යුද්ධය, බොරු හා වාරනය

War, lies and censorship

2018 අප්‍රේල් 13

එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය හා ප‍්‍රන්සය මැද පෙරදිග කලාපය තුල රුධිර ස්නානයක් සූදානම් කිරීමේ අවසන් අදියරේ සිටිති. න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රුසියාව සමග සෘජු ගැටුමක් බවට ක්ෂනික ව වර්ධනය විය හැකි සිරියාවට එරෙහි මිලිටරි ආක‍්‍රමනයක් දියත් කිරීමට අධිරාජ්‍යවාදී බලයන් සූදානම් කරන අතරේ, ගුවන් යානා ප‍්‍රවාහක යූඑස්එස් හැරී එස්. ටෲමන් නෞකාව නායකත්වය දෙන එක්සත් ජනපද නාවික ප‍්‍රහාරක හමුදාව පර්සියන් ගල්ෆ් කලාපය වෙතට ගමන් කරමින් සිටින්නේ ගුවන් යානා වෙත බෝම්බ පටවද්දී හා භටකායන් ගමනේ යෙදෙමින් සිටියදී ය.

එහෙත් අධිරාජ්‍යවාදී යුද්ධය ප‍්‍රචාලනය කරනු ලබන්නේ සොල්දාදුවන් හා මිසයිලවලට වැඩි යමකිනි: එනම්, යුද්ධය බලගන්වන්නේ බොරු මගිනි.

පසුගිය මාසයේ එක්සත් ජනපදයේ, බ්‍රිතාන්‍යයේ හා ප‍්‍රන්සයේ සියලු ම ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ද්වාර කාලය ඉක්මවා කටයුතු කරමින් සිටින්නේ, 2003 ඉරාක ආක‍්‍රමනය සාධාරනීකරනය කිරීමට යොදාගත් “මහජන සංහාරක අවි” පිලිබඳ කතන්දරයට අනුපූරක වන බොරු එකක් පසුපස එකක් වසයෙන් මහජනයාට විකුනමිනි.

නිදහස් මාධ්‍ය පිලිබඳ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංකල්පය කේන්ද්‍රගත වන්නේ, එය වනාහි, දේශපාලන සංස්ථාපිතයේ කියාපෑම්වලින් ස්වාධීන හා ඒවා කෙරෙහි සංශයවාදී වන ඊනියා “හතරවන රාජ්‍ය අංගයක්” වන දෙයක් යන්න වටා ය. එහෙත් උන්මාදනීය යුද උන රෝගය තුල ජනමාධ්‍යවේදය හා රාජ්‍ය ප‍්‍රචාරනය අතර වෙනස මකා දමා තිබේ.

ජනමාධ්‍යවේදය ප‍්‍රශ්න කිරීමේ හා ගවේෂනය කිරීමේ මාවත් සොයද්දී ප‍්‍රචාරනය උත්සාහ දරන්නේ උද්වේගකරනය, සරලකරනය හා අවුලුවාලීම සඳහා ය. ජනමාධ්‍යවේදය සෑම කියාපෑමක් ම සැකයෙන් දකිද්දී ප‍්‍රචාරනය ආන්ඩුවේ ප‍්‍රකාශයන් අනුල්ලංඝනීය ලෙසත් අන් සෑම දෙයක් ම බොරු ලෙසත් සලකයි.

බ්‍රිතාන්‍ය භූමියේ දී හිටපු ද්විත්ව ඒජන්ත සර්ජි ස්ක‍්‍රිපාල්ට රුසියාව විසින් වස දීමට උත්සාහ දැරුවේ යයි ඔවුන් කියන දෙය කෙරෙහි මාධ්‍යයන් පසුගිය මාසයේ කෝපයෙන් යුතු ව මොරදුන්නේ ය. එක් දිනක නිශ්චිත භාවයෙන් යුතු ව මාධ්‍යයන් කියා සිටියේ “ස්ක‍්‍රිපාල්ගේ බීඑම්ඩබ්ලිව් රථයේ කුඩා විවරයන් තුලින් වස සංසරනය වී” ඇති බව ය. එවැනි ම නිශ්චිත භාවයකින් යුතු ව තවත් දිනක එම මාධ්‍ය ද්වාරයන් ම “මාරාන්තික වස ස්නායුවලට ඇතුල් කරන ඒජන්ත නොවිචොක් සැල්ස්බරිහි සර්ජි ස්ක‍්‍රිපාල්ගේ නිවසේ දොරටුවේ යතුරු තහඩුවේ රඳවනු ලැබ තිබුනු” බව ප‍්‍රකාශ කලේ ය. වෙනස් කල කතන්දරය ගවේෂනය කිරීමට කිසිදු උත්සාහයක් නොදැරුනි.

වස දීම පිටුපස රුසියාව සිටීම ගැන බ්‍රිතාන්‍යයේ පෝටන් ඩවුන් රසායනික අවි රසායනාගාරයට “නිශ්චිත ව ම ඒකාන්ත” යයි එක්සත් රාජධානියේ විදේශ ඇමති බෝරිස් ජොන්සන් ප‍්‍රකාශ කල විට ඔහුගේ ප‍්‍රකාශයටත් පසුව එක්සත් ජනපදයෙන් හා වෙනත් රටවලින් රුසියානු රාජ්‍යතාන්ත‍්‍රිකයන් නෙරපීම ගැනත් එක්සත් ජනපදයේ මාධ්‍යයන් හුරේ දැමී ය. එහෙත් එම රසායනාගාරයෙන් ම ඔහු කියූ දෙය සත්‍යය නො වන බව එකහෙලා කී විට හා ලෝකයේ වඩාත් ම මාරාන්තික වස වර්ගයකින් ස්ක‍්‍රිපාල්වරු අපහසුවෙන් ප‍්‍රකෘතිමත් භාවය ලැබූ විට කතාව සරල ව වල දැමූ මාධ්‍යයන් ඊ ලඟ බොරුව ගෙතීම කරා සේන්දු විය.

පෝටන් ඩවුන් රසායනාගාරය ජොන්සන් ව ප‍්‍රසිද්ධියේ විසංවාදනය කරමින් ස්ක‍්‍රිපාල් කතන්දරය පුපුරවා හැරීමෙන් යන්තම් දින දෙකකට පසුව, සිරියානු ආන්ඩුව රසායනික අවි ප‍්‍රහාරයක් එල්ල කර දුසිම් ගනනක් මරා දමා තිබුනු බවට එක්සත් ජනපද පිටුබලය ලබන සටන්කාමීන් කියූ දෙය තහවුරු කිරීමට සීඅයිඒ පිටුබලය සහිත වයිට් හෙල්මට්ස් නම් ප‍්‍රචාරක ආයතයනක් ඇවිද ගත නො හැකි ව හඬමින් හා වතුරෙන් නාවමින් සිටින ලමුන්ගේ ඡායාරූප නිකුත් කලේ ය. පුවත්පත්වල මුල් පිටුවේ දින ගනනාවක් පුරා අලවා තිබුනු මෙම ඡායාරූප ප‍්‍රවෘත්ති විකාශයන් තුලට බද්ධ කරනු ලැබිනි.

මෙම ප‍්‍රහාරය සිදු වූයේ එක්සත් ජනපද භටයන් සිරියාවෙන් ආපසු කැඳවන බවට ඉඟි කරමින් ට‍්‍රම්ප් කල ප‍්‍රකාශයකින් සතියකට පසුව වීම, වඩාත් පහසුදායක විය. එක්සත් ජනපද මාධ්‍ය කෝපයෙන් යුතු ව ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශයට එරෙහි ව මොරදුන් අතර වොෂින්ටන් පෝස්ට් පත‍්‍රය එක්සත් ජනපදය ඉවත්වීම මගින් ඔබාමා-වර්ගයේ හිඩැසක් නිර්මානය වන අතර එය ඉරානය, හෙස්බුල්ලාවරුන්” හා “රුසියාව” විසින් පුරවනු ඇතැයි ප‍්‍රකාශ කලේය. ඒ සිරියාව තුල රසායනික අවි ප‍්‍රහාරය සිදුවූයේ යයි කියන දිනට පෙර දිනයේ ය.

ඊ ලඟ දිනය වන විට කතන්දරය සම්පූර්නයෙන් වෙනස් කර තිබුනි. රුසියානු හා ඉරානීය “බලපෑම” හා “ඇමරිකානු අවශ්‍යතා” සුරක්ෂිත කරගැනීම පිලිබඳ සියලු කතා අතීතයට යැවුනි. එතැන් පටන් එක්සත් ජනපදයේ එකම ඉලක්කය වූයේ, ට‍්‍රම්ප් මත් කියූ ආකාරයට “තිරිසන් අසාද්ගෙන්” ලමුන් ආරක්ෂා කරගැනීම යි. සියලු ප‍්‍රවෘත්ති ද්වාරයන් කුදු මහත් නිශ්චිත බවින් යුතු ව කියා සිටියේ අසාද් ආන්ඩුව රසායනික අවි ප‍්‍රහාරයක් සිදුකර ඇති බව යි.

මෙම කියාපෑම සම්බන්ධ ව සාක්ෂි ඉදිරිපත් කිරීමේ හෝ මේ වර්ගයේ පැරනි කියාපෑම් පසුව ප‍්‍රතික්ෂේප වීමේ වැදගැම්මක් නැත. බොරුව එහි බලපෑම ඇති කල අතර එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය හා ප‍්‍රන්සය දැන් සිටින්නේ යුද මාවතේ ය.

දැන් මාධ්‍ය යුදකාමීන්ගේ ඉලක්කය වන්නේ හැකි උපරිම විනාශයක් සිදුවන බව තහවුරු කරගැනීම යි. “රසායනික අවි භාවිතා කිරීමට එරෙහි ව ජාත්‍යන්තර සම්මුතියක් ඇති කරගැනීම ගැන අප බරපතල ලෙස සිතන්නේ නම්, එම සම්මුතිය කඩකරන්නන්ට එරෙහි දඬුවම ද දැඩි විය යුතු” යයි ප‍්‍රකාශ කල නිව් යෝක් ටයිම්ස් තීරුලිපි රචක බ්‍රෙට් ස්ටීවන්ස්, සිරියානු ජනාධිපති අසාද් මරා දැමීම සඳහා “ශීර්ෂ ඡේදන ප‍්‍රහාරයක්” දියත් කරන ලෙස ආයාචනා කලේ ය. ස්ටීවන් ඔහු කියන දේ සාර්ථක කරගත හොත් ඉරාක ජනාධිපති සදාම් හුසේන් හා ලිබියා නායක මුවම්මර් ගඩාෆිගේ හිස් අසලින් අසාද්ගේ හිස ධවල මන්දිරයේ ප‍්‍රාවරනයට තබා ඇන ගැසෙනු ඇත.

දුර්වල රටකට එරෙහි ව එක්සත් ජනපදය දියත් කරන සෑම කොල්ලකාරී යුද්ධයක් ම සාධාරනීකරනය කරනු ලැබ ඇත්තේ ව්‍යාජ නිමිත්තක් යටතේ ය. 1846 මෙක්සිකානු යුද්ධය ආරම්භ කරන ලද්දේ මෙක්සිකෝව “අපේ භූමිය ආක‍්‍රමනය කර ඇමරිකානු භූමියේ දී ඇමරිකානු ලේ හැලූ” බවට ජනාධිපති පෝක් කල ව්‍යාජ ප‍්‍රකාශය සමගිනි. පිලිපීනය ලේවැකි ලෙස අල්ලාගත් ස්පාඤ්ඤ-ඇමරිකානු යුද්ධයට පොලඹවන ලද්දේ හියර්ස්ට් මාධ්‍ය ආයතනයේ “කහ පැහැති ජනමාධ්‍යවේදය” යයි පෙලපොත්වල අර්ථ දක්වන දෙය විසිනි.

වියට්නාම් යුද්ධය උත්සන්න කිරීම සාධාරනීකරනය කරන ලද්දේ ටොන්කින් බොක්කේ දී උතුරු වියට්නාම්වරුන් විසින් ඇමරිකානු නැවකට පහර දුන්නේ ය යන ව්‍යාජය යොදා ගනිමිනි.

ඇෆ්ගනිස්තාන ආක‍්‍රමනය සාධාරනීකරනය කරන ලද්දේ මැද පෙරදිග කලාපය තුල ඇමරිකාවේ සමීපතම සගයා වන සවුදි රාජාන්ඩුවට සමීප පුද්ගලයන් විසින් දියත් කල 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාර යොදාගනිමින් වන අතර, එම පුද්ගලයන් ගුවන්යානා මෙහෙයවීම් පිලිබඳ පාඩම් ලබා ගනිද්දී හා ඔවුන්ගේ ප‍්‍රහාරය සැලසුම් කරද්දී එක්සත් ජනපද රහස් තොරතුරු ඒජන්සීන් විසින් ක‍්‍රියාකාරී ව අධීක්ෂනය කරනු ලැබී ය. මිලියනයකට වැඩි ජන ජීවිත බිලිගත් 2003 ඉරාක ආක‍්‍රමනය, එක්සත් ජාතීන් වෙත කොලින් පවල් කියූ බොරු හා එක්සත් රාජධානියේ අගමැති ටෝනි බ්ලෙයාර්ගේ “ව්‍යාජ ලේඛන” යොදාගනිමින් සාධාරනීකරනය කරන ලදී.

එහෙත් මහා බොරුව මත විදෙස් පිලිවෙත පවත්වාගෙන යාමේ මූලික ප‍්‍රශ්නය වන්නේ ඒබ‍්‍රහම් ලින්කන්ට ආරෝපනය කෙරෙන පැරනි ආප්ත වාක්‍යය යි: “ඔබට හැමදෙනා ම ටික කලකටත් ටිකදෙනෙක් හැමදාමත් රැවටිය හැකි වුවත් හැමදෙනා ම හැමදා රැවටිය නො හැක.”

සිරියාව තුල නැටෝවේ යුද ධාවනයට මහජන සහයෝගයක් නැත. පාර්ලිමේන්තුව තුල ඡන්ද විමසීමක් වැලැක්වීමට තමන් උත්සුක බව අගමැතිනි තෙරේසා මේ සඳහන් කරන බ්‍රිතාන්‍යය තුල සිරියාවට එරෙහි මිසයිල ප‍්‍රහාරයකට සහයෝගය දෙන්නේ ජනගහනයෙන් සියයට 22ක් පමනක් වන අතර, ජනගහනයෙන් හතරෙන් තුන් පංගුවක් ම එයට එක්කෝ විරුද්ධ වෙයි, නැතහොත් අදහසක් පල නො කරයි. එක්සත් ජනපදය තුල මාධ්‍ය එවැනි මත විමසීමක් සිදුකිරීමට නිර්භය නම් එම රට තුල ද ගනන් හිලවු බ්‍රිතාන්‍යයට සමාන වනු ඇත.

කොල්ලකාරී යුද්ධ සාධාරනීකරනය කිරීම සඳහා වසර ගනනක් තිස්සේ විලිලජ්ජා රහිත බොරු කියා ඇති ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යයන් මහජන සහයෝගය අහිමි කරගෙන ඇත. මොන්මවුත් විශ්ව විද්‍යාලය මෑතක දී කල මත විමසුමකට අනුව “ඇමරිකානුවන් හතර දෙනෙකුගෙන් තුන්දෙනෙකුට වැඩි පිරිසක් ප‍්‍රධාන සාම්ප‍්‍රදායික රූපවාහිනී හා පුවත්පත් මාධ්‍ය ද්වාරයන් ‘ව්‍යාජ ප‍්‍රවෘත්ති’ වාර්තා කරන බව විශ්වාස කරති.”

ඉරාක ආක‍්‍රමනය මධ්‍යයේ ප‍්‍රධාන ධාරාවේ ප‍්‍රවෘත්ති ද්වාරයන් අපකීර්තියට පත්වීම, දේශපාලන මතවලත් අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය පැනනැගීම හරහා ජනගහනයට තිබෙන ප‍්‍රවෘත්ති ද්වාරයන් විවිධාංගීකරනය වීමේත් පුපුරායාමක් සමග අතිනත ගෙන ඇත. නිව් යෝක් ටයිම්ස් විසින් පොම්ප කරනු ලැබෙන ප‍්‍රචාරනයට ප‍්‍රතිවිරුද්ධයක් ලෙස පුලිට්සර් සම්මානලාභී වාර්තාකාර සෙයිමර් හර්ෂ් වැනි සැබෑ ජනමාධ්‍යවේදීන්, මිලියන ගනන් ජනයාට අන්තර්ජාලය මත ප‍්‍රවේශ විය හැකි ලිපි හරහා පූර්ව විෂවායු ප‍්‍රහාර ගැන එක්සත් ජනපද මාධ්‍යයන් මගින් කල කියාපෑම් හෙලිදරවු කර ඇත.

පසුගිය වසර එකහමාර තිස්සේ “ව්‍යාජ ප‍්‍රවෘත්ති” යයි කියන දේ අවුරාලීම සඳහා එක්සත් ජනපදයේ මාධ්‍යවලට පවතින උන්මාදයට හේතුව මෙයයි. රාජ්‍ය වාරනය ක‍්‍රියාත්මක කිරීම හරහා නිව් යෝක් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට් පුවත්පත් තතනන්නේ දේශපාලන කතිකාව මත ඔවුන්ට තිබුනු ඒකාධිකාරය යලි අත්පත් කරගැනීමට යි.

ඔබාමා පරිපාලනයේ හිටපු නිලධාරිනී සමන්තා පවර් පසුගිය වසරේ සඳහන් කල පරිදි: “සීතල යුද සමය තුල බොහෝ ඇමරිකානුවන්ට ප‍්‍රවෘත්ති හා තොරතුරු ලැබුනේ මැදිහත්කාර වේදිකාවන්ගෙනි. මාධ්‍යයන් තුල පල වූ දේවල් මත වෘත්තීය මුරකරුවන් ලෙස සේවය කල වාර්තාකරුවන් හා කර්තෘවරුන් අත සම්පූර්නයෙන් ම පාහේ පාලනය තිබුනි.” මාධ්‍ය ප‍්‍රචාරකයන් ආපසු යාමට උත්සාහ දරන්නේ, බටහිර ආන්ඩුවලට හා ප‍්‍රධාන මාධ්‍යයන් තුල සිටි ඒවායේ ප‍්‍රශස්තිකරුවන්ට විපාක නො විඳ සාන්ත දාන්ත ලෙස බොරු කීමට හැකි වූ මෙම ස්වර්නමය අතීතයට යි.

ඩිමොක‍්‍රටිකයන්, ප‍්‍රධාන මාධ්‍ය ද්වාරයන් හා සිලිකන් නිම්නයේ ඔවුන්ගේ “හවුල්කරුවන්” විසින් දියත් කරනු ලබන අන්තර්ජාලය වාරනය සඳහා වන උද්ඝෝෂනයේ ඉලක්කය හරියට ම මෙය යි. ගූගල් සෙවුම් යන්ත‍්‍රය විසින් එහි සෙවුම් ප‍්‍රතිඵල මෙහෙයවීම හරහා අන්තර්ජාලය වාරනය කිරීමට දරන උත්සාහයන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් හෙලිදරවු කල පසුගිය ජූලි මාසයේ පටන් අන්තර්ජාලය වාරනය සඳහා වන උද්ඝෝෂනය තියුනු ලෙස ඉහල දමා ඇත්තේ කම්කරු පන්තියේ අරගල මෙන්ම සංගත හා මූල්‍ය ප‍්‍රභූතන්ත‍්‍රයේ පිලිවෙත්වලට විරුද්ධත්වය වර්ධනය වෙද්දී ය.

“ව්‍යාජ ප‍්‍රවෘත්ති” ප‍්‍රචාරය වීම බාධනය කිරීම සඳහා ලෝකයේ විශාලතම සමාජ මාධ්‍ය ජාලයේ සෑම අන්තර්ගතයක් ම “ඇගයීමට ලක්කර මුරකිරීමට” කෘතිම බුද්ධියේ බලය හරහා මුහුනුපොත සමාගම කරන සැලසුම්, එහි ප‍්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග් කොංග‍්‍රසය ඉදිරියේ සාක්ෂි දෙමින් අප්‍රේල් 10 හා 11 දිනවල ප‍්‍රකාශ කලේ ය. විරුද්ධ පාර්ශ්වීය පලකිරීම් වලට එලඹීම සීමා කිරීමට හෝ ඒවා මුලුමනින් ම වසා දැමීමට පියවරයන් ගනු ලැබේ.

වාරන උද්ඝෝෂනයේ සැබෑ ඉලක්කය වන්නේ “ව්‍යාජ ප‍්‍රවෘත්ති” නො ව වොෂින්ටනයේ, ලන්ඩනයේ හා පැරීසියේ යුද උන්මාදීන්ගේ බොරු ඒවායේ ස්වභාවයෙන් ම ඛන්ඩනයට ලක්කරන අව්‍යාජ ජනමාධ්‍යවේදය හා ස්වාධීන වාර්තාකරනය හෙවත් සත්‍ය ප‍්‍රවෘත්තීන් ය.

ආන්ද්‍රෙ ඩැමොන්

Share this article: