තමන් ධනවාදය සුරකින බවට ජවිපෙ නායකයා ව්‍යාපාරිකයින්ට සහතික වෙයි

Sri Lanka: JVP leader assures business that it defends capitalism

කේ. රත්නායක විසිනි , 2017 සැප්තැම්බර් 25

ජනතා විමුක්ති පෙරමුනේ නායක හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක, ප්‍රධාන ධනපති පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සැබෑ විකල්පයක් ලෙස තම පක්ෂය පිලිගන්නා ලෙස මහ ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා ඇත.

දිසානායක එසේ ආයාචනා කලේ, ජවිපෙ විසින් බන්ඩාරනායක අනුස්මරන ජාත්‍යන්තර සමුලු ශාලාවේ පවත්වන ලද ව්‍යාපාරික නායකයින්ගේ රැස්වීම අමතමිනි. "ශ්‍රී ලංකාව සඳහා ඉදිරි මාවත, අපි ශ්‍රී ලාංකිකයින් වෙමු" යන මාතෘකාව යටතේ පැවති රැස්වීම, 2020 පැවැත්වීමට නියමිත ඊලඟ පාර්ලිමේන්තු මැතිවරනය සඳහා ජවිපෙ ආරම්භ කර ඇති උද්ඝෝෂනයේ කොටසකි.

2015 ජනාධිපතිවරනයේදී ජවිපෙ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉවත් කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේනට පිටුබලය දුන් අතර පසුව පිහිටුවන ලද එජාප-ශ්‍රීලනිප "එක්සත්" ආන්ඩු හවුලට සහාය දුන්නේ ය. කුහක ලෙස ජවිපෙ දැන් උත්සාහ කරන්නේ, ආන්ඩුව දූෂිත බව ද රටේ ආර්ථික අර්බුදය වෙනුවෙන් වගකිව යුතු බව ද කියා සිටිමින් ඉන් දුරස්ථවී ගැනීමට ය.

ජවිපෙ පිලිබඳව හෝ පෞද්ගලික අංශය කෙරෙහි එහි ආකල්පය පිලිබඳව හෝ "කිසිදු සැකයක්" තබා නොගන්නා ලෙස දිසානායක ව්‍යාපාරිකයින්ට කීවේ ය. "අපට 'අපගේම දැක්මක්' ඇති නමුත් (ජවිපෙ) ප්‍රතිපත්ති තීන්දු කරන්නේ ඔබගේ හා අපේ අදහස් එකට ගැනීමෙන් ය. රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ද ආර්ථිකයට අත්‍යවශ්‍ය වේ" යැයි ඔහු පැවසීය.

"සන්නද්ධ අරගලය" දේශනා කරමින්, කැස්ත්‍රොවාදය, ස්ටැලින්වාදය හා සිංහල වර්ගවාදයේ අච්චාරුවක් මත පාදකව ජවිපෙ පිහිටුවන ලද්දේ, 1960 ගනන්වල ය. බොහෝ කාලයකට පෙරම තම ගරිල්ලාවාදය අතහැර දමා පාර්ලිමේන්තුවට රිංගා ගෙන, ජවිපෙ කොලඹ දේශපාලන සංස්ථාපිතයට ඒකාග්‍ර විය. චන්ද්‍රිකා කුමාරතුංග හා මහින්ද රාජපක්ෂ යන ශ්‍රීලනිප නායකයින් ජනාධිපතිවරුන් කිරීම පිනිස ද ජවිපෙ ප්‍රමුඛ ක්‍රියා කලාපයක් ඉටු කලේ ය.

ජවිපෙ මන්ත්‍රීවරු, 2004 කුමාරතුංගගේ හවුල් ආන්ඩුවේ පාර්ශවකරුවන් වෙමින් ඇමතිකම් තුනක් ලබා ගත්තේ ය. දිසානයක කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන, ඉඩම් හා වාරිමාර්ග පිලිබඳ කැබිනට් ඇමති තනතුරට පත්වූයේ ය. ජවිපෙ, බෙදුම්වාදී එල්ටීටීඊයට විරුද්ධ තිස් අවුරුදු වර්ගවාදී යුද්ධයට සහාය දෙමින්, බටහිර තානාපතිවරුන්, විශේෂයෙන් ම ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන යයි.

රට මුහුනපා ඇති ආර්ථික අර්බුදයේ ප්‍රධාන අංග පහක් ඇති බව දිසානායක සැප්තැම්බර් 14දා රැස්වීමේදී කීවේ ය. ඉන් පලමුවැන්න, 1985දී රුපියල් බිලියන 120ක්ව තිබූ රටේ නය බර 2016 නොවැම්බර් වන විට බිලියන 10500ක් (ඇ.ඩො. බිලියන 68.5) දක්වා වැඩිවීම බව ඔහු පැවසීය. දෙවැනි අංගය, 2000දී දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 33ක්ව පැවති අපනයන ආදායම 2014දී සියයට 14 දක්වා පහත වැටීම ය.

තුන්වන අංගය, "රාජ්‍ය ආදායමේ කඩා වැටීම" බව දිසානායක පැවසීය. එය 1996දී දදේනි සියයට 23ක සිට 2014දී සියය11.3 දක්වා වැටී ඇත. සිව්වන හා පස්වන අංග නම්, පිලිවෙලින් රටේ නිෂ්පාදනය තියුනු ලෙස පහත වැටීම හා ආදායම් බෙදීයාමේ විෂමතාව පුලුල් වීමය.

ගෝලීය ධනවාදයේ ගැඹුරුවන අර්බුදය හා මේ "අංග" අතර සම්බන්ධය නොදැක්වූ දිසානායක, ඒ වෙනුවට අවධාරනය කලේ, ශ්‍රී ලංකාව මුහුනපා සිටින දුෂ්කර තත්වය, රටේ පිහිටීම, එහි ස්වාභාවික හා මානව සම්පත් හා ඉතිහාසය සැලකිල්ලට ගැනීමෙන් පමනක් විසඳිය හැකි බවය. තෝරාගත් කර්මාන්ත සඳහා පමනක් විදේශ ආයෝජන පිලිගන්නා බවත් නය ගැනීම සංවර්ධන කටයුතු සඳහා පමනක් බවත් පවසමින්, ඔහු අනාගත ජවිපෙ ආන්ඩුවක් ප්‍රතිගාමී ආරක්ෂනවාදී පියවර ගන්නා බව ඇඟවුම් කලේ ය.

යථාර්තය නම්, මෙරට අර්බුදය ගෝලීය ධනවාදයේ උග්‍ර අතට හැරෙමින් තිබෙන බිඳ වැටීමෙන් වර්ධනය වී ඇත, යන්න යි. රුදුරු කප්පාදු පියවරයන් ද ඇතුලු ආන්ඩුවේ ආර්ථික න්‍යාය පත්‍රය නිර්දේශ කරන්නේ කොලඹදී නොව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුඅ) විසිනි. තම "අපේ දැක්ම" වැඩසටහනෙන් පොරොන්දු වන ජාත්‍යන්තර ආයෝජකයින් සඳහා බදු සහන හා රාජ්‍ය ව්‍යවසායන් වානිජ්‍යකරනය සඳහා පෙනී සිටිමින් ජවිපෙ දැනටමත් ඇඟවුම් කර ඇත්තේ, ජාමූඅහි කම්කරු-විරෝධී පියවරයන් සඳහා වන එහි සහයෝගය යි.

තම භාන්ඩ අපනයන ප්‍රසාරනය කිරීමට අවශ්‍ය තරම් සම්පත් මෙරටට නොමැති නමුත්, ගෝලීය සංක්‍රමනික ශ්‍රම වෙලඳපොලේ විශාල පංගුවක් හිමිකර ගැනීමෙන් අපනයන ආදායම වැඩිකර ගැනීමේ හැකියාව ගැන දිසානායක රැස්වීමේදී පැවසීය.

අවශ්‍ය වන්නේ, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩාවලට ආන්ඩුව කරන වියදම් වැඩි කිරීම මගින් නිපුන ශ්‍රම හමුදාවක් නිර්මානය කිරීම බව ඔහු වැඩිදුරටත් පැවසීය. ඔහු අවධාරනය කලේ, මෙම ඉදිරිදර්ශනයේ අරමුන "ගෘහ සේවිකාවන් වැනි අඩු ,වැටුප් සහිත රැකියා" බිහිකිරීම නොව, අනෙකුත් රටවල් සමග තරඟකාරී ලෙස ඉහල වැටුප් ගෙවන වෘත්තිකයින් සම්පාදනය කිරීම බවයි.

එසේම ජවිපෙ නායකයා, ජනගහනයෙන් සියයට 43ක් දිනකට ඩොලර් දෙකකින් පමනක් ජීවත් වන බව පෙන්වා දෙමින්, රටෙහි පවතින ආදායම් විෂමතාව ගැන තම මහ ව්‍යාපාරික ශ්‍රාවකත්වයට අනතුරු ඇඟවීය. මෙම සමාජ ධ්‍රැවාන්තගතවීම මගින් නිර්මානය කරනු ඇති කුමන හෝ අනාගත සමාජ හා දේශපාලන පිපිරීම් මැඬීම පිනිස පක්ෂය ක්‍රියා කරනු ඇති බවට මහව්‍යාපාරිකයට සහතික වීම මේ ප්‍රකාශයන්හි එල්ලය යි.

සිය 2020 මැතිවරන ව්‍යාපාරයේ කොටසක් ලෙස, ජවිපෙ ප්‍රසිද්ධ රැස්වීම් දුසිම් ගනනක් පවත්වනු ලැබුව ද මහව්‍යාපාරිකය වෙනුවෙන් ඔවුන් දෙන සහතිකය ගැන නිහඬව සිටියේ ය. "ගමට දිරියක් -රටට බලයක්" යන සටන් පාඨය යටතේ ගෙන යන ජවිපෙ උද්ඝෝෂනය පුම්බා ඇත්තේ කලින් පැවති ආන්ඩුවේ, දූෂනය වංචාව හා අල්ලස් ගැනීම් ද වත්මන් ආන්ඩුවේ දැවැන්ත මූල්‍ය මගඩි ද හෙලා දැකීමේ ජනතාවාදී හඬතැලීම් වලිනි.

"අපේ රටේ දේශපාලනය ලාභ ගරන ව්‍යාපාරයක් බවට පත්ව ඇත. අප ඔබට සහතික වන්නේ, ( අනාගතයේ බිහිවන ජවිපෙ ආන්ඩුවක්) දේශපාලනය මහජන සේවාවක් බවට පත්කරන බවයි," දිසානායක රැස්වීමක් අමතා පැවසීය. තවත් අවස්ථාවක ඔහු වාචාල ලෙස ප්‍රකාශ කලේ, "අපි ආන්ඩුවක් පිහිටුවමු. අපගේ ආන්ඩුවක් යටතේ පාලකයින් ජනතාව ලබනවාට වැඩියෙන් කිසිවක් ලබාගන්නේ නැති බවට ඔබට සහතික විය හැකිය."

"පිරිසිදු පක්ෂයක්" ලෙස පෙනී සිටිමින් ජවිපෙ ගෙන යන දූෂන විරෝධී කයිවාරුව, සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහිව ආන්ඩුව එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව නැගෙන මහජන විරෝධය, පාර්ලිමේන්තු මාවතට හරවා කොටු කිරීමේ උත්සාහයක් පමනි. දිසානායක මෑතකදී සිලෝන් ටුඩේ පත්තරයට පවසා තිබුනේ, සිය පක්ෂය, "වෘත්තිකයින්, මාධ්‍යවේදීන්, ගොවීන් හා ධීවරයින් ඇතුලු සිවිල් සංවිධාන" සමග එක්ව පුලුල් පෙරමුනක් සංවිධානය කරන බවයි.

ජවිපෙ නායකයින් සිතන්නේ, කම්කරුවන්, දුගීන් හා තරුනයින් දේශපාලන අමතකවීමේ රෝගයකින් පෙලෙන බවයි. සංස්ථාපිතයේ පක්ෂ හා කන්ඬායම් සමග නිමක් නැතිව අපකීර්තිමත් "පෙරමුනු" ගැසීමට මුල්වූ දිසානායකගේ පක්ෂය, බලයට පත් ආන්ඩු විසින් ජනතාවගේ සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කල පුලුල් පරිමානයේ ප්‍රහාරයන්ට සෘජුවම වගකිව යුතුය.

2015 මැතිවරනයේදී රාජපක්ෂ ජනාධිපති තනතුරෙන් ඉවත් කර, සිරිසේනගේ ඊනියා " යහ පාලන ව්‍යාපාරය" බලයට පත්කල තන්ත්‍ර මාරු මෙහෙයුම තුල ජවිපෙ, ප්‍රමුඛ භූමිකාවක් ඉටු කලේය.

මෙය දූෂනය පිටුදැකීම හෝ ජීවන තත්වයන් නගාසිටුවීම සමග කිසිත් සම්බන්ධයක් නැති, චීනයට විරුද්ධ ඇමරිකාවේ ආර්ථික හා මිලිටරි මූලෝපායික මෙහෙයුම් සමග කොලඹ පාලනය පෙලගස්වා ගැනීමට වොෂින්ටනය දරන උත්සාහයේ කොටසකි.

සිරිසේන බලයට පත්වී දින පහකට පසු දිසානායක, කැබිනට්ටුවට උපදෙස් දීම සඳහා ජාතික විධායක කමිටුවක් පිහිටුවන ලෙස ඉල්ලමින් ප්‍රකාශයක් නිකුත් කලේය. අනෙකුත් පක්ෂවල ද සහාය ලබාගනිමින් ජවිපෙ අවධාරනය කලේ, එම විධායක කමිටුව "ජනාධිපති හා අගමැති යටතේ තැබිය යුතු" බවය.

දිසානායක, දෙමල හා මුස්ලිම් පක්ෂ නායකයින් ද විවිධ රාජ්‍ය-නොවන සංවිධාන හා ව්‍යාජ වම්මුන් සමග එක්ව මෙම නව ව්‍යාපෘතියට ඇතුල් වෙමින්, මාස හතරක් තිස්සේ, නව ඇමරිකානු ගැති තන්ත්‍රය තහවුරු කිරීමට අවශ්‍ය තීරනාත්මක දේශපාලන සහාය ලබා දුන්නේ ය.

කම්කරුවන්ගේ හා තරුනයින්ගේ ඇස් වලට වැලි ගැසීමේ අටියෙන්, ජවිපෙ, තවමත් "මාක්ස්වාදයට" හා "සමාජවාදයට" තමාගේ යම් බැඳීමක් තිබෙන බවට ව්‍යාජ ලෙස මවාපායි. එහි නියමුවා පුවත්පතේ සෑම පිටුවක්ම පාහේ මාක්ස්ගේ, එංගල්ස්ගේ හෝ ලෙනින්ගේ උපුටා දැක්වීම් වලින් සරසා ඇත.

චීනය, වියට්නාමය, ලාඕස්, උතුරු කොරියාව හා කියුබාව "සමාජවාදී රටවල්" යයි විකාර සහගතව ප්‍රකාශ කරන ජවිපෙ, ඒවා ධනවාදයට විකල්ප ලෙස ගොඩනගා ඇතැයි ද කියා සිටී. මේවා ධනපති ආර්ථිකයන් ය. පැරනි ස්ටැලින්වාදී නිලධරයේ ඉතිරි පහදු විසින් පාලනය කරන මෙම රටවල ආන්ඩු, ජාත්‍යන්තර ආයෝජකයින්ගේ ලාභ ශ්‍රම කඳවුරු බවට එම රටවල් පත්කර තිබේ.

මෙම රටවල් "සමාජවාදී" යැයි පැවසීම, හුදෙක් දේශපාලන ව්‍යාකූලත්වය වැපිරීමක් පමනක් නොව, ජවිපෙ ද ඒ ආකාරයටම, ලාභ තරකරමින් හා තමන් සූරාකනු ලැබීමට එරෙහි කම්කරුවන්ගේ ඕනෑම විරෝධයක් නිර්දය ලෙස මඩිමින් ආයෝජකයින් දිරිගන්වන බවට, මහ ව්‍යාපාරිකයට හා ජාත්‍යන්තර ප්‍රාග්ධනයට නිකුත් කරන පනිවිඩයක් ද වේ.

 

කතුවරයා පහත සඳහන් ලිපි ද කියවන ලෙස නිර්දේශ කරයි:

ශ්‍රී ලංකාව: ජවිපෙ නායකයා පුද්ගලීකරනයට සහයෝගය පල කරයි
[2017 අගෝස්තු 27]

ශ්‍රී ලංකාව: ජවිපෙ මැතිවරන ප්‍රකාශනය මහා ව්‍යාපාරිකයට කිට්ටු කරයි
[2017 අගෝස්තු 4]

Share this article: