වර්ධනය වන ලෝක යුද තර්ජනය හා ලංකාවේ ජනමාධ්‍ය

2017සැප්තැම්බර් 15

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදාබැලීම් වලට ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ආන්ඩුව හා පෙන්ටගනය විසින් දක්වන ප‍්‍රකෝපකාරී ප‍්‍රතිචාරය ගිනිගන්නාසුලු භූ දේශපාලන ආතතියක් නිර්මානය කර තිබේ. ලෝකයේ බලගතුම මිලිටරි බලය අත දරාගෙන සිටින ට‍්‍රම්ප් එක දිගටම උතුරු කොරියාවට එරෙහිව කරන යුද තර්ජනයන් මානව සංහතියට විනාශය ගෙන දෙන්නා වූ න්‍යෂ්ටික ලෝක යුද්ධයක් පුපුරායාමේ අන්තරාය වැඩිදියුනු කර ඇත.

සැප්තැම්බර් 11 දා රැස්වූ එක්සත් ජාතීන්ගේ (එජා) ආරක්ෂක මන්ඩලය ඇමරිකාව විසින් ඉදිරිපත් කෙරුනු යෝජනාවක් අනුව උතුරු කොරියාවට තෙල් අපනයනය ඇතුලූ තවත් දැඩි සම්බාධක ගනනාවක් පනවා ඇත. ඉහල යන සම්බාධක පැනවීම් වලින් සිදුවෙමින් ඇත්තේ මිලිටරි ගැටුමක අන්තරාය අඩුවීමක් නොව වැඩිවීමකි.

වොෂින්ටනයේ ප‍්‍රකෝපකාරී ප‍්‍රතිචාරයන් හි ඉලක්කය හුදෙක් උතුරු කොරියාව නොවේ. සමස්ත යුරේසියානු භූ ස්කන්ධය තම අනසකට නතු කරගෙන ලෝක ආධිපත්‍යය තහවුරු කරගැනීමේ මූලෝපායික යුද ධාවනයක යෙදෙන වොෂින්ටනය සිය ප‍්‍රමුඛ ප‍්‍රතිමල්ලවයන් ලෙස සලකන්නේ චීනය සහ රුසියාවයි. උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් හේතුවක් කරගෙන ආසියානු-පැසිෆික් කලාපයේ දැවැන්ත මිලිටරි තරකිරීමක් ඇමරිකාව විසින් කරගෙන යන්නේ චීනය හා රුසියාව එල්ල කරගෙනය. එමෙන්ම ඇමරිකාව මුල්වී නේටෝ හමුදා රුසියාවට එරෙහිව පෙල ගැස්වීමෙන් ඇතිකර තිබෙන ආතතිය මධ්‍යයේ කවර ආකාරයේ ඝට්ටනයක් ඇති වුවත් යුරෝපය එහි ප‍්‍රමුඛ යුද පිටියක් වීම වැලැක්විය නොහැකිය. ලෝකයේ කිසිඳු රටක් යුද්ධයේ අන්තරායෙන් මිදෙනු නැත. ඉන්දීය සාගර කලාපය තුල පුලූල් කෙරෙමින් පවතින ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද ධාවනයට ලංකාව ගැටගැසීම සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව යටතේ වේගවත්ව සිදුවෙයි.

සැප්තැම්බර් 5 වනදා එජා මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් උතුරු කොරියාවට එරෙහිව ඇමරිකාව ගන්නා ආස්ථානය මගින් ඇතිවිය හැකි "නොසිතූ ප‍්‍රතිවිපාක" ගැන මෙසේ අනතුරු ඇඟවුයේය: "ඔබ පලමුවන ලෝක යුද්ධයේ ඉතිහාසය දෙස හැරී බලන්නේ නම්,එය අඩියෙන් අඩිය සිදුවූවක් බව පෙනී යනු ඇත. එක් පාර්ශවයක් එක් දෙයක් කරන විට අනෙක් පාර්ශවය තවත් දෙයක් කරයි, එවිට ආරවුල හටගනී... උතුරු කොරියාව සම්බන්ධ තත්වයේදී අප මගහැරිය යුතු අවදානම මෙයයි". එජා සංවිධානය හා එහි මහලේකම් අධිරාජ්‍යවාදී බලයන්ගේ උත්සුකයන් නියෝජනය කරන්නේ වුවද ඔහුගේ අනතුරු ඇඟවීමේ බරපතලකම ඉන් අඩු නොවේ.

ලෝක පරිමානව සැබවින්ම පවත්නා තත්වය මේ සා අන්තරායකාරී වී තිබියදී, ලංකාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය තුල ඒ පිලිබඳව බැරෑරුම් සාකච්ඡාවක් හෝ විශ්ලේෂනයක් දකින්නට නැත. බොහෝවිට ඇත්තේ ඇමරිකාවේ මැදිහත්වීම්, ට‍්‍රම්ප්ගේ ප‍්‍රකෝපකාරී ප‍්‍රකාශ හා ආතති සහගත තැන්වල ද ගැටුම් පිලිබඳව විදේශ මාධ්‍යන්ගෙන් උපුටාගෙන පලකෙරෙන සීමාසහිත වාර්තා හෝ ලිපි ය.

එවැනි එක විරල අවස්ථාවක් වුයේ අගෝස්තු 8 වනදා ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශයක් පිලිබඳව ඩේලි මිරර් පුත්පතේ "උතුරු කොරියාව ගැන වාගාලාප" යන මාතෘකාවෙන් පලවූ කතු වැකියයි. "උතුරු කොරියාව එක්සත් ජනපදයට විරුද්ධව තවත් තර්ජන නොකලොත් හොඳය. අපි ඒවාට ගින්දරෙන් සහ භීෂනයෙන් පිලිතුරු දෙන්නෙමු" යැයි ට‍්‍රම්ප් ගර්ජනා කර තිබුනි. ඩේලි මිරර් ඒ ගැන තමන්ගේ නිගමනය කියා තිබුනේ මෙසේය: "රටවල් දෙක අතර වාචික ද්වන්ද සටන තියුනු ලෙස ඉහල නැග තිබේ. දෙපාර්ශවය අතර පමනට වැඩි වාග් විලාශයක් තිබියේ වුවත් සන්නද්ධ ගැටුමක් පුපුරායාමේ ඉඩක් නැත".

මෙය වනාහි යුද්ධයක් පුපුරා ඒමට ඇති වෛෂයික කොන්දේසි මුලුමුනින්ම නොතකා හරින හෝ ඒ ගැන කිසිම තැකීමක් නැති ප‍්‍රකාශයකි. දේශපාලන වශයෙන් ගතහොත් මෙවන් ප‍්‍රකාශ යුද්ධයේ අන්තරාය මහජනයාගෙන් වසන් කිරීමේ උත්සාහයකි.

ට‍්‍රම්ප්ගේ තර්ජනයන් හුදු වහසි බස් දෙඩවීමක් නොව, ආර්ථික ශක්තිය බිඳවැටී ඇති තත්වය තුල ට‍්‍රම්ප් ඇතුලු ඇමරිකානු පාලක ප‍්‍රභූවේ සහ මිලිටරියේ ප‍්‍රබල කොටස්වල, ගෝලීයව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගිලිහී ඇති ආනුභාවය මිලිටරි බලයෙන් යලි අල්ලා ගැනීමේ පොරය වඩා රුදුරු මට්ටමකට නැග ඇති බව ප‍්‍රකාශ කරන්නකි. යුද තර්ජනයට තුඩුදී ඇත්තේ ඇමරිකානු හා ලෝක ධනවාදයේ ගැඹුරුවන අර්බුදයයි. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු සියවස් කාර්තුව තුල ඇමරිකාව මෙම මිලිටරි ව්‍යායාමය පටන් ගත්තේය. අද වනවිට ජර්මනිය, ප‍්‍රන්සය හා ජපානය බඳු අධිරාජ්‍යවාදී බලයන් මිලිටරි තරකිරීම් කඩිනම් කර ඇත්තේ තම තමන්ගේ උත්සුකයන් සඳහා පොරපිටියට ඒම අරඹමිනි.

මේ දිනවල ලංකාවේ සෑම මාධ්‍යක්ම පාහේ අරක්ගෙන ඇත්තේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ පාලන සමයේ සිදු කෙරුනු බැඳුම්කර ගනුදෙනුවක් සම්බන්ධයෙන් පැවැත්වෙන ජනාධිපති කොමිෂන් සභා විභාගය ඇතුලූ දූෂන වංචා වලට සම්බන්ධ "හොරු ඇල්ලීම" ගැන අතොරක් නැති වාර්තා හා ඒ පිලිබඳ අටුවා ටීකාවලින් පුරවන ලද සංවාද මන්ඩප යනාදියෙනි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව ගිලී ඇති දේශපාලන අර්බුදය මැද යලි බලයට පැනගැනීමට මාන බලමින් සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ 'ඒකාබද්ධ විපක්ෂයේ' ප‍්‍රකෝපකාරී උද්ඝෝෂනය ඊට එකතුවී ඇත. ඊනියා යෝජිත ව්‍යවස්ථා සංශෝධන හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු වේයැයි ආන්ඩුව ගෙන යන පච ප‍්‍රචාර මැද "රටේ ඒකීයභාවය" නැති වේයැයි රාජපක්ෂ ඇතුලු කන්ඩායම වර්ගවාදී හඬ තලයි. එල්ටීටීඊයට එරෙහිව ගෙන ගිය වර්ගවාදී යුද්ධයේ දී යුද අපරාධ සිදුකල බවට චෝදනා ලබා සිටින මිලිටරි නායකයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් සිරිසේන, වික‍්‍රමසිංහ, රාජපක්ෂ එකිනෙක පරයා යන විසකුරු උද්ඝෝෂනයක යෙදෙති.

ලංකාවේ දේශපාලන සංස්ථාපිතයෙහි තියුනුවන අර්බුදය මධ්‍යයේ ඒ හෝ මේ දේශපාලන කන්ඩායමක න්‍යායපත‍්‍රයන් වෙනුවෙන් තෝල්කකම් කිරීම ප‍්‍රමුඛ කාර්යයක් බවට පත්කරගෙන ඇති බොහෝ ජනමාධ්‍ය මේ විසකුරු උද්ඝෝෂනයේ හොරනෑ බවට පත්වී ඇත. ධනපති පන්තියේ උත්සුකයන් නියෝජනය කරන මාධ්‍යන් මෙම ප‍්‍රචාරය මගින් නිශ්චිත ක‍්‍රියාකලාපයක් ඉටු කරයි. එනම්, ලෝක යුද්ධයක අන්තරාය වසන් කිරීමේ හා අධිරාජ්‍යවාදී යුද්ධයට ලංකාව ගැටගැසීමේ පාලක පන්තියේ ක‍්‍රියාවන්ට කඩතුරාව සැපයීමයි. ආන්ඩුව කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන, සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට පහර එල්ල කරන්නේද මේ ප‍්‍රචාරයන්ට මුවාවී ගෙනය.

මෙම කලාපය තුලත්, ලෝකය පුරාත් මානව වර්ගයා මුහුන දෙන තිරනාත්මක ප‍්‍රශ්නය වන ලෝක යුද තර්ජනය, සමාජ අසමානතාව සහ කම්කරු පන්තිය සහ පීඩිත මහජනතාව මුහුන දී සිටින අනෙකුත් දැවෙන ප‍්‍රශ්න සම්බන්ධයෙන් සත්‍යය වාර්තාකරනයත් ඓතිහාසික විශ්ලේෂනයත් දිනපතා ඉදිරිපත් කරන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) යි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප‍්‍රකාශනය වන ලෝසවෙඅ ජාත්‍යන්තර සමාජවාදී ඉදිර්දර්ශනය, ක‍්‍රියාමාර්ගය හා සංවිධානය ලෝක කම්කරු පන්තිය හා තරුනයන් වෙත ඉදිරිපත් කරයි. මෙම වෙබ් අඩවිය කියවන ලෙසත් එය ගොඩනැගීමට එක්වන ලෙසත් කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලමු.

ලෝසවෙඅ දේශපාලනිකව අපලේඛනය කිරීම මූලික ඉලක්කයක් කරගනිමින් ගූගල් ඒකාධිකාරී මහා සංගතය විසින් තවත් වාම හා ප‍්‍රගතිශීලී වෙබ් අඩවි ගනනාවක්ම අලලාගත් අන්තර්ජාල වාරනයක් පනවා ඇත. එහි එල්ලය ලෝසවෙඅ ලොව පුරා කම්කරු පීඩිත මහජනතාව වෙතට සමීප කරවමින් සිටින ඉතා තීරනාත්මක සාකච්ඡාව යටපත් කිරීමයි.

ලෝසවෙඅ දියත් කර ඇති අන්තර්ජාල පෙත්සමට අත්සන් කිරීම හරහා ගූගල් හි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අන්තර්ජාල වාරනයට තමන්ගේ විරෝධය පලකරන ලෙසත් ලෝසවෙඅ විශ්ලේෂනයන් වඩා සමීපව සහ සැලකිල්ලෙන් අධ්‍යනය කරගනිමින් ලෝක යුද විරෝධී ව්‍යාපාරය ගොඩනැගීමට ඉදිරිපත්වන මෙන් කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලමු.

ප‍්‍රදීප් රාමනායක

Share this article: