ඉන්දියාවේ ජාත්‍යන්තර කමිටු සහකරුවෝ එක්සත් ජනපදය මෙහෙයවන යුද ව්‍යායාමයට එරෙහිව රැස්වීමක් පවත්වති

Indian ICFI supporter’s hold meeting against US-led war drive

අපේ වාර්තා කරුවන් විසිනි , 2017 අගෝස්තු 31

ගිය අගෝස්තු 27 දා චෙන්නායි නගරයේ දී, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක)ඉන්දියානු සහකරුවෝ, ඇමරිකා එක්සත් ජනපදය මෙහෙයවන අධිරාජ්‍යවාදී යුද ව්‍යායාමය ට එරෙහිව සාර්ථක රැස්වීමක් පැවැත්වූහ. ෆේස්බුක් හරහා ද ප‍්‍රචාරය කරන ලද, දකුනු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ අගනුවර පැවැත්වුනු මෙම රැස්වීමට කම්කරුවන් සහ තරුනයන් සහභාගී වූ අතර විවිධ ඉන්දියානු නගරවලින් ද ජාත්‍යන්තරව ද අන්තර්ජාලය හරහා ද සහභාගී වූවෝ සුභ පැතුම් එවූහ.

ප්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහිව ඉන්දියාවේ උත්සන්නවන ප‍්‍රහාරය පෙන්නුම් කරමින් පොලිස් නිලධාරීහු, රැස්වීම පැවැත්වීම වලක්වන්නට උත්සාහ කලහ. රැස්වීමට පෙරදින ඇම්බතූර් කාර්මික ජනපදයේ පොලිසිය, රැස්වීම අහෝසි කිරීමට උත්සාහ කරමින්, හජාජාක සහකරුවෙක් පොලිස් ස්ථානයකට කැඳවි ය. රැස්වීමේදී ඇමරිකාවට එරෙහිව ද ඉන්දියා-චීන යුද්ධයක අනතුර පිලිිබඳව ද රැස්වීමේදී කතාකිරීමෙන් වැලකිය යුතුයයි පොලිස් පරික්ෂක විජයරගවාන් කීය.

තම නියෝග එකහෙලා ප‍්‍රතික්ෂේප කරනලද කල්හි පොලිසිය, රැස්වීම් ශාලාව භාරව සිටි තැනැත්තා මත පීඩනය යොදා, හජාජාක ආධාරකරුවන් සන්නද්ධ අරගලය වගා කරනවා ද අගමැති නරේන්ද්‍ර මෝදි ගේ ආන්ඩුව ට විරුද්ධ ද යන කරුනු ඔහු ලවා ඇස්සවීමට උත්සාහ දැරීය.

හජාජාක සහකරුවෝ තමන්ට නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමට ද ආන්ඩුව විවේචනය කිරීමට ද අයිතියක් තිබෙන බව අවධාරනය කලහ. තමන් මාඕවාදයේ ද නැක්සල්වාදයේ ද දේශපාලනයට සහ සන්නද්ධ ගරිල්ලා සටන් ක‍්‍රමයන්ට දේශපාලනිකව විරුද්ධ බව ප‍්‍රකාශ කල ඔවුහු, ට්‍රොට්ස්කිවාදීන් සටන් වදින දේශපාලන සම්ප‍්‍රදාය නම්, 1917 දී රුසියාවේ බලය අල්ලාගැනීමට කම්කරු පන්තිය මෙහෙය වූ බෝල්ශෙවිකයන්ගේ දේශපාලන සම්ප‍්‍රදාය බව පැහැදිලි කලහ.

රැස්වීම් ශාලාවට ගාස්තු ගෙවූ ලදුපත ඉදිරිපත් කල හජාජාක සහකරුවෝ, රැස්වීම පිලිබඳව පත්‍රිකා බෙදාහරිමින් ද පෝස්ටර් ප‍්‍රදර්ශනය කරමින් ද ෆේස්බුක් සහ ට්විටර් මගින් ද සති හතරක් පුරා උද්ඝෝෂනය කල බව අවධාරනය කලෝ ය. රටේ විවිධ පලාත්වල ද ජාත්‍යන්තරව ද බොහෝ දෙනෙක් ජීවමාන වීඩියෝ ධාරා මගින් රැස්විමට සහභාගී වීමට බලා සිටින බව ඔවුහු පෙන්නුම් කලෝ ය.

පොලිසිය රැස්වීම ඉදිරියට ගෙන යාමට ඉඩ දුන් නමුත් තැතිගත් වාතාවරනයක් නිර්මානය කිරීම සඳහා රැස්වීම් ශාලවට ඇතුලු විය. වට පිට බැලූ ඔවුහු ප‍්‍රධාන කථිකයාගේ ද අනෙකුත් හජාජාක සහකරු කන්ඩායමේ සාමාජිකයින්ගේ ද නම් සහ දුරකථන අංක ඉල්ලා සිටියහ. අවට කරකැවුනු එක පොලිස් ධාරියෙක්, රැස්වීම් ශාලාවට යන පඩිපෙල මුල පුටුවක ඉඳගෙන අන්තිම වෙනතුරු ඇතුලුවූ සහ පිටවූ අය නිරීක්ෂනය කලේ ය.

චෙන්නායි රැස්වීමට සහභාගීවූවන්ගෙන් කොටසක්

හජාජාක සහාකාර කන්ඩායමේ ප‍්‍රමුඛ සාමාජික සතිෂ් සයිමන් රැස්වීමේ මුලසුන දැරීය. ඔහුගේ කතාවේදී සයිමන්, ඇමරිකාව සහ එහි සහචර රටවල් අවුරදු 25 ක් තිස්සේ මධ්‍යම ආසියාවේ ද මැද පෙරදිග සහ උතුරු අප‍්‍රිකාවේ ද ගෙනගිය කොල්ලකාරී යුද්ධ ද චීනයට එරෙහිව ඉන්දු-පැසිෆික් ප‍්‍රදේශය අස්ථායි කරමින් දැන් ගෙනයන යුද සුදානම ද පැහැදිලි කලේ ය.

ගූගල් විසින් ලොසවෙඅ සහ අනෙකුත් වාමංශික, යුද විරෝධ සහ ප‍්‍රගතිශීලි වෙබ් අඩවි වලට එරෙහිව ගෙනයනු ලබන වාරනය ට සයිමන් අවධානය යොමු කලේ ය. මෙම දේශපාලන වාරනය ප‍්‍රධාන වශයෙන්ම යොමු කර ඇත්තේ ලොසවෙඅ ට එරෙහිවය. මෙම වාරනය ලොසවෙඅ තහනම් කිරීමක් මෙනි. අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට ගූගල් සමාගම එල්ල කරන ප‍්‍රහාරයට එරෙහිව ලොසවෙඅ අන්තර්ජාලය මගින් දියත් කර තිබෙන පෙත්සම ට සහාය දෙන ලෙස සයිමන් ඉල්ලා සිටියේ ය.

ඉන්දියාවේ පාලක පන්තිය කම්කරු පන්තියට එරෙහිව මුදාහැර ඇති ප‍්‍රහාරය විස්තර කල සයිමන්, තමන් වැඩකල මරුති සුසුකි කම්හලේ වහල් සේවා තත්වයන්ට අභියෝග කීරීමේ “අපරාධයට” කම්කරුවන් 13 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කල සැටි පෙන්වා දුනි. සිරගතකල මරුති සුසුකි කම්කරුවන් නිදහස් කර ගැනීම සඳහා හජාජාක විසින් අරඹා ඇති ජාත්‍යන්තර කම්කරු ආරක්ෂක ව්‍යායාමයේ වැදගත්කම ඔහු අවධාරනය කලේ ය.

“අද දින ලෝකය පවතින්නේ විනාශකාරී න්‍යෂ්ටික යුද්ධයක් පුපුරායමේ මුවවිටේ යයි” පෙන්වාදුන් ප‍්‍රධාන කථික අරුන් කුමාර්, ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්, උතුරු කොරියාවට එරෙහිව “ගින්නේ හා භීෂනයේ ප‍්‍රහාරයක්” එල්ල කිරීමට කල ප‍්‍රකෝපකාරී තර්ජනය ගෙන හැර දැක්විය.

න්‍යෂ්ටික යුද්ධයේ තර්ජනය හුදෙක් ධවල මන්දිරය අරක්ගත් ෆැසිස්ට් වර්ගයේ උන්මතකයා ගේ නිර්මානයක් නොවන බවත්, තර්ජනය පැන නගින්නේ, ඇමරිකානු සහ ගෝලීය ධනවාදයේ ආර්ථික අර්බුදය විසින් ගිනියම් කල යෝධ භූදේශපාලන ආතතීන් විසින් බවත් කුමාර් පැහැදිලි කලේ ය. වොෂිංටන්හි මිලිටරි හා දේශපාලන ප‍්‍රභූවේ බලගතු කොටස්, ආසියා පැසිෆික් ප‍්‍රදේශය තුල ඇමරිකාවේ ලෝකාධිපාත්‍යයට ප‍්‍රධාන බාධකය චීනය යයි සලකමින් ඇමරිකාව චීනයට අභියෝග කල යුතු යයි ද අවශ්‍ය නම් එරට සමග යුද වැදිය යුතු යයි ද බලකරන බව කථිකයා පෙන්වා දුන්නේ ය.

ඇෆ්ඝනිස්ථානයේ ට්‍රම්ප්ගේ නව පිලිවෙත, අවුරුදු 16 තිස්සේ අඛන්ඩ ඇමරිකානු ආක‍්‍රමනයක ට ගොදුරුවී ඇති රටකට එරෙහිව නිම්හිම් නැති ප‍්‍රචන්ඩ යුද්ධය ප‍්‍රකාශ කිරීමක් බව කුමාර් පෙන්වාදුනි.

ගෝලීය ආධිපත්‍යය පිහිටුවීමට දැරෙන උත්සාහයක දී ඇමරිකාව චීනයට ප‍්‍රතිභාරයක් ලෙස ඉන්දියාව සමග මූලෝපායික සම්බන්ධතා ගොඩනගාගෙන තිබෙන සැටි කුමාර් මෙසේ පෙන්වා දුනි: වත්මන් දේශසීමා ඝට්ටනය හුදෙක් ඉතාම අලුත් සහ පුපුරනසුලු ප‍්‍රකාශනය පමනක් වන්නාවූ ඉන්දු-චීන සම්බන්ධතාවල පිරිහී යාමේ ප‍්‍රමුඛ හේතුව වන්නේ, ඉන්දියාව චීනයට එරෙහි වොෂිංටනයේ යුද්ධ-මූලෝපායික මෙහෙයුමේ වඩවඩාත් ගැඹුරින් පැටැලී සිටීමයි.”

අගමැති මෝදි ද ඔහුගේ පාලක හින්දු අන්තවාදී භාරතීය ජනතා පක්ෂය ද යටතේ ඉනදියාව, ඇමරිකාවේ පෙරමුනු රාජ්‍යයක් බවට පත්ව තිබෙන බව දේශකයා පෙන්වා දුන්නේ ය. ඉන්දියාව සිය යුද කඳවුරු සහ වරායවල් නිරන්තර පාවිච්චිය සඳහා පෙන්ටගනයට විවෘතකර දී තිබේ. එසේම ඉන්දියාව, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප‍්‍රධාන සහචරයින් වන ජපානය සහ ඔස්ට්‍රේලියාව සමග ද්විපාක්ෂික සහ ත්‍රෛපාක්ෂික යුද්ධ මූලෝපායික සම්බන්ධතා පුලුල් කරගෙන තිබේ. වොෂිංටනය නව දිල්ලියට දෙන සහයෝගය නිසා, පකිස්තානය කෙරේ ඉන්දියාවේ යුදවාදී ආකල්පය දිරිමත්ව තිබේ.

“මෙම ප‍්‍රදේශයේ දේශසීමා ඝට්ටන ඓතිහාසිකව මුල්බැසගෙන ඇත්තේ, අධිරාජ්‍යවාදය විසින් දකුනු ආසියාව බෙදීම ද එමගින් නිර්මානය කෙරුනු ප‍්‍රතිගාමි රාජ්‍ය ව්‍යූහයන් තුල යයි කුමාර් පෙන්වා දුනි. 1947 දී ස්වාධීනතා අරගලය ජනවාර්ගික ලේ හැලීමක් තුල ගිල්වා පරාජය කිරීමට, හින්දු සහ මුස්ලිම් යන ධනපති පන්ති දෙකම අධිරාජ්‍යවාදයට සහාය දුන්හ.

චීනයට සහ රුසියාවට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද ව්‍යායාමය ට විරුද්ධ වන හජාජාක , එනමුත්, ධනේශ්වර පුනස්ථානයෙන් නිපන් මේ දෙරටේම ප‍්‍රතිගාමී ජාතිකවාදී පිලිවෙත් වලට සහය නොදෙන බව කුමාර් පෙන්වා දුන්නේ ය.

ඉන්දියාව ඩොක්ලම් දේශ සීමාවේ චීනය සමග මුහුනදී ඇති ආරවුල පිලිබඳ “සර්ව- පාක්ෂික සහානුමතියක්” ගොඩ නගාගැනීම උදෙසා භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව විසින් කැඳවනු ලැබූ නායක රැස්වීමට, ඉන්දියාවේ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ (සී.පී.එම්.) ප‍්‍රධාන ලේකම් සිතාරාම් යෙචුරි සහභාගී වූ බව සඳහන් කරමින් කුමාර්, ඉන්දියානු ස්ටැලින්වාදී සහ මාඕවාදී පක්ෂ වල ක්‍රියාකලාපය පැහැදිලි කලේය.

මෝදිගේ අනින්, ඉන්දියානු මිලිටරිය පකිස්ථානය තුලට එල්ල කල නීතිවිරෝධී හා අතිශයින්ම ප‍්‍රකෝපකාරී “මිලිටරි ප‍්‍රහාරය” අගය කරන යෝජනාවක් කේරලයේ ප‍්‍රාන්ත මන්ත්‍රී මන්ඩලයේ දී ඉදිරිපත්කොට සම්මත කර ගැනීමට කේරල ප‍්‍රධාන ඇමති හා මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කමිටු සාමාජික පිනරයි විජයන් මූලිකත්වය ගත් සැටි ද කුමාර් සිහිපත් කලේය.

කම්කරුවන් හා තරුනයන් හජාජාකට බැඳී ඉන්දියව තුල ජනතා විප්ලවවාදී සමාජවාදී පක්ෂයක් ගොඩ නැගීමට සටන් වදින ලෙස ආයාචානය කරමින් කුමාර් සිය දේශනය සමාප්ත කලේය.

Share this article: