සමාජවාදී සමානතා පක්ෂය “කම්කරු පන්තිය සඳහා ඉදිරිමාවත” මැයින් ප‍්‍රසිද්ධ දේශන මාලාවක් හැටන් නගරයේ පවත්වයි

සමාජවාදී සමානතා පක්ෂය , 2018 අප්‍රේල් 5

සමාජවාදී සමානත පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාතන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් තීරනාත්මක ගෝලීය දේශපාලන තත්වය සහ කම්කරු පන්තිය සඳහා ඉදිරි මාවත සාකච්චා කිරීම පිනිස ශ්‍රී ලංකාවේ වතුකරයේ ප‍්‍රධාන නගරයක් වන හැටන් නගරයේ ප‍්‍රසිද්ධ දේශන මාලාවක් පවත්වයි..

ගෝලීය ධනපති ආන්ඩු විසින් රාජ්‍ය අධ්‍යාපනය විනාශ කිරීමට එරෙහිව උතුරු සහ දකුනු ඇමරිකාව, යුරෝපය සහ අපි‍්‍රකාව හරහා පැතිර යමින් තිබෙන ගුරුවරුන්ගේ වර්තමාන ගෝලීය අරගලය කම්කරු පන්තිය තුල ඉස්මතු වෙමින් පවතින සටන්කාමිත්වය පෙන්නුම් කරයි.

දකුනු ආසියාවේ පවතින්නේ ඊට වඩා වෙනස් තත්වයක් නොවේ. ඉන්දියාවේ පහලොස් ලක්ෂයකට අධික ඌබර් සහ ඕලා කුලී රථ රියදුරන් ඔවුන්ගේ හාම්පුතුන්ගෙන් ගෙවීම් වැඩි කරන ලෙස ඉල්ලමින් පසුගිය මාසයේ වර්ජනයක යෙදුනි. රාජ්‍ය අධ්‍යාපනය වානිජකරනය සහ පුද්ගලීකරනය කිරීමට විරුද්ධව ලක්ෂ සංඛ්‍යාත ගුරුවරු සහ ශිෂ්‍යයෝ ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලියේ සහ සෑම තැනකම සටන් කරමින් සිටිති.

අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීමට විරුද්ධව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අඛන්ඩ අරගලයක යෙදී සිටින අතර 15,000 ට ආසන්න විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයෝ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් මාසයකට අධික කාලයක් වර්ජනයක නිරතව සිටිති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමුඅ) විසින් නියෝග කර ඇති ආර්ථික කප්පාදු වැඩ පිලිවෙල වැඩ කරන ජනතාව මත පැටවීමට එරෙහිව විදුලි බල, තැපැල්, දුම්රිය, තෙල්, සෞඛ්‍යය, වරාය සහ වතු කම්කරුවන්ගේ අරගල ඕනෑම මොහොතක පුපුරා යා හැකිය.

කම්කරු පන්තියේ සටන්කාමිත්වය පුනර්ජනනය වීම මහාද්වීප පුරා මතු වී ඇත්තේ ධනවාදී පද්ධතියේ අර්බුදය, විශේෂයෙන් ම 2008 ආර්ථික අර්බුදයෙන් පසුව, උග‍්‍ර වන සන්දර්භයක් තුලය. අධිරාජ්‍යවාදී සහ මහ බලවතුන් අර්බුදයට ප‍්‍රතිචාර දක්වා ඇත්තේ වෙලඳ පොලවල්, ලාබය සහ මූලෝපායාත්මක වාසිය සඳහා අරගලය තීව‍්‍ර කිරීම මගිනි.

එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියේ මූලිකත්වය ඇතිව බටහිර අධිරාජ්‍යවාදී බලයන් විසින් රුසියාවට විරුද්ධව කරනු ලබන ප‍්‍රකෝපකාරී ක්‍රියාවන් හා ගෝලීය සහ ආර්ථික ආධිපත්‍යය සඳහා දරන මංමුලා සහගත උත්සාහයන් තුලින් පෙන්නුම් කෙරෙන්නේ සතුරන් යටත් කර ගැනීම සඳහා අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානයේ සැලසුම් තීව‍්‍ර කිරීමය. මෙම ප‍්‍රකෝපකාරී ක්‍රියාවන්, චීනයට පමනක් නොව, ජර්මනිය සහ ජපානය වැනි අධිරාජ්‍යවාදී සතුරන්ට එරෙහිව ද එක්සත් ජනපදයේ ට‍්‍රම්ප් ආන්ඩුව විසින් පෙරට දමා ඇති වෙලඳ යුද්ධයේ පියවරයන් සමග එකට වෙලී ඇත.

මෙම පසුබිම යටතේ විප්ලවවාදී-සමාජවාදී නායකත්වය සහිතව පන්ති සටන සඳහා කම්කරු පන්තිය සූදානම් කිරීම දැවෙන අවශ්‍යතාවයක් බවට පත් වී ඇත.

එහෙයින්, හැටන් සහ යාබද ප‍්‍රදේශවල වතු කම්කරුවන්, තරුන ජනයා සහ පවතින පීඩාකාරී කොන්දේසිවලට එරෙහිව සටන් කිරීමේ විකල්පයක් සොයමින් සිටින සියලු දෙනාට පහත සදහන් දේශන මාලාවට සහභාගී වන ලෙස අපි ආරාධනා කරමු.

1 ධනවාදයේ මරලතෝනිය සහ තුන්වන ලෝක යුද්ධයේ අන්තරාය- අප්‍රේල් 22 වෙනි ඉරිදා.

2. කලයුත්තේ කුමක් ද? විප්ලවාදී පක්ෂයේ අවශ්‍යතාවය පැහැදිලි කරන ලෙනින්ගේ මූලික කෘතිය- මැයි 20 ඉරිදා

3. ඓතිහාසික භෞතිකවාදය සහ ඔක්තෝබර් විප්ලවය- මැයි 27 ඉරිදා

4. කලාව සහ සමාජවාදය - ජුනි 3 ඉරිදා

5 නිෂ්පාදනයේ ගෝලීයකරනය සහ වෘත්තීය සමිතිවල බිඳවැටීම- ජුනි 10 ඉරිදා .

සියලුම දේශන පෙරවරු 10 ට ආරම්භ වේ.

ස්ථානය: කම්කරු සෙවන ශාලාව, . හැටන් (හයිලන්ඩ්ස් විදුහල අසල, ඩන්බාර් පාර )

සමාජවාදී සමානතා පක්ෂය/ සමාජ සමානතාවය සඳහා ජාතන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ

Share this article: