“ඉරාන ඉස්ලාමීය විප්ලවයේ” අධිවාචකයෙකුට පිලිතුරක්

අධිරාජ්‍යවාදයට එරෙහිව හා ඉරානයේ කම්කරු බලය සඳහා අරගලය - 3 කොටස

A reply to a proponent of “Iranian Islamic socialism”
The struggle against imperialism and for workers’ power in Iran—Part 3

කීත් ජෝන්ස් විසිනි , 2018 පෙබරවාරි 16

මෙය, ඉරානයේ ධනපති - දේවගැති තන්ත‍්‍රයට එරෙහිව මෑතකදී ඇවිල ගිය කම්කරු පන්තියේ විරෝධය පිලිබඳව වාර්තා කරමින් හා ඊට සහාය පල කරමින් ලෝසවෙඅහි පල වූ ලිපි පිලිබඳව ඉරාන පුවත්පත් හා රූපවාහිනී මාධ්‍යවේදී රමින් මසහෙරිගේ විවේචනවලට පිලිතුරු වශයෙන් පලකෙරුනු ලිපි තුනකින් සමන්විත ලිපි මාලාවේ අවසාන ලිපියයි. මෙහි පලමු වන කොටස, දෙවන කොටස මෙතනින් ලබා ගත හැකිය.

ඉස්ලාමිය ජනරජය හා අධිරාජ්‍යවාදය

ඉරානයේ විදේශ ප‍්‍රතිපත්තිය අධිරාජ්‍ය-විරෝධී එකක් නොවේයැයි අප විසින් කෙරෙන අවධාරනයට මසහෙරි තරයේ විරුද්ධ වෙයි. ඉරාන ධනේශ්වරයේ මූලෝපායික බලපෑම හා එහි ධනය ප‍්‍රසාරනය කිරීමේත්, විශේෂයෙන්ම එහි කලාපීය බල අභිප‍්‍රායයන් අත්පත් කර ගැනීමේත් දිශාවට යොමු වූ ඉස්ලාමීය ජනරජයේ පන්ති ස්වභාවයට අනුකූල ජාතිකවාදී විදේශ ප‍්‍රතිපත්තියක් තෙහෙරානය පවත්වා ගෙන යයි.

අපේ ඉහත පිලිතුර තුල අප සඳහන් කල පරිදි, “ආරම්භයේ සිටම,” ඉස්ලාමීය ජනරජයේ පාලකයන්ගේ අරමුන වූයේ, “යුරෝපීය හා ජපන් අධිරාජ්‍යවාදීන් සමග වඩාත් සමීප ආර්ථික සබඳතා ඇති කර ගැනීමට යත්න දැරීමත් ඇතුලුව, ලෝක ධනවාදය තුල ඉරාන ධනපති පන්තියට වඩාත් වැඩි නිදහසක් තහවුරු කර ගැනීමයි.”

“නිසැකවම පසුගිය දශක හතර පුරා, ඇමරිකානු අධිරාජ්‍යවාදය, ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකන් පාලකයන් යටතේ නොවෙනස් ලෙස, දන්ඩනකාරී ආර්ථික සම්බාධක පනවමින් ද අතිමහත් යුදමය පීඩනයක් යොදමින් ද ඉරානයට එරෙහිව නිර්දය ව්‍යායාමයක නියැලී සිටියේය. එහෙත් වොෂින්ටනය සමග එකඟතාවක් සඳහා ඉස්ලාමිය ජනරජයේ නායකයෝ යලියලිත් ප‍්‍රයත්න දරා ඇත්තාහ - ඒවා එකිනෙක මෙහි දැක්වීමට නොහැකි තරම් ලැයිස්තුව දීර්ඝය.”

ඊට ප‍්‍රතිචාර ලෙස ඉස්ලාමිය ජනරජයේ විදේශ පිලිවෙත පිලිබඳ කවර හෝ බැරෑරුම් විශ්ලේෂනයක් ඉදිරිපත් කිරීම මසහෙරි ප‍්‍රතික්ෂේප කරයි. ඉරානය කෙරේ අධිරාජ්‍යවාදීන්ගේ සතුරුකම්වල දීර්ඝ වාර්තාව කෙරේ ඇඟිල්ල දිගු කිරීම පමනක් කරමින් ඔහු, ඉරානයේ විදේශ ප‍්‍රතිපත්තිය පිලිබඳ අපේ ගුනාංගීකරනය, කලාපය තුල ඉස්ලාමීය ජනරජය කෙරේ පවතින ප‍්‍රචලිත වැටහීම සමග නොසැසඳෙන බව පවසයි. මැද පෙරදිග හා උතුරු අප‍්‍රිකාවේ සිට වාර්තාකරනයේ යෙදීමේ දී ඔහුට හමු වූ හා කථාබස් කල අය, “නැවත නැවතත්” “ඇමරිකානු හා සියොන්වාදී අධිරාජ්‍යවාදයන්ට එරෙහිව ඉරානයේ දැඩි මත කෙරේ සිය ප‍්‍රසාදය පල කොට” ඇත්තාහ.

එසේ විය හැකිය. එහෙත් මීට ඉහත කාල පරිච්ඡේදයක දී, ඉතා ඉක්මනින් සදාත් මතුව ඒමට නියමිතව තුබූ නසර්ගේ “අරාබි සමාජවාදී” රාජ්‍ය තන්ත‍්‍රය පිලිබඳව වේවා, නැතහොත් සදාම් හුසේන් යටතේ පැවැති ඉරාකය සම්බන්ධයෙන් වේවා, එවැනි සහතික දුන් කොතෙකුත් දෙනා මසහෙරිට හමු වන්නට ඇති බැව් නිසැකය. මෙය අලුත් විවාදයක් නොවේ. වරෙක ස්ටැලින්වාදීහු චියෑං කායි ෂෙක් “අධිරාජ්‍ය-විරෝධියෙකු” ලෙස වර්නනා කරමින් ඔහුට තුන්වැනි ජාත්‍යන්තරයේ ගරු සාමාජිකත්වය පවා පිරිනැමූහ.

අයටොල්ලා කොමෙයිනි හා පලස්තීන විමුක්ති සංවිධානයේ සභාපති යසර් අරෆත් 1979 දී ෂා පෙරලා දැමීමෙන් කෙටි කලකට පසු

වැඩිදුරටත් කිවහොත්, මහජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජ අරගල කුරිරු ලෙස පාගා දමමින් අධිරාජ්‍යවාදය සමග සමථයකට එලැඹීමේ හුදු අරමුනින් පමනක් අධිරාජ්‍යවාදයට එරෙහිව තම විරුද්ධත්වයෙහි ලා “අචල” ලෙස පෙනී සිටි ආසියානු, අප‍්‍රිකානු හා ලතින් ඇමරිකානු ධනපති ජාතික විමුක්ති ව්‍යාපාර හා තන්ත‍්‍රයන් පිලිබඳ ශතවර්ෂාධික අත්දැකීම් පවතී.

යටත්විජිතවාදී හෝ නව යටත්විජිතවාදී පරිපීඩනයට භාජනය වන රටවල් අධිරාජ්‍යවාදය හා තියුනු ගැටුම් - සන්නද්ධ අරගලයක් දියත් කිරීම පවා - කරා එලැඹිය හැකි නමුදු, ඒවා එසේ එලැඹෙන්නේ අධිරාජ්‍යවාදය පෙරලා දැමීම සඳහා නොව, පන්ති සූරාකෑම සඳහා තමන්ගේම ශක්‍යතාවයන් පුලුල් කර ගැනීම සඳහාය.

අධිරාජ්‍යවාදී බන්ධනයන් හේතුවෙන් උරන වන ඓතිහාසිකව පරිපීඩිත රටවල ජාතික ධනේශ්වරය, විදේශීය ආධිපත්‍යයට එරෙහිව මහජන සහය ගොනු කිරීමේ හා එහි ලා ජාතියේ නායකයා බවට පත්වීමේ උත්සුකයන් මත - 1979 විප්ලවයෙන් ආසන්නතම ඉක්බිත්තෙහි ඉස්ලාමිය ජනරජය සිදු කල පරිද්දෙන් - අධිරාජ්‍යවාදයට එරෙහිව බිරුසන් දීමත්, යම් යම් සහන ලබා දීමත් සිදු කල හැකිය. එහෙත් ජාතික ධනේශ්වරය ජීවත් වන්නේම ධනේශ්වර දේපලවලට එල්ල වන කම්කරු පන්තියේ අභියෝගය පිලිබඳ සන්ත‍්‍රාසයෙන් යුතුවය.

“ප‍්‍රජාතන්ත‍්‍රවාදී හෝ ජාතික විමුක්ති ව්‍යාපාරයක්, සූරාකෑම සඳහා ධනපති පන්තියට ඇති ඉඩකඩ ගැඹුරු කිරීමේ හා පුලුල් කිරීමේ අවස්ථාවක් ලබාදිය හැකිය,” යනුවෙන් ට්‍රොට්ස්කි පැහැදිලි කරයි. “නිර්ධනීන්ගේ ස්වාධීන මැදිහත්වීම ධනේශ්වරයට සූරාකෑමට ඇති හැකියාවම අහෝසි කර දැමීමට තර්ජනය කරයි.” [14]

එහි අතිමහත් ඛනිජ තෙල් සම්පත නිසා ද, යුරෝපය, ආසියාව හා අප‍්‍රිකාව අතර අසව්ව වශයෙන් එහි පිහිටීමේ ඇති භූ මූලෝපායික වැදගත්කම නිසා ද දීර්ඝ කාලයක් පුරා භූ දේශපාලන ගැටුම්වල උපස්ථම්භය බවට පත් ව ඇති කලාපයක, තමන් වටා පිහිටි රාජ්‍ය සමග ද අධිරාජ්‍යවාදී බලයන් අතර ද උපාමාරු දැමීමේ ප‍්‍රයත්නයන්හි නිරත වී සිටීමේ දී ඉස්ලාමිය ජනරජයේ විදේශ පිලිවෙත පසුගිය දශක හතර පුරා ගමන් කොට ඇත්තේ දැති (සිග්සැග්) ආකාරයේ මාවතකය.

එක්සත් ජනපදය රාජ්‍ය පෙරලියක් සඳහා නිල වශයෙන් සහයෝගය දෙන, හා යුද්ධයකට තර්ජනය කරන තතු යටතේ ටෙහෙරානය කලාපය තුල - විශේෂයෙන්ම ලෙබනනයේ, අල්ලා ගත් ප‍්‍රදේශ / පලස්තීනයේ, හා වඩාත් මෑතක දී සිරියාවේ - එජය විසින් එහි මූලෝපායික උත්සුකයන් ලෙස අර්ථ දක්වනු ලබන දේ වලට අභියෝග කරමින් පෙරලා පීඩනය යොදා ඇත.

කෙසේවෙතත් ඒ සමගම එය, යුරෝපය හා ජපානය සමග සමීප ආර්ථික හා රාජ්‍ය තාන්ත‍්‍රික බැඳීම් පවත්වා ගෙන යාමට දශක ගනනාවක් පුරා යත්න දරා ඇති අතර, ඉන් වැඩි කාලයක් පුරා එම බැඳීම් භුක්ති විඳ ද ඇත.

කලාපයේ ආධිපත්‍යය දැරූ අධිරාජ්‍යවාදී බලය වූ බ්‍රිතාන්‍යයට අභියෝග කිරීමෙහි ලා ඇමරිකානු සහාය දිනා ගැනීමට මොසාදී අපේක්ෂා කලේ යම් සේ ද, එමෙන්ම බර්ලිනය, ලන්ඩනය, පැරීසිය හා බ‍්‍රසල්ස් සමග ඇඟෑලුම්කම් පෑම මගින් වොෂින්ටනයෙන් එන පීඩනය පිරිමැසීමට ඉස්ලාමිය ජනරජය තැත් කොට ඇත. මසහෙරි මෙය බැහැර කරන්නේ ටෝටල්, බීපී, ඊනි ආදී යුරෝපීය සමාගම් සමූහයන් සතුටු කිරීමට වත්මන් ඉරාන ආන්ඩුව රටෙහි ඛනිජතෙල් සහන හා රාජ්‍ය භාගය පිලිබඳ නීති පවා යලි කෙටුම්පත් කරන අතරතුරය.

රාජ්‍යයක්, ආන්ඩුවක් හෝ “විමුක්ති” ව්‍යාපාරයක් පිලිබඳ ඇගයීමේ දී, හුදු එක් සුවිශේෂී ලෙස ගිජු හෝ කලාපීය ලෙස බලගතු අධිරාජ්‍යවාදී සතුරෙකු සමග නොව, සමස්තයක් ලෙස අධිරාජ්‍යවාදය සමග එහි සම්බන්ධතා සැලකිල්ලට ගත යුතු වේ.

“මහා යක්ෂයා” වන එජ අධිරාජ්‍යවාදය සම්බන්ධයෙන් පවා ටෙහෙරානය යලියලිත් සංඥා කොට ඇත්තේ, ඉදින් රාජ්‍ය පෙරලියක් සඳහා සිය ප‍්‍රයත්න අත්හැර දමා මැද පෙරදිග ස්ථායීකරනයෙහි ලා කනිෂ්ඨ සහකරුවෙකු ලෙස ඉස්ලාමිය ජනරජය පිලිගැනීමට වොෂින්ටනය කටයුතු කරන්නේ නම්, යලි මිත‍්‍ර සන්ථානයක් ගොඩ නගා ගැනීමට තමන් සූදානම් බවය.

ඉහතදී සඳහන් කෙරුනු පරිදි, 1980 ගනන්වල අග භාගයේ ආරම්භයේ දී, ඉරාන-ඉරාක යුද්ධයෙන් ඉක්බිති ප‍්‍රතිසංස්කරන කටයුතු සිදු කිරීමේ නාමයෙන් ඉස්ලාමිය ජනරජය කම්කරු පන්තියට එරෙහිව සාමාජයීය ප‍්‍රහාරයක් මුදා හැරියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) හා ලෝක බැංකුවේ නව ලිබරල් පිලිවෙත්වල බෙහෙත් වට්ටෝරුව පිලිගනිමිනි. මෙය සිදු කෙරුනේ, ලෝක අධිරාජ්‍යවාදය සමග තම සම්බන්ධතා යලි අර්ථ දැක්වීම සඳහා වූ තල්ලුවක් සමග අතින‘ත ගත් ප‍්‍රයත්නයක් ලෙසය. ඉරානය “ව්‍යාපාර සඳහා විවෘතයැ”යි නිවේදනය කරමින් ටෙහෙරානය විදේශ ආයෝජනවලට ආයාචනා කල අතර, ඉරානයට එරෙහි ඉරාක යුද්ධය සඳහා බරපැන දැරූ ගල්ෆ් රාජ්‍ය කෙරේ සිය සතුරු ආකල්ප අත්හැර දමමින්, යුරෝපය හා එජ සමග යලි මිත‍්‍ර වීමට ප‍්‍රයත්න දැරීය.

1991 ගල්ෆ් යුද්ධයේ දී ටෙහෙරානය නිල වශයෙන් “නිශ්චිත අපක්ෂපාතිත්වයක” නිෂ්ඨාවක් යොදා ගත්තේය. කෙසේවෙතත්, ඒ කාලසීමාවේ ඉරානයේ නියෝජ්‍ය විදේශ ඇමතිවරයා වූ මහමුද් වෙසි පැහැදිලි කලේ, මෙමගින් “යථාර්ථයේ දී අදහස් වූයේ එය ඉරාකයට එරෙහි ප‍්‍රතිපත්තියක් වූ බවය,” යනුවෙනි. (අවධාරනය මුල් ලේඛනයේ)[15] ඉරානය එජ ගුවන් හමුදාවට තම ගුවන් කලාපය භාවිතා කිරීමට පවා ඉඩ හැරියේය.

යුද්ධයෙන් පසු එජ-ඉරාන යලි මිත‍්‍රවීමක් සඳහා සාකච්ඡා සිදුවිය. ජනාධිපති රෆ්සන්ජානි එහිලා ප‍්‍රධාන ඇමරිකානු කොන්දේසියක් සපුරා ලමින් “ත‍්‍රස්තවාදය” හෙලා දකිමින් කථාවක් පැවැත්වීය. කෙසේවෙතත්, එජ ආන්ඩුව හා ජනමාධ්‍ය විසින් දීර්ඝ කාලයක් පුරා හෙලා දැකීමට පාත‍්‍ර කෙරුනු රටක් සමග ගිවිසුමකට එලැඹීම ඔහුගේ යලි තේරී පත්වීමේ ජනාධිපතිවරනයට අහිතකර ලෙස බලපානු ඇතැයි බියපත් වූ ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් එය වලකාලීය.

1995 දී රෆ්සන්ජානි එවැනිම ගනුදෙනුවක් ක්ලින්ටන් සමග සිදු කිරීමේ ප‍්‍රයත්නයක යෙදුනේ, තෙල් බිම් දෙකක ක‍්‍රියාත්මක වීම සඳහා කොනොකෝ සමාගම සමග ඩොලර් බිලියනයක කොන්ත‍්‍රාත්තුවක් පරදු මේසය මත තබමිනි.

ඉරානයේ හිටපු ජනාධිපති හෂෙමි රෆ්සන්ජානි (වමේ) - ඉස්ලාමිය ජනරජයේ උත්තරීතර නායක අයතොල්ලා කමෙයිනි සමග ඡායාරූපයක. රෆ්සන්ජානි වොෂින්ටනය සමග යලි මිත‍්‍රවීම සඳහා දීර්ඝ කාලයක් පුරා තල්ලුව දුන්නේය. ඉරානයේ වත්මන් ජනපති හසන් රවුහානි ඔහුගේ අනුගාමිකයෙකි.

2001 ශරත් ඍතුවේ දී තෙහෙරානය එක්සත් ජනපදයේ ඇෆ්ගනිස්ථාන ආක‍්‍රමනයට වැදගත් සැපයුම් සංවිධානාත්මක (logistical) සහයෝගයක් සම්පාදනය කල අතර, ඉන් පසු 2001 දෙසැම්බරයේ බොන් සමුලූවේ දී ඇෆ්ගනිස්තානයේ රූකඩ ජනාධිපති ධුරය සඳහා එජ තෝරා ගැනීම වූ හමීඩ් කර්සායි වෙත සහයෝගය ගොනු කිරීමේ දී ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කලේය. මෙය වඩාත් පුලුල් සහයෝගිතාවයක් සඳහා වූ මාවතේ කටු කොහොල් ඉවත් කර දෙනු ඇතැයි තෙහෙරානය අපේක්ෂා කලේය. එහෙත් ඒ වෙනුවට, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් 2002 ජනවාරියේ ඔහුගේ චාරිත‍්‍රානුකූල රාජ්‍ය තත්ත්ව දේශනයේ දී ඉරානය යනු, ඉරාකය හා උතුරු කොරියාව ද ඇතුලත් වන “අනර්ථකාරීත්වයේ අක්ෂයක” කොටසකැයි හෙලා දුටුවේය.

කෙසේවෙතත් එම වසරේ පසු කාලයක, වොෂින්ටනය ඉරාක ආක‍්‍රමනය සඳහා ලක ලැහැස්ති වෙමින් සිටියදී, තෙහෙරානය එජ සමග සාකච්ඡා ද රහස් තොරතුරු හුවමාරුව ද ආරම්භ කලේය. ඉරානයේ බටහිරදිග හා වයඹදිග අසල්වාසීන් වූ ඉරාකය හා ඇෆ්ගනිස්ථානය යන දෙකම එජ හමුදාවන් විසින් අත්පත් කොට ගැනුනු තත්වයකට මුහුනදීමට ඉරානයට සිදු වූයේ එකී ආක‍්‍රමනයෙන් පසුවය.

උත්තරීතර නායක කමෙයිනි රහසිගතව වොෂින්ටනයට “ඉතා ලාභදායි කේවලක්” සඳහා වූ යෝජනාවක් ඉදිරිපත් කිරීමට අනුමැතිය දුන්නේ, එජ හමුදා බැග්ඩෑඩයට ඇතුලුවීමෙන් යන්තම් සති කිහිපයකට පමනක් පසුවය. වොෂින්ටනය රාජ්‍ය-පෙරලියක් සඳහා පෙනීසිටීම අතහැර දැමීමේ හිලව්වට එජ මූලෝපායික උත්සුකයන් සියල්ලටම යටත්වීමට තෙහෙරානය ඉදිරිපත් විය. ඊස්රායලය නිල වශයෙන් පිලිගැනීම, හමාස් සහ ඉස්ලාමිය ජිහාඩ් සංවිධානයට ආධාර කපා හැරීම, සහ අවි බිම තබා ලෙබනනයේ දේශපාලන පර්යායට තමා සමෝධානය කර ගැනීමට හිස්බුල්ලා සංවිධානය එකඟ කරවා ගැනීමට පීඩනය යෙදීම ද ඊට ඇතුලත් විය. මෙම දිශානතිය ඔස්සේ යමින්, ෂියා ආගමික හා ගෝත‍්‍රික ජාලයන් හරහා ඉරාකයට සුවිශේෂී බැඳීම් පැවැති හා දිගටම පවතින ඉරානය, එජ ආක‍්‍රමනික පාලකයන් සමග සහයෝගිව ක‍්‍රියා කරන ලෙස ඉරාක ෂියාවරුන්ට බල කලේය.

එහෙත් තෙහෙරානයේ “ඉතා ලාභදායී කේවල” ප‍්‍රතික්ෂේප විය. මවා ගත් උජාරුවකින් පිම්බි සිටි ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, චෙනී ඇතුලු එජ පරිපාලනයේ මුදුනේ ලැග සිටි යුද අපරාධකරුවෝ, එජ විසින් ඉරාකය මෙල්ල කර ගනු ලැබීම තහවුරු කොට ගෙන, ඉරානය සමග යුද්ධයක් සඳහා පෙන්ටගනය බොහෝ කලක සිට සූදානම් කර ගෙන සිටින හා අලුතින් යාවත්කාලීන කරන ලද සැලසුම් ඉන්පසු ක‍්‍රියාවට දැමූ කල්හි, තෙහෙරානය තම තර්ජනවලට මීට ද වඩා නම්මා ගත හැකි වෙතැයි ගනන් බැලූහ.

ඉරානයේ න්‍යෂ්ටික ගනුදෙනු හා පශ්චාත් 1988 වකවානුවේ එම තන්ත‍්‍රය වෙලඳපොලවාදයත් අධිරාජ්‍යවාදය සමග සංහිඳියාවත් පසුපස ලුහුබැඳ යාම ආරක්ෂා කරන පරිද්දෙන්, උපයෝගීතාවාදී අවශ්‍යතාවලට ආයාචනය කිරීම මගින් මසහෙරි මෙකී උපාමාරු දැමීම් ද ආරක්ෂා කරන බවට සැකයක් නැත. ඉස්ලාමිය ජනරජයට අන් කුමක් නම් කල හැකි ව තිබිනි ද, වෙනත් කුමක් නම් කල හැකිදැයි ඔහු ප‍්‍රශ්න කරනු ඇත.

එහෙත් මෙම පිලිවෙත් අධිරාජ්‍ය විරෝධී නොවේ. ඒවා ඉරානය තුල නැගෙන සමාජ ප‍්‍රතිවිරෝධයන් හමුවේ හා, ලෝකය තුල එය දරන ස්ථානය පිරිහීමට ලක්වීම පිරිමැසීම් වස් ලෝකයේ වඩාත්ම වැදගත් ඛනිජතෙල් අපනයන කලාපය තුල සිය ආධිපත්‍යයට මුක්කු ගැසීම සඳහා මැද පෙරදිග තුල කොල්ලකාරී ප‍්‍රචන්ඩත්වයන් මාලාවක් මුදා හැර ඇති ඇමරිකානු අධිරාජ්‍යවාදයෙන් නැගෙන පීඩනය ඉදිරියේ නෂ්ඨාපේක්ෂාවෙන් යුතුව උපාමාරු යෙදීමට වලිකන ධනපති තන්ත‍්‍රයක ක‍්‍රියාවන්ය.

අධිරාජ්‍යවාදයට එරෙහිවීමේ එකම ශක්‍ය පදනම වන්නේ ඉරානයේ සහ මැද පෙරදිග කම්කරුවන් හා වැඩ කරන ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජමය අරගලයන්ට කෙරෙන ආයාචනයක පදනම මත ඔවුන් විප්ලවවාදීව බලමුලු ගැන්වීමයි. එවැනි මූලෝපායයක් එජ හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් වන රටවල කම්කරු පන්තිය සමග මූලෝපායික දිශානුයෝජනිය බැමි මගින් බැඳී ගත යුතුය.

එය ඉස්ලාමිය ජනරජයේ පිලිවෙත්වල නොසෑහෙනබව හෝ ප‍්‍රමානවත් නොවීම පිලිබඳ කාරනාවක් නොවේ. ඉරාකය හා ඇෆ්ගනිස්තානය තුල එජ සිදු කල යුද්ධවලදී තෙහෙරානය පවත්වා ගෙන ගිය දුස්සන්ධානයන් විසින් උලුප්පා දැක්වුනු පරිදි, එම පිලිවෙත් අධිරාජ්‍යවාදය ශක්තිමත් කරයි.

මැද පෙරදිග කම්කරුවන්ගේ හා වැඩකරන ජනයාගේ පන්ති උත්සුකයන්ට අව්‍යාජ ලෙස ආයාචනය කිරීමට අසමත් ඉස්ලාමිය ජනරජය, කලාපයේ මහජන සහාය දිනා ගැනීමට තැත් කරන්නේ ෂියාවරුන්ගේ සහයෝගිතාව සඳහා කෙරෙන නිකායවාදී ආයාචනයන්ගෙනි. එබඳු ප‍්‍රතිපත්තියක හුදු ප‍්‍රතිඵලය වනු ඇත්තේ සුන්නි හා අනෙකුත් ආගමික විශ්වාසයන් දරන කම්කරුවන් හා තරුනයන් අතහැර දමා, නිකායවාදී ගැටුමක් අවුලුවා ලීමට අධිරාජ්‍යවාදයට ආධාරකිරීම පමනෙකි.

අධිරාජ්‍යවාදයට එරෙහිව “ජාතික එක්සත්භාවයේ” අවශ්‍යතාවයේ ආවරනය යටතේ ඉරාන ධනේශ්වරය යත්න දරන්නේ කම්කරු පන්තියට එරෙහිව තමන්ගේ තැන ශක්තිමත් කර ගැනීමටය.

උදාහරනයක් ලෙස, එහි උච්ඡතම අවස්ථාවේදී දෙවැනි විප්ලවයකින් සමන්විතයැයි කොමෙයිනිගේ ආධාරකරුවන් විසින් නිවේදනය කරනු ලැබූ “ප‍්‍රාන ඇපකරු අර්බුදය” සලකා බලමු. බලයෙන් පහ කෙරුනු ෂා රජුට එජ තුලට ඇතුලූවීමට ඉඩදීමේ ජනාධිපති ජිමී කාටර්ගේ ප‍්‍රකෝපකාරී තීරනයෙන් උත්සන්න කෙරුනු එජ කූටෝපායයන් හා ආක‍්‍රමනශීලිත්වය පිලිබඳ සැබෑ හා යුක්තියුක්ත භීතියෙන් මෙහෙයවුනු ශිෂ්‍යයෝ, උතුරා ගිය මහජන සහයෝගය මධ්‍යයේ 1979 නොවැම්බරයේ දී ඇමරිකානු තානාපති කාර්යාලය අල්ලා ගත්හ. එහෙත් ඉනික්බිතිව, කොමෙයිනි හා ඔහුගේ අලූතින් පිහිටවූ ඉස්ලාමිය ජනරජ පක්ෂය “ප‍්‍රාන ඇපකරු අර්බුදය” යොදාගත්තේ, සිය පාලනය තහවුරු කර ගනු වස් තම අධිරාජ්‍ය-විරෝධී අක්තපත‍්‍ර ඔප් නංවා ගැනීමටය. ෂියා පූජකයන්ට උත්කෘෂ්ඨ දේශපාලන තරාතිරමක් අත්පත් කර දෙන ව්‍යවස්ථාව පිලිබඳ මහජන විවාද වලකාලීමටත්, ඉස්ලාමිය විප්ලවවාදී බලධාරීන් විවේචනය කරන කවරෙකුට හෝ ඇමරිකාව සමග ගැටුම හමුවේ ඉරානය දුර්වල කරන්නේයැයි චෝදනා නැගීමටත් ඔවුහු එය ප‍්‍රබල ලෙස යොදාගත්හ.

ඉරාන ශිෂ්‍යයන් තෙහෙරානයේ එජ තානාපති කාර්යාලය අල්ලා ගත්තේ, බලයෙන් පලවා හැරුනු ෂා එජ තුලට වැද්දගැනීම සඳහා එජ ජනාධිපති ජිමී කාටර් ගත් තීරනයට හා, තානාපති කාර්යාලය අල්ලා ගැනීමට යන්තම් දින තුනකට ඉහතදී, වොෂින්ටනය සමග සමීප සබඳතා යලි තහවුරු කර ගැනීමේ අරමුනින් ඉරානයේ තාවකාලික අගමැති මෙහදී බසාර්ගන් ජනාධිපති කාටර්ගේ ජාතික ආරක්ෂාව පිලිබඳ උපදේශක ස්බිග්නිව් බ්රෙසෙසින්ස්කි ඇල්ජියර්ස්හිදී මුනගැසී තිබීමට ප‍්‍රතිචාර වශයෙනි.

අවසාන වශයෙන් එකී තන්ත‍්‍රය, 1980 එජ ජනාධිපතිවරනයට පෙරාතුව ප‍්‍රාන ඇපකරුවන් නිදහස් කිරීම ප‍්‍රතික්ෂේප කිරීමට රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක රොනල්ඩ් රේගන්ගේ දූතයන් සමග රහස් එකඟතාවයකට එලැඹ ගත්තේ, එමගිින් ඔහුගේ මැතිවරන ව්‍යාපාරයට ආධාර කරමිනි. එමෙන්ම, ෂා ඉරාන ජනයාගෙන් කොල්ල කා ගෙන ගිය අතිමහත් ධන සම්භාරය ආපසු ලබා දීමේ ඉල්ලීම ද ඇතුලූව ඉරානයේ ඉල්ලීම්වලින් බොහොමයක් අත්හැර දැමීමට ද එය ක‍්‍රියා කලේය.

1980-88 විනාශකාරී ඉරාන-ඉරාක යුද්ධය පිලිබඳ අපේ සටහන්වලට මසහෙරි විරුද්ධ වෙයි. එහෙත් එම යුද්ධය වූ කලි, ජාතික සමගිය සඳහා ඉරාන තන්ත‍්‍රය අඛන්ඩව නිකුත් කල කැඳවුම්වල ප‍්‍රතිගාමී ස්වභාවය හා එහි විදේශ ප‍්‍රතිපත්තියට ජීවය දෙන පන්ති උත්සුකයන් කවරේද යන්න උලුප්පා දක්වන පියවි අත්දැකීමක් වෙයි. භූමි ප‍්‍රදේශ අල්ලා ගැනීමේ හා එජ අනුග‍්‍රහය තහවුරු කර ගැනීමේ අරමුනින් සදාම් හුසේන් 1980 සැප්තැම්බරයේ ඉරානයට පහර දුන්නේය. එහෙත් ඉස්ලාමිය ජනරජය 1982 මැද භාගයේ තමාගේ සියලූ භූමි ප‍්‍රදේශ නිදහස් කර ගැනීමෙන් පසුව ද, යුද විරාමයක් සඳහා සදාම් හුසේන්ගේ යෝජනා ප‍්‍රතික්ෂේප කරමින් හා ඉරාකයේ බිම්කොටස් ආක‍්‍රමනය කොට අත්පත් කර ගනිමින්, යුද්ධය දිගටම පවත්වා ගෙන ගියේය. අධිරාජ්‍යවාදීන් දෙපක්ෂයටම ආයුධ සපයමින් යුද්ධය තවතවත් මොලවමින් සිටියදී, තවත් හය වසරක් පුරා නිත්‍ය යුද්ධයක් පවත්වා ගනිමින් ඉරානය ක‍්‍රියාකාරී ලෙසම ප‍්‍රහාරයේ යෙදී සිටියේය. මුල්ලාවරුන් ඉරාකය සමග යුද වැදුනේ අරමුනු දෙකක් සඳහාය: එනම්, තමා පෙලන පීඩනයෙන් විමුක්තවීම සඳහා වූ මහජන අභිලාෂයන් සුන් වී යාමෙන් ඉරානය තුල මතු වී තුබූ සාමාජීය කෝපය හා ඉච්ඡාභංගය පරිබාහිර සතුරෙකු වෙත හරවා යැවීම හා, කලාපීය බලවතෙකු බවට පත්වීමේ ඉරාන ධනේශ්වරයේ දීර්ඝකාලීන අභිප‍්‍රාය සාක්ෂාත් කර ගැනීමය.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව 1986 ජූනියේ නිකුත් කල ප‍්‍රකාශයක් මගින් පැහැදිලි කල පරිදි, “ම්ලේච්ඡු යුද්ධය, අධිරාජ්‍යවාදයෙන් සැබෑ නිදහසක් දිනා ගැනීමට ඉරාන හා ඉරාක ධනපතියන්ට ඇති නොහැකියාව මුලුමනින්ම ඔප්පු කරන සාධකයයි. (අධිරාජ්‍යවාදයෙන් නිදහස්වීමට යත්න දරනු වෙනුවට - ප.), ඔවුන් ගල්ෆ් කලාපයේ බලපුලුවන්කාරයා යන පට්ටම සඳහා උනුන් හා තරඟ වදින්නේ අධිරාජ්‍යවාදය සමග එකඟතාවයක් අටවා ගැනීම සඳහා හොඳම ස්ථානයේ සිටිනු පිනිසය. ඇත්ත වශයෙන්ම මේ දෙපාර්ශ්වයම තැත් කරන්නේ අඟල් හයකින් තම උස වැඩි කර ගැනීම සඳහා තම බූට් සපත්තුව අනෙකාගේ උගුරු දන්ඩ තුලට බැස්සවීමට ය.”

අවසානයේදී, වොෂින්ටනය යුදපත් ඉරාකයට කිසිදා නොවූ විරූ තරම් විශාල මිලිටරි ආධාර සම්පාදනය කිරීමේ හා, කලාපය තුල ඍජුවම මැදිහත්වීමට ව්‍යාජ හේතුවක් ලෙස යුද්ධය භාවිතා කිරීම සඳහා තර්ජනය කිරීමේ තතු යටතේ බැග්ඩෑඩයෙන් දැවැන්ත යුද වන්දි හා අනෙකුත් අනුග‍්‍රහයන් සඳහා තෙහෙරානය විසින් ඉදිරිපත් කෙරෙමින් පැවැති ඉල්ලීම් අත්හැර දැමූ කොමෙයිනි, යුද්ධය අවසන් කිරීමට අදිමදියෙන් එකඟ විය.

ඉස්ලාමිය ජනරජයේ “අධිරාජ්‍ය-විරෝධී” කයිවාරු කෙරේ විශ්වාසය තැබීම මගින් මසහෙරි තමාම රවටා ගනී.

වොෂින්ටනයේ පැත්තෙන් ගත් කල, ඉරාන ධනේශ්වරය හා ඉස්ලාමිය ජනරජයේ පූජක දේශපාලනික සංස්ථාපනය තුල පවත්නා ගැඹුරු කල්ලිවාදී දැදුරුවීම් පිලිබඳව ද, ඉරාන-එජ සබඳතා මෙම පැලීම්වල ප‍්‍රමුඛ හේතුවක්ය යන කරුන සම්බන්ධයෙන් ද එය තීක්ෂන ලෙස දැනුවත්ය.

ඉරාන න්‍යෂ්ටික වැඩ පිලිවෙලට හා, ඉස්ලාමිය ජනරජයත් ඉරාන ජනයාත් අතර මුහුනටමුහුන ගැටුමකින් වැලකී ආපස්සට පියවරක් තැබීමට එජ ලබා දුන් සහයෝගය පදනම් වූයේ, වානිජ බැඳුම් ඇතුලූ එජ-ඉරාන සබඳතා ප‍්‍රසාරනය වීම මගින් ඉරාන ප‍්‍රභූව තුල පවත්නා මතභේදවල අගාධයන් පිරික්සා බැලීමට හා ඒවා උත්තෝලනය කිරීමටත්, කාලයාගේ ඇවෑමෙන් එහි මූලෝපායික දිශානුයෝජනය වෙනස් කර ගැනීමටත් විවෘත වන ඉඩකඩ පිලිබඳ ගනනය කිරීම් මතය.

හරිත ව්‍යාපාරය යනු අධිරාජ්‍යවාදී කූටෝපායයන්ගේ හා අත පෙවීම්වල හුදු නිෂ්පාදිතයක් පමනක් නොවීය. එය ඉරාන ධනේශ්වරය හා ඉස්ලාමිය ජනරජයේ පූජක-දේශපාලන සංස්ථාපනය ඇතුලත පුලුල් සහයක් දිනාගත්තේය. 1989 සිට 1997 දක්වා කමෙයිනි සමග ද්වි අධිකාරියක් දරමින් ක‍්‍රියාකාරී ලෙස ඉරානය පාලනය කල කෝටිපති පූජක රෆ්සන්ජානි විසින් එයට ලබා දුන් සහාය මේ පිලිබඳ උදාහරන සපයයි.

ඉස්ලාමිය ජනරජයේ විදේශ හා ස්වදේශීය දේශපාලනය අන්ත දකුනට ගෙන යාම සඳහා හරිත ව්‍යාපාරය භාවිතා කිරීමේ ප‍්‍රයත්නයන්ට ලෝසවෙඅ විරුද්ධ විය. එහෙත් අපේ විරුද්ධත්වයෙන් අහමදිනේජාඩ් හෝ කමෙයිනිමත් මතු දිනයක එජ අධිරාජ්‍යවාදය සමග අනුග‍්‍රහයන්ට නොඑලඹෙනු ඇතැයි කිසියම්ම හෝ විශ්වාසයක් පලකිරීම තිබියේවා; ඔවුන් වෙත කිසියම්ම හෝ සහයෝගයක් දැක්වීමක්වත් ඉන් ගම්‍යමාන නොවීය. “අහමදිනේජාඞ්ගේ ඇමරිකානු-විරෝධී ආකල්පවල, කවර හෝ සැබෑ අධිරාජ්‍ය-විරෝධී අරගලයකට මොනම සම්බන්ධයක්වත් නැතැ”යි 2009 ජූනි 17 දින ලෝසවෙඅ ඉදිරි දර්ශනය නිවේදනය කලේය. “ඒ වෙනුවට එය අරමුනු කොට ඇත්තේ ඉරාන ධනේශ්වරයේ උත්සුකයන්ට වඩාත් වාසිදායක අනුග‍්‍රහයක් සඳහා වොෂින්ටනයට පීඩනය යෙදීමයි. දුගීන්ට දයාබර ‘ජනතාවගේ මිනිසෙක්’ ලෙස ... ඔහු දක්වන ලීලාව මගින්, ඔහුගේ පාලනය යටතේ සමාජ බෙදුම් කඩනය වඩාත් ගැඹුරු වූවා පමනෙකිය යන සත්‍යය සඟවා ලිය නොහේ.”

වසර හතරක ඇවෑමෙන්, රෆ්සන්ජානිගේ දීර්ඝකාලීන අනුගාමික හසන් රවුහානි ජනාධිපති ධුරයේ පිහිටුවනු ලැබ සිටියදී, ඉරානයේ විදේශ පිලිවෙත වොෂින්ටනය සමග යලි මිත‍්‍රකම් ගොඩ නගා ගැනීමේ දිශාවට තවත් වරක් විස්ථාපනය කිරීම සඳහා කොමෙයිනි අනුමැතිය ලබා දුන්නේය. අවසානයේ දී මෙය, 2016 ජනවාරියේ සිට ක‍්‍රියාත්මක ඉරාන න්‍යෂ්ටික සම්මුතියට මග හෙලි කලේය.

ඉරාන න්‍යෂ්ටික සම්මුතිය දියබත් කිරීමට ට‍්‍රම්ප් පාලනය පියවර ගැනීමත් සමග තෙහෙරානය දැන් යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් විසින් එක්සත් ජනපදය ආම්බාන් කර ගනු ලැබීම මත සහ, අත්‍යවශ්‍ය වන්නේ නම් වොෂින්ටනයේ සකලවිධ සම්බාධකවලට අභියෝග කිරීම මත පරදු තබමින් සිටී.

මෙය ඉහල අවදානමකින් යුත් සූදුවකි. ජර්මනිය විසින් නායකත්වය දෙනු ලබන යුරෝපීය අධිරාජ්‍යවාදී බලවත්තු වොෂින්ටනයෙන් ස්වාධීනව; හා අවශ්‍යතාවය පැන නැගුනු කල්හි ඊට එරෙහිව; තමාගේම කොල්ලකාරී උත්සුකයන් තහවුරු කර ගැනීමට යලි සන්නද්ධ වෙමින් හා පියවර ගනිමින් සිටිති. එහෙත්, ඉදින් තෙහෙරානය කෙරේ ට‍්‍රම්ප්ගේ පිලිවෙත තකතීරු සහ මැද පෙරදිග තමන්ගේ උත්සුකයන්ට අනර්ථකාරී එකකැයි ඔවුන් සිතුවේ වී වුව, ඉරානය වෙනුවෙන් එජ සමග සිය වෙලඳ හා මිලිටරි ආරක්ෂක සබඳතා අනතුරේ හෙලීමට ඔවුන් සූදානම් ද? 2016 ජනවාරියේ යුරෝපීය සම්බාධක ඉවත් කිරීමෙන් පසු යුරෝපාකරයේ දේශපාලන හා ව්‍යාපාරික නායකයන් ගනනාවක් ඉරානය තුල ආයෝජන අවස්ථා පිලිබඳව සොයා බැලීම් සිදු කල අතර ඉන් ඇතැම්හු යම් ගිවිසුම්වලට පවා එලැඹුනාහ. එහෙත් වොෂින්ටනයේ කිසියම් අනාගත යුදකාරී ක‍්‍රියාමාර්ග සමග ගැටුමකට එලැඹීමට සිදුවෙතැයි යන භීතිය නිසා යුරෝපීය ආයෝජන තවමත් ඉරානයට සේන්දු වී ඇත්තේ, යම්තමින් කාන්දුවීමක් ලෙස පමනෙකි.

ඉදින් ඉස්ලාමිය ජනරජයට යම් නිස්කලංකයක් ලබා දීම පිලිබඳ එජ හා යුරෝපය අතර වෙනස්කම් පවතින්නේයැයි සැලකුව ද, නිසැකවම එය තෙහෙරානයෙන් යුරෝපීය ආයෝජකයන්ට තවතවත් “පෙලඹවීම්” ලබාදීම - එනම්, පලමුව හා ප‍්‍රමුඛ ලෙස කම්කරු පන්තිය විසින් බර දරනු ලැබිය යුතු ආර්ථික පෙලඹවීම් ලබාදීම - සමග ගැට ගැසී පවතිනු ඇත.

මීට සමාන ආකාරයකින්, සිරියාව හා ඉරාකය තුල තෙහෙරානයේ ක‍්‍රියාකාරිත්වයන් ද පරස්පර විරෝධයන්ගෙන් ගහන ව පවතී. අන්කාරාවේ (තුර්කි අගනුවර) පාලනය ඉහත දී සිරියාවේ ඉරාන සහාය ලද රජය පෙරලා දැමීම සඳහා එජ විසින් සූදානම් කෙරුනු ව්‍යාපාරයේ ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කල නමුදු, දැන් ඉරානය රුසියාවට අමතරව තුර්කිය සමග ද එක් ව කටයුතු කරයි. ඒ කුර්ද්වරුන් කෙරේ ඔවුන් දෙපාර්ශවය විසින්ම එකසේම දක්වනු ලබන සතුරුභාවයේ පදනම මතය.

අලි ෂරියාටි, ඉස්ලාමිය සමාජවාදය, සහ “ජාතික” සමාජවාදයේ අන්ධානුකාරකයා

මසහෙරි සරන ගොස් ඇති “ඉරාන ඉස්ලාමිය සමාජවාදය” යනු, 1978 සිට 1981 දක්වා පැවැති අධිරාජ්‍ය-විරෝධී නැගිටීම් කාලසීමාවේ ධනේශ්වරය සිය පන්ති අරමුනු ආවරනය කිරීමට යොදාගත්, ෂියා ජනතාවාදයෙන් හැඩවැඩ ගැන්වූ ඉරාන ජාතිකවාදයේ සලුවෙහිම එක් හුයපටකි. මසහෙරිම පිලිගන්නා පරිදි, එකකින් පසුව එකක් වශයෙන් බලයට පත් ආන්ඩු විසින් නව ලිබරල්වාදී පිලිවෙත් අනුයන ලද නමුදු, ඉස්ලාමිය ජනරජයේ දේශපාලන සංස්ථාපිතයේ සුලුතර කන්ඩායමක් දිගටම ඉස්ලාමිය සමාජවාදයට අනුග‍්‍රහ දක්වමින් සිටී. මක්නිසාදයත්, නැගෙන සමාජ අර්බුද හා විරුද්ධත්වය හමුවේ, රාජ්‍ය තන්ත‍්‍රයට එයින් “වාම” මුහුනුවරක් හිමි වන නිසාය.

“ඉරානයේ ආර්ථික තීරන පැහැදිලිවම ප‍්‍රමුඛ ලෙස ඉස්ලාමිය සදාචාර ධර්මතා මත ද, නිසැක ලෙස සමාජවාදී දෘෂ්ඨිය මත ද පදනම් වේ,” යැයි මසහෙරි තරයේ ප‍්‍රකාශ කරයි.

යථාර්ථයේ දී ඉරානයේ සමාජ-ආර්ථික ජීවිතය ප‍්‍රත්‍යක්ෂ ලෙස ම ධනේශ්වරයේ පන්ති උත්සුකයන් වටා භ‍්‍රමනය වන අතර, එම උත්සුකයන්ට - එනම්, එහි ධනය, ලාභ සහ ආනුභාවය පවත්වා ගැනීමටත්, ප‍්‍රසාරනය කිරීමටත් - සේවය කරයි.

එජ අධිරාජ්‍යවාදය සමග ඉරානයේ ඝට්ඨනයෙහි ප‍්‍රතිවිපාකවල බර සියල්ලන් විසින් “සමානව” දරනු ලැබේ ද, නැතහොත් එය අසමානුපාතික ලෙස කම්කරු පන්තිය හා වැඩකරන ජනයා මත පතිත කෙරේ ද? එම ප‍්‍රශ්නය ඇසීමම එයට පිලිතුරක් ද වේ.

ඉස්ලාමිය සමාජවාදය යනු ප්‍රෝඩාවකි. ඉස්ලාමිය ජනරජය තුල ආර්ථික හා සමාජ ජීවිතය සංවිධානය කිරීම පිලිබඳ කිසිවක් හෝ කීමට කම්කරු පන්තියට අවකාශ නොලැබෙන අතර එය සතු දේශපාලන බලයේ ස්වාධීන ආයතන කිසිවක් හෝ නොපවතී.

සෙසු පටු අයෙකු නොව, ඉස්ලාමිය ජනරජයේ ආදිකර්තෘවරයා ලෙස පිලිගැනෙන අයතොල්ලා කොමෙයිනිටම අනුව ආවශ්‍යක ඉස්ලාමිය ශික්ෂාවන් ලෙස ගැනෙන; ධන සම්පත් “දෙවියන්ගෙන් ලද දායාදයක්” ලෙස ආරක්ෂා කිරීම ද, “ආර්ථිකයේ රෝද” ධාවනය කිරීමෙහි ලා පෞද්ගලික දේපලවල කාර්යභාරය ආරක්ෂා කිරීම ද සමාජවාදය සමග - එනම්, සාමූහික අයිතිය හා සමාජයේ ප‍්‍රධාන ආර්ථික ලීවරයන්හි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය සමග – මුලුමනින්ම අනනුකූල වෙයි. ෂියා පූජකයන්ට හිමි වන වරප‍්‍රසාදිත දේශපාලන තරාතිරම සම්බන්ධයෙන් ද තතු එපරිද්දෙන්ම වෙයි.

අලි ෂරියාටි (1933-77) “ඉස්ලාමිය සමාජවාදයෙහි” හා “රතු ෂියාවාදයෙහි” ප‍්‍රමුඛ ප‍්‍රකාශකයෙකු විය

අපේ ලිපිය තුල “ඉස්ලාමිය සමාජවාදී” අලි ෂරියාටි පිලිබඳව කර තිබූ කෙටි සඳහනක් විවේචනය කිරීමට මසහෙරිගේ දෙවන බ්ලොග් ලිපියේ සෑහෙන කොටසක් වෙන් කොට ඇත. එසේ කිරීමේදී ඔහු අපේ අභිප‍්‍රාය තේරුම් කර දෙන්නේ සාවද්‍ය ලෙසය. තමන් මාක්ස්වාදයට කර්කශ ලෙස එරෙහි වන අතර, “වම” සමග තමා අනන්‍ය කර ගනිමින් “රතු ෂියාවාදය” සරන ගිය ෂරියාටිට – අයතොල්ලා කොමෙයිනිට වඩා - ලෝසවෙඅ යම් ආකාරයකින් කැමති වූ බවක් මසහෙරි යෝජනා කරයි.

ඇත්තෙන්ම අපේ අරමුන වූයේ ඉරානයේ වැඩකරන ජනයා හා ශිෂ්‍යයන් අතර සමාජවාදය පැතිරවූ ආනුභාවය හා ඔවුන් තුල ඒ කෙරේ වූ ආකර්ශනය පිලිබඳව කොමෙයිනි කෙතෙක් දුරට දැනුවත්ව සිටියේ ද හා ඒ සම්බන්ධයෙන් ඔහු කෙතෙක් කරදරයට පත්වී ද යන්න කෙරේ අවධානය යොමු කරවීමයි. දීර්ඝ කාලයක් පුරා දක්ෂිනාංශික දේශපාලනය සමග සහයෝගී ව සිටි උග‍්‍ර කොමියුනිස්ට් විරෝධියෙකු වූ කොමෙයිනි තමාගේම සඳහනක කිසිදු විටෙක “ඉස්ලාමිය සමාජවාදය” යන යෙදුම භාවිතා කොට නැත. එහෙත් 1970 ගනන්වල මුල් කාලයේ දී, ෂා කෙරේ පූජක-ධනපති විපක්ෂයේ මහජන ආකර්ශනය පුලqල් කර ගනු පිනිස හා වඩාත් ඵලදායී ලෙස වම සමග පොරවදිනු පිනිස ෂියා ඉස්ලාම් දේව ධර්මය යලි වාත්තු කිරීමේ දී, ඔහු පැහැදිලිවම ෂරියාටිගේ හා ඉස්ලාම් දහමත් සමාජවාදයත් අතර සම්පර්කයක් වෙනුවෙන් පෙනී සිටි අන්‍යයන්ගේ ද ලේඛනවලින් උකහා ගත්තේය.

ඉතිහාසඥ අර්වන්ඩ් එබ‍්‍රහමියන් සඳහන් කොට ඇති පරිදි, 1970 ගනන්වලට පෙර කොමෙයිනි ‘මොස්ටසෆින්’ යන යෙදුම භාවිත කර ඇත්තේ කලාතුරකින් පමනක් වන අතර, එසේ භාවිතා කිරීමේ දී ඔහු එය යොදා ගෙන ඇත්තේ “පීඩිත ජනයා” යන අරුත නොව “දුර්වලයන්” යන අරුත හැඟවෙන පරිදිය. මුල් කී අරුත හැඟවෙන පරිද්දෙන් මොස්ටසෆින් වදන ජනප‍්‍රිය කෙරුනේ ෂරියාටි විසිනි. ඒ, ඔහු ෆ‍්‍රාන්ට්ස් ෆැනන්ගේ Wretched of the Earth (මිහිතලයේ අසරනයෝ ) පරිවර්තනය කිරීමේ දී ය. [16 ]

මෙය අප දෙවැනි කාරනයක් කරා කැඳවා ගෙන යයි; මසහෙරි මේ සම්බන්ධයෙන් කලබලවීම වලකනු පිනිස, ෂරියාටි බටහිර ලෝකයට “යෝග්‍යකරනය” කිරීම සම්බන්ධ කිසිදු අභිලාශයක් මෙහි නොමැති බවත්, මෙය හුදෙක් ඉස්ලාමිය සමාජවාදය එහි පුලුල් දේශපාලන හා බුද්ධිමය සන්දර්භය තුල පිහිටුවීමක් පමනක් බවත් අපි මෙහිදී - සත්‍යය වාර්තාගත කොට තැබීමක් ලෙස - සඳහන් කරනු කැමැත්තෙමු.

පූජක පවුලකින් පැවැත ආ භක්තිමත් මුස්ලිම් ආගමිකයෙකු වූ ෂරියාටි 1950 ගනන්වල අගභාගයේ හා 1960 ගනන්වල මුල් කාලයේ පැරීසියේ අධ්‍යාපනය ලැබීය. එහි රැඳී සිටි කාලයේ ඇල්ජීරියානු නිදහස් අරගලයට සහභාගී වූ ඔහු “ස්වදේශීයකෘත” අරාබි හා අප‍්‍රිකානු “සමාජවාදයක්” වර්ධනය කිරීම සඳහා වූ ප‍්‍රයත්න ගනනාවක් පිලිබඳව දැනහැඳින ගත්තේය. කලෙක ස්ටැලින්වාදී ඇල්ජීරියානු කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙකු ව සිට පසුව ඇල්ජීරියානු එෆ්එල්එන්හි ප‍්‍රමුඛයෙකු බවට පත් වූ ද, සිය Le meilleur combat (හොඳම සටන) නම් පොත තුල ඉස්ලාමය යනු සමාජවාදය සමග අනුකූල වන විප්ලවවාදී දෘෂ්ඨියක් බවටත්, එය මාක්ස්වාදයට වඩා ජනයා බලමුලු ගැන්වීමේ වඩාත් සඵල උපක‍්‍රමයක් බවටත් තර්ක කලා වූ ද අමාර් ඖසගන් ඔහු කෙරේ ප‍්‍රබල ආනුභාවයක් පැවැත්වූ අයෙකු විය.

අප ඉහතදී සඳහන් කල පරිදි, “යුරෝපීය සමාජවාදය” ඉරානයේ දී හා මුස්ලිම්වරුන් ප‍්‍රමුඛ ලෙස වෙසෙන අනෙකුත් රටවලදී, “ජාතික අභිරුචීන්ට” ගැලපෙන සේ කපා කොටා අලුතින් මසා ගත යුතුයැයි මසහෙරි අවධාරනය කරයි.

පශ්චාත් විප්ලව පෙලපාලිවලදී ෂරියාටිගේ හා අයතොල්ලා කොමෙයිනිගේ රුව සහිත පුවරු අත දරා සිටින ඉරාන මහජන මුජහෙදිනයේ ආධාරකරුවෝ. මුජහෙදිනය ෂරියාටිගේ ලේඛනවලට ප‍්‍රසිද්ධිය දෙමින් ඒවා බෙදා හැරියේය

දෙවැනි ලෝක යුද්ධයෙන් ඉක්බිති නිර්-යටත්විජිතකරනයේ හා ජාතික විමුක්ති අරගලයන්හි කාල පරිච්ඡේදය තුල ඇත්තෙන්ම “ජාතික” සමාජවාදයන් වර්ධනය කිරීමේ ප‍්‍රයත්න ගනනාවක් පැවතින. ඒවායින් පිලිබිඹු වූයේ යටත්විජිතයන්හි ධනේශ්වරයේ හා සුලු ධනේශ්වරයේ පරිශ‍්‍රමයන් හා ඒවායේ පරස්පර-විරෝධී පන්ති ආස්ථානයන්ය. අධිරාජ්‍යවාදය විසින් තමන්ට කරන ලද අවමානයන් ද, තම ධනය හා බලය මත පනවන ලද සීමාවන් ද නිසා අමනාපව හා කෝපයට පත්ව සිටි මෙකී වරප‍්‍රසාදිත ස්ථර, නිදහස දිනා ගැනීමට මහජන සහාය ඒකරාශී කිරීම සඳහා සමාජවාදී වාගාලංකාරයන්හි ඇති උපයෝගිතාව හඳුනා ගත් නමුදු, කම්කරු පන්තියෙන් එන ඕනෑම අභියෝගයක් ඉදිරියේ භීතියට පත් වූහ.

මෙම ප‍්‍රවනතාවයේ වාමාංශික නියෝජිතයන්ගෙන් බොහොමයක් මාක්ස්වාදයේ බලපෑමට ලක් වූ අතර, යම්තාක් දුරකට ඒ කෙරෙහි ආකර්ශනය පවා වූහ. එහෙත් ඔවුහු එය තමාගේම පන්ති උත්සුකයන්ට හා ජාතික අභිලාෂයන්ට ගැලපෙන පරිද්දෙන් යලි අර්ථකථනය කලහ.

යම් කලක් සඳහා ඔවුහු අධිරාජ්‍යවාදයේ පීඩනයට ප‍්‍රතික‍්‍රියා දැක්වීමේ උපක‍්‍රමයක් ලෙස හා දේශීය ස්ටැලින්වාදී පක්ෂයේ සහයෝගය සවිමත් කර ගැනීම පිනිස සෝවියට් දේශයේ, හා ඊට අඩු පරිමානයකින් චීනයේ ද, ස්ටැලින්වාදී නිලධරයන්ගේ අනුග‍්‍රහය ලබා ගැනීමට අපේක්ෂා කලහ.

ස්ටැලින්වාදී අවධි-දෙකේ විප්ලව “න්‍යාය” අධිරාජ්‍යවාදයට එරෙහි ජාතික-ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලය තුල ධනේශ්වරයේ නායකත්වයට යුක්තියුක්තතාවයක් අත් කර දෙමින් සමාජවාදය සඳහා අරගලය ඈත අනාගතයකට පවරා දෙන ලද හෙයින්, එ‘තුල ඔවුහු තම පන්ති අවශ්‍යතා සමග අනුකූල වන වැඩ පිලිවෙලක් සොයා ගත්හ.

1960 හා 1970 දශක සමාජවාදය කරා එවැනි “ජාතික මාවත්”වල සමෘද්ධි සමය විය.

සමාජවාදයේ තමන්ගේම අතුල්‍ය ජාතික ප‍්‍රභේදය ගොඩනගන බව කියා සිටි රාජ්‍ය තන්ත‍්‍ර ගනනාවක් ආසියාවේ, අප‍්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ මතු වී ආවේය. හොඳින්ම දන්නා කිහිපයක් පමනක් නම් කරන්නේ නම්, ඝානාවේ එන්කෘමා, ඉන්දියාවේ කොන්ග‍්‍රස් පක්ෂය හා ඉන්දුනීසියාවේ සුකර්නෝ ද ඊට ඇතුලත් වූහ.

මැද පෙරදිග හා උතුරු අප‍්‍රිකාව තුල, ඇල්ජිරියානු එෆ්එන්එල්, ඊජිප්තුවේ නසර් හා බාත් පක්ෂයේ එකිනෙකට සතුරු ඉරාක හා සිරියානු පාර්ශ්වයන්ගේ සිට “ඉස්ලාමිය සමාජවාදී” මුවම්මර් ගඩාෆි දක්වා “අරාබි සමාජවාදයේ” අනේකාකාර යෝජකයෝ වූහ. ඔවුන්ගේ “අධිරාජ්‍ය-විරෝධී” මවාපෑම් නොතකා ඔවුහු ධනේශ්වර ජාතිකවාදී තන්ත‍්‍රයෝ වූහ. අධිරාජ්‍යවාදයෙන් එල්ල වෙන පීඩනය පිරිමසා ලීම සහ ස්වදේශීය කර්මාන්ත ප‍්‍රවර්ධනය අරමුනු කර ගනිමින් ආනයන ආදේශනය හා අයිතිය රජය සතුවීම ද ඇතුලත්ව රාජ්‍යයේ අධිකාරයෙන් යුත් ආර්ථික වර්ධනයක් හඹා යන අතරතුර, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ සහයෝගය ගොනු කර ගැනීමට ඔවුහු සමාජවාදී වාක්සම්ප‍්‍රදාය භාවිතා කලෝය.

සමාජවාදීන් ලෙස පෙනී සිටීමට ඔවුන්ට පැවැති හැකියාව ස්ටැලින්වාදයේ දේශපාලනය හා ශීතල යුද්ධය සමග සමීප ව බැඳී පැවතින. සෝවියට් සංගමය ඔවුන්ට ආධාර, වෙලඳපොලවල් හා යුද මූලෝපායික සහාය පිරිනැමීය. ඒ අතරතුර එම රටවල කොමියුනිස්ට් පක්ෂ, ධනේශ්වරයේ “අධිරාජ්‍ය-විරෝධී” පාර්ශවයට සහයෝගය දීමට කම්කරු පන්තියට නියෝග කරමින් දේශපාලනිකව කම්කරු පන්තියේ ගෙල සිර කලේය.

“සමාජවාදය ගොඩනැගීම” කෙසේ වෙතත්, යටත්විජිත පීඩනයේ උරුමය මැඩලීම හා බැඳුනු ආවශ්‍යක ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජමය ගැටලු අතරින් කිසිවක් හෝ නිරාකරනය කිරීමට ද මෙකී රාජ්‍ය තන්ත‍්‍ර අසමත් වූහ. කම්කරු පන්තියේ අභියෝගයකට මුහුනදීමට සිදු වූ කල ඔවුහු නොවෙනස්ව ම කුරිරු මර්දනය කරා හැරී ගත්හ. නැගෙන අධිරාජ්‍යවාදී පීඩනයේ හා රට තුල පන්ති ගැටුම්වල ද කොන්දේසි යටතේ ඇතැම්හු අධිරාජ්‍යවාදය සමග සිය සාමය වහා ගොඩ නගා ගත්හ. (උදා. ඊජිප්තුව) තවත් අය බලයෙන් නෙරපා හරින ලදහ. (ඉන්දුනීසියාව) තවත් ඇතැමුන් අධිරාජ්‍යවාදයේ අනුග‍්‍රහය ලැබ ගත් නමුදු, භූ දේශපාලනික තතු වෙනත් අතකට පෙරලුනු කල්හි තමන් රාජ්‍ය පෙරලා දැමීමේ මෙහෙයුම්වල ද යුද්ධවල ද ඉලක්කයක් වී ඇති බැව් ඔවුන්ට පෙනී ගියේය. සදාම් හුසේන් හා ලිබියාවේ මුවම්මර් ගඩාෆි යන දෙදෙනාගේම ඉරනම එපරිදි විය.

සෝවියට් හා චීන ස්ටැලින්වාදී නිලධරයන් ධනපති ක‍්‍රමයේ ප‍්‍රතිස්ථාපනය වෙනුවෙන් “තනි රටේ සමාජවාදයේ” ඒකාධිකාරවාදී වැඩපිලිවෙල අත්හැර දැමීම සහ, ආසියාවේ, අප‍්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ “රැඩිකල්” ධනේශ්වර - නො එසේනම්, ඔවුන්ගේ වචනවලින් කිවහොත් “ජාතික සමාජවාදී” - තන්ත‍්‍රයන්හි යුගය අභාවයට පත්වීම යනු එකිනෙකට සමාන්තර ක‍්‍රියාදාමයෝ වෙති. අධිරාජ්‍යවාදයේ පීඩනයට ජාතික ආර්ථික නියාමනය හරහා මුහුන දීමට මං සෙවූ සියලු වැඩපිලිවෙලවල්, රාජ්‍ය තන්ත‍්‍ර හා සංවිධාන සියල්ලෙහි දෙපා යටින් මිනීවල කැනීමට ධනපති නිෂ්පාදනයේ ගෝලීයකරනය ක‍්‍රියාත්මක වී ඇත.

ඉරාන කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂයක් සඳහා

දෙවැනි අධිරාජ්‍යවාදී ලෝක යුද්ධය තුල කූටප‍්‍රාප්ත වූ මහා අවපාතයේ ආර්ථික හා භූ දේශපාලනික කම්පනයන්ගෙන් ඉක්බිතිව ලෝක ධනවාදය මුහුන දෙන ගැඹුරුතම අර්බුදය, ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය විසුරුවා හරිනු ලැබ ශත වර්ෂ කාලක් ගත වීමෙන් පසු විද්‍යමාන වෙමින් පවතී.

ලෝකය “මහා බල තරඟයක” නව අවදියකට සේන්දු වී ඇතැයි වොෂින්ටනය එලිපිටම කියා සිටිද්දී, සියලු අධිරාජ්‍යවාදී මහබලවත්තු හා කලාපීය බලවතුන් බවට පත්වීමේ අපේක්ෂාවෙන් පසුවන්නෝ යලි සන්නද්ධ වෙමින් සිටිති. යුදවාදයේ පුනරුත්ථානය අත්වැල් බැඳ ගෙන ඇත්තේ කම්කරු පන්තියේ සමාජයීය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහිව එල්ල කෙරෙන ලෝක පරිමාන ප‍්‍රහාරයක් සමගය.

1991 පටන් මැද පෙරදිග තුල වොෂින්ටනය විසින් දියත් කරන ලද යුද්ධ හා ප‍්‍රචන්ඩත්වයන්, ලෝකය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදය දරා සිටින ස්ථානයේ පරිහානිය ආපසු හැරවීමට සමත් වී නැත. පලමු ලෝක යුද්ධය අවසානයේ බ්‍රිතාන්‍ය හා ප‍්‍රන්ස අධිරාජ්‍යවාදීන් විසින් කලාපය මත පටවන ලද ප‍්‍රතිගාමී රාජ්‍ය පර්යාය කුඩුපට්ටම් කර දැමීම මගිින් ඇමරිකානු අධිරාජ්‍යවාදීන් විසින් මුල පුරන ලද එම පැරනි පර්යාය වෙනුවට, කලාපය යලි බෙදා වෙන්කිරීමේ ලේ වැකි ප‍්‍රයත්නය දැන් දිග හැරෙමින් පවතී.

මැද පෙරදිග ඛනිජ තෙල් සම්පත් ද, යුරේසියාව, අප‍්‍රිකාව හා ඉන්දියානු සාගර කලාපය මත මූලෝපායාත්මක ආධිපත්‍යය සඳහා එහි භූගෝලීය පිහිටීමේ ඇති වැදගත්කම ද සැලකිල්ලට ගත් කල, මෙකී යලි බෙදීමේ ප‍්‍රතිඵලය සිය මූලෝපායික තත්වය හා අනාගත සෞභාග්‍යයන් කෙරේ ඉමහත් වැදගත්කමකින් යුතු වන්නේ, හුදෙක් ඊස්රායලය හා සවුදි අරාබියේ සිට තුර්කිය හා කටාර් දක්වා වූ කලාපයේ සියලු රාජ්‍යවලට පමනක් නොවේ. වඩාත් භාරදූර හා පුපුරන සුලු ආකාරයකින් එය ඇමරිකාව, ජපානය හා ජර්මනියේ සිට චීනය හා රුසියාව දක්වා ලෝකයේ සියලු ප‍්‍රමුඛ බලවතුන්ට ද තීරනාත්මක වැදගත්කමකින් යුතුය.

ඉස්ලාමිය ජනරජය හසු වී ඇත්තේ, ලෝක ගෝලීය ආර්ථික හා භූ දේශපාලනික අර්බුදයේ මෙම දිය සුලියටය. ප‍්‍රධාන බලවතුන් සමග උපාමාරු දැමීමටත්, අධිරාජ්‍යවාදය හා කම්කරු පන්තිය අතර තුලනයක් පවත්වා ගැනීමටත් ඉරාන ධනේශ්වරයට ඇති ඉඩ කඩ වේගයෙන් වියැකී යමින් පවතී.

ඉරාන ධනේශ්වරයට මෙම සුලියෙන් එලියට පැන ගත හැකි මගක් නොවේ. වඩාත් නිවැරදි ලෙස කියන්නේ නම්, එලියට පැමිනීමට ඇති, එහි මූලික පන්ති උත්සුකයන්ට අනුරූප වන මාවත්, ඉරානයේ හා සමස්ත කලාපයේම කම්කරු පන්තියේ හා වැඩකරන ජනයාගේ උත්සුකයන්ට සතුරු වන අතර, ඒවායින් අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය දුබල කෙරේ. එම මාවත් කම්කරු පන්තිය වඩාත් තීව‍්‍ර ලෙස සූරාකෑමේ ආකාරය හෝ, වොෂින්ටනය ද ඇතුලු අධිරාජ්‍යවාදී බලවතුන් සමග උපාමාරු දැමීමේ, නැතහොත් සිරියාවේ සහ අන් කවර ස්ථානයක වේවා බොහෝකොටම ආරක්ෂක ස්වභාවයේ වුව යුදමය ක‍්‍රියාමාර්ග ගැනීමේ හෝ ආකාරය අත්පත් කර ගැනුනේ වුව; ඉන් සිදුවනු ඇත්තේ කලාපය යුද්ධයේ හා නිකායවාදී ගැටුම්වල තවතවත් පැටලී ගැනීම පමනෙකි.

ධනපති ක‍්‍රමය යලිත් වරක් ලෝක යුද්ධයේ අගාධය දෙසට ගසා ගෙන යමින් පැවැති 1930 ගනන්වල ලිවූ ට්‍රොට්ස්කි, ජාත්‍යන්තර කම්කරු පන්තිය, සිය මූලෝපායයන් වෙලඳපොලවල්, සම්පත් හා යටත්විජිත සඳහා උනුන් හා තරඟ වැද සිටින තරඟකාරී ධනේශ්වර බලවතුන්ගේ යුද සිතියම මත නොව, පන්ති අරගලයේ සිතියම මත පදනම් කල යුතුයැයි කැඳවුම් කලේය.

ඉරානයේ කම්කරු පන්තිය ගම්බද දුගීන් හා අනෙකුත් පීඩිතයන් තමා පසුපස ගොනු කර ගනිමින්, අධිරාජ්‍යවාදයට හා 1979 අධිරාජ්‍ය-විරෝධී විප්ලවය ගබ්සා කර දැමීමේ ප‍්‍රතිඵලයක් ලෙස බිහිවූ ධනේශ්වර තන්ත‍්‍රයට එරෙහිව, ස්වාධීන දේශපාලන බලයක් ලෙස ඉස්මතු විය යුතුය.

එය, මැද පෙරදිග සමාජවාදී එක්සත් ජනපදයක් සඳහා සටන් වැදීම තුල තම අරගලය අරාබි, තුර්කි, කුර්දි හා යුදෙව් කම්කරුවන්ගේ අරගල සමග එක්සත් කිරීමටත්, යුද්ධය හා අධිරාජ්‍යවාදයට එරෙහිව ලෝක ව්‍යාපාරයක් ගොඩ නැගීමට එක් වන ලෙස ඇමරිකාව ඇතුලු අනෙකුත් වැඩි දියුනු ධනේශ්වර රටවල කම්කරුවන්ට ආයාචනය කිරීමටත් දැනුවත් ප‍්‍රයත්නයක් දැරිය යුතුය.

මෙම මූලෝපායය සඳහා සටන් වැදීමට නම්, 20 වන සියවසේ කම්කරු පන්තිය විසින් අත්දකිනු ලැබූ දැවැන්ත මූලෝපායික අත්දැකීම් සම්භාරය ක‍්‍රමානුකූලව උකහා ගැනීම හරහා නොනවතින විප්ලවයේ වැඩ පිලිවෙල ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම සඳහා විප්ලවවාදී පක්ෂයක් ගොඩ නැගීම අවශ්‍ය වේ. එනම්, වර්තමානයේ ජාත්‍යන්තර කමිටුව විසින් නායකත්වය දෙනු ලබන හතරවැනි ජාත්‍යන්තරයේ අරගලය මත පදනම් වූ විප්ලවවාදී පක්ෂයක් ගොඩ නැගීම අවශ්‍ය වේ. විප්ලවවාදී - එනම් මාක්ස්වාදී - ඉදිරි දර්ශනයක, වැඩ පිලිවෙලක හා නායකත්වයක තීරනාත්මක වැදගත්කම නිශේධනීය ලෙස පෙන්නුම් කල 1979 ඉරාන විප්ලවයේ ඛේදාන්ත ප‍්‍රතිවිපාක ද 20 වන සියවසේ එකී දැවැන්ත අත්දැකීම්වලටම ඇතුලත්ය.

මෙකී අරගල මාවතට පිවිසීමට සූදානම් ඉරාන කම්කරුවන්ට, තරුනයින්ට හා සමාජවාදයට නැඹුරු වෘත්තිකයන්ට ලෝසවෙඅ සහ හජාජාක සෑම සහයක් ම ලබා දෙනු ඇත.

සමාප්තයි.

සටහන්:

14. ලියොන් ට්‍රොට්ස්කි, The Third International After Lenin, ලෙනින්ගෙන් පසු තුන්වන ජාත්‍යන්තරය, (London; New Park, 1974) 131 පිටුව.

15. Trita Parsi, Treacherous Alliance: The Secret Dealings of Israel, Iran, and the US (New Haven: Yale University Press, 2007) හි උපුටා දැක්වූ පරිදි; පි. 142. ට‍්‍රයිටා පාසි, ද්‍රෝහි සන්ධානය: ඊස්රායලයේ, ඉරානයේ හා ඇමරිකාවේ රහස් ගනුදෙනු.

16. Ervand Abrahamian, Khomeinism: Essays on the Islamic Republic (Berkeley: University of California Press", 1993) අර්වන්ඞ් ඒබ‍්‍රහමියන්, කොමෙයිනිවාදය: ඉස්ලාමීය සමූහාන්ඩුව ගැන ලිපි; පි. 47.

Share this article: