විශ්ව විද්‍යාල වෘත්තීය සමිති නිලධරය සසප සාමාජිකයන්ට එරෙහිව යලිත් මැර ප‍්‍රහාරයක් එල්ල කරයි

පානි විජේසිරිවර්දන විසිනි , 2018 අප්‍රේල් 13

අප්‍රේල් 10 වන දා කොලඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී පැවැත්වූ විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්ගේ විරෝධතාවට සහභාගි වූ කම්කරුවන් අතර උද්ඝෝෂනයේ යෙදී සිටි සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සමාජිකයන් ට එරෙහිව කඩා වැදි විශ්ව විද්‍යාල වෘත්තීය සමිති නිලධරයේ මැර කන්ඩායමක්, සසප සාමාජිකයන්ට කායිකව පහර දී ඔවුන් අත තිබූ පත්‍රිකා උදුරා ගත්හ.

සසප සාමාජිකයන් බෙදා හරිමින් සිටියේ, “විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය හයවැනි සතියට පිවිසෙයි: අරගලය ඉදිරියට ගෙන යාම සඳහා ස්වාධීන කම්කරු ක‍්‍රියාකාරී කමිටු ගොඩ නගනු!” යන හිසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පලවූ ලිපියේ පිටපත් ය.

“අරගලය ඉදිරියට ගෙන යා හැකි එකම ක‍්‍රමය වන්නේ, ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට ලක්ව සිටින අවශේෂ කම්කරුවන් සහ පීඩිතයන් රැලිකර ගනිමින් ආන්ඩුවට එරෙහි දේශපාලන සටනක් දියත් කිරීමයි. ඊට එරෙහිව සිටින ඒකාබද්ධ කමිටුව, දිගටම යෙදී සිටින්නේ මැති ඇමතිවරුන්ට කන්නලව් කිරීමේ ව්‍යායාමයක” බවත්, අනධ්‍යන කම්කරුවන් වෘත්තීය සමිති වලින් බිඳී ස්වාධීන කම්කරු ක‍්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් අරගලය තම අතට ගත යුතු බවත් ලිපියෙන් පෙන්වා දී තිබුනි.

නිලධරයේ මැරයන්ගේ ප‍්‍රධාන ඉලක්කය වූයේ, මොරටුව විශ්ව විද්‍යාලයේ අනධ්‍යන සේවකයෙකු සහ සසප ප‍්‍රධාන සාමාජිකයෙකු වන එම්. දේහින් වසන්ත ය. ඔහු සමිති නිලධරයේ ද්‍රෝහී ක්‍රියා කලාපය හෙලි කරමින්, ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා අනධ්‍යන සේවකයන් අතර දිගු කාලයක් පුරා සටන් වදින්නෙකි.

වසන්ත වටකරගත් විස්සක පමන මැර කන්ඩායමක් ඔහුට අතින් පයින් පහර දී අත තිබූ පත්‍රිකා උදුරා ගත්හ. කම්කරුවන් අතර උද්ඝෝෂනය කිරීමට තමාටත් සසප ටත් ඇති ප‍්‍රජාතන්ත්‍රීය අයිතිය සම්බන්ධයෙන් වසන්ත අභියෝග කල විට මැරයන් කියා සිටියේ “මේක අපේ තැනක්. මේක අපේ වැඩක්. මෙතන උඹලාට මැදිහත් වෙන්න දෙන්න බෑ” යනුවෙනි.

මෙම මැර ප‍්‍රහාරය මෙහෙයවූයේ, විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ භාන්ඩාගාරික කේ.එල්.ඩී.ජේ. රිච්මන්ඩ්, විශ්ව විද්‍යාල තාක්ෂනික නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති වසන්ත එදිරිසූරිය සහ මොරටුව විශ්ව විද්‍යාලයේ ඒකාබද්ධ කමිටු නිලධරයෙකු වන එච්.එම්.ආර්.පී.බී. හේරත් විසිනි. හේරත්, එම විශ්ව විද්‍යාල භූමියේ පැවති රැස්වීම් වලදී ද වසන්තට කායිකව පහරදීම සඳහා කීප වරක්ම උත්සාහ දරා ඇත.

මීට අමතරව, මාර්තු 27 වන දා නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨයේ පැවති අනධ්‍යන සේවක විරෝධතා රැලිය වාර්තා කිරීමට ගිය ලෝසවෙඅ වාර්තාකරුවෙකුට අඩන්තේට්ටම් කල හේරත් ඇතුලු මැරයෝ ඔහු රැස්වීම් භූමියෙන් බලහත්කාරී ලෙස පිටමං කලහ.

මෙම මැරයන් වියරු වැටී සිටින්නේ, ඔවුන් කරන කන්නලව් කිසිවක් නොතකා ආන්ඩුව දිගටම ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කරන තතු යටතේ, සසප ඉදිරිපත් කරන ක්‍රියා මාර්ගය දෙසට කම්කරුවන් හැරෙතැයි යන මාරක භීතියෙනි.

අනධ්‍යන වෘත්තීය සමිති නිලධාරීන් ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තාකරුවන්ට එරෙහිව කරන මැරකම් හෙලා දකිනු`

Share this article: