ඇමෝනියා වායුවට නිරාවරනය වීමෙන් හොරන කම්හලක පස් දෙනෙකු මිය යයි

අපේ වාර්තාකරුවන් විසිනි , 2018 අප්‍රේල් 21

හොරන බැල්ලපිටියේ රබර් නිශ්පාදන කම්හලක පැවති දැඩි අනාරක්ෂිතභාවය හේතුවෙන්, පසුගිය අප්‍රේල් 19 වන දා, එහි සේවකයන් දෙදෙනෙක් සහ අසල්වැසියන් තිදෙනෙක් මිය ගියහ. ඔවුන් සියල දෙනාම මියගොස් ඇත්තේ කම්හලෙන් පිට කෙරුනු ඇමෝනියා වායුවට නිරාවරනය වීමෙනි. මීට අමතරව සිද්ධිය හේතුවෙන් තවත් 11 දෙනෙකු රෝහල් ගතකර ඇත.

එස් ඇන්ඩ් සී ලටෙක්ස් (පුද්ගලික) සමාගමට අයත් මෙම කම්හලේ පිහිටි විවෘත අපජලය ටැංකියක් පිරිසිදු කිරීමේ යෙදී සිටි ඩබ්ලිව්. ආරියපාල නම් කම්කරුවා, එදින දවල් එකට පමන, ඇමෝනියා වායුව ආඝ‍්‍රානයෙන් සිහි මුර්ඡුා වී ටැංකියට ඇද වැටී ඇත. ඔහු බේරා ගැනීම සඳහා ටැංකිය වෙත දිවගිය කම්හලේ වැඩ පරීක්ෂකවරයෙකු වන වරුන චන්ද්‍රසේකර ද එලෙසම ටැංකියට ඇද වැටුනු බව සිද්ධිය ඇසින් දුටු සේවකයෝ පවසති.

ආධාර ඉල්ලා කෑ ගසන කම්කරුවන්ගේ හඬ ඇසී විපතට පත්වූවන් බේරා ගැනීමට දිව ආ අසල්වැසියන් අතරින් තිදෙනෙකු වන ප්‍රියන්ත කුමාර, දිලිප් ලොකුපතිරගේ සහ ලාල් පුෂ්පකුමාර ද එලෙසම ටැංකියට ඇද වැටී ඇත.

ටැංකියට ඉහලින් තිබූ ආවරනය කඩා දමා විෂ වායුව විසරනය වන්නට ඉඩහැර ටැංකියට ලංවූ අසල්වැසියන් සහ සේවකයන් විපතට පත්වූවන් ගොඩගත්ත ද ඒවන විට ඔවුන් පස්දෙනාම මියගොස් සිටි බව අසල්වැසියෝ පවසති.

කම්හල හිමි සරත් විජේරත්න ඇතුලු කලමනාකාරිත්වය මේ අවස්ථාවේ කම්හල් භූමිය තුල සිටි නමුදු, විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා කවර හෝ මැදිහත් වීමක් නොකල බවත් මහජන විරෝධය හමුවේ විජේරත්න පැන ගිය බවත් කම්කරුවෝ සහ අසල්වැසියෝ පැවසූහ.

අවම වශයෙන්, විෂ වායුවෙන් සිහිසුන්වූවන් රෝහලට රැගෙනයාම සඳහා වාහනයක් හෝ නොසැපයූ කලමනාකාරිත්වය, මහජන විරෝධය නිසා සිදුවියහැකි හානි වලින් කම්හල ආරක්ෂාකර ගැනීම සඳහා, මිනිත්තු කීපයක් තුල පොලීසිය කැඳවා ගත් බව සේවකයෝ සහ අසල්වැසියෝ දැඩි කෝපයෙන් පැවසූහ. කෙසේ නමුත්, මහමග ගමන්ගත් වාහනවල රියැදුරන්ගේ ආධාරයෙන් ඔවුන් රෝහලට ගෙන යාමට අසල්වැසියන් සමත්ව තිබේ.

ශ්‍රියා හෙට්ටිආරච්චි

කම්හලේ ඉතිහාසය ගැන කතා කරමින් ශ්‍රියා හෙට්ටිආරච්චි නමැති අසල්වැසි කාන්තාවක් මෙසේ පැවසුවාය: “කම්හල පටන් අරගෙන අවුරුදු 20 ක් විතර වෙනවා. ආන්ඩුවේ ඉඩමක් 99 අවුරුදු බද්දට අරන් තමයි කම්හල ඉදි කරල තියෙන්නෙ. කලින් කලේ රබර් කිරි ගෙනැවිත් ෂීට් හදන එක. ලඟකදි ඉඳල සපත්තු කම්හලකුත් දාල තියෙනව. කම්හල නිසා මේ අවට ජීවත් වෙන අපට හරිම කරදරයි. නිතරම අශූචි ගඳ වගේ ගඳක් එනවා. අපි පස්සෙ දැන ගත්තෙ ඒ කම්හලෙන් පිටවෙන ඇමෝනියා ගඳ කියල. ඒකෙ විස කොයි තරම් ද කියල දැන් තමයි තේරෙන්නෙ.”

මුලදී කම්හලේ අපජලය මුලුමනින්ම මුදාහලේ ආසන්න ඇලට බවත් කිලෝ මීටරයක් පමන දුරට කලු ගඟ දක්වා ගලායන එම ඇල නිරන්තරවම සුදු පැහැ ගැන්වුනු බවත් ඇය පැවසුවා ය. “ඇලේ ජලයෙන් අස්වද්දන දෙපස තිබුනු අක්කර 50 ක පමන කුඹුරු මේ නිසා පුරන් වුනා. සතා සිවුපාවා පවා මැරුන. පස්සෙ ගමේ අය විරෝධතා උද්ඝෝෂනයක් පැවැත්වුවා. ඊට පස්සෙ ඇලට අපජලය මුදා හරින එක පරිසර අධිකාරියෙන් නැවැත්තුවා. බට වගයක් දාලා ඒවා එකතු කරල ඈත කොහේද ගෙනිහිල්ල බැහැර කරනව කියල තමයි කිව්වෙ.”

රොෂාන්

රොෂාන් රාජපක්ෂ නමැති අසල්වැසි තරුනයෙකු ප‍්‍රකාශ කලේ කම්හල හිමි විජේරත්න, හමුදාවේ බ්‍රිගේඩියර්වරයකු බව සහ මධ්‍යම පරිසර අධිකාරියේ ඉහල තනතුරක් දැරූ අයෙකු බවයි. “ආන්ඩුවෙ සෘජු සහාය එයාට තිබුන. හිටපු ජනාධිපති රාජපක්ෂගෙ සහ හිටපු අගමැති රත්නසිරි වික‍්‍රමනායකගෙ පවුල් එක්ක ලඟ සම්බන්ධයක් එයාට තියෙනව. කම්හලේ තියෙන දෙවොල්මඩු උත්සව වලට යෝෂිත රාජපක්ෂත් ආවා. හැරමිටි වාරුවෙන් පවා හිටපු අගමැතිතුමත් ආව.”

“පරිසර ප‍්‍රශ්නෙකට කවුරුහරි කම්හලට විරුද්ධ උනොත් විජේරත්න ඒ තැනැත්තට විරුද්ධව නඩු දානව, මරන තර්ජනය කරා කියල හෝ වෙනත් වැරැද්දක් ඈඳල. අපි වගේ පුංචි අයට විතරක් නෙවෙයි, ප‍්‍රාදේශීය දේශපාලනඥයොන්ටත් එයත් එක්ක හැප්පෙන්න බෑ. අපේ පැත්තට කතා කරපු මදුරාවෙල ප‍්‍රාදේශීය සභාවෙ විපක්ෂ නායක ලාල් තඹවිටට ත් එයා නඩු දාලා තියෙන්නෙ.”

කෙසේ නමුත් අදාල පලාත් පාලන ආයතනය වන මදුරාවල ප‍්‍රාදේශීය සභාවෙන් පවා අවසරය නොගෙන නිසි ප‍්‍රමිතියෙන් තොරව කම්හල පවත්වාගෙන ගොස් ඇති බව දැන් තහවුරු වී ඇත.

කම්හලේ පාවහන් නිශ්පාදන අංශයේ කම්කරුවන් 38 දෙනෙකු ද, රබර් නිශ්පාදන අංශයේ සේවකයන් 20 දෙනෙකු පමන ද සේවයේ යොදවා තිබූ බව කම්කරුවෝ පැවසූහ.

කම්හලේ ඇති වහල් ශ‍්‍රම කොන්දේසි පිලිබඳව කම්කරුවන් විස්තර කලේ දැඩි කෝපයෙනි. අවුරුදු නිවාඩුවෙන් පසු කම්හල යලි අරඹා ඇත්තේ අප්‍රේල් 17 වන දා වන අතර එදින සේවයට වාර්තා කිරීමට නොහැකිව, විපත සිදුවූ 19 වන දා යලි වැඩට පැමිනි සේවිකාවන් තිදෙනෙකුට නියමිත දිනට සේවයට නොපැමිනි බවට චෝදනා කොට සේවයෙන් පහකොට ඇත්තේ කවර හෝ දීමනාවක් නොදෙමිනි. කම්හලේ කම්කරුවන්ට පත්වීමේ ලිපියක් පවා ලබා නොදෙන බැවින් ඔවුනට අර්ථ සාධක අරමුදල් ද නොලැබේ.

ශිරෝමි

එසේ සේවයෙන් පහකල සපත්තු නිශ්පාදන අංශයේ සේවිකාවක් වන 38 හැවිරිදි ශිරෝමි කෝදාගොඩ මෙසේ පැවසුවාය: “අප සිංහල අවුරුද්දට විතරයි මෙහෙම නිවාඩුවක් ගන්නෙ. අවුරුද්දෙම මැරිල ගමනක් බිමනක් යන්නෙ එක සැරයයි. ඒ නිසා 17 වෙනිද එන්න බෑ කියල මම කලින්ම ඔෆිස් එකට කිව්ව. මට දරුවො දෙන්නෙක් ඉන්නව. මහත්තයගෙ රස්සාවෙන් හම්බවෙන ගානට මගෙ පඩිය එකතු කරල තමයි අපි යන්තමින් ජීවත් වුනේ. හිටි හැටියෙ රස්සාව නැති උනාම හරිම ප‍්‍රශ්නයක්.”

හසිත

කම්හලේ පාවහන් අංශයේ කම්කරුවෙකු වන හසිත දිල්රංග තමා මුහුන දෙන කටුක සේවා කොන්දේසි මෙසේ විස්තර කලේය: “මම මෙතන වැඩ කරන්නෙ වෙන රස්සාවක් නැති නිසා. මට ලැබෙන්නෙ රුපියල් 20,000 ක මාසික පඩියක්. මම වැඩ කරන අංශයෙ උහුලන්න බැරි උෂ්නයක් තියෙනව. එහෙම තැන්වල වැඩ කරන අයට උනුසුම් දීමනාවක් දෙන්න ඕන. අපිට මේ කිසිම දෙයක් නෑ. මේ වගෙ අනතුරකදි භාවිතා කරන උපකරන මොකවත් නෑ. අඩුම ගනනෙ මෙහෙම මරනීය වායුවක් ගැන අපි දැනුවත් කරල තිබුනෙවත් නෑ.”

රබර් අංශයේ බරවැඩ සඳහා පවා සේවයේ යොදවා ඇත්තේ වයසක කාන්තා කම්කරුවන් බව දිල්රංග පැවසීය: “ඇසිඩ් කවලම් කිරීමෙ ඉඳල රබර් කිරි බවුසර් සුද්ද කිරීම දක්වා වැඩ කරන්නේ අපේ අම්මල වගෙ අය. අත් වැස්මක් පවා නොමැතිව බවුසර් වලට බැහැල පැයක් විතර සුද්ද කරනව දැක්කම හරිම දුකයි. ඒ වගේම කලමනාකරනය එක්ක හරිම තරහක් එන්නෙ.”

මෙලෙස කාන්තා කම්කරුවන් වැඩි වශයෙන් යොදාගනු ලබන්නේ ඔවුන් ලවා අඩු වැටුපකට වැඩියෙන් වැඩ ගතහැකි හෙයින් බව ඔහු පැවසීය. “දුප්පත්කමත් ගෑනුකමත් නිසා ඒ ගොල්ලන්ගෙන් මරවලා වැඩ ගන්නවා.”

තම කම්හලේ ප‍්‍රාථමික මට්ටමේ හෝ ආරක්ෂාවක් නොමැතිබව සිද්ධියෙන් පසුව බොහෝ කම්කරුවන්ට අවබෝධ වී ඇත. “ටැංකියට වැටුනු අය ගන්න අඩුම තරමෙන් කඹයක්වත් නෑ. ඔක්සිජන් ටැංකියක් නෑ. ඇමෝනියා ටැංකියක් තියෙන හැම තැනක් ම ගිනි නිවන හමුදාවෙ ලියාපදිංචි වෙලා තියෙන්න ඕන. ඒත් එහෙම කිසිම දෙයක් මෙතන නෑ” යනුවෙන් වෙනත් කම්කරුවෙක් කීවේය.

මියගිය අසල්වැසියන් තිදෙනාම යාබද “අක්කර තිස්පහ” වත්තේ නිවැසියන් ය. ඔවුනගේ නිවෙස් වලට ගිය අප වාර්තාකරුවන්ට දක්නට ලැබුනේ තම අසල්වැසියාගේ මෘත දේහය ගෙනෙන තෙක් රැස්වී සිටින සිය ගනන් මිනිසුන් ය. ඔවුහු තම අසල්වැසියා අහිමි වීමෙන් ඇති වූ වේදනාවෙන් ද ඔවුනගේ ජීවිත සම්බන්ධයෙන් වගකිවයුතු කම්හල් කලමනාකරනය, මධ්‍යම පරිසර අධිකාරිය, ප‍්‍රාදේශීය සභාව සහ අනුප‍්‍රාප්තික ආන්ඩු සම්බන්ධයෙන් වූ වෛරයෙන් ද කතා කලහ.

“අපි කී වතාවක් අදාල තැන් වලට ලිවුවද? කී වතාවක් උද්ඝෝෂනය කලා ද? ආන්ඩු කීයකින් මේ පරිසර දූෂනය නවත්තල දෙන්න කියල ඉල්ලූවද? කිසිම දෙයක් කෙරුනෙ නෑ. අපේ ජීවිත ගැන ඔවුන්ට වගේවගක් නෑ. කම්හල අයිතිකාරයොයි, ආන්ඩුවෙ මැති ඇමතිවරුයි, පරිසර නිලධාරියොයි ඔක්කොම එක පැත්තෙ” යැයි සරත්කුමාර නම් ජල සම්පාදන කම්කරුවෙක් පැවසීය.

“අපිට ලෙඩ්ඩු ගෙනියන්න විධියක් නැතිව ලොකු වෙලාවක් ඉන්න උනා. ඒත් පැය භාගයක් යනකොට පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුලු පනහක විතර පොලිස් භටයො කම්හල ආරක්ෂා කරන්න ආව. මේ ඔක්කොම වැඩ කරන්නෙ අපිට විරුද්ධව එකට එකතු වෙලා.”

ශ්‍රී ලංකාවේ පමනක් නොව ලොව පුරා කම්කරුවන් සහ පීඩිතයන් මුහුන දී සිටින්නේ හොරන රබර් කම්හලේ තත්වයට සමාන තත්වයන්ටයි. පසුගිය දශක කීපය තුල ඉන්දියානු උපමහාද්වීප කලාපයේ රටවල් තුල සිදුවන කාර්මික විපත් සංඛ්‍යාව දැවැන්තව ඉහල ගොස් ඇත. රනා ප්ලාසා ගොඩනැගිල්ල කඩා වැටුන 2013 වසරේ බංග්ලාදේශය තුල පමනක් සිදුවූ කාර්මික මරන සංඛ්‍යාව 7650 කි. ඉන්දියාව තුල කාර්මික අනතුරු වලින් වසරකට මිය යන සංඛ්‍යාව 48,000 කට නැග ඇත.

කලාපයේ රටවල් ලාභ ශ‍්‍රම තටාකයන් බවට පත් කිරීම මෙම සෑම රටකම පාලකයින්ගේ පිලිවෙත බවට පත්ව ඇත. එම පිලිවෙත යටතේ අවම පහසුකම් සහ අවම ආරක්ෂිත කොන්දේසි යටතේ කම්කරුවන්ගේ ජීවිත පරදුවට තබා ශ‍්‍රමය උපරිම ලෙසින් සූරා කෑමට ධනපති පාලකයන් විසින් ජාතික සහ ජාත්‍යන්තර ප‍්‍රාග්ධන හිමියන්ට අවස්ථාව ලබා දී ඇත. හොරන රබර් කම්හලේ සිදුවී ඇති ව්‍යසනය මෙම පිලිවෙතේ සෘජු ප‍්‍රතිඵලයකි.

Share this article: