සීඅයිඒ සංවිධානය සිරියානු යුද උත්සන්නිය සඳහා ගෑස් ප‍්‍රහාර ව්‍යාජය වේදිකාගත කර යි

CIA stages gas attack pretext for Syria escalation

2018 අප්‍රේල් 9

සිවිල් වැසියන් මත විෂ වායු ප‍්‍රහාරයක් එල්ල කිරීම පිලිබඳව සීඅයිඒ පිටුබලය ලබන කන්ඩායමක් විසින් කරනු ලබන ප‍්‍රකාශය එක්සත් ජනපද මාධ්‍ය විසින් ඩැහැ ගෙන ඇත්තේ සිරියාවේ තන්ත‍්‍ර වෙනස සඳහා එක්සත් ජනපදය අනුබල දෙන යුද්ධය තීව‍්‍රකිරීමට හා රුසියාව සමග ගැටුම වැඩිකිරීමටය.

හොම්ස් පලාතේ තම එක් ගුවන් කඳවුරක් මේ වන විටත් මිසයිල ප‍්‍රහාරයකට ලක් ව ඇතැ යි සිරියානු ආන්ඩුව ප‍්‍රකාශ කර යි. සිරියාව මත තමන් තවමත් ගුවන් ප‍්‍රහාරයක් එල්ල කර නැතැ යි පෙන්ටගනය ප‍්‍රකාශ කරන අතර, ට‍්‍රම්ප් පාලනාධිකාරියේ කයිවාරු අඟවන්නේ මිලිටරි මෙහෙයුම් ඉහල දැමීම සඳහා සූදානම් වීම් සිදු කෙරෙමින් තිබෙන බව යි.

රසායනික අවි යොදා ගැනීම පිලිබඳ මීට පෙර චෝදනා සමග මෙන් ම, පීඩා විඳින විපතට පත්වූවන්ගේ තහවුරු නො කෙරුනු රූපරාමු මහජනයා අතර විශාල වශයෙන් පතුරුවා ඇති අතර, කිසියම් හෝ පරීක්ෂනයකට පෙර හා කිසිදු සාක්ෂියකින් තොර ව, ආන්ඩුවේ නිලධාරීන් හා සංගත මාධ්‍ය ප‍්‍රකාශ කරන්නේ බෂාර් අලි අසාද්ගේ ආන්ඩුව හා ඉරාන හා රුසියානු මිතුරන් යුද අපරාධයක වරදකරුවන් වන බව යි.

මිනිත්තු කීපයකින්, නිව් යෝක් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට් හුස්ම හිරකරවන ලිපි දමා ගැසුවේ එල්ල කලා යැයි කියන ප‍්‍රහාරය සඳහා සිරියානු ආන්ඩුව පාමුල දෝෂාරෝපනය තබමිනි. සති අන්තයේ දී තමන්ගේ ම මිනිස්සුන්ට එරෙහිව සිරියාව යලි රසායනික අවි යොදා ගැනීම ඇරඹීම ලජ්ජා සහගත මෙන් ම ම්ලේච්ඡ වන බවගාඩියන් පත‍්‍රයේ කතුවකියක් ප‍්‍රකාශ කලේ ය.

වර්තමාන ප‍්‍රකාශ ඊට පෙර ඒවාට වඩා වැඩියෙන් විශ්වසනීය නො වේ. 2013දී අසාද් නැගෙනහිර ගවුටාවේ ගෑස් ප‍්‍රහාරය ක‍්‍රියාත්මක කලේ ය යන නිල කතන්දරය දැවන්ත එක්සත් ජනපද ගුවන් ප‍්‍රහාරයකට යොදා ගැනුනු නමුත් ඔබාමා පාලනාධිකාරිය විසින් අවසන් මොහෙතේ දී එය අවලංගු කරන ලදී. ඔබාමා බියකරු දෝෂාරෝපනයක් උපයා ගත් එම පසුබෑම අද දක්වා පවති යි. ඊට පසු කෙරුනු විමර්ශනයන් ඔප්පු කලේ තුර්කි ආන්ඩුව සමග එක්ව, එක්සත් ජනපද අනුබලය ලත් “කැරලිකරුවන්” විසින් ප‍්‍රහාරය දියත් කෙරුනු බව යි.

2017දී සිරියාවේ ගුවන් හමුදා කඳවුරක් මත එල්ල කෙරුනු එක්සත් ජනපදයේ ප‍්‍රධාන කෘස් මිසයිල ප‍්‍රහාරයක් යුක්ති සහගත කිරිමට යෙදා ගැනුනු එල්ල කලා යැයි කියන ගෑස් ප‍්‍රහාරය “කැරලිකරුවන්ගේ” විෂ ගෑස් ගබඩාවක් මත ගුවන් ප‍්‍රහාරයක් එල්ල වීමේ ප‍්‍රතිඵලයක් වී ඇත යි ඒ ආකාරයෙන් ම හෙලිදරව් වුනි.

මිලිටරි උත්සන්නිය සඳහා වූ මුල් කඩතුරාව වේදිකා ගත කෙරුනේ සීඅයිඒ සංවිධානය හා සිරියාවේ එහි කුලීකාර හමුදා විසින් බව ඔප්පු කෙරුනි. මෑතම ප‍්‍රකෝපකරනය ඊට වඩා වෙනස් නැත.

සිරියාව අගනගරයට කිලෝ මීටර් කීපයක් එහා ඩවුමා හි නැගෙනහිර ගවුටා නගරය මත එල්ල කෙරුනු ප‍්‍රකාශිත ප‍්‍රහාරය සම්බන්ධයෙන් විශ්වශනීය සාක්ෂි නොමැත. තිබෙන වීඩියෝ පට කිසිවක් ඔප්පු නොකර යි, ඒවා යම්කිසි අවස්ථාවක නිෂ්පාදනය කර, තම අරමුන සඳහා සංස්කරනය කර ඇත. එම අවස්ථාවේ එකම තනි ස්ථානීය වාර්තාව එවූ සුදු ආරක්ෂක හිස්වැසුම්වලින් යුත් කන්ඩායම, මාධ්‍ය විසින් ගලවා ගැනීමේ සංවිධානයක් ලෙස ප‍්‍රශංසා කෙරුනු නමුදු, එය සදාත් විරෝධී “කැරලිකරුවන්” සමග අනුබද්ධ අතර විශාල වසයෙන් එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍ය, ජර්මනිය හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන් විසින් එයට අරමුදල් සපැයුනි. මෙයට දීර්ගකාලීන සීඅයිඒ පෙරමුනක් වන, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා එක්සත් ජනපද ඒජන්සියේ ඩොලර් මිලියන 23ක් ද ඇතුලත් ය.

කලා යැයි කියැවෙන සංහාරය ට‍්‍රම්ප්ගේ ධවල මන්දිරය හෙලා දැක ඇත්තේ, මිලිටරි ක‍්‍රියාවට පෙර, “සියල්ල සූදානම්” යැයි සුපුරුදු ලෙස නිලධාරීන් කරන අනතුරු ඇඟවීම සමගිනි. එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලය, අළුතින් පත්වුනු ප‍්‍රධානී ජොන් බෝල්ටන් යටතේ සඳුදා පලමු වරට කැඳවෙනු ඇත. ඉරාක යුද්ධය තුල ප‍්‍රමුඛ භූමිකාවක් ඉටු කර ඇති ඔහු ඉරානය හා උතුරු කොරියාව මත බෝම්බ දැමීමට ප‍්‍රසිද්ධියේ උපදෙස් දී ඇත. ජාතික ආරක්ෂක ඒජන්සිය ජනාධිපතිට මිලිටරි විකල්ප රෙකමදාරු කරනු ඇත.

එවැනි ඕනෑ ම ක‍්‍රියාවක් එය සමග ගෙන එනවා ඇත්තේ පුලුල් යුද්ධයකට ඉතා ආසන්න තර්ජනයකි. සිරියානු ආන්ඩුව සමග ඒකාබද්ධ ඉරාන උපදේශකයින් හා රුසියානු මිලිටරි භට පිරිස්වලට සැලකිය යුතු එක්සත් ජනපද ප‍්‍රහාරයක් එල්ල කිරීමට හොඳට ම ඉඩ ඇත්තේ, දෙරට තුල ම ප‍්‍රති ප‍්‍රහාර එල්ල කිරීමේ ඉල්ලීම් අවුලුවමිනි.

එක්සත් ජනපද මිලිටරි ඔත්තුසේවාවල දැනුවත් අරමුන වන්නේ පුලුල් ගැටුමකි. මාසයක් තිස්සේ, ලෝක වේදිකාවේ ආධිපත්‍යය ගෙන ඇත්තේ එංගලන්තයේ සැලිස්බරියේ දී, බ්‍රිතාන්‍ය ඔත්තුකරුවෙකු වන සර්ගේයි ස්ක‍්‍රිපාල් හා ඔහුගේ දුව යුලියාට උපකල්පිත විෂ වැද්දීම මත කේන්ද්‍රගත, රුසියාවට එරෙහි බ්‍රිතාන්‍ය-ඇමරිකානු උද්ඝෝෂනයයි. චෝදනා කිරීම්, රුසියානු නිලධාරීන් පිටමං කිරීම්, හා මොස්කෝව විසින් බ්‍රිතාන්‍යයේ ස්නායු ගැස් ප‍්‍රහාරයක් එල්ල කිරීම පිලිබඳ සිද්ධිය යුද පියවරක් වන බවට අදහස් දැක්වීම් උත්සන්න කෙරී ඇත.

එනමුදු, රුසියානු ආන්ඩුව විසින් විෂ වැද්දීම පිලිබඳ කතාන්දරය පසු ගිය සතියේ දී ඇද වැටුනි. තමන්ට චූදිත විෂ මූලාශ‍්‍රය නීර්නය කල නොහැකි වූ බව බ්‍රිතාන්‍ය රසායනික අවි අධිකාරිය නිවේදනය කල අතර, ස්ක‍්‍රිපාල්වරුන් දෙදෙනා සුවය ලබමින් සිටින බව වාර්තා වූයේ, රුසියාවේ නිපදවුනු ස්නායු ගෑස් ප‍්‍රහාරයකින් ඔවුන්ට විෂ වද්දා තිබුනේ ය යන ප‍්‍රකාශය ප‍්‍රලාපයක් කරමිනි.

සිරියාවේ විෂ ගෑස් ප‍්‍රහාරය සම්බන්ධ නව මාධ්‍ය උන්මාදය ස්ක‍්‍රිපාල් ප‍්‍රකෝපකරනයේ ඇද වැටීමෙන් අවධානය ඉවතට හැරවීමට උදව් කරන්නේ, රුසියාවට එරෙහි ප‍්‍රහාරය උත්සන්න කිරීම සඳහා අලුත් කඩතුරාවක් සපයමින් සිටින අතර ය.

අවධානය සිරියාව දෙසට හැරවීමට අතිරේක හේතු ද ඇත. සීඅයිඒ පිටුබලය ලබන ඉස්ලාමීය හමුදාවන්ගේ පරාජය ද අසාද් ආන්ඩුව විසින් රටේ ජනගහන කේන්ද්‍රවල බොහෝ කොටස් මත පාලනය ඒකාබද්ධ කිරීමද සලකා, ගෙවී ගිය සතියේ දී ජනාධිපති ට‍්‍රම්ප් එරට තුල එක්සත් ජනපද මැදිහත්වීම ඉදිරියට ගෙන යාම ප‍්‍රසිද්ධියේ ප‍්‍රශ්න කලේ ය. එක්සත් ජනපද හමුදා ඉක්මනින් ම සිරියාවෙන් පිටවනු ඇත යි ඔහු මුල දී කිවු නමුත්, පෙන්ටගනය හා සීඅයිඒ සංවිධානය, කොංග‍්‍රසය හා මාධ්‍යවල තදබල පීඩනය ඔහු ආපසු හැරවූයේ ය. ඩොඋමා සිද්ධිය එවැනි වැනීම් අවසානයකට ගෙන ආවේය.

ඉරිදා රාත‍්‍රී නිව් යෝක් ටයිම්ස් සඳහන් කල පරිදි: “තමන්ට සිරියාවෙන් එක්සත් ජනපද හමුදා ආපසු ගැනීමට අවශ්‍ය බව පැවසීමෙන් දින කීපයකට පසු, සිරියානු හමුදා දමස්කස් අසල්වාසයකට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කල අතර, ගලවා ගැනීමේ හමුදා පැවසුවේ එය විෂ සහිත වායුවක් බව යි. පැය කීපයක් ඇතුලත, තමන්ගේ නිවාස තුල අතපය විහිදා වැතිරුනු මලවුන්ගේ රූපරාමු සිරියාව පිලිබඳ ට‍්‍රම්ප්ගේ ගනන් බැලීම් වෙනස් කිරීමට තර්ජනය කලේ, ඔහු ඉවත් වීමට අපේක්ෂා කල නොහික්මුනු මැද පෙරදිග යුද්ධයට ඔහුව තවත් ගැඹුරින්ම ඇද ගැනීම සලකුනු කරමිනි.”

ඩවුමාවේ දැන් සටන් කරමින් සිටින, ජාෂ් අල්-ඉස්ලාම් නම් “කැරලිකාර” කන්ඩායම, අල් කයිඩාවේ සිරියානු ශාඛාව මෙන් ම අයිඑස්අයිඑස් කැබලි ඇතුලත් අසාද් විරෝධී ඉස්ලාමිය විරුද්ධ පක්ෂයේ කොටසක් වන අතර, 2016දී කුර්දි හමුදාවන්ට හා අලෙප්පෝවල සිවිල් වැසියන්ට එරෙහිව සටන් කරන අතරතුර ක්ලෝරීන් ගෑස් පාවිච්චි කිරීම නිසා පැහදිලි ලෙස ම චෝදනාවට ලක් කෙරී ඇත. කුර්දිවරුන් විසින් කරන ලද චෝදනාවට,එක්සත් ජනපද ආන්ඩුවේ ප‍්‍රචාරක හස්ථය වන වොයිස් ඔෆ් ඇමරිකා විසින් විස්තීරන ප‍්‍රසිද්ධියක් දෙන ලදී.

කැරලිකාර කන්ඩායමට අයත් ආයුධ තිප්පොලකට සිරියානු ගුවන් හමුදා විසින් පහර දීමෙන් ගෑස් කාන්දුවක් සිදු වූවා විය හැක. වඩාත් විය හැකි ලෙස, සීඅයිඒ අනුග‍්‍රහකයින් වෙනුවෙන්, ජාෂ් අල්-ඉස්ලාම් විසින් හිතාමතාම විෂ ගෑස් මුදාහරින්නට ඇත්තේ එක්සත් ජනපද මිලිටරි මැදිහත් වීමකට කඩතුරාවක් සැපයීමට ය. එසේ වන්නේ යටහත් මාධ්‍ය මගින් ප‍්‍රතිප‍්‍රචාරය කිරීමට විෂ වායු වලට නිරාවරනය වීම පිලිබඳ වාර්තා එජ රහස් ඔත්තු සේවය විසින් සරලවම නිපදවා නැතැයි උපකල්පනය කලහොත් පමනි.

දේශපාලන දෘෂ්ටිකෝනයෙන් ගත් විට, අඩුවෙන් ම සිදු විය හැකි දෙය වන්නේ, වසර පහක කටුක සටන්වලින් පසු අසාද් ආන්ඩුව නැගෙනහිර ගවුටාව ජය ගැනීමට ඔන්න මෙන්න තිබිය දී, මිලිටරි වටිනාකමක් නොමැති නමුත් ට‍්‍රම්ප් පාලනාධිකාරිය හා බටහිර බලවතුන්ගේ ම්ලේච්ඡ ප‍්‍රතිචාරයකට ආරාධන කෙරෙනු ඇති, විෂ ගෑස් ප‍්‍රහාරයක් හදිසියේ මුදා හැරීම යි. සිරියානු ආන්ඩුවේ ප‍්‍රකාශනයක් මෙය පෙන්වා දුන්නේ ය, “වේගයෙන් ඉදිරියට යමින් සිටින හමුදාවකට... කිසියම් වර්ගයක රසායනික අවි පාවිච්චි කිරීම අවශ්‍ය නො වේ.”

අල් ජෂිරා හා රුසියානු ප‍්‍රවෘත්ති මූලාශ‍්‍රවලට අනුව, ජායිෂ්-ඉස්ලාම් හමුදා බොහෝ සේ මුලුමනින් ම පරාජය කෙරී ඇති අතර, දල වසයෙන් ඉදිරි පැය 48 දී තමන්ගේ සියලු මිලීෂියා භටයින් හා ඔවුන්ගේ පවුල් ඩවුමාවෙන් සම්පූර්නයෙන් ම ඉවත් කර ගැනීමට ගිවිසුමක් ඇති කර ගෙන ඇත. වාර්තා වන පරිදි රුසියානු හමුදා නගරයේ පාලනය ගැනීමට ගමන් කරනු ඇත.

ඉරාන විදේශ අමාත්‍යංශය ඩවුමාවල ගෑස් ප‍්‍රහාරය පිලිබඳ එක්සත් ජනපද ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කලේ ය. “ඇමරිකානු හා සමහර බටහිර රටවල එවැනි ප‍්‍රකාශ හා චෝදනා ඇඟිල්ල දිග කරන්නේ සිරියානු ආන්ඩුව හා එහි ජනතාවට එරෙහිව නව කුමන්ත‍්‍රනයකට මෙන් ම ඔවුන්ට එරෙහිව මිලිටරි පියවර ගැනීමේ වග කීමෙන් නිදහස් වීමට” බව ප‍්‍රකාශකයෙක් මාධ්‍යයට පැවසී ය.

උපකල්පිත ගෑස් ප‍්‍රහාරය සම්බන්ධයෙන් රුසියානු ආන්ඩුව එක්සත් ජනපද උද්ඝෝෂනය හෙලා දුටුවේ සිරියානු සිවිල් යුද්ධය තුල වඩා දැඩි එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීමක් යුක්ති සහගත කිරීම අරමුනු කර ගත් දේශපාලන ප‍්‍රකෝපකරනයක් ලෙස ය. “ක්ලෝරීන් හා අනෙකුත් විෂ ගෑස් පාවිච්චි කිරීම ගැන ව්‍යාජ කතා ආන්ඩුවේ හමුදා විසින් දිගටම පතුරුවනු ඇතැ”යි රුසියානු විදේශ ඇමති පැවසී ය. “එවැනි අනතුරුදායක ප‍්‍රකෝපකරනයන්ට එරෙහිව අපි මෑත අවස්ථා කීපයක දී ම අනතුරු අඟවා ඇත්තෙමු.” “කිසිම පදනමක් නැති එවැනි කූඨ සමපේක්ෂනයන්ගේ අරමුන වන්නේ ත‍්‍රස්තවාදීන් ආවරනය කිරීම..හා බාහිර හමුදාවන් යොදා ගැනීම යුක්ති සහගත කිරීමට උත්සාහ ගැනීම යි.”

මෑත ම ප‍්‍රකෝපකරනය අනුගමනය කරන්නේ “ඉරාක ජන ඝාතක අවිවල” සිට මේ දක්වා හොඳින් පට්ටා ගැසූ රටාවකි. ඇමරිකානු ඔත්තුසේවා ඒජන්සි සංඥාව දෙයි. කේබල් රූපවාහිනීවල අතොරක් නැති ආවරනයන් දියත් කෙරේ, ඊට පසු නිව් යෝක් ටයිම්ස් වැනි සීඅයිඒ හොරනෑ විසින් ලියන ලද කතුවැකි විසින් පුම්බන ලද, ධවල මන්දිරය හා කොංග‍්‍රස් මන්ඩල නායකයෝ ක‍්‍රියා සඳහා මොර දෙති.

මාධ්‍යවල තුච්ඡ බොරු හා අත්වැල් බැඳ ගන්නේ හුස්ම හිරකරවන කුහකත්වය විසිනි. ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට්, එන්බීසී, ඒබීසී, සීබීඑස්, සීඑන්එන් හා සමාගම ඇමරිකානු හමුදා හා ඒවායේ මිත‍්‍රයින් විසින් ගෙන යනු ලබන විනාසයන්, එනම් මොසුල් හා රකා නගර දවා අලු කිරීම, ඊස්රායල් මිලිටරිය විසින් ගාසාවල පෙලපාලිකරුවන් වෙඩි තබා මරා දැමීම, සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරා පවා එජ පාලක ප‍්‍රභූව විසින් උත්කර්ෂයට නංවා ආති තතු තුල එක්සත් ජනපද උදව් ඇතිව සෞදි අරාබි පාලකයන් විසින් යේමනයේ ගෙන යන ජනඝාතන හා ඇෆ්ඝනිස්තානයේ ඉදිරියට ඇදෙන සංහාරයන්, සුලු කොට දක්වා ආවරනය කරනු ඇත.

සිරියාව තුල (එමෙන් ම ඉරාකය, යේමනය හා මැද පෙරදිග පුරා) නොකඩවා පවත්නා මනුෂ්‍ය ඝාතන හා ගැහටවලට සෘජුව වග කිව යුත්තේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය යි, එය කලාපය හා එහි වැදගත් බලශක්ති මූලාශ‍්‍රයන් මත පාලනය ස්ථාපිත කිරීමේ උත්සාහයක දී බොරු මත පදනම් ව එකකට පසු තවත් යුද්ධයක් දියත් කර ඇත. රසායනික ප‍්‍රහාරයක චෝදනාවකට ප‍්‍රතිචාර වසයෙන් එක්සත් ජනපද ගුවන් ප‍්‍රහාරයක අපේක්ෂාව වඩා පුලුල් යුද්ධයක අනතුර මෙන් ම, යුද්ධයට එරෙහිව ද සමාජවාදය සඳහාද ජාත්‍යන්තර කම්කරු පන්තියේ ව්‍යාපාරයක අවශ්‍යතාව ඉස්මතු කර යි.

පැට්‍රික් මාටින්

Share this article: