“සයිටම් විරෝධී” රථ පෙලපාලිය සහ රැස්වීම: “සිසු ජන පවුරේ” තවත් සංදර්ශනයක්

නවීන් දේවගේ සහ පානි විජේසිරිවර්ධන විසිනි , 2017 සැප්තැම්බර් 20

මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා “සයිටම් විරෝධී සිසු ජන පවුර” විසින් ගෙනයන උද්ඝෝෂනයේ කොටසක් ලෙස දිවයිනේ ස්ථාන කීපයකින් ආරම්භ කොට, 15දා කොලඹට ලඟාවූ සිවුදින රථ පෙලපාලිය ලිිප්ටන් වට රවුමේ පැවැත්වූ රැස්වීමකින් අවසන් විය.

රජයේ වෛද්‍ය නිලධාරි සංගමය (රවෛනිස) විසින් කැඳවන ලදුව, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සහ වෘත්තීය සමිති කීපයක සහභාගිත්වයෙන් අටවාගනු ලැබූ ධනපති පෙරමුනක් වන “සයිටම් විරෝධී සිසු ජන පවුරේ” මූලික අරමුන වනුයේ, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ පුද්ගලීකරන වැඩපිලිවෙලට එරෙහිව, විශේෂයෙන්ම අධ්‍යාපනයේ පුද්ගලීකරනයට එරෙහිව, වැඩෙමින් පවත්නා කම්කරු සහ සිසු අරගල, ඊනියා “සයිටම් අහෝසි කිරීමේ” උද්ඝෝෂනයක් තුල සිරකොට අවමංගත කිරීම යි. ඔවුන් මෙම උද්ඝෝෂනය ගෙනයනු ලබන්නේ, ආන්ඩුවට බලපෑම් යෙදීම මගින් “සයිටම් අහෝසි කිරීම” එල්ලකර ගත් බංකොලොත් ඉදිරි දර්ශනයක් මත ය.

“දිවයිනේ සිවු කොනින් පැමිනෙන රථ 5,000 කින් යුත්” රථ පෙලපාලියකින් “කොලඹ නගරය වටලන” බවට රවෛනිස මාධ්‍ය නිවේදන නිකුත් කල ද, රථ කීප සියයකින් සමන්විත එම පෙලපාලියට සහ රැස්වීමට සහභාගිවූයේ තුන් දහසකට ආසන්න පිරිසක් පමනි. ඉන් වැඩිමනත් කොටස ජවිපෙහි ආධාරකරුවෝ වූහ. ශිෂ්‍ය සහභාගිත්වයක් නොමැති තරම් ය. සයිටම් අහෝසි කිරීමේ ඉල්ලීම හැර පුද්ගලීකරනයට හෝ ධනවාදයට එරෙහි කිසිදු සටන් පාඨයක් පෙලපාලියේ හෝ රැස්වීමේ නොතිබුනි. ඇමතිවරු කීප දෙනෙකුට හෝ ආන්ඩුවට එරෙහි ආවේගශීලි රැඩිකල් කතාවන්ගෙන් පිරුනු රැස්වීම, පුද්ගලීකරනයේ සැබෑ මූලයන් මුලුමනින්ම ආවරනය කෙරුනු සන්දර්ශනයක් විය.

රැස්වීම් ආරම්භක කතාව කල රවෛනිස යේ ප්‍රධාන ලේකම් හරිත අලුත්ගේ, පුද්ගලීකරනයට පක්ෂපාතී වන අතරේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් විරුද්ධ වන තම සංගමයේ සුපුරුදු පිලිවෙත අනුයමින් කියා සිටියේ, “සයිටම් අහෝසි කිරීම” සිදුවන තෙක් තම අරගලය ඉදිරියට ගෙනයන බව යි. ප්‍රමිතිය පිලිබඳ ප්‍රශ්නය තලුමැරීමට අලුත්ගේ ඇතුලු නඩයට අලුත් නිමිත්තක් හසුවී තිබින. එනම්, බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාව විසින් සයිටම් වෛද්‍ය උපාධිය පිලි නොගන්නා බවට කල ප්‍රකාශය යි. “අපි මුල ඉඳල කියපු දෙය දැන් ජාත්‍යන්තරවත් සනාථ වෙලා තියෙනවා. සයිටම් උපාධිය පිලිගන්න බෑ කියල ලංකාවේ වෛද්‍ය සභාව කිව්වම සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න කිවුවේ, වෛද්‍ය සභාවට නඩු දානව කියල. දැන් රාජිතට වෙන්නෙ එංගලන්තෙ වෛද්‍ය සභාවට විරුද්ධව නඩු දාන්න. . .අපි පාලකයන්ට කියනවා දේශීය චින්තනයට ගරු කරන්න බැරි නම් එංගලන්ත වෛද්‍ය සභාවේ තීරනය දෙස බලා හෝ සයිටම් අහෝසි කරන ලෙස.”

අලුත්ගේ තම සමස්ත කතාව තුලම උත්සාහ කලේ, ආන්ඩුවේ පුද්ගලීකරන පිලිවෙතින් සයිටම් ප්‍රශ්නය වියෝකොට ආන්ඩුව කොක්කෙන් ගලවා, සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න සහ උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුලු කීප දෙනෙකුගේ විරුද්ධත්වය නොවේනම් “සයිටම් ප්‍රශ්නය මේවනවිට විසඳී ඇති බව” සනාථ කිරීමට යි.

ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පූච්චානම් භාෂාවෙන් කියා සිටියේ, “ආන්ඩුව සයිටම් අහෝසි කරන්නෙ නැත්නම් අපි ආන්ඩුව අහෝසි කරල හරි” සටන ජයග්‍රහනය කරන බවයි. ධනපති පක්ෂයක් බවට පරිවර්තනයවී ඇති ජවිපෙ මේ වනවිට යෙදී සිටිනුයේ, 2020 වනවිට තම ආන්ඩුවක් පිහිටුවීමේ උද්ඝෝෂනයක යි. ජවිපෙ ආන්ඩුවේ වැඩපිලිවෙල ද පදනම් වනුයේ, නිදහස් සෞඛ්‍යයේ සහ අධ්‍යාපනයේ විනාශය අනිවාර්ය කෙරෙන ධනපති නිෂ්පාදන ආර්ථික ක්‍රමයක් මතයි. පසුගිය දා බන්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේදී ව්‍යාපාරිකයන් අමතා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් කලේ මෙම ධනේශ්වර වැඩපිලිවෙල යි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු ලහිරු වීරසේකර සුපුරුදු පරිදි තම කතාව තුල දිගින් දිගටම අවධාරනය කලේ, සියලු ප්‍රශ්න වලට විසඳුම “අරගලය” බවයි. ව්‍යාජ වාම පක්ෂයක් වන පෙසප යේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන අවිශිබම යේ “අරගලය” ආන්ඩුවට බලපෑම් දැමීමේ විරෝධතා දේශපාලනයෙන් ඔබ්බට නොයන බව ඔහුගේ කතාවෙන් යලිත් වරක් සනාථ විය.

කෙසේ නමුත්, පෙසපයේ කථිකයෙකු සහභාගි නොවීම, රැස්වීමේ කැපී පෙනුනු ලක්ෂනයක් විය. මේ පිලිබඳව විමසූවිට, පෙසප ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පැවසුවේ, සිසු ජන පවුරේ “න්‍යාය පත්‍රය සමග” තම සංවිධානයට “නොඑකඟතා” පවත්නා බවයි. මෙම නොඑකඟතා මූලික වශයෙන් “උපාය මාර්ගික” වන බව ද, “සිසු-ජන පවුරේ අභ්‍යන්තර සාකච්ඡාවන්හිදී” මෙම නොඑකඟතා ඉදිරිපත්කර ඇති බව ද ජයගොඩ තවදුරටත් පැවසීය. “විශේෂයෙන්ම, එක් එක් ක්ෂේත්‍රයන්හි සංවිධානය කරන වර්ජන වෙනුවට, සියලුම ක්ෂේත්‍රයන් සහභාගි කරවාගත් එක්දින සංකේත වර්ජනයක් අපි යෝජනා කලා. එයට එකඟතාවක් ඇතිවුනේ නෑ. දැන්, 21දා අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි පමනක් සංකේත වර්ජනයක් පැවැත්වීමට සිසු-ජන පවුර වැඩ කරනවා.”

“සයිටම් විරෝධී සිසු ජන පවුරේ” ධනේශ්වර ගැතිභාවය සහ පුද්ගලීකරන හිතකාමිත්වය වඩවඩාත් එලිමහනට පැමිනෙමින් එහි ප්‍රතිගාමිත්වය අනාවරනය වෙද්දී, කම්කරුවන් සහ සිසුන් අතර එය කෙරෙහි වැඩෙන විරුද්ධත්වය හමුවේ, “සිසු ජන පවුරෙන්” දුරස්ථවීමේ ඉරියව්වක් පෙන්වීමට පෙසප උත්සාහ කරයි. එනමුදු, තමන්ට ඇත්තේ උපායික මතභේද බව පැවසීමෙන් පෙන්නුම් කෙරෙනුයේ, ආන්ඩුවට බලපෑම් දැමීමේ විරෝධතා දේශපාලනයෙන් සහ කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීමට එරෙහි ඔවුන්ගේ අතිමූලික දේශපාලනයෙන් ඉවත්වීමේ කවර හෝ අන්තර්ගතයක් මෙම දුරස්ථවීම තුල නොමැති බවයි.

“ආන්ඩුව සයිටම් ආරක්ෂා කරද්දී, එය වසා දමන ලෙස ඉල්ලා වෛද්‍ය නිලධාරි සංගමය නැවතත් වර්ජනයේ යෙදෙයි” යන හිසින් ලෝසවෙඅ හි පලවූ ලිපිය බෙදා හරිමින්, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෝ රැස්වීමට සහභාගිවූවන් සමග සාකච්ඡාවකට එලැඹුනහ.

ලෝසවෙඅ නියෝජිතයා සුලු ව්‍යාපාරිකයෙකු වෙත අදහස් දක්වමින්

මාතර සිට පැමිනි සුලු ව්‍යාපාරිකයෙකුවූ ෂෙල්ටන් පවතින සහ පැවති රජයන් දෙකෙහි ප්‍රතිපත්ති අතර වෙනසක් නොදකින බව පැවසීය. ඔහු කීවේ, ලෝකය පුරා ධනපති ආන්ඩු සුබසාධනය කප්පාදු කරන අතරේ මර්දනය උග්‍ර කරමින් සිටින බවක් තමා දකින බවයි. “ඒකාබද්ධ විපක්ෂය මේකට සම්බන්ධ වෙලා තියෙන්නෙ වෙනම අරමුනක් ඇතිව.” පලමුව සයිටම් විරෝධී සටන ජයගෙන දෙවනුව ධනපති ක්‍රමයට එරෙහි සටන ගත යුතු බව ඔහුගේ අදහස විය.

සයිටම් වෛද්‍ය විද්‍යාලය යනු, අනුප්‍රාප්තික ධනපති ආන්ඩු විසින් ක්‍රියාවට දමමින් පවත්නා පුද්ගලීකරන පිලිවෙතේප්‍රතිඵලයක් බැවින්, ධනපති ආන්ඩු වලට සහ ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන සටනකින් තොරව මෙම පුද්ගලීකරන වැඩපිලිවෙල පරාජය කල නොහැකි බවත් මෙම දේශපාලන සටන ඉදිරියට ගෙන යා හැක්කේ, කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් මගින් පමනක් බවත් සසප සාමාජිකයෝ ඔහුට පෙන්වා දුන්හ. සැබැවින්ම ජනපවුර වැනි ව්‍යාපාරයන් කරන්නේ, එවැනි සටනක් වර්ධනය වීමට ඇති ඉඩ අවකාශය ඇහිරීම බව ඔහු අවසානයේ පිලිගත්තේ ය.

රාගම වෛද්‍යපීඨ ශිෂ්‍යයෙකු වන සමිත සහ මොරටුව විශ්ව විද්‍යාලයේ මලින්ද ලෝසවෙඅ නියෝජිතයා වෙත අදහස් දක්වමින්

තමා හුදු සයිටම් විරෝධයෙන් මෙම සටන තුල නොසිටින බවත්, අවශ්‍ය වන්නේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය පුද්ගලීකරනයට එරෙහි අරගලයක් බවත් මොරටුව විශ්ව විද්‍යාලයේ මලින්ද පැවසී ය. එමෙන්ම මෙය ධනපති ක්‍රමයේ අසමර්ථභාවයක් ලෙස සසප ඉදිරිපත් කරන පැහැදිලි කිරීම් වලට එකග බවත් ඔහු කීවේ ය. “වෙනත් සමාජවාදී යයි කියා ගන්නා පක්ෂ, මේක ධනපති ක්‍රමයේ අර්බුදයක් බව කියන්නෙ නෑ. සමාජවාදය යනු කුමක් දැයි ඔබ කල පැහැදිලි කිරීම එක්ක ඔවුන්ව සමාජවාදී යැයි වර්ග කිරීම සාවද්‍ය බව වැටහෙනවා.”

එම සාකච්ඡාවට සහභාගිවූ රාගම වෛද්‍යපීඨ ශිෂ්‍යයෙකු වන සමිත මෙසේ කීවේ ය: “සමාජවාදය සඳහා සටන් කිරීමට කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය යැයි සසප ඉදිරිපත් කරන අදහස මට නැවුම්. ඒ වගේම ඒක නිරවද්‍යයි කියල මම හිතනවා. එහෙම බැලුවම ජවිපෙ සහ පෙසප කරන්නෙ ධනපති පෙරමුනු හදල එවැනි ස්වාධීන ව්‍යාපාරයක් හැදෙන එක වැලැක්වීම. මම සසප සමග ඉදිරියටත් සාකච්ඡා කරන්න කැමතියි.”

Share this article: