සම්බාධක වලට ප‍්‍රතිචාර වශයෙන් උතුරු කොරියාව මිසයිලයක් අත්හදා බලයි

North Korea tests missile in response to sanctions

ජේම්ස් කෝගන් විසිනි, 2017 සැප්තැම්බර් 15

අද උදෑසන උතුරු කොරියානු පාලනය උතුරු ජපානයේ හොකයිඩෝ දිවයිනට ඉහලින් අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් විදිනු ලැබූවේය. ජපාන ආන්ඩුව නිකුත් කල තොරතුරු වලට අනුව මිසයිලය විදිනු ලැබුවේ උතුරු කොරියාවේ අගනුවර වන පියොංයෑනය අසලිනි. එය ශාන්තිකර සාගරයට වැටීමට පෙර කිලෝ මීටර් 3400ක් දුර ගමන් කර තිබුනි.

පෙනෙන පරිදි මිසයිලය විදුනු ලැබුවේ, ඇමරිකාව සමග එකතුව රුසියාව හා චීනයත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයේ අනෙකුත් සාමාජික රටවලුත් උතුරු කොරියාවට එරෙහිව අලුත් සම්බාධක පැනවීමට එකට එක කිරීමක් ලෙසය.

සම්බාධක පනවනු ලැබුනේ, මෙතෙක් උතුරු කොරියාව විසින් අත්හදා බලන ලද දරුනුම න්‍යෂ්ටික බෝම්බයට ප‍්‍රතිචාර වශයෙනි. ඒවා ට‍්‍රම්ප් ආන්ඩුව බලාපොරොත්තු වුන තරම් දුර ගියේ නැති නමුත් ඉන් රට මුහුනපා සිටින උග‍්‍ර හුදෙකලාව තවත් තියුනු කලේය.

උතුරු කොරියාවට තෙල් මිලට ගැනීමේ හැකියාව සීමා කර ඇති අතර ගෑස් ආනයන මුලුමනින්ම ඇනහිට ඇත. එරට යපස්, ගල් අඟුරු, ඊයම් හා මත්ස්‍ය ආහාර අපනයන තහනමට අමතරව දැන් රෙදිපිලි නිර්යාත හා විදේශයන්ට කම්කරු ශ‍්‍රමය කොන්ත‍්‍රාත් දීම තහනම් කර ඇත.

උග‍්‍ර කෙරෙන ආර්ථික පීඩනයට සරිලන පරිදි මිලිටරි තර්ජන ද ඉහල නැග තිබේ. දකුනු කොරියානු ආන්ඩුව මේ සතියේ, උතුරු කොරියාවට රිංගා එරට නායක කිම් ජොන් උන් හා අනෙකුත් ඉහල පෙලේ දේශපාලන හා මිලිටරි නායකයින් ඝාතනය කිරීම එකම අරමුනකොටගත් විශේෂ මිලිටරි බලකායක් ගොඩනැගීම ගැන විවෘතව සාකච්ඡා කලේය. එසේම දකුනු කොරියාව. ඝාතන මෙහෙයුම් සඳහාම සැලසුම් කර ඇති සූක්ෂම කෲස් මිසයිලයක් අත්හදා බැලීය.

ඊටත් වඩා ප‍්‍රකෝපකාරී වන්නේ, දකුනු කොරියාවේ විපක්ෂ දේශපාලඥයින් කන්ඩායමක්, ඇමරිකානු න්‍යෂ්ටික අවි රට තුල යලි ස්ථානගත කරන ලෙස “ඉල්ලා සිටීමට” ජනාධිපති මූන් ජේ යින්ට බලපෑම් කරන මෙන් ට‍්‍රම්ප් ආන්ඩුවෙන් ඉල්ලීම පිනිස 14දා වොෂින්ටනයට පැමිනීමයි.

ඇමරිකානු මිලිටරිය 1991දී කොරියානු අර්ධද්වීපයෙන් න්‍යෂ්ටික ආයුධ ඉවත්කර ගන්නා ලදී. උතුරු කොරියාව හෝ අන් කුමන රටක් හෝ ගොඩබිම සිට නැතිනම් මුහුදේ සිට දවා හලුකර ලීමට පෙන්ටගනයට ඕනෑවටත් වඩා හැකියාව ඇත. මිසයිල් අත්හදාබැලීම සිදුවන දවස් දක්වා ඇමරිකානු ආරක්ෂක ලේකම් “පිස්සු බල්ලා” මැටිස්, ඇමරිකානු මිඩ් වෙස්ට්හි න්‍යෂ්ටික මිසයිල් විදින අටලු නිරීක්ෂනයේ යෙදුනි. ගුවනේ සිට න්‍යෂ්ටික බෝම්බ හෙලන දිගු දුර යානා මෙහෙයුම් කටයුතු බාර ගුවන් හමුදාවේ ජෙනරාල් ජොන් හයිටන් මාධ්‍යවේදීන් හමුවේ කයිවාරු ගැසුවේ, උතුරු කොරියාවෙන් එල්ලවන කුමන හෝ ප‍්‍රචන්ඩත්වයකට ඇමරිකාවේ ප‍්‍රතිචාරය “එරට සමස්ත ජනගහනයම වනසා දැමීම” බව පවසමිනි.

ජපානය හා ඕස්ට්‍රේලියාව යන ආසියාවේ ප‍්‍රධාන ඇමරිකානු සහචරයින් සිතිය හැකි පරිදිම උතුරු කොරියාවේ අලුත්ම අත්හදාබැලීම් හෙලා දුටුවේය. ජපාන ආන්ඩුව එය “අන්ත ප‍්‍රකෝපකරනයක්” ලෙස හැඳින්වීය. ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් උතුරු කොරියාවට චෝදනා කලේ, එම හැසිරීම “අන්තරාදායක, ඉවබව නැති, සාපරාධී ක්‍රියාවක්” ලෙසය. පසුව ටර්න්බුල්, “කිම් ජොන් උන් එක්සත් ජනපදයට හෝ එහි මිත‍්‍ර රටකට පහර දෙමින් යුද්ධයක් පටන් ගත්තොත්, ඔහු සියදිවි නසාගන්නා ලිපියකට අත්සන් තැබුවා වනු ඇත. එය ඔහුගේ ආන්ඩුවේ අවසානය වනු ඇත. ලක්ෂ ගනනක් මිය යනු ඇත.” යයි පැවසීය.

අලුත්ම වර්ධනයන් පිලිබඳව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් “දැනුවත්” කරන ලද බව වාර්තා විය. මිසයිල් අත්හදා බැලීමට රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්ගේ ආරම්භක ප‍්‍රතිචාරය ලෙස, සෘජුවම චීනය හා රුසියාව ඉලක්ක කරමින්, දෙරටම “සෘජුව කටයුතු කල” යුතු බව අවධාරනය කලේය. ඔහු පැවසුවේ චීනය එරට තෙල් වලින් වැඩි කොටස සපයන බවත් රුසියාව උතුරු කොරියාවේ කොන්ත‍්‍රාත් කම්කරුවන් වැඩිවශයෙන්ම යොදාගන්නා රට බවත්ය.

අද දිනයේ නිව් යෝර්ක්හිදී තවත් හදිසි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩල රැස්වීමක් පැවැත්වෙයි. ටිලර්සන්ගේ ප‍්‍රකාශයෙන්, උතුරු කොරියාවට එරෙහි පූර්න ආර්ථික සම්බාධක පැනවීම ක්‍රියාත්මක කිරීම සඳහා නාවික අවහිර කිරීම් යොදාගත යුතු බවට ඇමරිකාව චීනයට හා රුසියාවට කරන බලපෑම් ඉහල නැංවිය යුතුයයි අදහස් කෙරේ.

වොෂින්ටනය හා එහි සහචරයෝ, දැනටමත් කොටුවී සිටින උතුරු කොරියානු තන්ත‍්‍රයට බේරී යා හැකි එකම මග, ඇමරිකාවේ ඉල්ලීම් වලට මුලුමනින්ම යටත්වීම බව ඒත්තු යන තෙක් එය බිත්තියට හේත්තු කිරීමට කටයුතු කරති. අවසන් විග‍්‍රහයේදී මිසයිල් විදීම හා න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීම, කිම් ජොන් උන් වටා සිටින ප‍්‍රතිගාමී, ජාතිකවාදී කල්ලිය, තමන්ගේම බේරීම ද ඇතුලු කේවෙලයක් සඳහා වඩා හොඳ කොන්දේසි වෙනුවෙන් ක්‍රියාවට නගන්නකි.

හෑම පාර්ශවයක්ම මිලිටරි බලය, උපරිම සූදානමෙන් තබා ඇත. උතුරු හා දකුනු කොරියාවන් අතර දේශසීමාවේ සිදුවීමකින් මහා පරිමානයේ යුද්ධයක් ඇවිල යාමේ හැකියාව බැහැර කල නොහේ.

උතුරු කොරියාවෙන් එල්ල විය හැකි “ප‍්‍රහාරයක්”ගැන නිරන්තරව කෙරෙන කථා, ඇමරිකාව හා දකුනු කොරියාව, ජපානය හා ඔස්ට්‍රේලියාවේ ද පිටුබලය සහිතව දැවැන්ත පලමු ප‍්‍රහාරය එල්ල කිරීම වඩාත් වියහැකි බවට පත්කිරීමට පමනක් දායක වේ.“පූර්ව භංග යුද්ධය” පිලිබඳ නීති විරෝධී ධර්මතාව, 2002 පටන් ඇමරිකානු විදෙස් පිලිවෙතේ මූලික උපකරනය බවට පත්කර ඇත.

ඇමරිකාවට ලඟාවිය හැකි න්‍යෂ්ටික අවි අත්කර ගැනීමට උතුරු කොරියාවට ඉඩ නොතබන බවට වොෂින්ටනය නිරතුරුව ගසන කයිවාරුව මගින් බිහිසුනු තර්කනයක් මුදා හැරේ, එනම් “සියලු විකල්පයන් මේසය මත තබා ඇත.”

සැප්තැම්බර් 6දා ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ පැවසීය: “න්‍යෂ්ටික ගිනිමැලයක් අවුලුවාලීමට කෙරෙන මේ සෑම තර්ජනයක් සමග එන්නෙන්නම උග‍්‍රව ඉස්මතු කරනු ලබන ප‍්‍රශ්නය නම් තම රනකාමී ඝෝෂාව සැබෑ කොට යුද්ධයට යාමට වොෂිංටනය සුදානම් ද? යන්නයි. තර්ජනයන්මද ඒවා හුදෙක් කයිවාරු නොවන බවට තහවුරු කිරීමේ අධිෂ්ඨානය ද - විභව න්‍යෂ්ටික යුද්ධයක් කරා තල්ලු කරන ගාමක බලයක් බවට පත් වෙයි. ”

2003 ඉරාක ආක‍්‍රමනය සිදුවූයේ, “ජන ඝාතක අවි” යොදාගෙන සදාම් හුසේන් තන්ත‍්‍රය, ඇමරිකාවට හා එහි සහචරයින්ට සෘජු තර්ජනයක් එල්ල කරන්නේය යන බොරු ගොන්න ප‍්‍රචාරය කිරීමෙන් ඉක්බිතිවය. වසර 14ට පසුව සමාන්තර කෙටුම්පතක් සකස්වෙමින් තිබේ. ලොස් ඇන්ජලීස් වැනි නගර වනසා දමමින් ඇමරිකාව අභ්‍යන්තරයටම පහර දීමට පෙර, උතුරු කොරියාව අතුගා දැමිය යුතුය යන යුදවාදී තර්ජන සුලභය.

යථාර්තය නම් උතුරු කොරියාවට, තමන්ගේම විනාශයට තුඩුදෙන එවන් ප‍්‍රහාරයක් එල්ල කිරීමේ ශක්තියක් හෝ අභිප‍්‍රායක් නැතිය යන්නය. එහෙත් එය පසෙකට අතුගා දැමේ.

උතුරු කොරියාවට පහර දීමේ දිසාවට කෙරෙන සූදානම, සිය ගෝලීය ආධිපත්‍යය පවත්වා ගැනීමට ඇමරිකාව 25 වසරක් තිස්සේ ගෙන යන මැදිහත්වීම්වල දිගුවකි. අවසාන ඉලක්කය හුදෙක් පියොංයෑන් තන්ත‍්‍රයම නොව, චීනයයි. ඇමරිකානු පාලක පන්තියේ වඩාත්ම නිර්දය කොටස් දැකගන්නේ, එය තමන්ගේ ලොකුම සතුරා ලෙසය. කොරියානු අර්ධද්වීපයේ කුමන හෝ යුද්ධයක්, ආර්ථික හා දේශපාලනික වශයෙන් බීජිං තන්ත‍්‍රය අස්ථාවර කරනු ඇත. එසේම එවැන්නක් අති මූලික වශයෙන් එරට මූලෝපායික හා මිලිටරි බලය දුබල කරනු ඇත.

න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙකු වන ඇමරිකාව හා චීනය අතර සෘජු ගැටුමකට පරිවර්තනය විය හැකි එවන් යුද්ධයක අනතුර මතුකරන්නේ, හරියටම යටින් දිවෙන එවන් අවශ්‍යතා අතර ගැටුමය.

Share this article: