ලෝක යුද්ධය කරා පෙරට යාමට එරෙහිව එක්සත් ජාතීන්ගේ ප‍්‍රධානියා අනතුරු අඟව යි

UN chief warns against the march to world war

2017 සැප්තැම්බර් 8

කොරියානු අර්ධද්වීපය මත වර්ධනය වෙමින් පවතින ගැටුම සියවසකට පෙර පලමු ලෝක යුද්ධයේ පිපිරීමට මෙහෙය වුනු සිදුවීම්වලට බෙහෙවින් සමාන වන බවට එක්සත් ජාතීන්ගේ මහලේකම් විසින් නිකුත් කරන ලද අනතුරු ඇඟවීම බැරෑරුම්ව ගත යුතුය.

“සාමාන්‍යයෙන් යුද්ධ ආරම්භ වන්නේ යුද්ධයට පිවිසෙන පාර්ශ්ව විසින් යම් මොහොතක ගනු ලබන එක් තීරනයකින් නොවේ”යි ඔහු පැවසී ය. “ඔබ පලමුවැනි ලෝක යුද්ධයේ ඉතිහාසය දෙස බලන්නේ නම්, එක් පාර්ශ්වයක් එක් දෙයක් කරමින් ද, තව පාර්ශ්වයක් තව දෙයක් කරමින් ද, එය සිදු වූයේ පියවරෙන් පියවර පදනමක් මත ය, ඊට පසු තීව‍්‍ර වීම හට ගනී ...උතුරු කොරියාවේ තත්වය සම්බන්ධයෙන් අප විසින් වලක්වා ගත යුතු අවදානම මෙය යි.”

ඇමරිකාවේ ආක‍්‍රමනකාරී හා නොසැලකිලිමත් විදේශ ප‍්‍රතිපත්තිය මෙහෙයවන ඩොනල්ඩ් ට‍්‍රම්ප් හා ඔහුගේ සක‍්‍රීය හා විශ‍්‍රාමික මිලිටරි කල්ලිය ගැන නමින් සඳහන් නොකලත්, “ගැටුම්කාරී කයිවාරු, බලාපොරොත්තු නො වූ ප‍්‍රතිවිපාකයක්ට ගමන් කිරීමට ඉඩ ඇත. විසඳුම දේශපාලනමය විය යුතු ය”යි අනතුරු හැඟවීමේ දී ගටර්ස් පැහදිලිවම ඇඟවුම් කරන්නේ ඔවුන් ගැනය. “මිලිටරි විසඳුම් වලින් හටගත හැකි ප‍්‍රතිවිපාක අතිශයින්ම බියකරු ය”යි ඔහු වැඩි දුරටත් පැවසී ය.

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ලෝක පරිමාන අපරාධ හා ප‍්‍රකෝප කිරීම් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය හාන්සිවී, උත්සුකය දනවන කයිවාරු ගැසීමට පමනක් සීමා කර ඇතත්, ගටර්ස්ගේ ප‍්‍රකාශවල වැදගත්කම ඉතා පැහදිලි ය. උතුරු කොරියාවට එරෙහිව ඊනියා “පූර්වභංග යුද්ධයක්” දියත් කිරීමට වොෂින්ටනය කර ඇති ප‍්‍රකෝපකාරී තර්ජනවල “අනපේක්ෂිත දුර්විපාකය”, ගෝලීය න්‍යෂ්ටික යුද්ධයක් දක්වා තීව‍්‍ර වෙන මිලිටරි ගැටුමක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇත.

එක්සත් ජාතීන්ගේ ආරම්භක ප‍්‍රඥප්තිය තම පලමු වාක්‍ය තුල, සංවිධානයේ මෙහෙවර ලෙස සඳහන් කර ඇත්තේ “අපගේ ජීවිත කාලයේ දී දෙවරක් මනූෂ්‍යවර්ගයාට අප‍්‍රමාන සන්තාපය ගෙනවිත් ඇති යුද්ධයේ කස පහරින් අනුප‍්‍රාප්තික පරම්පරාවන් ගලවා ගැනීම” යි. මේ සංවිධානයේ ප‍්‍රධානියා, පලමුවැනි ලෝක යුද්ධය හා දෙවැනි ලෝක යුද්ධයේ සංහාරයන් පරයා යන පරිමාවක් මත තුන්වැනි වතාවටත් මනුෂ්‍යත්වය “අප‍්‍රමාන සන්තාපයන්ට” මුහුනලා සිටින බවට කෙරෙන අනතුරු ඇඟවීම, සුලුපටු කාරනාවක්ද? එයට මුලුමහත් සමාජයේම අවධානය යොමුවිය යුතුය.

ගටර්ස්ගේ ප‍්‍රකාශනය සුවිශේෂ එකක් නො වේ. පසුගිය මාසයේ දී ජර්මානු විදේශ ඇමති සිග්මාර් ගේබ්‍රියෙල් ද එක්සත් ජනපදය හා උතුරු කොරියාව අතර ආරවුල යුරෝපය පලමු ලෝක යුද්ධයට ඇද වැටීමට සමාන කලේ ය. “පලමුවැනි ලෝක යුද්ධයේ දී මෙන්, අපි නින්දෙන් තුන්වැනි ලෝක යුද්ධය කරා ඇවිදින්නෙමු. මේ අවස්ථාවේ දී වෙනස නම් එය න්‍යෂ්ටික යුද්ධයක් වීමට ඉඩ තිබීමයැ”යි ඔහු පැවසී ය.

මෙම වසරේ ජනවාරි දක්වා ජාතික ඔත්තුසේවා පිලිබඳ එක්සත් ජාතීන්ගේ අධ්‍යක්ෂ වූ, ජේම්ස් කැපර්, ඒ ආකාරයෙන් ම පසුගිය මාසයේ දී, රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක දී ප‍්‍රකාශ කලේ කොරියානු අර්ධද්වීපයේ තත්වය “එක් අතකින් මට සිහි ගන්වන්නේ 1වැනි ලෝක යුද්ධයේ ඉතිහාසය හා ලෝකය නොසැලකිල්ලෙන් මෙන් එයට ඇදවැටුනේ කෙසේ ද යන්න යි. මෙහි දී මිනිසුන් ඉතිහාසයෙන් ඉගෙන ගෙන එය පුනරුච්චාරනය නො කරතැ යි මම බලාපොරොත්තු වෙමි” යි පැවසීය.

කෙසේ නමුත්, මෙම පැහැදිලි අනතුරු ඇඟවීම් විශාල වශයෙන් බීරි අලින්ට වීනා වාදනයක් බඳු ය. එක්සත් ජනපදයේ හා සමස්ත ග‍්‍රහලෝකයේ මහජනතාවට එල්ල කෙරෙන න්‍යෂ්ටික යුද තර්ජනය හා එහි ගම්‍යන් පිලිබඳ වාර්තා කිරීම් හා විශ්ලේෂන කිසිවක් මහා සංගත වලට හිමි එක්සත් ජනපද මාධ්‍ය තුල පල නොකෙරේ. රිපබ්ලිකානු හෝ ඩිමොක‍්‍රටික් පක්ෂය තුල කිසිදු ප‍්‍රමුඛ නායකයෙකු, උතුරු කොරියාව සම්බන්ධයෙන් ට‍්‍රම්ප් පාලනාධිකාරිය හඹා යමින් සිටින භයානක හා ප‍්‍රකෝපකාරී ක‍්‍රියාමාර්ගය ගැන අනතුරු ඇඟවීමක් නිකුත් කර හෝ විවාදයක් කැඳවා හෝ නොමැත.

ඩිමොක‍්‍රටික් පක්ෂය වටා කක්ෂ ගතව සිටින ව්‍යාජ වම්මුන්ගේ නොයෙකුත් සංවිධාන හා ප‍්‍රකාශන යුද අනතුරු පිලිබඳ ව දැඩි නිහඬියාවක් පවත්වා ගෙන යමින් සිටිති. ඔවුන්ගෙන් කිසිවෙකුට ඇමරිකානු මහජනතාවට මෙම තර්ජනය හෙලිදරව් කිරීමට උත්සුකයක් නොමැති අතර, ඊට එරෙහිව කම්කරුවන්ගේ හා තරුනයන්ගේ ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් කිරීමේ අවශ්‍යතාවක් කොහෙත් ම ඇත්තේ නැත.

සූදානම් කෙරී ඇති දරුනු යතාර්ථය වඩා අවංකව සාකච්ඡා කෙරී ඇත්තේ මිලිටරි බුද්ධිමන්ඩල හා ප‍්‍රකාශන තුල ය. (දකුනු) කොරියාව තුල එක්සත් ජනපද මෙහෙයුම් සඳහා නියෝජ්‍ය සහකාර මාන්ඩලික ප‍්‍රධානී ලෙස සේවය කර ඇති, හිටපු ගුවන් හමුදා ජනරාල් රොබ් ගිවෙන්ස් විසින් ලියන ලද එවැනි එක් ලිපියක කොරියානු අර්ධද්විපය මත යුද්ධයක් “වරෙක සිතාගත නො හැකි වුවත් (දැන්) වඩා ශඛ්‍ය වෙමින් තිබේ” යයි අනතුරු ඇඟවී ය.

එවැනි ගැටුමක් පටන් ගැන්ම, “ලෝකයේ හතරවටින් එක්සත් ජනපද බෝම්බ දමන යානා” (කොරියාවට) ගෙන ඒම ද, ඒ අනුව “උතුරු කොරියාවේ සෑම වර්ග අඩියක්ම තම ප‍්‍රහාරක මානයට ඇතුලු වීමද” දකිනු ඇත යි ද ඔහු ලිය යි.

“උතුරු කොරියානු මරන සංඛ්‍යාව බියකරු වනු ඇත.” ”පූර්වානුමානය වන්නේ සටනේ සෑම දිනක දී ම අප උතුරු කොරියාව මත 20,000ක් මරා දමනු ඇති බවට යි.” ඒ අතරම, උතුරු කොරියාව, “පලමු දින කීපය අතරතුර, සෝල් නගරය තුල පමනක් දිනකට 20,000ක් මරා දමනු ඇත”යි ද ඔහු තවදුරටත් ලිය යි.

දැවන්ත මිනිස් ජීවිත හානියක් “නො වැලක්විය හැකි ය”යි ඔහු අනතුරු ඇඟ වී ය.

“අපි පාපන්දු පිටි තරම් වන ප‍්‍රදේශයක් මත කුඩාබෝම්බ පතුරුවන පොකුරු අවි යොදා ගන්නෙමු” යි ඔහු ලිය යි. “හතුරු කාලතුවක්කු වෙඩි තබමින් සිටින ප‍්‍රදේශයට අපි ආපසු කාලතුවක්කු වෙඩි එල්ල කරන්නෙමු. මිලිටරි කොන්දේසි සඳහා ප‍්‍රශස්ත තත්වයේ දී අපි නාගරික ප‍්‍රදේශ මධ්‍යයේ ඉලක්කවලට පහර දෙන්නෙමු; සිවිල් මරන ඇතිවීම වැලක්විය නො හැකි වනු ඇත. ඵලදායි ලෙස සටන් කිරීමට ජනාවාස හරි මැද පිහිටි අනදෙන පහසුකම්වලට අපට බෝම්බ දැමීමට සිදුවෙනවා ඇත. මිසයිල වාහක ජංගම රථ, සංවේදී ප‍්‍රදේශවල ස්ථානගත කර තිබුනද අපි ඒවා විනාස කරන්නෙමු. හානි පිලිබඳ වැඩි සැලකිල්ලක් නො දක්වා අපගේ ගොඩබිම් හමුදා හතුරන්ට වෙඩි වර්ෂා එල්ල කරනු ඇත. එමෙන් ම, ඔව්, මෑත දසකවල දුටුවාට වඩා බොහෝ පලල් ලෙස ඉලක්කවලට අපි බෝම්බ දමන්නෙමු.” ඔහු සපත කර කියන්නේ, මේ සටනේ මරන සංඛ්‍යාව, මිලියන ගනනකට ජීවිත් අහිමිකල “අපගේ පසුගිය දහසය වසරේ දී මැද පෙරදිග මෙහෙයුම් නොවැදගත් බවට පත් කරනු ඇති” බවයි.

මෙහි විස්තර කෙරෙන්නේ හිට්ලර්ගේ පරිමාවේ යුද අපරාධ යි. නමුත්, අධිරාජ්‍යවාදී සැලැසුම්කරුවන්ගේ උමතු ගනන් බැලීම් අනුව, “හොඳටම වාසි සහගත යුද වාතාවරනයක් සැලකූ විට”, නව කොරියානු යුද්ධයකදී, න්‍යෂ්ටික ප‍්‍රහාර හුවමාරුවක අනතුරක්, හෝ කොරියාව දේශසීමා කරගත් හා දකුනු චීන මුහුදේ සිට, සිරියාව හා නැගෙනහිර යුරෝපය දක්වා වොෂින්ටනය සමග රිස්සුම් නැති ගැටුම්වල කොටු වී සිටින, න්‍යෂ්ටිකව සන්නද්ධ චීනය හා රුසියාව ඊට ඇදී ඒමේ හැකියාවක් නැත.

මේ විනාශකාරී අන්තයන් දෙකෙන් එකක්වත් වලක්වා ගැනීමේ හැකියාව ඉතා කුඩාය. දකුනු කොරියාවේ මහජන විරෝධය හා චීනයේ හෙලා දැකීම් නොතකමින් එක්සත් ජනපදය තම තඞ් (THAAD) මිසයිල ආරක්ෂක පද්ධතිය සඳහා අතිරේක රොකට් විදිනයන් කොරියාවේ රැඳවීම මගින්, පසු ගිය දෙදවස තිස්සේ පැහැදිලි කෙරුනේ, එම පද්ධතිය සැබවින් ම චීනය වෙතට එල්ල කර ඇති අතර, න්‍යෂ්ටික පලමු ප‍්‍රහාරයට පසුබිම සපයනු ඇති බවය. දින දෙකකට පෙර, චීනය උතුරු කොරියානු දේශසීමාව අසල තමන්ගේ ප‍්‍රති-මිසයිල පද්ධතිය අත්හදා බැලී ය. එම අත්හදා බැලීම එක්සත් ජනපදය සමග ගැටුම සඳහා සූදානම් වීමක් බව සංඥා කරමින්, සවුත් චයිනා මෝනිංග් පෝස්ට් පත‍්‍රය; “කලාපයේ ස්ථාවරත්වයට තර්ජනය කරන ඕනෑම බලවතෙකු නැවත්වීමට චීනය සූදානම් බව හා සමත් බව” අභ්‍යාසය ප‍්‍රදර්ශනය කලේ යැයි බීජීනයේ නාවික විශේෂඥයෙකු කල ප‍්‍රකාශය උපුටා දැක්වීය.

පලවැනි ලෝක යුද්ධය නමැති ඝාතකාගාරය නිර්මානය කල 1914 ජූනි හා අගෝස්තු අතර සිදුවූ මිලිටරි ගැටුම් වේගවත් වීම් වලට, යුරෝපයේ විවිධ පාලක රාජාන්ඩු හා ධනේශ්වර ආන්ඩුවල පාර්ශ්වයන්,“අනපේක්ෂිත ප‍්‍රතිවිපාක” හා “අත් වැරදීම්වලට” නිසැකවම හේතු වූ වුවත්, යුද්ධයේ හේතුව මුල් බැස ගැනුනේ සමස්තයක් ලෙස ගෝලීය ධනවාදයේ, හා විශේෂයෙන් ම නිෂ්පාදන බලවේගවල ගෝලීය දියුනුව හා ඒකාබද්ධතාව, සහ ධනේශ්වර පද්ධතිය මුල් බැස ගැනුනු තරඟකාරී ජාතික රාජ්‍ය පද්ධතිය විසින් නොකඩවා කෙරෙන ග‍්‍රහලෝකය බෙදීම යන ප‍්‍රතිඝතිතාවන්තුලය.

1915දී යුද්ධය අතරතුර ලියන ලද, යුද්ධය හා ජාත්‍යන්තරය නම් ලිපිය තුල ට්‍රොට්ස්කි පැහදිලි කල පරිදි, ධනේශ්වර බලවතුන් මෙම ප‍්‍රතිඝතිතාවන් විසඳීමට උත්සාහ කලේ “මානව සංහතියේ සියලු නිෂ්පාදකයින්ගේ බුද්ධිමත්, සංවිධිත සහයෝගිත්වය මගින් නො ව, ජයග‍්‍රාහී රටවල ධනපති පන්තිය විසින් ලෝක ආර්ථික පද්ධතිය කොල්ල කෑම මගිනි.” යුද්ධය මගින් නියෝජනය කලේ, “මානව ඉතිහාසය තුල, නෛසර්ගික ප‍්‍රතිඝතිතාවන් විසින් විනාශ කල ආර්ථික පද්ධතියක දැවැන්තම බිඳ වැටීම” බව ඔහු ලිව්වේ ය.

සියවසකට පසු, මෙම ප‍්‍රතිඝතිතතාවන් විසඳී ඇතිවා වෙනුවට, වඩ වඩාත් තීව‍්‍ර කෙරී ඇත්තේ, ධනේශ්වර ගෝලීයකරනය සහ පෙර නො වූ විරූ පරිදි ආක‍්‍රමනකාරී හා කුරිරු ලෙස මිලිටරි ශක්තිය යොදා ගනිමින් තම ගෝලීය ආධිපත්‍යය සහතික කිරීම මගින් ලෝක වේදිකාව මත තම පරිහානිය වලක්වා ගැනීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය ගෙනයන නරුම තල්ලුව මගිනි.

එහෙත් යුද්ධය ලෝක ධනේශ්වර පද්ධතියේ විසඳිය නො හැකි ප‍්‍රතිඝතිතාවන්ගේ ප‍්‍රකාශනයක් පමනක් නො වේ. ඒවා සමාජ විප්ලවය සඳහා වෛෂයික භෞතික පදනම් ද සූදානම් කරයි. සියවසකට පෙර බොල්ශෙවික් පක්ෂයේ නායකත්වය යටතේ රුසියානු කම්කරු පන්තිය බලය ගැනීම පලමුවැනි ලෝක යුද්ධයේ මලබෙරය හැඬවී ය.

අද කම්කරු පන්තිය මුහුන දෙන කර්තව්‍යය වන්නේ, මනුෂ්‍යවර්ගයාගේ විනාශය කැඳවමින් න්‍යෂ්ටික අග්නිජාලාවකින් පමනක් අවසන් විය හැකි, තුන්වැනි ලේක යුද්ධයක පිපිරීම වලකා ලීම යි. ඉතාමත් හදිසි කර්තව්‍යය වන්නේ යුද්ධයට හා එහි මූලයට, එනම් ධනේශ්වර පද්ධතියට එරෙහිව කම්කරු පන්තියේ දැවන්ත දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීම යි.

බිල් වෑන් ඕකන්

Share this article: