පෙරටුගාමී සමාජවාදී පක්ෂය හිටපු ජනාධිපති රාජපක්ෂගේ දක්ෂිනාංශික උද්ඝෝෂනයට පලිප්පු දමයි

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2017 සැප්තැම්බර් 03

යලි වතාවක් බලයට පැන ගැනීමට මාන බලමින් සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ මන්ත්‍රීකන්ඩායම විසින් දියත්කර ඇති දක්ෂිනාංශික ව්‍යාපාරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී කවරයක් සම්පාදනය කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ඉදිරිපත් වී ඇත. මෙම ව්‍යාජ-වාම සංවිධානය ඊට කර ගසා ඇත්තේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි විරෝධතාව දැක්වීමේ වේදිකාවට “ඒකාබද්ධ විපක්ෂය” ලෙස තමන්ව නම් කරගෙන සිටින රාජපක්ෂ කන්ඩායම ද වඩම්මා ගනිමිනි.

සරසවි සිසුන්, වෛද්‍යවරුන් හා කම්කරුවන් අතර රාජ්‍ය අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවාව පුද්ගලීකරනය කෙරෙහි බරපතල විරුද්ධත්වයක් පැනනැගී පවතී. එහෙත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) එම විරුද්ධත්වය හුදෙක් සයිටම් වසා දමන ලෙස ආන්ඩුවට බලපෑම් දැමීමේ විරෝධතාවල කොටු කර ඇත.

මේ විරෝධතා ව්‍යාපාරයේ අලුත්ම සන්ධානය නම් කර ඇත්තේ “සයිටම් විරෝධී ජන පවුර (සවිජප)” නමිනි. පෙසප අනුදැනුමෙන් අවිශිබම හා රවෛනිස මූලිකත්වය ගෙන තනා ඇති මේ සන්ධානයට ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), ජාතික හෙල උරුමය (ජාහෙඋ) හා වෘත්තීය සමිති ඇතුලු කන්ඩායම් කිහිපයක් සමග “ඒකාබද්ධ විපක්ෂය” ද උද්දාමයෙන් සම්බන්ධවී සිටියි. ජවිපෙ ධනපති සංස්තාපිතයේ පක්ෂයකි. ජාහෙඋ පසුගිය හා වත්මන් ආන්ඩුවල හවුල්කාර, සිංහල වර්ගවාදී සංවිධානයකි. සවිජප හරහා රාජපක්ෂ කන්ඩායම ඇතුලු මෙම දක්ෂිනාංශික බලවේග සමග කාන්ඩ ගැසීම යුක්තියුක්ත කිරීම වැරහැලි න්‍යායන් ගෙතීමේ කාර්යය භාරගෙන සිටින්නේ පෙසප නායකයින් ය.

අගෝස්තු 2 දා සවිජප විසින් කැඳවන ලද “ජාතික විරෝධතා දිනයේ” සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වූ රැස්වීම ඇමතූ පෙසප නායක පුබුදු ජයගොඩ මෙසේ පැවසීය. “ඛනිජ තෙල් අරගලය, තැපැල් අරගලය සහ මේ වෙනකොට ශිෂ්‍යයෝ, වෛද්‍යවරු, දෙමාපියෝ, වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සියලු දෙනා එකට සමගිව ගෙනයන අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය පෞද්ගලීකරනයට එරෙහි අරගලය යන මේ සියල්ලම [ගෙනයන්නේ] ආන්ඩුවේ ප‍්‍රහාරයට විරුද්ධවයි.”

කම්කරුවන්, සිසුන්, වෛද්‍යවරුන් හා දෙමාපියන් ගේ අරගලය රාජපක්ෂගේ ඊනියා ඒකාබද්ධ විපක්ෂය සමග කලවම් කොට පෙසප නායකයා ඊට සපයා දී ඇත්තේ ගොරතර දේශපාලන ආවරනයකි. අපකීර්තියට පත්වී සිටින රාජපක්ෂ හා ඔහුගේ “ඒකාබද්ධ විපක්ෂයේ” මන්ත්‍රී කන්ඩායම වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති වික‍්‍රමසිංහගේ ආන්ඩුව එරෙහිව වැඩෙන විරුද්ධත්වය ගසා කමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් හා මහජනයාගේ සමාජ අයිතීන් සඳහා සටන් කරන්නන් ලෙස පෙනී සිටීමට නොගන්නා උත්සාහයක් නැත. ජයගොඩ ඔවුන්ට උදවු කොට ඇත්තේ මෙම වෙස්මුහුන දමා ගැනීමටයි.

රාජපක්ෂ ආන්ඩුව දෙමල විරෝධී යුද්ධය යොදාගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තලා දැමූ බවද ජීවන හා සමාජ අයිතීන්ට පහර දුන් බවද පෞද්ගලිකරනය පෙරට ගෙනගිය බවද අලුතින් මතක් කර දීමේ උවමනාවක් නැත. එම ආන්ඩුව උතුරු නැගෙනහිර ඝාතනයන් ගෙනයන ගමන් දකුනේ අරගලවලට අවතීර්න වූ කම්කරුවන් තරුනයන් දුසිම් භාගයක් වත් මරා දැමුවේය. අඩුම ලන්සුවෙන් ගත්ත ද සයිටම් ආරම්භකලේ රාජපක්ෂයි. පෙසප නායකයින්ගේ තර්කය අනුව “ඒකාබද්ධ විපක්ෂය” දැන් සයිටම් විරෝධයට සහයෝගය දී පරන පවු සෝදාගෙන ඇත. ඔවුන්ට අනුව, සටන් පාඨයට සහාය දෙන්නේ නම් මොන ප‍්‍රතිගාමියා වුවද කම් නැත!

රාජපක්ෂ පාලනයට එරෙහිව අරගල කල කම්කරුවන් සහ ශිෂ්‍යන් දැන් ඔහුගේ කන්ඩායම තම අරගලය තුලට රිංගීම ගැන සැකයෙන් බලන බව දන්නා පෙසප ඔවුන් අතර ව්‍යාකූලත්වයක් ඇති කිරීමට තවත් විසකුරු න්‍යායන් ගොතති. සයිටම් විරෝධතාවය ගැන ජුනි 28 දා කැඳවූ මාධ්‍ය සාකච්ඡාවකදී ජයගොඩ පැවසුවේ “බලවේගවල ස්වභාවය මතින් නෙවෙයි සටන් පාඨය විනිශ්චය කරන්න ඕනෙ. සටන්පාඨය තුලින් බලමු බලවේගය දිහා. මේවා විකුනන්න එපා කියන සටන් පාඨය පැත්තෙන් ශිෂ්‍යයන් දිහා බලමු. එවැන්නකට ඉතිහාසයේ පලමුවරට එකඟවීම කියන පැත්තෙන් වෛද්‍යවරු දිහා බලමු” යනුවෙනි.

ජයගොඩ බෙහෙත් කලවම් කිරීමට දක්ෂයෙකි. ඔහු බලවේග ලෙස සඳහන් කරන්නේ ශිෂ්‍යන් සහ වෛද්‍යවරුන් නොවේ. ඔවුන් සයිටම්වලට හා අධ්‍යාපනය හා සෞඛ්‍යය පුද්ගලීකරනයට කොහොමටත් විරුද්ධය. “ඉතිහාසයේ පලමුවරට එකඟවී” පෙසප සමග පෙලගැසී සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රමුඛ දක්ෂිනාංශික කන්ඩායම් ය. එලෙස පෙසප, සයිටම් විරෝධී සටන් පාඨයේ එල්ලීගෙන තමන්ගේ දේශපාලන න්‍යාය පත‍්‍රය ක්‍රියාවට දමාගැනීමට අවතීර්න වී සිටින මෙම දේශපාලන පක්ෂවල ධනපති පන්ති ස්වභාවයම අමතක කරදැමිය යුතුය යන කුතර්කය කම්කරුවන් සහ ශිෂ්‍යයින් ඉදිරියේ තොරොම්බල් කරයි.

පෙසප නායකයන්ගෙන් ලැබෙන මෙම අනුග‍්‍රහයෙන් උද්දාමයට පත් ඒකාබද්ධ විපක්ෂයේ නායකයෙක් වන සිසිර ජයකොඩි නැමැත්තා අගෝස්තු 4 වනදා කොලඹ කොටුවේ පැවති සයිටම් විරෝධී රැලියකදී ප‍්‍රකාශ කලේ “මේ වේදිකාව පටු කරන්න එපා. පාටවලට බෙදන්න එපා. පක්ෂවලට බෙදන්න එපා. ඒකාබද්ධ විපක්ෂයේ අපි ඔබ සමග එනවා” යනුවෙනි.

එහෙත් රාජපක්ෂ තැත් කරන්නේ ආන්ඩුවේ වැඩෙන අර්බුදය මැද මහජනතාවගේ විරෝධය ගසාකා බලයට ඒමේ කොන්දේසි සකස් කර ගැනීමටයි. තමන් ආන්ඩුව පෙරලීමට සූදානම් බවට ප‍්‍රකාශ නිකුත් කරන රාජපක්ෂ, මිලිටරියේ කොටසුත්, බෞද්ධ සංස්ථාපිතයත්, බොදුබල සේනා වැනි ෆැසිස්ට් පන්නයේ සංවිධානත් පෙලගස්වාගෙන මේ ව්‍යායාමයේ යෙදෙයි. නැවත බලයට පැමිනිය හොත් රාජපක්ෂ විසින් ආපසු හැරී රුදුරු ලෙස පහර දෙනු ඇත්තේ ධනපති පන්තියේ හා ආන්ඩුවේ ප‍්‍රහාරවලට විරුද්ධව නැගී සිටින කම්කරුවන්ට, සිසුන්ට හා දුගීන්ටයි. රාජපක්ෂගේ ඉලක්කය සිරිසේන හා වික‍්‍රමසිංහ නොව මේ මහජනතාව තලා දමා ආඥාදායක පාලනයක් තහවුරු කිරීමයි.

මෙවන් දක්ෂිනාංශික බලවේගවලට සුදුහුනු ගෑමේ ඉතිහාසයක් පෙසපට ඇත. 2015 ජනාධිපතිවරනයේදී එවක පැවති රාජපක්ෂගේ ආන්ඩුවට විරුද්ධව මහජනතාව අතර වර්ධනය වූ විරෝධය සිරිසේනගේ ව්‍යාපාරය වටා ගොනු කිරීමට ඔවුන් හවුල් විය. තමන්ගේ ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ප්‍රෝඩාකාරී රඟපෑමක යෙදුනු පෙසප නායකයින් අනෙක් අතින් තර්ක කලේ “ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැගීම සඳහා ඒකාධිපති රාජපක්ෂ තන්ත‍්‍රය කෙසේ හෝ පරාජය කල යුතු” බවයි.

විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන් අතරට එම උද්ඝෝෂනය ගෙන යාම සඳහා පෙසප වේදිකා සකස් කලේ අවිශිබම මගින් ය. ඉන් එක් අවස්ථාවක් වූයේ සිරිසේනගේ ජනාධිපතිවරන උද්ඝෝෂනයේ ප‍්‍රමුඛයෙකු වූ “සාධාරන සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ” නායකයෙක් වන, කොලඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් විජේසූරිය එවක අවිශිබම කැඳවුම්කරු වූ නජිත් ඉන්දික විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වේදිකාවකට කැඳවා “ජනාධිපතිවරනයේදී ගතයුතු මග කුමක්ද?” යනුවෙන් සාකච්ඡාවක් සංවිධානය කිරීමයි.

එලෙස ක්‍රියාකල පෙසප දැන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ඒකාධිපති පියවර ගනිමින් සිටින බවට අඳෝනා නගන්නේ රාජපක්ෂට පාර කපමිනි.

පෙසපයේ මෙම ක්‍රියා කලාපය අහඹුවක් නොවේ. කම්කරුවන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල වැඩෙන තතු යටතේ පෙසප වේගයෙන් දකුනට ගමන් කරමින් සිටියි. ඔවුන් ක්‍රියාත්මකවී සිටින්නේ ධනේශ්වරයේ ප‍්‍රහාරවලට විරුද්ධව සටන් කිරීම සඳහා කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැගීමට, එම අරගලය වටා තරුනයන් හා දුගීන් රැලි කිරීමට සහ ඔවුන් සමාජවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ කිරීමට එරෙහිව ය.

පෙසපහි දක්ෂිනාංශික හැරීම්වල ප‍්‍රභවය ඇත්තේ ව්‍යාජ-වමේ ධනේශ්වර ගැති ඉහල මධ්‍යම පන්තික ස්වභාවය තුලයි. මෙම ඉහල මධ්‍යම පන්තික සංවිධාන ක්‍රියාත්මක වන්නේ කම්කරු පන්තියේ සමාජවාදී විප්ලවය වලක්වා ධනපති ක‍්‍රමය රැකීමටයි.

පෙසප ඇතුලු ව්‍යාජ වම්මු ලෝකය පුරා පුලුල් මහජනතාව මුහුන දී සිටින කප්පාදුවේ මූලය, ධනපති ක‍්‍රමයේ පද්ධතිගත අර්බුදයක් ය යන්න ප‍්‍රතික්ෂේප කරති. ඔවුන් එම ප‍්‍රහාරයේ හේතුව ලෙස දක්වන්නේ ධනපති අන්ඩුවල “නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තියයි”. ඔවුන්ට අනුව ආන්ඩුවලට බලපෑම් දැමීම හරහා එම ප‍්‍රතිපත්ති ආපසු හැරවිය හැකිය. නව ලිබරල්වාදී කප්පාදුව අහෝසිකර පැරනි ‘සුබසාධන ධනවාදයට’ හැරීම පිලිබඳ න්‍යායන් අධිරාජ්‍යවාදී රටවල පටන් පහලට ධනපති විශ්ලේෂකයන් විසින් ඉදිරිපත් කෙරෙයි. ඔවුන් මෙම න්‍යාය ඉදිරිපත් කරන්නේ ධනපති ක‍්‍රමය පෙරලා දමා සමාජවාදී ක‍්‍රමයක් තහවුරු කිරීමේ සටනට කම්කරු පන්තිය බලමුලු ගැන්වීම වැලක්වීමටයි. අර්බුද ග‍්‍රස්ත ධනපති පන්තිය සිය ලාභ පද්ධතිය රැකගැනීම සඳහා ක්‍රියාවට නගන කප්පාදු වැඩපිලිවෙල පරාජය කල හැක්කේ එම පද්ධතිය පෙරලා දැමීමේ අරගලයකිනි.

පෙසපය සහ ලෝකය පුරා ව්‍යාජ වම්මු ඉහතකී න්‍යාය තොරොම්බල් කරමින් කප්පාදු වැඩපිලිවෙල නතර කිරීමට ආන්ඩුවලට බලපෑම් දැමීමේ “පුලුල් පෙරමුනු” ගොඩනැගීම යෝජනා කරති. මෙය වනාහී කම්කරු පන්තිය ධනපති පක්ෂවලට ගැට ගැසීමේ උගුලකි. පෙසප ඒ සඳහා ප‍්‍රධාන කොටම පිනුම් පිත්ත කරගෙන ඇත්තේ සයිටම් විරෝධයයි.

සයිටම් විරෝධීන් අතර පෙරමුනට පැනගෙන සිටින ජවිපෙ වසර ගනනාවක් පුරා ධනපති ආන්ඩු බලයට ගෙන ඒමට ද ඒවායේ අන්ඩක් ලෙස ද ක්‍රියා කල සංවිධානයකි. එය රාජපක්ෂට එරෙහි මහජන විරෝධය වත්මන් සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට හරවා යැවීමට මුලුවැර යොදා උද්ඝෝෂනය කලේය.

ආන්ඩුවේ පාර්ශවකරුවෙකු ලෙස සිටින ගමන්ම විරෝධතාවයට හවුල් වී සිටින ජහෙඋහි ප‍්‍රධානියකු වන ඇමති පාඨලී චම්පික රනවක ශිෂ්‍යයන්ගේ සහ කම්කරුවන්ගේ අරගල තලා දැමීමට දැඩි නීති සහ පොලිස් මර්දනය ක්‍රියාත්මක කලයුතු බවට එලිපිටම උද්ඝෝෂනයේ යෙදෙන්නෙකි.

පෙසප, 2012 වසරේදී, “වාම විකල්පයක්” තැනීමට තමන් සමග එක්වන මෙන් සමාජවාදී සමානතා පක්ෂයට (සසප) ද ආරාධනයක් කලේය. සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස් එය ප‍්‍රතික්ෂේප කරමින් මෙසේ ලිව්වේය: “වසර 45කට අධික කාලයක් ට්‍රොට්ස්කිවාදී මුලධර්ම ආරක්ෂා කලා වූ ද කම්කරු පන්තියේ දේශපාලන ස්වාධිනත්වය සඳහා වෙහෙස නොතකා සටන් කලා වූ ද සමාජවාදී සමානතා පක්ෂය ඔබ විසින් ක්‍රියාවට නගනු ලබන ප‍්‍රතිගාමී යලි කාන්ඩ ගැසීමකට වලංගු භාවයක් සැපයීමට අපේක්ෂා නොකරයි. මේ හෙයින් සමාජවාදී සමානතා පක්ෂය ඔබේ ආරාධනය අවධාරනයෙන් ප‍්‍රතික්ෂේප කරයි.”

මෙම අනතුරු ඇඟවීම කරමින් සසප ගත් ආස්ථානය දැන් ඇස්පනාපිටම සනාථවී ඇත.

පෙසප විසින් යෝජනා කරන මෙම “වාම විකල්ප” කම්කරු පන්තියට අත්කර දෙන පරාජය පැහැදිලි කරගැනීමෙහි ලා උචිතම උදාහරනය වන්නේ ග්‍රීසියේ සිරිසා සංවිධානයේ ක්‍රියා කලාපයයි. පෙසප විසින් කලක් මහත් උත්කර්ෂයෙන් වගවර්නනා කල සිරිසා සංවිධානය ධනපති පන්තියේ පීඩාකාරී කප්පාදුවලට එරෙහිව නැගී සිටි කම්කරු පන්තියේ විරෝධය ගසාකමින් බලයට පැමිනි “වාම පෙරමුනකි.” ග්‍රීක මහජනතාව කප්පාදුවෙන් මුදනු වෙනුවට අද වන විට සිරිසාව ඔවුන් මත කප්පාදුව පටවන තන්ත‍්‍රයක් ලෙස ක්‍රියා කරයි. එවන් ව්‍යාපාර තැනීමට පෙසපය ගෙන එන යෝජනාව පිටුපස පවතින අනතුර කල්තියා වටහා ගැනීමට කම්කරුවන්ට හා තරුනයන්ට සිරිසා ආන්ඩුවේ පාවාදීම කටුක පාඩමක් සපයා දී ඇත.

පෙසපයේ පූර්වජයා වන ජවිපෙ බිහිවූයේ කම්කරු පන්තිය පිලිකෙවු කල සුලු ධනේශ්වර ව්‍යාපාරයක් හැටියටයි. 2011 වසරේදී ජවිපෙන් භේද වන මොහොතේ එහි සමහරක් දක්ෂිනාංශික පිලිවෙත් ගැන පෙසප නායකයින් “විවේචන” එල්ල කලත් පෙසප ජවිපයේ දේශපාලනයෙන් මූලධර්මාත්මකව බිඳී නැත. කම්කරු පන්තියේ විප්ලවවාදී ක්‍රියා කලාපය ප‍්‍රතික්ෂේප කරන පෙසප සමාජවාදය හා මාක්ස්වාදය ගැන විටින්විට මැත දොඩවන්නේ ඒවා සමග මොනම සම්බන්ධයක්වත් ඇති නිසා නොව කම්කරුවන් හා තරුනයන් මුලා කිරීම සඳහා ය. ජවිපෙ විසින් සිය දේශපාලන විරුද්ධවාදීන් සහ කම්කරුවන් මරා දමමින් 1987-1990 එල්ල කල ෆැසිස්ට්වාදී ප‍්‍රහාර පෙසපය විසින් අදටත් උත්කර්ෂයෙන් සමරනු ලැබේ.

ධනපති විරෝධී ඇස්බැන්දුම් පෑ නමුත්, ධනපති අර්බුදය ගැඹුරුවීමේත් කම්කරුවන්, තරුනයන් හා දුගීන් අරගලවලට ඇදී ඒමේත් කොන්දේසි තුල පෙසප වෙස් මුහුන ගැලවෙමින් තිබේ.

කම්කරුවන්ට තරුනයන්ට හා දුගීන්ට අප කියා සිටින්නේ ධනපති පන්තියේ සෑම කල්ලියකින්ම හා ව්‍යාජ වමෙන් බිඳී අව්‍යාජ මාක්ස්වාදී විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමට සසපට ද එහි තරුන සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාතන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානයට ද එක්වන ලෙසයි. ධනපති ක‍්‍රමය විසින් පටවනු ලබන ඉමහත් විනාශයට එරෙහිව සමාජවාදී විකල්පයට සටන් කල හැක්කේ එම විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමෙනි.

Share this article: