ශ්‍රී ලංකාවේ විදුලිබල කම්කරු වැඩවර්ජනය දිගටම

Sri Lankan power workers on strike

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිිනි, 2017 සැප්තැම්බර් 19

ආන්ඩුවේ තර්ජන හා බියගැන්වීමේ ව්‍යායාමය නොතකා ලංකා විදුලිබල මන්ඩල 22,000ක් කම්කරුවෝ අඛන්ඩව වැඩ වර්ජනයේ යෙදී සිටිති. පසුගිය 13දා ආරම්භවූ වැඩ නතරකිරීම දිවයිනේ ප‍්‍රදේශ රැසක විදුලි බල සැපයුම අඩාල කර ඇත.

ආන්ඩුව පොරොන්දුවූ සියයට 10-13 වැටුප් වැඩිවීම ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසුව තාක්ෂනික ඉංජිනේරු හා විදුලි අධිකාරීන් අනුබද්ධ වෘත්තීය සමිති ද වර්ජනයට සම්බන්ධ වන බවට තර්ජනය කර ඇත. එම සමිති අද සිට දෙදිනක විරෝධතා වර්ජනයක යෙදෙන බවත් ඉන් පසුව එය අඛන්ඩව ගෙනයනවාදැයි තීරනය කරන බවත් පැවසීය.

සමිති ගනනාවක් ඒකාබද්ධවී සිටින විබම වෘත්තීය සමිති සන්ධානය විසින් කම්කරුවන්ගේ වර්ජනය කැඳවනු ලැබීය. ඊට අයත් වන්නේ, විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන මෙහෙයවන ලංකා විදුලිබල සේවක සංගමය මෙන්ම, ආන්ඩුවට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා එක්සත් ජාතික පක්ෂයට අයත්, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය හා ජාතික සේවක සංගමයයි.

සමිති විසින් වැටුප් විෂමතා ඉවත් කිරීමේ ඉල්ලීමට වර්ජනය සීමා කිරීමට උත්සාහ දරයි. කෙසේ වුව ද වැඩ වර්ජනය, සමාජ කොන්දේසි මත ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාර කෙරෙහි කම්කරු පන්තියේ නැගී එන කෝපය ප‍්‍රකාශිත වීමකි.

අනෙකුත් ඉල්ලීම් අතර, ජාතික රැකියා පුහුනුවන්නන් සූරාකෑම, සමිති වලට එල්ල කර ඇති මර්දනකාරී පියවර නතර කිරීම මෙන්ම තාක්ෂනික කම්කරුවන්ට අවදානම් දීමනාවක් ගෙවීම ද වේ.

ලංවිම සේවකයින්ගේ අර්ථසාධක අරමුදලෙන් “අතුරුදහන්කර” භාන්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර ඇති බවට චෝදනා නැගී ඇති, රුපියල් බිලියන 5ක් පමන මුදලක් සම්බන්ධයෙන් වංචා විමර්ෂනයක් කරන මෙන් ද සමිති ඉල්ලා සිටී.

වෘත්තීය සමිති උත්සාහ කරන්නේ කම්කරුවන්ගෙන් පලවන විරුද්ධත්වය, විශාල වශයෙන් වැටුප් වැඩිකර ගැනීම ගැන ලංවිබම ඉහල නිලධාරීන් හා ඉංජිනේරුවන්ට දඬුවම් කල යුතුය යන ඉල්ලීමට සිඳුවීමටය.

සමිති සන්ධානයට අනුව, පහල ශ්‍රේනිවල හා විධායක තනතුරු අතර වැටුප් විෂමතාවය, සියයට 1:9 අනුපාතයකින් වැඩිවී ඇත. මක්නිසා ද යත්, විධායක තනතුරුවලට වැටුප් වැඩිකිරීම නිසාය. සමිති ඉල්ලා සිටින්නේ එය කලින් පැවති 1:6 මට්ටමට කප්පාදු කරන ලෙසය.

වියදම් කැපීම සඳහා මන්ඬලය, ජාතික රැකියා පුහුනු කිරීමේ අධිකාරියෙන් හා කොන්ත‍්‍රාත් පදනම මත කම්කරුවන් සිය ගනනක් බඳවාගෙන ඇත. ඔවුන්ට රුපියල් 750-1000 අතර දෛනික වැටුපක් ගෙවනු ලබයි. සමිති සන්ධානය මෙම සූරාකෑමට විරුද්ධ බව මවා පෑව ද එම කම්කරුවන්ගේ රැකියා ස්ථිර කරන ලෙස හා වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා සිටීමෙන් වැලකී සිටියි.

වර්ජනය කම්කරු පන්තියේ පුලුල් ව්‍යාපාරයක් බවට පත්වීමේ ලක්ෂ්‍යය බවට පත්වීමේ හැකියාව ගැන ආන්ඩුව බියට පත්ව සිටින තතු හමුවේ මිලිටරිය, මෙයට මැදිහත්වීමට සිය සූදානම පල කර ඇත.

මිලිටරි ප‍්‍රකාශක රොෂාන් සෙනෙවිරත්න 17 ඉරිදා මාධ්‍ය වෙත පැවසුවේ, වර්ජනය ඇරඹුනදා සිට ආරක්ෂක හමුදා විදුලි බල මන්ඩලයේ කටයුතු වලට ආධාර කිරීමට සූදානමින් සිටින බවයි. ජූලි මාසයේදී ආන්ඩුව, ඛනිජ තෙල් සංස්ථාවේ කම්කරු වැඩ වර්ජනය බිඳීම පිනිස හමුදාව යෙදවීමට කඩතුරාවක් ලෙස යොදාගත් අත්‍යවශ්‍යම සේවා නියෝගය පනවනු ලැබීය.

වර්ජනය නතර කිරීම පිනිස සමිති නායකයෝ ආන්ඩුව සමග තිරයෙන් පිටුපස සාකච්ඡා ද පවත්වති.

ලංවිබම බලධාරීන් සමග සාකච්ඡා “අසාර්ථක” වීමෙන් පසුව සමිති සන්ධානය මෙහෙයවන, ලංකා විදුලිබල සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් හා ජවිපෙ නායකයෙකු වන රන්ජන් ජයලාල් 18දා රාත්‍රීයේ කම්කරු ඇමති ඩබ්ලිව්.ජේ. සෙනෙවිරත්න සමග සාකච්ඡාවක් පැවැත්වීය. ජාසේසං සමිති නායකයෝ, නීතිය හා සාමය පිලිබඳ ඇමති සාගල රත්නායක හමුවූහ. වාර්තා වන පරිදි ඔවුන්, අර්බුදයට අගමැති රනිල් වික‍්‍රමසිංහ මැදිහත් කරවන ලෙස ඇමතිවරයාගෙන් ඉල්ලා ඇත.

පිලකුල් සහගත ලෙස සමිති මෙලෙස කටයුතු කරන්නේ, ආන්ඩුව කම්කරුවන් බියගැන්වීමේ ව්‍යායාමයක නිරතව සිටින අතරතුරය. වර්ජනයට පෙරාතුව ලංවිබම බලධාරීහු සියලු කම්කරුවන්ගේ නිවාඩු අවලංගු කලහ. පසුගිය 14දා ආන්ඩුව නියෝග කලේ, සියලු අනියම් හා ආධුනික සේවකයින් වහාම සේවයට වාර්තා කල යුතු බවයි. එසේ වාර්තා නොකරන අය “සේවය අතහැර ගිය අය ලෙස” සලකනු ලබන බවට ආන්ඩුව අනතුරු ඇඟවීය.

සේවා කොන්දේසි මත ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාර පිලිබඳව සිය සාමාජිකයින් අතර වැඩෙන කෝපය හමුවේ, සමිති සන්ධානයට වර්ජනය කැඳවීමට බල කෙරුනි. කෙසේ වුව ද සමිතිවල අරමුන, කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කරන අව්‍යාජ අරගලයක් සංවිධානය කිරීම නොව, උනුසුම වාෂ්ප කර වැඩෙන විරුද්ධත්වය මැඩලීමය.

2015 වසරේ පටන් සමිති සන්ධානය, එම ඉල්ලීම්ම මුල්කරගෙන, උද්ඝෝෂන මාලාවක් සංවිධානය කරනු ලැබින. සෑම අවස්ථාවකදීම ඔවුන්, තවදුරටත් එවැනි ක්‍රියා ඇතිවීම වැලැක්වීම සඳහා ආන්ඩුවේ ප්‍රෝඩාකාරී පොරොන්දු ඉදිරියට දමා ගත්තේය.

ලෝසවෙඅ සමග කථාකල කම්කරුවෝ තම සේවා කොන්දේසි පිරිහෙන ආකාරය විස්තර කලහ.

හලාවතදී තාක්ෂනික කම්කරුවෙක් පැවසුවේ: “මගේ මාසික වැටුප රුපියල් 50,000ක් (ඇමරිකානු ඩොලර් 326) පමන වන බවයි. තවමත් පාසැල් යන දරුවන් දෙදෙනෙක් මට ඇත. ජීවන වියදම ඉහල යන තරම ගත් විට මගේ වැටුප පවුලේ වියදම් දැරීමට තරම් සෑහෙන්නේ නැත.

“මම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකි. මැතිවරනයේදී මම මේ ආන්ඩුවට ඡන්දය දුන්නා. ඒත් එය හිටපු රාජපක්ෂ ආන්ඩුවට වඩා වෙනස් නෑ. ඒ සියලු දෙනාම විබම තත්වයට වගකිව යුතුයි. ඔවුන් සියලු දෙනාම විදුලි උත්පාදනය හා බෙදාහැරීම පෞද්ගලික අංශයට පැවරීමට එකඟයි.”

වැලිගම නඩත්තු කම්කරුවෙක් පැවසුවේ: “විවිධ සමිතිවල කම්කරුවන් සටනට එකතුවී සිටින අතර අපි මේ අරගලය දිගටම ගෙනියනවා. ඒත් ආන්ඩුව අපේ ඉල්ලීම් වලට ඇහුන්කන් දෙයි කියලා මට විශ්වාසයක් නෑ.”

කම්කරු පන්තියේ පිකට් කිරීම් හා පෙලපාලි පැනනැගීම වැලැක්වීමේ උපාමාරුවක් ලෙස සමිති, ආගමික නාඩගම් ඉදිරියට දමාගනියි. සැප්තැම්බර් 13දා සමිති විසින් ලංවිබම කොලඹ මූලස්ථානය ඉදිරිපිට පොල් ගැසීමක් හා දේව කන්නලව්වක් සංවිධානය කලහ.

වෘත්තීය සමිති නායකයින් විසින් ලංවිබම කොලඹ මූලස්ථානය ඉදිරිපිට පැවැත්වූ තොවිලය

රන්ජන් ජයලාල් පැවසුවේ, සමිති නායකයෝ ප‍්‍රධාන බෞද්ධ නායකයින් මුනගැසෙනු ඇති බවයි. ඔහු කම්කරුවන්ට කැඳවුම් කලේ, විදුලි බල මන්ඩලයේ ප‍්‍රාදේශීය කාර්යාල ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂන සංවිධානය කිරීම සඳහා තම ගම්වල බෞද්ධ භික්ෂූන් හමුවන ලෙසය.

මේ කටයුතු වලින් පෙන්වන්නේ වෘත්තීය සමිතිවල අමු බංකොලොත් කමයි. ඒවායින් හුවා දක්වන්නේ, විරෝධතා ආන්ඩුවෙන් සහන දිනාගැනීමට සමත්ය යන ප්‍රෝඩාව සමග ආගමික හා වාර්ගික භේදකරනයයි.

යථාර්තය නම්, පෞද්ගලීකරනය හා රජය සතු ව්‍යවසායන් ප‍්‍රතිව්‍යූහගත කිරීම ද ඇතුලු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝග කර ඇති පුලුල් න්‍යායපත‍්‍රයේ කොටසක් ලෙස, විදුලි බල මන්ඩලයේ කම්කරුවන් ප‍්‍රහාරයට ලක්ව සිටින බවයි. ජාමූඅ කියා සිටින්නේ, විබම, ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ජල සම්පත් මන්ඩලය හා වරාය මුලුමනින්ම වානිජ්‍යකරනය කල යුතු බවයි. ඒවායේ නය ආර්ථිකයට බරක් බව ඔවුහු කියා සිටිති.

මෑතක පලවූ වාර්තාවන්ට අනුව, ලංවිබම ක්‍රියාත්මක වන්නේ, 2017 පලමු සිව් මාසයේ රුපියල් බිලියන 16.6ක පාඩුවකට යටත්වය. මෙය පසුගිය වසරේ ඒ කාලයේම පැවතුනාට වඩා සියයට 197ක් වැඩිවීමකි. එසේම ජාමූඅ, පාඩු මකා ගැනීම සඳහා පාරිභෝගික භාන්ඩ හා සේවා මිල ගනන් වැඩි කරන ලෙස ද කියා සිටියි. මෙය වැඩකරන ජනතාව මුහුනපාන සමාජ අර්බුදය තවත් උග‍්‍ර කරනු ඇත.

ලංකා විදුලිබල මන්ඩලය කොටස් වශයෙන් පෞද්ගලීකරනය පටන්ගත්තේ 1990දීය. 2009දී රාජපක්ෂ ආන්ඩුව විදුලි බල උත්පාදනය හා බෙදාහැරීම පිටතට පැවරීමේ පනත් සම්මත කලේය. එයට කම්කරුවන්ගේ පුලුල්ව පැතිර ගිය විරුද්ධත්වයක් ඇවිලවීය. වෘත්තීය සමිති, සීමිත ඉල්ලීම් පාදක කරගත් බංකොලොත් විරෝධතා ව්‍යාපාරයකට එම විරුද්ධත්වය හරවා යැවූහ. ඔවුන් කිසිවිටෙකත් පෞද්ගලීකරනයට විරුද්ධ අරගලයක් කැඳවූයේ නැත.

ශ්‍රී ලංකාව පිලිබඳ ජාමූඅ ජූලි 27දා පල කල වාර්තාවක කියා සිටියේ, විබම ඇතුලු “රාජ්‍ය ව්‍යවසායන් පිලිබඳ ප‍්‍රතිසංස්කරන තවදුරටත් ප‍්‍රමාද කිරීම” රට මුහුනපා සිටින ප‍්‍රධාන අවදානමක් බවයි. ආන්ඩුව නොවරදවාම මේ “අවදානම” දුරු කිරීමට උත්සාහ කල යුතුය, කවරාකාරයෙන් ද යත්, තවදුරටත් පෞද්ගලීකරනයෙන් ද රැකියා, සේවා කොන්දේසි හා වැටුප් කප්පාදුව මගින් ද ය.

Share this article: