සිරියාව තුල ඇමරිකානු-රුසියා ආතතීන් ඇවිල යයි

US-Russian tensions flare in Syria

බිල් වෑන් ඕකන් විසින්, 2017 සැප්තැම්බර් 26

සිරියානු ආන්ඩුවේ හමුදාවන්ට උපදෙස් දෙන ජ්‍යෙෂ්ඨ රුසියානු ජෙනරාල් වරයෙකුගේ මරනයත්, ඇමරිකානු සහාය ලබන සිරියානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී හමුදා (එස්ඩීඑෆ්), රුසියානු ප‍්‍රහාරක යානා තමන්ට බොම්බ දැමූ බවට කරන ප‍්‍රකාශත් හමුවේ, වොෂින්ටනය හා මොස්කෝව අතර ආතතීන් උත්සන්න වෙමින් ඇත. දෙපාර්ශවය පිලමලුන් ලෙස සටන් වැද සිටින්නේ, අයිසිස් යන ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය හමුදාවන්ගෙන්, බලශක්තියෙන් පොහොසත් ඩියසෝර් පලාතේ බලය තමන් අතට ගැනීමටය.

රුසියානු නියෝජ්‍ය විදේශ ඇමති සර්ජි රියාබ්කොව්, ලුතිනන් ජෙනරාල් වැලරි ඇසපොව් ඩියසෝර් නගරය ආසන්නයේදී මෝටාර් ප‍්‍රහාරයකින් මරුමුවට පත්වීම, “සිරියාව තුල ඇමරිකානු පිලිවෙතේ දෙපිටකාට්ටුකම වෙනුවෙන් ගෙවූ මිල, ලේවැකි මිල” බවට 25දා චෝදනා කලේය.

ඩියසෝර් පලාත සිරියාවේ නැගෙනහිර, ඉරාකයට මායිම්ව පිහිටා ඇත. එය රටේ තෙල් හා ගෑස් කර්මාන්තයේ මධ්‍යස්ථානයයි. එය, ජනාධිපති බෂර් අල් අසාද්ගේ ආන්ඩුවට එරෙහි තන්ත‍්‍ර මාරුවක් සඳහා ඇමරිකාවේ සහාය ඇතිව ගෙනයන යුද්ධයේ කොටසක් ලෙස, ඉස්ලාමීය මිලිෂියාවන් විසින් අල්ලාගනු ලැබීමට පෙර, රටේ නගර වලට බලශක්තිය සැපයූ ප‍්‍රධාන මූලාශ‍්‍රයව පැවතුනි.

එහි මූලෝපායික බලශක්තිය හා භූමූලෝපායික පිහිටීම යන කාරනා දෙකම නිසා පලාත, පාලනය සියතට ගැනීමේ පොරපිටියක් බවට පත්ව තිබේ. ඒ, ඇමරිකානු විශේෂ හමුදා හා ගුවන් බලයේ පිටුබලය ඇතිව කුර්දි වරුන් අධිකාරය දරන එස්ඩීඑෆ් හමුදා, සිරියානු ආන්ඩුවේ හමුදාවන් විසින් ලබාගනිමින් ඇති ජයග‍්‍රහන වැලැක්වීමට උතුරේ සිට පැමිනීමත් සමගය.

මේ මස මුල සිරියානු මිලිටරිය, ඩියර්සෝර් වාසීන් දෙලක්ෂයක් සහිත ආන්ඩුවේ පාලනය යටතේ පැවතුන නගරය තුල, දෙවසරක් තිස්සේ අයිසිස් වරුන් විසින් පවත්වාගෙන ගිය වැටලීම බිඳ හෙලීමට සමත් විය. ආන්ඩුවේ ජයග‍්‍රහහනයට ප‍්‍රතිචාර වශයෙන්, ඊනියා අයිසිස් අගනුවර ලෙස සැලකුන උතුරේ රකා ප‍්‍රදේශය වාඩිලා ගත් ඇමරිකාවේ කුලීකාර එස්ඩීඑෆ් හමුදා, එහි සිට යුප‍්‍රටීස් ගෙඟ් බටහිර දෙසට හරවා යැවුනි. එහිදී ඔවුන් නගරයේ හා පලාතේ තෙල් හා ගෑස් නිධිවල පාලනය අල්ලා ගැනීමේ තරඟයක යෙදී සිටී.

ඇමරිකානු හමුදා නායකයෝ යලි යලිත් කියා ඇත්තේ, වොෂින්ටනය උනන්දු වන්නේ අයිසිස්වරු පරාජය කිරීම ගැන පමනක් බවය. තමන් “ඉඩම් අල්ලා ගැනීමේ ව්‍යාපාරයක” නිරතව නොසිටින බවයි. කෙසේ වෙතත් යථාර්තය නම්, පෙන්ටගනය විසින් අනුගමනය කරන්නේ හරියටම ඒ “ව්‍යාපාරය” වීමයි.

රුසියාව චෝදනා කරන පරිදි වොෂින්ටනය, සිරියාව තුල “දෙපිටකාට්ටු පිලිවෙතක්” අනුගමනය කරන බව සනාථ කිරීම සඳහා එරට ආරක්ෂක අමාත්යාංශය, ඩියර්සෝර් නගරයේ අයිසිස් බලකොටු ලෙස සැලකෙන උතුරු කොටස කරා ඇමරිකානු විශේෂ හමුදාවන් පාවිච්චි කරන හම්වී යන යුද ටැංකි විශාල ප‍්‍රමානයක් ගමන් ගන්නා ගුවන් ඡායාරූප මුදාහැර ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන අන්දමට ප‍්‍රදේශය තුල කිසිදු සටනක සලකුනක් දක්නට නැත. එහි ෂෙල් වෙඩි හා බෝම්බ වලින් හෑරුනු වලවල් දක්නට නොලැබේ. අයිසිස් අල්ලාගෙන සිටි ප‍්‍රදේශවල ඇමරිකානු හමුදාවන් ආරක්ෂක මුරකාවල් තරකිරීමට පවා පියවර ගෙන නැත. “මෙයින් පෙන්නුම් කරන්නේ ත‍්‍රස්තවාදී පාලනය යටතේ පැවති ප‍්‍රදදේශ මුලුමනින්ම ආරක්ෂා සහිත යයි දැන් එහි කඩාවැදී සිටින ඇමරිකානු මිලිටරියට හැඟී තිබෙන බවයි.” අමාත්‍යාංශ ප‍්‍රකාශකයෙකු පැවසුවේ, එහි සිදු කල රුසියානු නිරීක්ෂන වලින් හෙලිවී ඇත්තේ, එස්ඩීඑෆ් හා අයිසිස් අතර කිසිදු සටනක් සිදුව ඇති බවට ලකුනු දක්නට නොතිබුන බවයි.

පැහැදිලි ඇඟවුම නම් වොෂින්ටනය හා එහි කුලී හමුදා, අයිසිස් සටනකින් තොරවම ප‍්‍රදේශය හැර යාමටත් සිය බලය සිරියානු හමුදාවට එරෙහිව හැරවීමටත් ඔහුන් සමග එකඟත්වයක් ඇතිකරගෙන සිටින බවයි. සීඅයිඒ හා අයිසිස් නිර්මානය කල ඉස්ලාමීය හමුදා අතර සුහද බැඳීම් ගැන සලකන කල, ඉරාකය හා සිරියාව තුල මැදිහත් වීම පිනිස ඔවුන් විසින් මවන ලද ඉලක්කය හා ඇමරිකානු මිලිටරිය අතර සන්නිවේදන මාර්ග පවතින බව ගැන කිසිදු සැකයක් ඇත්තේ නැත.

එක් අතකින් එස්ඩීඑෆ් මිලිෂියාවන් හා ඔවුන්ගේ ඇමරිකානු විශේෂ හමුදා “උපදේශකයින්” ද අනෙක් අතින් රුසියානු හා ඉරාන පිටුබලය සහිත සිරියානු හමුදා ද ඩියර්සෝර් කරා ඉදිරියට ඇදෙමින් සිටිති. දෙපාර්ශවය අතර ඇත්තේ සැතපුම් දෙකක පමන පරතරයක් බව එස්ඩීඑෆ් ප‍්‍රකාශකයෙක් පවසා තිබුනි. ඔහුට අනුව එස්ඩීඑෆ් හමුදා කොනොකෝ යන ගෑස් නිධියේ පාලනය අල්ලාගෙන ඇත. සිරියානු හමුදා හා යුද ටැංකි යුප‍්‍රටීස් ගංඟාව තරනය කර එහි නැගෙනහිර ඉවුර දිගේ නගරය අල්ලාගෙන ඇත.

ඇමරිකානු කුලී හමුදා හා ආන්ඩුවේ මිලිටරිය, සීඅයිඒ සැලසුමක් වන තන්ත‍්‍ර මාරු යුද්ධයෙන් සය වසරක් තිස්සේ විනාශ වෙමින් ඇති සිරියාවේ ආර්ථික පුනරුත්ථාපනයේදී තීරනාත්මක වන තෙල් හා ගෑස් නිධිවල පාලනය සියතට ගැනීමේ ව්‍යායාමයක නිරතව සිටී.

තම රැඳවීම් ස්ථාන වෙත පහර දෙන බවට ඔවුහු එකිනෙකාට එරෙහිව චෝදනා එල්ල කරගනිමින් සිටිති. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය 21දා පැවසුවේ, සිරියානු ආන්ඩුවේ හමුදා වෙත එස්ඩීඑෆ් මධ්‍ය‍ස්ථානවල සිට දෙවරක් ප‍්‍රහාර එල්ල කර ඇති බවත් දිගටම ෂෙල් වෙඩි ප‍්‍රහාර එල්ල කෙරුනොත්, ඇමරිකානු කුලී හමුදාවන්ට හා ඔවුන්ගේ ඇමරිකානු උපදේශයකයින්ට එරෙහිව ප‍්‍රතිප‍්‍රහාර දීමට මොස්කෝවට සිදුවනු ඇති බව වොෂින්ටනය වෙත අනතුරු අඟවා ඇති බවත්ය.

“කටාරයේ පිහිටි අල් උඩෙයිද් යන අනදෙන මධ්‍යස්ථානයේ ඇමරිකානු මිලිටරි නියෝජිතයෙක් වන මේජර් ජෙනරාල් ඉගෝ කොනෂෙන්කෝ පැහැදිලිවම කියා ඇත්තේ, සිරියානු ප‍්‍රජාතන්ත‍්‍ර හමුදා රැඳී සිටින මධ්‍යස්ථානවල සිට වෙඩි තැබීමේ උත්සාහයන් දරනු ලැබුවොත් ඒවා වහාම නතර කරනු ඇති බවයි.”

තමන්ගේ පැත්තෙන් එස්ඩීඑෆ් 25දා පැවසුවේ, කොනොකෝ ගෑස් බිම්වල සිටින තම හමුදාවන්ට රුසියානු ගුවන් යානයකින් බෝම්බ දමා ඇති බවය. ඉන් තම සෙබලු 6ක් තුවාල ලැබූ බව එය කියා ඇත. එස්ඩීඑෆ් සති ගනනාවකට පසුව එවැනි චෝදනා එල්ල කල දෙවැනි අවස්ථාව මෙයයි. ඇමරිකානු කුලී හමුදාව නිකුත් කල ප‍්‍රකාශයක මෙසේ සඳහන්වේ: “අපි අත් බැඳගෙන නිකන් බලා නොසිටින්නෙමු, ආත්මාරක්ෂාව සඳහා අපගේ නීත්‍යානුකූල අයිතිය අපි පාවිච්චි කරන්නෙමු.”

රුසියාව එම චෝදනාව ප‍්‍රතික්ෂේප කරයි. පෙන්ටගනය 25දා, මිලිෂියාවන් රැඳීසිටින තැන් වලට ෂෙල් වෙඩි එල්ලවූ නමුත් ඒවා රුසියාව විසින් එල්ල කලා දැයි සනාථ කල නොහැකි බව පැවසීය. අසාද් ආන්ඩුවට විරුද්ධ නිරීක්ෂන කන්ඩායමක් වන සිරියානු මානව අයිතීන් පිලිබඳ නිරීක්ෂකයින් පැවසුවේ, එස්ඩීඑෆ් වෙත රුසියානු වෙඩි ප‍්‍රහාර එල්ල නොවූ බවයි.

ඩැමස්කසයේ ආන්ඩුවට සම්පත් හිමිවීම වැලැක්වීමත්, සිරියාව තවදුරටත් කැබලිකර ගැනීමත් යන අරමුනු දෙකම මුල්කරගෙන ප‍්‍රදේශය සිය පාලනය යටතට ගෙන ඒමේ වොෂින්ටනයේ අධිෂ්ඨානය මගින් සිදුවන ධාවනය මගින්, ලෝකයේ ප‍්‍රධාන න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර නැගෙනහිර සිරියාවේදී විවෘත මිලිටරි ගැටුමක් පැනනැගීමේ අන්තරාය වැඩිවෙමින් තිබේ.

එසේම වොෂින්ටනය, සිරියාවේ නැගෙනහිර දේශසීමාව පාලනය කිරීමට උත්සාහ කරන්නේ, කලාපය තුල ඉරානයේ අනුහස මකා දැමීමට ද ඉරාකය හා සිරියාව මෙන්ම ලෙබනනයේ බලගතු ෂියා මිලිටරි හා දේශපාලන ව්‍යාපාරයක් වන හෙස්බොල්ලාව සමග ඉරානය සම්බන්ධ කරන ගොඩබිම් මාර්ගයක් තහවුරු වීම වැලැක්වීමටය.

නැගෙනහිර සිරියාව අරභයා සිදුවන මෙම තරඟයේ අන්තරාය, වඩාත් පුලුල් කලාපීය යුද්ධයක් තුලට ඇදී යන්නේ, ට‍්‍රරම්ප් ආන්ඩුව විසින් ගනු ලබන ආක‍්‍රමනකාරී ඉරාන විරෝධී ආස්ථානය හේතුකොටගෙනය. එය 2015 න්‍යෂ්ටික ගිවිසුම අහෝසි කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බව පෙනී යයි. මැද පෙරදිග හරහා ඉරානය වෙත කෙරෙන ආක‍්‍රමනශීලී මිලිටරි හා රාජ්‍යතාන්ත්‍රික ව්‍යායාමයක කොටසක් ලෙස ගිවිසුම ප‍්‍රධාන බලවතුන් හා ඉරානය අතර ඇතිකරගන්නා ලදී.

Share this article: