නව පලාත්පාලන මැතිවරන පනතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ප්‍රෝඩාකාරී මවාපෑම්

පානි විජේසිරිවර්ධන විසිනි, 2017 සැප්තැම්බර් 09

අලුත් පලාත්පාලන මැතිවරන පනතක් අගෝස්තු 25 වන දා ආන්ඩු පක්ෂයේ හා විපක්ෂයේ අනුමැතියෙන් ලංකාවේ පාර්ලිමේන්තුව තුල සම්මත විය. දෙමල ජාතික සන්ධානය (දෙජාස) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) පනතට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කල අතර ඊනියා ඒකාබද්ධ විපක්ෂයේ කන්ඩායම විරුද්ධව චන්දය දීමෙන් වැලකී ඊට අනුමැතිය දුන්නේය.

කථානයක කරු ජයසූරිය සැප්තැම්බර් 1 දා පනතට අත්සන් කිරීමෙන් එය නීතියක් බවට පත්විය. මනාප චන්ද වැඩියෙන් ගරාගැනීම මන්තී‍්‍රවරයෙක් ලෙස තේරී පත්වීමට සුදුසුකමක් ලෙස මෙතෙක් පැවති ක‍්‍රමය අලුත් පනතින් අහෝසි කර තිබීම ගැන සඳහන් කරමින් “පලාත් සභාවලට, පාර්ලිමේන්තුවට, අරලියගහ මන්දිරයට පමනක් නොව ජනධිපති තනතුරට පත්වීමට පවා සාමාන්‍ය මිනිසාට ඉඩ ලැබෙන බවත් එය අනාගත පරම්පරාවට අප විසින් ඉතිරි කෙරෙන දායාදයක්” බවත් ජයසුරිය ප‍්‍රකාශ කර ඇත.

පනතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතානායකගේ ප‍්‍රකාශය කෙප්පයකි. කලින් පැවති පලාත්පාලන මැතිවරන ක‍්‍රමය ගැන ද ඒ දිනවල මේ නායකයන් ප‍්‍රකාශ කලේ එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් ම බවයි. වත්මන් පනත ගෙන ඒමට පෙර අවුරුදු 15ක් තිස්සේ කෙරුනු කඹ ඇදිල්ලෙන්ම පෙන්නුම් කෙරෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන පාලක පන්තියේ කැක්කුමක් නොව තමන්ට වාසිදායක අලුත් වෙනස්කමක් අටවා ගන්නේ කෙසේ ද යන්න බලයේ සිටි ආන්ඩුවල එකම උත්සුකය වූ බවයි. ජයසුරිය ප‍්‍රකාශ කල අන්දමට ව්‍යායාමය පටන් ගත්තේ 2002 වුවත් “මතභේද” නිසා එය කල් ගියේය.

2011 දී, ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව ඉදිරිපත්කල නව පලාත්පාලන මැතිවරන පනත් කෙටුම්පතෙන් යෝජිත මැතිවරන කොට්ඨාස සීමා නිර්නය කිරීම සඳහා පත් කෙරුනු කමිටුව විසින් එම වාර්තාව ඉදිරිපත් කලේ 2015 ජූනි මාසයේදී ය. රාජපක්ෂ ආන්ඩුව තැත් කලේ සුලු ජාතිකයන් ජීවත්වන ප‍්‍රදේශයන් විවිධ කොට්ඨාසයන්ට කැඩී යන පරිදි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස සීමා මායිම් නිර්නය කර ගැනීමයි. 2015 දී බලයට පැමිනි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ හා අගමැති වික‍්‍රමසිංහගේ ආන්ඩුව මෙම සීමා නිර්නයන් ද හා 2012 පලාත්පාලන මැතිවරන පනතේ එන බොහෝ වගන්තීන් ද “නිවරැදි” කරගැනීමේ ප්‍රෝඩාව යටතේ පලාත්පාලන මැතිවරන කල් දැම්මේය.

පලාත්පාලන ආයතන වල නිල කාලය අවසන්වී විසුරුවා හැරුනත් මෙලෙස වසර දෙකකටත් වැඩි කාලයක් ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී ලෙස මැතිවරන කල් දැමුනි. සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව සම්මත කරගත් අලූත් පනතට අනුව මැතිවරන සඳහා මනාප ක‍්‍රමය අහෝසි කෙරෙයි. එක් එක් පලාත්පාලන ආයතනයට පත් කෙරෙන නියෝජිතයන්ගෙන් සියයට 60ක් මැතිවරන කොට්ඨාස මට්ටමෙන් කේවල ක‍්‍රමය අනුව තෝරා ගැනෙන අතර අනෙක් සියයට 40 තෝරා ගැනෙන්නේ අනුපාත ක‍්‍රමය අනුවයි. මීට අමතරව, යම් පක්ෂයක් හෝ ස්වාධීන කන්ඩායමක් විසින් ඉදිරිපත් කරන නාම යෝජනා පත‍්‍රයක සඳහන් අපේක්ෂක-අපේක්ෂිකාවන් සංඛ්‍යාවෙන්, අවම වශයෙන් සියයට 25 ක් කාන්තාවන් විය යුතුය.

නව පනතේ කැපී පෙනෙන ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පියවරක් වනුයේ, රජයේ ක්ෂේත‍්‍ර නිලධාරීන්ට, පලාත්පාලන මැතිවරනයන්හි දී, තමා සේවයේ යෙදී සිටින මැතිවරන කොට්ඨාසයන් සඳහා තරග කිරීම තහනම් කිරීමයි. මේ අනුව, ග‍්‍රාම සංවර්ධන, සමෘද්ධි සංවර්ධන, සමූපකාර සංවර්ධන, කෘෂි සේවා සහ ප‍්‍රාදේශීය වන සංරක්ෂන නිලධාරීන්ගේ මූලික ප‍්‍රජාතන්තීය අයිතියක් පැහැර ගැනෙන අතර අන්‍ය රජයේ සේවකයන් මතද මෙම තහංචිය පැනවීමේ අනතුර පවතී.

රාජපක්ෂ පාලනයට එරෙහිව නැගුනු මහජන විරෝධය ගසකා බලයට ආ සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව මැතිවරන කල් දැමුවේ මැතිවරන නීති “නිවැරදි” කර ගැනීමට තිබු උවමනාවක් නිසා නොවේ. එය හොරගල් ඇහිලූවේ බලයට පැමිනි තැන් පටන් කම්කරුවන්ගේ හා දුගීන්ගේ සමාජ, ජීවන හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල කල ප‍්‍රහාර නිසා මැතිවරනයක දී තමන්ට පරාජයන් අත්වී ආන්ඩුවේ අර්බුදය උග‍්‍රවනු ඇතැයි පවතින භීතිය නිසාය.

ආන්ඩුවේ ප‍්‍රධාන පාර්ශ්වයන් දෙක, එනම්, සිරිසේනගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කන්ඩායම (ශී‍්‍රලනිප) සහ වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප) මැතිවරනයක දී තම පක්ෂවලට ඇති අවාසිදායක තත්වයන් ගැන ගනන් බලති.

රාජපක්ෂ කන්ඩායම මැතිවරන ඉල්ලා හඬ තලන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඇති රුදාවකින් නොවේ. ආන්ඩු බලයේ සිටිද්දී රාජපක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මැඩලමින් ඒකාධිපති පාලනයකට මාරුවීමේ කොන්දේසි සකස් කරමින් සිටියේය. සිරිසේන-වික‍්‍රමසිංහ පාලනය අපකීර්තියට පත්වී ඇති තතු තුල යලි බලයට පැන ගැනීමට මහජන විරෝධය ගසා කෑමට හැකිවෙනු ඇතැයි රාජපක්ෂගේ ගනන් බැලීමයි.

පොදු ජන පෙරමුන නමින් ඔහුගේ ආධාරකරුවන් අටවාගෙන ඇති පක්ෂයෙන් පලාත්පාලන මැතිවරනයේදී වෙනම තරග කරන බව රාජපක්ෂ ප‍්‍රකාශකර ඇත. ඔහු දියත් කර ඇත්තේ ආන්ඩුව පෙරලා දමා බලය අල්ලා ගැනීමේ ව්‍යාපාරයකි. ඉක්මනින් පලාත් පාලන මැතිවරනයක් පැවැත් වුවහොත් ආන්ඩුවට එරෙහිව ප‍්‍රචාරයෙන් දේශපාලන වාසි ලබාගත හැකි වේ යයි රාජපක්ෂ බලාපොරොත්තුවේ.

කේවල හා අනුපාත ක‍්‍රමය මිශ‍්‍රනයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබෙතැයි කීම බේගලයකි. අනුපාත ක‍්‍රමය මගින් සුලුජන පක්ෂ වලට වැඩි ඉඩකඩක් ලබාදීමේ මවාපෑමක් කර ඒවායේ සහාය තමන් වෙත දිනා ගැනීම සඳහා හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන 1978 ව්‍යවස්ථාවෙන් එම ක‍්‍රමය ක්‍රියාත්මක කලේය. ඔහුගේ ඉලක්කයක් වූයේ කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් අත්කර ගැනීමට ඉඩ නොදී විධායක ජනාධිපතිගේ ඒකාධිපති බලතල තහවුරු කර ගැනීමයි.

ශී‍්‍රලනිපය හා එජාපය පසුගිය අවුරුදුවල කේවල ක‍්‍රමයට යලි මාරු වීමට යෝජනා කලේ තම පක්ෂවලට වැඩි බලයක් ලබා ගැනීමට හැකිවෙතැයි ද සුලු පක්ෂවල බලය අඩුකිරීමට හැකියයි ද ගනන් බලමිනි. ඊට සුලු ජන පක්ෂ වල විරුද්ධත්වය නිසා කලවම් ක‍්‍රමයක් පිලිබඳව ආන්ඩුව සම්මුතියක් ඇති කර ගත්තේය.

වැඩි නියෝජනයක් සඳහා ඉඩකඩ සැලසීමෙන් කාන්තාවන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් ලැබෙතැයි යන්න තවත් බේගලයකි. කාන්තාවන්ට වෙනම විමුක්තියක් දිනා ගැනීම ගැන හා ඒ මත අනන්‍යතා දේශපාලනයක් පුම්බා ගැනීමට දැරෙන තැත, කාන්තා පීඩනය ධනපති ක‍්‍රමය හා පන්ති පාලනය තුලින් ගලා එන බව වසන් කිරීමේ තැතකි.

මහජන සේවාවන් පත්වාගෙන යාමට අවශ්‍ය ආයතන ලෙස පලාත්පාලන ආයතන හුවා දැක්වීම ව්‍යාජයකි. පසුගිය දා ඩෙංගු සහ කසල අර්බුදය මහජන ව්‍යසනයක් බවට පත්වීම ඒවා මගින් කලකට පෙර කෙරුනු සේවා මුලුමනින්ම කපා හැර ඇති අයුරු පෙන්නුම් කෙරුනි. පසුගිය දශක කීපය තුල මහජනතාව අත්දැක ඇත්තේ ආන්ඩුවේ ප‍්‍රහාරවලට විරුද්ධව නැගී සිටින කම්කරුවන්ට හා දුගීන්ට එරහිව කඩා පැන්නවීම සඳහා පාලක පක්ෂයේ අත්ගෙඩි බවට මෙම පලාත්පාලන ආයතන පරිවර්තනය කර ගැනීමයි. මහජන මුදලින් වරප‍්‍රසාද දී ඔවුන් පෝෂනය කෙරේ.

ප‍්‍රජාතන්තී‍්‍රය අයිතියක් වන ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කරමින් වසර එකහමාරකටත් වැඩි කාලයක් පලාත්පාලන මැතිවරන කල් දමමින් සිටි ආන්ඩුව දැන් පලාත් සභා මැතිවරන ද කල් දැමීමට යත්න දරයි. 2012 දී මැතිවරන පවත්වා නියෝජිතයන් තෝරා පත්කර ගැනුනු නැගෙනහිර, උතුරු මැද සහ සබරගමු පලාත් සභාවල නිල කාලය සැප්තැම්බර් 25-ඔක්තෝබර් 01 කාලය තුල අවසන් වෙයි. එසේ වුවත්, සියලුම පලාත් සභා ඡන්ද විමසීම් එක් දිනෙක පැවැත්වීම සහ පලාත් සභාවක් විසුරුවා හැරුනු කල අලූතින් චන්දයක් පවත්වන තුරු ඒවායේ බලය මධ්‍යම ආන්ඩුව යටතට ගැනීම ඇතුලත් මැතිවරන සංශෝධනයක් ආන්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇත. ඒ අනුව අඩුම ගනනේ දැනට විසුරුවා හැරෙන පලාත්සභාවල චන්දය වසරකින් කල්යයි.

ජවිපෙ හා රාජපක්ෂගේ කන්ඩායම මැතිවරන කොමසාරිස්ගේ කාර්යාලයට බඩගාමින් ඉක්මනින් මැතිවරන ඉල්ලා කන්නලවු කරන තතු යටතේ ස්වාධීන තීන්දු ගැනීමටයැයි අඬබෙර ගසා ඇටවූ මැතිවරන කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය හීන්කෙඳිරියක් නගා ඇත. 1972 දී ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරමින් “ජනරජ ව්‍යවස්ථාව” හඳුන්වා දීමේදී ජාතික රාජ්‍ය සභාවේ නිල කාලය එතැන් සිට වර්ෂ 5 තෙක් දීර්ඝ කිරීමට සිරිමා බන්ඩාරනායකගේ සභාග ආන්ඩුව ද 1983 දී පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරනය නොපවත්වා, ජනමත විචාරනයක් මගින් එය 1989 දක්වා කල් දැමීමට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ගේ ආන්ඩුව ද ගත් ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පියවර ද ඔහු සඳහන් කර ඇත. දේශප‍්‍රියට දිය හැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැත.

ලංකාවේ බලයේ සිටි ආන්ඩු විටින්විට මැතිවරන ක‍්‍රමද ව්‍යවස්ථාද වෙනස් කර ඇත. ඒවයින් ලැබී ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැත. එකින් එක ගත් කල සිදුකර ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මැඩ රුදුරු මර්දන නීතිවලින් ජාතිභේදවාදී වෙනස්කම්වලින් විස කැවූ පාලන ක‍්‍රමයන් ඇටවීමයි. සිරිසේන-වික‍්‍රමසිංහ සුලු ජාතීන්ගේ අයිතීන් ද ඇතුලත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අලුත් ව්‍යවස්ථාවක් සෑදීමේ ව්‍යායාමය‍ක තමන් යෙදෙන බව සිරිසේන හා වික‍්‍රමසිංහ මෙන්ම ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇද්ද නව සම සමාජ පක්ෂය ඇතුලු ව්‍යාජ වම හා ඊනියා සිවිල් සංවිධාන හා දෙමල පක්ෂත් ප‍්‍රචාරයක යෙදෙති.

තිරයෙන් පිටුපස සිදුවන්නේ මෙම ධනපති හා ඉහල මධ්‍යම පන්තික කන්ඩායම් වලද උදව්වෙන් අරගලයට ඇදෙන කම්කරුවන්ට, දුගීන්ට හා තරුනයන්ට එරහිව බලවේග මෙහයවන අතරේ මර්දන නීතිද පොලිස් රාජ්‍ය ප‍්‍රහාර ද ශක්තිමත් කරමින් ආඥාදායක පාලනයක් තහවුරු කිරීමට ආන්ඩුවත් පාලක පන්තියේ කොටසුත් කි‍්‍රයා කිරීමයි. වර්ජන වලට එලඹුනු කම්කරුවන් අත් දැක්කේ මේ මර්දනයයි. සිසු විරෝධතාකරුවෝ උසාවි නියෝග හා පොලිස් ප‍්‍රහාර වලට මුහුන දෙති.

ධනවාදයේ ගැඹුරුවන ලෝක අර්බුදය තුල ලංකාවේ පාලකයන්ට දිය හැක්කේ අධිරාජ්‍යවාදීන් සුදානම් කරන යුද්ධයට ගැට ගැසීම, සමාජ අයිතීන් තලා දැමීම හා ආඥාදායක පාලනයක් තහවුරු කිරීමයි. අර්බුදය වැඩි දියුනුවන තරමට ලංකාවේ පාලක පන්තිය හා එහි ආන්ඩු සිදුකර ඇත්තේ පීඩිත ජන කන්ඩායම් ද කම්කරුවන් හා දුගීන් සඳහා සිපිරි ගෙයක් තර කිරීමයි.

Share this article: