ට‍්‍රම්ප් එක්සත් ජනපද - මෙක්සිකෝ දේශසීමාවේ හමුදා රැඳවීමට යෝජනා කර යි

Trump proposes to deploy troops to US-Mexico border

2018 අප්‍රේල් 4

ආන්ඩුව එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවේ මිලිටරිය රඳවනු ඇති බවට ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් කල නිවේදනය ලේඛන රහිත සංක‍්‍රමනිකයන්ට තර්ජනයක් වන අතර සමස්ත මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල කෙරුනු අතිමූලික ප‍්‍රහාරයකි.

ට‍්‍රම්ප් ධවල මන්දිරයේ දී තම ප‍්‍රකාශය කලේ ආරක්ෂක ඇමති ජේම්ස් මැටිස් පසෙකිනි. “අපගේ දේශසීමා සඳහා අපට ඇත්තේ බොහෝ නරක නීති. අපි යමක් කිරීමට සූදානම් වෙමින් සිටිනවා” යයි ඔහු පැවසී ය. ඔහු තව දුරටත් මෙසේ ද පැවසී ය: “මම ජනරාල් මැටිස් සමග කතා කරමින් ඉන්නේ. අපි මිලිටරි වසයෙන් දේවල් කිරීමට සූදානමින් ඉන්නේ. අපට තාප්පයක් ද හොඳ ආරක්ෂාවක් ද ලැබෙන තෙක්, අපි අපගේ දේශසීමාව ආරක්ෂා කිරීමට යන්නේ මිලිටරිය එක්ක යි.”

ට‍්‍රම්ප්ගේ සැලැස්මේ විස්තර නිවේදනය කෙරී නැතත්, සංක‍්‍රමනිකයන් අත්අඩංගුවට ගැනීමට හෝ වැලක්වීමට එක්සත් ජනපද භූමියේ මිලිටරිය රැඳවීම මාර්ෂල් නීතියේ අවතාරය මතු කරන අතර, එය (එක්සත් ජනපදය තුල දේශීය ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමේ දී ෆෙඩරල් මිලිටරි භටයන් යෙදීම සීමා කරන) කවුන්ටි බලධර පනතේ මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීමකි.

බුෂ් හා ඔබාමා පාලනාධිකාර දෙක ම රේගු හා දේශසීමා අරක්ෂාව සඳහා සෝදිසි කිරීමට ජාතික ආරක්ෂක මුරභටයින් යෙදුව ද, ට‍්‍රම්ප්ගේ සැලැස්මට අනුව තත්‍ය අත්අඩංගුවට ගැනීම් හා රඳවා ගැනීමේ මෙහෙයුම් සඳහා මිලිටරිය සම්බන්ධ වනු ඇත.

2017 පෙබරවාරියේ දී, ධවල මන්දිර මාන්ඩලික ප‍්‍රධානී ජෝන් කෙලී ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේනතුවේ ප‍්‍රධානත්වය ගනිමින් සිටි අවස්ථාවේ, සංක‍්‍රමනිකයන් අල්ලා පිටුවහල් කිරීමට කැලිෆෝනියා හා ටෙසක්සාස් වැනි ප‍්‍රාන්තවල ජාතික මුර භටයන් 100,000ක් රැඳවීමට යෝජනා කරමින් සටහනක් නිකුත් කලේ ය. ආගමන නිලධාරීන්ට තොරතුරු ලබා දීමේ ප‍්‍රාදේශීය නීති ක‍්‍රියාත්මක කිරීම ඕනෑකමින් වලකා ඇති, දේශසීමාවට ආසන්න ඇතම් “අභයස්ථාන නගර” කීපයකට අරමුදල් සැපයීම අත්හිටවීමට හෝ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට පවා පලනාධිකාරය තර්ජනය කර ඇත.

දල වසයෙන් සරනාගතයන් 1,000ක් “මෙහේ ඒමට පෙර නවතා ගත හැකිව තිබුනා නම් වඩා හොඳ ය”යි ට්වීටර් කරමින්, ට‍්‍රම්ප් ඔහුගේ නිවේදනය නිකුත් කලේ මධ්‍යම ඇමරිකාවේ දරිද්‍රතාවෙන් හා ප‍්‍රචන්ඩත්වයෙනක් පලා යමින් සිටින සංක‍්‍රමනිකයන්ගේ ලැගුම් රියක් නැවත්වීමේ කඩතුරාව මත ය. වාර්ෂිකව පාස්කු මංගල්ලය ආසන්නයේ දී ලැගුම් රිය ගමන් සිදු වන අතර, එක්සත් ජනපද දේශසීමාවට බොහෝ ඈත දී ඒවා විසිරී යන නමුත්, ට‍්‍රම්ප් මෙම වසරේ “කුරුසයේ නමස්කාර ස්ථාන” පෙල ගමන යොදා ගත්තේ ඔහුගේ සංක‍්‍රමන විරෝධී නීති තීව‍්‍රකිරීමේ ප‍්‍රකෝපකරනයක් ලෙස ය.

ඉරිදා සිට නිකුත් කරන ප‍්‍රකාශන සමුදායක් තුල, ට‍්‍රම්ප් කොංග‍්‍රසයෙන් ඉල්ලා ඇත්තේ බාරකරුවෙකු නැති තරුන සංක‍්‍රමනියන් වහාම පිටමං කිරීම හා නියමිත ලේඛන රහිතව අල්ලා ගන්නවුන් අනිවාර්ය ලෙස රඳවා ගැනීම ඇතුලුව, ෆැසිස්ට්වාදී සංක‍්‍රමන විරෝධී පියවර මාලාවක් සම්මත කරන ලෙස යි.

“එක්සත් ජනපදය තුල අපට තියෙන්නේ භයානක, භයානක වගේම හා අනාරක්ෂිත නීති, අපි ඒ ගැන යමක් කිරීමට සමත් වීමටයි සූදානම් වෙමින් ඉන්නේ” යැයි ඊයේ බෝල්ටික් නායකයන් සමග පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ට‍්‍රම්ප් නිවේදනය කලේ ය. “බලපොරොත්තු වෙන විදියට, කොංග‍්‍රසය තමන්ගේ ක‍්‍රියාවන් ඒකාග‍්‍ර කර ඉතා බලගතු නීති සාදනවා ඇති.”

මෙය හිස් කයිවාරුවක් නො වේ. මෑත සතිවල දී, ට‍්‍රම්ප් හා ඔහුගේ අන්ත දක්ෂිනාංශික උපදේශකයින් සමාජ සහන වැඩ සටහන් ප‍්‍රයෝජනයට ගැනීමෙන් සංක‍්‍රමනිකයන් වැලක්වීම, ගැබිනි සංක‍්‍රමනියන් රඳවා ගැනීම හා ලයිබීරියානු සංක‍්‍රමකියන් සඳහා වන සුරක්ෂිත තත්වයන් අවසන් කිරීමේ සැලැසුම් අරඹා ඇත. ඒ මගින් පිටුවහල් කිරීමේ වේගය වැඩි කිරීමට, ඔවුන් අඩු වසයෙන් වසරකට නඩු 700ක් වත් විසඳිය යුතු යැයි ඉල්ලමින්, අධිකරන දෙපාර්තමේන්තුව සඳුදා ජාතියේ ආගමන විනිසුරුවරුන්ට කෝටාවක් නියම කලේ ය. මෙය සමාන වන්නේ නියමිත පටිපාටිය පිලිපැදීම සඳහා පවතින වුවමනාවේ ඉතිරිව ඇති යම් දෙයක් වේ නම් එයද අතහැර දැමීමේ නියෝගයකට ය.

දේශසීමාව ඔස්සේ භටයින් රැඳවීමේ තීරනය මෙක්සිකෝවට එරෙහිව අධිරාජ්‍යවාදී සුපිරිබලවතාගේ මැරවර තර්ජනයක් ද වන්නේ ය. ඊයේ, හමුදා රැඳවීම ආරක්ෂා කරන ඔහුගේ අදහස් දැක්වීම්වල දී ට‍්‍රම්ප් උතුරු ඇමරිකානු නිදහස් වෙලඳ ගිවිසුම (නෆ්ටා) ගැන කතා කලේ ය. ධවල මන්දිරයේ දී වාර්තාකරුවන් අමතමින් ඔහු මෙසේ පැවසී ය: “නෆ්ටාව එක්සත් ජනපදයට භයානක, භයානක, දුෂ්කර ගිවිසුමක් වෙලා තියෙන්නේ. මේක නතර කල යුතුව තිබුනා, නැත් නම් වසර ගනනාවකට පෙර නැවත සාකච්ඡා කරන්න තිබුනා.”

මෙම සන්දර්භය තුල, දේශ සීමාවේ සොල්දාදාවන් රැඳවීම ඓහාසික පූර්වාදර්ශයක් යලි කැඳවීමට අපේක්ෂිත ය: 1910- 1920 මැක්සිකානු විප්ලවය අතරතුර දී, එක්සත් ජනපදය මැක්සිකානු සොල්දාදුවන් 800ක් හා සිවිල් වැසියන් 400ක් ඝාතනය කරමින් සොල්දාදුවන් දහස් ගනනක් දේශ සීමාව ඔස්සේ රැඳෙව්වේ ය.

ඩෙමොක‍්‍රටික් පක්ෂය ට‍්‍රම්ප්ගේ පියවරවලට විරුද්ධ නො වෙයි. 2010දී, ඔබාමා ජාතික මුර භටයින් 1,200ක් දේශසීමා කලාපයට යැවී ය, ඩෙමොක‍්‍රටිකයන් මෙන් ම අන්ත දක්ෂිනාංශිකයෝ ද මෙම පියවරට ප‍්‍රශංසා කලහ. 2018 ජනවාරියේ දී, බර්නී සෑන්ඩර්ස් පැවසූ පරිදි, “අපට ශක්තිමත් දේශසීමා ආරක්ෂාවක් ඇති බව සහතික කර ගැනීමට, ජනාධිපතිට අප සමග වැඩ කිරීමට අවශ්‍ය නම්, අපි එය කරමු.”

ට‍්‍රම්ප් වෛද්‍ය ආධාර හා සමාජ සත්කාර වැඩ සටහන් කප්පාදු කිරීම, පාරිසරික හා රැකියාවට සම්බන්ධ ආරක්ෂක නියාමන සම්පූර්නයෙන් ඉවත් කිරීම, සංගත හා පොහොසතුන්වෙනුවෙන් ඔහුගේ බදු කප්පාදු, හෝ ධවල මන්දිරය හා කැබිනට් මන්ඩලයේ ඉහල තනතුරුවලට ජනරාල්වරුන් හා බිලියනපතියන් උසස් කිරීම යන මේ කිසිවකටවත් ඩිමොක‍්‍රටිකයෝ බැරෑරුම්ව විරුද්ධත්වය දක්වමින් නො සිටිති.

ට‍්‍රම්ප් මත දක්ෂිනාංශික ප‍්‍රහාරයන් මත ඔවුන්ගේ විරුද්ධත්වය යොමු කෙරෙන්නේ ප‍්‍රමානවත් තරම් ආක‍්‍රමනකාරිත්වයක් සහිතව රුසියාවට එරෙහිව මැද පෙරදිග හා නැගෙනහිර යුරෝපය තුල එක්සත් ජනපද රාජ්‍යතාන්ත‍්‍රික හා මිලිටරි ප‍්‍රහාරය හඹායාමට අසමත් වීම වෙනුවෙනි. එක්සත් ජනපද දේශපාලනය තුල රුසියානු මැදිහත්වීම් හා චූදිත “ව්‍යාජ ප‍්‍රවෘත්ති” ප‍්‍රචාරයට එරෙහි ඔවුන්ගේ උද්ඝෝෂනය යොදා ගනිමින් තිබෙන්නේ යුද්ධය සූදානම් කිරීම හා අන්තර්ජාලය මත වාරනය පැටවීමේ ප‍්‍රතිගාමී අරමුනු සඳහා ය.

ට‍්‍රම්ප්ගේ ඒකාධිපති විධික‍්‍රමයන්ට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට පටහැනිව, ඔත්තුසේවා ඒජන්සි සමග සන්ධානයෙන් යුක්තව, ඩිමොක‍්‍රටිකයෝ දේශපාලන විසම්මුතිය නිහඬ කිරීමේ හා සාපරාධිකරනයේ තල්ලුව වේගවත් කරමින් සිටිති.

යන්තම් ගිය සතියේ, සංක‍්‍රමනිකයන් අල්ලා ගැනීම හා හිර කිරීම සඳහා වග කියන, ආගමන හා තීරු බදු ක‍්‍රියාත්මක කිරීමේ ඒජන්සිය සඳහා ඩොලර් මිලියන 614ක අතිරේක අරමුදල් සපයන ඩොලර් බිලියන 1.3ක අයවැය ගිවිසුමකට ඩිමොක‍්‍රටික් පක්ෂය සහාය දුන්නේ ය. ඔවුන් තවත් බදු හා දේශසීමා නිලධාරීන් ගනනක් කුලියට ගැනීම අනුමත කල අතර, තාප්පය ඉදි කිරීම ඇතුලුව එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාව මිලිටරීකරනය සඳහා ඩොලර් බිලියන 1.6ක අතිරේක ඇස්තමේන්තුවකට ද අත්සන් තැබූහ. “ඉවත් කිරීම සඳහා ප‍්‍රමුඛතා ගත කෙරුනු විදේශිකයන් රැඳවීම තහවුරු කිරීමට අවශ්‍ය” ජාතික සංක‍්‍රමනික සමාරෝධන කඳවුරු ජාලයේ ප‍්‍රමානය ප‍්‍රසාරනය කිරීමේ හැකියාව ට‍්‍රම්ප්ට ලබා දීමට ද ඔවුහු තව දුරටත් එකඟ වූහ.

මාර්තු 5වැනිදා කල් ඉකුත් වූ, ලමා කාලයේ පැමිනීම් සඳහා කල් දැමූ පියවර වැඩසටහන (ඩකා) සඳහා සුදුසු, ලමුන් ලෙස එක්සත් ජනපදයට ගෙන ආ මිලියන 1.8ක පුද්ගලයන්ගේ ආරක්ෂාව සහතික කිරීමට මොන යම් හෝ උත්සාහයක් ගැනීම ද ඩිමොක‍්‍රටිකයන් විසින් සම්පූර්නයෙන් ම අත්හැරදමා ඇත.

ට‍්‍රම්ප් ඔහුගේ තාප්පය ඉදි කිරීමට මිලිටරි අයවැයෙන් මුදල් ගැනීමට යෝජනා කල අවස්ථාවේ දී පමනක් ඔවුහු විරුද්ධ වූහ. පසු ගිය සතියේ, ඩිමොක‍්‍රටික සුලුතර නායක චාල්ස් ස්ෂූමර් පැවසුවේ ඒ වෙනුවට ට‍්‍රම්ප් “අපගේ හමුදාවන්ට උදව් කිරීමට මුදල් ප‍්‍රයෝජනයට” ගත යුතු බව යි.

හමුදා රැඳවීම පිලිබඳ ට‍්‍රම්ප්ගේ නිවේදනය ධනේශ්වර පාලනයේ ප‍්‍රගාඪ අර්බුදයක් ප‍්‍රකාශ කරන අතර, එය සිදුවන්නේ විශාල වසයෙන් විදේශ ප‍්‍රත්පත්තිය සම්බන්ධයෙන් පාලක පන්තියේ තරඟකාරී කන්ඩායම් අතර වැඩිවෙන්නා වූ ආතතීන්ගේ තතු යටතේ ය.

ඔහුගේ ජනාධිපතිත්වයේ පුද්ගලාරෝපිත ස්වභාවය ශක්තිමත් කර ගැනීම සඳහා යාන්ත‍්‍රනයක් ලෙස මිලිටරිය යොදා ගැනීමට ට‍්‍රම්ප් උත්සාහ කර ඇත. 2017 ජනවාරියේ දී, ඔහු ඔහුගේ සමාරම්භක කතාවේ දී ඊට මිලිටරි හැඩයක් දීමට උත්සාහ කලේ පීඨිකාව පිටුපස සිට ගෙන සිටීමට සොල්දාදුවන් පේලියක් රඳවමිනි. කතාව මධ්‍යයේදී සොල්දාදුවන් වේදිකාවෙන් පිට කිරීම ඔහු විසින් වැලැක්විනි.

පසු ගිය මාසයේ දී, මධ්‍ය වාර්ෂික කොංග‍්‍රස් මන්ඩල මැතිවරනයෙන් දින කීපයකට පසු, නොවැම්බර් 11වැනිදාට නියමිත, වොෂින්ටනයේ මිලිටරි පාගමනක් පැවත්වීමේ සැලසුම් නියම කලේ ය. පා ගමන මෙහෙය වනු ඇත්තේ, උතුරු ඇමරිකාවේ මිලිටරි මෙහෙයුම් සඳහා වගකින පෙන්ටගනයේ අංශයක් වන උතුරු බල ඇනිය විසිනි.

මෙම පියවර ඉලක්ක කෙරෙන්නේ ධනේශ්වරයේ ට‍්‍රම්ප්ගේ තරඟකරුවන්ට එරෙහිව පමනක් නො වේ. විශේෂයෙන් ම ඒවා ඉලක්ක කෙරෙන්නේ කම්කරු පන්තියට එරෙහිව යි.

දේශීය හමුදා රැඳවීමේ නිවේදනය සම්පාත වන්නේ බටහිර වර්ජීනියාව, ඔක්ලහෝමා, ඇරිසෝනා හා කෙන්ටකී ප‍්‍රාන්තවල ගුරුවරුන් විසින් නායකත්වය දෙනු ලබන්නා වූ ද සම්මුතිවාදී වෘත්තීය සමිතිවල රූපරාමුවට පිටතින් දිග හැරෙමින් පවතින්නා වු ද වැඩවර්ජන ව්‍යාපාරයේ වර්ධනයත් සමගිනි. ට‍්‍රම්ප් ඔහුගේ විදේශිකයින් නුරුස්සන සංක‍්‍රමනික විරෝධී උද්ඝෝෂනය උත්සන්න කරමින් සිටින්නේ, සමාජ විරුද්ධත්වය කපා දැමීම, කම්කරු පන්තිය බෙදීම, හා සමාජ කෝපය දක්ෂිනාංශික ඇලමාර්ග ඔස්සේ යැවීමේ උත්සාහයක් තුල ය. ඒ අතරම, මෙම පියවර පෙන්වන්නේ එය ජාත්‍යන්තරව තම උත්සුකයන් තහවුරු කරන ආකාරයට ම, මෘග බලය සහිතව, පන්ති අරගලයට ද ප‍්‍රතිචාර සූදානම් කරමින් සිටින බව යි.

එරික් ලන්ඩන්

Share this article: