ශ‍්‍රී ලංකා ආන්ඩුවේ මැයි දින සැමරුම් තහනමට එරෙහි වනු!

Oppose the Sri Lankan government’s ban on May Day celebrations

සමාජවාදී සමානතා පක්ෂය, 2018 අප්‍රේල් 25

ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමට එරෙහි ක්‍රියාකාරී තහනමකට සමාන, මැයි 1 දින පැවැත්වීමට සූදානම් කර තිබූ මැයි දින රැස්වීම් හා රැලි අවලංගු කිරීමට ආන්ඩුව ගෙන ඇති තීරනය, සමජවාදී සමානතා පක්ෂය (සසප) තරයේ හෙලා දකී.

සසප මෙන්ම වෘත්තීය සමිති හා වෙනත් සංවිධාන ගනනාවක් මැයි දින සැමරුම් පැවැත්වීමෙන් වලකාලීවට ආන්ඩුව ගෙන තිබෙන තීරනයට සසප එකහෙලා විරුද්ධත්වය පල කරයි.

ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාව වසර හැත්තෑ පහකටත් වැඩි කාලයක් තිස්සේ භූක්ති විඳින ව්‍යවස්ථාමය අයිතියකට එල්ල කර තිබෙන නින්දිත ප‍්‍රහාරයට එරෙහිව සසප ගෙන යන විරෝධතාවට එක්වන ලෙස සියලු කම්කරු ජීඩිත ජනතාවගෙන්, තරුනයින්ගෙන්, සිසුන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

මැයි 1දා පැවැත්වීමට නියමිත සිය ප‍්‍රසිද්ධ රැස්වීම සඳහා සසප, කොලඹ මහනගර සභාවට අදාල ගෙවීම් සිදුකර නව නගර ශාලාව වෙන්කරගෙන ඇත. නීතිමය අවශ්‍යතාවක් ලෙස රැස්වීම සඳහා පොලිසියේ අවසරය ද පක්ෂය විසින් ලබාගෙන තිබුනි. කෙසේ වෙතත් සඳුදා දිනයේ සසපට වැඩබලන නාගරික කොමසාරිස් ඉංජිනේරු එල්. ආර්. එල්. වික‍්‍රමරත්නගෙන් දින රහිත ලිපියක් ලැබුනි. එයින් අපගේ රැස්වීම සඳහා නගර ශාලාව වෙන් කරගැනීම අවලංගු කර ඇත.

“මහා නාහිමිවරුන්ගේ ඉල්ලීම මත රජය ගත් තීරනය අනුව 2018 වර්ෂයේ කම්කරු දිනයට සමගාමීව පවත්වනු ලබන රැස්වීම් සහ පෙලපාලි මැයි 01 දින නොපැවැත්වීමට තීරනය කල බැවින්” නගර සභාව ද සිය පරිශ‍්‍රයන්හි රැස්වීම් සඳහා ඉඩ නොදීමට තීරනය කර ඇති බව වික‍්‍රමරත්න සිය ලිපියෙන් කියා ඇත.

මැයි 1දා මැයි දින සැමරුම් සඳහා සැලසුම් කර ඇති අනෙකුත් සංවිධාන ද එවැනිම ප‍්‍රහාරයකට ගොදුරුවී සිටී. ලංකා බැංකු සේවක සංගමය, ලංකා වෙලඳ, කාර්මික හා පොදු කම්කරු සංගමය, නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමය, ලංකා වතු කාර්ය මන්ඩල සංගමය, ලංකා ගුරු සංගමය හා මාධ්‍ය සේවකයින්ගේ වෘත්තීය සමිති සම්මේලනය ඇතුලු වෘත්තීය සමිති 14ක සන්ධානයක් මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය හා නව සමසමාජ පක්ෂය ද ඊට මුහුනපා ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව මේ මාසය මුලදී මැයි දිනය සඳහා දී තිබුන ප‍්‍රසිද්ධ නිවාඩුව ද අවලංගු කලේය. මැයි දිනය “වෙසක් සතිය” තුල වැටී ඇති බැවින් එදින කම්කරු පන්තියේ ක්‍රියාකාරකම් සඳහා අවසර නොදිය යුතු යයි බෞද්ධ සංඝ නායකයින් විසින් කරන ලද “ඉල්ලීමකට” අනුව එසේ සිදුවන බව නිවේදනය කර ඇත. ඒ අනුව ආන්ඩුව හිතුවක්කාරී ලෙස මැයි දින නිවාඩුව මැයි 7දාට වෙනස්කර ඇත.

* සසප හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය, ආන්ඩුව හා අනෙකුත් බලධාරීන් විසින් මැයි 1දා රැස්වීම් හා පෙලපාලි සඳහා පහසුකම් අවලංගු කරමින් මැයි දිනයට එරෙහිව පනවා ඇති ක්‍රියාකාරී තහනම, වහාම අකුලා ගත යුතු බව කියා සිටී.

* මැයි දිනය කඩාකප්පල් කිරීමට ගෙන තිබෙන තීරනය වනාහි, වැඩකරන ජනතාවගේ ද තරුනයින්ගේ ද ප‍්‍රජාතන්ත‍්‍ර හා සමාජ අයිතීන් වනසා දැමීමට ආන්ඩුව විසින් සූදානම් කරනු ලබන පූර්න පරිමානයේ ප‍්‍රහාරයක් පිලිබඳ ඇඟවුමක් බවට අපි කම්කරු පන්තියට අනතුරු අඟවමු.

ගම්බද පීඩිත ජනතාවගේ ද රැකියා විරහිත තරුනයින්ගේ ද ශිෂ්‍යයන්ගේ ද නීති යුක්ත විරෝධතාවන්ට හා සාමකාමී පෙලපාලි වලට එල්ල කරනු ලබන ප‍්‍රහාර මගින් මෙම ධනපති ආන්ඩුව දැනටමත් ක්‍රියාවට නගා ඇති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාරයේ දිගුවක් ලෙස, මෙම තහනම සැලකිය යුතුය. වැඩවර්ජන බිඳීම පිනිස හොරිකඩයින් ලෙස මිලිටරිය යොදාගැනීම මගින් ආන්ඩුව කම්කරු අරගල කෙරෙහි දක්වන රුදුරු සතුරුකම පෙන්වා ඇත.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව, අධිරාජ්‍යවාදී මූල්‍ය ප‍්‍රාග්ධනය විසින් ඉල්ලා සිටිනු ලබන සමාජ-ප‍්‍රතිවිප්ලවවාදී පියවර ක්‍රියාත්මක කිරීම පිනිස, වැඩකරන ජනතාව දුෂ්කර අරගල තුලින් දිනාගත් ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් වනසා දැමීමට, ධනපති රාජ්‍යයේ මුලු බලය යෙදීමට අධිෂ්ඨාන කරගෙන සිටී.

මැයිදිනය සැමරීමට ඇති කම්කරුවන්ගේ අයිතිය අවහිර කිරීමට බෞද්ධ මහා නායකයින්ගේ ඊනියා ඉල්ලීම මත ආන්ඩුව ක්‍රියාත්මක කර තිබෙන තහනම මුුලුමනින්ම නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධීය. නාමික වශයෙන් වුනත් ව්‍යවස්ථාව කියන්නේ, නීතිය ඉදිරියේ සියලූ පුරවැසියන් හා ඔවුන්ගේ සංවිධාන සමාන වන බවයි, ඔවුන්ට අදහස් පල කිරීමේ හා රැස්වීමේ අයිතිය සහතික කරන බවයි. ආන්ඩුවේ පියවර පැහැදිලිවම, සියලු බෞද්ධ නොවන හා අදේවවාදීන්ට වෙනස්කම් කිරීමක් හා ඔවුන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමකි.

කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවන්ගේ මොනම බලමුලුගැන්වීමක් හෝ තහනම් කිරීමට ආන්ඩුව ගෙන ඇති පියවර, ධනේශ්වර පාලනයේ දැනටමත් ඔඩු දුවා ඇති දේශපාලන අර්බුදය එවන් බලමුලුගැන්වීමකින් ගැඹුරුවනු ඇතැයි පලවන භීතියෙන් ගලා එන්නකි. සිරිසේන හා වික‍්‍රමසිංහ නායකත්වය දෙන පාලක හවුල දෙදරුම්කා ඇත.

ආන්ඩුව කෙරෙහි වැඩෙන මහජන විරුද්ධත්වය පලාත් පාලන මැතිවරනයේදී තියුනු ලෙස ප‍්‍රකාශයට පත් විය. පෙබරවාරියේ පවත්වන ලද මැතිවරනයෙන්, වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයේත්, සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ඡන්ද පදනම් හෝදාපාලු විය. එහි වාසිය අත්කර ගත්තේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය දෙනු ලබන විපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනයි. ඒ තෙවසරකට ඉහතදී පරාජයට පත් රාජපක්ෂ කෙරේ ජනතා විශ්වාසය පල වීමක් නොවේ. එය සිදුවුනේ, වත්මන් ආන්ඩුව කෙරේ පුලුල්ව පැතිරී පවතින විරුද්ධත්වය නිසාය.

සමස්ත දේශපාලන සංස්ථාපිතයම වෛෂයිකව අභියෝගයට ලක් කරමින්, විවිධ කම්කරු කොටස්වල, සිසුන්ගේ, ගොවීන්ගේ හා වෘත්තිකයින්ගේ සහ උතුරු නැගෙනහිර පීඩිත ජනයාගේ විරෝධතා දෛනික පදනමකින් පැන නැගීම අඛන්ඩව සිදු වේ. වඩාත්ම අර්ථභාරී කරුන නම්, දිවයින පුරා පැන නගිින එම අරගල, රටක් රටක් පාසා පන්ති සම්බන්ධතාවන්ට ද දේශපාලන ස්ථාවරත්වයට ද බලපාමින් ලෝක ධනවාදයේ පද්ධතිමය අර්බුදය මගින් අවුලවන කම්කරු පන්තියේ ජාත්‍යන්තර ප‍්‍රති ප‍්‍රහාරයක් සමග සම්පාත වීමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත ආන්ඩුව, වැඩකරන ජනතාවගේ සමාජ කොන්දේසි වලට තව තවත් නිර්දය ලෙස පහර දීමට සූදානම් වෙමින් සිටියි. ඉන්ධන හා විදුලි බල ගාස්තු වහාම වැඩි කිරීමට ආන්ඩුව ක්‍රියාකරමින් සිටී. එය සියලු අත්‍යාවශ්‍ය භාන්ඩවල වියදම මත දාමමය බලපෑමක් සිදු කරනු ඇත. ආන්ඩුව මේ වසර තුල ඩොලර් බිලියන 2.9ක විදේශ නය ගෙවිය යුතු අතර එය ඊලඟ වසරේදී බිලියන 4.9ක් වනු ඇත. එම වියදම් කම්කරුවන්ගෙන් හා දුගීන්ගෙන් සූරා ගනු ඇත.

මෙම ප‍්‍රහාර අරගල රැල්ලක් අවුලුවා ලන බවත් බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව ගෙන ගිය සිවිල් යුද්ධයේදී යොදාගත් මිලිටරියේ පූර්න බලය මුදා නොහැර, එම අරගල මැඩිය නොහැකි බවත් ආන්ඩුව හොඳින්ම දැන සිටියි. වැඩකරන ජනතාවගේ සියලු මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පෑගීම පිනිස ආන්ඩුව ගෙන තිබෙන තීරන ගලා එන්නේ මෙයිනි. මිලිටරි-පොලිස් රාජ්‍යයක් ගොඩනැගීම දිසාවට එය ගනිමින් සිටින පියවරයන්හි කොටසක් ලෙස, ආන්ඩුව සමාජ මාධ්‍යයන් පාලනය කිරීම පිනිස කොලඹ ෆේස්බුක් කාර්යාලයක් පිහිටුවීම සඳහා එම ආයතනය සමග සාකච්ඡාවන්හි නිරතව සිටී.

1948 නිල නිදහස ලැබීමෙන් පසු බලයට පත් සෑම ආන්ඩුවක්ම, පාලක පන්තිය දේශපාලන අර්බුදයන්ට මුහුන දුන් සෑම විටෙකම කම්කරුවන් වාර්ගික රේඛා ඔස්සේ බෙදීම පිනිස දෙමල විරෝධී වෙනස්කම් කිරීම් යොදා ගෙන තිබේ. ඒ අතර 1948දී වතු කම්කරුවන්ගේ පුරවැසි භාවය අහෝසි කිරීම ද 1956දී සිංහල එකම නිල රාජ්‍ය භාෂාව බවට පත්කිරීම ද විය. පැරනි ට්‍රොට්ස්කිවාදී ලංකා සමසමාජ පක්ෂය හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය ද හවුල්වූ, ධනපති ශ්‍රීලනිප නායකත්වය දරන ලද හවුල් ආන්ඩුව 1972දී, බෞද්ධාගමට ව්‍යවස්ථාවේ ඉහලම තැන හිමිකර දුන්නේය.

එතැන් පටන් ක‍්‍රමානුකූල ප‍්‍රකෝපකරනයන් සිදුව ඇත. එය 1983දී, 30 වසරකට ආසන්න කාලයක් ඇදී ගිය දෙමල විරෝධී යුද්ධය අවුලුවාලීය. රාපක්ෂ 2009 මැයි මාසයේදී මිලිටරිමය වශයෙන් යුද්ධය ජයගත් නමුදු වාර්ගික ප‍්‍රකෝපකරනයන් නතර නොවීය. ඒ වෙනුවට, දෙමල මෙන්ම මුස්ලිම් ජනතාවට ද විරුද්ධව ප‍්‍රචන්ඩත්වය මුදාහරමින්, බොදුබල සේනා, රාවනා බලකාය හා මහසොහොන් බලකාය වැනි බෞද්ධ අන්තවාදී කන්ඩායම් පෝෂනය කෙරී ඇත.

එජාපය, ශ්‍රීලනිපය හා රාජපක්ෂගේ නායකත්වයෙන් යුක්ත පොදුජන පෙරමුන, බෞද්ධ මහා නායකයන්ගේ මනාපය දිනාගැනීම පිනිස එකිනෙකා සමග තරඟ වදිති. ඔවුන්ගේ ආශීර්වාදය ලබාගැනීම හා ධනේශ්වර පාලක පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා සමාජ විරෝධී කටයුතු සඳහා ආගමික වහන්තරාව යොදගන්නේ කෙසේදැයි “උපදෙස්” ගැනීම පිනිස ඔවුන්ට සැලකිය යුතු අල්ලස් ලබා දෙයි.

1889දී සමාජවාදී ජාත්‍යන්තරය විසින් ස්ථාපිත කරන ලද මැයි දිනය සැමරීම, ජාත්‍යන්තර කම්කරු පන්තියේ මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතියකි. ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය දශක ගනනාවක් තිස්සේ මැයි දිනයේ අයිතිය භුක්ති විඳියි. ආන්ඩුවේ ප‍්‍රහාරය දුරදිග යන ප‍්‍රතිගාමී ප‍්‍රතිවිපාක ගැබ්කරගන්නා අතර එය වැඩකරන ජනතාවගේ ද තරුනයින්ගේ ද සියලු දේශපාලන ශක්තිය ගොනුකරමින් පරාජය කල යුතුය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සසප හා සසජාතශි, අප්‍රේල් 27දා සවස 4ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන ප‍්‍රසිද්ධ පිකට් උද්ඝෝෂනයට එක් වීම පිනිස, කම්කරුවන්ගෙන්, දුගීන්ගෙන්, තරුනයින්ගෙන්, සිසුන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් ද වෘත්තිකයිගෙන් ද බලගතු බලමුලුගැන්වීමක් ඉල්ලා සිටිමු.

මැයි දිනයට ආන්ඩුව එල්ල කල ප‍්‍රහාරය යලි වතාවක් පෙන්නුම් කරන්නේ, කම්කරු පන්තිය ධනපති පන්තියේ සියලු කොටස් වලින් කැඩී වෙන්වෙමින්, පීඩිත ජනතාවගේ නායකත්වය ගනිමින්, ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවයි. වැඩකරන ජනතාවගේ සමාජ හා ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් සුරක්ෂිත කර ගැනීමේ ද ධනපති ආඥාදායකත්වයක් වලක්වා ගැනීමේ ද අධිරාජ්‍යවාදී බලවතුන් විසින් සූදානම් කරනු ලබන තුන්වන ලෝක යුද්ධයේ තර්ජනය පරාජය කිරීමේ ද එකම මග මෙයයි.

Share this article: