ආන්ඩුව සයිටම් ආරක්ෂා කරද්දී එය වසා දමන ලෙස ඉල්ලා වෛද්‍ය නිලධාරි සංගමය නැවතත් වර්ජනයේ යෙදෙයි

පානි විජේසිර්වර්ධන විසිනි, 2017 සැප්තැම්බර් 15

රජයේ වෛද්‍ය නිලධාරි සංගමය (රවෛනිස) විසින්, සයිටම් පිලිබඳ ජනාධිපති කොමිටියේ නිර්දේශයන්ට එරෙහිව, පසුගිය 12 වන දා සිට වැඩ වර්ජනයක් අරඹා ඇත. 15 වනදායින් අවසන් වන මෙම වර්ජනය, එක් දිනකට දිස්ත්‍රික්ක කීපය බැගින් දින හතරක් ඔස්සේ පියවර හතරකින් ක්‍රියාත්මක වෙයි. අද දින, එහි අවසාන පියවර ලෙස පුත්තලම, කෑගල්ල, ගම්පහ කොලඹ සහ කලුතර දිස්ත්‍රික්කයන් හි වෛද්‍ය වැඩ වර්ජනය පැවැත්වෙයි. මීට අමතරව “සයිටම් විරෝධී ජන පවුර” විසින් දිවයිනේ විවිධ ස්ථාන වලින් ආරම්භ කරන විරෝධතා රථ පෙලපාලි කොලඹ සවස් වරුවේ ලිප්ටන් වට රවුමට ලඟා වී අවසානයේදී රැලියක් පවත්වන බවද වාර්තා වෙයි.

රවෛනිස ලේකම් හරිත අලුත්ගේ මාධ්‍යයට පැවසුවේ, “ජනාධිපතිගේ ආස්ථානය සමග පරස්පර විරෝධී” වන සහ සයිටම් වෛද්‍ය විද්‍යාලය නීත්‍යානුකූල තත්වයට පත්කල හැකි වන නිර්දේශයන් කොමිටිය විසින් තම වාර්තාවෙන් ඉදිරිපත්කොට ඇති බවයි. ශ්‍රීලංකා වෛද්‍ය සභාව අභිබවා යන විකල්ප අධිකාරියක් පිහිටුවීමට කොමිටිය විසින් නිර්දේශ කොට ඇති බව ද අලුත්ගේ පැවසීය. අවම වශයෙන්, සයිටම් වෛද්‍ය විද්‍යාලයට නවක සිසුන් බඳවා ගැනීම වලක්වන ගැසට් නිවේදනයක් නිකුත් කිරීම පවා කොමිටියෙන් නිර්දේශ කොට නොමැති බව ද, සයිටම් ආයතනය නීත්‍යානුකූල කිරීමට කොමිටිය දරන තැතට රවෛනිස “කිසිසේත් ඉඩ නොදෙන” බව ද ඔහු තවදුරටත් පැවසීය.

කෙසේ නමුදු, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ පුද්ගලීකරන පිලිවෙතින් ගලා එන සයිටම් වෛද්‍ය විද්‍යාලය ආරක්ෂා කිරීමේ ආස්ථානය පරාජය කිරීම සඳහා ආන්ඩුවේ අනෙකුත් ප‍්‍රහාර වලින් බැටකන කම්කරුවන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල සමග ඒකාබද්ධ කෙරුනු දේශපාලන ප‍්‍රතිප‍්‍රහාරයක් සූදානම් කරනු වෙනුවට, හුදු “සයිටම් විරෝධී” අරගලයක් තුල වෛද්‍යවරු සහ සිසුන් කොටුකොට ඔවුන් ආන්ඩුවට බලපෑම් දැමීමේ විරෝධතාවයන්ට දිගින් දිගටම යොමු කිරීමේ රවෛනිස වැඩපිලිවෙල සම්බන්ධයෙන් වෛද්‍යවරු අතර කලකිරීමක් සහ විරෝධතාවයක් වර්ධනය වෙමින් පවතී.

පේරාදෙනිය ශික්ෂන රෝහලේ වෛද්‍යවරයෙකු වන නදීෂ දිසානායක ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) කතා කරමින් කියා සිටියේ, රවෛනිස සයිටම් ප‍්‍රශ්නය සලකනු ලබන්නේ ආන්ඩුව විසින් ගෙනයන සමස්ත පුද්ගලීකරන ක්‍රියාවලියේ කොටසක් ලෙස නොවන බවයි. ඔහු මෙසේ පැවසීය: “සයිටම් ප‍්‍රශ්නය, අධ්‍යාපනය හා සෞඛ්‍යය යන ක්ෂේත‍්‍ර දෙකටම අදාලයි. පහුගිය හා පවතින ආන්ඩු දෙකේම පෞද්ගලීකරන ප‍්‍රතිපත්තියයි සයිටම් තුලින් ක‍්‍රියාත්මක වෙන්නෙ.”

ආන්ඩුව පෞද්ගලීකරන ප‍්‍රතිපත්තිය වෙනස් නොකරන බවත්, රවෛනිස කරමින් සිටිනුයේ ”උගුරට හොරා බෙහෙත් කෑමක්” බවත් දිසානායක පැවසීය. ”අපි අල්ලගෙන ඉන්නෙ කොටියගේ වලිගයෙනුයි. රවෛනිස ඇතුලූ මේකෙ මූලිකත්වය ඇරන් ඉන්න අයට විරෝධය පෑම ඇරෙන්ට ප‍්‍රශ්නයට විසඳුම් හොයන තමන්ගේම ක‍්‍රමයක් නෑ. මම රවෛනිස වැඩපිලිවෙලට සම්පූර්නයෙන්ම විරුද්ධයි. ඔවුන් ගොඩනඟාගෙන ඉන්න දේශපාලන සන්ධානය මැතිවරන ඉලක්ක කරගත් එකක්. ඒකෙන් වාසි ගන්නෙ සයිටම් ආරම්භ කරන්න සම්පූර්න ඉඩ හදල දුන්න මහින්ද රාජපක්ෂගෙ කල්ලියට.”

ජනාධිපති ඇතුලු ආන්ඩුවේ නායකයින් සමග කරන ලද සෑම සාකච්ඡාවකදීම එකඟතා ඇතිකරගත් බව සංගමය පවසන නමුදු ප‍්‍රශ්නය තවත් දිගට ඇදී යාමෙන් පෙනෙනුයේ ආන්ඩුව තම ආස්ථානය වෙනස් කර නොගන්නා බව සහ රවෛනිස යේ ක්‍රියා මාර්ගයේ බංකොලොත්බව යැයි ඔහු තවදුරටත් පැවසීය. අපි වර්ජන කරනවා. මහජනතාවගෙන් බැනුම් අහනවා. දැන් සංගමය සටන අත්හැරීමේ පොටක් පාදාගන්ට උත්සාහ කරන බවක් තමයි මටනම් පෙනෙන්නේ. මේ වර්ජනය අදියර කීපයකට පවත්වන්නෙ ඒ නිසා කියලයි මට හිතෙන්නෙ.”

මාතලේ මූලික රෝහලේ වෛද්‍ය සිසිර පැවසුවේ “සයිටම් විරෝධී සටන” සම්බන්ධයෙන් ඔහු ලිපියක් ලියමින් සිටින බවයි. “සයිටම් ප‍්‍රශ්නය ධනවාදය පිලිබඳ ප‍්‍රශ්නයක්. ඒ නිසා එයට එරෙහි සටනට නව ක්‍රියා මාර්ගයක් අවශ්‍යයි.”

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) දිගින් දිගටම පෙන්වාදුන් පරිදි, සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සුරක්ෂිත කිරීමට ආන්ඩුව ගෙන තිබෙන දෘඪ ආස්ථානය බැඳී පවත්නේ, ශ්‍රී ලංකාව ද අන්තර්ගතකොට ගත් ලෝක ධනේශ්වර පද්ධතිය මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදය සමගයි.

2008 මූල්‍ය අර්බුදයෙන් ඇලලී බිඳවැටීමක් තුලින් ගමන් කරමින් සිටින ලෝක ධනේශ්වර පද්ධතිය රැකගනුවස් ලොවපුරා පාලක පන්තීහු තමා මුහුන දී සිටින අර්බුදයේ සමස්ත බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමට තීන්දු කොට ඇත. මේ අනුව, මහජන අධ්‍යාපනය සහ මහජන සෞඛ්‍යය ඇතුලු සියලු සමාජ අයිතීන් ද ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් ද උදුරා ගනිමින් රටක් රටක් පාසා පාලක පන්තීහු සමාජ ප‍්‍රතිවිප්ලවයක යෙදී සිටිති.

මේ සඳහා පාලකයන් මෙහෙයවනු ලබමින් සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයයි. ලංකාව සම්බන්ධයෙන් ගත්කල ආන්ඩුවේ මෙම ප‍්‍රතිගාමී පිලිවෙත් නිර්නය කරනු ලබන්නේ සහ ඊට විධානයන් දෙනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. පුද්ගලීකරනය ඇතුලු ආන්ඩුවේ පිලිවෙත් පරාජය කිරීම සඳහා, ආන්ඩුවටත්, ප‍්‍රහාරයන්ගේ මූලය වන ගෝලීය ධනවාදයටත් එරෙහි දේශපාලන ප‍්‍රතිප‍්‍රහාරයක් අත්‍යවශ්‍ය වන්නේ එබැවිනි.

ඉහත ප‍්‍රතිප‍්‍රහාරය සඳහා ඓතිහාසිකව නිර්නය වී ඇති පන්තිය ජාත්‍යන්තර කම්කරු පන්තියයි. ශිෂ්‍යයන් තරුනයන් සහ අවශේෂ පීඩිතයන්, කම්කරු පන්තියේ නායකත්වය යටතේ, ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත ස්වාධීනව බලමුලුගැනවීම දවසේ න්‍යාය පත‍්‍රයට පැමින ඇත.

එසේ වුවද, අධ්‍යාපනයේ පුද්ගලීකරනයට එරෙහිව සටනට පිවිස සිටින සිසුන්, තරුනයන් සහ වෛද්‍යවරුන් මෙන්ම, තම වැටුප් කප්පාදු වලට එරෙහිව වර්ජනයේ යෙදී සිටින විදුලිබල කම්කරුවන් ද, විවිධ ප‍්‍රහාරයන්ට එරෙහිව අරගලයට අවතීර්න වෙමින් සිටින අනෙකුත් කම්කරුවන් සහ පීඩිතයන් ද, මෙම ක්‍රියා මාර්ගයෙන් වලකාලීමට වෘත්තීය සමිති සහ ව්‍යාජ-වාම දේශපාලන පක්ෂ සෑම උත්සාහයක්ම ගනිමින් සිටිති.

මෙලෙස අධ්‍යාපනයේ පුද්ගලීකරනයට එරෙහි සටන අවමංගත කිරීමේ කාර්යයේ මූලික කපිතාන්වරු වී සිටින්නේ රවෛනිස, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) සහ අවිශිබම මෙහෙයවන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) යි. “සයිටම් විරෝධී සටන පුලුල් කිරීමේ” නාමයෙන් ප‍්‍රතිගාමී ධනපති පෙරමුනු යටතට සිසුන් සහ වෛද්‍යවරුන් ගාල්කොට ඊනියා විරෝධතාවන් තුල ඔවුන්ගේ සටන්කාමිත්වය දියකොට දැමීමත්, පවත්නා ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන විරෝධය ගසාකෑම සඳහා වෙනත් ධනපති කල්ලියකට අවස්ථාව සලසා දීමත්, එමගින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනයවීම වලකාලීම මොවුන් භාරගෙන ඇති කොන්ත‍්‍රාත්තුවයි.

මෙම ත්‍රිත්වයේ මූලිකත්වයෙන් ගොඩනගාගෙන ඇති “සයිටම් විරෝධී සිසු ජන පවුරේ” ප‍්‍රධානතම කථිකයන් බවට පත්ව ඇත්තේ, මහින්ද රාජපක්ෂගේ “ඒකාබද්ධ විපක්ෂයේ” සිංහල වර්ගෝත්තමවාදී හැඩිරැලයි. රාජපක්ෂ තන්ත‍්‍රය යටතේ නිදහස් අධ්‍යාපනයේ ගහලයන් ලෙස ක්‍රියාත්මක වූ මොවුන්ට නිදහස් අධ්‍යාපනයේ ආරක්ෂකයන් ලෙස සලුපිලි හඳවා නැවත බලය ලබාදී මෙම ප‍්‍රහාරයන් වඩාත් ඉදිරියට ගෙන යාමට වරපත‍්‍රයන් සකස්කර දෙන්නේ රවෛනිස, අවිශිබම සහ පෙසප යි.

වත්මන් ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇදි, 2020 දී තම ආන්ඩුවක් පිහිටුවන බවට පූච්ඡානම් දොඩවන ජනතා විමුක්ති පෙරමුන මෙහි අනෙක් සහායකයා ය.

රවෛනිස විසින්ම ඉල්ලා සිටි ජනාධිපති කොමිටියට එරෙහිව ඔවුන් විසින්ම කැඳවා ඇති වර්ජනයෙන් සහ විරෝධතාවයෙන් පෙන්නුම් කෙරෙන්නේ ඔවුන්ගේ වැඩපිලිවෙලෙහි පවත්නා ආන්තික බංකොලොත්භාවය සහ සසප සහ සසජාතශි එයට එරෙහිව ඉදිරිපත් කරන සමාජවාදී වැඩපිලිවෙලක් මත කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමේ ඉදිරි දර්ශනයෙහි නිරවද්‍යතාවයයි.

Share this article: