සිරියාවේ රඛා නගරය තුල එක්සත් ජනපද ප‍්‍රමුඛ වටලෑමේ දී දිනකට 27ක් මියයති: එක්සත් ජාතීන්ගේ සංවිධානය

UN says 27 dying each day in US-led siege of Raqqa

2017 සැප්තැම්බර් 1

එක්සත් ජනපද ප‍්‍රමුඛ වටලෑමෙන් සිරියාවේ රඛා නගරයේ සෑම දිනකම පුද්ගලයන් 27කු බැගින් මරා දැමෙන බව, එක්සත් ජාතීන්ගේ මානවවාදී කටයුතු පිලිබඳ නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් ස්ටීවන් ඕබ‍්‍රයන් බදාදා ආරක්ෂක මන්ඩලයට පැවසී ය. අයිඑස්අයිඑස් සංවිධානය විසින් පාලනය කරනු ලබන සිරියානු නගරය, ආසන්න වශයෙන් මාස තුනක් තිස්සේ අවසානයක් නැති එක්සත් ජනපද ගුවන් ප‍්‍රහාර හා කාලතුවතක්කු ප‍්‍රහාරයන්ට ගොදුරුවී ඇති අතර නගරයේ වැඩි කොටසක් සුන්බුන් බවට පත්ව තිබේ.

නගරයෙන් පිටුවහල් වී ඇති 270,000ක් පමන දෙනා, නිවාස අහිමි සරනාගතයන් බවට පත් කෙරී ඇති අතර, සිවිල් වැසියන් 25,000ක් ඇමරිකානු වෙඩිප‍්‍රහාරයට ලක් ව හිර වී සිටින බවට ගනන් බලා ඇත. ඔවුන්ට ආහාර, පානීය ජලය, විදුලිය හෝ වෛද්‍ය පහසුකම් නොමැත. එහි නිවැසියන් හාමතින් මිය යන්නේ නැතිව සිටීම සඳහා තන කොල හා වෙනත් කොල වර්ග බුදින තත්වයට පත්ව ඇති බවට වාර්තා පලවේ.

එක්සත් ජාතීන්ගේ ජනසංහාර වැලක්වීම පිලිබඳ ප‍්‍රධාන උපදේශක ඇඩම් ඩියෙන්ග්, “අයිඑස්අයිඑස් පාලනයෙන් නගරය ආපසු අත්කර ගැනීමේ ප‍්‍රහාරයේ දී අල්ලා ගැනුනු සිවිල් වැසියන් මුහන දෙන භයානක තත්වය” හෙලා දකිමින් වෙනත් වාර්තාවක් නිකුත් කල අතර, මානව හිමිකම් පිලිබඳ එක්සත් ජතීන්ගේ මහ කොමසාරීස් ෂීඞ් රාඞ් අල්-හසන්, “සෑම අවස්ථාවක දී ම ආරක්ෂා කල යුතු සිවිල් වැසියන්, අදහාගත නො හැකි මිලක් ගෙවමින් සිටිතැ”යි චෝදනා කලේ ය.

වෙනත් අයුරකින් කිව හොත්, ඇස් පනා පිට බියකරු පරිමාවක යුද අපරාධ සිදු කෙරෙමින් තිබෙන අතර, එහි අපරාධකරුවා, එනම් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, සම්පූර්න දන්ඩමුක්තියේ රැකවරන ලබයි.

නිරීක්ෂන කන්ඩායමක්, රාඛා ප‍්‍රදේශය නිසොල්මනේ සංහාරය කෙරෙමින් තිබෙන ආකාරය දැක්වෙන, ලදරුවන්, ලමුන්, පිරිමින්, ගැහනුන්, වැඩිහිටියන් හා පවුල්වල ඡායාරූප තම ට්විටර් සටහන්වල දිනපතා ප‍්‍රසිද්ධ කර යි. එක්සත් ජනපද බෝම්බ, මිසයිල හා ෂෙල් වෙඩි වලින් ඔවුන්ගේ වාසස්ථාන සම්පූර්නයෙන් විනාස කෙරේ.

රඛා වැටලීම සිදුවන්නේ, මෙම වසරේ ගිම්හානයේ දී උතුරු ඉරාකයේ නගරයක් වන මොසුල්හි සිදු කල ඒ හා සමාන විනාශයක් ආසන්නවය. කලෙක රටේ දෙවැනි විශාලතම නගරය වූ මොසුල්වල, එක්සත් ජනපදය හා එහි ඉරාක ආන්ඩුවේ සහචරයන් විසින් මාස නවයක් තිස්සේ හෙලන ලද බෝම්බ හා ෂෙල්වෙඩි වලින් මැරුනු සංඛ්‍යාව 40,000ක් තරම් වන බවට ගනන් බලා ඇත.

මෙම සියලු සංහාර සැබවින්ම එක්සත් ජනපද මාධ්‍යයන් තුල වාර්තා නොකෙරේ. මෙම මාධ්‍ය, පසුගිය වසරේ දී, එක්සත් ජනපද ආන්ඩුවේ කිට්ටු සහයෝගය ඇතිව, අල්කයිඩාවට අනුබද්ධ එමෙන් ම එක්සත් ජනපදය විසින් සනද්ධ කෙරුනු ඉස්ලාමීය “කැරලිකරුවන්ගෙන්” නැගෙනහිර අලෙප්පෝව ආපසු අල්ලා ගැනීමට රුසියානු පිටුබලය ලත් සිරියානු ආන්ඩුව විසින් ගෙන යන ලද ප‍්‍රහාරය පිලිබඳ බොරු සදාචාරමය කෝපය මහා හයියෙන් පල කලේය.

එවක “යුද අපරාධ” චෝදනා නිරන්තරයෙන් ප‍්‍රචාරය කෙරුනි. අද තිබෙන්නේ නිහැඬියාවක් පමනි. සිරියානු ජනතාව වෙනුවෙන් යයි කියනු ලබන වඩා ආක‍්‍රමනකාරී මැදිහත්වීමකට අපොහොසත් වීම වෙනුවෙන් වොෂින්ටනයට බැන වදින, ඩිමොක‍්‍රටික් පක්ෂයේ තැරැව්කරුවන් වන “මානව අයිතිවාසිකම්” අධිරාජ්‍යවාදී ඊනියා ලිබරල් මාධ්‍ය හා ඔවුන් වටා ඇදෙන ව්‍යාජ වම්මුන් සම්බන්ධයෙන් මෙතරම් ප‍්‍රබල හෙලිදරව්වක් වෙනත් නැත.

මානව අයිතීන් හා ත‍්‍රස්තවාදය ගැන බොරු හා කුහකකම පිටුපස ඉරාකය හා සිරියාව තුල වර්තමාන එක්සත් ජනපද මැදිහත්වීම සිදුවේ. (එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් පසුගිය සියවස් කාර්තුව තිස්සේ කලාපය තුල ගෙනයන අඛන්ඩ යුද්ධ මෙන් ) තම කලාපීය හා ගෝලීය තරඟකරුවන්ගේ වියදමින් තෙල්වලින් පොහොසත් මැද පෙරදිග තම ආධිපත්‍යය තහවුරු කර ගැනීමත්, ඒ අනුසාරයෙන් මිලිටරි බලය උපයෝගී කරගෙන ඇමරිකානු ධනවාදයේ පරිහානියට පත්වෙමින් තිබෙන ගෝලීය තත්වය ආපසු හැරවීමත් වොෂින්ටනයේ උත්සාහය යි.

අප්‍රිකාවේ අඟ ලෙස හඳුන්වන කොටසේ සිට, මැද පෙරදිග හරහා දකුනු ආසියාවට ද සෝමාලියාවේ සිට ඇෆ්ගනිස්තානයට ද විහිදෙන එක්සත් ජනපද ඝාතන චාපයක කොටසකි රඛාවේ ජන ඝාතන. එක්සත් ජනපද බෝම්බ, ඩ්‍රෝන් මිසයිල ප‍්‍රහාර හා විශේෂ මෙහෙයුම් ඝාතන මගින්, දිනපතා අහිංසක මෙන් ම දුප්පත් සිවිල් වැසියන් මරා දැමේ.

සෑමතැනම එක්සත් ජනපද මිලිටරිය තම මෙහෙයුම් උත්සන්න කරමින් හා තම සටනේ නීති වෙනස් කරමින්, එක්සත් ජනපද ආරක්ෂක ලේකම් “මෑඩ් ඩෝග්” මැටිස් මෙම වසර මුල දී විස්තර කල “මූලෝත්පාඨන” උපක‍්‍රම හඹායයි.

ආසන්න වශයෙන් වසර දහසයක් වන එක්සත් ජනපද යුද්ධයට, වාර්තාවන පරිදි තවත් ඇමරිකානු භටයන් 4,000ක් යොදවමින් පෙන්ටගනය ඇෆ්ගනිස්ථානය තුල ප‍්‍රධාන මිලිටරි මැදිහත්වීමක් දියත් කර ඇති බව බ‍්‍රහස්පතින්දා මැටිස් නිවේදනය කලේ ය.

ආක‍්‍රමනය දැඩි කිරීමට කටයුතු කරන ගමන්, මේ වන විටත් ඇෆ්ගනිස්තානයේ සිටින තම භටයින් සංඛ්‍යාව “අඩු කර” ඇතැ යි පෙන්ටගනය කියා සිටින්නේ, ඇමරිකානු මහජනතාවගෙන් එක්සත් ජනපද මෙහෙයුමේ පරිමාව වසන් කිරීමටය. ඇමරිකානු භටයින් 8,448ක නිල සංඛ්‍යාව වෙනුවට, අද එහි සැබවින් ම 11,000ක් එහි සිටිති. මෙයට යමින් එමින් සිටින ඊනියා “තාවකාලික” හමුදා රැඳවීම් ඇතුලත් ද යන්න පැහදිලි නැත. මෑත ම උත්සන්න කල ආක‍්‍රමනයෙන් පසුව, ඇෆ්ගනිස්තානයේ භූමිය මත අඩු වශයෙන් භටයෝ 15,000ක් සිටිති.

ඉරාකය තුල රැඳවුනු තම භටයින් සංඛ්‍යාව 5,000ක් වන අතර සිරියාවේ 500ක් බව පෙන්ටගනය පවසා තිබුන ද තව දහස් ගනනක් සැබවින් ම යොදවා ඇති බව එය දැන් පිලිගනී. එහෙත් ඒ සංඛ්‍යාව ද දැනුවත් අවතක්සේරු කිරීමකි. ව්‍යාජ යයි තමන් දන්නා පෙන්ටගන් සංඛ්‍යා එක්සත් ජනපද මාධ්‍ය විසින් නිහීන ලෙස ප‍්‍රතිරාවය කරනු ලබ යි.

ඇෆ්ගනිස්තාන ආක‍්‍රමන දැඩි කිරීම, සිවිල් මරන සංඛ්‍යාව තව දුරටත් ඉහල නංවනු ඇත. එක්සත් ජනපද මෙහෙයුම්වල ප‍්‍රතිඵලයක් ලෙස එය දැනටමත් පැතිර යමින් තිබේ. පසුගිය වසරේ එම කාලපරිච්‍ජේදය හා සසඳන විට 2017 පලමු මාස හය අතරතුර, එක්සත් ජනපද ගුවන් ප‍්‍රහාර හේතුවෙන් සිවිල් මරන සංඛ්‍යාව සියයට 43කින් වැඩි වී ඇතැ යි එක්සත් ජාතීන්ගේ ඇෆ්ගනිස්තාන දූත පිරිස වාර්තා කලේ ය.

සඳුදා ඇරඹුනු එකිනෙකින් වෙන්වූ ප‍්‍රහාර තුනක දී, හෙරත් හා ලොගාර් පලාත්වලට අතහැරි එක්සත් ජනපද බෝම්බවලින්, අඩු වශයෙන් සිවිල් වැසියෝ 40ක් ජීවිතක්ෂයට පත්වූහ. ඔවුන්ගෙන් බොහෝ දෙනා කාන්තාවන් හා ලමුන්ය.

මේ අතර, මූලෝපායාත්මකව පිහිටා ඇති අප්‍රිකානු අඟෙහි, දුප්පත් සෝමාලියනු ජාතියට එරෙහිව දසක ගනනවාක් දීර්ග ලේවැකි මැදිහත්වීම් පෙන්ටගනය විසින් විශාල ලෙස උත්සන්න කර ඇත්තේ, ඩ්‍රෝන් ප‍්‍රහාර හා විශේෂ මෙහෙයුම් ඝාතන සංග‍්‍රාම මාලාවක් කි‍්‍රයාත්මක කරමිනි. පසුගිය සිකුරාදා එක්සත් ජනපද විශේෂ හමුදා භටයින්, එරට ආන්ඩුවේ කන්ඩායම් සමග ක්‍රියාත්මක වෙමින්, අලුයම් කාලයේ බරීරේ නම් ගම්මානයට කඩා පැන, සිවිල් වැසියන් 10කු අල්ලා ගත් අතර ඔවුන් එක එකා මරා දැමුවේය. කෝපයට පත් ගම්වාසීන්, ජන සංහාරයට විරෝධය දැක් වීමට, කාන්තාවක් හා ලමුන් ඇතුලත් මෘතදේහ මොගඩිෂූ අගනගරයට ගෙන ආවෝ ය.

එමෙන් ම යේමනයේ දී ජනසංහාරයකට තරම් ආසන්න තත්වයකට පත්ව ඇති සෞදි අරාබියේ මූලිකත්වයෙන් සිදු වන යුද්ධයට, ඔබාමා යටතේ සැපයුනු අත්‍යවශ්‍ය ආයුධ හා කාර්ය සංවිධාන සහාය ට‍්‍රම්ප් පාලනාධිකාරිය විසින් වැඩි කර ඇත. 2015දී යුද්ධය ඇරඹීමේ තැන් සිට සෞදි බෝම්බ දැමීම් සිවිල් වැසියන් 12,000ට වඩා ඝාතනය කර ඇත. ජාත්‍යන්තර නීතිය යටතේ තහනම් පොකුරු බෝම්බ ඇතුලු යුද්ධෝපකරන බෝම්බ හා මිසයිල එක්සත් ජනපදය විසින් සපයා ඇත.

පුද්ගලයන් 13කු මරා දැමූ ගින්නක් අවුලුවමින් බදාදා තෙල් ටැංකියකට හා ගෑස් සැපයුම් මධ්‍යස්ථානයකට බෝම්බ ප‍්‍රහාර එල්ල කල අතර එක්සත් ජනපද-සෞදි හවුල් කරුවන්ගේ දාමරිකකම් ඉහල නැගුනි. ඒ සියලුදෙනා පන පිටින් දැවී ගියේය. පසුගිය සතියේ, අවන්හලකට හා තුන් මහල් නිවාස ගොඩනැගිල්ලකට ගුවන් ප‍්‍රහාර එල්ල කල අතර පුද්ගලයින් 60දෙනෙකු පමන එයින් ඝාතනය විය.

පොදුකාර්ය පහසුකම්වල දැවන්ත විනාශය මෙන් ම යේමනයේ වරාය හා ගුවන් අවකාශය අවහිර කිරීම නිසා එරට මිනිසුන් මිලියන 22ක් දුර්භික්ෂයක අද්දරට දමා ඇත. ඉතිහාසයේ නරකම කොලරා වසංගතය සඳහා තත්වය මෙයින් නිර්මානය කෙරී ඇත. යේමන ජාතිකයන්ගෙන් මිලියන භාගයක් තරම් වසංගත වලට ගොදුරුවී සිටින අතර ඉන් අඩක්ම ලමුන් ය. රෝගයෙන් සිදුව ඇති මරන සංඛ්‍යාව දැනටමත් 2,000ට ලඟා වී ඇති අතර වේගයෙන් වැඩි වෙමින් තිබේ.

මෙම යුද අපරාධ ගෙන යනු ලබන්නේ ඇමරිකානු මහජනතාවට හොරෙනි. විය යුතු පරිදි ම මාධ්‍ය විසින් වාර්තා නොකෙරෙන, විවිධාකාර ආක‍්‍රමන ගෙන යනු ලබන්නේ කොංග‍්‍රස් මන්ඩල අනුමැතිය හෝ විවාදයක ඡායාවක් වත් නොමැතිව ය. ඩිමොක‍්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් යන දෙගොල්ලම පාලක මූල්‍ය කතිපයාධිකාරියේ ගෝලීය කොල්ලකෑම ඉදිරියට ගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය උපකරනය වන ඇමරිකානු මිලිටරියට අසීමිත සහායක් සපය යි.

අත්‍යාවශ්‍ය මහජන සේවාවන් හා සමාජ පොදුකාර්ය පහසුකම් කාබාසීනියා කෙරෙන අතර එක්සත් ජනපද යුද යාන්ත‍්‍රනය වෙනුවෙන් දැවන්ත සම්පත් කන්දරාවක් අපතේ හරිනු ලබයි. හාර්වි කුනාටුවෙන් සිදුව ඇති ආකාරයේ විනාශයන් හා ඛේදවාචකයන්ගෙන් අනාරක්ෂිත මිලියන ගනනාවක් ව්‍යසනයට ඇද දමා තිබේ.

බිල් වෑන් ඕකන්

Share this article: