නියඟයෙන් විපතට පත් පොලොන්නරුව ගොවියෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරති

ගාමිනී කරුනාතිලක විසිනි, 2017 සැප්තැම්බර් 05

ආපදා කලමනාකරන මධ්‍යස්ථානයේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, නියඟය නිසා මේ වනවිට මිලියන 1.8 ක් ජනයා ඉන් විපතට පත්ව සිටිති. දිවයිනේ දිස්ත්‍රික්ක 25 න් 20 කට නියඟය බලපාන අතර කුරුනෑගල, අනුරාධපුරය, පොලොන්නරුව, මොනරාගල, යාපනය, මුලතිව්, වව්නියාව, මන්නාරම හා ත්‍රිකුනාමලය යන දිස්ත්‍රික්කවලට ඉන් වඩා වැඩි බලපෑමක් ඇතිවී තිබේ. මෙය, වසර 40 ට පසු ශ්‍රී ලංකාව තුල ඇතිවූ දරුනුතම නියඟය ලෙස සැලකේ.

නියඟය, ජන ජීවිතය හැම පැත්තකින් ම අඩාල කිරීම නිසා බරපතල දුෂ්කරතාවලට මෙම ප්‍රදේශවල ජනයා මුහුන දී සිටිති. ඔවුන්ගෙන් බහුතරය, ගම්බද දුගී ගොවීහු ය.

වරින්වර වැසි ලැබුන ද පසුගිය වසරේ සිට පවතින නියඟය නිසා එකදිගට කන්න තුනක් ගොවිතැන් අඩාල වී ඇත. නියඟය දිග්ගැස්සෙන තත්වය තුල, මේ වසරේ වී අස්වැන්න හරි අඩකින් පමන අඩුවන බවට ආන්ඩුව තක්සේරු කර තිබේ. පානීය ජලය මෙන් ම, එදිනෙදා අනෙකුත් අවශ්‍යතාවන් සඳහා ජලය සපයා ගත නොහැකි තත්වයකට ඔව්හු මුහුන දෙති. ආන්ඩුවේ ආයතන මගින් බවුසර් වලින් ජලය සැපයුවත්, එය ප්‍රමානවත් නොවන බවට විපතට පත්වූවෝ චෝදනා කරති. ලෙඩ රෝග පැතිරීම ඇතුලු බරපතල සෞඛ්‍ය ගැටලු මතු වී ඇත.

නියඟයෙන් මිනිසුන් මෙන් ම, වන සතුන් ද විපතට පත් වී ඇත. බීමට ජලය හා ආහාර හිඟකමින් සතුන් විශාල වශයෙන් මිය යන අතර ආහාර සහ ජලය සොයා ගම් වදින අලින් වගාවන්ට, මිනිසුන්ට සහ නිවාස වලට හානි පැමිනවීම නිසා ජනයා මුහුන දෙන ප්‍රශ්න තවත් උග්‍ර වී තිබේ.

නියඟය නිසා අත්හැර දමා ඇති කුඹුරක සැරිසරන ගවයින්

විපතට පත්වූවන් කෙරෙහි කෙරෙහි ආන්ඩුව දක්වන්නේ අතිශයින් ම තුච්ඡ නොතැකීමකි. ආන්ඩුවේ නොතැකීමට යුක්ති සම්පාදනයක් ලෙස, “දේශපාලන ගැටුම්, වැඩවර්ජන, ගංවතුර උවදුර හා නායයාම් වැනි අර්බුද රැසක් නිසා නියඟය පිලිබඳ සිද්ධිය යට ගියේ යැයි සිතන්නට පුළුවන” යැයි ආන්ඩුවේ හොරනෑවක් වන දිනමිණ පත්තරයේ අගෝස්තු 1 දා කතුවැකියේ ලියා ඇත. “අපට අමතක වුව ද ජනාධිපතිවරයාට මේ පිරිස අමතක වුයේ නැත. ජනාධිපතිවරයා නියඟය පවතින ප්‍රදේශ කිහිපයක නිරීක්ෂන චාරිකාවක නිරත වී..... සහන ලබාදීම සම්බන්ධයෙන් නිලධාරීන්ට උපදෙස් දී ඇත” යයි කතුවැකිය තව දුරටත් ලියා ඇත.

ජනාධිපතිගේ ඊනියා උපදෙස් පරිදි නියඟයෙන් හානියට පත් වූවන්ට ආන්ඩුවෙන් ලැබෙන්නේ, වියලි ආහාර සහ වෙනත් අත්‍යවශ්‍ය භාන්ඩ ඇතුලත් රුපියල් 5,000 ක සහන මල්ලක් හා පාලුවූ වගාවන් සඳහා අක්කරයකට රුපියල් 8,500ක සොච්චම් වන්දියකි. එය කිසිසේත් ප්‍රමානවත් නොවන බව පමනක් නොව; එය පවා බොහෝ දෙනකුට තවමත් ලැබී නැති බව ද විපතට පත් වූවෝ කියති. කුඹුරු අක්කරයක් වගා කිරීමට හා අස්වනු නෙලීමට රුපියල් 60,000කට වැඩි මුදලක් වැය වන බව ගොවීහු කියති.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ, මීගස්වැව සහ වැලිකන්ද මගුල්පොකුන යන ප්‍රදේශවල නියඟයෙන් විපතට පත් ගොවියෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට තමන් මුහුන දී සිටින දුෂ්කර කොන්දේසි විස්තර කලහ. ආන්ඩුව තමන් කෙරෙහි දක්වන නොතැකීම ගැන ඔවුන් සඳහන් කලේ බරපතල කෝපයකිනි.

මීගස්වැවේ ගොවි පවුල් 400 ක් පමන සිටිති. ඔවුන්ට වගා කිරීමට ඇත්තේ හෙක්ටයාර් එකක් හෝ ඊට මදක් වැඩි ප්‍රමානයක කුඹුරු ඉඩම් කැබැල්ලකි. එහි ගොවීන්ගේ වගාවන් පසුගිය කන්න තුනේම නියඟයට අසු වූ බව, එච්.එම්. කුලතුංග පැවසුවේය.

“රුපියල් 40,000 ක් වන්දි දෙනවා කිව්වට මෙතෙක් සතයක් වත් ලබුනෙ නැහැ. ඡන්දෙ දුන්නේ මෛත්‍රීපාලට. අපි හිතුව එයා මේ ප්‍රදේශයේ කෙනෙක් නිසා අපට වැඩ කරයි කියල. අපි ගැන කිසිම සැලකිල්ලක් නැහැ”, ඔහු පැවසුවේය.

ගොවිතැන් කටයුතු විනාශ වීමෙන් ජීවත්වීමට ඇති දුෂ්කර කොන්දේසි නිසා ගැටවර ලමයි පාසල් යාම අතහැර කොලඹ ප්‍රදේශයට ගොස් ගොඩනැඟිලි හදන තැන්වල කුලීවැඩ කරන බවත්, ගොවීන් අහල පහල ගල් වලවල්වල හෝ වෙනත් එදිනෙදා කුලී වැඩ කරන බවත් ඔහු සඳහන් කලේ ය. තරුනියන් ඇඟලුම් කම්හල් වල හෝ ගෘහ සේවයට යන බව ද ඔහු කීවේය.

දෙමල ජනතාවට එරෙහි වාර්ගික යුද්ධයේ දී බැට කෑ මෙම ප්‍රදේශවල ජනයා විරැකියාව, දරිද්‍රතාව උග්‍රවීම සහ අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් ඇතුලු අනෙකුත් සමාජ ප්‍රශ්න වලින් ද පීඩා විඳිති. අවශ්‍ය තරම් ගොඩනැගිලි, ගුරුවරු හෝ ඩෙස්, පුටු පාසල් වලට නැති බව ද ජන ජීවිතයේ බිඳ වැටීම නිසා විවිධ සමාජ විරෝධී ක්‍රියාවන්ට සහ මත්පැන් වලට ඇතැම් තරුන ජනයා ඇබ්බැහි වී සිටින බව ද කුලතුංග පැවසුවේ ය. නැගෙනහිර පලාතට මායිම් ගම්මානවූ, මීගස්වැවේ සහ වැලිකන්දේ ජනයා යුද්ධය පැවති කාලයේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ (එල්ටීටීඊ) පහරදීම් වලට ද බෙහෙවින් ගොදුරුවූහ.

“අලි එන එක වලක්වන්න විදුලි වැටක් තිබුනට ඒකෙන් පලක් නැහැ. ඒකට විදුලිය ගන්න දාන්නේ පරන බැටරි. අලි ඒකට බය නැහැ . පාරම්පරිකව හේන් ගොවිතැන් කරපු භූමි ප්‍රදේශයේ අලි වැට ගහපු නිසා කුරක්කන්, තල, අබ වගේ අතිරේක භෝග වගාවන් කරන එකත් මුලුමනින් ඇන හිටලා”,ඔහු තවදුරටත් සඳහන් කලේ ය.

ඒ.ජී. ලොකුබන්ඩා

වැලිකන්ද මගුල්පොකුනේ, ඒ.ජී. ලොකුබන්ඩා සිව්දරු පියෙකි. අලියෙක් පහරදීම නිසා එක කකුලක් ආබාධිත වී සිටින ඔහු ගොවිතැන් කටයුතු කර ගැනීමේ දුෂ්කරතාවට මුහුන දී සිටී. ජීවිකාව ගෙනයාමේ දී මුහුන දෙන දුෂ්කරතා ගැන ලොකුබන්ඩා මෙසේ විස්තර කලේ ය: “ගොවිතැන තමයි කලේ. දරුවො හතර දෙනෙක් ඉන්නව. ගොවිතැනින් ජීවත් වෙන්න අමාරු නිසා පිරිමි ලමයි තුන් දෙනා යුද්දෙ කාලේ හමුදාවට බැඳුනා. ඒ අයගෙ අධ්‍යාපනයත් අතරමඟ නැවතුනා. යුද්දෙ ඉවරවුනාට පස්සේ දොට්ට දැම්මා. තාවකාලිකව ගත්ත නිසා විශ්‍රාම වැටුපත් නෑ, වෙන දීමනාත් නෑ. දැන් ඉතින් ඒවට වග කියන්න කෙනෙකුත් නෑ. දැන් කසාදත් බැඳල ඉන්නෙ. එදිනෙදා කුලී වැඩ කරන්නෙ. කුලී වැඩත් හැමදාම නෑ, කුලී වැඩ නැතිදාට ගල්වලේ වැඩට යනවා. එතනත් දවසකට දහ දෙනෙකුට විතරයි වැඩ තියෙන්නෙ.”

දරුවන් හමුදාවට බැඳුන පසු ලොකුබන්ඩාගේ පවුලට දුන් සමෘද්ධි සහනාධාරය කපා ඇතත් ඔවුන්ගේ රැකියා අහෝසිවූවිට නැවත එය ලබා දී නැත. අබාධිත වීමෙන් පසු සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් රුපියල් 3000 ක් ලැබෙන නමුත්, ජීවත්වීමට එය කිසිසේත් ම ප්‍රමානවත් නොවන බව ඔහු පැවසුවේ ය.

නියඟය පවතින ප්‍රදේශවලට පානීය ජලය සහ වෙනත් අවශ්‍යතා සඳහා රුපියල් ලක්ෂ 43ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ලබා දී ඇති බව ආපදා කලමනාකරන අමාත්‍යාංශයේ සහන සේවා අධ්‍යක්ෂ චමින්ද පතිරන පවසා ඇතත්, පීඩාවට පත්වූවන්ට එවැන්නක් ලැබී නැති බව වැලිකන්ද ප්‍රදේශයේ ජනයා ලෝසවෙඅට සඳහන් කලහ.

බස් නැවතුමේදී හමුවූ නියඟය නිසා පීඩාවට පත්ව සිටින ගම්වැසියන් කිහිප දෙනෙක්

ගෘහනියක් වන, 26 හැවිරිදි නදීෂා ප්‍රියංගනී ප්‍රකාශ කලේ, ආන්ඩුවෙන් දෙන වතුර කඳුලක්වත් එම ප්‍රදේශයේ ජනයාට නොලැබෙන බවය. “අපි වතුර ගන්නේ සල්ලි දීල. ඒකත් දවස් දෙක තුනකට සැරයක්. වකුගඩු රෝගීන් විශාල ගනනක් මේ පැත්තෙ ඉන්නව. බොන්න පිරිසුදු වතුර ටිකක් නැහැ. මේව ගැන ඉතිං කාටද කියන්නේ? අපි වැඩ කරන කුඹුරත් අදේටයි කරන්නෙ. අයිති කාරයාට වී බුසල් තිහක් දෙන්න ඕනෑ. අස්වනු අඩු වුනොත් අපිට පාඩුව දරා ගන්න වෙනවා," යැයි ඇය පැවසුවාය.

ධනපති ආන්ඩුව සහ ජනමාධ්‍යය නියඟය, ගංවතුර වැනි ආපදා හුදෙක් ස්වභාවික ආපදා ලෙස හුවා දැක්වීමට උත්සාහ කරයි. එහෙත්, ඇත්ත වසයෙන් ම, ස්වාභාවික ආපදාවන්ගෙන් ගොවිජනතාව හෝ කම්කරු පන්තිය හා සෙසු පීඩිත ජනතාවන් පීඩාවට පත් වන්නේ, පරපුටු හා දූෂිත ධනපති පන්ති පාලනයේ ප්‍රතිවිපාකයක් ලෙසය. ආයෝජකයන් හා මහ ධනපතියන් සඳහා බදු සහන සහන ද දේශපාලනඥයන්ට විවිධාකාර වරදාන සහ වරප්‍රසාද ද ලබා දෙන ධනපති ආන්ඩු, ගොවීන්, කම්කරුවන් හෝ සෙසු පීඩිත ජනයා සම්බන්ධයෙන් දක්වන්නේ තුච්ඡ නොතැකීමකි. මනා ජල කලමනාකරනය ඇතුලු සැලසුම්ගත පොදුකාර්ය ව්‍යුහයක් තැනීමෙන් ගංවතුරෙහි සහ නියඟයෙහි බලපෑම නැති කල හැකිය, නැතහොත් අවම කල හැකිය.

ගොවිතැන් පාලුවීම, පොහොර සහනාධාර මුදල් නිසි කලට නොලැබීම, ජීවන වියදම ඉහලයාම, සිය නිෂ්පාදනවලට නිසි මිලක් නොලැබීම හා පාලුවූ වගාවන්ට දීමට පොරොන්දුවූ වන්දි මුදල් නොලැබීම නිසා ගොවීන් අතර ආන්ඩුව කෙරෙහි බලවත් කෝපයක් සහ නොසන්සුන්කමක් වර්ධනය වෙමින් පවතී.

ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) සමස්ත ලංකා ගොවි සම්මේලනය , ප්‍රගතිශීලී ගොවි සම්මේලනය ඇතුලු ගොවි සංවිධාන සියල්ලම පාහේ මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික්‍රමසිංහ සම්මුති ආන්ඩුව බලයට ගෙන ඒමට සහයෝගය දුන්හ. දැන් ඔවුන් කරන්නේ, තමන්ට එල්ලවන ප්‍රහාරවලට එරෙහිව ගොවීන් තුල වර්ධනය වෙමින් තිබෙන නොසන්සුන්කම සමනය කිරීමට ආන්ඩුවට බලපෑම් දැමීමේ උද්ඝෝෂනවල ගොවීන් කොටුකර තැබීම ය. සමස්ත ලංකා ගොවි සම්මේනය මෙම උද්ඝෝෂනවල මුදුන අරක්ගෙන සිටින අතර ජවිපෙ ප්‍රතිගාමී දේශපාලන උවමනාවන් සඳහා ගොවීන් අතර ඇවිලෙන විරෝධය ගසා කෑමට ද තැත් කරයි.

පසුගිය දශක කිහිපය තුල බලයට පත් හැම ධනපති ආන්ඩුවක් විසින් ම ගොවීන් සඳහා පැවති සොච්චම් සහනාධාර පවා ක්‍රමානුකූලව අහෝසි කිරීමට පියවර ගත් අතර කෘෂි සමාගම්වල සහ පුද්ගලික වෙලෙදුන්ගේ ග්‍රහනයට ඔවුන් ගොදුරු කර ඇත.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් මෙම ප්‍රහාරයන් තවතවත් උග්‍රකරමින් සිටියි. තමන් ගොවියෙකුගේ පුතෙකු බවත් ගොවිජනයා නගා සිටුවීමට සහ ආහාර නිෂ්පාදනයෙන් රට ස්වයං-පෝෂිත කරන බව ද ගොවීන් රැවටීම පිනිස ජනාධිපති සිරිසේන පුන පුනා කියන නමුත්, මහින්ද රාජපක්ෂ පාලන තන්ත්‍රය මෙන් ම ඔහුගේ ආන්ඩුව ද කම්කරු පන්තිය හා ගොවීන් සම්බන්ධයෙන් ක්‍රියාවට දමන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් විසින් නියෝග කර ඇති සමාජ සහනාධාර කප්පාදු කිරීමේ වැඩපිලිවෙල යි.

Share this article: