ආගමන සහ විගමන නීතිවල ප්‍රතිගාමිත්වය කෙතෙක්ද යත් කවර හෝ විදේශිකයෙකුට, ඔහු හෝ ඇය ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු හා විවාහ වුනද, ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හෝ නිත්‍යවාසීභාවය ලබාගත නොහැකි වන අතර කල හැක්කේ වීසා බලපත්‍රයක් ලබා ගැනීම පමනකි.

තම දිවි බේරා ගැනීම සඳහා හෝ වෙනත් ඕනෑම අවශ්‍යතාවයක් සඳහා තමා කැමති රටක ජීවත්වීමේ සහ එම රටෙහි අනෙකුත් පුරවැසියන් සතු සෑම අයිතියක්ම භුක්ති විඳීම යමෙකු සතු මූලික ප්‍රජාතන්ත්‍රවදී අයිතියකි. මෙම අයිතිය ආරම්භයේ සිට අහිමි කෙරුනු ශ්‍රී ලංකාවේ පමනක් නොව, ධනපති ක්‍රමයේ මෙම පරිහානිගත යුගයේ දී එය ස්ථාපිතව තිබූ එක්සත් ජනපදය සහ ජර්මනිය වැනි රට වලද එය අහිමි කෙරෙමින් පවතී. මෙය වනාහි, නිශ්පාදනය ගෝලීය පරිමානව ඒකාග්‍රව පැවතියදී ජාතික රාජ්‍ය පද්ධතිය තවදුරටත් පැවතීමේ ප්‍රතිඵලයකි.

Share this article: