ලංවිම සේවකයන් වැඩ වර්ජනයක

ඩබ්ලිව්.ඒ. සුනිල් සහ නවීන් දේවගේ, 2017 සැප්තැම්බර් 15

ලංවිම උද්ඝෝෂනය

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ලංකා විදුලි බලමන්ඩලයේ (ලංවිම) කම්කරුවන් බදාදා දහවල් 12 සිට පැය 48 ක වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. තම ඉල්ලීම් වලට “යහපත් ප්‍රතිචාරයක්” නොලැබුනොත් වර්ජනය දිගටම පවත්වාගෙන යන බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය (ලංවිමඒවෘසස) ප‍්‍රකාශ කර ඇත.

ඒවෘසසය ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ විසින් පාලනය කරන ලංකා විදුලි සේවක සංගමය (ලංවිසේස) ප‍්‍රමුඛව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය (ශ්‍රීලංනිසේස) හා එක්සත් ජාතික පක්ෂය විසින් පාලනය කරන ජාතික සේවක සංගමය (ජාසේස ) ඇතුලූ සමිති 33 ක එකතුවකි.

ලංවිම කාර්මික කම්කරුවකු සසප නියෝජිතයා වෙත අදහස් දැක්වීය

වැටුප් විෂමතාවය ඉවත් කිරීම, මහජන මුදල් කොල්ලකන දුෂිතයන් ට දඬුවම් දීම, වෘත්තීය සමිති මර්දනය හා පලිගැනීම නතර කිරීම, ලංවිම සේවක අර්ථ සාධක අරමුදලේ මුල්‍ය වංචා විසඳීම, තාක්ෂනික සේවකයන්ට අවදානම් දීමනාවක් ගෙවීම සහ ජාතික වෘත්තීය පුහුනු ආයතනයේ පුහුනු වන්නන් යොදාගෙන කෙරෙන වහල් ශ‍්‍රම සූරාකෑම අහෝසි කිරීම කම්කරුවන්ගේ ඉල්ලීම් වලට ඇතුලත් වේ.

2015 ඉංජිනේරුවරුන් ඇතුලු පරිපාලන නිලධාරීන් සඳහා කල වැටුප් වැඩි කිරීමකින් පසු පරිපාලන නොවන ශ්‍රේනි හා පරිපාලන ශ්‍රේනි අතර වැටුප් පරතරය 1:6 සිට 1:9 දක්වා පුලුල් වී ඇතැයි කම්කරුවෝ කියති. අතිකාල සේවය හා දීමනා කප්පාදු කර ඇත.

මෙම පියවරවලින් තම වැටුප කප්පාදු වී ඇති බව තාක්ෂනික සේවකයෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට පැවසුවේය. “අතිකාල පැය 100 ක් පමන කලින් කලා. ෂිෆ්ට් ක‍්‍රමයක් දාලා දැන් පැය 20 කට විතර සීමා කරලා. නය, අර්ථසාධක ආදියට කැපිල අතට එන්නේ මාසෙකට රුපියල් 30,000 ක් විතර. ඒකෙන් ජීවන වියදම පිරිමහ ගන්න බැහැ.” වෙනසක් වෙතැයි බලාපොරොත්තුවෙන් “යහපාලන” ආන්ඩුවට චන්දය දුන් බවත් ඒ තත්වය තිබුනටත් වඩා නරක බව ද ඔහු කීවේ ය. ජනාධිපති සිරිසේන ප‍්‍රමුඛ පාලනයෙන් “වෙනසක් වෙතැයි” එය බලයට ගෙන ඒමට කම්කරුවන් පෙලඹවීමේ ප‍්‍රචාරය ගෙන යාමට මූලිකත්වය ගත්තවුන් අතර ජවිපෙ හා එහි වෘත්තීය සමිති ද විය.

කම්කරුවන් බිය ගන්වා වර්ජනය කඩාකප්පල් කිරීමේ තැතක් ලෙස ආන්ඩුව ලංවිම කම්කරුවන්ගේ සියලුම නිවාඩු සැප්තැම්බර් 13 සිට 20 දක්වා අවලංගු කර ඇත. එමෙන් ම, විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යංශය සප්තැම්බර් 12 වෙනිදා මාධ්‍ය ප‍්‍රකාශනයක් නිකුත් කරමින් ගැටලු ගැන විමසා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කොමිටියක් පත්කර ඇති හෙයින් වර්ජනය “අසාධාරන” බව කියා ඇත.

නිවාඩු අවලංගු කිරීම ඇතුලු ආන්ඩුවේ තර්ජනයන් නොතකා දිවයිනේ උතුරු-නැගෙනහිර දෙමල කතාකරන කම්කරුවන් ද ඇතුලූව 20,000 වැඩි කම්කරුවෝ වර්ජනයට සම්බන්ධ වීම පෙන්නුම් කරන්නේ ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව සටන් කිරීමට කම්කරුවන් අතර පවතින දැවෙන උවමනාවය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) ලංවිම කම්කරුවන්ගේ අරගලයට සිය සහයෝගය පලකරයි. ඒ සමගම, එය ගබ්සා කර දැමීමට සමිති නිලධරය දැනුවත්ව ඉටුකරන ප‍්‍රතිගාමී භූමිකාව ගැන අනතුරු අඟවයි.

ඒවෘසස වර්ජනයක් කැඳවීමට බල කෙරුනේ සිය ජීවන තත්වයන්ට හා සේවා කොන්දේසිවලට ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාර වලට එරෙහිව කම්කරුවන් අතර පවතින කැකෑරෙන කෝපය නිසාවෙනි. කම්කරුවන්ගේ විරුද්ධත්වය සමනය කිරීම පිනිස උක්ත ඉල්ලීම් මත 2015 සිට ආන්ඩුවට බලපෑම් දැමීමේ විවිධ උද්ඝෝෂන සමිති නිලධරය විසින් කැඳවුම් කල අතර වැටුප් විෂමතාවයට විරුද්ධව උසාවියේ නඩුවක් ද පවරනු ලැබ ඇත.

සමිතිවල කල් මැරීම කෙරෙහි බරපතල විරෝධයක් ජුනි 28 වෙනිදා විරෝධතා පාගමනකින් පසුව පැවති රැස්වීමේ දී කම්කරුවන් අතරින් විවෘතව ප‍්‍රකාශයට පත් විය. එහි දී රැස්වීම ඇමතු ඒවෘසස කැඳවුම්කරු සහ ලංවිසේස ප‍්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් “අනිවාර්යයෙන් මේ සටන දිනනවා. මේ නායකයෝ සියලු දෙනාම අන්තිම මොහොත වෙනකල් සහෝදරවරු එක්ක ඉන්නවා.” කියමින් කම්කරුවන්ගේ කෝපය අස්වැසීමට පුච්චානම් දෙඩවුයේය.

ඉන් පසුව, වෘත්තීය සමිති විදුලිබල ඇමති සමග පැවති සාකච්ඡා වල දී අගෝස්තු මාසය තුල දී සියලු “ප‍්‍රශ්න විසඳන” බවට දුන් පොරොන්දුවක් පිලිගත්තේය. ඇමතිගේ පොරොන්දුව පුස්සක් වූ නිසා සමිතිවලට මෙම වර්ජනය කැඳවීමට සිදු විය.

වෘත්තීය සමිතිවල මේ කාල්ගෑම හා අරගලයට එන කම්කරුවන් දුර්මුඛ කිරීම ආන්ඩුවට බලපෑම් දමා කම්කරුවන්ගේ ප‍්‍රශ්න විසඳා ගත හැකිය යන ජාතික වාදී වැඩපිලිවෙලින් තීන්දුවී ඇත.

එහෙත්, ආන්ඩුවේ ප‍්‍රහාරවලට විරුද්ධව අවශේෂ කම්කරුවන් ද බලමුලූ ගන්වන අරගලයක් සංවිධානය කරනු වෙනුවට පසුගාමී මිත්‍යාවන්ට සහ ආගමික සංවිධාන හා ධනපති පක්ෂ ඇතුලූ ප‍්‍රතිගාමී සංවිධානවලට ලංවිම කම්කරුවන් යටත් කොට ඔවුන්ගේ අරගලය පීලිපැන්වීමේ දුෂ්ට ප‍්‍රයත්නයකය වෘත්තීය සමිති යෙදීගෙන සිටින්නේ.

අරගලයේ යෙදී සිටින කම්කරුවන්ගේ පිකට් කිරීම් ඇතුලු පන්ති ක්‍රියාවන් සංවිධානය කරනු වෙනුවට සමිති නායකයන් කලේ බදාදා දහවල් කොලඹ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට නිරර්ථක “දේව කන්නලව්වක්” පැවැත්වීමය. එය ලෝක ආර්ථිකය ගෝලීයකරනය වීම තුල ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීම මගින් ප‍්‍රතිසංස්කරන දිනා ගත හැකිය යන ජාතිකවාදී ඉදිර්දර්ශනය තොරොම්බල් කරන වෘත්තීය සමිතිවල බන්කොලොත්වීමේ හා පරිහානියේ ආන්තික ප‍්‍රකාශනයකි.

වර්ජිත සේවකයන් ඇමතු රන්ජන් ජයලාල් ඉල්ලීම් ලැබෙන තුරු “සටන දිගටම” ගෙන යන බවට පුරාජේරු සහිතව කම්කරුවන් අතිශය ප‍්‍රතිගාමී සහ ප‍්‍රකෝපකාරී වැඩවලට තල්ලු කිරීමේ කතාවක් ද කලේ ය.

“තෙල් සංස්ථාවේ සටන මර්දනය කලාට ලංවිම සටන මර්දනය කිරීමට ඉඩ නොදෙන බව කී ජයලාල් එහෙම කරන්න ආවොත් ලේ හැලෙන සටනක් සිදුවන” බව ට කයිවාරු ගැසීය. ආන්ඩුවේ මර්දනය ඉදිරියේ තෙල් සංස්ථාවේ සටන පරාජය වූයේ ඇයිදැයි ජයලාල් විස්තර කලේ නැත. එය පරාජය වූයේ එහි වෘත්තීය සමිති ආන්ඩුවේ මර්දනය ඉදිරියේ දන ගසා යටත්වීම නිසාවෙනි. තෙල් සංස්ථා සමිති පෙරෙමුනේ මුදුනත අරක්ගෙන සිටින්නේ ද ජවිපෙට සම්බන්ධ ඛනිජ තෙල් පොදු සේවක සංගමය හා ශ්‍රීලංනිසේස ඇතුලු ලංවිමඒවෘසස හා සමාන සමිති පෙරමුනක් බව නොකීමට ජයලාල් පරෙස්සම් විය.

අනතුරුව ඔහු පසුදින සිට වෘත්තීය සමිති විසින් බෞද්ධ භික්ෂු ප‍්‍රභුව ඇතුලු සියලුම ආගමික නායකයන් මුන ගැසෙන බවත් කම්කරුවන් තම ගම්වලට ගොස් පලමුව ගමේ පන්සලේ හාමුදුරුවන් මුන ගැසී ඉන්පසු ප‍්‍රදේශයේ “බහු ජන සංවිධාන” සමග එකතු වී ප‍්‍රදේශ බද ලංවිම වැඩ පොලවල් වටලන ලෙසත් කම්කරුවන්ට උපදෙස් දුන්නේය. “වැඩපොලවල් වලට ඇතුලු වෙන කොට පියන් කෙනෙක් ඉඳියි උගේ කන පැලෙන්න එකක් ගහල ඇතුලට ගිහින් ඉන්ජිනේරුව ඇදල එලියට දමන්න” යයි ඔහු කම්කරුවන්ට කීවේය.

ජයලාල් කම්කරුවන්ගේ හැඟීම් ඇවිස්සීමේ මෙවන් ප‍්‍රකෝපකාරී කතා වලින් ආවරනය කරගෙන ඇත්තේ සමිතිවල බංකොලොත්කම හා ධනපති ආන්ඩුවට ගැති වැඩපිලිවෙලයි. තම පන්ති සගයන් වන අවශේෂ කම්කරුවන් වෙත හැරීම වලක්වන ජයලාල් ඇතුලු සමිති නිලධරය ලංවිම සේවකයන් හරවන්නේ කුමන “බහුජන සංවිධාන” වෙතටද?

සයිටම් විරෝධී ජනපවුර නමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂය, ව්‍යාජ වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය ඇතුලු සංවිධාන සමග ජවිපෙ එවන් පෙරමුනක් දැනට අටවාගෙන ගෙන ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා රනිල් වික්‍රමසිංහ ආන්ඩුව කෙරෙහි වැඩෙන මහජන වෛරය ගසාකමින් 2020 ආන්ඩු බලය අල්ල ගැනීම පිනිස ජයලාල්ගේ ජවිපෙ තවත් ධනපති පෙරමුනක් සඳහා එහි වෘත්තීය සමිති ඇතුලු සංවිධාන සමග ක්‍රියා කරගෙන යයි.

ලංවිම කම්කරුවන්ගේ වැටුප් ඇතුලූ ප‍්‍රශ්න බැඳී ඇත්තේ එය ප‍්‍රතිව්‍යූහගත කිරීමට ආන්ඩුව ගෙන යන වැඩපිලිවෙල සමග ය. පසුගිය ආන්ඩු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) විධාන පරිදි ලංවිම “ක‍්‍රමානුකූලව ප‍්‍රතිව්‍යුහගත කිරීම” හෙවත් එහිඇතැම් අංශ පුද්ගලීකරනය, කොන්ත‍්‍රාත් සේවා ක‍්‍රමය හඳුන්වා දීම ඇතුලු පියවර ක්‍රියාවට දැමුවේය. එය රජයේ සංස්ථා සියල්ල සම්බන්ධයෙන් ක්‍රියාවට දැමූ පියවරකි.

වත්මන් ආන්ඩුව ජාමුඅ විධාන අනුව ලංවිම ඇතුලු සංස්ථා කඩිනමින් ප‍්‍රතිව්‍යූහගත කිරීමට පියවර ගනිමින් සිටී. මෙම ආයතනවල නය බරින් හා පාඩුවලින් ආන්ඩුව අත්මිදීමේ නමින් මෙම ප‍්‍රහාරය දියත්වෙයි. එය අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීම සඳහා සමාජ අයිතීන් උදුරා ගැනීමේ පලල් වැඩපිලිවෙලක කොටසකි. සමාජ ප‍්‍රතිවිප්ලවයේ මෙම පිලිවෙත් හැම රටක් තුල ම ධනපති පාලක පන්තීන් විසින් ක්‍රියාවට දමනු ලබයි. ධනපති ආන්ඩුවලට බලපෑම් දමා එය වෙනස් කල නොහැකිය.

හමුදාව, පොලීසිය හා මැරයන් මෙහෙයවා තෙල් සංස්ථාවේ කම්කරුවන්ගේ අරගලය මර්දනය කිරීම සහ අධ්‍යාපන කප්පාදුවට එරෙහිව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් කරන උද්ඝෝෂනවලට මෘග ලෙස පහර දීම මගින් ආන්ඩුව පෙන්වා ඇත්තේ සිය ප‍්‍රතිපත්තිවලට විරුද්ධව මතුවන කවර හෝ අරගලයක් මැඩලන බවයි. නීතිරීති සම්මත කරමින් හා ආරක්ෂක හමුදා ශක්තිමත් කරමින් පොලිස් රාජ්‍ය සැලසුම් වඩ වඩා ඉස්මත්තට ගනිමින් ආන්ඩුව ඒ සඳහා දැනුවත් ව සූදානම් වෙයි.

ලංවිම සමිති අනෙකුත් තැන්වල සමිති මෙන්ම මෙම ප‍්‍රහාරයට එරහිව අරගලයක් සංවිධානය කිරීමට එරෙහි වන්නේ එය ධනපති පන්තියේ හා ආන්ඩුවේ වැඩපිලිවෙල පරාජය කිරීමේ දේශපාලන සටනක් වන හෙයිනි.

තෙල් සංස්ථාව, ලංවිම හා වරාය ඇතුලූ ශ්‍රීලංකාවේ කම්කරු පන්තියේ වර්ධනය වන අරගල ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය විසින් උසිගන්වන හා ධනපති ආන්ඩු විසින් ක්‍රියාවට දමන කම්කරු පන්තිය තම අතීත අරගල මගින් දිනාගත් සමාජ අයිතීන් වැනසීමට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල වර්ධනය වෙමින් තිබෙන පන්ති අරගලවල කොටසකි.

දේවකන්නලව් කිරීමෙන්, ආගමික සංවිධාන හා ඊනියා බහුජන සංවිධාන සමග පෙල ගැසීම නමින් ධනපති පෙරමුනු අටවා ආන්ඩුවට බලපෑම් දැමීම මගින් කම්කරුවන්ට තම අයිතීන් රැක ගැනීම හෝ දිනා ගැනීම කල නොහැකිය. ධනපති පක්ෂ වලට තමන් ගැට ගසන මෙවන් උගුල් ප‍්‍රතික්ෂේප කර කම්කරුවන් තම පන්ති ස්වාධීනත්වය තහවුරු කරගත යුතුය. කම්කරුවන්ට වෘත්තීය සමිති මගින් තවදුරටත් සිය අයිතීන් සඳහා සටන් සංවිධානය කල නොහැකි බවට ලංවිම සමිති හොඳම උදාහරනයකි.

කම්කරුවන්, වෘත්තීය සමිතිවලින් වෙන්ව තමන්ගේම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනාගා ගනිමින් ධනපති ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ සියලු අරගල ඒකාබද්ධ කිරීමට හා ඒ වටා ගම්බද දුගීන් සහ අවශේෂ පීඩිත ජන කන්ඩායම් බලමුලු ගන්වා ගැනීමට සටන් කල යුතුය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) අවධාරනය කරන්නේ කම්කරු පන්තියට ආන්ඩුවේ ප‍්‍රහාර පරාජාය කල හැක්කේ සමාජවාදී වැඩ පිලිවෙලක් ක්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම මගින් පමනක් බවයි. ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත පාදක ව එම වැඩ පිලිවෙල ඉදිරිපත් කරන සසප ගොඩනැගීමට එක්වන්න.

කියවන්න ඛනිජ තෙල් සංස්ථා වැඩ වර්ජනය පාවාදීමෙන් පසුව ශ්‍රී ලංකාවේ කම්කරුවන් සඳහා ඉදිරි මාවත

Share this article: